2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday, 1 February 2010

හොඳ නාට්‍යවලට කවදත් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා - නාමෙල් වීරමුනි

Author: නුවන් නයනජිත් කුමාර Source: Silumina Date: 16/08/2009

නාමෙල් වීරමුනි මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගය නියෝජනය කළ ප්‍රවීණ නාට්‍යවේදියෙකි. වේදිකා, සිනමා හා ටෙලි නළු රූපණ ශිල්පියෙකි, ගත් කතුවරයෙකි.

කොළඹ නාලන්දාවෙන් ද්විතිය සිප් සතර හදාළ ඔහු පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (B.A) ගෞරව (සමාජ විද්‍යා) උපාධිය ද ලංකා නීති විද්‍යාලයෙන් නීති උපාධිය ද ලැබූ අධි නීතිඥවරයෙකි.

එංගලන්ත නීති විද්‍යාලයේ සොලිසිටර්වරයකු වූ නාමෙල් සිටි ඔෆ් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති (M.A -නීතිය) උපාධිය ද කැලිෆෝනියා නෝර්ත් රීඩ්ජ් රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් යළිත් ශාස්ත්‍රපති (M.A - නාට්‍ය කලාව) උපාධිය ද ලැබූ විද්වතෙකි. කලක් ගුරු වෘත්තියෙහි ද නියැළුණු ඔහු එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ “රත්තරං” (1958) නාට්‍යයේ පුතා ලෙස රඟපාමින් නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසිණ.

1960 ‘ගොළු බිරිඳ’ නාට්‍යයෙන් අරඹා නාට්‍ය රැසක් (මූදු යන්නෝ - 1960, කාසි රටෙන් – 1963, විරූප රූප – 1964, සකල බුජං පැනල ගිහිං - 1967, ඉඳහිට යන ගමන් – 1967, නැට්ටුක්කාරි – 1970, වංශක්කාරයෝ - 1972, මාංචු මුදන්නට කෙනෙක් නැද්ද අපට – 1974, කට්ටඩියා - 1980) නිර්මාණය කළ නාමෙල්, සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’, ‘එලොව ගිහින් මෙලොව ආවා’ යන නාට්‍ය ඉංගි‍්‍රසි බසට පරිවර්තනය කළේ ය.

නාමෙල් - මාලිනි යුවළ මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට “පුංචි” නාට්‍ය රඟහලක් ද දායාද කළහ. තම ‘නැට්ටුක්කාරි’ නාට්‍යය (1970) වසර තිස් නවයකට පසුව යළිත් නව නිෂ්පාදනයක් ලෙස ඔහු පසුගියදා වේදිකාවට ගෙන ආවේ ය.

‘නැට්ටුක්කාරි” නව නිෂ්පාදනයක් ලෙස ගෙන ඒමට මා උත්සාහ ගත්තේ නාට්‍යකරුවන් හා ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් මතයි. ‘නැට්ටුක්කාරි ආයෙත් කරන්නෙ නැද්ද’ කියා බොහෝදෙනා මගෙන් විමසුවා.

2002 මං එංගලන්තේ සිට ලංකාවට පැමිණියාට පසු මුලින්ම නිෂ්පාදනය කරන්න උත්සාහ කළේ මේ නාට්‍යයයි. නමුත් කිහිපවරක් ඒ උත්සාහය අතහැර දමන්න සිදුවුණා.

නළු නිළියන් පිළිබඳ ප්‍රශ්න නිසා මා ඉතා මන්දෝත්සාහී වුණා. නළු නිළියන්ගේ විනයානුකූලභාවය නාට්‍යය පුහුණුවීමේදී අත්‍යවශ්‍යයි. සමහරු වෙලාවට එන්නෙ නැහැ. තව පිරිසක් ටෙලි නාට්‍යවල, චිත්‍රපටවල රඟපෑම්වලට වැඩි තැනක් දෙනවා.

තවත් සමහරු නොකියාම මගදි නතර වෙනවා. අපේ තරුණ කාලේ (60 දශකයේ) නළු නිළියන්ගේ තිබුණු විනය, කැපවීම, උනන්දුව, සංයමය ආදී මේ කිසිවක් මට දකින්න ලැබුණේ නැහැ. ඒ නිසා මං ඒ අදහස අත්හැරියා. පසුව මගේ බිරිය මාලිනි මේ නාට්‍යය නැවත නිර්මාණය කිරීම සඳහා මා උනන්දු කළා.

මඳ කලකට පසු නැවතත් වේදිකාවට පිවිසීමේ ආසාවක් ඇයට තිබුණා. අනෙක නව පරපුරේ නිළියක් වන සුරංගි කෝසල මේ නාට්‍යයේ පුහුණුවීම් සඳහා දැඩි උනන්දුවකින් සහභාගි වුණා. ඇයගේ කැපවීමට ගෞරවයක් වශයෙනුත් මා තීරණය කළා, ‘නැට්ටුක්කාරි’ වේදිකාවට ගෙන එන්න.”

එදා ස්වර්ණමය යුගයේ බිහිවූ නාට්‍ය සහ අද්‍යතන නාට්‍ය එකිනෙකට තුලනය කොට බැලුවහොත් ඔබ දකින වෙනස්කම් මොනවද?

”එදා යුගයේ බොහෝ නාට්‍යවල යම්කිසි හරයක්, ගැඹුරක්, තේරුමක්, නාට්‍යමය ව්‍යුහයක්, නාට්‍යමය ආත්මයක් තිබුණා. නාට්‍ය ආත්මය යනු නාට්‍යයේ අධ්‍යාත්මයෙත් මහාචාර්ය සරච්චන්ද්‍රයන් හඳුන්වන රංග වින්‍යාසයෙත් සංකලනයක්.

රංග වින්‍යාසයෙන් අපි ඉදිරිපත් කරන දේ නාට්‍යයේ ආත්මය විය යුතුයි. 50, 60, 70 දශකවල පෙන්වූ නාට්‍ය සමහරක් තවමත් පෙන්වනවා. මේ නාට්‍යවල ගැඹුරක්, ආත්මයක් තිබුණා. ඇතැම් නාට්‍ය පාසල්වල, විශ්වවිද්‍යාලවල විෂය නිර්දේශවල තිබීමත් මේවා යළි නිෂ්පාදනය වීමට හේතුවක්.

තවමත් මේ නාට්‍ය නැරඹීමට ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. හොඳ නාට්‍යයකට කවදත් ප්‍රේක්ෂක පිරිසක් සිටියා. මම නව පරපුරේ නාට්‍යකරුවන්ට අගෞරව කරන්නේ නැහැ.

බොහෝ තරුණයන් කරන්නේ පර්යේෂණ නාට්‍ය බව පේනවා. මං වසර 51 ක් ක්ෂේත්‍රයේ ඉන්නවා. කවදාවත් පර්යේෂණ නාට්‍ය කළේ නැහැ. මා කළේ හොඳ නාට්‍යයක් ඉදිරිපත් කිරීමයි. සමහර නූතන පර්යේෂණ නාට්‍යවල සංගීතය බලෙන් කාවද්දලා නාට්‍යයේ පිටපත යටපත් කරනවා.

1977 විවෘත ආර්ථිකය නිසා සමාජ ව්‍යුහය වෙනස් වුණා. එහිදී මතු වූ අත්දැකීම් නූතන නාට්‍යවලට බහුල ව වස්තු විෂය වුණා. නව පරපුරේ සමහර නාට්‍යවල ඉතා හොඳ ගැඹුරක් දකින්න ලැබෙනවා. එහි ආකෘතිය පර්යේෂණාත්මකයි. නමුත් මේවා කාලාන්තරයක් ප්‍රේක්ෂකයා අතර රැඳෙන්නේ නැත්තේ මන්ද? යන්න අද ප්‍රශ්නයක්.”

බොහෝ කලක් විදෙස්ගත ව සිට 2002 දී ලංකාවට පැමිණි පසු ඔබ නානාවිධ නාට්‍ය රැසක් ද්වි භාෂාවෙන්ම නිර්මාණය කළා. ස්වතන්ත්‍ර, පරිවර්තන හා අනුවර්තන මීට අයත්.

”ඔව්. මං එංගලන්තයේ සිට පැමිණි පසු වසරකට එක බැගින්වත් නාට්‍යයක් කළා. මේ සෑම නාට්‍යයකින්ම ජීවිතය පිළිබඳ අර්ථ පූර්ණ ගැඹුරක් මතු කරන්න මා උත්සාහ කළා. හෙන්රික් ඉබ්සන්ගේ ”PUBLIC ENEMY” නාට්‍ය ය අනුවර්තනය කොට “මුංගෙන් අං” නාට්‍යය මා නිර්මාණය කළා. කොළඹ නගරයේ කැළි කසළ ප්‍රශ්නයත් ලබුගම ජලාශයත් අනුවර්තනයේදී ඉබ්සන්ගේ නාට්‍යයට සම්බන්ධ කරන්න මට හැකිවුණා.

‘හතරවැනි තට්ටුව‘ මා නිර්මාණය කළේ විදෙස් නාට්‍යයක ආභාසයෙන් වුවත් එහි ආකෘතිය පමණයි මට බලපෑවේ. සම්පූර්ණයෙන්ම මෙරට සිදුවූ දරුණුතම මිනිමැරුමක් ඔස්සේ සමාජ දූෂණ පෙන්වීමයි මෙහිදී මගේ අරමුණ වුණේ. පසුව හෙන්රික් ඉබ්සන්ගේ “හෙඩා ගාබ්ලර්” ඇසුරෙන් ‘ගින්නයි ආදරයයි’ නාට්‍යය මා නිෂ්පාදනය කළා.

ඉබ්සන්ගේ ජන්ම ශතවර්ෂය වෙනුවෙන් පකිස්ථානයේ පැවැති ලාගෝර් නාට්‍ය උත්සවය සඳහා මෙය ඉදිරිපත් කරන්න අපට හැකිවුණා. ආසියාවේ රටවල් 10 ක් එය නියෝජනය කළා. හොඳම නිෂ්පාදනය ලෙස ප්‍රථම ස්ථානය දිනුවේ අපි. මේ නාට්‍යයේ රඟපෑ සියලු නළු නිළියන් (මාලිනී වීරමුනි හැර) නවකයෝ, නීතිඥයෝ.

ඔවුන්ගේ කැපවීම නිසා දවස් 31 න් අපි සාර්ථකව නාට්‍ය කළා. ඉන්පසු ධම්ම ජාගොඩගේ “කොරා සහ අන්ධයා” ඉංගි‍්‍රසියට පරිවර්තනය කොට ”The Lame and the Blind” නමින් නිෂ්පාදනය කළා. “ජීවිතයේ හැමවිමට බර උසුලාගෙන යන්නී ගැහැනියයි” යන නව අර්ථයක් ද සමඟ මා මේ නාට්‍යයේ යම් යම් වෙනස්කම් කළා.

“මාධ්‍යවේදියකුගේ අසිපත” නාට්‍යය මා නිර්මාණය කළේ ඉන්පසුවයි. මගේ හොඳම නිර්මාණය ලෙස මා සලකන්නේ මේ ස්වතන්ත්‍ර නාට්‍යයයි. මේ නාට්‍යයෙන් අලුත් ශෛලියක් ඉදිරිපත් කරන්න මා උත්සාහ කළා. මහාචාර්ය සිරි ගුනසිංහ ප්‍රමුඛ විචාරකයන් රැසක් මෙය අගය කළා. පාතාල ලෝකය විසින් දේශපාලනය හසුරුවනු ලබන ආකාරය මේ නාට්‍යයට ප්‍රස්තුත වුණා.”

ශෝකාන්ත සුඛාන්තයක් (TRAGI COMEDY) වූ ඔබේ “නැට්ටුක්කාරී” නාට්‍යයේ ප්‍රස්තුතය අදටත් වලංගුයි. මෙය ෂෝන් අනුයිගේ ”COLOMBE” නමැති ප්‍රංශ නාට්‍යයේ පරිවර්තනයක්.

”මෙය සදාතනික කතාවක්. ෂෝන් අනුයිගේ ”COLOMBE” නාට්‍යයේ සම්පූර්ණ පරිවර්තනයක්. මේ නාට්‍යයේ පෙළ කියවා බැලුවත් හිනායන බව බොහෝදෙනා පැවසුවා. මෙය ශෝකාන්තයක් වුණත් සුඛාන්තයක් මඟිනුයි එය කියවෙන්නේ.

පොදුවේ ගත්තම ප්‍රේමය සදාකාලික නැති බව මෙහි කුළුගැන්වෙනවා. අපේ රුක්මණි දේවියගෙ චරිතයට සමාන භූමිකාවක් තමයි මේ නාට්‍යයට පාදක වී තිබෙන්නෙ.

එදා නැට්ටුක්කාරි නාට්‍යයේ ප්‍රධාන චරිතයට ඔබ මුලින් තෝරා ගත්තේ රුක්මණි දේවිය නේද?

”ඔව්. මං මුලින් මෙහි ප්‍රධාන නිළි චරිතයට තෝරා ගත්තෙත් ඇයයි. ඩේසි අක්කා මෙහි පුහුණුවීම් දෙකකට සහභාගි වුණා. මීගමුවේ සිට ඇය මේ නාට්‍යයට සහභාගි කරවා ගන්න ඒ යුගයේ හැටියට මට රු. 40 ක් ගෙවන්න සිදුවුණා. ඇයට තේරුණා මේ මුදල ගෙවන්න මට අපහසු බව. ඇය නිහතමානීව වෙනත් නිළියකට ඉඩ දෙමින් නාට්‍යයෙන් ඉවත් වුණා.

රුක්මණියගේ ජීවිතයේ ඉතා ඉහළ නැඟීම් සේම පල්ලම් බැසීමුත් තිබුණා. කලාකරුවන් සෑම දෙනෙකුගේම පාහේ ජීවිතවල ඔය ලක්ෂණය තිබෙනවා. වික්ටර් හියුගෝ “තම ”LE MISARABLE” නවකතාවෙහිද මේ සත්‍ය හෙළි කරනවා. මෙබඳු ජීවිතයක් ගැනයි ‘නැට්ටුක්කාරි’ නාට්‍යයෙන් කියවෙන්නෙ.

පසුව මා රුක්මණිය රඟපෑ චරිතයට සෝමලතා සුබසිංහ තෝරා ගත්තා. ප්‍රේමා ගනේගොඩ, උපාලි අත්තනායක, විමල් කුමාර ද කොස්තා, මාලිනි වීරමුනි, වික්‍රම බෝගොඩ, පියසේන අහංගම, ජයන්ත කරුණාරත්න, ධම්ම ජාගොඩ, ජී.ටී. වික්‍රමසිංහ, සිරිල් වික්‍රමගේ, ලයනල් ප්‍රනාන්දු, දයා තෙන්නකෝන් මෙන්ම මාත් එදා මෙහි රඟපෑවා. වේදිකා පරිපාලනයෙන් ඩබ්ලිව්. ජයසිරිත් සංගීත අධ්‍යක්ෂණයෙන් ප්‍රේමසිරි කේමදාසයනුත් මීට එදා දායක වුණා. මා විදෙස්ගත වීමට ප්‍රථම මෙහි දර්ශන වාර 250 ක් පමණ රඟදැක්වීමට හැකි වුණා.”

’නැට්ටුක්කාරි’ නව නිෂ්පාදනයට දායකවන්නන් සිහිපත් කළොත්?

”නව නිෂ්පාදනයේ මාලනි වීරමුනි, සහන් රන්වල, සුරංගි කෝසල, රුවන් වික්‍රමසිංහ, සැනට් දික්කුඹුර, දයා තෙන්නකෝන්, විශාඛා ජයවීර, අනූෂා දිසානායක, දීපානි සිල්වා, අනිල් විජේසිංහ ආදීන් රඟපානවා.

‘නැට්ටුක්කාරි’ නව නිෂ්පාදනයේ මංගල දර්ශනය පසුගිය අගෝස්තු 14 වැනිදා පැවැත්වුණා. අදත් (16) එහි දර්ශනයක් පස්වරු 6.30 ට බොරැල්ලේ නාමෙල් - මාලිනි පුංචි තියටර්හිදී පැවැත්වෙනවා.

ලන්ඩනයේ වේදිකාගත කළ ප්‍රථම සිංහල නාට්‍යය ලෙසත් “නැට්ටුක්කාරී” ඉතිහාසගත වෙනවා.

”ඔව්. ලන්ඩනයේ මුල්වරට පෙන්වූ සිංහල නාට්‍යය මෙයයි. එය එරට විචාරකයන් පවා ලියා තිබුණා. 1976 අපි ලන්ඩනයේ මෙය වේදිකාගත කළා. මා මෙන්ම මාලිනි වීරමුනි, ප්‍රේමා ගනේගොඩ, ඩග්ලස් රණසිංහ, නදී රත්නායක, ටෝනි වික්‍රමසිංහ, විල්ෆ‍්‍රඩ් පෙරේරා, පර්සි අබේසේකර, ආනන්ද චන්ද්‍රසේකර, එඩ්මන්ඩ් ජයසිංහ ආදී එවකට ලන්ඩනයේ සිටි ලාංකිකයන් මීට දායක වුණා.”

’නාමෙල් ද සිල්වා’ ‘නාමෙල් වීරමුනි’ බවට පත්වන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ යෝජනාවෙන් නේද?

”පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පැමිණීමෙන් පසු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘රත්තරං’ (1958) නාට්‍යයේ පුතා ලෙස රඟමින් මා කලාවට පිවිසුණා.

නාමෙල් ද සිල්වා ලෙස තමයි මා විශ්වවිද්‍යාලෙ ප්‍රකට වුණේ. බොක්සිං, රගර්, පාපන්දු වැනි ක්‍රීඩා කරමින් එහි වර්ණලාභී ක්‍රීඩකයෙක් බවට මා පත්වුණා.

මගේ පෙළපත් නාමය වූ ‘වීරමුනි’ යන්න භාවිත කරන ලෙස මහාචාර්ය සරච්චන්ද්‍රයන් මගෙන් ඉල්ලා සිටියා. කලාකරුවන් දේශීයත්වය පිළිබිඹු වන නම් භාවිත කරනවාටයි ඔහු වඩා කැමැති.”

මහාචාර්ය විමල් දිසානායකයන් නාට්‍ය පිටපත් රචකයකු ලෙස කලා ලොවට හඳුන්වා දුන්නේ ඔබයි.

”මගේ ප්‍රථම නාට්‍ය නිර්මාණය වූ “ගොළු බිරිඳ” (1960) සඳහා මාව පෙලැඹවූයේ මහාචාර්ය රංජනී ඔබේසේකරයි. (මහාචාර්ය ගණනාථ ඔබේසේකරයන්ගේ බිරිඳ) මහාචාර්ය විමල් දිසානායක මට වඩා එක වසරක් කනිෂ්ඨයි.

ආන්ටල් ෆ්රාන්ස්ගේ ”DUMB WIFE” ඔහු ‘ගොළු බිරිඳ’ ලෙස සිංහලට අනුවර්තනය කළා. මෙය අනුවර්තනයක් යැයි නොසිතෙන තරමට දේශීයකරණයට ලක්වූ නාට්‍යයක්. විමල් දිසානායකගේ ප්‍රථම කලා ප්‍රවිෂ්ටය මෙයයි.

ඔබ පේරාදෙණිය සරසවියේ හැදෑරුවේ සමාජ විද්‍යාව. ඒ යුගයේ සමාජ විද්‍යා අංශයේ තිබූ ශාස්ත්‍රීය ප්‍රබෝධය සිහිපත් කළොත්?

”ඇත්ත වශයෙන් ම පේරාදෙණියේ සමාජ විද්‍යා අංශයේ එදා විශාල ප්‍රබෝධයක් තිබුණා. මහාචාර්ය ගණනාථ ඔබේසේකර, එස්.ජේ. තම්බයියා, ලක්සිරි ජයසූරිය (ඕස්ට්‍රේලියාවේ ගෞරවනීය ප්‍රාඥයෙක් ලෙස පිළිගැනෙන), ඇලෙක් ගුණසේකර, රැල්ෆ් පීරිස් වැනි සම්භාවනීය විද්වතුන් අපේ ආචාර්යවරුන් ලෙස එදා හිටියා. සමාජ විද්‍යාව හැදෑරූවන් අතර සිටි මගේ ප්‍රධාන සමකාලීන සගයා වූයේ ආචාර්ය සරත් අමුණුගමයි.

පේරාදෙණියේ මා උගත් සමයේ මගේ සමකාලීනයන් අතර ජේ.බී. දිසානායක, සුචරිත ගම්ලත්, විමල් දිසානායක, කේ.එච්.ජේ. විජේදාස, අමරදාස ගුණවර්ධන, ජයන්ත ධනපාල, ෆ‍්‍රෑන්ක් ද සිල්වා, තිලක් ඉද්දමල්ගොඩ, කුසුම් දිසානායක, කේ.එන්.ඕ. ධර්මදාස, නන්දසේන රත්නපාල, තිස්ස කාරියවසම් ආදීන් විශේෂයි.

සයිමන් නවගත්තේගමත් එක අවුරුද්දක් පේරාදෙණියේ හිටියා. පසුව විද්‍යෝදය විශ්වවිද්‍යාලයට මාරු වුණේ එවකට ඔහු පසුපස ආ පෙම්වතියකගෙන් බේරිලා ඉන්නයි.”

ඔබගේ “මාංචු මුදන්නට කෙනෙක් නැද්ද අපට” යන පරිවර්තන නාට්‍යය එදා තහනමට ලක් වුණා. පසුව ධර්මසිරි බණ්ඩාරනායක “ධවල භීෂණ” නිර්මාණය කළේ සාත්‍රෙගේ ඒ මුල් කෘතිය ඇසුරෙන්.

”1974 මා ලන්ඩනයට යෑමට පෙර නිර්මාණය කළ අවසන් නාට්‍යය “මාංචු මුදන්නට කෙනෙක් නැද්ද අපට”යි. මෙය යොන් පෝල් සාත්‍රෙගේ ”MEN WITHOUT SHADOW” නාට්‍යයේ පරිවර්තනයක්. 71 කැරැල්ල නිසා හටගත් භීෂණ සමය නිසා මේ නාට්‍යය තහනමට ලක්වුණා.

මෙය නැරඹූ එච්.ඩී. සුගතපාල, චාල්ස් අබේසේකර, එස්.ජී. සමරසිංහ, ඒ.ජේ. ගුණවර්ධන ඇතුළු නාට්‍ය අනුමණ්ඩලය එය තහනම් කළා. ධර්මසිරි 80 දශකයේදී ‘ධවල භීෂණ’ ලෙස මුල් කෘතිය ඇසුරෙන් මෙය කළා. නමුත් නාට්‍ය දෙක එකිනෙකට වෙනස්.”

එදා නාට්‍ය කලාවේ සාර්ථකත්වය සඳහා ඒ හා බැඳුණු විචාරයත් බලපෑවා නේද?

එදා නාට්‍ය කලාවේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස මා විචාරය දකිනවා. නාට්‍ය ගැන ගැඹුරු දැනුමක් තිබූ විචාරක පිරිසක් එදා අපට සිටියා.

තිස්ස අබේසේකර, පියල් සෝමරත්න, රෙජී සිරිවර්ධන, පිලිප් කුරේ, සීතා ජයවර්ධන, ඩී.සී. රණතුංග, චාල්ස් අබේසේකර, සුනන්ද මහේන්ද්‍ර, ඩී.බී. කුරුප්පු, නිහාල් රත්නායක, සිරිල් බී. පෙරේරා මේ අතර විශේෂයි. මා එක නිදර්ශනයක් කියන්නම්. මා කළා ‘සකල බුජං පැනල ගිහිං” (1967) නමින් අනුවර්තන නාට්‍යයක්.

මෙහි රඟපෑවේ සුගතපාල ද සිල්වාගේ ‘අපේ කට්ටියේ’ නළු නිළියෝ. ඔවුන් නාට්‍යය පුහුණුවන අතරතුර සුගත්ගෙනුත් උපදෙස් ගත්තා. නාට්‍යකරුවන් දෙදෙනෙකුගෙන් උපදෙස් ගත්තොත් නාට්‍යය සාර්ථක වෙන්නේ නැති බව මා දැන සිටියා. මන්ද සුගත්ගේ ශෛලියට වඩා මගේ ශෛලිය වෙනස්. මේ නාට්‍යය අසාර්ථක වුණා.

නිහාල් රත්නායකයන් (වත්මන් ලේක් හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ) එදා DAILY NEWS පුවත්පතේ පොල් ගෙඩි අකුරින් ‘අසාර්ථක නාට්‍යයක්’යැයි ලීවා. මා නිහාල් හමුවී ඔහුව බදාගෙන ‘ඔබ කී දේ සත්‍යයක්” බව කීවා. ඊළඟට මා ‘නැට්ටුක්කාරි’ නිර්මාණය කළා. නිහාල් රත්නායකයන් එය නරඹා ඉතා සතුටෙන් මාව බදාගෙන ”You have done it now” යැයි පැවසුවා.”

No comments:

Post a Comment