2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Tuesday, 31 May 2011

අන්තර්ජාතික නාට්‍ය උළෙලක් මෙරට නොපවත්වන්නේ ඇයි?: චාමික හත්ලහවත්ත

Author: Nuwan Nayanajith Kumara
Date:22/05/2011
Source: Silumina



පාසල් සමයේ මා නාට්‍යවලට සම්බන්ධ වුණේ නැහැ. ලේඛන කලාව පැත්තෙන් යම් යම් කාර්යයන්ට සම්බන්ධ වුණා. නාට්‍ය කලාවට ඇල්මක් කුඩා කාලයේ සිටම තිබුණත් පාසලෙන් සමුගත්තාට පසුව සරසවිපායේ ටවර් හෝල් නාට්‍ය හා රංග කලා පාඨමාලාව මා හැදෑරුවා. දහම් පාසලේ (හොන්නන්තර ශ්‍රී ප්‍රඤ්ඤානන්ද දහම් පාසල) වේදිකා නාට්‍ය කළා. ටවර් හෝල් නාට්‍ය පාසලේදී හෙන්රි ජයසේන, ජයලත් මනෝරත්න, ආරියවංශ රණවීර, විජේරත්න පතිරාජ, නිශ්ශංක දිද්දෙණිය ප්‍රමුඛ නාට්‍ය කලාවට සම්බන්ධ ප්‍රමුඛ ආචාර්යවරුන්ගෙන් ලැබුණු ගුරුහරුකම් මේ ක්ෂේත්‍රයට පිවිසෙන්න මට විශාල අඩිතාලමක් වුණා.

ඒ වගේම මේ පාඨමාලාවේ මා සමඟ සිටි මිතුරු කැල සනත් විමලසිරි, ප්‍රසන්නජිත් අබේසූරිය, කුසුම්සිරි ලියනආරච්චි, ඉන්දික ෆර්ඩිනැන්ඩු ආදින්ගෙන් ලැබුණු අනුබලයත් මෙහිදී වැදගත් වුණා. මගේ සමීපතම මිත්‍රයා වුණේ ඉන්දික ෆර්ඩිනැන්ඩු. ඔහු විශ්වවිද්‍යාලෙට යන කාලයේ අපේ ගෙදර නවාතැන්ගෙන හිටියා. අපේ මිත්‍රත්වය හරහාත් නාට්‍ය ක්ෂේත්‍රයට අදාළ සියලු සබඳතා ගොඩනැඟුණා. මුලින්ම මම 1998 “පූජනීය රාත්‍රියක්” නමැති කෙටි නාට්‍යය නිෂ්පාදනය කළා යෞවන සම්මාන උළෙලට. ඊට පෙර මා තරුණ සේවා සභාවේ ජනසන්නිවේදන පාඨමාලාවක් හැදෑරුවා. එහිදිත් කෙටි නාට්‍යයක් කළා. නමුත් ඒවා නාට්‍ය කලාව හදාරමින් සිටි සමයේ මා කළ නිර්මාණ.

“පූජනීය රාත්‍රියක්” යුද්ධය අවසන් වෙලා පැමිණෙන හමුදා සෙබළෙක් වටා ගොඩනැඟුණු නාට්‍යයක්. නාට්‍යයක් නිර්මාණය කිරීමට මූලික පිවිසුම එතැනින් ඇති වුණා. ඊට පස්සේ දිගටම නාට්‍ය ලිව්වා. ළමා නාට්‍ය උළෙලෙවලටත් නාට්‍ය ඉදිරිපත් කළා. නාට්‍ය රචනා කරමින්, රඟපාමින්, නිෂ්පාදනයෙන් ඉන්පසුව අඛණ්ඩවම මා දායක වුණා.”

ඔබ නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධිය හැදෑරූ විද්‍යාර්ථියෙක්. එය ඔබගේ නාට්‍ය දිවියට තෝතැන්නක් වූවාට සැක නැහැ.

”මා උසස් පෙළට නාට්‍ය හා රංග කලාව හදාරා නැහැ. ජනසන්නිවේදනය විෂය හැදෑරීමේ බලාපොරොත්තුවෙන් කැලණිය විශ්වවිද්‍යාලයට පිවිසුණත් පසුව මා ලලිත කලා අංශයේ නාට්‍ය හා රංග කලාව හැදෑරීමට යොමු වුණා. මෙහිදී ලැබූ දැනුම මගේ ඉදිරි ගමනට රුකුලක් වූ බව කිව යුතුයි.

නට්‍ය නිර්මාපකයකු ලෙස ඔබ ප්‍රසිද්ධ වේදිකාවට පිවිසි “හයිනා” නාට්‍යයත් එහි ප්‍රතිඵලයක් නේද?

”ඔව්. 2003 මා “හයිනා” නාට්‍යය නිර්මාණය කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා විශේෂවේදී උපාධියේ අවසන් වසරේ නිෂ්පාදනය ලෙසයි. මෙය ලෙරොයි ජෝන්ස් නමැති ඇමරිකානු නාට්‍යකරුවාගේ ”DUTCHMAN” නාට්‍යය ඇසුරින් තැනුවක්. එස්. කරුණාරත්න මහතා මෙය සිංහලට පරිවර්තනය කළා. මෙය මා රාජ්‍ය නාට්‍ය උළෙලට ඉදිරිපත් කළා. එහිදී අවසාන වටයට තේරිලා හොඳම නළුවා ලෙස ධර්මපි‍්‍රය ඩයස් සම්මානයට පාත්‍ර වුණා. හොඳම නිළියට චමිලා පීරිස් මේ සඳහා නිර්දේශ වුණා.”

ඔබේ “හයිනා”, “හරි අපූරු දවසක්” යන නාට්‍ය අන්තර්ජාතික වශයෙන් ලංකාව නියෝජනය කළ බව අමතක කරන්න බැහැ.

”හයිනා නාට්‍යය 2004 ඉන්දියාවේ භාරත රංග මහෝත්සවය නියෝජනය කළා. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර හැදෑරූ සමයේ මා ළමා නාට්‍ය රැසක් නිර්මාණය කළා. මම ලියනවා. ඉන්දික ෆර්ඩිනැන්ඩු සංගීතය සපයනවා. නිෂ්පාදනය කාට හෝ භාර කරනවා. විශ්වවිද්‍යාලයෙන් සමුගත්තාට පසුව මට ගල්කිස්සේ ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලයට ගුරු පත්වීමක් ලැබුණා. 2008 මා “හරි අපූරු දවසක්” නාට්‍යය නිර්මාණය කළා.

2008 රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ඇතුළු සම්මාන 7 ක් දිනා ගත්තා. මෙය ශ්‍රේෂ්ඨ ජපන් සිනමාකරු අකිර කුරොසවගේ ”The wonderful sunday”නමැති තිර පිටපත ඇසුරු කොට ගෙන ලියැවුණු නාට්‍යයක්. 2009 ඊජිප්තු අන්තර්ජාතික නාට්‍ය උළෙලේ දී මේ නාට්‍යය ලංකාව නියෝජනය කළා. එසේම 2010 වසරේ මෙය කත්මන්ඩු අන්තර්ජාතික නාට්‍ය උළෙලට ලංකාව නියෝජනය කරමින් වේදිකාගත වුණා.”

අනේකවිධ දුෂ්කරතා මධ්‍යයෙහි නාට්‍ය නිර්මාණය කරන තරුණයකු ලෙස වත්මන් නාට්‍ය කලාව ඔබ දකින්නේ කෙසේද?

”1956 මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් “මනමේ” නාට්‍යය බිහි කළාට පසුව 60, 70 දශකවල ස්වර්ණමය යුගය සමඟ තිබූ පසුබිම අද අපට නැහැ. ද්විභාෂික උගත්තු එදා හිටියේ. පෙර අපර දෙදිග භාෂාවලින් පෝෂණය වෙලායි ඒ පරපුර නාට්‍ය කලාවට අවතීර්ණ වුණේ. මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන යන මහත්වරු ලෝකයේ විවිධ නාට්‍ය කෘති පරිවර්තනය කොට නිෂ්පාදනය කළා. නොඑසේනම් ඒවා ඇසුරු කොට ස්වතන්ත්‍ර නාට්‍ය නිෂ්පාදනය කළා. මේ නාට්‍ය නිසා ඒ පරපුරට නාට්‍ය කලාව හදාරන්න විදෙස් රටවලට ශිෂ්‍යත්ව ලැබුණා. ඔවුන් ඒ අනුව විදෙස් ගතවෙලා විවිධ නාට්‍ය නැරඹුවා, ඒවා හැදෑරුවා.

විදෙස් සරසවිවලින් අධ්‍යාපනය ලැබුවා. නැවත ලංකාවට පැමිණ ඒ දැනුම උපයෝගී කරගෙන දැවැන්ත නාට්‍ය නිෂ්පාදනය කළා. ලංකාවේ නාට්‍ය කලාව ඔය විදිහටයි පෝෂණය වුණේ. අපේ පරම්පරාවට අද දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා. මෙරට අධ්‍යාපන ක්‍රමයේ පරිහානිය සමඟ අපට ගැටලු මතු වුණා. විවෘත ආර්ථික ක්‍රමයේ අයහපත් ඵලවලට මුලින්ම හසුවුණේ අපේ පරම්පරාවයි. මේ යුගයේත් මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා වැනි විශිෂ්ට ශක්‍යතා තිබෙන නාට්‍යකරුවන් නැතුවාම නොවෙයි. නමුත් අද යුගයේ තිබෙන පසුබිම අනුව එවැනි කලාකරුවන්ට බිහි වෙන්න ඉඩ ලැබෙන්නේ නැහැ.”

විදේශීය නාට්‍ය උළෙලවලට සහභාගි වෙන්න මෙරට දක්ෂ තරුණ නාට්‍යවේදින්ට ලැබෙන අවස්ථා ඉතා අඩුයි.

”පැහැදිලිවම. විදෙස් රටවලට ගිහින් ඒ නාට්‍ය නිෂ්පාදන නැරඹීමේ අවස්ථාව අපට නැහැ. තවමත් අපි ලංකාව ඇතුළෙ නිෂ්පාදනය කරන්නේ දෙබස් මූලික කොට ගත් නාට්‍යයයි. පිටපත් ඉක්මවා යන උසස් නිෂ්පාදනයක් කිරීමේ ශක්‍යතාව අපට නැහැ. දැවැන්ත, රංගයට මූලිකත්වය දෙන නිෂ්පාදන තාක්ෂණය අපට හදාරන්න ඉඩ ප්‍රස්තා නැහැ. ඒ නිසා මගේ නාට්‍ය රැගෙන විදෙස් නාට්‍ය උළෙලවලට යෑමට මා අසීමිතව උත්සාහ දරනවා. පසුගිය වසරේ මා කත්මන්ඩු නාට්‍ය උළෙලට සහභාගි වූයේත් විශාල අපහසුතා මධ්‍යයෙහියි. අපට මුල්‍යමය පහසුකම් නැහැ. අපට පිස්සු කියලා සමහරු හිතනවා ඇති. ඊජිප්තු සංචාරයට නම් අපට රජයේ සහාය ලැබුණා. කත්මන්ඩු සංචාරයේදී අපට රජයේ ආධාර ලැබුණේ අර්ධ වශයෙන්. ඉතිරි මුදල් අපි අමාරුවෙන් හොයා ගත්තා. කත්මන්ඩු උළෙලට බොහෝ රටවල නාට්‍ය ඉදිරිපත් වුණා.

අපේ නාට්‍ය පෙන්වනවාට වැඩිය ඒ රටවල නාට්‍ය 12 ක් නැරඹීමට අවස්ථාව ලැබීම අපට ඉතා වැදගත්. දෙබස්වලට වඩා රංග කාර්යයට (Theatre) මූලිකත්වය දීම ඒ බොහෝ නාට්‍යවල දැකගන්න ලැබුණා. ලංකාවේ නාට්‍යවල සංවාදයට මුල් තැන දෙන විට විදෙස් නාට්‍ය රංග කාර්යයට මුල් තැන දෙනවා. ඔවුන්ට තිබෙන මුල්‍ය ශක්තිය එහිලා බලපානවා.

එහිදී මා ස්පාඤ්ඤ නාට්‍යයක් (Andre and Dorine) නැරඹුවා. එහි සම්පූර්ණයෙන් නළු නිළියන් වෙස්මුහුණු භාවිත කළා. කිසිම දෙබසක් නැහැ. එනම් සාත්වික අභිනය හෝ වාචික අභිනය මෙහි දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ආංගික අභිනයෙන් අප තුළ හැඟීම් දනවනවා. භරත මුනිවරයාගේ සතර අභිනය සංකල්පය ඉන් බිඳ දමනවා. ලෝකයේ හැම තැනම නාට්‍ය ක්ෂේත්‍රයේ අය සිටින්නේ ආර්ථික අපහසුතා මධ්‍යයෙහියි. ඒවාහි නාට්‍ය ශාලා දෙස බැලුවාම අපේ නාට්‍ය ශාලා හොඳයි කියලා හිතෙනවා. නමුත් ඔවුන් ඉතා හොඳ අන්තර්ජාතික නාට්‍ය උළෙලක් සංවිධානය කළා.”

මෙරට සංස්කෘතික අමාත්‍යාංශයෙන් හෝ ටවර් හෝල් රඟහල පදනමෙන් අන්තර්ජාතික නාට්‍ය උළෙලක් සංවිධානය කිරීමට උත්සුක නොවීම කනගාටුවක්.

”ලංකාවේ තියෙන නාට්‍ය ශාලා පහසුකම් සමඟ අපට හොඳ අන්තර්ජාතික නාට්‍ය උළෙලක් සංවිධානය කරන්න පුළුවන්. අපේ නාට්‍ය කලාව එමඟින් පෝෂණය කරන්න පුළුවන් වුණත් වගකිවයුත්තන්ගේ අවධානය ඊට යොමු නොවීම කනගාටුවක්. අපි කරන්නේ වාර්ෂිකව නාට්‍ය උළෙලක් පවත්වලා සම්මාන ටික බෙදා දීම පමණයි. විදෙස් නාට්‍ය උළෙලවල ඉහළ තාක්ෂණය යොදා ගත් නාට්‍ය වගේම ඉතා අඩු පහසුකම් යටතේ කෙරුණු ඉතා හොඳ නාට්‍යයත් තිබුණා. මේ හැම නාට්‍යයක්ම පර්යේෂණාත්මක වීම විශේෂයක්. සැමුවෙල් බෙකට්ගේ “Act without words” නමැති නාට්‍යය එහිදී වැදගත්. මෙය ආජෙන්ටිනා, චිලී, ඉන්දියාව යන රටවල් එකතුවෙලා කළ නිෂ්පාදනයක්.

මෙහි සංවාද නැහැ. රංග කාර්යය ප්‍රමුඛයි. “Harold clurman’s life of passion” නමැති ඇමරිකානු නාට්‍යයේ එක නළුවයි රඟපාන්නේ. මුළු නාට්‍යයේම ඔහු තමා ලැබූ අත්දැකීම් ප්‍රේක්ෂකයාට කියනවා. මෙය විශාල පරිමාණයේ නිෂ්පාදනයක් නොවෙයි. නමුත් ඉතා සාර්ථකයි. බොහෝ රටවල මෙවැනි හොඳ නාට්‍ය නිෂ්පාදන තිබුණා. “The trial of wantong” යනු තායිලන්ත නාට්‍යයක්. මෙය ඉතා නිදහස් ශෛලියේ නාට්‍යයක්. වාද්‍ය වෘන්දයක් සිටිනවා. හිටි ගමන් නළු නිළියෝ මේ වාද්‍ය වෘන්දයෙන් ප්‍රශ්න අහනවා.

ප්‍රේක්ෂකාගාරයට කාඩ් දීලා තියෙනවා. සමහර ප්‍රශ්නවලට අපි පිළිතුරු දෙන්න ඕනෑ. සමහර නළුවො ප්‍රේක්ෂකාගාරයෙන් තෝරා ගන්නවා. වෙන රටක කෙනෙක් එවලෙ හඳුනාගෙන වාද්‍ය වෘන්දයට ගන්නවා. “ඔයා මොකටද ආවේ. ගිහින් ඉඳගන්න. මේක අපේ රටේ නාට්‍යයක්” යැයි කියනවා. මේ වගේ හාස්‍යෝත්පාදක සිදුවීම් අතර මැද සිදුවෙනවා. අපි වේදිකාව දැවැන්ත කාර්යයක් කර ගෙන තියෙනවා. එහි හැසිරෙන්නේ ඉතා අපහසුවෙන්. නමුත් ඔවුන් මේ සම්මත විශාල ආත්ම තෘප්තියකින් නිදහසේ බිඳ දමනවා.”

ප්‍රොසීනියම් වේදිකාවට වඩා වට රවුම් වේදිකාව භාවිතයට ඔවුන්ගේ නැඹුරුවක් තියෙනවද?

”මේ නාට්‍ය උළෙලේදී නම් ඔවුන් වඩාත් භාවිත කළේ ප්‍රොසීනියම් වේදිකාවයි. නමුත් බොහෝදෙනා නාට්‍ය නැරඹුවේ බිම ඉඳගෙනයි. ඊජිප්තු උළෙලේදී විවිධ වේදිකා වර්ග භාවිත කර තිබුණා. දැන් ලංකාවේද තිබෙන ’BLACK BOX THEATRE’ නාට්‍ය කිහිපයක්ම මා එහිදී නැරඹුවා. ප්‍රකට නාට්‍යවලට නව අර්ථකථන දෙන නාට්‍යයත් ඒ අතර තිබුණා. ගාර්ෂියා ලෝකාගේ “යෙර්මා” එක් උදාහරණයක්.”