2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday, 1 February 2010

මුද්‍රා නාට්‍ය කලාවට එක්‌වන අලූත් පරපුරට ධෛර්යය ලබා දෙනවා - මහාචාර්ය මුදියන්සේ දිසානායක

සංවාද සටහන : අජිත් අලහකෝන්
ජාතික නර්තන මුද්‍රා නාට්‍ය හා රූකඩ රූපණ අනුමණ්‌ඩලයේ සභාපති
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක

රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළෙල ඊයේ (9 දා) අවසන් විය. මෙහි සම්මාන ප්‍රදානෝත්සවය මෙම 15 දා පස්‌වරුවේ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වේ.

මෙවර රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළෙල පවත්වන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතාගේ මෙහෙයවීම යටතේය. ජාතික නර්තන මුද්‍රා නාට්‍ය හා රූකඩ රූපණ අනුමණ්‌ඩලයේ සභාපතිවරයා ඔහුය. මේ තනතුරට මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් පත්වූයේ මීට මාස දෙකකට පමණ පෙරාතුවය.

1973 වසරේදී රංජනා තංගරාජා නමැති ප්‍රකට චිත්‍රපට නිළිය හා භරත නැටුම් ශිල්පිනිය ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ සිනමාකරු ටී. අර්ජුන්ගේ මව නිර්මාණය "කළ නෘත්‍ය රංජත" මුද්‍රා නාට්‍යයේ රඟමින් මුදියන්සේ දිසානායකයන් ප්‍රසිද්ධ වේදිකාවට ආවේය.

නර්තන විෂය පිළිබඳ ග්‍රන්ථ තිස්‌හයක්‌ද රචනා කර ඇති මහාචාර්ය මුදියන්සේ දිසානායක උපත ලැබුවේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ වාරියපොල ඡන්ද කොට්‌ඨාසයේ රන්දෙනිය නමැති ග්‍රාමයේය. පිරිමි දරුවන් සහ ගැහැනු දරුවන් අට දෙනකුගෙන් යුත් පවුලක හයවැනියා වූ මුදියන්සේ දිසානායක පනාදරගම රජයේ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනයත් ඊතණවත්ත මධ්‍ය මහා විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනයත් ලැබීය.

හේ කුවණ්‌ණා, සරස, ධීවර, ආවර්ජනා, සිහිනය, සති, සොල්දාදුවෝ, ස්‌නේහය ඇතුළු මුද්‍රා නාට්‍ය දහයක්‌ නිර්මාණය කළේය. වෘත්තීය මට්‌ටමින් නර්තන ප්‍රසංග විසිපහක්‌ පමණ වේදිකාවට තිළිණ කළ මුදියන්සේ දිසානායක මහාචාර්යවරයා ටෙලි නාට්‍ය පහකද නර්තන නිර්මාණය කළේය. වේදිකා නාට්‍ය තුනක රංග වින්‍යාසය කළ ඔහු ශාස්‌ත්‍රීය ලිපි දෙසීයකට අධික සංඛ්‍යාවක්‌ ප්‍රසිද්ධ ප්‍රකාශන ඔස්‌සේ ඉදිරිපත් කර තිබේ.

පුද්ගලයකුට විශ්ව විද්‍යාලයකින් ලබාගත හැකි උපාධි තුනම එනම්
UFA, MA සහ PHD උපාධි ත්‍රිත්වය ලබාගත් මුදියන්සේ දිසානායකයන් උඩරට නර්තන ක්‍ෂේත්‍රයේ ප්‍රථම හා එකම මහාචාර්යවරයාද වේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂවරයා වශයෙන් වර්තමානයේ කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක සමග මුද්‍රා නාට්‍ය ඇතුළු නර්තන කලාව පිළිබඳ කළ සංවාදයක සටහන් මතු පෙළ ගස්‌වමු.

අපේ මුද්‍රා නාට්‍ය කලාවේ කලදවස කෙබඳුද?

ඇත්තටම මුද්‍රානාට්‍ය කලාවේ අද කල දසාව යහපත්. හොඳ ප්‍රතිඵල ලැබෙන මොහොතක්‌ මේ වෙලාව. අද මුද්‍රා නාට්‍ය කලාවේ ස්‌වභාවය කියද්දී ඉතිහාසයට ගමන් කළ යුතු වෙනවා. හැට හැත්තෑව දශකය ශ්‍රී ලංකාවේ මුද්‍රානාට්‍ය කලාවේ ස්‌වර්ණමය අවධිය 1930-50 දක්‌වා වසර විස්‌සක්‌ විතර ලංකාවේ මුද්‍රා නාට්‍ය තිබුණේ ඉන්දියානු
Dance Drma Structure එක තුළයි. 1950 දී ප්‍රේමකුමාර එපිටවලගේ "සැළලිහිණි" මුද්‍රා නාටකය ඉතා හොඳ කඩඉම් ලකුණක්‌. එය තමයි ලංකාවේ මුද්‍රා නාට්‍ය කලාවේ දේශජ ලක්‌ෂණය නැතිනම් සිංහල ලකුණ. ඉන්පසු සුවිශේෂී අවස්‌ථාව වන්නේ 1960 දී අපේ රටේ මුද්‍රානාට්‍ය විෂය පථයේ මුදුන්මල්කඩ එහෙම නැතිනම් අත්පොත වන ආචාර්ය චිත්‍රසේනයන් අතින් "කරදිය" මුද්‍රා නාට්‍යය බිහිවීම. ඒ ගමන්ම 1961 දී ලංකාවේ පළමුවරට රාජ්‍ය මුද්‍රා නාට්‍ය උළෙලක්‌ ලුම්බිණි රඟහලෙන් ඇරඹුණා. මේ නිසා එවක තිබූ මුද්‍රානාට්‍ය ක්‍ෂේත්‍රය අනෙක්‌ කලා ක්‍ෂේත්‍ර අභිබවා නැගී හිටියා. මේ වෙද්දී ශ්‍රී ලංකාවේ වේදිකා නාට්‍ය කලාව දියුණුවී තිබුණේ නැහැ. හැට හැත්තෑව දශකය අතරේ චිත්‍රසේන, පණීභාරත, වසන්ත කුමාර, ශේෂා පලිහක්‌කාර, ඉඹුල්ගොඩ බැසිල් මිහිරිපැන්න, ප්‍රේමකුමාර එපිටවල, සෝමපාල මුදුන්කොත්ගේ වැනි ප්‍රවීණයන් විවිධ මුද්‍රානාට්‍ය කරමින් මුද්‍රා නාට්‍ය කලාවේ දියුණුවට කටයුතු කළා. ඒ නිසා තමයි හැට හැත්තෑව දශකය මුද්‍රා නාට්‍ය වංශ කතාවේ ස්‌වර්ණමය අවධිය ලෙස සැලකෙන්නේ.

ඒත් හැත්තෑව දශකයෙන් පසු මුද්‍රා නාට්‍ය කලාවේ අවගමනයක්‌ ඇති වූවා?

ඔව්.... මුද්‍රා නාට්‍ය කලාව හැත්තෑව දශකයෙන් පසුව අවපාතය කරා ගමන් කළා. හිටපු ප්‍රවීණයෝ වයස්‌ගත වුණා. ප්‍රායෝගිකව නිර්මාණ කිරීමෙන් ඈත් වුණා. ඊළඟ පරපුර නිර්මාණකරණයට යොමු වුණේ නෑ. එනිසා ඒ කාලයේ පොඩි අවගමනයක්‌ ඇති වුණා. අසූවෙන් පස්‌සෙ යළිත් ටික ටික මුද්‍රා නාට්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනය පටන් ගත්තා. කුලසිරි බුදවත්ත, නන්දන බාලසූරිය, ආරියරත්න කලුආරච්චි, රවිබන්දු විද්‍යාපති, චන්න විඡේවර්ධන, පිටිගල ජයසේන සහ මමත් මේ යුගයට අයිති වුණා. අපි සියල්ලෝ යළි මේ ක්‍ෂේත්‍රය ප්‍රවර්ධනය සඳහා නිර්මාණය කළා. එතෙක්‌ පැවැති මුද්‍රා නාට්‍ය ආකෘතිය වෙනස්‌ කරමින් ඇතැම් බටහිර ආකෘතින්, පෙරදිග ඩ්‍රාමා ආකෘතීන්වල යම් යම් දේ ආදර්ශයට ගනිමින්, අත්හදා බැලීම් කරමින් මුද්‍රා නාට්‍ය කරන්න පටන් ගත්තා. ඊට පස්‌සේ තමයි ඊළඟ ගැටලුව ආවේ. තෙවැනි පරපුරේ ආරම්භයේදී අනූව දශකයෙන් පසුව වසර දහයක්‌ විතර යනතුරු නූතන පරපුර මුද්‍රා නාට්‍ය මාධ්‍යය හරියාකාරව අවබෝධ කරගෙන හිටියාද යන්න ප්‍රශ්නයක්‌. මේ නූතන පරපුරේ නිර්මාණවල ඒ ගතිය දැක්‌කා. නමුත් සතුටක්‌ තියෙනවා. මේ අය විවිධ මුද්‍රා නාට්‍ය කරන්න ලොකු උත්සාහයක්‌ ගත්තා. අද වෙද්දී රාජ්‍ය මුද්‍රා නාට්‍ය අනුමණ්‌ඩලයේ සභාපතිවරයා ලෙසත්, සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මුද්‍රා නාට්‍ය උගන්වන අංශාධිපති ලෙසත් මම කටයුතු කරනවා. අද පරපුර මුද්‍රා නාට්‍ය අධ්‍යයනය කිරීම නිසා අලුත් පරපුරක්‌ ශිල්පීන් පිරිසක්‌ බිහිවෙනවා. එනිසා අතීතයට සාපේක්‌ෂව අපේ මුද්‍රා නාට්‍ය කලාවේ ඉදිරිය දෙස සුබවාදීව බලතෑකි. හෙට එතරම් කළුවර නැහැ.

සම්මාන උළෙලක්‌ සඳහා පමණක්‌ මුද්‍රා නාට්‍යයක්‌ නිර්මාණය කිරීමෙන් මේ නාට්‍යකලාව ඉදිරියට ගෙනයා හැකිද?

ඇත්තටම සම්මාන උළෙල බලාගෙන නාට්‍ය කිරීමෙන් මුද්‍රා නාට්‍ය ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධියක්‌ දකින්න බැහැ. සම්මාන දෙස බලා චිත්‍රපට හැදීම, පොත පත ලිවීම වැනි නිර්මාණ කටයුතු කිරීම වරදක්‌. තමන් නිරත ක්‍ෂේත්‍රයට තමන්ගේ දායකත්වය හැකි උපරිම ශක්‌තියෙන් ලබාදිය යුතුයි. නිර්මාණයක්‌ කළ පසු එය සම්මාන සඳහා නිර්දේශ වේවි. ඒ මිස සම්මාන ලබන්න හෝ උළෙලකට නිර්මාණ කිරීම ඵලදායි කියලා මම හිතන්නේ නෑ. අපේ ආත්ම ප්‍රකාශනය ඉදිරිපත් කරන්න වේදිකාවක්‌ අවශ්‍ය වෙනවා.

සම්මාන උළෙලකට පසුව ඒ සම්මාන දිනූ මුද්‍රා නාට්‍ය ආගිය අතක්‌ නැතිවෙනවා. මුද්‍රා නාට්‍ය අනුමණ්‌ඩලයේ සභාපතිවරයා ඔබයි. මේ හොඳ මුද්‍රා නාට්‍ය වැඩි ප්‍රේaක්‌ෂක පිරිසක්‌ වෙත ගෙන යැමට වැඩ පිළිවෙළක්‌ නැත්තේ ඇයි?

ඉතා හොඳයි ඔබ ඔය ප්‍රශ්නය අහපු එක. මම ජාතික නර්තන මුද්‍රා නාට්‍ය හා රූකඩ රූපණ අනුමණ්‌ඩලයේ සභාපතිවරයා වෙලා මාස දෙකයි. අප මේ වන විට ගෙන ඇති තීන්දුවක්‌ පිළිබඳව ඔබ නිවරදි ප්‍රශ්නයක්‌ ඇහුවා. මෙවර හොඳම මුද්‍රා නාට්‍ය ලෙස 1, 2, සහ 3 ස්‌ථාන ලබා ගන්නා මුද්‍රා නාට්‍ය නුවර, කුරුණෑගල, ගාල්ල, මාතර වැනි ප්‍රධාන නගරවල, පාසල් දරුවන් ඉලක්‌ක කර ගනිමින් සහන මිලකට සංස්‌කෘතික දෙපාර්තමේන්තුවේද අනුග්‍රහය මත ජනතාව වෙත ගෙන යැමේ වැඩපිළිවෙළක්‌ සකස්‌ කර තිබෙනවා. මෙවර උළෙලේ ජයග්‍රාහී නාට්‍ය ඊළඟ උළෙල වෙන විට අමතක නොවන තත්ත්වයක්‌ ඇතිකරනවා. හොඳම නළුවා, නිළිය, වේෂ නිරූපන ශිල්පිය, සංගීතඥයා ඇතුළු හොඳම ශිල්පීන් තෝරාගෙන ඔවුන්ට කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් හඳුනා ගැනීමටත් විෂය ක්‍ෂේත්‍රයට දායක වීමටත් වැඩපිළිවෙළක්‌ සකස්‌කර තිබෙනවා. මේ සඳහා මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවල සහායත් අප අපේක්‍ෂා කරනවා.

මේ වන විට උළෙලේ නාට්‍ය ප්‍රදර්ශනය කර අවසන්. මෙවර ඉදිරිපත් වූ මුද්‍රා නාට්‍යවල තත්ත්වය පිළිබඳ සෑහීමකට පත්විය හැකිද?

ඔව්. මෙවර සමස්‌ත උළෙලට නාට්‍ය 14 ක්‌ සූදානම් කළා. වැඩිහිටි කෙටි හා වැඩිහිටි දීර්ඝ මුද්‍රා නාට්‍ය, ළමා කෙටි හා ළමා දීර්ග මුද්‍රා නාට්‍ය ලෙස ඉසව් හතරක්‌ යටතේ මෙවර තරග සූදානම් කළා. සමස්‌තයක්‌ ලෙස බලද්දී ඉදිරිපත් වූ නාට්‍යවල ගුණාත්මක බව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්. මම එහෙම කියන්නේ මේ සඳහා එක්‌වූ විනිසුරුවරු මේ විෂයට ඉතා ප්‍රවීණයෝ. ඒ අය අප සමග කතා කළ ආකාරය බැලුවාම මේ ඉදිරිපත්වූ නාට්‍යවල ගුණය ගැන සහතික වන්න පුළුවන්.

මුද්‍රා නාට්‍ය කලාවේ අනාගත ප්‍රවර්ධනය සඳහා ඔබගේ සැලසුම් මොනවාද?

මුද්‍රා නාට්‍ය පිළිබඳ නිර්මාණකරුවන් දැනුවත් කරන්න උත්සාහ කරනවා. මේ යුගයේ මුද්‍රා නාට්‍ය ශිල්පීන් මුද්‍රා නාට්‍ය මාධ්‍ය හඳුනන්නේ නැහැ. මේ මාධ්‍ය නිසි ලෙස හඳුනාගත යුතුයි. එම නිසා මුද්‍රා නාට්‍ය මාධ්‍යය හඳුනාදීම, පිටපත් රචනය, රංග වින්‍යාසය හා සංගීත නිර්මාණය ගැන ප්‍රායෝගික වැඩමුළු මගින් තෝරාගත් පිරිසකට ප්‍රායෝගික පුහුණුවක්‌ ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඊළඟ රාජ්‍ය උළෙල පවත්වද්දී අදට වඩා ගුණාත්මක නාට්‍ය සහ නාට්‍යකරුවන් ඉදිරිපත් වනු ඇත යන ප්‍රාර්ථනය ඇතිව මේ දිගු කාලන වැඩපිළිවෙළ අරඹනවා.

අද අපේ සකලවිධ කලාවන් නවීන තාක්‌ෂණයට හසුවෙලා. නැටුම් කලාවත් එහෙමයි. මේ වෙනස්‌වීම ඔබ දකින්නේ කොහොමද?

නැටුම් කලාව වගේම කුමන කලාවක්‌ වුණත් එක තැන පල්විය යුතු නැහැ. පවත්නා සමාජ වාතාවරණය අනුව වෙනස්‌ විය යුතුයි. ඕනෑම කලාවක්‌ පවත්නා සමාජ අවශ්‍යතා පූරණය කරන්න අනුගත විය යුතුයි. ප්‍රශ්නය තියෙන්නේ නර්තන කලාව කෙටි කාලයක්‌ තුළ ගුණාත්මක බවින් අඩුම මාධ්‍යයන් ලෙස වාණිජකරණය වුණා. විද්යුත් මාධ්‍යයට අවශ්‍ය නර්තනය ඉදිරිපත් කිරීමට සිද්ධ වුණා. මේ විද්යුත් මාධ්‍යවලට අවශ්‍යදේ වුණා. එහි මළගම ලෙස තමයි "නර්තන තරු" වැනි විවිධ නම් ඔස්‌සේ නර්තන කලාව, පිරිහීමේ කූට ප්‍රාප්තිය අපි දකින්නේ. ඉන්දියාව ඇරුනාම දකුණු ආසියාවේ ප්‍රබලතම නර්තන වපසරිය තියෙන්නේ අපට. ඒත්a අද පිටරටවලින් අවඥවෙන් බැහැර කරන තරමටම අපේ නැටුම පිරිහිලා.

අද වැඩියෙන්ම ඉස්‌මතුවන්නේ පසුබිම් ගීයකට පාද තබා නටන ශිල්පීන්. මෙහෙම ගියොත් අපේ සම්ප්‍රාදායික නැටුමට, අපේ බෙරයට මොකද වෙන්නේ......?

ඔබ අහපු ප්‍රශ්නය නිවැරදියි. අද වන විට අපේ රටේ සමහරු හිතා ඉන්නවා ලංකාවේ නැටුම කියන්නේ සරල ගීයකට විකාරයක්‌ නැටීම කියලා. ගීතයේ අර්ථ දැක්‌වීමක්‌ සිදු වන්නෙත් නැහැ. ගීතයේ රචකයාට, සංගීතඥයාට සහ ගායකයාට අසාධාරණ කරමින් ගීතයේ රිද්මය පමණක්‌ පාවිච්චි කරමින් නාරි දේහය පෙන්වීමයි අද කෙරෙන්නේ. විවෘත ආර්ථිකය සමග නර්තන කලාව වැරදි විදියට පාවිච්චි කරනවා. ශ්‍රී ලාංකික නර්තන කලාවේ මළගම ඇරඹෙqණ්‌ විවෘත ආර්ථිකය සමගයි. මෙහෙම ගියොත් බෙරය කිසිම කෙනෙක්‌ හඳුනන්නේ නැති වේවි. එනිසා මම ඔබට දැන් කියනවා. මේකට විකල්පයක්‌ ලෙස අපි ජාතික රූපවාහිනිය ඔස්‌සේ "රංගාභිෂේකය" නමින් දේශීය නර්තන තරගයක්‌ දීප ව්‍යාප්තව පවත්වනවා. ඉන් මේ සියලුම දුක්‌ඛ දෝමනස්‌සයන් අහෝසි කර නිවරදි නර්තනය හඳුන්වාදිය හැකිවෙනවා. එය මේ අවපාතයෙන් මිදීම සඳහායි.

අපේ ශාන්තිකර්මවලට සිද්ධවෙලා තියෙන්නෙත් මේ දෙයම නේද?

ඇත්ත.... දේශීය ශාන්තිකර්ම අගය කරනු ඒවා ගැන දන්නා, ඒවායෙන් යම් පිහිටක්‌ ලබාගත් හැකියෑයි විශ්වාස කරන පරපුරක්‌ නැතිව ගොස්‌ තිබෙනවා. රටේ ජනතාවගේ ඓතිහාසික හර පද්ධතිය සටහන්ව තිබෙන්නේ මේ ශාන්තිකර්මවලයි. අධිවේගී අවිවේකී ජීවනරටාව, තාක්‌ෂණික දියුණුව, ගොක්‌ අතු, පුවක්‌ පොල් මල්, කෙසෙල් ගස්‌ ඇතුළු වස්‌තූන් සොයාගැනීමේ දුර්වලතාත් තිබෙනවා. දේශීය සංස්‌කෘතියට අනන්‍යතාවට වඩා විජාතික සංස්‌කෘතීන් අගය කිරීමේ පරපුරක්‌ වැඩියෙන් සිටීම සහ විජාතික, පරාදීන මානසිකත්වය ඇති අධිරාජ්‍ය ගැති සංස්‌කෘතිය උසස්‌ යෑයි හුවා දක්‌වන පරපුරක්‌ තුළ මෙම ශාන්තිකර්ම අභාවයට යැම පුදුමයක්‌ නොවේ. ශාන්තිකර්මවල සංස්‌කෘතියේ වටිනාකම සහ ඒවා රැකගත යුත්තේ ඇයි කියන කරුණ අනාගත පරපුරට වැඩියෙන් අවබෝධ කරවිය යුතුයි. 1505 දී පෘතුග්‍රීසීන් ආක්‍රමණය කරනතුරු අපේ රටේ කිසිවෙක්‌ බටහිර ක්‍රමයට ඖෂධය ගත්තේ නැහැ. එතෙක්‌ දේශීය ආයුර්වේද හා යාගහෝම යන්ත්‍ර මන්ත්‍රවලින් සකල රෝග සුවකර ගත්තා. අවුරුදු දෙදහසක්‌ අත්දුටුවේ දේශීය වෙදකම හෙදකම, නක්‌ෂත්‍රය, බලිතොවිල්. එනිසා අපි යළි යළි පැරණි කෙම්ක්‍රම, බේත් හේත්, ශාන්තිකර්ම නිවැරදිව ජනතාවට හඳුන්වාදී ශාරීරික මානසික ආතතීන් දුරුකර ගන්න ඉඩ කඩ ලබාදිය යුතුයි.

ඔබේ ගුරුවරුන් කවුද.....?

මගේ මුල්ම ගුරුවරයා පසුගිය අප්‍රේල් මාසයේ වියෝ වුණා. ඔහු ටී. බී. තෙන්නකෝන් කුරුණෑගල මාස්‌පොත ගුරුතුමන්. ඉන්පසු ප්‍රායෝගික ආචාර්යවරුන් වුණේ ප්‍රවීණ නැටුම් හා මුද්‍රා නාට්‍ය ශිල්පී ඒ. ඉඹුල්ගොඩ ගුරුතුමා. ඊට අමතරව ආචාර්ය පණීභාරත, ශේෂා පලිහක්‌කාර, සිරිමතී රසාදරී, පද්මනී දහනායක, විමල් නයනානන්ද, වෛද්‍යවතී රාජපක්‌ෂ ඇතුළු ගුරුතුමන්ලා හා ගුරුතුමියන් මම සිහිපත් කරනවා. මටට සංගීත ඉගැන්වූයේ කේ. පී. ගුණසේන මහතා, ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේම ආචාර්යවරයෙක්‌. ඊට අමතරව මහාචාර්යවරුන් වන තිස්‌ස කාරියවසම්, ඡේ. බී. දිසානායක, නන්දසේන රත්නපාල, කේ. එන්. ඕ. ධර්මදාස, විමල් ජී. බලගල්ල, ඒ. ටී. සුරවීර යන මහත්වරුන් වගේම මහාචාර්ය ගතාරේ ධම්මපාල හිමියෝ මගේ පශ්චාත් උපාධි ආචාර්යවරු.

කාන්තාවන්ට හිස වෙස්‌ පැළඳවීම ගැන පණිභාරතයන් එදා දැඩි සේ විරෝධය පෑවා. ඒ විරුද්ධ වූවන් අතර ඉදිරියෙන්ම ඔබත් හිටියා?.

කාන්තාවන්ට වෙස්‌ බැඳීම ගැන මා තරම් මාධ්‍ය හරහා විරුද්ධ වූ කෙනෙක්‌ තව නැතිව ඇති. අද උදෙත් මම ජාතික රූපවාහිනියෙන් මේ ගැන කතා කළා. අප විසින් නොකළ යුත්තක්‌. සංස්‌කෘතියට සදාචාරයට පටහැනි කටයුත්තක්‌. කාන්තාවන්ට නොගැලපෙන ක්‍රියාදාමයක්‌. මෙය කළ අය අද ඒ බව අවබෝධ කරගෙන ඉන්නවා. කවුරු කළත් මේ කාන්තා වෙස්‌ බැඳීම අප පිළිකෙව් කරනවා. මේ ක්‍ෂේත්‍රයේ මීට වඩා කළ යුතු දේ තියෙනවා. අපි උඩුගම් බලා යායුතු නැහැ.

ඔබ මෑතකදී චිත්‍රපට නළුවෙක්‌ බවටත් පත් වුණා.....

මම මුළින්ම රඟපෑවේ ඩොනල්ඩ් කරුණාරත්න කැමරා කළ ඔයදමිaබා දෙ Fකදඇරි චිත්‍රපටයේ. නමුත් එය ලංකාවේ තිරගත කළේ නැහැ. ඉන් පසු තමයි පසුගියදා සරත් ධර්මසිරිගේ "සූවිසි විවරණ" චිත්‍රපටයෙන් සිංහල සිනමාවට මගේ ප්‍රවේශය සිදු වුණේ. ඒත් හුලවාලි ඇතුළු චිත්‍රපට කීපයකම තරුණ කාලේ මට ගීත දර්ශනවලදී නැටුවා. නමුත් පළමුවරට චරිතයක්‌ රඟපෑවේ සූවිසි විවරණ චිත්‍රපටයේ. ඇත්තටම මේ චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්‍ෂවරයා මම. සූවිසි විවරණ කියන්නේ බෞද්ධ සෙත්ශාන්ති කර්මයක්‌. මම හරිම සතුටින් මේ චිත්‍රපටයට දායක වුණේ.

ඒ වගේම ඔබ ගායකයෙක්‌.........?

ඔව්........ සරල ගීත සී ඩී පටයක්‌ ළඟදී නිකුත් වෙනවා. ජගත් වික්‍රමසිංහ සංගීතය අධ්‍යක්‍ෂණය කළා. ප්‍රේම් හේවාමාන්න රචනා කළ ගී පද තමයි මම ගායනා කළේ. වික්‌ටර් රත්නායක, ටී. එම්. ජයරත්න, ඉෂාක්‌ බෙග් ඇතුළු ප්‍රවීණ හා නූතන ශිල්පීන් විසිපස්‌ දෙනෙක්‌ විතර මෙහි ගී ගයනවා.

මේ වසරේදී එය සිදුවීම් දෙක මගේ ජීවිතයේ සුවිශේෂයි. ඒ වගේම මගේ නර්තන වේදිකා ප්‍රසංග ජීවිතයට මේ වසරේදී අවුරුදු තිස්‌හය පිරෙනවා. පසුගිය වසර තිස්‌හය පිළිබඳ සියයට සියයක්‌ සෑහීමකට පත්වන්නේ නැහැ. දැන් තමයි වැඩ කළ යුතු කාලය එළඹී තිබෙන්නේ. මට හැකි ලෙස වසර තිස්‌හයක්‌ රට වෙනුවෙන් සේවය කළා. තව කළ යුතු දේ බොහෝමයි.

ඡායාරූප - සජිත් ජයසේකර

No comments:

Post a Comment