2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Saturday 12 June 2010

නොමැරෙන එක ම කලා මාධ්‍යය නාට්‍ය කලාවයි - ධර්මජිත් පුනර්ජීව

Author: ටානියා මෝසස්
Date: 13/06/2010
Source: Silumina

ධර්මජිත් පුනර්ජීව රැඩිකල්වාදී නාට්‍ය වේදියෙක් වගේම ලේඛකයෙක්. ‘ලිහිණි’, ‘ගාන්ධි’ සහ ‘සිංහබාහු’ වැනි ස්වතන්ත්‍ර, අනුවර්තන සහ පරිවර්තන නාට්‍ය හරහා විටෙක ඔහු සිංහල ප්‍රේක්ෂකයාටත්, විටෙක ඉංග්‍රීසි ප්‍රේක්ෂකයාටත් ආමන්ත්‍රණය කරයි.

ඔහු නිර්මාණය කළ දාරියෝ ෆෝ ගේ ’Abducting Diana’ නවතම වේදිකා නාට්‍යයි. මේ කතා බහ ඒ වෙනුවෙනි.

ඔබගේ නව නිර්මාණයක් පසුගිය දිනවල එළිදැක්වුණා.

’දාරියෝ ෆෝ’ ගේ ’Abducting Diana’ නාට්‍යය වේදිකාගත වුණා.

මෙවැනි නාට්‍යයක් නිර්මාණය කිරීමට සිතුණේ ඇයි?

මෙහි තේමාව වුණේ ‘මාධ්‍යය’, මාධ්‍යය සතු වගකීම. මෙම කතා වස්තුව අපේ රටේ මාධ්‍ය කලාවට සම්බන්ධයි. රටක නිවැරැදි තොරතුරු හෙළි කිරීම මාධ්‍ය සතු වගකීමක්. ඔවුන් විනිවිද භාවයකින් කටයුතු කළ යුතුයි.

මේ පණිවුඩයයි මා ප්‍රේක්ෂකයාට දීමට බලාපොරොත්තු වුණේ. දාරියෝ ෆෝ තවමත් ජීවතුන් අතර සිටින කලාකරුවෙක්. ඉතින් මෙම නාට්‍ය නිර්මාණයේදී මට සැලකිලිමත් වීමට සිදුවුණා.

නාට්‍යයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

ඒ පිළිබඳ මගේ කනගාටුවක් තියෙන්නේ. මේ නාට්‍ය අසාර්ථකයි. එයට මූලික හේතුව වුණේ නාට්‍යයට සම්බන්ධ වුණු නළු නිළියන් ඔවුන්ගේ වගකීම හරියාකාරව තේරුම් ගෙන නෑ.

ඔවුන් මෙයට සාධාරණයක් ඉෂ්ට කළේ නෑ. මට අවශ්‍ය වුණේ මෙම නාට්‍යයෙන් ගැඹුරු අර්ථකථනයක් දීමටයි. එහෙත් නළු නිළියන් එය තේරුම්ගන්නේ නෑ. මම ඒ දේ ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරනවා.

‘Abducting Diana’ නැවත වේදිකාගත කිරීමට ඔබ බලාපොරොත්තු වෙනවාද?

ඔව්. වෙනත් රංගන ශිල්පීන් සම්බන්ධ කරගෙන ඉදිරියේදී වේදිකාගත කරනවා.

ඔබගේ අනික් නිර්මාණ පිළිබඳත් දැනගන්න කැමැතියි?

නිර්මාණ 15 පමණ මා අතින් බිහිවී තිබෙනවා. මේ අතරින් ‘සිංහබාහු’ වේදිකා නාට්‍යය පිළිබඳ කතා කළ යුතුමයි. ‘සිංහබාහු’ ඉංග්‍රීසි භාෂාවෙන් වේදිකා ගත කෙරුණා. යම් යම් බාධක ආවත් ඉතාමත් සාර්ථක ලෙස එය පේ‍්‍රක්ෂකයන් අතරට ගියා.

‘සිංහබාහු’ නිර්මාණය කිරීමේදී ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය මෙයට විරුද්ධව අධිකරණයට පවා ගියා. නමුත් එහිදී ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා. ගැටුම් නිරාකරණ කමිටුව මඟින් තවමත් මෙය විභාග වෙනවා.

’සිංහබාහු’ නාට්‍යයට ලැබුණු ප්‍රතිචාර කොහොමද?

අති සාර්ථකයි. සාර්ථකත්වය දරාගන්න බැරි තරමටම එය සාර්ථක වුණා. මා ප්‍රේක්ෂකයාගෙන් බලාපොරොත්තු වන්නේ මෙම නාට්‍ය නැරඹීමේදී අප තුළ තිබෙන සිංහල සංස්කෘතික බැමි ඉවත් කොටගෙන නරඹන ලෙසයි.

සිංහබාහු’ නාට්‍යයෙන්

’සිංහබාහු’ යනු අප රටේ බිහිවුණු සම්භාව්‍ය ගණයේ නාට්‍ය නිර්මාණයක්. මෙවැනි නිර්මාණයක් වෙනත් භාෂාවකින් කරළියට ගෙන ඒම අභියෝගයක් නේද?

ඔව්. ‘සිංහබාහු’ කියන්නේ සිංහලයාගේ ප්‍රභවය ගැන කියැවෙන නිර්මාණයන්. වසර 50 පුරා ලාංකේය ප්‍රේක්ෂකයන් අතර ප්‍රචලිතයි. එහෙත් මට අවශ්‍ය වුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිංහලයාගේ අනන්‍යතාව ජාත්‍යන්තරයට ගෙනයෑමයි. මෙහිදී මුල් කෘතියට හානියක් නොවන පරිදි එහි ගුණය රැකගෙන නව ආරයකින් නිර්මාණය කිරීම විශාල අභියෝගයක්.

මෙහිදී මට විශාල කැපකිරීමක් කිරීමට සිදු වුණා. නිදසුනක් ලෙස ‘සිංහබාහු’ නාට්‍යයේ ගීත 84 අඩංගු වෙනවා. මා ඒ සියල්ලම නව ස්වර මණ්ඩලවලට අනුව නිර්මාණය කළා. එය සරල දෙයක් නෙමෙයි.

ඔබ නාට්‍ය පොත් කිහිපයක්ම එළිදක්වා තිබෙනවා නේද?

ඔව්. මේ වනවිට පොත් තුනහතරක් මා අතින් ලියැවී තිබෙනවා. මේ කෘති සියල්ලම ලියැවී තිබෙන්නේ රංග කලාව මූලික කරගෙනයි. ලංකාවේ රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් මේ ක්‍ෂේත්‍රයේ නියැලී ඉන්නේ ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැතිවයි. ඉතින් ‘නළු කලා ශිල්ප’, ‘රූපණවේදය’ වැනි ග්‍රන්ථ තුළින් මට හැකි වී තිබෙනවා යම් තාක් දුරට හෝ ඔවුන්ට අවබෝධයක් ලබාදීමට.

එය මට සතුටක්. මේ අතරතුර දැන් මට අවස්ථාවක් ලැබී තිබෙනවා. අපේ ‘සිනමා සක්විති’ ගාමිණී ෆොන්සේකාගේ රඟපෑම පිළිබඳව දක්වපු අදහස් අළලා ග්‍රන්ථයක් එළිදැක්වීමට. මේ වන විට ගාමිණී ෆොන්සේකා පදනමෙන් එයට අවසරය ලැබී තිබෙනවා.

ලංකාවේ නාට්‍ය කලාව පිළිබඳ ඔබ දරන මතය දැනගන්නට කැමැතියි?

නොමැරෙන එකම සජීවී කලා මාධ්‍යය, ‘නාට්‍ය කලාව‘ ලෙසයි මම දකින්නේ. නාට්‍ය කලාවට අද බොහෝ විට තරුණ පරපුරේ ජවසම්පන්න දායකත්වයක් ලැබෙනවා. එහෙත් ඔවුන් එහි නියැලෙන්නේ මුදල් බලාපොරොත්තුවකින් නම් නෙමෙයි.

මෙහිදී මා විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තිබෙනවා. නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති පැට්‍රික් රත්නායක විසින් ‘ජාතික නාට්‍ය උළෙල’ සම්බන්ධයෙන් ව්‍යවස්ථාවක් මේ වන විට එළිදක්වා තිබෙනවා.

මෙම ව්‍යවස්ථාවට අනුව යම් නාට්‍යයක් හොඳම නාට්‍යයට නිර්දේශ වීමට නම් එය ස්වතන්ත්‍ර නිර්මාණයක් විය යුතුයි. ඔවුන්ගේ මෙම ප්‍රකාශය සුබවාදී නාට්‍ය කලාවට කෙරෙන අසාධාරණයක්.

එවැනි ස්වතන්ත්‍ර නිර්මාණ බිහි කළ නාට්‍ය ශිල්පීන් ලංකාවේ සිටින්නේ ඉතා අතළොස්සයි. කේ.බී.හේරත් ඒ අතර වෙනවා. මගේ හැඟීම නම් ඔහු වුණත් මෙම ප්‍රතිපත්තියට අකැමැති වේවි.

නාට්‍ය නිෂ්පාදනයත් පිටපතත් අතර දැවැන්ත පරතරයක් තිබෙනවා. අපි බලන්න ඕනේ නිර්මාණශීලී කුසලතාවයයි; පිටපත නොවේ. මා කාරුණිකව සභාපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ තව දුරටත් මේ වගන්තිය පිළිබඳ හිතා බලන ලෙසයි.

ඔබගේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳත් සඳහන් කළහොත්?

මෙහිදී නාට්‍ය හා රංග කලාව වෙනුවෙන් මම අදහසක් ඉදිරිපත් කරන්න කැමැතියි. රංග කලාව කියන්නේ ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතින ක්‍ෂේත්‍රයක් හැටියට මේ කලාවට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි යන්නයි.

ඔබ ඇයි සිනමාව වගේ ක්ෂේත්‍රයකට නොපිවිසෙන්නේ?

මම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. එහි නම ‘තිළිණි’. මෙය නිෂ්පාදනය කරන්නේ ‘ශිරාන් ටෙලිසිනේ’ අධිපති මාක් ප්‍රනාන්දු. මේ දිනවල එම චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන කටයුතුවල නිරතව සිටිනවා.

No comments:

Post a Comment