2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday, 25 October 2010

රාජිත නම් වූ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයා



Author: විචිත්‍ර වනිගනෙත්ති, ලක්‌මාල් බෝගහවත්ත
Date:05/08/2010
Source: Divaina

1994 දී "සක්‌වාදාවල" ගෙන එමින් වේදිකාව මත සිය අණසක පැතිවූ රාජිත දිසානායක රාජ්‍ය සම්මානලාභී නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකි. තමන්ට අනන්‍ය වූ ආකෘතියක්‌ මත නිර්මාණකරණයෙහි යෙදෙන රාජිත "හසයින්ටත් මං ආසයි" (96), "මට වෙඩි තියන්නැද්ද" (99) නාට්‍ය ඔස්‌සේ ප්‍රේක්‌ෂකයා නව මානයකට ගෙන ගියේය. ඔහුගේ "වීරයා මැරිලා"(2002), "සිහින හොරු අරං" (2005), "ආපහු හැරෙන්න බෑ" (2009) ජාතික නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර විය. එම නාට්‍ය ත්‍රිත්වය අද (05 දා) හෙට (06 දා) සහ අනින්දා (07 දා) ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේ දී වේදිකාගත කෙරෙනු ඇත. ඒ නිමිත්තෙන්, රාජිත පිළිබඳ ඔහුගේ නිර්මාණයන්ට දායක වූ ශිල්පීන් සමූහය සමඟ කළ සුසංවාදයක සටහන මෙසේ පෙළගැසේ.

දයාදේව එදිරිසිංහ

මම වේදිකාවට පිවිසුනේ සුගත්ගේ (සුගතපාල සිල්වා) නාමය හරහා ඉන්පසු ඒ අවදියේ අධ්‍යක්‍ෂවරු ගණනාවක්‌ යටතේ නාට්‍යවල රඟපෑමට සම්බන්ධ වුණා. ඔවුන් අධ්‍යක්‍ෂණ ක්‍රියාවලියේදී අනුගමනය කළ ක්‍රමවේදය රාජිතගේ පරම්පරාවේ අධ්‍යක්‍ෂවරුන්ට වඩා වෙනස්‌. එක්‌ එක්‌ අධ්‍යක්‍ෂවරයා තමන්ට ආවේණික ක්‍රමවේදයකටයි නළුවන් මෙහෙයවීම සිදු කරන්නේ.

රාජිතගේ පරම්පරාවේ අධ්‍යක්‍ෂවරුන් ගණනාවක්‌ සමගත් සම්බන්ධ වී වැඩකිරීමට මට අවස්‌ථාව ලැබුණා. ඒ අතරින් මා ඉතා ප්‍රිය කරන විශිෂ්ටම අධ්‍යක්‍ෂවරයා රාජිත බව කීම අතිශෝක්‌තියක්‌ නොවේ.

ඔහුගේ අධ්‍යක්‍ෂණ ක්‍රියාවලිය ටිකක්‌ වෙනස්‌. පිටපත කියවීම සඳහාම ඔහු විශාල කාලයක්‌ ගන්නවා. ඒ හරහා නළුවාට තමන්ගේ චරිතය පිළිබඳ අදහසක්‌ ලබා ගැනීමට හැකිවෙනවා. ඒ අවබෝධයත් සමග ඔහු චරිතය ගොඩනගා ගැනීමට නළු
වාට අවස්‌ථාව ලබා දෙනවා. එසේ නොමැතිව නළුවා රඟපාන්නට උත්සාහ කරන්නේ නැහැ. මේ නිසා ඔහු සමග වැඩකිරීමට ඉතා අසීරුයි වගේම ඉතා ආශ්වාදජනකයි. බොහෝ අධ්‍යක්‍ෂවරු තුළ මා නොදුටු දෙයක්‌ වන්නේ කණ්‌ඩායමක්‌ ලෙස සාමුහිකව වැඩකිරීමට ඇති උනන්දුව සහ හැකියාව. රාජිත අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස රංග ශිල්පීන් සමග පමණක්‌ නොවෙයි අවශේෂ ශිල්පීන් සමගද මනා සබඳතාවක්‌ ගොඩනගා ගනිමින් නාට්‍ය වේදිකාව මත ගොඩනැංවීම සාර්ථක කර ගැනීමට ඉතා ශූරයි.

ශ්‍යාම් ප්‍රනාන්දු

රාජිතගෙ නාට්‍ය කණ්
‌ඩායමට මා සම්බන්ධ වීම සිදුවුණේ මම නාට්‍ය වැඩමුළුවක චරිතයක්‌ නිරූපණය කරනවා දැකීමෙන් ඇතිවූ කතා බහකින්. ඒ පළමු හමුවීමේදීම මට දැණුනු දේ තමයි ඔහු චරිතය හිතේ තියා ගෙන වෙන දේවල් කතා කරල බලන බව. ඒ කියන දේවල්වලට ස්‌වභාවිකව දක්‌වන ප්‍රතිචාරත් සමග ඔහුට අවශ්‍ය චරිතය මා තුළින් මතු කරගත හැකිද යන්න ඔහු තීරණය කරනවා.

ඒ ආකාරයට මූලික තීරණයකට එළඹි පසු පිටපත කියවීමේ පුහුණු අවස්‌ථාවට පෙර විවිධ හමුවීම්වලදී ඔහු තවදුරටත් තහවුරු කර ගන්නවා ඒ චරිතය මට සුදුසුද කියා. පිටපත කියවීමේ අවස්‌ථාව වන විට ඔහුට දැඩි විශ්වාසයක්‌ තිබෙනවා මේ චරිතය අදාළ නළුවා හෝ නිළියට මතුකළ හැකි බව. ඒ නිසාම රාජිත යම් චරිතයකට නිළියක්‌ හෝ නළුවෙක්‌ තෝරාගත් පසු ඔහුට එය නිරූපණය කිරීමට නොහැකිව ප්‍රතික්‍ෂේප වුණේ වරක්‌ හෝ දෙවරක්‌ පමණයි.

හැමවිටම රාජිත අතින් ලියවෙන්නෙ ඔහු අත්දකින ජීවිතය ඔහුගේ වටාපිටාවෙ දකින්න ලැබෙන සමීපතමයන්ගේ ජීවිතය. ඒ නිසාම පිටපත කියවීමේ අවස්‌ථාවේදී බොහෝ විට අතර මැද නවත්වල ඔහුගේ ජීවන අද්දැකීමක්‌ අපට විස්‌තර කරනවා. රාජිත කොහොමටත් නාට්‍යය ගැන කතා කරනවාට වඩා වෙන දේවල් ගොඩක්‌ කතා කරනවා. පිටින් ඇවිත් කෙනෙක්‌ අසා සිටියොත් හිතාවි නිස්‌කාරනේ කාලය කා දමනවා කියා. කොටින්ම මටත් මුලින් එසේ සිතුණු වාර අනන්තයි. එහෙත් රාජිත සමග ටික කාලයක්‌ කටයුතු කරන විට අවබෝධ වෙනවා මේ සියලු කතා කාලය කා දැමීම් නාට්‍යයට අදාළ බව.

මම අසා ඇති පරිදි විදේශීය නාට්‍ය අධ්‍යක්‌ෂවරු හැම චරිතයකටම වගේ Cය්ර්ජඑeර ඊසඉකැ හදනවා. රාජිතත් ඒවගේම ඔහුගේ නාට්‍යයට අදාළ චරිත පිළිබඳ විශාල වපසරියක්‌ ගවේෂණය කරනවා ඇති. චරිතයක්‌ ගොඩනගාගැනීමට අපට සපයන වටපිටාවෙන් ඒ බව පැහැදිලි වෙනවා. ඒ නිසාමයි ඔහුගේ චරිත වේදිකාව මතදී ඉතා පැහැදිලි සමාජ දේශපාලන භූමිකාවක්‌ නිරූපණය කරන්නේ.

රංගන ශිල්පියෙක්‌ ලෙස රාජිතගෙ නාට්‍යවලට සම්බන්ධවීමෙන් මට ලැබෙන විශාලතම ප්‍රතිලාභය තමයි එහිදී අපි අද්දකින චරිත ඔස්‌සේ අපේ ජීවිතයන් යළි කියවා ගැනීමකට හැකිවීම. අපේ මිතුරන් ගැන, පෙම්වතිය ගැන ආයතන ප්‍රධානියා ගැන අවබෝධයක්‌ ඇතිකර ගන්න පෙර ඔහුගේ නාට්‍ය හේතු වෙනවා. රංගන ශිල්පියෙක්‌ ලෙස සැබෑ ජීවිතයේදී ඒ ඒ අවස්‌ථාවන් පසුකර යනවිට වෙනස්‌ මානයන්ගෙන් කියවීමකට ලක්‌කර ගැනීමට රාජිතගෙ වේදිකා අද්දැකීම ඉවහල් වෙනවා. ඒ ඒ අවස්‌ථාවන් වේදිකාවේ ප්‍රතිනිර්මාණය කර ගැනීම පිළිබඳ ද මට සැබෑ ජීවිතයෙන් පිටිවහලක්‌ ලැබෙනවා. මන්ද යත් රාජිත වේදිකාවට ගෙනෙන්නෙ අප අද්විඳින අප වටා ඇති මේ ජීවිතය නිසා.

කපිල පූගලආරච්චි සංගීත අධ්‍යක්‍ෂ

රාජිත දිසානායක නමැති වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයා මට හමුවන්නේ පාසල් සමයේදී. ඒ කාලේ සිටම නාට්‍ය කලාව තුළ වෙනස්‌ දෙයක්‌ කරන්න උත්සාහ කරපු පුද්ගලයෙක්‌ වශයෙනුයි මා රාජිත හඳුනාගත්තේ. ඔහු හුදු නාට්‍ය සංගීතය කියන එක පාවිච්චි කළේ නැහැ. ඔහු චරිත තුළින් මවන්නට උත්සාහ කරන අර්ථාන්විත ලක්‌ෂණත් සමග තවත් එක චරිතයක්‌ ලෙසයි සංගීතය උපයෝගී කරගන්නේ. සාම්ප්‍රදායික ලෙස නාට්‍යයේ පාළු තැන්වලදී පාළුව මකන්න නොවෙයි රාජිත සංගීතය භාවිත කළේ. ඔහුගේ "සක්‌වාදාවල" මා ප්‍රථමයෙන්ම සංගීය සැපයූ නාට්‍යයයි. එතැනදීත් ඔහු සංගීය යොදාගත්තේ චරිතයක්‌ විදිහටයි. එතැනින් පටන්ගෙන මම ඔහුගේ ආපහුq හැරෙන්න බෑ නාට්‍යයට හැර සියලුම නාට්‍යවල සංගීත අධ්‍යíණය කළා. රාජිත සංගීතයේ ඉතා සියුම් තැන් පවා බොහෝම හොඳින් ග්‍රහණයකර ගන්නා අධ්‍යක්‍ෂවරයෙක්‌.

ගිහාන් ප්‍රනාන්දු

නළුවෙක්‌ වුණාම අධ්‍යක්‍ෂණය නොවනවා නම් එය කරුමයක්‌. රාජිත කියන්නේ නළුවෙක්‌ වචනයේ පරිසමාප්තයෙන්ම අධ්‍යක්‍ෂණය කරන අධ්‍යක්‍ෂවරයෙක්‌. නමුත් ඒ අධ්‍යක්‍ෂණය වන අවධියේ සිදුවන සිත්රිදීම් බොහොමයි. එම රිදවීම් නැතිනම් හොඳ චරිතයක්‌ ගොඩනගා ගැනීමට නොහැකි බවයි මම හිතන්නේ. ඒක රාජිතගේ නාට්‍යවල මට කිරීමට හැකි වී තිබෙනවා.

නළුවෙක්‌ හෝ අධ්‍යක්‍ෂවරයෙක්‌ වුණාම වර්තමාන සමාජයේ තිබෙන සමාජ තත්ත්වය පිළිබඳ අවබෝධයක්‌ තිබීම අනිවාර්යයි. රාජිත මේ රටේ සමාජ රිද්මය හඳුනාගත් අධ්‍යක්‍ෂවරයෙක්‌. ඒ නිසා ඔහුගේ නිර්මාණ මේ සමාජය හා සම්බන්ධයි. එනිසා ඒවා මේ සමාජය වැළඳගන්නවා. රාජිතගේ නාට්‍යවලදී අප උත්සාහ කරන්නේ සංවේදී අභ්‍යන්තරයෙන් නිරූපණය වන රංග ශෛලියක්‌ මතු කර ගැනීමටයි. නිරන්තර පුහුණුව නිසා එය ලොකු අපහසුවක්‌ වෙන්නේ නැහැ.

ප්‍රියංකර රත්නායක

නාට්‍යක චරිතයක්‌ ගොඩනගා ගැනීමේදී නළුවා හා අධ්‍යක්‍ෂවරයා අතර අනොන්‍ය අවබෝධය ඉතාම වැදගත්. රාජිත දීර්ඝ කාලයක්‌ තිස්‌සේ එකම කණ්‌ඩායමක්‌ සමග වැඩ කිරීම හේතුවෙන් මේ අනොන්‍ය අවබෝධය ඉතා හොඳින් ගොඩනගා ගෙන තිබෙනවා. අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස මා දකින ඔහුගේ විශේෂ ලක්‍ෂණයන් මෙයයි.

ඔහු කිසිදු විටක නළුවා කිසියම් රාමුවක සිර කිරීමට උත්සාහ කරන්නෙ නැහැ. ඒ වෙනුවට පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ඔහු පිටපත කියවීමට විශාල කාලයක්‌ ගත කරනවා. ඒ වගේම ඒ අතර ශූර රංග ශිල්පීන් සමග විවිධ අවස්‌ථාවලදී පවත්වන සම්භාෂණයන් පවා ඔහු ඉතා සූක්‍ෂම ලෙස ඒ ඒ චරිත පිළිබඳ අවබෝධයක්‌ ඇති කිරීමට යොදාගන්නවා.

රාජිතගෙ නාට්‍යවලට බොහෝ විට පාදක වෙන්නේ සමකාලීනව අප අවට සැරිසරන චරිත. එහිදී ඒ තුළ මගේම චරිතයේ යම් යම් අංශුමාත්‍ර පවා මුණගැහෙනවා. මේ නිසා නළුවකුට ඉතා අභියෝගාත්මක කාර්යයක්‌ වෙනවා. තමාම නොවෙමින් තම ජීවිතයේ සහ තම සමීපතමයන්ගේ ජීවිත වේදිකාව මත නිරූපණය කිරීම. එහිදී ඒ ඒ චරිතයන්ට අනන්‍ය සියුම් චරිත ලක්‍ෂණ අත නොහරිමින් ඒවා නාට්‍යමය ප්‍රකාශයක්‌ ලෙස ඉදිරිපත් කිරීමේදී රාජිත අනුදත් රංගන ක්‍රමවේදයන් ඉතාම සුවශේෂයි. ඔහු ශූර අධ්‍යක්‍ෂවරයෙක්‌ වන්නේ නළුවා තුළින් චරිතය මතුකරගැනීමට ඔහු ලබාදෙන ඉඩකඩ සහ ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසන ආකාරය විසිනුයි.

රාජිත නාට්‍යක්‌a වේදිකාවක්‌ මතට ගෙන ඒම සේම එය පවත්වාගෙන යැම පිළිබඳ ද ඉතාම සවිඥනිකයි. එහිදී ඔහුට සම්මාන ඇගයීම් එතරම් වැදගත් වෙන්නෙ නෑ. හොඳම උදාහරණය "මට වෙඩි තියන්නේ නැද්ද" නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවන වටය නියෝජනය කිරීමට පවා අවස්‌ථාව නොලද නාට්‍යක්‌ වුවත් එදා සිට අද දක්‌වා එහි දර්ශනවාර පවත්වාගෙන යැමට ඔහු ගන්නා මහන්සිය. එහිදී රාජිත තම ප්‍රේක්‍ෂකාගාරය පිළිබඳ දැඩි විශ්වාසයකින් පසු වෙනවා.

ප්‍රසාද් සූරියආරච්චි

රාජිත නිරන්තරයෙන්ම නාට්‍ය පිටපතට මුල්තැන දෙන අධ්‍යක්‍ෂවරයෙක්‌. ඔහු නළුවන්ගෙන් නිරතුරුවම ඉල්ලා සිටින්නේ පිටපත කියවන ලෙසයි. පිටපත නිරතුරුව කියවීමෙන් එහි තිබෙන යටි අරුත පිළිබඳ අර්ථකථනයක්‌ සැපයීමට නළුවාට පහසුවෙනවා. රාජිත පිටපතින් නළුවාගෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ යම් මගපෙන්වීමක්‌ කරනවා. නළුවාගේත් අධ්‍යක්‍ෂවරයාගේත් නම්‍යශීලී සහයෝගය මතයි ඔහු අධ්‍යක්‍ෂණ කාර්යය සිදුකරන්නේ.

නළුවකු චරිතය රඟපාන්නට පෙර එය විඳින්න, ඉන් තෘප්තිමත් වන්න කියන එක රාජිත තම නළුවන්ට දෙන උපදේශයක්‌. එහෙම නොවුණොත් එය ප්‍රේක්‌ෂකයාට කෘත්‍රිම රංගනයක්‌ වෙනවා. නළුවා චරිතයට අවංක වුවොත් පමණයි සාර්ථක නිරූපණයක්‌ කළ හැක්‌කේ. ඒ නිසයි රාජිත නිරතුරුව කියන්නේ තමන් විඳින්නේ නැත්නම් ඒ චරිතය වෙනත් අයකුට විඳින්න බැරි බව.

රාජිත හැම නාට්‍ය දර්ශනයක්‌ම ප්‍රේක්‌ෂකාගාරයේ සිට නරඹනවා. එලෙස නරඹා ඇති අඩුපාඩු සාකච්ඡා කරනවා.

ධර්මප්‍රිය ඩයස්‌

රාජිතගේ පිටපත කියවූ සැනින් මේ චරිතය මොකක්‌ද කියන කාරණය මට එකවර අවබෝධ වෙන්නේ නෑ. මම ඔහුගෙ නාට්‍ය හතරකට චරිත නිරූපනය කර තිබෙනවා. මේ සෑම පිටපතක්‌ම ලැබුණු සැනින් මට මගේ චරිතය පිළිබඳ ලොකු අවබෝධයක්‌ ලැබුණෙ නෑ. පිටපත කියවීමෙන් පස්‌සේ පුහුණුවීම් ආරම්භ කළ විටත් මට මගේ චරිතය පිළිබඳ ලොකු අවබෝධයක්‌ ඇතිවුණේ නෑ. සුළු තේරුම් යැමකුයි ඇතිවුණේ. හොඳම උදාහරණය රාජිත අවසානයට කළ "ආපසු හැරෙන්න බෑ" නාට්‍යයේ දුර්වලම රංග ශිල්පියා වුණේ මම.

රාජිත අනුගමනය කරන ඔහුට ආවේණික නළුවන් හැසිරවීමේ ක්‍රමවේදයක්‌ තිබෙනවා. ඒ අනුව ටික දිනක්‌ පුහුණුවීම් කරගෙන යන විට ඔහු මගේ චරිතය පිළිබඳ පුංචි පුංචි ඉඟි දෙන්න පටන් ගන්නවා. ඔහු කවදාවත් චරිතයේ ෙටෝ කොපියක්‌ දෙන්නෙ නෑ. ඒ නිසාම නළුවටත් විශාල වැඩ කොටසක්‌ තිබෙනවා. මට මගේ චරිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය මාවත විවර කිරීම පමණයි ඔහු කරන්නෙ. එතැනදී මට අවබෝධ වෙන්න ගන්නවා මේ චරිතය ගොඩනගා ගැනීමට මටත් විශාල වැඩකොටසක්‌ තිබෙන බව. ඔහු එය ඉතා ශූර ලෙස අවබෝධ කර දෙනවා. රාජිත අනුගමනය කරන මේ අධ්‍යක්‍ෂණ ක්‍රියාවලිය නිසා පුහුණුවීම්වලින් පසුවත් මගේ චරිතය පිළිබඳ සිතන්න පෙළඹීමක්‌ ඇතිවෙනවා.

රාජිත තමන්ගෙ නාට්‍යය වේදිකාව මතට ගෙන ඒමෙන් පසු තමන්ගේ කාර්යය අවසානයි කියා සිතන අධ්‍යක්‍ෂවරයෙක්‌ නොවෙයි. ඔහු තමන්ගේ නාට්‍ය පවත්වාගෙන යැම පිළිබඳ විශාල උනන්දුවක්‌ දක්‌වන අධ්‍යක්‍ෂවරයෙක්‌. එහිදී ඔහු සමාජ දේශපාලන පසුබිම පිළිබඳ ඉතා සවිඥනිකයි. නාට්‍ය දර්ශන සංවිධානය කිරීමේ කටයුත්ත සිදු කරන්නේත් ඔහුයි. ඔහු තමන් නියෑළී සිටින කාර්යයට ඉතා අවනත පුද්ගලයෙක්‌. කිසිවිටකත් එහි බර සැහැල්ලු කරන්න කැමති නැහැ.


මලිත් පීරිස්‌ වේදිකා පරිපාලන කළමනාකරු

වේදිකා පරිපාලනය තාක්‌ෂණික ක්‍රියාවලියක්‌. එය තාක්‌ෂණික ක්‍රියාවලියක්‌ වුවත් කලාව හදාරපු නැති අයකුට එය කරන්න බැහැ. ලංකාව වගේ රටක වේදිකා පරිපාලනය පිළිබඳ කතා කිරීමම විහිළුවක්‌. රංගනය පිsළිබඳ හදාරන්නවත් තැනක්‌ නැති රටක වේදිකා පරිපාලනය නමැති විෂය හදාරන්න කිසිම අවස්‌ථාවක්‌ නැහැ. සාමාන්‍ය ජනතාව අතර වේදිකා පරිපාලක කියන්නෙ "සෙට්‌ අදින කොල්ලා". බොහෝ වේදිකා නාට්‍යවලදී වේදිකා පරිපාලනය කියන්නේ සමස්‌ත නාට්‍යයටම කරගහන එක. නැත්නම් නාට්‍යයේ බර වැඩ ටික කරන එක. එතනදී රාජිත කියන අධ්‍යක්‍ෂවරයාගේ තිබෙන වෙනස තමයි නාට්‍ය කණ්‌ඩායමේ සෑම කෙනකුට පැවරුණූ සුවිශේෂී වගකීම් කොටසක්‌ තිබීම. ඒ නිසා ඔහුගේ නාට්‍යවලදී වේදිකා පරිපාලක ශිල්පියාට පැවරුණු සුවිශේෂී වැඩකොටසක්‌ තිබෙනවා. අනිත් නාට්‍යවලට වඩා රාජිතගේ නාට්‍යවල තිබෙන වෙනස වන්නේ මේ බෙදා ගැනීම. නාට්‍ය කලාත්මක කෘතියක්‌ ලෙස භාවිත කරන ගමන්ම රාජිත උත්සාහ කරනවා එය විධිමත් කර්මාන්තයක්‌ බවට පත් කිරීමට. මේ හේතුව නිසා මේ නාට්‍ය කණ්‌ඩායමේ සාමූහික බවක්‌ තිබෙනවා.

ජයනි සේනානායක

චරිතයක්‌ ගොඩනැගීමේදී රාජිත තම නළුවන්ට ලබාදෙන ප්‍රධාන උපදෙස තමයි පුළුවන් තරම් පිටපත කියවන්න කියන එක. ඔහු විශ්වාස කරන දෙයක්‌ තමයි චරිතයක ස්‌වභාවය පිටපත කියවීමෙන් බොහෝදුරට ලබාගත හැකි බව. යම් නාට්‍යයක්‌ දර්ශන වාර සියයක්‌ පැවැත්වූවත් ඒ සියවැනි වතාවෙත් අපි පිටපත කියවනවා. ඒ මගින් චරිතය පිළිබඳ යම් අවබෝධයක්‌ අපට ලබාගත හැකි වෙනවා. ඒ මගින් තමයි ඔහු චරිතයක්‌ ගොඩනගන්න මූලික අඩිතාලම දමන්නේ.

ඒ වගේම ඔහු සිත ඇඳි චරිතය නළුවකුගෙන් ලබාගන්න විවිධ ක්‍රමවේද භාවිත කරනවා. ඔහු නළුවකුගෙන් බලාපොරොත්තු වන චරිතයේ මානය හුඟක්‌ එහා ගිය එකක්‌. කෙසේ හෝ දැඩි පුහුණුවකින් පසුව ඔහු එම අරමුණ ජයගන්නවා. ඒ නිසායි ඔහු බලාපොරොත්තුවන චරිත ප්‍රතිනිර්මාණය කරගත හැකි නළුනිළියන් පිරිසක්‌ පමණක්‌ නිරතුරුවම තෝරාගන්නේ. විශේෂයෙන් අධ්‍යක්‍ෂවරයාගේ දෘෂ්ඨිය හඳුනා නොගතහොත් එම අධ්‍යක්‍ෂවරයාට අවශ්‍ය දේ ලබාදීමට නළුවකුට හැකිවන්නේ නැහැ. රාජිත කියන අධ්‍යක්‍ෂවරයා හොඳින් හඳුනන නළු නිළි පිරිසක්‌ තමයි මේ කාර්යයට තෝරාගන්නේ. තම රචනාව පමණක්‌ම මතුකරන රංගනයකට ඔහු කැමැති නැහැ. ඔහුගේ රචනාව පසුකර නළුවා මතුවීමයි ඔහුගේ බලාපොරොත්තුව.

රාජිත ඉතා කැමැති ශෛලිය තමයි අතිශය සියුම් භාවමය රංගන ශෛලිය. එය ටිකක්‌ අපහසු කාර්යයක්‌. වේදිකාවක අතිශය සියුම් රංගනයන් ඉදිරිපත් කිරීමේදී අප තුළින් එය ගිලිහී යන්න පුළුවන්. ඒක හරියට අතුරේ යනවා වගේ වැඩක්‌. ඒත් අප අනිවාර්යෙයන්ම ඊට අනුගත විය යුතුයි. ඒ වගේම මෙම ස්‌වභාවික රංගන ශෛලිය ප්‍රේක්‌ෂකයන්ට අතිශයින් සමීපයි. මුදල් දීල ටිකට්‌ එකක්‌ අරගෙන ප්‍රේක්‌ෂකාගාරයේ වාඩිවෙන හැම ප්‍රේක්‌ෂකයකුටම හොඳ රංගනයක්‌ ලබාදීම නළුවකුගේ වගකීමක්‌. රාජිත ඒ වගකීම හා අවදානම මැනවින් වටහාගත් අධ්‍යක්‍ෂවරයෙක්‌.


රංග සමරකෝන් රංග ආලෝක පරිපාලක

අද වන විට රංග ආලෝකය විෂය යනු නිළිය, නළුවා හෝ රංග භාණ්‌ඩ ප්‍රේක්‌ෂකයාට පෙන්වීමට සැලැස්‌වීමට එහා ගිය දෙයක්‌. චරිතයක සියුම් අරුත් දැනවීමට, චරිතයක අභ්‍යන්තර මනෝභාවයන් විවරණය කිරීමට භාවිතා කරන දියුණු උපාංගයක්‌ බවට අද වේදිකා රංගාලෝකය පත්වෙලා තිබෙනවා.

බොහෝ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරු නාට්‍යයේ මූලික පුහුණුවීම් අවස්‌ථාවලදී රංග ආලෝක ශිල්පියා සම්බන්ධ කරගන්නේ නැහැ. ඔහුගේ දායකත්වය රංග ආලෝකය සහිත පුහුණුවීම් ආරම්භවීමත් සමග ලබාගැනීම ප්‍රමාණවත් යෑයි ඔවුන් සිතනවා. එහෙත් නාට්‍යයක පිටපත කියවීමේ අවස්‌ථාවේ සිට ලයිටින් රිහසල් දක්‌වා සියලු පුහුණුවීම් අවස්‌ථාවලදී රංග ආලෝක ශිල්පියා සම්බන්ධ කරගැනීම රාජිතගේ ක්‍රමවේදය. එහිදී මට නාට්‍ය පිළිබඳ එහි සියුම් අර්ථයන් පිළිබඳ අවබෝධයක්‌ මෙන්ම අධ්‍යක්‍ෂකගේ අභිප්‍රාය පිළිබඳ අවබෝධයක්‌ද ලැබෙනවා. එහිදීද රාජිත නාට්‍ය පුහුණුවීම් ආරම්භ කරන්න පෙර සිය ශිල්පීන් හා යෙදෙන සංවාදයන්වලදී පවා නාට්‍යයට අදාළ සහජ කාරණා නොවුනද බොහෝ දේ සාකච්ඡා කරනවා. ඒ තුළින් පවා සිදුවෙන්නෙ නාට්‍ය පිළිබඳ සියුම් අරුත් මතුවීමයි.

ඔහු කිසිවිටෙකත් මෙසේ සිදුවිය යුතුමයි කියන අණ පනත් පැනවීමක්‌ සිදුකරන්නෙ නැහැ.

එහෙත් ඔහුට අවශ්‍ය අදහස මතුකරගැනීමට අලෝකය කෙසේ හැසිරවිය යුතුද යන්න පිළිබඳ ඔහුට හොඳ ඉවක්‌ තිබෙනවා. ඒ ඉව අපට හඳුනා ගන්න ඉඩහරිමින් සාකච්ඡා කරමින් රංග ආලෝකය සකසා ගැනීම සිදු කරනවා. පළමුවෙන් රංග ආලෝකය සහිත පුහුණුවීම් අවසානයේදී නැවත බරසාර සාකච්ඡාවකට යනවා. එහිදී ඔහු එකඟ නැති තැන් සහ වඩා වැඩිදියුණු කළ යුතු තැන් පිළිබඳ ඔහුගේ අදහස්‌ දැක්‌වීම සිදු කරනවා.

මේ අදහස්‌ සමග නැවත ආලෝක සැකැස්‌මක්‌ සමග දෙවන තෙවන ආලෝකය සහිත පුහුණුවීම්වල නියෑළීමෙන් පසුවයි අවසාන ආලෝක සැකැස්‌ම නිර්මාණය කරගැනීම සිදුවෙන්නෙ. ඔහු හතරවන ලයිටින් රිහසල් එක නාට්‍ය දර්ශනවාරයක්‌ හා සමානවම සිදුකරනවා. එහිදී බොහෝ විට රංගනය, අලෝකකරණය, වේදිකා පරිපාලනය පිළිබඳ අවසාන සැකැස්‌ම නිර්මාණය කර ගැනීම සිදුකරනවා. බොහෝ අධ්‍යක්‍ෂවරු රංගාලෝකය නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලිය එතනින් අවසන් කරනවා. එහෙත් රාජිත දර්ශනවාරයක්‌ පාසා රංග ආලෝකය වැඩිදියුණු කරගැනීමට වෙහෙසෙනවා.

සම්පත් ජයවීර

රාජිතගෙ නාට්‍යය තුළ යටිපෙළ හුයක්‌ ලෙස දිවෙන ගැඹුරු දේශපාලනයක්‌ තිබෙනවා. සෑම චරිතයක්‌ම දේශපාලනිකයි. ඒ ආකාරයේ පිටපතක චරිතයක්‌ ගැඹුරින් හඳුනාගැනීමට ඒ පිටුපස ඇති දේශපාලනය හඳුනා ගැනීම වැදගත්.

චරිතයේ දේශපාලනය හඳුනා ගැනීමට ඔහු ඒ පිළිබඳ සෘජුව කිසිවක්‌ කියන්නෙ නැහැ. එහෙත් පූර්ව පුහුණුවීම් කාලය තුළ ඔහු සමකාලීන සමාජ දේශපාලන කාරණා පිළිබඳ දැඩි අවධානයකින් තමන්ගේ කණ්‌ඩායම සමඟ අදහස්‌ හුවමාරු කර ගන්නවා. මට මුල්කාලෙ මේ ක්‍රියාවලිය පිළිබඳ එතරම් අවබෝධයක්‌ තිබුනේ නැහැ. ඒත් පසුව තේරුම් ගියා මේ කටයුත්ත චරිතය ගොඩනඟා ගැනීමට ඉතා වැදගත් බව.

මා නිරූපණය කරන චරිතය (වීරයා මැරිලා) මීට කලින් වසර ගණනාවක්‌ වෙනත් ශිල්පියකු විසින් නිරූපණය කළ චරිතයක්‌. එහෙත් එහිදී ඔහු මගෙන් ඒ චරිතය ඒ ආකාරයෙන්ම ඉල්ලා සිටියේ නැහැ.

ඔහු මට ඒ චරිතය අවබෝධකරගෙන ගොඩනඟා ගැනීමට අවස්‌ථාව ලබා දුන්නා. q බලහත්කාරයෙන් චරිතයක්‌ ඔබ්බවන්නෙ නැහැ. නළුවාට අභ්‍යන්තරයෙන් සිය චරිතය අවබෝධකරගෙන ගොඩනැඟෙන්න ඉඩ දෙනවා. ඔහුගේ විශේෂත්වයත් එයම වෙන්නඇති.

අනුසුයා සුබසිංහ

රාජිත හැම විටම මැදිහත්වන අධ්‍යක්‌ෂවරයෙක්‌ නොවෙයි. ඔහු චරිතය ගොඩනගාගන්න රංගන ශිල්පියාට හෝ ශිල්පිණියට ලබාදිය හැකි පොහොර මොනවද කියලා හොඳ අවබෝධයක්‌ සහිතවයි කටයුතු කරන්නෙ. ඊට පස්‌සේ චරිතය වැඩෙනවා බලා සිට එය තමන්ට අවශ්‍ය ආකාරයට හැඩගස්‌වා ගැනීමට ඔහු ශූරයි.

වේදිකා නාට්‍යයක චරිතයක්‌ කර අවසන් කළ නොහැකි බවයි මගේ අදහස. පිටපතක තිබෙන්නේ පැතලි ඒකමානීය චරිත නොවෙයි. ඒවා ඉතා සංකීර්ණ බහුමානීය චරිත. එවන් චරිත තුළට අවබෝධයෙන් කි¹ බසිත්ම එහි විවිධ මානයන් පෙනෙන්න ගන්නවා. ඒ වගේමයි නාට්‍යයක දර්ශන වාර විශාල සංඛ්‍යාවක්‌ කරනවිට සමහර අවස්‌ථාවලදී මුල් කාලෙ සොයාගත් සියුම් දේවල් ගිලිහිලා යනවා. රාජිත මේ කාරණා දෙක පිළිබඳ ඉතා සවිඥනිකයි.

රොඩ්නි කොමඩිම කරලා හරි යනවද?

Author: Ravi Rathnavale
Date:14/10/2010
Source: Sarasaviya

රොඩ්නි ජීවිතයේ හොඳම රඟපෑම කළේ ගිය වසරේ සැප්තැම්බරයේය. ඒ සිය මවගේ දේහය නිවසේ තිබියදී, පේරාදෙණිය වළේ දී කළ තාරාවෝ ඉගිලෙති රංගනයයි.

දේශීය වේදිකාවේ රස ගුණ මවන්නන් අතර අපට සිටින ප්‍රමුඛතම ප්‍රාසාංගික ශිල්පියකු, රංග, ගායනවේදියකු වන රොඩ්නි වර්ණකුල මේ ගෙවන්නේ ඔහුගේ කලා දිවියේ 29 වන වසරය. මේ සරසවිය ඔහු සමඟ කළ කතාබහකි.

* කලා ලෝකයේ අද අපි දකින රොඩ්නිගේ ගමන ආරම්භ වුණේ කොහොමද?

මගේ තාත්තා ටීටර් නළුවෙක්. ගමේ හැම ටීටර් එකකදීම තාත්තා තමයි ප්‍රධාන නළුවා, ගායකයා. ඒ බලපෑම තමයි මගේ මේ ගමනට මුල. ඊට පස්සේ පාසල් වේදිකාව මාව පාසලේ ගායකයා බවට පත් කළා. තාත්තගෙන් ලැබුණු ආභාශය අත්හදා බලන්න පාසල් වේදිකාව මට හොඳ තෝතැන්නක් වුණා.

* මුල්ම වේදිකා නාට්‍ය රස වින්දන අත්දැකීම?

ඉස්කෝලේ යන කීලේ සුභ සහ යස, කැලණි පාලම, ඒකාධිපති වගේ නාට්‍ය බැලුවා. ඒ අතරින් සුභ සහ යස නාට්‍ය, අපේ පාසලේ පෙන්නද්දී දර්ශන වාර දෙකම බැලුවා.

ඒ 1974. මේක මොන තරම් ආස්චර්යක් ද, වේදිකාවේ මොන තරම් දේවල් කරන්න පුළුවන් ද කියන එක දැනෙන්න ගත්තේ සුභ සහ යස බැලීමෙන් තමයි.

* එතකොට ඔබ මුලින්ම වේදිකාවට සම්බන්ධ වුණේ?

1981 දී තාරවෝ ඉගිලෙති නාට්‍යයේ පොඩි චරිතයකට කතා කළා. ඒ හිටපු දැවැන්තයෝ අතර පුංචිම එකා මම. මට ආදරණීය පිළිගැනීමක් හා සැලකීමක් ලැබුණා.

ඒ අය දැන උගත් මිනිස්සු නිසා පොත පත, සිනමාව, රස වින්දනය වගේ දේවල් ගැනයි නිතරම කතාබහ කළේ. ඒ නිසා මාවත් ඉබේටම ඒ නිර්මාණ ඇසුරට යොමු වුණා.

* තාරාවො ඉගිලෙති එකෙන් පස්සෙ?

තාරාවෝ ඉගිලෙති නාට්‍යයෙන් මාව හඳුනාගෙන ඒකෙන් පස්සේ හාස්‍ය චරිතවලට කතා කළා. කොමඩි චරිතයක් රඟපාපු මම එතනින් එහාට ගියේ නැත්තේ ඇයි ද කියන එක සමහරුන්ට නම් ලොකු ප්‍රශ්නයක්.

කොමඩිම කර කර ඉඳලා හරි යනවද කියලා අහන අයත් ඉන්නවා. නමුත් කොමඩි කිරීම තමයි අමාරුම. මෙච්චර කල් පවතින්නේ කරපුවා හොඳ හින්දනෙ. වෙනස් චරිතයක් කරන්න ලැබෙනවා නම් හොඳයි. ඒක අධ්‍යක්ෂවරයාගේ තෝරා ගැනීම.

ඔබට හිතෙන විදිහට, රංගන ජීවිතයේ හොඳම ඔබේ රංගනය එළියට ආවේ කවදාද?

මගේ ජීවිතයේ මම කරපු හොඳම රංගනය ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ පේරාදෙණිය වළේ දී තමයි මතු වුණේ. මගේ අම්මගේ මෘත දේහය ගෙදර තියද්දී මම ගියා තාරාවෝ ඉගිලෙති එකේ් රඟපාන්න.

මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වෙයිදෝ කියන සැකය කාලෙක පටන් මා තුළත් තිබුණා. එදා ඒ දේට හැබැහින්ම මුහුණ දුන්නා. වළේ චරිතයක් කරන්න ලැබීම සුවිශේෂ අත්දැකීමක්. ඒ නිසා ඒ දවස මගේ නාට්‍ය ජීවිතයේ හොඳම රංගනය එදා මම කළා කියලයි මට හිතෙන්නේ.

එදා හදවතින් හඬා වැටෙන මම හිනා නොවී, ප්‍රේක්ෂකයන් හොඳින් හිනැස්සුවා. මම මගේ අම්මාට දක්වපු ඉහළම උපහාරයත් ඒ රංගනය කියලයි අද මට හිතෙන්නේ.

* රංගන ශිල්පියෙක් හැටියට රඟහලේ ප්‍රතිචාර ගැන ඔබට තියෙන හැඟීම?

අවුරුදු 30 ක් ගත වෙලා තියෙන රංගන ජීවිතයේ මිනිස්සුන්ට රසාස්වාදයක් දීලා ඒ අයව බුද්ධිමය වශයෙන් ඉහළට ගන්නයි අපි නාට්‍ය කළේ සහ කරන්නේ.

රසිකත්වය හොඳින් වර්ධනය කර ගත්ත ඉතා හොඳ රසිකයො අතලොස්සක් ඉන්නවා වගේම රඟහලක ඉන්න ඕන විදිහවත් දන්නේ නැති විශාල පිරිසකුත් ඉන්නවා. මේ දෙපිරිසම ඉන්න රඟහලක තමයි අපේ රංගනය ඉදිරිපත් කරන්න වෙන්නේ.

උදාහරණයකට නරි බෑනා පාසල් දර්ශන පෙන්නන්න ගියාම හිත සුද්දෙන් සතුටින් ආපහු එන්න ලැබෙන්නේ කලාතුරකින්. හේතුව ඒ තරම් හොඳට මේ ළමයි ප්‍රතිචාර දක්වනවා.

අපේ නිර්මාණ ප්‍රේක්ෂකයා විඳිනවා වෙනුවට අපට විඳවන්න සිද්ධ වෙද්දී ඒ ළමයින්ට නාට්‍ය පෙන්නන්නේ ඇයි කියලා හිතිලත් තියෙනවා.

ඒ වෙලාවට රස වින්දනය ගැන වෙනම දේශනයක් කරලා ඉන්නවා නාට්‍ය පෙන්වන්න කලින්. ඒ වගේ අත්දැකීම් නම් හරිම කනගාටුදායක අත්දැකීම් ගොඩට තමයි වැටෙන්නේ. මගේ හිතේ ප්‍රේක්ෂකාගාරය ගමය නගරය කියලා නැතුව කිලිටි වෙලයි තියෙන්නේ.

* රසිකත්වයට මෙහෙම වුණේ ඇයි?

ගෙදර දෙමවුපියන්ගේ රසිකත්ව මට්ටම ළමයින්ට අනිවාර්යයෙන්ම බලපානවා. අපිව ළං කරගෙන අපට තාත්තලා හොඳ දේවල් කියා දුන්නා.

අද මමත් ඒක ඒ විදිහටම මගේ දරුවන් ළඟ ඉඳගෙන කියා නොදුන්නත් හැමදාම උදේට හොඳ ගීතිකා හෝ රස විඳින්න පුළුවන් ගීත අහන්න සලස්වනවා. මගේ වෑන් එකේ තියෙන ඛ් ච් වලින් හොඳ ගීත තෝරගෙන අහන්න මගේ දරුවොත් පුරුදු වෙලා ඉන්නවා.

හතරෙ ඉන්න මගෙ පුතා මනෝරම්‍ය ගී තැටියේ සිංදු තමයි වැඩිපුර අහන්නේ. ඒ වගේ ගීත රස විඳින්න දරුවෝ පුරුදු වෙන්නේ දෙමවුපියෝ හැටියට අපි ඒක අහන හින්දා.

බයිලා වුණත් හරයක් තියෙන බයිලා තියෙනවා. එහෙම තියෙද්දී වැඩිහිටියෝ චොකා බයිලා අහන අය නම් දරුවෝ අහන්නේ ඊටත් අන්ත බයිලා.

* නිර්මාණකරුවන් අතරින් ඔබේ නිර්මාණ හැකියා හොඳින් මතු කරලා ගත්තේ කවුද?

ලූෂන් බුලත්සිංහල මහත්මයා තමයි මාව ඔප දාලා ගත්තු මුල්ම නිර්මාණකරුවා. ඊළඟට දයානන්ද ගුණවර්ධන, ගුණදාස කපුගේ සහ ඔස්ටින් මුණසිංහ කියන විශිෂ්ට නිර්මාණකරුවන් මා තුළ සැඟ වී තිබුණු හැකියා මටත් හොරා මතු කර ගත්තු ප්‍රමුඛයෝ හැටියට කියන්න පුළුවන්.

* වේදිකාවේ යම් බිඳ වැටීමක් ගැනත් කිය වෙනවා. මේක ඔබට පේන්නේ මොන විදිහටද?

සියලුම ක්ෂේත්‍රවල යම් පිරිහීමක් තියෙන විත්තිය අපට පේනවනෙ. අඩු කාලයකින්, අඩු වියදමකින් අටවා ගන්න යන නිසායි වේදිකාවේ හා කලාවේ යම් පිරිහීමක් ඇති වෙන්නේ.

හොඳින් යමක් කරනවට වඩා කොහොම හරි යමක් කරන්න හදන ටෙලි නාට්‍ය කැමරා හරහා බිහි වෙච්ච පිරිසක් අද ඉන්නවනේ. ඒ අය වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න ගන්න උත්සාහය අසාර්ථක වුණාම තමන්ම මොකක් හරි අටව ගන්න හදනවා. මේක මේ පිරිහීමට එක ප්‍රධාන හේතුවක්ය කියලයි මට නම් දැනෙන්නේ.

* ප්‍රසිද්ධියයි ජනප්‍රියත්වයයි දිහා ඔබ බලන්නේ කොහොමද?

හොරෙක් මැරයෙක් වුණත් ප්‍රසිද්ධයිනේ. ප්‍රසිද්ධ කෙනෙක් ජනප්‍රිය වෙන්න නම් කරන දේ හොඳින් කරන්න පුළුවන් වෙන්න ඕන. කලාකරුවෙකුටත් ජනතා ප්‍රසාදයක් තිබුණොත් විතරයි ජනප්‍රිය වෙන්න පුළුවන් වෙන්නේ.

* ඔබ ආ ගමන ගැන ආපසු බලද්දී මොකද හිතෙන්නේ?

අවුරුදු විසි නවයක් ඉවර වෙලා තියෙනවා. අද මම මේ ක්ෂේත්‍රයේ ඉන්න අවුරුදු 29 ක තරුණයෙක්. මේ කාලය තුළ මම මගේම පෞරුෂයක් ;ගාඩ නගා ගන්න උත්සාහ කළා. සල්ලි නිසා ඕනෑම කුජීත වැඩක් නොකරන ස්ථාවරයේ ඉඳගෙන ආර්ථික වශයෙනුත් ස්ථාවරයක් ගොඩ නගා ගන්න උත්සාහ කළා. නමුත් දෛනික කුලී නළුවෙකු වෙන්න නම් මගේ කිසිම කැමැත්තක් නෑ.

කලාකරුවෙන් වෙනවටත් වඩා මම මේ ක්ෂේත්‍රයට ආවම මට මුලින්ම ඕන වුණේ හොඳ මිනිහෙක් වෙන්නයි. හිත හොඳ මිනිහෙක් වුණ නිසාම මට මේ ගමන එන්න පුළුවන් වුණා කියන එකයි මගේ විශ්වාසය.

කෙනෙකුට කුණුහරුපයක් තව කෙනෙකුට එහෙම නොවෙන්න පුළුවන් - බන්දු සමරසිංහ

Author: Prasad Samaratunga
Date:21/10/2010
Source: Sarasaviya

බොරු කකුල්කාරයෝ ගමට එයි

රංගනයේදී ප්‍රේක්ෂකයන්ව හිනැස්සවීම තරමක අභියෝගයකි. මේ අභියෝගය සාර්ථකව ජය ගත් විකට නළුවන් අතලොස්සෙහි බන්දු සමරසිංහ කැපී පෙනේ.

ඒ සිය හාස්‍යෝත්පාදක රංගනය රිදී තිරය, පුංචි තිරය, වේදිකාව යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේම නොසඟවා ප්‍රකාශ කළ බැවිනි.

එහෙත් මෑතකාලීනව මේ හාස්‍යෝත්පාදක රංගන පෞරුෂය වේදිකාවට නොආවේය.

වසර පහළොවකට පසු බන්දු සමරසිංහ වේදිකාවට යළිත් පියවර ඔසවන්නට සැරසෙයි. මේ සංවාදය ඒ වෙනුවෙනි.

අපි මුලින්ම කතා කරමු මේ වේදිකා නාට්‍ය පිළිබඳව?

මේකේ නම බොරු කකුල්කාරයෝ. අලුත බැඳපු ජෝඩුවක් පිළිබඳ තමයි මෙහි කතා බහ වෙන්නේ. මේ යුවළ ජීවත් වන ආකරය, කියන පම්පෝරි, විදින කම්පනයන්, ප්‍රශ්න, කරන විකාර, කටින් පමණක් කරන්න පුළුවන් දෑ කියමින් කාලය ගත කිරීම, ගමට එකක් කියමින් ගෙදරදී තව එකක් කිරීම, කෙටියෙන්ම කිව්වොත් පවුල් අරගලයක් මේක. බොරු කකුල්කාරයෝ අධ්‍යක්ෂණය කරන්නේ ගයාන් මහගලගේ. ඉහත පවුල් ප්‍රශ්නවලට හාස්‍ය මුසු වෙමින් මෙය ඉදිරියට දිග හැරෙනවා.ගයාන් මහගලගේ මගේ නාට්‍ය, චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයා. ඔහුගේ තමයි මේ වේදිකා නාට්‍යයේ යෝජනාව.

ඔබ කාලයක් වේදිකාව අතහැර සිටි අයෙක්. ගයාන් මෙවැනි යෝජනාවක් කළාම මොකද හිතුණේ?

කලා කටයුතුවලදී ගයාන් තමයි මගේ සහායකයා. ඔහු මට කිව්වා බන්දු අයියේ මෙහෙම නාට්‍යයක් තියනවා, අපි කරලා බලමු ද කියලා. නාට්‍යයේ චරිත තුනයි තිබුණේ. ඒක ප්‍රබල හේතුවන් වුණා මං මේ සඳහා කැමැති වෙන්න. මේකෙ කුණුහරුප නැහැ. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මේක මිනිස්සුන්ට සෙට් වෙනවා කියලා තේරුණ නිසා ටක් ගාලා වැඩේ පටන් ගත්තා. මාත් සමඟ නිමන්ති පෝරගේ, ජීවනී පෙරේරා බොරු කකුල්කාරයෝ හී රංගනයේ යෙදෙනවා.

ඇයි කාලයක් වේදිකාවෙන් දුරස් වෙලා හිටියේ?

මෙහෙමයි, ඒක සිද්ධ වුණේ. මං කොහොමත් වේදිකාවෙන් ආපු කෙනෙකු නෙවෙයිනේ. මං ආවෙ චිත්‍රපටිවලින්නේ. ඉතින් මගේ වැඩි ඇල්මක් තිබුණේ නැහැ වේදිකාවට. පසුගිය කාලයේ චිත්‍රපට ගණනාවක වැඩ කළා. මමත් චිත්‍රපට කළා. බන්දු ලයිව් ඉන් කොන්සර්ට් කියලා සන්දර්ශනයක් කළා. මේ නිසා මාර කාර්ය බහුල ජීවිතයක් ගත කළේ. ඒ ජීවිතය ගැන කියලා වැඩක් නැහැ. දැන් මං තරමක් සන්සුන්. ඒකයි වේදිකාවට නැග්ගේ.

බොරු කකුල්කාරයෝ මංගල දර්ශනය පැවැත් වෙන්නේ කොළඹ නොවෙයි?

අපි නාට්‍යයක් හැදුවා කියලා ඒක කොළඹම පෙන්වන්න ඕනෑද? මං නම් එහෙම හිතන්නේ නැහැ. මේක ගමට හදපු නාට්‍යයක්. පෙන්වන්නේ ගම්මානවල පමණයි. ගම්වල මිනිස්සුන් ඉන්නවා පුදුම විදිහට වේදිකා නාට්‍යවලට කැමැති. ඔවුන්ටයි බොරු

කකුල්කාරයෝ හැදුවේ. ඒක නිසා මෙහි මංගල දර්ශනය පැවැත්වෙන්නේ ලබන ඉරිදා (24) වාද්දුවේ විජය කුමාරතුංග ශාලාවේ. මට මතක විදිහට මගේ පළමු වේදිකා නාට්‍ය වන යමලෝ වේදිකා ගත කළේත් වාද්දුවේමයි.

ඇයි කොළඹ ප්‍රේක්ෂකයන් අමතක කළේ? ඔබත් කොළඹ අවට සැරිසරන කෙනෙක්. ඔබ වටා ඉන්න ප්‍රේක්ෂකයන් වැඩි දෙනෙකු කොළඹ ප්‍රදේශයේ ජීවත් වන අය?

මං කොළඹ හිටියයි කියලා කරන නිර්මාණත් කොළඹට සීමා වෙන්න ඕනෑ නැහැනේ. කොළඹ ප්‍රේක්ෂකයන්ව අමතක කිරීමක් නොවෙයි මේ ප්‍රයත්නය. කොළඹ අවට අයට බන්දු ලයිව් ඉන් කොන්සර්ට් එක තියෙනවා. ඒක ගමේ කෙනෙකුට බලන්න බැහැ බී. එම්. අයි. සී. එච්. එකේ තියන හින්දා.

ඔවුන්ට එහි ප්‍රවේශ පත්‍රයක මිල දරා ගන්න බැහැ. අපි හිතමු දුර බැහැර ගමක කෙනෙකු බන්දු ලයිව් ඉන් කොන්සර්ට් බලන්න ආවයි කියලා. ඉතින් හත් දෙයියනේ එයා කොහොමද ඒක නරඹලා අවසානයේ ගෙදර යන්නේ. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් හරි. ගමේ අයට බොරු කකුල්කාරයෝ තියනවා. කොළඹ අයට බන්දු ලයිව් ඉන් කොන්සර්ට් තියනවා.

හාස්‍යෝත්පාදක වේදිකා නාට්‍යවලට ලැබුණු චෝදනාවක් තමයි දෙපිට කැපෙන වදන් භාවිත කරනවා කියන එක?

ඒක අනේ ප්‍රේක්ෂකයන් තේරුම් ගන්නා අන්දමනේ. සමහර අය ;ව්දිකා නාට්‍යක ඇති හාස්‍ය එක එක විදිහට තේරුම් ගන්නවා. නාට්‍යක ඇති දෙබසක් එක් ප්‍රේක්ෂකයකුට කුණුහරුපයක් වෙන්න පුළුවන්. වෙන කෙනෙකුට එහෙම නොවෙන්න පුළුවන්. ඒකට මං මොනවා කරන්නද?

සමහරක් විට මේ නාට්‍යයටත් එවැනි චෝදනා එන්න පුළුවන්. ඒත් මං පෙර පැවසූ පරිදි මෙහි දෙපිට කැපෙන වචන අඩංගු නැහැමයි. ඒක මං කියන්නේ ඉතාම වගකීමෙන්.

අද තියන සමහර විහිළුවලට හිනා යන්නේ නැහැ කියලා ගොඩක් දෙනෙකු කියනවා?

හාස්‍ය කියන දේ පරීක්ෂණය කරන්න හැකි දෙයක් නොවේ. හිනාව මතු වෙන්නේ කොයි අවස්ථාවක දී ද කියලා මටවත් කියන්න බැහැ.

ඇළපත හරහා බොක්ක කරකවලා හිනාව මතු වන්නේ කොයි වෙලාවටද ඒ අවස්ථාවේ ඔහුට හෝ ඇයට හිනා යනවා.සමහරක් අය කියනවා මට ඕවට හිනා යන්නේ නැහැ කියලා. ඒ විහිළුවටම ඇතැම් අය බඩ අල්ලගෙන හිනා වෙනවා.

මේක හරියට ජෝතිපාල සිංදු කිව්ව අයුරු හෙව්වා වගේ වැඩක්. තවමත් හොයනවා. ඒත් හොයා ගන්න බැහැ.

විහිළු හිනා යනවද නොයනවද කියන එක තීරණය කරන්නේ ප්‍රේක්ෂකයන්. ඇතැම් අයට හිනා නොගියට මං මොනවා කරන්නද?

බන්දු සමරසිංහ, වේදිකා නාට්‍ය රසිකයෙක් ද?

අනිවාර්යයෙන්ම. සෞම්‍ය ලියනගේ රඟපාන වේදිකා නාට්‍ය මං ආසවෙන් නැරැඹුවා. ධර්මසිරි බණ්ඩාරනායක කරන ඒවත් හොඳයි. අපේ ටෙනී (ටෙනිසන් කුරේ) කරපු නාට්‍ය බොහොමයක් මං බැලුවා.

ක්ෂේත්‍රයේ ඉන්නවා නම් මේ හැම දෙයක් එක්කම ටච් එකේ ඉන්න ඕනෑ. එතකොටයි අලුත් වෙන්න පුළුවන්.

බොරු කකුල්කාරයෝ එක්කද බන්දුගේ ඉදිරි ජීවිතය ගෙවෙන්නේ?

බොරු කකුල්කාරයෝ සඳහා හොඳ ඉල්ලුමක් ඇති වේවි. ඒ පිළිබඳ මට ඇත්තේ විශ්වාසයක්. කාලයකින් චිත්‍රපටයකින් මාව දැක්කෙ නැති නිසා ප්‍රේක්ෂකයන් උනන්දු වේවි මේ නාට්‍ය බලන්න. ඉල්ලුමට අනුව සැපයුම දෙනවා. ඒකෙ දෙකක් නැහැ. මෙයට සමගාමීව බන්දු ලයිව් ඉන් කොන්සර්ට් පවත්වන්නත් මං බලාපොරොත්තු වෙනවා.