2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday 1 February 2010

මුලින්ම නාට්‍ය සංස්කෘතියක් ගොඩ නැඟිය යුතුයි - ප්‍රවීණ නාට්‍යකරු ජයලත් මනෝරත්න

Author:රවී රත්නවේල්

Source: Sarasaviya

Date: 20/08/2009


දෙහිපෙ උපන්, කෙසෙල්ගස්පෙ මනතුංග ජයලත් මනෝරත්න කියන්නේ ලාංකේය වේදිකාවේ පතාක යෝධයෙක්. සුපුරුදු ලෙසින්ම මෙවරත් රාජ්‍ය නාට්‍ය උළෙලට තරග නොකරන ඔහු ඒ නාට්‍ය උළෙල අර්ථයෙන් හා රසයෙන් පුරවන්නට ‘සුදු රෙදි හොරු’ දායකත්වය ඊට ලබා දෙනවා. ඔහු සමඟ කළ මේ කතා බහ අපේ රටේ වේදිකාව ගැනයි.

* මෑත භාගයේ ඔබ රාජ්‍ය නාට්‍ය උළෙලෙන් ඈත් වෙලා ඉන්න බවක් පේනවා?

අපේ නාට්‍ය කණ්ඩායමේ කනේරු මල්, මකරා, සුදු රෙදි හොරු වගේ නාට්‍ය කිහිපයක්ම අපි රාජ්‍ය නාට්‍ය තරගයට ඉදිරිපත් කළේ නෑ එහි තිබෙන අර්බුදකාරී තත්ත්වය නිසා. විශේෂයෙන්ම 60, 70, 80 දශක සමඟ සසඳද්දී එදා රාජ්‍ය නාට්‍ය උළෙලට ගෞරවනීය තත්ත්වයක් තිබුණා.

නමුත් පහුගිය අවුරුදු හත අටේ ඒ තත්ත්වය නැති වෙලා. එකිනෙකාට මඩ ගහ ගන්න තත්ත්වයක් දක්වා පහත වැටීම තමයි අපි එයින් ඉවත් වෙන්න ප්‍රධාන හේතුව.

නිර්මාණාත්මක නාට්‍ය අත්දැකීමක් ගොනු කර ගැනීම වෙනුවට අවසානයේ කලබගෑනි තත්ත්වයක් ඇති කරන විනිශ්චයෙන් තෘප්තිමත් නොවන තත්ත්වයකුයි අද දකින්න තියෙන්නෙ.

ඒ වගේම අද නාට්‍යකරුවන්ටත් ඒ විනිශ්චයන් පිළිගන්න තරම් ඉවසීමක් නැති බවයි පේන්නේ. පශ්චාත් නාට්‍ය විනිශ්චය පිළිබඳ ප්‍රතිචාරයන්, අවිනීතවීමත් මේ ඈත්වීමට බලපෑවා.

* ඒ වගේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නෙ ඇයි?

කලාව, සාහිත්‍ය, සෞන්දර්ය කියන ක්ෂේත්‍රයේ අපි යෙදෙන්නෙ ඇයි කියන දේ අපි නිවැරැදිව වටහා ගෙන තියෙනවද? කලා භාවිතාවේ ප්‍රධාන අරමුණ දෙකක් නිසානෙ අපි මේක කරන්නේ, එක අරමුණක් තමයි ගුරුහරුකම් ලබා ගැනීම නව ඥාණනයක්, දැක්මක් ඇති කර ගැනීම. අනෙක් අරමුණ විනෝදය. මේ ක්ෂේත්‍රයේ නියැළීමේ ප්‍රධාන අරමුණ විය යුත්තේ මේ අරමුණු සාක්සාත් කර ගැනීමයි.

නමුත් මුදල්, ජනප්‍රියත්වය හා දේශපාලන අරමුණු සඳහා මේ මාධ්‍ය භාවිතා කරන්න ගත්තු නිසයි මෙහෙම වුණේ. සදාතනික වටිනාකම, දේශ සීමා ඉක්මවා ගිය රස වින්දනය, මානව ගුණය යන කලාවේ මූල ධර්ම සිඳී යාමයි මේ තත්ත්වයට හේතුව. නමුත් නාට්‍ය කලාවේ ඉහත කීව අරමුණු සාක්සාත් කර ගන්න වෙහෙසෙන තරුණ නිර්මාණකරුවන් පිරිසකුත් ඉන්නවා. එයත් අප මතක් කළ යුතුයි.

එහෙම තිබියදීත් අර කලින් කිව්ව අශෝබන තත්ත්වයක් ඇති වෙන්න එදා වගේ හොඳ නාට්‍ය විචාරයක් නොතිබීම. විශේෂයෙන් රෙජී සිරිවර්ධන, ගාමිණී හත්තෙට්ටුවගම, ගුණදාස අමරසේකර වගේ විචාර කලාව ගැඹුරින් කරන තත්ත්වයක් අද නොතිබීමත් මේ තත්ත්වය ඇති වෙන්න හේතුවක් වුණාය කියන එකයි මගේ කල්පනාව.

* මේ තත්ත්වය වෙනස් කරන්න නම්?

පළමුව නාට්‍ය සංස්කෘතියක් ගොඩ නැගීමයි කළ යුත්තේ. ඒ සඳහා දීර්ඝකාලීන වැඩ පිළිවෙළක් අවශ්‍යයි. හුදකලාව අගනුවර සීමිත පිරිසක් කරගෙන යන දෙයක් බවට අද අපේ නාට්‍ය කලාව පත්ව තිබෙනවා.

එනිසා දුර බැහැර ඉන්න රසිකයන්ට කොළඹ ඇවිත් නාට්‍ය බලන්න බැරි තත්ත්වයක් ඇතිවී තිබෙනවා. මේකට විසඳුමක් හැටියට සංචාරක නාට්‍ය කලාව අගය කරන්න ඕනෑ. ඒකට දිරි දෙන්න ඕනෑ. ඒ වැඩ පිළිවෙළ ආරම්භ කරනවා නම් රටට හිතකර නාට්‍ය සංස්කෘතියකට පදනම දාගන්න පුළුවන්.

ඒ වගේම නියම විනිශ්චයක් ලැබෙනව නම්, උළෙලෙන් පසු නාට්‍ය ජනතාව අතරට යන වැඩ පිළිවෙළක් තියෙනවා නම් හොඳයි. එහෙම නැතිව න්‍යාය පත්‍රයට ලකුණු දාන්න නාට්‍ය උළෙලක් කරනවා නම් තමයි ඒක අසාර්ථක වෙන්නෙ.

රට පුරා නාට්‍ය සංස්කෘතිය ප්‍රචලිත කිරීමෙන් තමයි ඕනම රටක නාට්‍ය කලාවක් පවත්වාගෙන යන්නෙ. ඒ අවබෝධය ඇතුව පටු දේශපාලන අරමුණුවලින් බැහැරව නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් වැඩ කරනව නම් එහි පරමාර්ථ හා අරමුණ හොඳ නම් රාජ්‍ය නාට්‍ය උළෙල සාර්ථක කරගන්න පුළුවන්ය කියන එකයි මගේ නම් අවබෝධය.

* එතකොට රාජ්‍ය නාට්‍ය උළෙල සාර්ථක වෙන්න නාට්‍යකරුවන්ගෙ පැත්තෙන් මොන වගේ දෙයක්ද වෙන්න ඕන?

නාට්‍යකරුවෝ හැටියට අපෙත් නාට්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ගෞරවයක් හා අවංක බවක් තියෙන්න ඕන. මේක තරගයක් කර ගන්නවට වඩා රසිකයාගේ නිම්වළලු පුළුල් කරන අරමුණක් අවංක සිතිවිල්ලක් හා වැඩ පිළිවෙළක් අවශ්‍යයි.

අපේ වැඩේ තමයි හොඳම. අපි ඒක කරගෙන ඉන්නවය කියන පටුත්වය තමයි භේදභින්න වෙන්න හේතුව. කලාකරුවා මහ පොළවේ පය ගහලා ඉන්න කෙනෙක් වෙන්න ඕන. තරගය සඳහාම සූදානම් වීමත්, තමන්ගේ ආකෘතිය, සන්දර්භය, වස්තු විෂය පමණක් හොඳය.

අනෙක්වා නරකය. තමන් පමණක් හරිය කියන චින්තනයත් බැහැර වෙන්න ඕන. දහසක් මල් පිපුනොත් තමයි මේ ක්ෂේත්‍රය හැඩයෙන් ගුණයෙන් සුවඳින් යුක්ත වෙන්නෙ. ඒ අතින් දයානන්දයන්, සරච්චන්ද්‍රයන් වගේ අය මොන තරම් පුළුල් පරාසයකට ගියාද.

* ඔබේ ප්‍රකාශන මාධ්‍ය අතර වේදිකාව ප්‍රමුඛ වෙන්නෙ ඇයි?

අපේ අනුභූතීන් ප්‍රකාශ කරන්න විවිධ නිර්මාණ මාධ්‍ය තෝරා ගන්න එකේ වරදක් නෑ. නිර්මාණකරුවා සකල කලාවන්ගේම රිද්මය හා ශ්‍රැතිය හඳුනා ගත යුතුයි. මම අනෙක් ක්ෂේත්‍රවල නියැලුනත් අත්දැකීමෙන් වේදිකාව වඩාත් සමීප හෘදයංගම හා බරසාර ප්‍රකාශනමාධ්‍ය බව දැනී ගිය, හැඟී ගිය නිසයි මා මේ මාධ්‍ය වැඩියෙන්ම තෝරා ගත්තේ.

නමුත් ලංකාවේ යෙදෙන්න අපහසුම හා දුෂ්කරම මාධ්‍ය ඒ වගේම අවධානය යොමු වීම අඩුම මාධ්‍ය වෙන්නේ මේකයි. නමුත් මම ආදරය කරන ගරු කරන මාධ්‍ය වේදිකාව නිසයි මා මේකේ යෙදිලා ඉන්නේ. අනික එය රැක ගැනීම අපේ වගකීමක් හා යුතුකමක්.

ඒ නිසාම වේදිකාවෙන් බැහැර වෙන්න එපාය කියලා අපේ හෘද සාක්ෂිය නිතරම අපට බල කරනවා.

* එදා සරසවියේ තිබුණු නාට්‍ය ප්‍රබෝධය අද නැත්තෙ ඇයි?

අපි සරසවියේ හිටපු කාලේ් මොන තරම් ඉඩක් මේ ක්ෂේත්‍රයට වෙන් කරලා තිබුණාද, ඒත් අද එහෙම නෑ. සමාජ ආර්ථික දේශපාලන වෙනස්වීම් එක්කයි මේ වෙනස සිද්ධ වෙන්නෙ. අදත් අපට පේනව සරසවි ශිෂ්‍යයා තුළ සෞන්දර්යකාමියා හිර වෙලා ඉන්නවා.

නමුත් එළියට එන්න අවස්ථාවයි නැත්තෙ. තැනින් තැන සරසවියේ එබඳු වැඩ පිළිවෙළවල් තිබුණත් ඔවුන්ව සෞන්දර්යකාමීන් හැටියට මෙහෙයවන්නන්ගේ තිබෙන්නා වූ අඩු ලුහුඬුකම් වගේ් දේවල් මේවට බලපානවා. අද විශ්ව විද්‍යාලවල කලා උළෙලවල් පවා අහවර වෙන්නෙ අවාසනාවන්ත විදිහට.

නව නිර්මාණකරුවන් දිහා දෙමාපියන් හා දේශපාලකයන් බලන ආකාරය පවා අද ඇති වෙලා තියෙන මේ තත්ත්වයට බලපානවා. ඒ වගේම එදා අපට මග හසර කියා දුන් ගුරුවරුන්ට සාපේක්ෂව අද ඉන්න ගුරුවරුන්ගේ දැනුම අවබෝධය හා ආකල්ප වගේ දේවලුත් මේ පිරිහීමට බලපාල තියෙනවා.

* නමුත් අද පාසලෙත් නාට්‍ය හා රංග කලාව උගන්වනවා?

උගන්වනවා විතරක් නෙවෙයි. පාසල්වල නාට්‍ය පෙන්නනවා. නමුත් පාසල්වල නාට්‍ය පෙන්නිල්ල හවස වෑන් එක එන්න කලින් ඉවර කරන්න වෙලා තියෙනවා. නාට්‍ය කෙටි කර පෙන්වන්න වීම සෑම දෙනාම අසරණ කරන්න තමයි හේතු වෙන්නෙ.

මේ ක්‍රම වෙනස් කරන වැඩ පිළිවෙළක්, ළමුන්ට නිදහසේ උසස් නාට්‍ය නරඹන්න පුළුවන් පරිසරයක් ක්‍රමවේදයක් හදන්න ඕන. අන්න එතකොටයි පාසලෙන් සරසවියටත්, සරසවියෙන් සමාජයටත් රසවතුන්, නිර්මාණකරුවන් එකතු වෙන්නෙ. එහෙම නැතුව විෂය උගන්වලා විතරක් හරි යන්නෙ නෑ.

* ඔබ අලුත් නාට්‍යයක් නිර්මාණය කරන්න පෙළඹෙන්නෙ?

සමාජයෙන් හෝ ලෝකයෙන් ලැබෙන තියුණු අත්දැකීමක් පිටතට ප්‍රකාශ කර ගත යුතුය කියන තැනට ආවහම ඒ අත්දැකීම් විස්තීරණ නම් එය නාට්‍යයක් සඳහා සුදුසුය කියලා හැඟුනොත් තමයි කරන්නේ. නිදසුනක් හැටියට ගුරු තරුව කළේ පාසලෙන් සාහිත්‍ය විෂය අයින් කිරීමෙන් ඇති වූ කම්පනය නිසයි.

ඔබ ඔබටම ආවේණික නාට්‍ය ආකෘතියක් පවත්ව ගන්න උත්සාහ කරනවා වගේ පේනවා?

නාට්‍යමය ආකෘති වෙනස් වෙන්නේ නිර්මාණයේ අවශ්‍යතාව අනුවයි. නමුත් වාර්තා රංගයට මම කැමතියි. ලෝකය තනියායක්, සුදු රෙසි හොරු වගේ නිර්මාණ අපේ රටේ කවි සම්ප්‍රදායන් ඉදිරියට ගෙන යාමට ඇති හැකියාව විමසා බැලීමක් හැටියට හඳුන්වන්න පුළුවන්.

තල මල පිපිලා, අන්දරේලා, ගුරු තරුව කියන නාට්‍ය අපට වුවමනා කරන නාට්‍ය ආර සොයා ගෙන යාමක් හැටියටයි මම දකින්නෙ. මගේ නාට්‍යයේ ගීතය හා නර්තනය ප්‍රධාන තැනක් ගන්නේ නාට්‍ය ධර්මී ගුණ පිළිබඳ මගේ විශ්වාසය හා ලැබූ ආභාසය නිසයි. මේ නාට්‍යවලට අපේ රසිකයා හෘදයාංගමව බැඳෙන ගුණය වැඩියි.

* සරච්චන්ද්‍රයන් පිළිබඳ ඔබේ මතකය හා තක්සේරුව?

60 ගණන්වල සරසවි ශිෂ්‍යයො හැටියටයි අපි එතුමන් සමඟ වැඩ කළේ. විචාරය, ජීවන දැක්ම, නාට්‍ය භාවිතාව යනාදිය වගේම ඔහුගේ

ප්‍රකාශන මාධ්‍ය ආකෘතීන් අදටත් අපේ සමාජයට වලංගුයි. එහෙම වෙන්නෙ එතුමන් සතු වූ පෙරපරදිග සාහිත්‍ය කලාව පිළිබඳ දැනුම හා අවබෝධය එතරම්ම සුවිශාල වූ නිසයි.

නමුත් කෙනෙකුගේ අභාවයෙන් පස්සෙ නාට්‍ය වගේ සජීවි මාධ්‍යයක් ඔහුගේ අවශ්‍යතා අනුවම පවත්වා ගන්න පුළුවන්ද කියන එක නම් ප්‍රශ්නයක්.

ඒකට කලාව පිළිබඳ නව සමාජයේ දැක්ම, ලෝකයට සමීප වීම කියන කාරනා බලපානවා වෙන්න පුළුවන්. නමුත් ජපානය, ඉන්දියාව වගේ රටවල මුල් නිර්මාණ එලෙසින්ම පවත්වාගෙන යන්න රජය මැදිහත් වෙනවා. ඒ අර්ථයෙන් ඔහුගේ ඒ භාවිතාවේ සජීවි ගුණය අදත් එලෙසම තිබෙනවාද කියන එක ප්‍රශ්නයක්.

ඒ කෙසේ වෙතත් සරත්චන්ද්‍රයන් ගැඹුරින් තව තවත් හදාරන තරමට අපට නව ලෝකයට යන්න පහසුය කියන එකයි මගේ අදහස. කෙනෙක් කියන්න පුළුවන් ඒවා පරණයි කියා.

නමුත් අපේ කාලයේ අවුරුදු පනහකට වැඩි කාලයක් වේදිකා ගත වෙමින් තිබෙන නාට්‍ය අපට දායාද කළේ එතුමයි. එතුමන් එදා වගේම අදටත් හෙටටත් වලංගුය කියන එකයි මගේ පිළිගැනීම.

* මොනවද ඉදිරියේදී කෙරෙන අලුත් කලා කටයුතු?

වසර දෙකකට විතර සැරයක් පවත්වන නාට්‍ය උළෙල මෙවරත් සැප්තැම්බරයේ පවත්වන්න සූදානම් වෙනවා. එතෙන්දි මගේ පැරැණි නාට්‍ය තල මල පිපිලා, අන්දරේලා, ගුරු තරුව, ලෝකය තනි යායක් වගේම සුදු රෙදි හොරුත් ජෝන් ද සිල්වා රඟහලේ දී සැප්තැම්බර් 15 සිට 19 දක්වා වේදිකා ගත කෙරෙනවා.

ඒ වගේම තෝරා ගත් නවක නාට්‍යකරුවන් පිරිසකට ප්‍රවීණයන් යටතේ නාට්‍ය වැඩ මුළු, පොත් සල්පිලක්, වීදි නාට්‍ය හා නාට්‍ය ඡායාරූප ප්‍රදර්ශනයක් යනාදියත් ජයලත් මනෝරත්න රංග කේන්ද්‍රයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

No comments:

Post a Comment