2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday 1 February 2010

දැවැන්තකම තුළ මතුවූ මනුස්සකමට පිදෙන' ඇදුරු හරසර ප්‍රණාම

Author: - රවි රත්නවේල් Source: Sarasaviya Date: 26/11/2009


කලාවෙන් කාසි සෙවීමට වඩා ආනන්දයත් ප්‍රඥාවත් සොයා යන කාලයක් අපටත් තිබිණි. අද මෙන් කලාව හම්බ කර ගැනීමේ කලාවක් නොවූ එදවස කලාව ද මෙතරම්ම සිල්ලරට වැටී නොතිබිණි. ඒ අසූව දශකයේ මුල ය. අද කතාවට මුල් වන ‘80 වේ අපි’ හැදෙන්නට අවැසි ‘කරළිය’ සැකසුණෙත්, බිජු ඇට සිට වුණෙත් එකල දී ය. අද එන මේ අස්වැන්න හරසරද එදා වපුල ඒ බිජුවල ප්‍රතිඵලය.

ඉංගිරිය සුමනජෝතියේ අකුරු කළ පුංචි සන්දියේදීම මුතු ඇටය හිරවෙච්චි කුමාරිගේ චරිතය රඟපෑ කුමාරයාට, හොරණ විද්‍යාරත්නයේ නාට්‍ය පෙන්නන්න ගිහින් ඉස්කෝලෙනුත් එළියට විසි වෙන්නට සිදු විය. එහෙත් ඔහු අතින් ‘නාට්‍ය’ බිම නොවැටිණ. නාට්‍යයත් සමඟම නැඟී සිටිය ඔහු ඒ සඳහා රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ කල, එළියට දැමූ පාසලම ඔහු ඇතුළට කැඳවා හරසර ද පිදීය. පාසලෙන් පිට මං කළ දවසේත් තමන් නාට්‍යයට ආදරය කළා සේ, නාට්‍ය කලාවට ආදරය කරන අන් අයට ද අත හිත දෙන්නට ඇත්නම් මැනවයි ඔහුට සිතුණේ මේ අතරවාරයේය.

ප්‍රවීණ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන නම් වන ඔහුගේ මූලිකත්වයෙන් මෙරට නාට්‍ය ලැදි තාරුණ්‍යයට මග හසර කියා දෙන්නට මුල පිරුණේ ඒ අනුවය. අද මෙරට නාට්‍ය කලාවේ පතාක යෝධයන් මෙන්ම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රවීණයන් ද වන එච්. ඒ. පෙරේරා, පරාක්‍රම නිරිඇල්ල, හා වසන්ත විට්ටච්චි යන නිර්මාණකරුවන් ගේ මැදිහත්වීම හා දායකත්වය ඩග්ලස් සිරිවර්ධන ගේ වෑයම වඩාත් අර්ථවත් කරන්නට හේතු විය.

එදා තාරුණ්‍යයේ එළිපත්තේ සිටි සරසවි සිසුන් ද, පාසල් සමය නිමවා නාට්‍ය මාවතට යොමුව සිටි තරුණ තරුණියෝ ද ගොනු කර ඔවුන්ට නාට්‍ය කලාවේ නෙක ඉසව් පිළිබඳ නිසි ගුරුහරුකම් දෙන තැනක් හෝ නිසි වැඩ පිළිවෙළක් නැතිව ‘හසරක් සොයමින් ගිය’ තාරුණ්‍යයට ‘රුසියානු මිත්‍රත්ව පදනම’ මෙහෙය වන නාට්‍ය වැඩ මුළුවක් ගැන අසන්නට ලැබුණේ මේ අතරවාරයේය.

ලොකු මුදලක් ගෙවාගෙන ඉංග්‍රීසි නාට්‍ය කලාව කළ හැකි අයට පමණක් මෙවන් පාඨමාලා පැවැති සමයක නොමිලයේම පැවැත්වෙන මේ වැඩ මුළුවට එකතුවීමට එන තරුණ තරුණියන්ගෙන් අඩුවක් නොවීය. එය කෙතරම් ද යත් සාමාන්‍යයෙන් සම්මුඛ පරීක්ෂණයකින් තෝරා ගන්නේ එය සමත් වන්නන් පමණක් වුවද, වැඩිම වාරයක් සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිට අසමත් වූවන් තුළ තිබූ නාට්‍ය උණ සලකා බලා ඇතැමුන් මේ වැඩමුළුව ඇතුළට ගන්නට ද සංවිධායකයනට සිදු විය.

කොළඹ පැවැත්වෙන චිත්‍රපට ප්‍රදර්ශනද, චිත්‍ර ප්‍රදර්ශනය, ජර්මානු, ප්‍රංශ, රුසියානු, අමෙරිකානු හා ඉන්දීය තානාපති කාර්යාල විසින් සංවිධානය කරන චිත්‍රපට උළෙල ඇතුළු අනෙකුත් සාහිත්‍ය කලා අවස්ථා ද එකක් නෑර රොද බැඳි කලාවට ලැදි තරුණ තරුණියන්ගෙන් මෙකී වැඩමුළු පිරී ඉතිරී ගියෙන්, නැවත නැවතත් එම නාට්‍ය වැඩමුළු පවත්වන්නට සංවිධායකයන්ට ආරාධනා ලැබිණ.

ඔවුහු ද ඉන් දිරි ලබා හැකි පමණ තම දැනුම බෙදා හදා දෙන්නට ඉදිිරිපත් වූහ. මේ නිසා අද වන විට මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින බොහෝ දෙනා කුමන හෝ ආකාරයකට මේ වැඩ මුළුවලට සම්බන්ධ වී සිටි වග කියන්නේ ද අභිමානයෙනි.

නාට්‍ය හා රංග කලාව ගැන තමන් දන්නා දේ වඩා හොඳින් දැන ගැනීමටත් නොදන්නා දේ දැන ගැනීමටත් අද ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වී සිටින බහුතරයකට මඟ පෑදුණේ මේ වැඩ මුළුවලින්.

මුල සිට අග දක්වා දන්නා සිංහලෙන් නාට්‍ය ශාස්ත්‍රයේ මඟ හසර කියා දුන් මේ වැඩ මුළු නාට්‍ය ලැදි තාරුණ්‍යයේ තමන්ගේ ගෙදරය යන හැඟීම ඇති කරන්නට තරම් සමීප හෘදයාංගම එකක් විය. එහි එදා ශිල්ප උගත්තෝ කාර්බාර්වලින් ගමන් එන, හැම් බේකන් හැඳි ගෑරුප්පුවෙන් කන අය නොවන වග කවුරු කවුරුත් දැන සිටිහ. මේ නිසාම ගුරුවරයාටත් ගෝලයාටත්, ප්‍රවීණයාටත් නවකයාටත් එකට එක කෝප්පේ ප්ලේන්ටි උගුරක් බී විඩා නිවා ගන්නට බාධාවක් නොවීය.

අතට මුදල් නැතත්, හෙටක් ගැන හීන මවමින් තමන් සමඟම මේ වැඩමුළුවේ එකට වැඩ කරන අනෙකා ගැන හැඟීීමක් එහි තිබිණ. එනිසාම මට විතරක් වෙනුවට, අනෙකාටත් බත් කටක් දිය හැකි බත් මුලක් දෙකක් බැඳ දෙන්නට තරම් ගෙදර උන් අම්මලාගේ ද හිතේ තෙතමනයක් තිබිණි. ඇති එකාත් නැති එකාත් එකට එක්ව එක බත් මුලක් බෙදා හදාගෙන කන්නට තරම් ළතෙත් බවක් ඒ වැඩමුළුවල තිබිණි.

කොල්ලා ද කෙල්ල ද යන වෙනසක් එහි නොවීය. කෙල්ලෝ කොල්ලෝ මෙන් වැඩ කළත් කොල්ලෝ කෙල්ලෝ මෙන් වැඩ කළත් මුල් තැන ලැබුණේ කරන වැඩේට ය. මේ නිසාම තමන් වැඩ මුළුවට ආවේ දැනුම බෙදා හදා ගන්නට මිස වෙන දෙයක් බෙදා ගන්නට හෝ බදා ගන්නට නොවේය යන අවබෝධයත්, ඒ සඳහා අවැසි සංයමයත් මේ වැඩ මුළුවෙන්ම ලැබිණ.

යාළු මිත්‍රයින් ගාණට වැටුුණු ගුරුවරුන් ගුරු මුෂ්ටියක් තියා නොගෙනම තම ගෝල බාලයන්ට තමන් සතු දැනුම බෙදා හදා දුන්හ. ගුරුවරුන් කොතරම් ළඟින් ඇසුරු කළත්, එකට කෑවත්, බීවත්, ඇතැම් විට ගුරුවරයා ගෝලයන්ට මචං කීවත්, මේ වැඩ මුළුවේ ගෝලයන් කිසිදාක තම ගුරුවරයා ‘මචං’ කර නොගත්හ. ඇසුර කොතරම් සමීප වුව ද ගුරු බැතිය එතැන තිබිණි.

තමන්ගෙන් ගුරුහරුකම් ගත් ගෝලයාගේ කියා වැඩේට අදාළ නැති හෝ සුදුසු නැති අයවළුන් තමන්ගේ වැඩවලට ඈඳා නොගත් මේ ගුරුවරුන් තමන්ගේම ගෝලයාට වුව කිව යුත්ත මූණටම කියා පන්නා ගන්නටත් පසුබට නොවූහ. එකී ගෝලයන් ද ගුරුවරුන්ගේම කපාපු පළු වනූයේ මේ තමන්ගේ ගුරුවරයානේ නොගැළපෙන බාල දෙයක් කළාට කමක් නෑ, කරබා ගනිමු කියා නොසිතා ‘අයියෝ සර්, ඔය වැඩේ නම් කරන්නෙපා, සර්ට විතරක් නෙවෙයි, අපිටත් සවුත්තුයි’ කියන්නට පසුබට නොවූහ.

මෙයින් මේ වැඩමුළුව ඇසුරෙහි යම් සංස්කෘතියක් ද ගොඩ නැගීමට පාර කැපිණි. ඒ ඇත්ත ඇති සැටියෙන් මූණටම කීමේ සංස්කෘතියයි. එය එසේ වූයේ ගෝලයා ගුරුවරයාටත්, ගුරුවරයා ගෝලයාටත් හැබෑවටම ආදරේ කළ නිසාය. මේ ගුරු ගෝල සම්බන්ධයේ ස්වභාවය නිසාම මේ වැඩ මුළුවේ ගෝලයෙක් හෝ ගුරුවරයෙක් යමක් කරන්නට කලින් දෙවරක් සිතිය යුතු විය.

මේ නාට්‍ය වැඩමුළුවල නඩේ ගුරා වූ ඩග්ලස් සිරිවර්ධන මේ වැඩ මුළු පුරාවටම රඟපෑවේ සොඳුරු ආඥාදායකයකුගේ භූමිකාවය. නාට්‍ය කලාවේ රචනය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය යන පැතිවල දැනුම නිර්ලෝභීව බෙදා හදා දෙමින් මේ වැඩ මුළුවේ කේන්ද්‍රීය ලෙස ක්‍රියා කළේ ඔහුය. ඔහු වැඩ මුළුවේදී එක් කළ ශාස්ත්‍රීය දැනුම නාට්‍යයක් කිරීමේදී ප්‍රයෝගික තලයට ගෙනාවේ අමුතුම ආකාරයටය. තමන්ගේ ගෝලයෙක් නාට්‍යයක අත් උදව්වකට එකතු වුණත් නාට්‍ය අවසානයේ ඒ පුංචි අත්උදව්ව වෙනුවෙනුත් පුංචි ලියුම් කවරයක් වෙන් කිරීමේ පුරුද්දක් ඔහුට තිබිණි. ඔහු එය එසේ කළ යුතු යැයි තම ගෝල බාලයන්ගේ් පොත්වල ලියවන්නට ගියේ නැත. ඒ වෙනුවට ක්‍රියාවෙන් එය පෙන්විය.

ශේෂා පළිහක්කාරයන් බිහි කළ විශිෂ්ට අංග රචනා ශිල්පියකු වූ වසන්ත විට්ටච්චි ඔහුට පසු පරම්පරාව දිරි ගැන්වීමෙන් ඔවුන්ට දැනමුතුකම් දීමේදී ඉදිරියෙන්ම සිටි ප්‍රවීණයෙකි. අංග රචනය ඇඟට පතට නොදැනී කරන්නේ කෙසේදැයි යන්න ඔහු ඔහුගේ ගෝල බාලයන්ටත් ඇඟට පතට නොදැනෙන්න කියා දෙන්නට තරම් සමතෙකු විය.

කලාව සඳහා ශිල්පය තරමටම සංයමයත් අවැසි බව ඔහු භාවිතාවෙන් උගැන්වීය.

ඉතා හොඳ ගවේශකයකු වූ එච්. ඒ. පෙරේරා හැම මොහොතකම අලුත් යමක් ඉගෙන ගන්නට වෑයම් කළ කෙනෙකි. ඔහු ඉගෙන ගන්නට ගන්නා ඒ උත්සාහය ඔහුගෙන් ඉගෙන ගන්නා අයට ඉගෙනුමට පොළඹවන්නකි. ඔහු පිටතට පෙනෙනවාට වඩා නාට්‍යය විෂයෙහි යෝධයෙකි.

වසර ගණනාවක් වීදි නාට්‍ය සමඟ සිටිය ද එකදු වීදි නාට්‍යක හෝ රඟ නොපෑ පරාක්‍රම නිරිඇල්ල හරියට යමක් ඉගෙන ගන්නට උත්සාහ ගන්නා අයට තමන්ගේ පෞද්ගලික පොත පත පවා ගෙනවිත් දෙමින් දිරි දෙන නාට්‍යයක සෑම සියලු අංශයකම දැනුම තම සගයන්ට බෙදා දුන් කෙනෙකි.

මෙබඳු ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් නාට්‍ය ගුරු භවතුන්ගෙන් දැනුම ලබන්නට තරම් වාසනාවන්ත වූ ගෝල බාලයන් අතරින්ම තම ගුරුවරුන්ට උපහාර පිදිය යුතුය යන අදහස ඇති විය. ඒ අදහස පළමුව ඇති වූයේ මාලි ජයවීරගේ් සිතෙහිය. ඈ වටා සිටි සහෘදයින්ට ද ඇය තම ගුරු බැති සිතිවිල්ල දැනගන්නට සැලැස් වූවාය.

තම නාට්‍ය කලාාවටත්, ජීවිත ගමන් මඟටත් ආලෝකයක් වූ මේ ගුරු භවතුන් හට උපහාර උළෙලක් පැවැත්විය යුතුය යන යෝජනාව මේ ගුරුන්ගෙන් ශිල්ප ලැබූවන් එක හඬින් අනුමත කළහ.

අනිද්දා (28) කොළඹ එල්ෆින්ස්ටන් රඟහලේදී සවස 5.30 ට පැවැත්වෙන අස්වැන්න ඇදුරු හරසර ප්‍රණාම උළෙලේ දී මේ ප්‍රවීණයක් ගරු බුහුමන් ලබන්නේ තමන්ගේම ගෝල බාලයන් ගේ බැති පෙම් පෙරදැරිවය.

නාට්‍ය ක්ෂේත්‍රයේ මතුදු නොව සමස්ත කලා ක්ෂේත්‍රයේම දැවැන්තයන් වුවත් තම දැවැන්තකම තුළ මනුස්සකම ද නොනසා තබා ගන්නට සමත් මේ කලාකරුවන් සැබැවින්ම පිදුම් ලැබිය යුත්තන්ය. ඔවුන් ඊට සුදුසු වග එකී වැඩ මුළුවෙන් මතු වූ අපේ පරපුරේ අස්වැන්න ඇදුරු හරසර ප්‍රණාම උළෙල සංවිධානය කරන ‘අසූවේ අපි’ කණ්ඩායමේ සභාපති ධුරය උසුලන ප්‍රවීණ නළු ජයලාල් රෝහණ ගේ සඳහනකින් මේ සටහන අවසන් කරනු කැමැත්තෙමි.

මේ අයව ඇසුරු කරද්දී තේරුණා ඒ අය දැවැන්තයෝ වුණාට ඒ දැවැන්තකම ඇතුළෙ මනුස්සකමත් තියෙන විත්තිය. එදා එයාලා අපිව කොල්ලො කුරුට්ටො ගාණට දාලා සැලකුව් නෑ වගේම, මේ දැවැන්තයෝ නේද කියලා තැති ගන්න ඉඩ තිබ්බෙත් නෑ.

ඒ වෙනුවට එයාලා අපිව කියෙව්වා. අපි එයාලගේ ගුරුහරුකම් ඇසුරෙන් එයාලව කියෙව්වා. මේ නිසා මේ ගුරුවරුන් එක්කම අපිත් වැඩුණා. අද අපිත් මේ ක්ෂේත්‍රයේ පය ගහලා ඉන්න තරමට උස් මහත් වෙලා. ඒත් එහෙම ඉඳලා ආපහු හැරිලා බලද්දී අදත් අපට පේනවා මෙයාලා කොච්චර දැවැන්තද කියලා. ඒ දැවැන්තකම තුළ තියෙන මනුස්සමකට තමයි මේ ගුරුවරු හතර දෙනා අද අපෙන් ගරු බුහුමන් ලබන්නේ.

No comments:

Post a Comment