2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Thursday 4 November 2010

රාජ්‍ය ළමා නාට්‍ය උළෙලට පෙරවදනක්‌

Author: Narada Nishshanka
Date:05/11/2010
Source: Divaina

ජෝන් ද සිල්වා සමරු රඟහලේදී ඔක්‌තෝබර් මස 5 වැනි දිනෙන් ඇරැඹුණු 2010 රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ දින අටක කාලයක්‌ තුළ පැවැති අවසන් තරග වටයේ ළමා නාට්‍ය දැක්‌ම 12 වැනි දිනෙන් අවසන් විය.

සංස්‌කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කලා මණ්‌ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්‌ඩලය මගින් මෙම ළමා නාට්‍ය උළෙල සංවිධානය කර තිබිණ.

වෙන වසරවලදී ළමා නාට්‍ය තරගයන්හි දක්‌නට ලැබුණු දුර්වලතාව මෙවරද උළෙල සඳහා ඉදිරිපත් කර තිබුණු ඇතැම් නාට්‍ය නිර්මාණයන්හිද දක්‌නට ලැබිණ. එනම්, නාට්‍යHන්හි පෙළ රචනයේ දක්‌නට ලැබුණු දුර්වලතාව, නිර්මාණය කෙරෙහි බලපා ඇති අයුරුය. එමෙන්ම නාට්‍ය නිර්මාණය සඳහා යොදා ගන්නා ලද කථා වස්‌තූන්හි ඒකාකාරී බවක්‌ දක්‌නට ලැබිණ. නරක පෙළ රචනයකින් හොඳ නාට්‍ය නිර්මාණයක්‌ බිහි කිරීම කෙරෙහි බලාපොරොත්තු තැබිය නොහැකිය.

ඇඳුම් පැළඳුම්, වේදිකා අලංකරණ, සංගීතය හා නැටුම නාට්‍ය නිර්මාණය සඳහා යොදා ගෙන තිබුණු අයුරු ප්‍රසංශනීය යි. නාට්‍ය නිර්මාණයන්හි පැවති අඩුපාඩු අකාමකා දමමින් නිර්මාණයට මනා ආලෝකයක්‌ එයින් ලැබිණ. ළමයින් පමණක්‌ නොව වැඩිහිටියන්ගේ ද මන බඳනා අයුරු ආකර්ශනීය මෙන්ම විචිත්‍රත්වයක්‌ වේදිකාවේ මවා පෑමට හැම නාට්‍යකරුවෙක්‌ ම මහත් වූ වෙහෙසක්‌ මෙන්ම, වියදමක්‌ ද දරා තිබිණ. ඇතැම් නාට්‍ය නිර්මාණවල වේදිකා පසුතල සැකැස්‌ම සඳහා දරනු ලැබූ වියදම දිගු නාට්‍ය නිර්මාණයක වේදිකා පසුතල සැකැස්‌ම හා සමාන බවක්‌ ඉසිලීය. මෙහි ලගන්නා සුළු සෞන්දර්යයේ ආශ්වාදය විසින් ළමයින් තුළ පැවැති ආතතිය දිය කර හැරීමට පවා සමත් වූ බව ප්‍රේක්‍ෂකාගාරයේ සිට පළ කළ ඔවුන්ගේ හැසිරීම් මගින් දක්‌නට ලැබිණ.

එමෙන්ම, ළමා නළු නිළියන් බොහෝ දෙනකුගේ උසස්‌ රංගන කුසලතා දිස්‌ විය. එබැවින් අනාගතයේ දක්‍ෂ රංගන ශිල්පී ශිල්පිනියන් අප රටේ පහළ වීම අරුමයක්‌ නොවේ.

ළමයින් උදෙසා වන නිර්මාණකරණයක අරමුණු අතර ප්‍රධාන වන්නේ අර්ථවත් මෙන්ම ළමා ලෝකයට හිතකර ආශ්වාදයක්‌ ඔවුන් තුළ දැනවීමය. මෙසේ ජීවිතාවබෝධය මෙන්ම, ළමයින් තුළ සැහැල්ලු ප්‍රීති ප්‍රමෝදයක්‌ ඇති කිරීමට තුඩු දෙන අයුරු විනෝදාශ්වාදය මෙන්ම ආදර්ශය ද ලබා දිය හැකි තේමා රැගත් කතා වස්‌තු, නාට්‍ය නිර්මාණ සඳහා යොදා ගෙන තිබිණ. සත්ව ලෝකයේ සතුන් උපයෝගී කර ගනිමින් ළමයා තුළ ගුණාත්මක චරිත වර්ධනයකට මං සැලසෙන, අපේ යාළු මකුළු (හලා/කොස්‌වාඩිය සරස්‌වති ම.වි.) පාට පිරුණ ලොව දකින්න එන්න යාළුවේ (ශ්‍රීමත් ජෝන් කොතලාවල ම.ම.වි.) පූස්‌ මල්ලියාට තවත් මල්ලියෙක්‌ (විවෘත), කලාමැදිරි යාළුවෝ (විවෘත) සිංහ නැටුම (විවෘත) මං වාගේ මං (මහ/කිංස්‌වුඩ් විද්‍යාලය), රුක්‌ දෙවියයි අරුණි ඔබයි (කෑ/ශාන්ත ජෝසප් බාලිකා ම.වි.) යන නාට්‍ය නිර්මාණ ද මේ අතර විය.

සෞන්දර්යාත්මක පරිසරය උපයෝගී කර ගනිමින් ළමයින් තුළ පවත්නා වැරැදි ආකල්ප ඉවත්කර සුන්දර ළමයකු බවට පත් කිරීමෙන් ඔවුන්ගේ ආකල්ප වර්ධනය සඳහා උපයෝගී කර ගත් නාට්‍ය නිර්මාණ අතරට පැණි පිරිලා මල් වත්තේ (කුලියාපිටියේ ම.ම.වි.) බැද්දේ මල් සුවඳේ බෑ. (මාතර සුජාතා විද්‍යාලය), මල් කරත්තය (විවෘත)හිරු පවුලේ හැඩකාරි (කුරුණෑගල ලග්දාස්‌ ම.ම.වි.) යන නාට්‍ය නිර්මාණය ගැනේ.

තත්කාලීන සමාජ ප්‍රශ්න ළමා මනසට බලපාන ආකාරයේ තේමා රැගත් නාට්‍ය ද ඒ අතර වී ය. තරු සෙල්ලම (තල්දෙක සාන්ත රීටා ක. වි.), රාමන්ට රජ තෑග්ගක්‌ (විවෘත), හරි සුවඳයි (විවෘත) යන නාට්‍ය නිර්මාණ මෙහි කැපී පෙනේ.

ඉගෙනීමට, ක්‍රීඩාවට හෝ පාසලේ වෙනත් බාහිර ක්‍රියාකාරකම්වලට දක්‍ෂතා දක්‌වන ළමයින් සිsටින පන්ති කාමරය තුළට, වෙළෙඳ ප්‍රජාව විසින් රූපවාහිනිය උපයෝගී කර ගනිමින්, සුපිරි තරු, ලිට්‌ල් ස්‌ටාර් වර්ගයේ තරු, රිංගවා තිබේ. ළමා මනසට මෙයින් සිදු කරන බලපෑම මොනතරම් ද? තල් දෙක සාන්ත රීටා ක. වි. නිෂ්පාදනය කළ තරු සෙල්ලම, කාලීන සමාජ සිද්ධියක්‌ වස්‌තු බීජය කරගත්, ළමා මනසට වඩාත් ගෝචර වූ නිර්මාණයක්‌ ලෙස සැලකිය හැකිය. සුපිරි තරුවීමට පොරකන ළමුන් අභියසට පැමිණෙන්නේ අහසේ දිදුළන තාරකාවියකි. තරු ලෝකයේ සිට ඇය මිනිස්‌ ලෝකයට පැමිණෙන්නේ ළමා ලෝකයේ ළමයින් සමග එක්‌වීමටය. එහෙත් මිනිස්‌ ලෝකයේ ඇය දකින්නේ තරු වන්නට දඟලන, එමෙන්ම උදේ සිට රෑ වනතුරු සුන්දර ළමා කාලය ටියුෂන්වලට ගෙවා දමමින් අවිවේකීව පසුවන ළමයින්ය.

කමල් පී. අලහකෝන්ගේ යෝදයාගේ උයන (විවෘත) ළමයින් සිටින පරිසරයේ ගහ කොලින්, මලින්, පලින් බරවෙන සුන්දර ලෝකයක්‌ මැවෙන අයුරු කියාපාන කතා පුවතක්‌ රැගත් නාට්‍යයකි. සමන් පුෂ්ප කුමාරගේ සිංහ නැටුම (විවෘත) ළමා මනසේ ආකල්ප වර්ධනය සඳහා යෝග්‍ය වූ නිර්මාණයකි. අන්ත දිළිඳු ළමයි පොහොසත් ළමයින් විසින් කොන් නොකළ යුතුය. පොහොසත් ළමයින් තුළ නැති ශක්‌තියක්‌ දුප්පත් ළමයි කෙරෙහි පවතී. අවසානයේදී මෙම යථාර්ථය තේරුම් ගන්නා පොහොසත් ළමයි තමන් කොන් කළ දිළිඳු ළමයාගේ හැකියාවන් තේරුම් ගෙන ඔවුන් සමග මිත්‍රත්ත්වයක්‌ ඇති කර ගනිති.

සමන් චන්දන නිෂ්පාදනය කළ රාමන්ට රජ තෑග්ගක්‌ (විවෘත) උතුරේ යුද්ධයෙන් පීඩාවට පත්ව කඳවුරුවල වසන දෙමළ සහ මුස්‌ලිම් ළමයින්ගේ දුක්‌ත තත්ත්වය කියාපාන කාලීන කතා පුවතක්‌ රැගත් නාට්‍යයකි. ඔවුන්ගේ පාසල් ගමන නතර වී ඇත. දෙමාපියන් සොයා ගැනීමට නොහැකි බැවින් කඳුවරු තුළම ඔවුන් ගාල් වී ඇත. ඔවුන්ගේ සුන්දර ළමා ලෝකය මුළු මනින්ම කඩා ඉහිරී ඇත. යුද්ධය නිසා මෙන්ම, යුද්ධයෙන් පසුවද ළමයින් මුහුණපාන දරුණු ෙ€දවාචකය කොළඹ ජීවත්වන ළමයි මෙන්ම වැඩිහිටියෝ ද නොදනිත්. කඳවුරුවල වෙසෙන, තම සම වයසේ ළමයින්ගේ දුක්‌ඛ දෝමනස්‌සයන් දකින කොළඹ ළමයි, තම දෙමාපියන්ගේ ද උපකාරය ලබා ගනිමින් පොත්පත්, ඇඳුම් පැළඳුම් ලබාදී ඔවුන්ට පාසල් අධ්‍යාපනය ලබාදීම සඳහා පියවර ගනිත්. නගරයේ සිටින ළමයින්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ද ඇස්‌ විවෘත කරන අපූරු නාට්‍යයක්‌ ලෙස මෙම නිෂ්පාදනය සැලකිය හැකිය.

ගාමිණි ජයකොඩි නිෂ්පාදනය කළ හරි සුවඳයි (විවෘත) නාට්‍ය නිර්මාණය මෑතක විදුහලක සිදුවූ අත්දැමීමක්‌ උපයෝගී කර ගනිමින් නිෂ්පාදනය වූ නාට්‍යයකි. පාසලෙන් නිල ඇඳුම සඳහා ලබා දෙන රෙදිවලින් පාසල් ඇඳුම මසා නොගත් වරදට ගුරුවරයා ඔහුට දඬුවම් කරයි. අවසානයේදී හෙළිවන්නේ තම පියාගේ මිනී පෙට්‌ටිය වැසීමට නිල ඇඳුමේ සුදු රෙදි කඩ පෙට්‌ටිය මත ඇතිරූ බවයි. මෙම තේමවා වඩාත් යෝග්‍ය වන්නේ ගුරුවරුන් සහ දෙමාපියන්ටය. සුරංජිත් සමීර රණසිංහගේ නිෂ්පාදනයක්‌ වන හංසි බබා (විවෘත) නාට්‍යය, 1998 වසරේ විවෘත අංශයේ හොඳම නාට්‍ය ලෙස සම්මාන ලැබූ, එමෙන්ම නාට්‍ය හා රංග කලාව හය වැනි ශේ්‍රණියේ ගුරු අත්පොතේ ඇතුළත් කර තිබෙන අමර ගියා දිව්‍ය ලෝකේ නාට්‍යයේ කතා වස්‌තුව මෙන්ම චරිත ද උපයෝගී කර ගනිමින් සිදු කළ නිර්මාණයක්‌ ලෙස පෙණින. නාට්‍යානුසාරයෙන් විෂයන් ඉගැන්වීමේ ක්‍රමවේදය භාවිත කරමින් චිත්‍ර විෂය සඳහා දක්‍ෂතා ඇති එහෙත් ගණිත විෂයට දුර්වල ළමයකු එකී විෂයට පොළඹවා ගන්නා ආකාරය කියාපාන මෙම නාට්‍යය, දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේද අවධානයට වඩාත් ලක්‌විය යුතු ය. මෙම නාට්‍යයේ මා දකින විශේෂත්වය එයයි.

මෙවර නාට්‍ය උළෙලේදී දක්‌නට ලැබුණු නාට්‍ය පෙළෙහි දුර්වලතා ඉදිරි වර්ෂයේදී මග හරවා ගැනීම සඳහා ප්‍රවීණ එමෙන්ම, කෘතහස්‌ත නාට්‍යකරුවන්ගේ සහාය ලබා ගනිමින් පාසල්වල ළමා නාට්‍ය නිෂ්පාදනය කිරීමට රාජ්‍ය නාට්‍ය අනුමණ්‌ඩලය විසින් පියවර ගන්නා බව අනුමණ්‌ඩලයේ සභාපති ශ්‍රියන්ත මෙන්ඩිස්‌ මහතා "දිවයින" ට පැවසීය. දැනටමත් මෙම වැඩපිළිවෙළ සඳහා නාට්‍යකරුවන් කිහිපදෙනෙක්‌ම කැමැත්ත පළකොට තිබේ. මේ අනුව ඉදිරි වර්ෂයේදී සාර්ථක ළමා නාට්‍ය උළෙලක්‌ නැරඹීමට ළමා නාට්‍යලෝලීන්ට මෙන්ම, සහෘදයන්ට ද වාසනාව උදාවෙනු ඇත.

පස්‌වැනි දින සිට දහසය වැනි දිනය දක්‌වා තරුණ සේවා සභාව මගින් සංවිධානය කළ යොවුන් නාට්‍ය උළෙලේ අවසන් නාට්‍ය දැක්‌ම ලයනල් වෙන්ට්‌ඩ් රංග ශාලාවේ වේදිකා ගත විය. මෙසේ ළමා හා යොවුන් නාට්‍ය උළෙල සංවිධානය කළ සංවිධායකයන්ගේ නොසැලකිල්ල හේතුවෙන් සීමිත සංඛ්‍යාවක්‌ වූ නාට්‍ය ප්‍රේක්‍ෂකයන්ට මෙම නාට්‍ය නිර්මාණ සියල්ලම නැරැඹීමට තිබූ අවස්‌ථාව අහිමි කිරීම ප්‍රේක්‍ෂකයන්ට කරනු ලැබූ අසාධාරණයක්‌ බව අවසාන වශයෙන් සඳහන් කළ යුතුය
.