Source: Sarasaviya
Date: 24/09/2009
ජීවිතය සමඟ පොර බදන, අහසින් වැටුණු මිනිස්සු දෙසට වේදිකාවේ ආලෝකය එල්ල කළේත්, කැලණි පාලම යට ජන ජීවිතය අප හමුවේ විවර කළේත් ඔහුය. ඔහු මෙරට වේදිකාවේ ප්‍රවීණයකු වන ආර්. ආර්. සමරකෝන්ය. මෙවර
වේදිකාවේ ඉඩ හසර ඔහු වෙනුවෙනි.
* ඔබේ මනස නිර්මාණකරණය පැත්තට යොමු වුණේ කොහොමද?
නාවලපිටිය අපේ ගම. ඒ ගමේ ඉස්කෝලෙට යන කාලේ වරාපිටියේ ජයසිංහ කියන ප්‍රකට කවියා තමයි අපේ සාහිත්‍ය ගුරුවරයා වුණේ. එතුමාගේ ආභාෂය අපිව පුංචි කාලෙදිම පොත පතට යොමු කළා. ඊට පස්සේ නුවර කිංග්ස්වුඩ් ආවාම රහස් පරීක්ෂක කතාවලට මගේ හිත පුදුම විදිහට ඇදිලා ගියා. ඒවායේ කුතුහලය, විශ්මිත බව, ත්‍රාසයට මම දැඩි සේ ආසා කළා.
මේ විදිහට විශාල වශයෙන් රහස් පරීක්ෂක කතා කියෙව්වට පස්සේ මටත් හිතුණා ඒ විදිහේ කතාවක් ලියන්න. ඊට පස්සේ ‘වෙස් මුහුණු’ කියලා පොතක් ලියලා අපේ සිංහල ගුරුවරයාට දුන්නා. ඔය පනස් ගණන්වල වගේ.
ඒක බලලා ගුරුතුමා කිව්වා සමරකෝන් අපි මේක අච්චු ගහමු, මේක පංකාදු පොතක්නෙ කියලා. පොත අච්චු ගහන්න මා ළඟ සල්ලි නැති හන්දා කේ. එම්. ඩී. ලැනරෝල් මහත්තයා, එයා තමයි අපේ විදුහල්පතිතුමා, සිංහල ගුරුතුමාත් එක්ක එකතු වෙලා පොත් පන්සීයක් අච්චු ගහන්න සල්ලි හොයලා දුන්නා. අදත් මහනුවර තියෙන සිතුමිණ මුද්‍රණාලයේ තමයි ඒ පොත එදා අච්චු ගැහුවේ. ඕක තමයි මගේ් මේ ගමනේ මුල.
* එතකොට ඔබ නාට්‍ය පැත්තට යොමු වෙන්නේ?
නවසිය හැට ගණන්වල මම කොළඹ එනවා සතොසට, ඒ තුන්වෙනි ශ්‍රේණියේ ලිපිකාරයෙක් හැටියට. ඒ කාලේ නාට්‍යයක් බලන්නේ නැති සති අන්තයක් නැති කරම්. ලුම්බිණියේ යාවජීව සාමාජිකයො ගාණට වැටිලා නාට්‍ය බලන්න ගත්තට පස්සේ මහාචාර්ය සරච්චන්ද්‍ර , සුගතපාල ද සිල්වා, ධම්ම ජාගොඩ, ගුණසේන ගලප්පත්ති, මහගමසේකර වගේ අය නිතර නිතර මුණ ගැහෙන සතුටු සාමීචියේ යෙදෙන, අදහස් හුවමාරු කර ගන්න තත්ත්වයක් ඇති වීම නිසයි නාට්‍ය පැත්තට හිත ගියේ.
* ඒ කාලේ බලපු නාට්‍යවලින් හිතට අල්ලලා ගියේ?
මනමේ, සිංහබාහු, බෝඩිංකාරයො, හරිම බඩු හයක් වගේ නාට්‍යවලට මම හුඟක් කැමති වුණා.
* එතකොට නාට්‍යයක් ලියන්න පෙළැඹෙන්නේ?
කලින් පොත් කියවලා කියවලා පොතක් ලියන්න හිතුණා වගේ නාට්‍ය බලලම මමත් නාට්‍යයක් ලියන්න ඕනෑය කියන අදහසක් ආවා. ඊට පස්සේ මම වැඩ කරපු සතොසෙ කලා කවයක් පිහිටුවාගෙන අපිත් එක්ක වැඩ කරපු ශිල්පීන් ටිකක් තෝර ගෙන ‘ලෙඩක් නැති ලෙඩෙක්’ කියලා නාට්‍යයක් කළා. ඒ කාලේ අනුලා මෙන්ඩිස්, දැන් අනුලා බුලත්සිංහල පළමු වතාවට රඟපෑවෙත් මගේ ඔය නාට්‍යයේ.
ඔය නාට්‍ය ගැන ඒ දවස්වල තිබුණු ඊවිනිං ඔබ්සර්වර් එකට ගාමිණී සෙනෙවිරත්න කියලා කෙනෙක් ඉතාමත් ඉහළින් ඒ නාට්‍ය අගය කරලා විචාරයක් ලියලා තිබුණා. ඒ විචාරය නිසා මා ගැන මට ඇති වුණු විශ්වාසය තමයි තවදුරටත් නාට්‍ය කරන්න මාව පෙළැඹෙව්වේ.
* ඔබ කරපු නාට්‍යවලින් වඩාත් සාර්ථක නාට්‍ය හැටියට ඔබට දැනෙන්නේ?
71 දී මම කරපු අහසින් වැටුණු මිනිස්සු කිසි දවසක යල් පනින්නේ නැති නැට්‍යයක්. ඒ වගේම මගේ නාට්‍ය ජීවිතයේ කඩඉමක්. ඊළඟට ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වුණු කැලණි පාලම.
* අහසින් වැටුණු මිනිස්සු ඔබ අතින් නිර්මාණය වුණේ කොහොමද?
ඒ නාට්‍යයේ වස්තු බීජය මගේ ඔළුවට ආවේ කොහොමද කියන්න නම් මට අදටත් තේරෙන්නේ නෑ. ඒත් එදා මම ආශ්‍රය කරපු සමාජය කසිප්පුකාරයා, පාතාලය, පේව්මන්ට්කරයා මේ හැම සමාජයකටම අයිති මිනිස්සුන්ව මම ආශ්‍රය කළා. එයාලගෙන් අලුත් වචනයක් පිට වුණත් මම ඒක ගෙදර ගිහින් ලියා ගන්න පුරුද්දක් මට තිබුණා.
මේක ජීවත් වෙන්න බැරි නම් තමන්ගේ කැමැත්තට මැරෙන්නවත් නිදහසක් නැති සමාජයක්නෙ. මැරෙන්න ගිහින් පොලීසියට අහු වුණොත් කූඩුවෙ දානවනෙ. ඉතින් මම ජීවත් වුණු සමාජයම තමයි මට මේ කතාව දුන්නේ.
* එතකොට කැලණි පාලම?
ඒක අහම්බෙන් ලියැවුණු නාට්‍යයක්. එක දිගට දවස් දෙක තුනක් වැහැලා කොළඹට ගංවතුර දැම්මා. දවස් දෙකක් පායන්න ගත්තම මම කඩවත යන කොට මෙන්න කැලණි පාලම ළඟදී මොර සූරන වැස්ස. ඒ වැස්සත් එක්කම මම දැක්කා පාලම උඩ මිනිස්සු පොර කකා ඉන්නවා. යන්න ගිය ගමන නවත්තලා ආපහු වැස්සෙ තෙමීගෙනම පාලම උඩට ආවා.
ඇවිත් එතන සෝදිසි කරලා බලද්දී මේක අලුත් දෙයක් නොවන විත්තියත්, ගංවතුරක් එන එක හැමදාමත් සිද්ධ වෙන දෙයක් විත්තියත් දැනගත්තා. ඒ මහා වැස්සේ ගංගවතුරේ අවුරුදු 2, 3 ළමයි පවා හිනාවෙවී සෙල්ලම් කරනවා. මෙන්න මේ කැලණි පාලම යට මිනිස්සුන්ගේ ජීවිතය දැකලා ඇති වුණු කම්පණය නිසා තමයි කැලණි පාලම ලිය වුණේ.
* ඔබෙ නාට්‍යවල තියෙන්නේ ඔබටම ආවේනික බසක්?
ඒක වෙන්නේ මෙහෙමයි. ඔය දෙබස් ලියන ඒවා නෙවෙයි. නිර්මාණය කරපුවා. දුක් විඳින මිනිස්සු එක්ක ජීවිතය බෙදා ගත්තු මම මගේ නිර්මාණවලට ගත්තෙත් ඒ අයගේ සජීවි සමාජ භාවිතාවන්. දැන් ඔය ‘නක්කිය දානවා’, ‘රැජිනගෙ අශ්වයා වුණත් ගේම දෙන්නෙන් ජොකියා, හරි ද?’ වගේ බසක් එන්නේ ඒ සමාජ භාවිතාවත් එක්කමයි.
* ඔබේ වේදිකා නාට්‍යවල සංගීතය නෑ. ඇයි මේ?
මම නාට්‍ය ලියලා තියෙන්නෙම ජීවිතයත් එක්ක පොර බදන මිනිස්සු ගැනනේ. ජීවිතේ ගැට ගහ ගන්න දඟලන ඒ මිනිස්සුන්ගේ ජීවිතවල මොන සංගීතයක්ද, ඒක ප්‍රධාන කාරණාව. අනෙක සංගීතය ආභරණයක් හැටියට පාවිච්චි කරන්න මගේ කැමැත්තක් නැතිකම. නාට්‍යයක මගේ ප්‍රධානම අවිය වෙන්නේ ප්‍රබල දෙබස්.
ඒ ගැන මම දැඩි අවධානයක් යොමු කරනවා. අනිත් එක මම සාකච්ඡා කරන විෂය, නාට්‍යයේ ආත්මය විසින් සංගීතය ඉල්ලා හිටින්නේ නැත්නම් ඒකට බලෙන් සංගීතය එල්ලන එකේ තේරුමක් නෑ. අනික අහසින් වැටුණු, කැලණි පාලම යට ඉන්න මිනිස්සුන්ට මොන සංගීතයක්ද?
* ඔබේ ප්‍රකාශන මාධ්‍ය දෙක වන නවකතාව හා වේදිකාව යන දෙකෙන් ඔබ වැඩි ඇල්මක් දක්වන්නේ?
නව කතාවට සාපේක්ෂව ප්‍රබලතම ප්‍රකාශන මාධ්‍ය වෙන්නේ් වේදිකාවයි. ඒ වගේම ඒක අතිශය සජීවි මාධ්‍යයක්. ප්‍රේක්ෂක ප්‍රතිචාර එවේලේම ලැබෙනවා. ප්‍රේක්ෂකයාට වගේම නිර්මාණකරුවාටත් එකට ඉඳලා රස විඳින්න පුළුවන්කමක් තියෙන නිසා මගේ වැඩි කැමැත්ත වේදිකාවටයි.
* ඔබේ නිර්මාණ සඳහා තෝරා ගන්නා ශිල්පීන්ව ඔබ හසුරුවන්නේ මොන විදිහට ද?
අදාල චරිතය නිදහසේ කරන්න ඉඩ දීලා හසුරවනවා. නිර්මාණය මගේ වුණාට ශිල්පියනෙ චරිතයට පණ පොවන්නේ. අනික අද ඉන්න නළුවා නෙවෙයි හෙට ඉන්නේ. ඒ ඒ දවසේ පුද්ගලයා ඉන්න මානසිකත්වයත් එදාට කරන චරිතෙට බලපානවා.
* ඔබේ නිර්මාණ සඳහා ශිල්පීන් තෝරා ගන්නේ මොන විදිහට ද?
ආවට ගියාට තෝර ගන්නේ නෑ. හොඳට කතාබස් කරලා දැනුම් තේරුම් ඇති අයව තමයි සම්බන්ධ කර ගන්නේ. එහෙම සම්බන්ධ කර ගත්තට පස්සේ මගේ හිතේ තියෙන දේ ඒ ශිල්පියාගෙන් එළියට එනකම්ම සිය සැරයක් හරි පුහුණුවීම් කරනවා. එහෙම කරලා මට ඕනෑ චරිතය කොහොම හරි මම හදලා ගන්නවා.
* ඔබ වෘත්තියෙන් භාෂා පරිවර්තකයෙක්. ඒත් ඔබේ අතින් පරිවර්තන නාට්‍යයක් කෙරිලම නෑ?
මට හිතෙන, දැනෙන විදිහට නම් තවමත් නිර්මාණකාරයෝ හැටියට අපි හිතලවත් නැති අත ගහපු නැති අමු ද්‍රව්‍ය ඕනෑ තරම් අපේ රටේ තියෙනවා. එහෙම එකේ පිට දෙයක් පරිවර්තනය කරලා ගන්නේ මොනවාද කියන හැඟීමක් මට තියෙනවා.
අනික සාර්ථක පරිවර්තනයකට වඩා අසාර්ථක ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන එක හොඳයි වගේම ඒක මට තෘප්තිමත්.
* නිර්මාණකරුවෙක් හැටියට අපේ වේදිකාවේ ඔබ දකින දැවැන්තයෝ කවුද?
ඒ වගේ තුන් හතර දෙනෙක් ඉන්නවා. අපි ඒක තේරුම් ගන්න ඕනෑ මෙන්න මේ විදිහට. ඒ කියන්න් වේදිකාවේ සමබරතාව කියන පැත්තෙනුයි ඒක බලන්න ඕනෑ.
එක පැත්තකට නළු නිළියෝ 25 ක් විතර දාලා මේ පැත්තේ තනියෙන් තියන්න පුළුවන් දැවැන්ත පෞරුෂයක් තිබුණේ ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර, ධමම ජාගොඩ, උපාලි අත්තනායක, හෙන්රි ජයසේන, සයිමන් නවගත්තේගම, අයිරාංගනී සේරසිංහ වගේ අයටයි. අලුත් අය ගැන එහෙම කියන්න තරම් අවබෝධයක් මට නෑ. ඒ මොකෝ අලුත් නාට්‍ය මම ඒ හැටි බලලා නෑ.
* නිර්මාණකරුවෙක් තමන්ව යාවත්කාලීන කර ගන්නේ කොහොමද?
නිර්මාණකරුවා කියන්නෙම අලුතින් හිතන කෙනාටනෙ. අලුතින් හිතන්න, වෙනස් විදිහකට හිතන්න නම් දැනුම තියෙන්න ඕනෑ.
දැනුම ලබන්න නම් කියවන්න ඕනෑ. ඒත් දැන් ඉන්න අයගේ ලොකුම අඩුව තමයි පොතපත කියවන්නේ නැතිකම. කියවන්නේ නැත්නම් අලුතෙන් හිතන්න බෑ. අලුතෙන් හිතන්න බැරි නම් අලුත් දෙයක් කරන්නත් බෑ. අපේ අයගේ කියවීමේ අඩුවයි, කැපවීමේ අඩුවයි තමයි අද මේ ක්ෂේත්‍රයේ තියෙන ලොකුම ප්‍රශ්නේ.
* වේදිකාව නිසා කනගාටුවට පත් වුණු අවස්ථා තියෙනවාද?
මගේ නිර්මාණවලින් හදිසි තීරණයක් නිසා එදා නීල් අලස්වයි, මැණිකේ අත්තනායකවයි අයිං කළා. ඒක මගේ නාට්‍යයටත්, රසිකයන්ටත්, ඒ ශිල්පින්ටත් කළ ලොකු අසාධාරණයක් කියලයි අද මට හිතෙන්නේ.
එදා ඒ දේ නොකළා නම් හොඳයි කියලයි අද මගේ හිත කියන්නේ. කොහොමත් මැණිකේ මගේ අලුත් නිර්මාණයට දායක වෙනවා. නීලුත් ඉදිරියේදී අපිත් එක්ක එකතු වෙයි කියලයි මම හිතන්නේ. මොකද එහෙම අයිං කළා කියලා අපි අතරේ වෛරයක්, කෝන්තරයක් නෑ. ඒත් එදා මම ගත්තු ඒ තීරණය ගැන අදත් මම කනගාටු වෙනවා.
No comments:
Post a Comment