2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Tuesday, 18 October 2011

මාලිනී ෆොන්සේකා

Author: Sunil Mihidukula
Date:13/10/2011
Source: Sarasaviya


සිංහල සිනමාවේ එදා මෙදාතුර බිහි වූ විශිෂ්ටතම චරිතාංග නිළිය කවුරුන්දැයි කිසිවකු මගෙන් විමසුවහොත් මා ඊට දෙන පිළිතුර ‘මාලිනී ෆොන්සේකා’ යන්නයි. මාලිනී සිංහල සිනමාවේ පුරා වෘත්තයක් බිහි කළ අග්‍රගණ්‍ය නිළියක් වන්නීය.

මාලිනී සිනමා රංගනයට ප්‍රවිෂ්ට වන්නේ ‘පුංචි බබා’ චිත්‍රපටයෙනි. ඇය සිනමාවට හඳුන්වා දීමේ ගෞරවය එක් පැත්තකින් පසුගියදා අපෙන් සදහටම සමු ගත් මහා නළු ජෝ අබේවික්‍රමයන්ට ද, අනිත් පැත්තෙන් අධ්‍යක්ෂ තිස්ස ලියනසූරියට ද හිමි විය යුතු යයි මා සිතමි. මාලිනී තම ප්‍රථම චිත්‍රපටයෙන්ම ප්‍රධාන චරිතයක් රඟපෑම ද සුවිශේෂත්වයක් වූයේය.

1947 දී කැලණියේ උපන් වන්නිආරච්චිගේ මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා මූලික අධ්‍යාපනය ලැබුවේ කැලණිය ගුරුකුලයෙනි. එහිදී නාත්තන්ඩියේ ප්‍රඥාසාර, කොටහේනේ පඤ්ඤාකිත්ති, කාක්කපල්ලියේ අනුරුද්ධ වැනි බෞද්ධ යතිවරුන් යටතේ ඉගෙනුම ලැබීමට තරම් ඇය භාග්‍යවන්තියක වූවාය.

පසු කලෙක කලා ලොවේ කීර්තියක් දැරූ බොහෝ දෙනෙක් එදා මාලිනී සමඟ ගුරුකුලයේ ඉගෙන ගත් අය වූහ. එච්. ඩී. ප්‍රේමරත්න, විමල් කුමාර ද කොස්තා, ඩොනල්ඩ් කරුණාරත්න, කුසුම් පීරිස්, පතිරාජ එල්. එස්. දයානන්ද ඉන් කීප දෙනෙකි.

සිනමාවට එළඹීමට පෙර මාලිනී වේදිකා නාට්‍ය රැසක රඟපා තිබුණාය. එච්. ඩී. වීරසිරිගේ ‘නොරත රත’ (1963) ඇය රඟපෑ මුල්ම නාට්‍යය විය. ඒ නාට්‍යය වේදිකා ගත කළ වසරේදීම මාලිනී ‘කැලණි කල්‍යාණි’ නම් වූ රූප සුන්දරී තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තීය.

මාලිනී අවම වශයෙන් නාට්‍ය 14 ක හෝ 15 ක පමණ රඟපා ඇත. ‘සයුරෙන් ආ ළඳ’ (මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර), ‘ලිය තඹරා’ (ගුණසේන ගලප්පත්ති), ‘මහගෙදර’ (රංජිත් ධර්මකීර්ති), ‘එරබදු මල් පොට්ටු පිපිලා’ (එස්. කරුණාරත්න), ‘නිදිකුම්බා’ (සුමන ආලෝක බණ්ඩාර), ‘බක තපස්’ (සතිස්චන්ද්‍ර එදිරිසිංහ) ඉන් කීපයකි. ඇය වසරේ හොඳම නිළිය ලෙස රාජ්‍ය සම්මාන හිමි කර ගත්තේ ‘අකල් වැස්ස’ නාට්‍යයේ කළ චරිතාංග නිරූපණය වෙනුවෙනි.

‘පුංචි බබා’ චිත්‍රපටයෙන් සිනමා නිළියක වූ පසු මාලිනීට යළිත් වේදිකා නාට්‍යයක රඟපෑමට තරම් විවේක බුද්ධියක් නොතිබිණි. ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා වරක් මාලිනී ගැන සඳහන් කරමින් කියා සිටියේ සිනමාව විසින් මාලිනී ෆොන්සේකා නම් වූ දක්ෂ වේදිකා නාට්‍ය නිළිය උදුරා ගනු ලැබූ බවය.

‘පුංචි බබා’ හි රඟපෑමට පෙර මාලිනීට තිර පරීක්ෂණයකට (SCREEN TEST) පෙනී සිටීමට සිදු විය. කැමරාවට ඇස තැබූ අධ්‍යක්ෂ තිස්ස ලියනසූරිය මාලිනීගේ ඡායාකාන්ත බව (PHOTOGENIC) මැනවින් ප්‍රත්‍යක්ෂ කර ගත්තේය. මෙහිදී මට මතක් වන්නේ ලෝක ප්‍රකට නිළි ලිව් උල්මාන් වරක් කියූ දෙයකි. ‘මගේ සිතුම් පැතුම් සියල්ල දන්නා පෙම්වතකුට වඩා හොඳින් කැමරාවට මා හෙළිදරව් කර ගත හැකිය.’ ඒ ආකාරයටම සිනමා කැමරාව විසින් මාලිනීගේ ජීවිතය හෙළිදරව් කරන ලදැයි කිව හැකිය.

මාලිනී වේදිකාවෙන් සිනමාවට පැමිණි නිසාත් මුල් යුගයේ ඇයව අධ්‍යක්ෂණය කළේ තිස්ස ලියනසූරිය, අමරනාත් ජයතිලක, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි සිනමාකරුවන් නිසාත් සෙසු නිළියන්ට මෙන් දකුණු ඉන්දීය රංග සම්ප්‍රදායයට ගොදුරු වීමට ඇයට සිදු වූයේ නැත. එය ඇය ලද භාග්‍යයකි.

ආරම්භයේ සිටම මාලිනී ජනප්‍රිය සිනමාවේත් සම්භාව්‍ය එසේත් නැත්නම් කලාත්මක සිනමාවේත් එක පරිදිම රඟපෑවාය. එම සිනමා ධාරාවන් දෙකේම උපරිම සාර්ථකත්වයක් හිමි කර ගත් නිළියක වේ නම් ඒ මාලිනී පමණි. එය සංකේතවත් කෙරෙන අපූර්ව අවස්ථාවක් වන්නේ 1972 දී ඇය ‘දීපශිඛා’ සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම නිළිය වන අතර විචාරක සම්මාන උළෙලේ හොඳම නිළිය ද වීමය. ඒ ‘නිධානය’ චිත්‍රපටයේ චරිතාංග නිරූපණය වෙනුවෙනි. ‘නිධානය’ මාලිනී සංකීර්ණ චරිතයක් රඟපෑ පළමු අවස්ථාව විය. එහිදී ඇය රඟපාන්නේ බිලි පූජාවකට කැප වූ අහිංසක ගැහැනියකගේ චරිතයකි. එය අධ්‍යක්ෂවරයාගේ මෙහෙයවීමෙන් කෙරුණු අව රංගනයකි (UNDER PLAY).

මාලිනී ගැන අධ්‍යක්ෂ ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙසේ කියා තිබිණි.

‘මාලිනී ඕනෑම චරිතයක් නිරූපණය කිරීමට සමත්කම් දක්වන නිළියක් බව මා අමුතුවෙන් නැවත වතාවක් කියන්න අවශ්‍ය නැහැ.

ඇය ‘නිධානය’ චිත්‍රපටයේ අයිරින්ගේ චරිතයට අදාළ ආධ්‍යාත්මික ලක්ෂණ බාහිර වශයෙන් නිරූපණය කර දැක් වූ විලාසය අපූරුයි.’ ( ‘සූර’ චිත්‍රපට මාලාවෙන් හතර දෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා, සූරයා සූරයාමයි වැනි) ගාමිණී – මාලිනී යුගයක් සිංහල සිනමාවේ ස්ථාපිත වූයේය. ඉනික්බිතිව විජය – මාලිනී යුගයක් ද බිහි වූයේය.

‘තුෂාරා’, ‘සුසී’, ‘වාසනා’, ‘හිතුවොත් හිතුවාමයි’ වැනි ට්ත්‍රපට ඊට නිදසුන්ය. ‘සුසී’ වැනි වාණිජ චිත්‍රපටයක මාලිනී රඟපෑ චරිතය එපරිද්දෙන් දක්ෂ ලෙස රඟපෑ හැකි වෙනත් නිළියක් ගැන මට සිතා ගැනීමටත් අසීරුය. එසේම ඇය ‘සැලී’ චිත්‍රපටයේ ද එකිනෙකට වෙනස් චරිත පහක් රැඟූ අයුරු මතකය. මාලිනීගේ රංග මහිමය ප්‍රබලව මතු කර ගත් සිනමාකරුවා ආචාර්ය ධර්මසේන පතිරාජය.

ඔහුගේ චිත්‍රපට තුනක් හැරුණු කොට අන් චිත්‍රපට සියල්ලේම මාලිනී රඟපෑවාය. ආචාර්ය ජේ. උයන්ගොඩ ඉතා නිවැරදිව කියා ඇති ආකාරයට පතිරාජ විසින් මාලිනී යළි සොයා ගනු ලැබීම ඇගේ නිළි දිවියේ සංධිස්ථානයකි.

පතිරාජගේ අධ්‍යක්ෂණයක් වන ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ මාලිනී රඟපෑවේ කටුවැල්ලේ ගෙදර සුසිලාවතීගේ චරිතයයි. එය ගැමි ආර්ථික පීඩනයෙන් මතු වූ චරිතයකි. පියාගේ මරණය, සහෝදරයා රිය අනතුරකට ලක් වීම හා තමා ලිංගික අතවරයකට ගොදුරු වීම ඇගේ ජීවිතය කෙරෙහි බරපතළ ලෙස බලපායි. සුසිලා කඳුළු අතරින් සිනාසෙන්නට උත්සාහ කරන චරිතයකි. මාලිනී මේ චරිතයේ බාහිර ක්‍රියාකාරකම් පමණක් නොව අභ්‍යන්තර මනෝභාව ද ඉතා ගැඹුරින් නිරූපණය කරන්ට සමත් වූවාය.

‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ මාලිනීගේ රඟපෑම් සඳහා 1975 දී නව වැනි මොස්කව් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී ඩිප්ලෝමා සහතිකයක් හිමි වූයේය.

එය ශ්‍රී ලාංකේය නළුවකු හෝ නිළියක හෝ ලද ප්‍රථම අන්තර් ජාතික ජයග්‍රහණය ලෙස ඓතිහාසිකව වැදගත්ය.

පතිරාජගේ ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ මාලිනී ධීවර ගැහැනියක ලෙස කළ චරිතාංග නිරූපණය අග්‍රගණ්‍යය. පතිරාජගේම ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයේ ඇය පරමාධිපත්‍යය කුණුහරුපයක් සේ සලකන ගණිකාවකි. මෙහිදී ඇගේ රංගනය ගැන පතිරාජ වරක් මා සමඟ මෙසේ කියා සිටියේය.

‘මගේ ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයේ මාලිනී රඟපෑවේ ගණිකාවගේ චරිතයක්. අපි එතෙක් සිනමාවෙන් මාලිනී දැක්කේ සිංහල ගැමි හෝ නාගරික පරමාදර්ශී කාන්තාවකගේ චරිතය. නමුත් ඒ ප්‍රතිරූපය ඇය ‘සොල්දාදු උන්නැහේ’ චිත්‍රපටයෙන් විසංයෝජනය කරනවා. ඒක තමයි දක්ෂතාව කියන්නේ.’

‘සිරිපාල හා රන් මැණිකා’ චිත්‍රපටයේ මාලිනීගේ රංගනය අති උත්කෘෂ්ඨය. එය එදා මෙදාතුර සිංහල සිනමාවේ දක්නට ලැබෙන හොඳම චරිතාංග නිරූපණ ස්වල්පයෙන් එකකි. මාලිනී මේ චරිතය රඟපෑමට පෙර කිසියම් පූර්ණ අධ්‍යයනයක යෙදී ඇත. අනුරාධපුරයට ගොස් රන්මැණිකා මුණ ගැසී ඇගේ කතා විලාසය හා වෙනත් චර්යා ඇය විසින් සියුම්ව අධ්‍යයනය කරන ලදී. කොණ්ඩය බැඳීම, උර හිස් පටි සහිත හැට්ටය ඇඳීම, ඇවිදින විට පන් මල්ල අතට ගැනීම වැනි චර්යා එම හැදෑරීම්වල ප්‍රතිඵලය. මේ හැදෑරීම්වලින් ;පන්නුම් කරන්නේ නිළියක වශයෙන් මාලිනී තුළ තිබෙන අසීමිත වෘත්තීය කැපවීමයි.

1977 හය වැනි ඉන්දීය අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී ‘සිරිපාල හා රන් මැණිකා’ චිත්‍රපටයේ රඟපෑම් සඳහා මාලිනීට විශේෂ ගරු සඳහන්(SPECIAL HONORABLE MENTION) සහතිකයක් හිමි වූයේය. මානුෂික දයාව, සංවේදිතාව නිරූපණය කිරීමේදී මාලිනී දැක් වූ දක්ෂතාව වෙනුවෙන් මේ සහතිකය පිරිනැමුණු බව උළෙලේදී අනාවරණය විය.

ඒ හැරුණු කොට ‘අනුපමා’, ‘පෙම්බර මධු’, ‘ඉන්දුට මල් මිටක්’, ‘දඬු මොනර’, ‘එක්ටැම් ගේ’, ‘සිරි මැදුර’, ‘මධුසමය’ හා ‘ස්ත්‍රී’ වැනි චිත්‍රපටවල ද මාලිනී කළ රඟපෑම් ද අභිරම්‍යවත්ය.

‘අනුපමා’ වැනි චිත්‍රපටයක ඇය රඟපෑවේ මැහැල්ලකගේ චරිතයකි. තරුණ වියේදී මෙසේ මහලු චරිතයක් රඟපෑමෙන් ප්‍රත්‍යක්ෂ වන කාරණය වන්නේ තරුවක් නොව චරිතාංග නිළියක වන්නට ඇය තුළ තිබුූ අප්‍රමාණ කැපවීමයි. මාලිනී ඊට ඉහත ‘හිරු අවරට ගියාදෝ’ වේදිකා නාට්‍යයේ ද මැදි වියේ චරිතයක් රඟපෑ බව මා අසා ඇත.

ඇතැම් විචරකයන් පිළිගන්නා ආකාරයට මාලිනීගේ රංග කලා ජීවිතයේ කූටප්‍රාප්තිය ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස කුසුම්’ චිත්‍රපටයයි.

මෙම චිත්‍රපටයේ මාලිනී රඟපෑවේද චිත්‍රපට නිළියකගේ භූමිකාවකි. සන්ධ්‍යා රාණි නම් වූ නිළියගේ චරිතයෙන් ඇය සියල්ල දිනුවත් ආධ්‍යාත්මිකව පරාජිත වූ ගැහැනියක් නිරූපණය කළාය.

‘ආකාස කුසුම්’ මාලිනීට අන්තර් ජාතික සම්මාන දෙකක්ම දිනා ගැනීමට හැකි වූ සිනමාපටයකි. 2008 දී ඉන්දියාවේ පැවති 39 වැනි අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී ඇය රජත මයුර සම්මාන දිනූ අතර 2009 දී ඉතාලියේ පැවති හත් වැනි ලෙවාන්තේ අන්තර් ජාතික චිත්‍රපට උළෙලේදී හොඳම නිළිය ලෙස ඇය සම්මාන දිනුවාය.

ටෙලි නාට්‍ය නිළියක ලෙස ද, චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක ලෙස ද මාලිනී කුසලතා ප්‍රකට කර ඇත. මාලිනී සිංහල සිනමාවේ හැඳින්වෙන්නේ ‘නිළි රැජන’ ලෙසය. සෑම ගැහැනියකටම රැජනක් විය නොහැකිවාක් පරිදිම සෑම නිළියකටම නිළි රැජනක් විය නොහැකිය. ඒ අතින් මාලිනී අනභිබවනීයය.