2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Friday 5 March 2010

කලාවේ පුළුල් අර්ථය ගිලිහිලා- පරමාර්ථයන් සීමාවෙලා


Author: Patrick Fernando
Source: Diyasa
Date: 2007



- එච්. ඒ. පෙරේරා දියැස සමග 2007දී

• යළි ගොඩනැගෙමින් පවතින යුදවාදී වටපිටාව පිළිබඳව කලාකරුවකු ලෙස ඔබගේ අදහස?

යුදවාදී වටපිටාව යනුවෙන් පැවසීමෙන්ම පෙන්නුම් කෙරෙන්නේ මෙය මතුපිට විග‍්‍රහයකට පමණක් සීමා වී ඇති බවයි. මේ මතුපිට පෙනෙන තත්වයට එහා ගිය විග‍්‍රහයක් තියෙනවා. අපි විසඳුම් සොයන්නේ අපිට මතුපිටින් පෙනෙන තත්වයට පමණයි. පාලන රාමු, ව්‍යුහයන් වෙනස් වීම් ආදිය ගැන අපි කතා කරනවා. ති‍්‍රකෝණයක් ලෙස මෙය සැළකුවහොත් පතුලේ කොන් දෙකක් තියෙනවා. එකක් සමාජ ව්‍යුහයන්. අනෙක සංස්කෘතිකමය ලක්‍ෂණයන්. බොහෝ විට සමාජ සංවාදයට ලක්වන්නේ මතුපිටට පැමිණි තත්වය පිළිබඳවයි.

කොහොමද සාමය ඇති කරන්නේ? සාමය කියන්නේ මොකක්ද? එය සකි‍්‍රය විය හැකියි. නැත්නම් අකි‍්‍රය විය හැකියි. ලෝක ප‍්‍රජාව බල කරන නිසා නැත්නම් එල්.ටී.ටී.ඊ. ය බලකරන නිසා, එසේත් නැතිනම් බෝම්බ පිපිරෙන නිසා තමන්ගේ පාඩුවේ සිටීමට නම් විසඳුම් සොයන්නේ එතන තියෙන්නේ අකි‍්‍රය සාමයක්.

සකි‍්‍රය සාමය කියන්නේ සියලූ මිනිස් ප‍්‍රජාවන් එකට ජීවත් වීමයි. කපිල කුමාර කාලිංගගේ ටෙලි නාට්‍යයක මා රඟපාපු එක් චරිතයක මෙහෙම දෙබසක් තිබුණා. ‘‘මිනිස් සබඳතාවයන් තරම් සුන්දර දෙයක් මේ විශ්වයේම තියෙනවාද?’’ ඉස්සර එහෙම තිබුණා. අනෙක් ජනවර්ගයක් සමග ‘ගනු දෙනුවක්’, ‘බැඳීමක්’ අපිට තිබුණා. විවිධ සංස්කෘතීන්වල එකතුවක් කියන්නේ සියලූ ජාතීන් එකිනෙකාට බැඳ තබනා දෙයක්. එය අති සුන්දරයි. පවතින ගැටුම් කාරීත්වයට විසඳුම් සොයන්නට වෙන්නේ මේ අවබෝධයත් සමගයි. දෙපාර්ශවයම තම න්‍යාය පත‍්‍රයන්ට අනුව මිනිසුන් තුළ වෛරය වපුරනවා. ඒ වෛරය එකතු වෙලා එකතු වෙලා අවසානයේ පිපිරීයාම තමයි අවසානයේ යුද ගැටුමක් බවට පත් වන්නේ. අභ්‍යන්තර යුද ගැටුමක් ජාත්‍යන්තර මැදිහත්වීමකින් හෝ ගිවිසුම්වලින් හෝ නොඑසේනම් දෙපාර්ශවයේ ඉහළ මට්ටමේ අයගේ එකතුවකින් හෝ සමනය කරන්න බැහැ. හදවත් තුළ ගොඩ ගැසී තිබෙන වෛරය ගිනි කඳු වගෙයි. මතුපිටින් සමතයට පත්වුණාට සැබෑ සාමයක් ඇති වන්නේ නැහැ. එකිනෙකා සැබෑවටම හදවත්වලින් සම්බන්ධ විය යුතුයි.

කලාවට, සාහිත්‍යයට බොහෝ දේ කළ හැකියි. නමුත් ඒ දේ සිදුවෙලා නැහැ. ඒ නිසාම තමයි මේ විනාශය වෙලා තියෙන්නේ. වැරැද්දක් වුණා තමයි. නමුත් ඒ තත්ත්වය වෙනස් කිරීමට කවුරුන් හෝ මැදිහත්විය යුතුයි. සම්මුතීන්වලට පැමිණිය යුතුයි. නමුත් සම්මුතීන්වලින් මේ වෙනස ඇති කරන්න බැහැ.

• ජනකරලියේදී ඔබ දමිළ හා සිංහල නාට්‍ය ශිල්පීන් සමග එකට වැඩ කළා. ඒ වගේම තමයි සිංහල හා දමිළ ප‍්‍රදේශවලත් මෙම නාට්‍ය මාලාව පෙන්වනු ලැබුවා. මෙම ජනවාර්ගික සහයෝගීතාවය ඇසුරින් ඔබ ලබපු අත්දැකීම් කවරේද?

සිංහල හා දමිළ ජනවාර්ගික නාට්‍ය කණ්ඩායමක් ඇති කිරීමේදී අපි ඒ සඳහා නිර්මාණ ශිල්පීන් බඳවා ගැනීමට පුවත්පත් දැන්වීම් ප‍්‍රසිද්ධ කළා. සිංහල තරුණ තරුණියන් 100-200 ක් ආවා. නමුත් එක දමිළ තරුණයෙක් හෝ තරුණියක් ආවේ නැහැ. ඒක පුදුම වෙන්න දෙයක් නෙමෙයි. අපි ජාතීන් වශයෙන් බෙදී අවසන්. ඒ තුළ අපි එකිනෙකාව අවිශ්වාස කරනවා. ඔවුන්ට සිංහල ජාතිය පිළිබඳව අත්දැකීම් එක්ක බලද්දි සිංහල පිරිසක් කරන කාර්යයකට පැමිණීමට සැකයක් ඇති. දමිළ දෙමාපියන් තම දරුවන්ව එවන්න බයයි. මේ අර්බුදයට මැදිහත් වුණේ අපිට හිතවත් දමිළ කලාකරුවන් කිහිප දෙනෙක්. ති‍්‍රකුණාමලයේ විල්වරත්නම් කවියාගෙන් දෙමාපියෝ විමසා තිබුණා මෙයට දරුවෝ යැව්වාට ප‍්‍රශ්නයක් නැතිද යන වග. වව්නියාව, යාපනය ආදී ප‍්‍රදේශවලත් මේ ආකාරයෙන්ම අපි සම්බන්ධතා ගොඩ නගා ගත්තා. වතුකරයෙනුත් දමිළ දරුවෝ සහභාගි වුණා. නමුත් මුස්ලිම් දරුවෝ සහභාගි කර ගන්න ගත් උත්සාහය අසාර්ථක වුණා.

පසුව මේ සියල්ලන්ම එකට කටයුතු කරද්දී ගැටුම් ඇති වුණා. දෙපාර්ශවයටම, දෙපාර්ශවය නිසි පරිදි අවබෝධ කර ගන්න බැරි වුණා. සමාජයේ තියෙන ගැටුම ඔවුන් අතරිනුත් මතුවුණා. නමුත් අපි අපේ උත්සාහය අත් නොහැර මේ තරුණ පිරිසට කරුණු කාරණා පැහැදිලි කර දුන්නා. ඔවුන් විසින්ම මේ අර්බුදය තේරුම් ගන්න තැනට කාලය සමග අප විසඳුම් ගෙනාවා. භාෂා අවබෝධය තමයි දුරස්ථභාවයට හා අනෙක් සියලූ ගැටුම්වලට හේතු වුණේ. නමුත් පසුව ඔවුන් සියලූ දෙනා දැඩි මිත‍්‍රත්වයකින් හා සහෝදරත්වයකින් බැඳුනා. හොඳම යහළුවා හා යෙහෙළිය වුණේ අන් ජාතියක කෙනෙක්.

• පවතින ජනවාර්ගික අර්බුදය හරහා මුදා හැරෙන සමාජ ඛේදවාචකයන් අප අත් විඳිනවා. සිංහල කලාකරුවන්ගේ නිර්මාණයන් තුළින් ප‍්‍රමාණවත් ලෙස මේ තත්වය ප‍්‍රතිනිර්මාණය වීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. මෙයට හේතුව කුමක් විය හැකිද?

ජාතිකත්වය කියන දෙය සිංහල කලාවට යම් උරුමයක් තිබෙනවා. ඉතිහාසයේදී ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදයට විරුද්ධව කලාව භාවිතා වෙලා තියෙනවා. නමුත් ජාතිකත්වය කියන එකේ සීමාවන් හැකිලී ගොස් අද වන විට එය ජාතිවාදය නොඑසේ නම් සිංහල මතවාදයට පමණක් සීමාවෙලා තියෙනවා.

ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදයට එරෙහිව ජාතිකත්වය තුළ ශී‍්‍ර ලාංකිකත්වය නැමති පුළුල් අර්ථය ගැබ්ව තිබුණා. වර්තමානයේදී මේ තත්වය එසේ නොවෙයි. එකිනෙකා මුහුණ දෙන ගැටළු ඔස්සේ ලබන අත්දැකීම් මතයි අද දවසේ තම සමාජ මතවාදයන් නිර්මාණය වන්නේ. ඇතැම් සිංහල කලාකරුවෝ ඔවුන්ගේ නිර්මාණ හරහා මතු කරන්නේ සිංහල ජාතිවාදීත්වය පදනම් වූ නිර්මාණයන්. ඇතැම් කලාකරුවෝ ජනකරළියට පවා සහය දෙන්නේ නැහැ. එයට හේතුව ඔවුන් දරණ ජාතිවාදී ස්ථාවරය. සමහර කලාකරුවෝ වෙනත් ජාතියක අයට පහරදීමටත් තම කලා නිර්මාණ භාවිතයන් යොදා ගන්නවා. මෙය ඉතා නින්දාසහගත තත්වයට පත්වූ අවස්ථාවන්ද තිබෙනවා.මේ අර්බුදයට කලාව හරහා විසඳුම් සෙවීමේදී මුහුණ දෙන අනෙක් ප‍්‍රශ්නය තමයි කලාව හා ජනතාව අතර ඇති දුරස්තභාවය හා සීමාවන්. ජනතාවගෙන් අද කලාව ඈත් වෙලා. අගනුවරට සීමාවෙලා. ඒ ඔස්සේ හුදකලාවක් ගොඩනැගිලා තියෙන්නේ. බොහෝදෙනා සම්භාව්‍ය කියන්නේ මේකට. කලාවේ පුළුල් අර්ථය ගිලිහිලා කලාවේ පරමාර්ථයන් සීමාවෙලා. නවක කලාකරුවෝ හිතන්නේ කලාවේ එකම අරමුණ සම්මාන ගැනීම පමණක් බවයි. මේ සීමිත මනස තුළ ජාතිවාදය වැපිරීමට තිබෙන ඉඩ ප‍්‍රස්ථාවන් අධිකයි. කලාකරුවෝ කටයුතු කරන්නේ පටු අරමුණු තුළ. ජාතිකවාදීත්වය අවම වශයෙන් පුද්ගල අරමුණුවලින් එහා ගිය එකක් විය යුතුයි. නමුත් වර්තමානයේදී කලාවේ කි‍්‍රයාකාරීත්වය එසේ නොවෙයි.

• අධිරාජ්‍යවාදයට එරෙහි තම අරගලයේදී ඉන්දීය ජනතාව කටයුතු කළේ ඉන්දියානු හැඟීමෙන් මිස ජාතීන් හෝ ආගමික වශයෙන් නොවේ. නමුත් ශී‍්‍ර ලංකාවට නිදහස ගැනීමේදී මේ ජාතීන් අතර ඒකාබද්ධතාවය දක්නට ලැබුණේ නැහැ. මේ අර්බුදයේ මූලාරම්භය එම වාර්ගික බෙදීමේ ආරම්භය බව පවසනු ලැබුවහොත්?

අධිරාජ්‍ය විරෝධී අරගලයේදී සීමිත දේශපාලන එකතුවක් දක්නට ලැබුණා කලා ක්ෂේත‍්‍රයේදී. එදා සන්නිවේදනය බිම් මට්ටමට පැතිරී තිබුණේ නැහැ. මා හිතන්නේ ඉතිහාසයේදී සිංහල හා දෙමළ කලාකාරයෝ වෙන් වීමට එයත් එක් හේතුවක් යම් එකතුවක් ඇතිවුණේ විශ්ව විද්‍යාල මට්ටමින් පමණයි. නමුත් පසු කාලීනව යම් යම් සබඳතා ගොඩනැගුනා. මෑතක සිට දෙමළ සහ සිංහල කලාකාරයෝ එකට එකතුව කටයුතු කළ යුතු යැයි කියන ප‍්‍රවණතාවය මතුවෙමින් තිබෙනවා. මේක ශක්තිමත් විය යුතුයි.

මා හිතන්නේ මෙහිදී යම් බාධාවක් තිබෙනවා. දෙපාර්ශවයටම තර්ජනයක් එල්ලවෙනවා. විශේෂයෙන්ම යුද විරෝධී පාර්ශවයන්ට. අපි තේරුම් ගත යුතුයි අපි මහා විනාශයකට ගමන් කරමින් සිටින වග. ඒක ජීවිත විනාශයක් පමණක් නොවෙයි. ඊ ළඟ පරම්පරාවම වහල්ලූ බවට පත්වෙන මහා ඛේදවාචකයක් තමයි මේ සිදුවෙමින් තියෙන්නේ. මේ දැවැන්ත සමාජ ඛේදවාචකය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම උදෙසා කලා මාධ්‍යයෙහි ඇති දායකත්වය ඉතා අවම බවයි මගේ හැඟීම. විශේෂයෙන්ම වේදිකා නාට්‍ය ක්ෂේත‍්‍රයෙහි මේ අඩුව වර්තමානයේදී ඉතා පැහැදිලිව දක්නට ලැබෙනවා. මේ තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීමට අර්බුදය පිළිබඳ සංවේදී කලාකරුවන් නිර්මාණ හිඩැස පිරවීමට කටයුතු නොකරන්නේ ඇයි?

මේක සංකීර්ණ තත්වයක්. ඉන්දියානු අරගලයේදී කලාකරුවෝ එක්රැස් කිරීමේ මහා ව්‍යාපාරයක් තිබුණා. ඒ හරහා ගැඹුරු දේශපාලන කතිකාවක් ඇතිවුණා. කලාකරුවෝ සහ සමාජ ව්‍යාපාර අතර ඇති සහසම්බන්ධතාවයද මේ අර්බුදය තීව‍්‍ර වීම කෙරෙහි බලපා තිබෙනවා. සමාජ ව්‍යාපාර සහ කලාකරුවෝ අතර අන්තර් සහයෝගයක් අත්‍යවශ්‍යයයි. ඉස්සර නාට්‍යවල සමාජ ඛේදවාචකයන් පිළිබඳ කතිකාවක් තිබුණා. දැන් එහෙම නැහැ. මාර්කට් එකට ගැළපෙන දෙයක් තමයි සිදුවන්නේ. නාට්‍යයට පමණක් නොවෙයි මේක හැම මාධ්‍යයකටම පොදුයි. ජාතික ප‍්‍රශ්නය පිළිබඳව කතා කරන්නේ මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සීමට පමණයි. මේක බරපතල දෙයක්. අද බුද්ධිමය සංවාදයක් ඇත්තේම නැහැ.

[සංවාද සටහන- පැටි‍්‍රක් ප‍්‍රනාන්දු- මෙම සංවාදය දියැස මාසික සගරාව වෙනුවෙන් පැට්‍රික් ප්‍රනාන්දු සහෝදරයා විසින් 2007 අවසාන කාර්තුවේදී සිදු කරනු ලැබූවෙකි.]

රිචඞ් - නිහඬ බව වෙනුවට මරණය තෝරාගත් මිනිසා

Source: Lanka Truth
Date: 18/02/2010

ඒ මීට වසර 20 කට පෙර දිනකි. හරියටම කියන්නේ නම් ඒ 1990 පෙබරවාරි මස 18 දිනයි. ඔහුගේ ලියන මේසය මත ගෝතමාලානු මහා කවියකු හා විප්ලවවාදියකු වූ ඔටෝ රෙනෝ කැස්ටිලෝගේ Apolitical Intelectuals (අදේශපාලනික බුද්ධිමතුන්) නම් කවිය විය. ඔහුගේ ඒ ප‍්‍රියතම කවිය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ඔහු අරඹා තිබුණා පමණි. එය අවසන් කර නොතිබිණි.


අදේශපාලනික බුද්ධිමතුනි
යම් දිනෙක,
මගේ රටේ වෙසෙන,
එදාවේල යාන්තමින් දිවි ගැට ගහගන්නා
සාමාන්‍ය මිනිසුන් පැමිණ ඔබව ප‍්‍රශ්න කරාවි.....
මගේ රට
සෙමෙන් ඇවිළෙන
ගිනි දලූවක් සේ
බිඳෙන් බිඳ මියැදෙන අතර
ඔබකළේ කුමක්දැයි
ඔවුන් ඔබෙන් විමසාවි........

ඒ කවියේ දළ අර්ථය වූයේ එයයි. ඒ කවිය ලියූ ඔටෝ රෙනෝ කැස්ටිලෝ සමාජවාදී සමාජයක් වෙනුවෙන් ගෝතමාලාවේ කඳුකර බිම්වල ගරිල්ලා සටනේ නිරතවී
1967 දී සතුරන් අතින් මැරුම් කෑවේය. ඒ 1967 මාර්තු මාසයේදීය. ඊට වසර 23 කට පසුව එළඹි පෙබරවාරියේදී කැස්ටලෝගේ කවියට පෙම්බැඳි තවත් කලාකරුවකු, මාධ්‍යවේදියකු, මානවහිතවාදියකු, කැන්ටලෝගේ රටට කිලෝමීටර් දසදහස් ගණනක් දුරින් පිහිටි ශ‍්‍රී ලංකාවේදී සමාන්තර ඉරණමකට ගොදුරුවන බව ලෝකයා දැනසිටියේ නැත. ඔටෝ රෙනෝ කැස්ටිලෝ සතුරු හමුදා ග‍්‍රහණයට පසුව දින හතරක් පුරා දසවධදී පුලූස්සා මරා දමනු ලැබීය. එලෙසම රිචඞ් ද සොයිසා නම් ශ‍්‍රී ලාංකීය මාධ්‍යවේදියා සහ කලාකරුවා නාඳුනන තුවක්කුකරුවන් ලෙස හඳුන්වනු ලැබූ රාජ්‍ය අනුග‍්‍රහය ලත් නොනිල සන්නද්ධ කල්ලියක් අතින් ඝාතනයට ලක්විය.

රිචඞ් ද සොයිසා උපත ලැබුවේ කොළඹදීය. ඔහුගේ පියා සිංහල ජාතිකයකු වූ අතර මව දෙමළ ජාතික වෛද්‍යවරියකි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඔහු ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයට හා කලා ක්ෂේත‍්‍රයට අවතීර්ණ විය. එහු ඒ ක්ෂේත‍්‍ර තුළ නොමැකෙන මතක සටහන් ස්ථාපිත කළේය. එක් පැත්තකින් රිචඞ් ඉංග‍්‍රීසි වේදිකා නාට්‍ය නළුවෙකි. ලයනල් වෙන්ඞ් වේදිකාව මත ඔහ සම්භාව්‍ය ඉංග‍්‍රීසි නාට්‍යකලාවේ නව මානයන් සනිටුහන් කළේය. එපමණක් නොව ඔහු කවියෙක් හා ලේඛකයෙක් විය. විදේශීය රුඩිකල් කවීන්ගේත්, ප‍්‍රගතිශීලි ලේඛකයන්ගේත් බොහෝ කවි හා ලේඛන ඔහු අතින් සිංහල භාෂාවට පබරිවර්තනය විය. එමෙන්ම ඔහු සති අන්ත ඉංග‍්‍රීසි පුවත්පත්වලට කවි ලීවේය. මේ අතර ජාතික රූපවාහිනියේ ආරම්භයේ සිටම පාහේ එහි ඉංග‍්‍රීසි ප‍්‍රවෘත්ති නිවේදයකු ලෙස රිචඞ් කටයුතු කළේය. ඔහු ප‍්‍රවෘත්ති ඉදිරිපත් කළ චතුර උච්චාරණ ශෛලියත්, ඔහුගේ නිදහස් අංග බලන ශෛලියත් අදත් බොහෝ දෙනෙකුට අමතවී නැත.

ඉංග‍්‍රීසි වේදිකා නාට්‍ය රසිකයන්, රූපවාහිනී ඉංග‍්‍රීසි ප‍්‍රවෘත්ති පේ‍්‍රක්ෂකයන් වැනි එක්තරා ස්ථාවරයක් පමණක් දැන සිටි රිචඞ් ද සොයිසා මෙරට සාමාන්‍ය ජනතාව අතරට පිවිසියේ සිංහල චිත‍්‍රපටයක රඟපෑමට ඔහු තීරණය කිරීමත් සමගය. 1983 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමාවේදියා, මහගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ තුන් ඈඳුතු නවකතාවේ අවසන් කොටස වන යුගාන්තයසිනමාවට නැංවීය. යුගාන්තයේ තේමාව වී ඇත්තේ ලාංකීය ධනපති පන්තියේ ප‍්‍රථමයන්ගේ දරුවන්, විදේශගතව අධ්‍යාපනය ලබා, මෙරටට පැමිණ වාමාංශික දේශපාලනය ආරම්භ කිරීමයි. ඒ අනුව නිර්දය ලෙස පීඩිතයන් සූරාකන ධනපතියා වන සවිමන් කබලානගේ චරිතය ප‍්‍රවීණ රංගන ශිල්පී ගාමිනී ෆොන්සේකා විසින් නිරූපණය කළ අතර ඔහුගේ රැුඩිකල් පුත‍්‍රයා වන මාලින්ගේ චරිතය නිරූපණය කළේ රිචඞ් ද සොයිසාය. වාමංශික අදහස් දරන පියාගේ සූරාකෑමට ලක්වූවන් වෙනුවෙන් සටන් කරන, වෘත්තීය සමිති නිර්මාණය කරන මාලින්ගේ චරිතය සිය විශ්වාසයන්ට හා අපේක්ෂාවන්ට බොහෝ සමීප බව පසුව රිචඞ් පවසා තිබිණි.

1983 න් පසුව ලංකාවේ ඉතිහාසය වෙනස් මඟක් ගත්තේය. ඒකාධිපති ජේ. ආර්. ආණ්ඩුව වාමාංශික දේශපාලන පක්ෂ තහනම් කළේය. කම්කරු, ගොවි, ශිෂ්‍ය ව්‍යාපාරයන්ට එරෙහි මර්දනය ඇරඹුවේය. 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග මේ තත්ත්වය තවත් උත්සන්න විය. නැගී එන ජනතා විරෝධය පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මුහුණ දුන්නේ මර්දනයෙනි. අතිශය සංවේදි කලාකරුවකු හා රැුඩිකල් ලක්ෂණ සහිත මානව හිතවාදියකු වූ රිචඞ් තත්වය හමුවේ නිහඬව සිටීමට කැමැති වූයේ නැත. එම නිහඬතාවය යම් දිනෙක රටේ පොදු ජනතාව විසින් ප‍්‍රශ්න කරන බව ඔහු විශ්වාස කළේය. 1967 දී ගෝතමාලාවේ වනාන්තරයක මරණය වැලඳගත් කැස්ටිලෝ පැවැසූ අදහස ඔහුගේ සිතේ කා වැදී තිබිණි. ඒ නිසා ඔහු නිහඬවීමේ මාවත වෙනුවට ක‍්‍රියාකාරීවීමේ මාවත තෝරා ගත්තේය. ඔහු අක‍්‍රීයවීම වෙනුවට සටන් වැදීම තෝරාගත්තේය.
ඒ අනුව රිචඞ් ක‍්‍රමානුකූලව ප‍්‍රගතිශීලි, වාමාංශික දේශපාලනය වෙත නැඹුරු විය. ඔහු රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් ලිවීම ඇරඹුවේය. කලා කෘති නිර්මාණය කිරීම ඇරඹුවේය. මාධ්‍යවේදියකු හා කලාකරුවකු ලෙස පමණක් දක්වන දායකත්වය ප‍්‍රමාණවත් නොවන බව දුටු රිචඞ් මානව හිමිකම් ක‍්‍රියාධරයකු ලෙස සටනට පිවිසියේය. ඔහු වධ හිංසාවන්ට ගොදුරු වූවන් සොයා ගියේය. අතුරුදන් කරනු ලැබූවන්ගේ ඥාතීන් සොයා ගියේය. ඒකාධිපතිත්වය විසින් විවිධාකාර තර්ජන එල්ල වන තත්වයක් යටතේදීත් ශ‍්‍රී ලංකාවේ සිදුකෙරෙන මර්දනය ගැන ලෝකය දැනුවත් කළේය. විදෙස් මාධ්‍ය මේ ජනසංහාරය ගැන බොහෝ දෑ දැනගත්තේ ඔහුගෙනි. 1989 අගභාගය වන විට ජීවිත හැට දහසක් පමණ බිලිගත් බියකරු මර්දනය ලෝකයට පැවැසීමේ හඬ වූයේ රිචඞ්ය. ඒ නිසා පාලකයන්ගේත් ඔවුන්ගේ අනුග‍්‍රහය ලැබූ සන්නද්ධ මැරකල්ලිවලත් වෛරය ඔහු වෙත යොමු විය.

1990 පෙබරවාරි 18 වැනිදා අලූයම සිය මව වන මනෝරානී සරවනමුත්තු මහත්මිය සමග රිචඞ් විසූ නිවසට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් රිචඞ් ද සොයිසා පැහැරගෙන ගියේය. ඔහු ගෙන යෑම පිළිබඳ කිසිදු පැහැදැළි කිරීමක් කර තිබුණේ නැත. රිචඞ්ගේ මව බියට පත්වි වහාම වැලිකඩ පොලිසියට ගොස් මේ ගැන පැමිණිල්ලක් කළාය. එහෙත් කිසිදු තොරතුරක් නොවීය. 1990 පෙබරවාරි 19 දා උදෑසන මොරටුව මුහුදු වෙරළට සිරුරක් ගොඩගසා තිබිණි. ඒ සිරුර රිචඞ් ද සොයිසාගේය. ඔහුගේ හිසට හා බෙල්ලට වෙඩි තබා තිබූ අතර අතක් බිඳ දමා තිබිණි.

රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් පෙනී සිටි වරදට, මේ සමාජ ක‍්‍රමය වෙනස් කළ යුතු යැයි පැවැසූ වරදට ප‍්‍රවීණ මාධ්‍යවේදියකු, කලාකරුවකු හා ජනමාධ්‍යවේදියකු දැයෙන් උදුරාගැනීමට පාලකයන් කටයුතු කර තිබිණි. රිචඞ් මරා දැමූ දිනවලම ඔහුගේ මව පවසා සිටියේ රිචඞ් පැහැර ගැනීමට පැමිණි අය අතරින් දෙදෙනෙකු හඳුනාගත හැකි බවය. නමුත් පොලිසිය සැකකරුවන් කිසිවෙකු හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට අසමත් විය. මාස තුනකට පසුව මනෝරානී සරවනමුත්තු මහත්මිය රූපවාහිනී නරඹමින් සිටියදී සිය පුත‍්‍රයා පැහැර ගැනීමට පැමිණි පිරිසෙන් එක් අයකු රූපවාහිනී දර්ශනයක දුටුවාය. පසුව ඇය ඒ පිළිබඳව සිය නීතිඥයා හරහා පොලිසියට හා අධිකරණයට දැන්වූවාය. ඉන් පසුව ඇයටත් නීතිඥයන්ටත් මරණ තර්ජන එල්ල විය. රූපවාහිනියේ පෙනී සිටි පුද්ගලයා පොලිසියේ ඉහලම නිලධාරියෙකි. නමුත් ඔහුට එරෙහිව කිසිදු පියවරක් ගනු ලැබුවේ නැත. පැමිණිල්ල ඉවත විසිකෙරිණි. මානවහිමිකම් ක‍්‍රියාකාරිනියක බවට පත්වී අතුරුදන් වූවන් වෙනුවෙන් කටයුතු කිරීම ඇරඹූ රිචඞ්ගේ මව වන වෛද්‍ය මනෝරානී සරවනමුත්තු මහත්මිය 2004 දී මියගියාය.

රිචඞ්ගේ මරණයට වගකිවයුත්තන් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද රංචාගොඩ, දේවසුරේන්ද්‍ර හා සරත්චන්ද්‍ර යන පොලිස් නිලධාරීන් සාක්ෂි නැතිවීම නිසා 2005 දී නිදහස් විය. රිචඞ් ද සොයිසා මරා දැමුවේ කවුරුන්දැයි මුළු රටම දැන සිටියත් වරදකරුවකු නැතිව එම සිදුවීම කාලයේ වැලිතලාවට යටවිය. එහෙත් රිචඞ් ද සොයිසාගේ නාමය එලෙස යටපත් කළ නොහැකිය. රූපවාහිනී නිවේදකයෙකු ලෙසද, කලාකරුවකු ලෙසද තමන්ට සමීප වූ මේ තරුණයා පිළිබඳ මතකය ශ‍්‍රී ලාංකිකයන් කෙරෙන් ගිලිහී ගොස් නැත.

අද රිචඞ්ගේ මරණයෙන් විසිවසරකට පසුව යළිත් ඒකාධිපති, මර්දනකාරී පාලනයක ලකුණු විද්‍යාමාන වෙමින් පවතී. අදත් සිය නිදහස් අදහස් ලියන මාධ්‍යවේදීන් වෙත මර්දනයේ හස්තය දිගුවෙමින් තිබේ. මේ ඔහු වැනි නිර්භීත ජනමාධ්‍යවේදීන්, මානව හිතවාදීන් සිය ගණනක් අවශ්‍ය මොහොතකි. අප රිචඞ් සිහිපත් කරන්නේ ඒ අවශ්‍යතාවය සැපිරීම පිළිබඳ අධිෂ්ඨානය හා අපේක්ෂාවද සිත්හි දරාගෙනය. මේ බියකරු ඉරණම ඉදිරිපිට නිහඬව සිටින හැමදෙනාටම අපට පැවැසිය හැක්කේ රිචඞ් වඩාත් ප‍්‍රියකළ කැස්ටිලෝගේ කවියේ මේ අවසන් කොටසයි.
පීඩිතයන්
දුකින් පෙළෙන විට
ඔවුන්ගෙ ජීවිත
කෙමෙන් දැවෙන විට
ඔබ කළේ මොනවාද?”
මගේ ආදරණීය මවුබිමේ
අදේශපාලනික බුද්ධිමතුනි
ඔබට ඊට පිළිතුරු නැත
නිහඬත්වයේ ගිජු ළිහිණියන්
ඔබේ ධෛර්යය ගිල ගනු ඇත.
ඔබේම කාලකන්නිකම
ඔබේම ආත්මය වනසනු ඇත
ලැජ්ජාවෙන් ඔබ ගොළුවනු ඇත.......
මගේ රටේ
අදේශපාලනික බුද්ධිමතුනිෟ

"ලවා ගස්‌සවා" ප්‍රචණ්‌ඩකාරී ප්‍රහසනයක්‌

Author: ලක්‌මිණී අතුකෝරල
Source: Divaina
Date: 18/12/2009

ධර්මජිත් පුනර්ජීව

ධර්මජිත් පුනර්ජීව....

ලෝක සාහිත්‍ය උදෙසා සිදු කරන ලද සේවාව වෙනුවෙන් 1987 වසරේ දී නොබෙල් සම්මානය ලද ඉතාලි ජාතික නාට්‍යකරු දාරියෝa ෆොa රචනා කළ "අර්ප්ඩක්‌ටින් ඩයනා" නමැති නාට්‍යමය පෙළ අනුවාදය කොට ගනිමින් විද්යුත් මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය සන්නිවේදනයේ පවත්නා බලපරාක්‍රමය තුළින් සමාජයට සිදුවන අයහපත පිළිබඳ ප්‍රේíකයා දැනුවත් කිරීමේ අරමුණින් ධර්මජිත් පුනර්ජීව විසින් නිර්මාණය කරන ලද ප්‍රචණ්‌ඩකාරී ප්‍රහසනයක්‌ වන "ලවා ගස්‌සවා" වේදිකා නාට්‍ය හෙට (19දා) සවස 6.30 ට ජෝන් ද සිල්වා රඟහලේ දී හා අනිද්දා (20දා) සවස 3.30 ට සහ 6.30 ට මීගමුව නගර ශාලාවේදී රංගගත කෙරේ.

මේ නාට්‍ය සඳහා රංගනයෙන් මහින්ද පතිරගේ, අනෝමා ජනාදරී, රහල් බුලත්සිංහල, ෆ්‍රEන්ක්‌ලීන්a හේවාවිතාරණ, ඩීමන් හෙට්‌ටිආරච්චි, සුසිලා කෝට්‌ටගේ හා රොෂාන් පිලපිටිය දායක වනු ලබන අතර "ලවා ගස්‌සවා" නාට්‍යයේ මැවුම්කරු ධර්මජිත් පුනර්ජීව සිනමා කලා වෙත දැක්‌වූ අදහස්‌ මෙසේ පෙළගස්‌වමු.

ලවා ගස්‌සවා නාට්‍ය නිර්මාණය සඳහා විෂය වූ කරුණු මොනවාද?

ඉතාලි ජාතික ලෝක ප්‍රකට නාට්‍යකරුවෙකු වන දාරියෝ ෆොa ගේ "අර්ප්ඩක්‌ටින් ඩයනා" (ඩයනාගේ පැහැර ගැනීම) නාට්‍යයේ අනුවර්තනයක්‌ ස්‌වරූපයෙන් තමයි ලවා ගස්‌සවා නාට්‍යය නිර්මාණය වන්නේ. ඇත්තටම මෙය ප්‍රචණ්‌ඩකාරී ප්‍රහසනයක්‌. මේ සඳහා විෂය වුණු ප්‍රධාන කරුණ තමයි මාධ්‍ය කියන දේ මිනිසුන්ට ලබාදීලා තියෙන්නෙ මොනවද, ලබා දෙන්නෙ මොනවද කියන දේ. ඒ ඔස්‌සේ ප්‍රේíකයා සමාජීය වශයෙන් දැනුවත් කිරීමක්‌ තමයි නිර්මාණය තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ.

මෙවැනි ප්‍රචණ්‌ඩකාරී නාට්‍යයක්‌ තෝරා ගැනීමට විශේෂ හේතුවක්‌ තිබෙනවාද?

ගෙවුණු වසර දෙක තුන තුළ ජනමාධ්‍ය හා තොරතුරු සන්නිවේදනය පිළිබඳව අතිශය විවාද සම්පන්න තොරතුරු රැසක්‌ වාර්තා වුණා. ජනමාධ්‍යවේදීන් විසි හය දෙනෙක්‌ ඝාතනයට ලක්‌වුණා, මාධ්‍ය ආයතන කිහිපයකටම වගේම මාධ්‍යකරුවන් කිහිප දෙනකුටම තාඩන පීඩනවලට ලක්‌වුණා. නමුත් එදා දාරියෝ ෆොa ඉතාලි සමාජයේ ඇති වූ තත්ත්වයත් සමග මේ සම්බන්ධව සාකච්ජා කලා. ඒ අතින් බලන කල මාධ්‍ය මගින් ප්‍රේíකයාගේ ඔළුවට කර තිබෙන මෝහනය ඉදිරිපත් කරන්න අපි ප්‍රමාදයි කියලා මම හිතනවා.

මෙවන් වාතාවරණයක්‌ මාධ්‍ය සන්නිවේදනය තුළ ගොඩ නැගීමට හේතු මොනවද?

විද්Hqත් මාධ්‍ය ආයතන, රූපවාහිනී මාධ්‍ය පැමිණීම තමයි මේ තැනට මුල්ගල තැබුවේ. ඒ තුළින් රටට සිදුකර තිබෙන විනාශය නිසා මාධ්‍ය හරහා අලූත් භාෂාවක්‌ බිහිවෙලා. අපේ භාෂාව නැත්තටම නැතිවෙලා අගතියට යමින් තිබෙනවා. මිනිසුන්ගේ ආත්මීය ප්‍රකාශණ අද මාධ්‍ය තුළින් විනාශවෙලා. බාල බොළද, හරසුන් වැඩසහන් තමයි අද මාධ්‍ය තුළින් විකිනෙන්නේ. මේ වැරදි දේ ගැන අපි නාට්‍යයේ යම් යම් තැන්වල සාකච්ජා කරනවා. කෙටියෙන්ම කිව්වොත් ධනවාදී ආර්ථික ප්‍රවාහයක්‌ තුළ වෙළදාම් රැසක්‌ සිදු කිරීමේ මූලික අදහසින් තමයි අද මාධ්‍ය හසුරුවන්නේ.

වරෙක දාරියෝ ෆොa පවසා සිටියේ..... අපි මාධ්‍ය දකිනවා. මහජනතාව මාධ්‍යයට දායක වෙනවා. වෙළෙඳ දැන්වීම් ලබාදෙන ධනපතීන්ටත් මේ මාධ්‍ය යම් කිසි ආකාරයට මෙහෙයවන රෑකඩ වෙනවා. දේශපාලඥයොත් මාධ්‍ය තුළ යම් යම් දේ කරනවා. නමුත් අවසානයේ මේක පාලනය කෙරෙන්නේ කොහෙන්ද කියලා හිතාගන්න බැරි තැනකට අපි එනවා. දේශපාලනය මාධ්‍යට වඩා ප්‍රභලයි කියලා හිතුවත් මාධ්‍ය තමයි සියල්ලටම වඩා ප්‍රබල යනුවෙන් පවසනවා.

අවසානයේ දී මෙය පුද්ගල කේන්ද්‍රීය කතා පුවතකට ලඟා වෙනවා. මේ මායමට අපිත් හසුවූ ආකාරයක්‌ තමයි දක්‌නට ලැබෙන්නේ.

මෙහි කතා තේමාව ගලා යන්නේ කෙසේද?

කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රධාන ජනමාධ්‍ය ජාලයක අයිතිකාරිනියක්‌ ඩයනා මීතිරිගල. ඇය වටා තමයි මෙය නිර්මාණය වී තිබෙන්නේ. ඇය තම මව හා පෙම්වතා පතිආරච්චි සමග සැලසුමක්‌ දියත් කරනවා පාතාලය ලවා තමා හා පෙම්වතා පැහැර ගැනීමට. සැබවින්ම මෙහිදී සිදුවන්නේ ඇයගේ අනුරුවක්‌ පැහැර ගැනීමකුයි. මේ සඳහා නිළියක්‌ තමයි භාවිතා කරන්නේ. පසුව මාධ්‍ය හරහා විශාල ආන්දෝලනයක්‌ ඇති කර ඇගේ ජීවිත රíණ ආවරණය ලබා ගැනීම තමයි ඩයනාගේ අරමුණ. මෙය තමා ලවා තමාට ගස්‌සවා ගැනීමක්‌. එයයි නිර්මාණය සඳහා ලවා ගස්‌සවා යන නම භාවිතා කරන්නත් හේතුවුණේ.

ඇය ඇගේ මාධ්‍ය ජාලය ආරම්භ කරන්නේ ඇය විසින් නිෂ්පාදනය කරන භාණ්‌ඩ විකුණා ගන්නයි. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ තමන් නිෂ්පාදනය කරන භාණ්‌ඩ විකුණා ගැනීමට තමන් පිහිටුවා ගන්නා මාධ්‍ය වලින් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියන දේ නාට්‍ය හරහා හුවා දක්‌වනවා. ලංකාවේ වුණත් පුද්ගලික මාධ්‍ය බොහෝ ඒවා ආරම්භ කෙරෙන්නෙ මේ සඳහායි.

ප්‍රායෝගිකව වේදිකා නාට්‍යයක්‌ නරඹන පිරිස අද සීමාසහිතයි. ඒ හා සසඳන කල ඔබ ගන්නා උත්සාහයට සරිලන වටිනාකමක්‌ මේ නිර්මාණය තුළින් ලැබේවිද?

ඒ කතාවට සම්පූර්ණයෙන් මම විරුද්ධයි. වේදිකාවේ නෙමෙයි අද ටෙලිනාට්‍ය කලාවෙනුයි ප්‍රේíකයා ඈත්ව සිටින්නේ. එහි තිබුණු රසඥතාව, ශිල්ප ඥdනය අගතියටම කිදා බැහැලා. මේ ලෝකයෙන් ඈත් නොවෙන එකම කලාව තමයි වේදිකා නාට්‍ය කලාව. වේදිකාව කවදාවත් මැරෙන්නෙ නැහැ. අපේ පරම්පරාවේ ශක්‌තිය ගෙවීගෙන යද්දි නැවුම් අදහස්‌ එකතුවුණු අලුත් පරම්පරාවක්‌ සමග වේදිකාවට ගොඩවෙනවා. සෑම මොහොතම නාට්‍ය කලාව නැවුම් අදහස්‌ අත්aදැකීම් සමග පොහොසත් වෙන තැනක්‌.

මෙවැනි නිර්මාණයක්‌ රඟදැක්‌වීම කාලෝචිත යෑයි ඔබ සිතනවාද?

මනමේ නාට්‍යයේ සිට විශ්ව සාධාරණය හෙවත් යුනිවසල් නාට්‍ය නිර්මාණ කළේ සරච්චන්ද්‍රයන්. සුගතපාල ද සිල්වා යථාර්ථවාදය මුල්කරගනිමින් සාමාජීය නිර්මාණ කරනවා. ඔවුන් දෙදෙනා පිටුපස තමයි අනෙක්‌ අය පෙළ ගැසෙන්නේ. මෑත කාලයේ විශ්ව සාධාරණීය කුලකයට අයිති නොවන සමාජීය කතා රැගත් ඉතා සාර්ථක නාට්‍යය නිර්මාණ බිහිවුණා. ලබන වසරේ මේ නාට්‍යයත් ඒ නිර්මාණ ගොනුවට ඇතුළත් වුණාම 2010 රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රේíකයාට හොඳ අර්ථවත්, රසවත් නාට්‍ය පෙළක්‌ නරඹා ගෙදර යන්න පුළුවන් වෙයි.

මාධ්‍ය හා සදාචාරය පිළිබඳ නිරන්තරයෙන් හඬ නගන අපේ රටට සමාජීය වශයෙන් වැදගත්කමක්‌ මේ තුළින් ලැබෙයිද?

නිලධාරී වාදය, පíග්‍රාහීත්වය, තොරතුරු සන්නිවේදනය හරි හැටි නොදැනීම මෙයට ප්‍රධාන හේතුවක්‌. මාධ්‍ය, වෙළෙඳ දැන්වීම් ලබාදෙන ධනපතීන් හා දේශපාලනඥයින් මත නැටවෙන රූකඩ. මාධ්‍ය සදාචාරය හරි වදයක්‌. ඇත්තටම නාට්‍ය කෘතියකට මිනිසුන්ගේ සම්පූර්ණ පරිවර්තනයක්‌ කරන්න බැහැ. නමුත් නාට්‍යයකට පුළුවන් මිනිසුන් දැනුවත් කරන්න. මේ යන මාධ්‍ය රැල්ල වැරදියි කියලා කොපමණ හඬ නැගුවත් මාධ්‍ය මේ තත්ත්වයෙන් මිදෙන්න මොනවද කරලා තියෙන්නේ. මොනවද කරන්න උත්සාහ කරලා තියෙන්නේ.

දාරියෝ ෆොa මේ නාට්‍ය තුළින් ගෙනෙන පණිවුඩය තමයි අපට ගැලපෙන දේ තෝරාගනිමු. ඒ වෙනුවෙන් වහා වහා හඬ නගා උද්ඝෝෂණය කරමු යන්නයි.

ඒ නිසා අපි මේ තත්ත්වයට විසඳුමක්‌ සපයනවා වෙනුවට අපි ප්‍රේíකයා, සමාජය දැනුවත් කරනවා මේ මායාව තුළ වැජඹෙන්නේ කවුරුන්ද කියන වග.

ඡායා- සුජාතා ජයරත්න

මෛති‍්‍රය ඇති කරනවා වෙනුවට අප කළේ වෛරය වපුරමින් ජාතිවාදය ඇවිස්සීමයි

Author:සුනිල් මිහිඳුකුල

Source: Silumina

Date: 23/11/2008

ජී.ඩී.එල්. පෙරේරා

ජී.ඩී.එල්. (ගෝනදූව හඳුන් ගේ දොන් ලක්ෂ්මන් ලීලචන්ද්‍ර) පෙරේරා ප‍්‍රවීණ නාට්‍යකරුවෙකි; එසේ ම චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකි.

ඔහුගේ හොඳ ම වේදිකා නාට්‍ය නිර්මාණය ලෙස විචාරකයන් විසින් සලකනු ලබන ‘තොටුපළ’ නාට්‍යයේ නව නිෂ්පාදනයක් වසර 44 කට පසු යළි පසුගිය දා (ඔක්තෝබර් 12) වේදිකාගත කෙරිණි.

‘තොටුපළ’ මුලින් ම රංගගත වූයේ 1964 දී ය. එය ඒ වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය වූ අතර වේදිකා සැරසිලි සඳහාත් (ගාමිණි වික‍්‍රමසූරිය) රංගනය සඳහා ත් (ගාමිණි විජේසූරිය හා දෙනවක හාමිනේ) සම්මාන හිමිකරගත්හ.

ජනවාර්ගික අරගලය පසුබිම් කරගෙන මෙරට තැනුණු ප‍්‍රථම සිංහල වේදිකා නාට්‍යය ලෙස ‘තොටුපළ’ හැඳින්විය හැකි ය. මෙවර මේ නාට්‍යයේ නව නිෂ්පාදනය ඉදිරිපත් කරන ලද්දේ ජී.ඩී.එල්. ගේ මූලිකත්වයෙන් පවතින මහනුවර බතලවත්තේ මැද දුම්බර කලාගාරයේ ‘රංගාශ‍්‍රමය’ විසිනි.

ඔබ පනහ - හැට දෙදශකයේ දී වේදිකා නාට්‍ය ගණනාවක් ම රචනා කොට නිෂ්පාදනය කර තියෙනවා. ඒ අතරින් නව නිෂ්පාදනයක් සඳහා ‘තොටුපළ’ නාට්‍යය විශේෂයෙන් ම තෝරා ගැනීමේ අරමුණ කුමක්ද?

ඒකට හේතු කීපයක් ම තියෙනවා. එකක් මගේ නාට්‍ය සියල්ල ඔටුන්නකට සම කළොත් එහි බබළන දියමන්තිය තමයි ‘තොටුපළ’ නාට්‍යය. දෙවැනි හේතුව තමයි මේ නාට්‍යයේ අත්දැකීම එදාටත් වඩා අදට අදාළ වීම; අදට වැදගත් වීම.

මගේ රංගාශ‍්‍රමයේ ආධුනික නළුනිළියන්ට ගැඹුරු නාට්‍යයක චරිත නිරූපණය කරන්නේ කොහොමද කියන එක ප‍්‍රායෝගිකව අත්විඳීමට සැලැස්වීම මෙහි තුන්වැනි හේතුව ලෙස සඳහන් කරන්න පුළුවන්.

මොකද්ද මේ නාට්‍යයේ රංගානුභූතිය?

ජනවාර්ගික අරගලය යැයි කෙටියෙන් කියන්න පුළුවන්. අන්ත ජාතිවාදයෙන් පෙළෙන මිනිසෙක් මනුෂ්‍යත්වය පසක් කරගෙන වෙරය නමැති තොටුපළෙන් එතෙරවීම මෙහි තේමාවයි.

මෙබඳු තේමාවකින් යුතු නාට්‍යයක් ලියන්න ඔබ පෙලඹුණේ කවර හේතුවක් නිසාද?

මම පෞද්ගලිකවම ලබපු අත්දැකීම් යැයි කියන්න පුළුවන්.

මොනවද ඒ අත්දැකීම්?

නවසිය පනස් ගණන්වල මම වෘත්තිමය වශයෙන් රජයේ ලිපිකරුවෙක් ව සිටියා. අපේ කාර්යාලයේ මට ඉහළින් සිටි ලිපිකරුවන් සිවුදෙනා ම දෙමළ ජාතිකයන්.

සිංහලය, රාජ්‍ය භාෂාව වීමෙන් පසු චක‍්‍රලේඛයක් ආවා සෑම රජයේ නිලධාරියෙක්ම සිංහල ප‍්‍රවීණතා විභාගයෙන් සමත්විය යුතු ය කියලා.

උසස්වීම් හා දිරි දීමනා ලැබෙන්නේ එයින් සමත් වූවන්ට පමණයි. මම සිංහල නිසා ලේසියෙන් ම ඒ විභාගයෙන් සමත් වුණා. එහෙත් මට ඉහළින් සිටි දෙමළ ජාතිකයන් සිවුදෙනාම ඒ විභාගයෙන් අසමත් වුණා. එයින් ඇතිවු සිත් තැවුලෙන් ප‍්‍රධාන ලිපිකරුවා (බෙනඩික්ට් ප‍්‍රනාන්දුපුල්ලේ) හෘදයාබාධයකින් මියගියා.

දෙවැනි ලිපිකරුවා (පරමජෝති) මාරුවක් අරගෙන උතුරට ගියා. තුන්වැන්නා (ඇන්ටන් ප‍්‍රගාසම්) අසනීප හේතු මත විශ‍්‍රාම ගෙන ඉන්දියාවට සංක‍්‍රමණය වුණා. ඉතුරු වුණේ හතරවැනියා වූ කන්දයියා පමණයි.

ඊළඟ අත්දැකීම තමයි 1958 ජාතිවාදී කෝලහාලය. කන්දයියයි මමයි කන්තෝරුව ඇරිලා බස් එකෙන් ගෙදර යද්දි මරදානේ ටෙක්නිකල් හන්දියේදි සිංහල ජාතිවාදි මැර පිරිසක් බස්එක නැවැත්තුවා. නවත්තලා දෙමළ අයට බැහැලා පයින් යන්න කිව්වා. ඔවුන් කන්දයියා බස් එකෙන් ඇදලා තල්ලු කළා.

ඔහු බිම ඇද වැටුණා. අසරණ වූ මට කරකියා ගන්න දෙයක් තිබුණේ නැහැ. මම එතැනදි නිවටයෙක් වුණා. මෙය අදටත් මගේ හෘද සාක්ෂිය පාරවන සිද්ධියක්.

මොන ලැජ්ජා නැති වැඩක් ද මම කළේ, මමත් මනුස්සයෙක් ද කියන හැඟීම අද මට ඇති වෙනවා.

ඒ හැරුණු කොට නඩේසන් නමැති දෙමළ වෙද්‍යවරයකු හා සම්බන්ධයෙන් ලැබු අත්දැකීමකුත් මැතිවරණ රාජකාරි සඳහා යාපනයට ගිහින් ඉද්දි ලබපු අත්දැකීමුත් වවුනියාවේ කම්කරු කාර්යාලයේ දී හා පසුකලෙක කම්කරු විනිශ්චය සභාවේ ප‍්‍රධාන ලිපිකරු වශයෙන් ලත් අත්දැකීමුත් මගේ ඔළුවෙ තිබුණා.

ඒ සියල්ල එකතු කරගෙනයි ‘තොටුපළ’ නාට්‍යයේ පිටපත ලිව්වේ.

ඔබ කියන්නේ මේ ජනවාර්ගික අරගලයට මුලින් ම වගකිව යුත්තේ සිංහල අපි කියල ද?

පැහැදිලි ව ම. ඒකේ කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මම මේ බොහෝම විවෘතවමයි කියන්නේ. මෙති‍්‍රය වඩනවා වෙනුවට අපි කළේ වෙරය වපුරමින් ජාතිවාදය අවුස්සපු එකයි. අපෙන් දෙමළ ජාතිකයන්ට අසාධාරණයක් වුණා. දෙවිදියකට සැලකීමයි මෙහිදි වෙච්ච වැරැද්ද.

ඔබේ නව නිෂ්පාදනයට සම්බන්ධ ව සිටින්නේ ඔබේ මැද දුම්බර කලාගාරයේ රංගාශ‍්‍රමයේ ආධුනික නළුනිළි පිරිසක්.

ඔව්. මම එදා ඉඳන්ම කලාවට අලුත් පිරිසක් හඳුන්වාදීමට උත්සාහ කළ කෙනෙක්.

මගේ නාට්‍යවලින් තමයි දෙනවක හාමිනේ, ධම්ම ජාගොඩ, ශි‍්‍රයානි අමරසේන, බුද්ධි වික‍්‍රම, ලියෝනි කොතලාවල, සුගතපාල සෙනරත් යාපා, ෂෙල්ටන් සිල්වා, එල්සන් දිවිතුරගම, ගාමිණි විජේසූරිය, ගාමිණි වික‍්‍රමසූරිය, ධර්මදාස වන්නිආරච්චි, ඩග්ලස් කරුණාරත්න, සෝමා කිරිඇල්ල, මල්ලිකා පෙරේරා, දේවානන්ද වෙද්‍යසේකර, ජයතිස්ස අලහකෝන්, මොනිකා වීරසිංහ යන අය කලා ලෝකයට ආවේ. ඉතින් මම කල්පනා කළා ‘තොටුපළ’ නව නිෂ්පාදනයෙන් ප‍්‍රාදේශීය වශයෙන් රංග කුසලතා ප‍්‍රකට කරන අලුත් තරුණ නළුනිළි පිරිසක් කලාවට හඳුන්වලා දෙන්න ඕනැ කියලා.

එකල ඔබේ සංවිධායකත්වයෙන් පැවැත්වුණු ‘කලා පෙළ’ සිනමා පාඨමාලාවෙනුත් අලුත් පරපුරක් සිනමාකරණයට එකතු වුණා.

අයි.එන්. හේවාවසම්, පරාක‍්‍රම සිල්වා, ජී.යූ.ඩී. පෙරේරා, ස්ටැන්ලි ද අල්විස්, ලාල් පියසේන, සුමින්ද වීරසිංහ, ෂෙල්ටන් පයාගල, බර්මින් ලයිලි ප‍්‍රනාන්දු, චන්දන සිල්වා, ඒ.එම්. සංඝදාස, සෝමවීර බෝපිටිය, එච්.එම්.පී. ප‍්‍රනාන්දු, සුසීමා දමයන්ති, නෙල්සන් පීරිස්, විමල් වෙද්‍යසේකර, බිහිවුණේ කලාපෙළ සිනමා පාඨමාලාවෙන්. අපේ යුගයේදි නවකයකුට කලාවට පිවිසෙන්න හුඟාක් අමාරු තත්ත්වයකුයි තිබුණේ. අපේ රටේ සිනමා පාසල් නැහැ.

චිත‍්‍රාගාරයකට ගිහින් චිත‍්‍රපට හදන හැටි ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ. මම මගේ ප‍්‍රථම චිත‍්‍රපටය වූ ‘සාමා’ නිර්මාණය කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘ගම්පෙරළිය’ චිත‍්‍රපටය රූපගත කරනු දැකීමෙන් හා සිනමාකරණය අළලා ලියවුණු පතපොත කියැවීමෙන්.

මා ලැබු කටුක අත්දැකීම් නිසාම තමයි මේ විදියට අලුත් පරපුරකට මාර්ගය විවෘත කර දෙන්න හැම අවස්ථාවකදී ම මා ඉදිරිපත් වන්නේ.

මැද දුම්බර කලාගාරයේ වෙනත් අරමුණු හා ඒ අනුව මෙතෙක් කෙරුණු සෙසු කි‍්‍රයාකාරකම් මොනවා ද?

කොළඹ නගරය ඇතුළේ කලාගාරයක් පටන් අරන් වැඩක් නැහැ. අපි ගමට යන්න ඕනෑ. ගමේ ප‍්‍රතිභාසම්පන්න අලුත් තරුණ පිරිස හඳුනාගෙන ඔවුන්ට අත දෙන්න ඕනෑ. මැද දුම්බර කලාගාරය පිහිටුවීමේ මූලික අධ්‍යාශය වුණේ ඒක.

1987 දී මම මේ සඳහා ඉඩමක් අරන් එහි ගොඩනැඟිලි හදද්දි සමහරු හිතුවේ මම ගමේ ඡන්දය ඉල්ලන්න ලැහැස්ති වෙනව කියලයි. තවත් සමහරු හිතුවේ මම සංචාරක හෝටලයක් ඉදිකරන්න යනවයි කියලයි. ඒ අනුව ගම්මු කීපදෙනෙක් මට විරුද්ධව පෙත්සම් ගැහැව්වා.

කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව මට නඩු පැවරුවා. චෝදනාව වුණේ ආණ්ඩුවේ ඉඩම් අනවසරයෙන් අල්ලගෙන කියන එකයි. මම අවුරුදු හතරක් නඩු කිව්වා. අන්තිමට ඔප්පු වුණා මේක පෞද්ගලික ඉඩමක් කියලා. මේ කාලය අතරතුරදි මම පිටරට ගිහින් හරිහම්බු කරපු මුදලින් ගෙනාපු සිනමා උපකරණ, සිනමා පොත් සියල්ල නැති නාස්ති වුණා.

මගේ ළඟ මි.මී.35 කැමරා තුනක්, මි.මී.16 කැමරා දෙකක්, මි.මී.8 කැමරා තුනක් තිබුණා.

සංස්කරණයට අදාළ යන්ත්‍රෝපකරණ තිබුණා. ඒවා අඩු මුදලට කඳ්‍රනේ එස්.පී.එම්.චිත‍්‍රාගාරයට විකුණන්න සිද්ධවුණා. තේ කොළ පෙට්ටි පහක අහුරලා තිබුණු සිනමාකරණයට අදාළ පොත් සියල්ල වේයෝ කෑවා. ඒත් මම අධෙර්යය වුණේ නැහැ. 2001 දී මම මෙහි ස්ථිර පදිංචියට ඇවිත් කලාගාරය පටන්ගත්තා.

පටන් අරගෙන අහල පහළ තරුණ තරුණියන් එකතු කරගෙන වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරමින් ඔවුන්ට මේ ක්ෂේත‍්‍ර ගැන අභ්‍යාසයක් ලබාදුන්නා. අපි ‘සුරාසුර’ කියලා වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඊට වස්තු වුණේ සේරිවාණිජ ජාතකය. එසේම ‘සමනළ ගමනක්’ නමින් කොටස් 15ක ටෙලි නාට්‍යයක් නිර්මාණය කළා.

ඊට පාදක වුණේ ‘කලාපෙළ’ සංස්කෘතික සංවිධානය මෙතෙක් පැමිණි ගමන් මඟ යි. මා දැන් ජී.ඩී.එල්. කලා පදනම නමින් සංවිධානයක් පිහිටුවාගෙන තිබෙනවා. ‘සරසවිය’ සම්මාන උලෙළේ දී මට ‘රණතිසර’ සම්මානය වෙනුවෙන් ලැබුණු රුපියල් ලක්ෂය යොදා තමයි ඒ පදනම පිහිටුවා ගත්තේ.

වරප‍්‍රසාද අහිමි කුසලතා සපිරි තරුණ තරුණියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම මේ පදනමින් සිදුකෙරෙනවා. දැනට සෞන්දර්යය විශ්වවිද්‍යාලයයේ සිසුන් දෙන්නෙක් ඒ යටතේ ශිෂ්‍යාධාර ලබනවා.

ඔබේ ‘තොටුපළ’ නාට්‍යය ගැන එදා මෙදාතුර නොයෙක් විවේචන පළ වෙලා තිබෙනවා. මා කියවා ඇති විචාර අතරින් ඉතා ම වැදගත් ම විවේචනය ලියලා තිබුණේ ප‍්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ඩෙන්සිල් පීරිස්. මේ නාට්‍යයේ වඩාත් සතුට දනවන දේ එහි තේමාව පෙ‍්‍ර්ක්ෂකයන් අවඥාවෙන් බැහැර නොකර සිහි බුද්ධියෙන් යුතුව වැළඳ ගැනීම බව කියන ඔහු එයින් පෙනීයන්නේ දේශපාලනඥයන් තම වාසිය උදෙසා මවා පෙන්වීමට තැත්කරන තරමේ භයානක ප‍්‍රතිඵල මෙවන් ප‍්‍රශ්නවලින් තමන්හට අත්විඳීමට සිදුවේද යන මතය ජනමතයේ උඩුදුවන්නේ නැති බව යැයි සඳහන් කරනවා.

ඩෙන්සිල් පීරිස් එකල ඉන්දියාවේ පළවුණු ‘ඉලස්ටේ‍්‍රටඩ් වීක්ලි ඔෆ් ඉන්ඩියා’ සඟරාවට තීරු ලිපියක් ලිව්වා. එක් තීරු ලිපියකට මාතෘකා වුණේ 1964 රාජ්‍ය නාට්‍ය උලෙළ.

ඒ ලිපියෙදි තමයි ඔහු ඉහත සඳහන් සටහන ලිව්වේ. ඇත්තටම ‘තොටුපළ’ නාට්‍යයට හොඳ විචාර ප‍්‍රතිචාරයක් ලැබුණා.

ඔබේ අලුත් නිෂ්පාදනය බලපු ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න (ඔහු කලාව ගැන යම් යම් දේ ලිව්වට මා ඔහු කලා විචාරකයකු ලෙස පිළිගන්නේ නැහැ) කියල තිබෙනවා ‘තොටුපළ’ යුද්ධයට විරුද්ධව යුද ප‍්‍රකාශ කරන ප‍්‍රචාරකවාදී නාට්‍යයක් ය කියල.

මේ නාට්‍යයේ කිසිම ප‍්‍රචාරකවාදයක් නැහැ. අනික ඔය වගෙ අදහසක් වෙන කිසිම විචාරකයෙක් එදා කිව්වෙත් නැහැ. අද කියන්නෙත් නැහැ.

1958 ට වඩා 1983 ට පස්සේ අද මේ රටේ තියෙන ජනවාර්ගික අරගලය හුඟාක් වෙනස්. ප‍්‍රශ්නය එදාට වඩා අතිශය සංකීර්ණයි. ඉතින් එහෙම තියෙද්දි ඇයි ඔබ මේ තේමාව ම අරන් අලුත් නාට්‍යයක් නොකර අවුරුදු 45 ක් විතර පරණ නාට්‍යයක් රීකන්ඩිෂන් කරන්න හැදුවේ?

අලුත් නාට්‍යයක් කළා නම් ආයේ දෙකක් නැහැ තහනම් කරනවා. ඔබ දන්නෙ නැතිව ඇති මම ‘තොටුපළ’ නාට්‍යය ඇසුරෙන් චිත‍්‍රපටයක් නිපදවන්න ගියා.

මා එහි අඩි දහදාහක් රූපගත කළා. එහෙත් මට හමුදා දර්ශන රූපගත කරන්න අවසරය දුන්නේ නැහැ. ඒ රීල් දහය අදටත් මගේ ළඟ තියෙනවා.

’තොටුපළ’ නව නිෂ්පාදනයේ පිටපත ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතියට ලක්වුණා ද?

මොකටද මං ඒ අයගේ අවසරය ගන්නේ? මේක 1964 දි අනුමත වුණු නාට්‍ය පිටපතක්. ඒ විතරක් නෙමේ හොඳම නාට්‍යය ලෙස සම්මාන දිනපු නාට්‍යයක්.

එහෙත් ඔබ මේ පිටපත වෙනස් කළ බවට චෝදනා තිබෙනවා. ‘සයනයිඩ්’, ‘ළමා සොල්දාදුවෝ’ වගෙ වචන ඔබේ නව නිෂ්පාදනයේ ව්‍යවහාර වෙනු දක්නට ලැබුණා. ඒවා අලුත් වචන නෙමෙයි ද?

මුල් පිටපත මොන විදිහකින්වත් වෙනස් කරලා නැහැ. ඉස්සරත් යාපනයේ ඉඳන් එන මාළු පෙට්ටිවලට වහ දාලා තියෙයි කියන බය සිංහලයන් තුළ තිබුණා. එසේම අතට තුවක්කු නොදුන්නට දෙමළ ළමයින් තුළටත් දෙමව්පියන් ජාතිවාදී හැඟීම් කවලා තිබුණා. පෞද්ගලික පාසල් රජයට ගැනීමේ වැඩපිළිවෙළේ දී දෙමළ දෙමව්පියන් හා ළමයින් හැසිරුණු ආකාරයෙන් ඒක පෙනුණා. එතැන තිබුණේ ළමා සොල්දාදුවා කියන සංකල්පය නෙමෙයිද?

ඔබේ දීර්ඝකාලීන වූත් පරිණතවූත් අත්දැකීම්වලට අනුව මෙරට ජනවාර්ගික ගැටලුව ට ඔබ යෝජනා කරන විසඳුම මොකක්ද?

මේ ප‍්‍රශ්නයට හේතුව අන්‍යෝන්‍ය අවිශ්වාසය හා සැකය යි. ඒක දුරු කරලා මනුෂ්‍යත්වය විදාරණය කළොත් තමයි මේ ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න පුළුවන් වෙන්නේ.

ඒ පණිවුඩය ද ඔබ මේ නාට්‍යයෙන් දෙන්නේ?

ඔව්. මේ නාට්‍යයේ එක් තැනක කියැවෙනවා ත‍්‍රස්තවාදය කවුරු කළත් වැරදියි කියලා. අවි අරන් යුද්ධ කරන හැමෝ ම ත‍්‍රස්තවාදි කියලා කියනවා.

පසුගිය අවුරුදු 45 තුළ ඇයි මේ ප‍්‍රශ්නය වඩාත් ප‍්‍රබල ලෙස සිංහල වේදිකාවේ මතු කරලා නොමැත්තේ?

ඒක මට උත්තර දෙන්න පුළුවන් ප‍්‍රශ්නයක් නෙමෙයි. එහෙත් එක දෙයක් උපකල්පනය කරන්න පුළුවන්. වාරණ ප‍්‍රශ්න මේකට බලපානවා වෙන්න පුළුවන්. 1964 දිත් ‘තොටුපළ’ වේදිකාගත වෙද්දි රහස් පොලිසිය ආවා නාට්‍ය බලන්න. එහෙත් තහනම් කරන්න තරම් දෙයක් ඔවුන්ට හොයාගන්න බැරිව ගියා.

මොකද, මනුෂ්‍යත්වයෙන් බැහැර කිසිම දෙයක් මේ නාට්‍යයේ තිබුණේ නැහැ. එසේම ජාතිවාදය අවුස්සන කිසිම දෙයක් මේ නාට්‍යයේ තිබුණේ නැහැ.

ඔබේ වේදිකා නාට්‍යවල සිනමා ලක්ෂණ තිබුණ යි කියලයි ඒ කාලේ විචාරකයන් සඳහන් කරලා තියෙන්නේ. ඔබේ විතරක් නෙමෙයි ‘කෝන්තරේ’ (වෙස්ට් සයිඩ් ස්ටෝරි), ‘රන්කඳ’ (මයි ෆෙයාර් ලේඩි) ‘මුතු කුමාරි’ (IRMA LA DUCE) වගෙ වෙනත් අයගේ නාට්‍යවලත් සිනමාවේ ආභාසය දැක්ක හැකි වුණා.

ඔව් සිරිල් බී. පෙරේරා වගේ විචාරකයන් මගේ වේදිකා නාට්‍යවල සිනමා විඥානයක් තිබුණයි කියලා කියලා තියෙනවා. ඒක ඇත්ත. ‘මිල්ක් ඔෆ් හියුමන් කයින්ඩ්නස්’ කියන පෝලන්ත චිත‍්‍රපටය ‘තොටුපළ’ රචනා කරද්දි මට බලපෑවා. එහෙත් මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ.

ඒ චිත‍්‍රපටයෙත් මම දැක්කේ එකිනෙකා අවබෝධ කර ගැනීමේදී මිනිස් හැඟීම් කොයිතරම් දුරට වැදගත් ද කියන කාරණයයි. ඒ හැඟීම තමයි ‘තොටුපළ’ නාට්‍යයෙනුත් මම මතු කරන්නේ.

අවසාන වශයෙන් පනහ දශකයේ බිහි වූ නාට්‍යකරුවකු වශයෙන් සමකාලීන වේදිකා නාට්‍ය ගැන ඔබේ අදහස මොකක්ද?

අද වේදිකාගත වන නාට්‍යවල අදහස් තිබෙනවා. එහෙත් ඒ අදහස් නාට්‍යාත්මකව ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ අදහස් අපිට පත්තරයකින් වුණත් කියන්න පුළුවන්. නාට්‍ය මාධ්‍යය හඳුනාගෙන කෙරෙන ප‍්‍රකාශනයක් බවට මේ නාට්‍යය පත්වන්නේ නැහැ. රාජිත දිසානායක ගේ ‘ආපසු හැරෙන්න බෑ’ නාට්‍යයේත් මා දුටු දුර්වලකම ඒකයි. එහෙත් මේ නාට්‍යයේ තේමාවට මම කැමැතියි.

ගමේ නගරයේ කියා රසිකත්වයේ වෙනසක් නෑ

Author: රවී රත්නවේල්
Source: Sarasaviya
Date: 25/02/2010

ප්‍රවීණ නළු නිමල් යටිවැල්ල

පාසල් සමයේදීම වේදිකා රංගනයට පිවිසි ඔහු එදා මෙදාතුර තම හැකියාවෙන් වේදිකාව එළිය කළ ප්‍රවීණ රංගන ශිල්පියෙකි. ජයසේකර අපොන්සුගේ සිට ජයලත් මනෝරත්න දක්වා මෙරට ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඔහු මෙවර සරසවිය වේදිකාවට ගොඩ වෙයි.

ඔබ වේදිකාවේ අත් පොත් තබන්නේ කොහොමද?

වේදිකාව මගේ අත්දැකීම වෙන්නේ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟත් එක්ක. පදියපැලැල්ලේ ඉපදුනු මම පොරමඬුල්ල විද්‍යාලයේ ඉගෙන ගත්තේ. 1968 දී ‘එහෙම වුණත් මුදලිතුමා’ කියන පාසල් නාට්‍යයේ රංගනය වෙනුවෙන් ‘විශිෂ්ටතම රංග කුසලතා’ සම්මාන දිනාගන්න මට අවස්ථාව ලැබුණා. ඒ වෙන කොට මම හයේ පංතියේ ශිෂ්‍යයෙක්. ඊළගට’කූඹිච්චි’ නාට්‍යයට දායක වුණා. ඒකටත් ඉහළම ඇගයීම ලැබුණා. ඊළඟට ජ්‍යෙෂ්ඨ අංශයේ එඩ්වින් පීරිස් මහතාගේ ‘බීරෙක්, අන්ධයෙක් සහ ගොළුවෙක්’ නාට්‍ය සමස්ත ලංකා පළමුතැන දිනා ගත්තා. මම හොඳම නළුවා වුණා. ඊළඟට 1974 ‘බහුරූ කෝලම්’ නාට්‍යයෙන් හොඳම නළුවා වෙන්න අවස්ථාවත් ලැබුණා.

එතකොට ජාතික මට්ටමේ වේදිකාවට එන්නේ?

1977 කොළඹ රේල්ලුවේ රැකියාවට එනවා. ඒ එන්නෙත් නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න තියෙන ආශාවට. නමුත් නාට්‍ය ක්ෂේත්‍රයට ඇතුළු වෙන්න අමාරුයි. ඒ කියලා වේදිකාවට එන්න කරන උත්සාහය මම අත් හැරියේ නෑ. ඒ නිසාම 1979 ‘රයිෆල්’ කියන නාට්‍ය සුගත් බෝඹුවල ලියා අධ්‍යක්ෂණය කළා. ඒකේ ප්‍රධාන චරිතය රඟපාමින් මම ඒ නාට්‍ය නිෂ්පාදනය කළා.

ඒ මුල්ම නාට්‍ය දර්ශනය ගැන මතක් කළොත්?

මංගල දර්ශනය ලුම්බිණියේදී කළා. ඒ කාලේ විප්ලවීය තේමාවන්ට තැනක් ඉල්ලුමක් තිබුණු නිසා ඒ විදිහේ නාට්‍යයක් කළේ. දර්ශන වාර හතළිහකට වඩා කළා. නාට්‍ය ප්‍රබෝධයක් තිබුණු නිසා අපට හොඳ ප්‍රතිචාර ලැබුණු බවත් කියන්න ඕනෑ. ඒ වගේම අපට වැටෙන්න ගහලා විචාර ලියපු අවස්ථාත් තිබුණා ඊට පස්සේ.

1980 සිරිතුංග පෙරේරාගේ ‘සිටුතුමා’ කියන නාට්‍යයට සම්බන්ධ වුණා. මේ නාට්‍ය මගේ හැකියාවන් හඳුනා ගන්න ඉඩ සැලැස්සුවා. මනෝ රථය, අම්මා වගේ නාට්‍යවලට සම්බන්ධ වෙන්නත් හැකියාව ලැබුණා.

මේ ගමනෙදි ඔබේම නාට්‍යයකුත් කළා?

ඔව්. 1983 සමනළයානෝ නමින් මමම නාට්‍යයක් කළා. ලංකාවට මෝටර් සයිකල් වැඩි වැඩියෙන් එන්න ගත්තේ ඒ කාලේ. මහ ඉස්පිරිතාලේ මෝටර් සයිකල් අනතුරුවලටම වාට්ටු වෙන් කරලා ප්‍රතිකාර කරන තත්ත්වයක් තිබුණා. මෙන්න මේක තේමා කරගෙන මෝටර් සයිකලය විලාසිතාවක් වෙලා විවෘත ආර්ථකයේ පුහු ආටෝපයක් බවට පත් වී එය සමාජයත් තරුණ පරපුරත් ආක්‍රමණය කරන ආකාරයයි අපි සාකච්ඡා කළේ. හොඳ ප්‍රතිචාර වගේම ප්‍රබුද්ධ විවේචනත් ලැබුණා.

ඔබ දායක වූ සුවිශේෂ රංගනයක් ගැන මතක් කළොත්?

‘පාතාලේ සොල්දාදුවෝ’ කියන ජයසේකර අපොන්සුගේ නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ නාට්‍යයේ මම චරිත තුනක් නිරූපණය කළා. ඒ අවුරුද්දේ මට රාජ්‍ය නාට්‍ය උළෙලේ කුසලතා සහතික දිනාගන්න හැකි වීම සුවිශේෂී රංගන අවස්ථාවක්.

ඔබට ප්‍රසිද්ධ වේදිකාව තරමටම පාසල් වේදිකාවත් හුරුයි?

ඇත්තෙන්ම ඔව්, සයිමන් නවගත්තේගම, බණ්ඩාරනායක වගේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තරමටම ජයසේකරගේ පාතාලේ සොල්දාදුවෝත් රට වටා ගියා. ඒ කාලෙම ලංකාවේ හැම ඉස්කෝලෙකම පෙන්වපු ‘සමනල්ලු’ කියන නාට්‍යයත් අපොන්සු කළා. දැනට දර්ශන වාර හාර දහසක් විතර පෙන්නලා තියෙනවා. ලංකාවේ ගම්බද පාසල්වල තාවකාලික වේදිකාවක රංගනය ගැන පමණක් විශ්වාස තබා වේදිකා ගත කළ නාට්‍යයක්. මට නාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දේ ඉගෙන ගන්නත් හොඳ ප්‍රේක්ෂක පිරිසක් හඳුනා ගන්නත් අවස්ථාව ලැබුණා.

නගරයේ හා ගමේ ප්‍රේක්ෂකාගාර අතර වෙනස ඔබට පෙනෙන්නේ කොහොමද?

පැට්‍රෝල් මැක්ස් තියාගෙන, සාරිවලින් සරසපු වේදිකාවල මේ නාට්‍ය පෙන්නුවා. ඒ නාට්‍ය බලන්න එන ළමයි වගේම දෙමාපියනුත් අපට හොඳ සහයෝගයක් දුන්නා. ගමෙයි නගරෙයි ප්‍රේක්ෂකයාට ලැබෙන පහසුකම්වල පරතරයක් තිබුණට රස වින්දනයේදී එහෙම පරතරයක් නෑ. මේ තැන් දෙකේදීම අපට ඉතා හොඳ රසික පිරිස් හමුවෙනවා.

ඔබත් ‘චරිතයක්’ නිසා ජනප්‍රිය වුණු නළුවෙක්?

ඔව්, ජයසේතර අපොන්සුගේ ‘තටු’ අතිශය ජනප්‍රිය වුණු කාලේ දර්ශන වාර දහස ඉක්මවා රට වටා ගියා. ඒ නාට්‍යයේ පීටර් කියන එකම පිරිමි චරිතය මම නිරූපණය කළා. අදටත් මාව රසිකයන් ‘තටු පීටර්’ කියලා හඳුන්වන තරමටම මාව ජනප්‍රිය වුණා. ඒ වගේම මෑතක් දක්වා අපොන්සු කළ ගුරු, 31 ඇතුළු ඔහුගේ හැම නාට්‍යයකටම වගේ මම රංගනයෙන් දායක වුණා.

ඇතැම් අවස්ථාවල ‘චරිතය’ මතුවෙලා ශිල්පියා යට යනවා. ඔබ ඒ අත්දැකීමට වැඩියෙන්ම මුහුණ දීපු ශිල්පියෙක්?

මම රඟපෑ වේදිකා නාට්‍ය හැම එකකදීම මම කරන චරිතයෙන් මම රසිකයන් අතර ජනප්‍රිය වුණා මිසක් මාව පෞද්ගලිකව ඉස්මතු වුණේ නෑ. ඒ තත්ත්වය එක පැත්තකින් තෘප්තියට කාරණයක් අදාළ චරිතයට සාධාරණය ඉෂ්ඨ කළාය කියන හැඟීම නිසා. අනිත් පැත්තෙන් ඒකෙන් අවාසියකුත් වෙනවා. ඒ තමයි රසිකයන් මගේ චරිතය මිසක් මාව රූපයෙන් හෝ පුද්ගලයා හැටියට හඳුනන්නේ නැතිවීම.

අලුත් නාට්‍ය කෙටි කලකින් නැතිවෙලා යද්දී පරණ නාට්‍ය නැවත නැවතත් පවතිනවා. එහෙම වෙන්නේ ඇයි?

සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, සයිමන් නවගත්තේගම වගේ අය නාට්‍ය හදාරලා ඒවා අපේ රටට ගැළපෙන විදිහට ප්‍රති නිර්මාණය කළා. මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ අපේ රටේ ස්ථාවර වෙන්න ජනප්‍රිය වෙන්න හේතු වුණේ ඒවායෙන් අපේකම ඉස්මතුවීම නිසා රසිකයා වැඩි වැඩියෙන් වැළඳ ගත්තු නිසයි.

එතකොට එදා හා අද ප්‍රේක්ෂකාගාරය වෙනස් වෙන්න හේතුව?

විවෘත ආර්ථිකය එන්න කලින් රස වින්දනයට තිබුණු ප්‍රධාන මාධ්‍යයක් වුණේ වේදිකාව. ඒකට යම් ප්‍රබුද්ධ රසික පිරිසක් හිටියා. හැත්තෑ හතෙන් පස්සේ ඇති වෙච්ච ආර්ථික විපර්යාස සමාජයටත්, සමාජ රස වින්දනයටත් බලපෑවා. මේකේ ප්‍රතිඵලයක් හැටියට පස්සේ කාලෙක සිනහ රැල්ලේ නිසරු හාස්‍ය නාට්‍ය ජනප්‍රිය වෙන්න ගත්තා. ඊළඟට යුද්ධය, භීෂණය වගේ දේවල් ආවා. මේවත් එක්ක අර මුලින් කියපු වේදිකා ප්‍රේක්ෂකාගාරය වෙනස් වුණා. නැවත දැන් දැන් ප්‍රේක්ෂකාගාරය හොඳ අතට හැරෙමින් තිබෙනවා.

අලුත් පරම්පරාවට හොඳ රස වින්දනයක් නෑ කියන චෝදනාව දිහා ඔබ බලන්නේ මොන විදිහටද?

විෂයක් හැටියට නාට්‍ය හා රංග කලාව උගන්වන තත්ත්වයක් යටතේත් අදටත් ගමට හරි හැටි නාට්‍ය යන්නේ නැති නිසා විෂය ඉගෙන ගන්න දරුවන්ට පවා දැනුම ලබන්න තියෙන අවස්ථාව අඩු බව, ඒ ළමයි නාට්‍ය බලලා නැති විත්තිය පේනවා. ඒ නිසා නාට්‍ය රස වින්දනය දියුණු කරන්න හොඳ වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ.

මට එක් අවස්ථාවක ඇමරිකාවේ සංචාරයකට යන්න ලැබුණා නාට්‍ය කණ්ඩායමක් එක්ක. එතෙන්දි එක නාට්‍යයක් බැලුවා. ඒ නාට්‍ය අවුරුදු දහයක් එකම තැන එකම වේදිකාවක (බ්‍රෝඩ්වේ තියටර්) එකේ පෙන්වමින් ඉන්නවා. මම ඒ නාට්‍ය බැලුවේ දහවෙනි අවුරුද්දේදී. එහෙම බලන්නත් සති දෙකකට කලින් ටිකට් වෙන් කර ගන්න ඕනෑ. ඒකෙන් පේන්නේ එතන නාට්‍ය රස විඳින සංස්කෘතියක් තියෙනවාය කියන එකයි. ඒ නිසා අපේ රටේ නාට්‍ය කලාව නඟා හිටුවන්න නම් ඇමරිකාවේ හැටියට නැතත් අපි අපේ තරමට හරි නාට්‍ය සංස්කෘතියක් ඇති කිරීමයි කළ යුත්තේ.

නාට්‍යකාරයෙක් වෙන්න මං බොහෝ පිං කරලා තියෙනවා

Author: අසංක දේවමිත්‍ර පෙරේරා
Source: Sarasaviya
Date: 25/02/2010

සකිසඳ ඔඬලට හසු වූ ඇන්ටන් ජූඩ්

ඔහු කොතැනද සිනහව එතැනය. සිනහව කොතැනද ඔහු එතැනය. සිනහවත් ඔහුත් ගසට පොත්ත මෙනි. එහෙත් ඔහු නිකම්ම නිකං විහිළු කාරයකු නැතිනම් ජෝකරයකු නොවේ.

හේ හාස්‍ය තුළින් ගැඹුරු සමාජ අරුතක් දනවන්නට සමත් වූ අපේ කාලයේ සොඳුරු කලාකරුවෙකි.

“ආයිස් අප්පා ගුණ්ඩු” යැයි කියූ විට ඒ ඇන්ටන් ජූඩ් බව නොදන්නා කුඩා දරුවකු වුව සොයා ගැනීම අසීරුය. ඒ තරමටම ඔහු වත්මත් ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ දිදුලන තරුවකි.

සිය කලා දිවියේ තිස් වසරක ගමන් මගෙහි සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් ඔහු මෑතකදී “සකිසඳ මඩල” ප්‍රසංගාත්මක වේදිකා නාට්‍යය, කරළියට රැගෙන ‘සකිසඳ මඩල’ සමගින් මේ දිනවල අප හමුවන ඇන්ටන් ජූඩ් සිය නවතම නිර්මාණ කාර්යය හා ඔහුගේ සෙසු කලා කටයුතු පිළිබඳත් අපූරු කතා බහකට අප රැගෙන ගියේ මෙලෙසය.

මේ දිනවල ඔබ ප්‍රේක්ෂකයන් හා වඩාත් සමීපව සිටින්නේ ‘සකිසඳ මඩල’ වේදිකා නාට්‍යයයෙන්.....?

ඔව් “සකිසඳ මඩල” හැදුණේ අපේ සඟයොත් එක්කමයි. ඒ සඟයෝ කියනවා නම් රොඩිනි වර්ණකුල, පි‍්‍රයන්ත සෙනෙවිරත්න, ගිරිරාජ් කෞෂල්‍ය, ගාමිණී අම්බලන්ගොඩ, ජීවන් හඳුන්නෙත්ති, ඉන්දික ජයසිංහ, එස්. අයි සමරක්කොඩි, ෆර්නි රෝෂිනී, මනීෂා ශ්‍යාමලී, සුජානි නිසංකා වැනි නළු නිළියන්. එතකොට මේකෙ පිටපත ලිව්වේ පි‍්‍රයන්ත සෙනෙවිරත්න. ලාල් තිලකරත්නගේ නර්තන වින්‍යාසයත්, ඉන්දික ජයසිංහගේ වේදිකා පසුතල නිර්මාණය හා ඇඳුම් නිර්මාණයත් “සකිසඳ මඩල” වර්ණවත් කළා.

නළු නිළියන් දොළොස් දෙනෙක් හා නර්තන ශිල්පීන් අට දෙනෙක් මේ නිර්මාණයට දායක වෙනවා. එතකොට ඔක්කොම විස්සක්. 2009 දෙසැම්බර් 29 වැනිදා මංගල දර්ශනය පැවැත්වුණා එල්ෆින්ස්ටන් රඟහලේ දී. දෙවැනි දර්ශනය 2010 පෙබරවාරි 15 වැනි දා ඒත් එල්ෆින්ස්ටන් රඟහලේ දීම වේදිකාගත වුණා.

මේ වෙනකොට ඔබට ලැබී තිබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොයි වගේ ද......?

මැතිවරණ කටයුතුත් එක්කයි අපට මේ නාට්‍ය රඟ දක්වන්න සිදු වුණේ. ඇත්තම කියනවා නම් අපට පෝස්ටරයක් ගහන්නවත් ඉඩක් තිබුණේ නැහැ. ඒ වගේ පසුබිමක් යටතෙයි මේක කරගෙන ගියේ. රොඩිනි වර්ණකුලගේ Qසාරංගා නැවෙන් ඇවිත්’, පි‍්‍රයන්ත සෙනෙවිරත්නගේ “මිනිසා” වගේම මගේ “සකිසඳ මඬල” ත් ජනතාව අතරට ගෙන යාම තමයි බලාපොරොත්තුව.

මේක හොඳ වැඩක් කියන ආරංචිය පිටට ගිහිල්ලා තියෙනවා. ඒක සුබ ලකුණක්. නාට්‍යය නරඹපු හැමෝමක් එය අගය කළා, ජූඩ් හොඳ වැඩක් කළා කියලා. ඒක නාට්‍යය ජනපි‍්‍රයවීමේ පෙරනිමිත්තක් වෙන්න පුළුවන් ඉදිරියේ දි.

මොකක්ද මේ “සකිසඳ මඩල” කියන්නේ, ඒ පිළිබඳ ඔබේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කළොත්......?

ආ.....ඔව්, “සකිසඳ මඩල” කියන්නේ ප්‍රාසාංගික නාට්‍යය නිර්මාණයක්. ඒ කියන්නේ ප්‍රසංගාත්මක නාට්‍යය නිර්මාණයක්. මේකට ඇතුළත් වෙනවා ඇත්තටම මගේ ගීත දාහතක් විතර. මෙවැනි නිර්මාණයක් කරන්න මම ආභාෂය ලැබුවේ රොඩ්නි ගේ “සාරංගා නැවෙන් ඇවිත්” ප්‍රසංගය හරහා.

රොඩ්නි එහි ගායනා කළේ ජනපි‍්‍රය නාට්‍යය ගීත නාට්‍යනුසාරයෙන්. දැන් මමත් මගේ ගීත මෙහි දී නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනවා.

නමුත් මේ මගින් ඔබ ඉදිරිපත් කරන්නේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ?

මගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ. 2005 වසරේ දී මම “ආයිස් අප්පා ගුණ්ඩු” කියලා සංයුක්ත තැටියක් නිර්මාණය කෙරුවා. මේ ගීත සියල්ලම මම අපේ එෆ්. එම්. නාළිකාවලට දුන්නා. ඒත් ඔවුන් ප්‍රචාරය කළේ නිතරම “ආයිස් අප්පා ගුණ්ඩු” ගීතය විතරයි. අනෙක් ගීතවලට මේ නිසා ලොකු අසාධාරණයක් වුණා.

ජෝ අබේවික්‍රම, රත්න ශ්‍රී විජේසිංහ, කුමාර ලියනගේ, කුමාර කවිරාජ, යමුනා මාලිනී පෙරේරා, මහින්ද දළුගොඩ ආරච්චි, රෝහණ හෙට්ටිආරච්චි වගේ අයගේ ගී පද රචනාත්, රෝහණ වීරසිංහ, තරුපති මුණසිංහ, මර්වින් පෙරේරා, සිරිල් පෙරේරා, ජානක ෆොන්සේකා, ජීවන් හඳුන්නෙත්ති වැනි සංගීතවේදීන්ගේ තනු රචනාත් ඒ ගීත එකතුවට ඇතුළත් වුණා. ඉතින් ඇත්තටම ඒවා රස විඳීන්න පුළුවන් ගීත. දැන් ඒවා වේදිකාවේ වඩාත් ප්‍රාණවත් බවකින් දිග හැරෙනවා. වේදිකාවේ ඒවා සජීවී ලෙස මම ගයනවා,රඟපාමින්.

ඇන්ටන් ජූඩ් කිව්වම අපට එක්වරම සිහිපත් වෙන්නෙ හාස්‍යය. එතකොට “ සකිසඳ මඩල”ත් හාස්‍යයෝත්පාදක ගීත නාටකයක් ද......?

අපට විහිළු අවශ්‍යයිනේ. විහිළු බිහිවෙලා තියෙන්නේ කියන්න ඕනෑ දේ කියන්න. දවස තිස්සේ මහන්සි වෙලා ඉන්න මිනිස්සු රඟහලට ගොඩ වෙන්නේ පොඩ්ඩක් හිනාවෙලා මානසික සුවයක් විඳගන්න. සතුටු වෙන්න.

සමහරු මගෙන් ඇහුවා මේක හිනා වෙන්න පුළුවන් නාට්‍යයක් ද කියලා. අනිවාර්යයෙන්ම ඒ දේ මේ නාට්‍යය තුළ තියෙනවා. ඉතින් ඒ විහිළුව, හාස්‍ය, වින්දනය මේ නිර්මාණයේ උපරිමයෙන්ම තියනවා. ඒක මම කියනවාට වඩා හොඳයි ප්‍රේක්ෂකයෝ නාට්‍යය තියෙන තැනකට ඇවිල්ලා මේක බැලුවානම්.

ඔබේ ගී නිර්මාණ නිරීක්ෂණය කිරීමේ දි පෞද්ගලිකව මට හැඟුණු දෙයක් තමයි හාස්‍ය වගේම ඔබ ගැඹුරු සමාජ යථාර්ථයකුත් ඒ ගීතවලින් උද්දීපනය කරන්න උත්සාහ කර තියෙන බව.....?

අනිවාර්යෙන්ම ඒක පිළිබඳ කතා කරනවා නම් මම නාට්‍යය කලාවට ඇවිත් දැන් අවුරුදු තිහක් වෙනවා. මුල් කාලේ ලණු කාලා, මඩ කාලා, ආපු චරිතයක් තමයි මම. ඒ අත්දැකීම් පවා මෙවැනි ගී නිර්මාණ තෝරා ගැනීමට ඉවහල් වෙන්නැති. ඒ වගේම අපටත් යම් දේශපාලන දර්ශනයක් තිබෙනවානේ.

ඒ දේශපාලනය, හරහා සමාජිය අත්දැකීම් හරහා නිතරම අපේ මනස පෝෂණය වෙනවා. ඉතින් ඒවා ප්‍රතිනිර්මාණය කොට මගේ රසිකයන් වෙත තිළිණ කිරීම තමයි මගේ අරමුණ. මතුපිට සරල බවක් පෙනුණත් ඇතුළතින් ගැඹුරු සංවාදයක් ඔවුන් සමග ඇති වෙන්න ඕනෑ. මේ නාට්‍යය කලාව ඒකට සුවිශේෂී පිටිවහලක්.

ඇයි ඔබ එහෙම කියන්නේ.....?

නාට්‍යකාරයෙක් වෙන්න මම පිං කරලා තියෙනවා. මොකද ඒ හරහා මට ප්‍රේක්ෂක ජනතාව සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න පුළුවන් වුණා. කම්මලේ සිට මැතිවරණ වේදිකාව දක්වා අප මේ නාට්‍යයමය අත්දැකීමට ගෙන යනවා.

බොහෝ අසීරු වැඩක්. පිටපතට සරිලන විදිහට තමයි අපි ගීත ඉදිරිපත් කළේ. “සකිසඳ මඬල” රචනා කළ පි‍්‍රයන්ත ඒ අභියෝගය ඉතාමත් සාර්ථකව ජය අරගෙන තියෙනවා. මෙය පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් වේදිකා නාට්‍යය නිර්මාණයක්. දෙපැත්ත කැපෙන කුණුහරප නැහැ. ජවනිකාවෙන්, ජවනිකාවට අපි විවිධ පෙළහර පානවා.

ඔබේ වෘත්තීය සගයන්ගෙන් මේ කාර්යයේ දී ලැබෙන සහය කොයි වගේ ද....?

ඉතාමත් විශිෂ්ටයි. අපේ සෙට් එක ඉතාම කැපවීමෙන් මේ නාට්‍යයට දායක වෙනවා. හැමෝම කැපවීමෙන් වැඩ කරනවා. මම හිතන්නේ ඒ කැපවීම ඒ අයට පුරුදුයි. කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ නියුතු අයනේ. දැන් මගේ වසර තිහක් කියන්නේ, ඒ අයගෙත් ඒ කාලය වෙනවා. අපි සමකාලීන පිරිසක්. මාස තුන, හතරක් පුහුණු වෙලා අපි මේ කටයුත්ත කළේ. ‘සකි සඳ මඩල’හරියටම පැය දෙකයි, විවේක කාලයත් එක්කම. කම්මැලිකමක් නැතිව මේක බලන්න පුළුවන්.

ඇයි මෙවැනි නිර්මාණ කටයුත්තකින් ඔබ ප්‍රේක්ෂයා වෙත සමීප වෙන්න උත්සහ කළේ....?

නාට්‍යයකාරයෝ වුණාට හැමෝටම නාට්‍යයක් කරන්න බැහැ. නමුත් අපේ සගයෝ ටික කොහොම හරි නාට්‍යය කළා.

රොඩ්නි ‘සාරංගා නැවෙන් ඇවිත්’ කළා. පි‍්‍රයන්ත ‘මිනිසා’ කළා. ගිරිරාජ් නාට්‍යයක් කළේ නැතුවට චිත්‍රපටයක් කළා ‘ සිකුරු හතේ’ කියලා. ඒකත් හොඳ නිර්මාණයක්නේ. නමුත් ඉතින් මම කල්පනා කරන්නේ නාට්‍යයකාරයෙක් වුණාම නාට්‍යයක් කරන්න ඕනෑ. ඒකට මම පාදක කර ගත්තේ මගේ ගීත ටික. කාලයක් තිස්සේ පෙරුම් පුරපු දෙයක්.

පසුගිය වසර ඔබේ සිනමා දිවියේ පෙරළිකාර වසරක්. ඔබ රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වුණා. මේ වසරේත් ඔබේ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබෙනවා ද....?

ලැබෙනවා, ලැබෙනවා. ගිය වසරේ මම රඟපෑ චිත්‍රපට අතරින් “වලාපටල” විශේෂයි. එහි මම රඟපෑවේ පියසේන කියලා රෝහල් උපස්ථායකවරයකුගේ චරිතය. දැනටත් විවිධ රූපවාහිනී නාළිකාවලින් ඒ චිත්‍රපටය විකාශය වෙද්දී ඇමතුම් ගලාගෙන එනවා. මරු චිත්‍රපටයක් කියලා. ඇත්තෙන්ම ඒක මම රඟපැ වෙනස්ම විදිහේ චරිතයක්.

මේ වසරේ දැන් තිරගත වෙනවා “උත්තරා චිත්‍රපටය. ඊට අමතරව “මගෝඩි ගොඩයි”, “ සූර්යා” “ අපි මැරෙන්නේ නෑ”, “උයනට මල් ගේන” කියන චිත්‍රපට හයක් විතර තිරගත වෙන්න නියමිතයි. මේ වසරේ.

පුංචි තිරයේත් ජූඩ් මේ දවස්වල ජනපි‍්‍රයයි? සතියේ සෑම දිනකම ‘e - බ්‍රේන්’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. දැන් දැන් ප්‍රේක්ෂකයෝ ඒ නාට්‍යය ගැන අවධියෙන් ඉන්න බව පේනවා. ඔවුන් එය රස විඳින්න පටන් අරන් තියෙන්නේ දැන්. “ e බ්‍රේන්” සුසිරන් ද සිල්වාගේ නිර්මාණයක්. ප්‍රේක්‍ෂකයන්ගේ දකුණු මොලෙන් හා වම් මොලෙන් කෙරෙන දේවල් ගැන ඊ බ්‍රේන් හරහා ඔවුන් හිතන්නේ දැනුයි.

එතකොට ප්‍රසංග වේදිකාවේත් ඔබ ජනපි‍්‍රය ගායකයෙක්.....?

ප්‍රසංග වේදිකාවේ කටයුතු මෙරට සහ පිටරට දෙකේම කෙරෙනවා. ඒකේ අඩුවක් නැහැ. කලාකරුවෙක් වුණාම ලංකාවේ විතරක් නොවේ විවිධ රටවල සංචාරය කරන්න අවස්ථාව ලැබෙනවා.

ඉතින් ඒක විශේෂ වරප්‍රසාදයක්. පසුගිය දිනවල ලංකාවේ ප්‍රසංග කිහිපයකට සහභාගි වුණා. සිංහල අවුරුදු කාලේ විදෙස් ප්‍රසංග කිහිපයක් සඳහා ආරධනා ලැබී තියෙනවා මේ වෙනකොට. අනිවාර්යයෙන්ම ප්‍රසංග වේදිකාවේ මට ඉල්ලුමක් තියෙනවා. මොනවද ඔබ මේ වෙනකොට සංචාරය කර තිබෙන රටවල්.....?

යුරෝපය පුරාම සංවාරය කර තිබෙන ඊට අමතරව මැද පෙරදිග හුඟක් හොඳ රසික ප්‍රතිචාර තිබුණා මට .

ඇන්ටන් ජූඩ් කියන්නේ ඇත්තටම මේ ජනතාව අතර ඉන්න කලාකරුවෙක්. ඔබ බොහොම හෘදයංගමව රසිකයන් ඇසුරු කරන කෙනෙක්. මේක මේ අපේ ජනතාවාදී කියන කලාකරුවන් බොහෝ දෙනෙකුගෙන් මම දකින්නේ නැහැ.....?

මම විශ්වාස කරනවා කලාව තියෙන්නේ ජනතාව වෙනුවෙන් කියලා. කලාව අවශ්‍යය ජනතාවට, කලාව කියන්නේ ඔවුන් තමයි. මම පොඩි කාලේ ඉඳලා හැඩ ගැහුණේ ඒ විදිහට. දැනටත් පාරට බැස්සම ජනතාවත් එක්ක තමයි මම ඉන්නේ. නිතරම අත් දෙකට පොල් පිත්තක් බැඳ ගත්තා වගේ තමයි. වම් අතත් නිතරම තියෙන්නේ උඩ. දකුණු අතත් එහෙමයි. එන්නම්, රයිට්, යන්නම් කිය කියා තමයි නිතරම පාරේ යන්නේ.