2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Wednesday 16 June 2010

අපේ අය වීදි නාට්‍යවලට එන්නේ වෙනත් මාධ්‍යවලට යන්න බලාගෙන - ඇන්ටන් මිහිඳුකුල

Date:24/01/2010

Source: Silumina


’ධාරණ’ විකල්ප නාට්‍ය කලා එකතුවේ ඇන්ටන් මිහිඳුකුල

ඔබ වීදි නාට්‍ය කලාවට යොමුවීමේ පසුබිම මොකක්ද?

ප්‍රවීණ නාට්‍යවේදී පරාක්‍රම නිරිඇල්ලගේ මෙහෙයවීමෙන් 1980 වේදී විතර කටුනායක කම්කරු සෙවණේ වීදි නාට්‍ය වැඩමුළුවක් පැවැත්වුණා. මා ඊට සම්බන්ධ වුණා. ඒ වැඩමුළුවෙන් තමයි මා වීදි නාට්‍ය කලාව හඳුනාගත්තේ.

ඊට පස්සේ 1982 දී නිදහස් වෙළෙඳ කලාපයේ ශ්‍රමිකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් වෙනුවෙන් මා වීදි නාට්‍යයක් නිර්මාණය කළා. ඒක තමයි අපේ පටන්ගැන්ම. මුලින්ම මෙය නම් කෙරුණේ ‘කම්කරු සෙවණ’ වීදි නාට්‍ය කණ්ඩායම යනුවෙන්.

ඔබ කලක් ධීවර ප්‍රජාව වෙනුවෙන් වීදි නාට්‍ය ව්‍යාපෘතියක් පවත්වගෙන ගියා නේද?

ඔව්. මීගමුව කේන්ද්‍ර කරගෙන මා ධීවර වීදි නාට්‍ය කීපයක් නිර්මාණය කළා. එකක් ජල ප්‍රශ්නය. මීගමුවේ ඇතැම් ප්‍රදේශවල ධීවර ජනතාව හතරවටින්ම මුහුදින් වටවෙලා හිටියත් ඔවුන්ට පානීය ජලය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා.

ඒ ගැන අවධානය යොමු කෙරෙන ආකාරයේ වීදි නාට්‍යයක් මා නිර්මාණය කළා. ඊළඟට මීගමු කළපුව දූෂණය කිරීම පාදක කරගෙන ඊට එරෙහිව වීදි නාට්‍යයක් තැනුවා.

ඔබ නිර්මාණය කළ වීදි නාට්‍ය නාමික වශයෙන් සඳහන් කරන්න පුළුවන්ද?

’සාමයේ අරුනළු’, ‘සත් ගුණවත් මැඩම්’, ‘සාමයේ හොල්මන්’, ‘ගැල්’, ‘මිස්ටර් කසළ’, ‘අපට රජෙක්’, ‘ප්‍රතිමාව‘, ‘නත්තල විකිණීමට ඇත’.

මේ වීදි නාට්‍යවලට පාදක වුණේ මොන මොන තේමා ද?

කම්කරු ප්‍රශ්න, ජාතික සමගිය, කාන්තාවන්ට එරෙහි හිංසනය පිටු දැකීම, ළමා අපචාර හා ළමා ශ්‍රමය පිටුදැකීම, මාතෘත්වයට ගරු කිරීම, පරිසර දූෂණය, ඒඩ්ස් වසංගතය පිටුදැකීම, මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව වැනි විවිධ තේමා ඔස්සේ අපි වීදිනාට්‍ය නිර්මාණය කර තිබෙනවා.

වීදි නාට්‍යකරණයේ ඔබේ අභිප්‍රේත අරමුණ මොකක්ද?

කාලීන වශයෙන් වැදගත් වන තේමා ඔස්සේ ප්‍රේක්‍ෂකයන් වෙත අර්ථවත් පණිවුඩයක් ගෙනයෑම සහ ප්‍රඥාවන්ත සමාජයක් ගොඩ නැංවීම තමයි අපේ මූලික අරමුණ. සුනාමිය පසුබිම් කරගෙන අපි මාතර පොල්හේනේ සුබසාධන මධ්‍යස්ථාන කීපයක වීදි නාට්‍ය කීපයක් රංගගත කළා.

ඒක අපිට අලුත් අත්දැකීමක් වුණා. සුනාමිය නිසා මානසික ආතතියට පත් ජන කොටස්වලට ආධ්‍යාත්මික සුවයක් ඇතිකරවන්ට එයින් අපිට පුළුවන් වුණා. ආධ්‍යාත්මික සංවර්ධනයත් අපේ වීදි නාට්‍යවල වැදගත්කොට සලකන කරුණක්.

අපි සාමාන්‍යයෙන් වීදිනාට්‍ය දැක්මක් හෝ වැඩමුළුවක් පටන් ගන්නේ භාවනාවකින්. සමහරවිට මෛත්‍රි භාවනාවෙන්.

ඔබ උතුරු නැගෙනහිර දෙමළ ජන කොටස් වෙනුවෙන් ද වීදි නාට්‍ය කීපයක් නිර්මාණය කළා.

ඔව්. අපි යාපනය, මඩකළපුව, ත්‍රිකුණාමලය, සමන්තුරේ වැනි තැන්වල වීදි නාට්‍ය පෙන්නුවා. යාපනයේ විතරක් දර්ශන වාර 8 ක් පෙන්නුවා.

නල්ලුර් කෝවිල ළඟත් තින්නවේලි සති පොළෙත් පෙන්වූ වීදි නාට්‍යවලට විශාල ප්‍රතිචාරයක් ලැබුණා. අපේ වීදි නාට්‍ය දෙමළ භාෂාවෙන් ද රංගගත කර තිබෙනවා. ඒවා දෙමළ බසට නැංවූයේ මොහාන් සුබ්‍රමනියම්.

වීදි නාට්‍ය රංගගත කිරීමේදී ඔබ මුහුණ දුන් අත්දැකීම් මොනවාද?

විවිධ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇතැම් අවස්ථාවලදි පොලිසිය අපේ වීදි නාට්‍ය තහනම් කළා. හැටන් නගරයේදි අපි ‘වධ හිංසනය පිටු දකිමු’ යන මාතෘකාව යටතේ එම ප්‍රදේශයේ දෙමළ වීදි නාට්‍යකරුවන් ද සහභාගි කරගෙන දින 10 ක් තිස්සේ පැවැත්වීමට අදහස් කළ වීදිනාට්‍ය පස්වැනි දිනයේදී හැටන් පොලිසිය විසින් තහනම් කරනු ලැබුවා. ඔවුන් කියා සිටියේ අපේ වීදි නාට්‍ය ආණ්ඩු විරෝධි හා හමුදා විරෝධී බවයි.

කලාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න නිසා වීදි නාට්‍ය කලාකෘති ගණයෙහිලා සලකන්න විචාරකයන් පුරුදු වී නැහැ. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

වීදි නාට්‍යවල බොහෝවිට තිබෙන්නේ සිද්ධි මාලාවක්. නැතිනම් ප්‍රේක්‍ෂකයන් වීදි නාට්‍යවලට රැඳෙන්නේ නැහැ. වීදි නාට්‍යවලින් ගැඹුරු, සංකීර්ණ චරිත නිරූපණයක් ඉදිරිපත් කරන්න අමාරුයි. එහි යම් යම් සීමා පවතිනවා.

සමහර වීදි නාට්‍යවලට ස්ථාවර පිටපත් නැහැ. එහෙම ස්ථාවර පිටපත් තිබුණත් ඒ ඒ අවස්ථා අනුව එය වෙනස් වෙනවා. විශේෂයෙන් දෙබස් කාලයට අනුරූපීව වෙනස් වෙනවා.

වීදි නාට්‍යවලට අමතරව ඔබ වෙනත් නාට්‍ය නිෂ්පාදනය කර තිබෙනවාද?

මම වේදිකා නාට්‍ය - ළමා නාට්‍ය හා කෙටි නාට්‍ය කීපයක් නිෂ්පාදනය කර තිබෙනවා. ‘අසුන්ගතව‘ ‘ඇබෑර්තු නැත’ ‘එරොප්පේ සල්පිල’, ‘ධාරණ රංග‘, ‘අබිං’ මා නිෂ්පාදනය කළ නාට්‍ය. ‘වටුරැලේ කතාව‘, ‘සෙල්ලම්, ලෙල්ලම්’ මා නිෂ්පාදනය කළ ළමා නාට්‍ය දෙකක්.

එසේම ‘අබිං’ හා ‘ධාරණ රංග‘ වැනි නාට්‍ය, වේදිකාවේත් වීදිවලත් රංගගත කළා. ‘සාමයේ හොල්මන්’, ‘ප්‍රේමයේ මළගම’ මා නිපැයූ කෙටි නාට්‍ය. ඒ හැරුණුකොට අපි වාර්තා රංග ද ඉදිරිපත් කර තිබෙනවා. මයිකල් රුද්‍රිගු පියතුමා ගැනත් ලක්දාස් ද මැල් රදගුරුතුමා ගැනත් වාර්තා රංග දෙකක් අපි නිර්මාණය කළා.

වීදි නාට්‍යවලින් සම්මත වේදිකාවටත් එයින් සිනමාවට හා ටෙලිනාට්‍යවලටත් ප්‍රතිභාසම්පන්න නළුනිළියන් පිරිසක් බිහිවෙලා තිබෙනවා.

ඔව්. වීදි නාට්‍ය ඉතිහාසයේදී ඒක සිදුවෙලා තිබෙනවා. නමුත් අද හුඟක් අය වීදි නාට්‍යවලට සම්බන්ධ වෙන්නේ එය වෙනත් මාධ්‍යයකට යෑමේ ඉණිමඟක් කරගන්නයි. වීදි නාට්‍ය කියන්නේ වෙනමම කලාවක්.

එහි ශිල්පීන් ඒක ඇතුළෙම ජීවත් වෙන්න ඕනැ. අපේ නළු නිළියන් වීදි නාට්‍යවලින් ආවා කිව්වට ඔවුන් එහි දිගටම රැඳෙන්නේ නැහැ. මොකද ඒ කැපවීම ඔවුන්ට නැහැ. ඉන්දියාවේ නම් නන්දිතා දාස් වැනි නිළියක් චිත්‍රපටවලත් රඟපානවා. තවදුරටත් වීදි නාට්‍යවලත් රඟපානවා.

වීදි නාට්‍යකරණය සම්බන්ධයෙන් ඔබට විදේශීය අත්දැකීම් තිබෙනවා නේද?

අවස්ථා තුනකදි මම ඉන්දියාවටත් නේපාලයටත් ගිහින් වීදි නාට්‍යකරණයට සම්බන්ධ වෙලා තියෙනවා. 1993 දි මම ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ වීදි නාට්‍ය උළෙලකට සම්බන්ධ වුණා.

ඊළඟ අවුරුද්දෙදි නේපාලයේ කත්මණ්ඩු නුවර දකුණු ආසියාතික වීදි නාට්‍ය උළෙලකට සහභාගී වුණා. 1995 දි නවදිල්ලි නුවර දකුණු ආසියාතික ජනනාට්‍ය පිළිබඳ වැඩමුළුවකට සම්බන්ධ වුණා.

ඔබ මේ දිනවල නියැළි සිටින ආචාර්ය ගාමිණි හත්තොටුවේගම උපහාර වීදි නාට්‍ය කණ්ඩායම ගොඩනැංවීම සම්බන්ධයෙන් අවසන් වශයෙන් යමක් සඳහන් කරන්න?

අද හතු පිපෙන්නාක් මෙන් වීදි නාට්‍ය කණ්ඩායම් බිහි වෙනවා. විය යුත්තේ සැබෑ ආධ්‍යාත්මික ශක්තියකින් යුතු ප්‍රබල වීදි නාට්‍ය කණ්ඩායමක් ගොඩ නැංවීමයි. අප මුලපුරා ඇත්තේ එයටයි.

එයට ඕනෑම කෙනකුට සහභාගිවන්ට පුළුවන්. ධාරණ වීදි නාට්‍ය කණ්ඩායම 4/2, විජය පාර, තුන්වැනි කුරණ, මීගමුව යන ලිපිනයෙන් ඔවුන්ට අප හා එක්විය හැකියි.

No comments:

Post a Comment