2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Wednesday 16 June 2010

නාට්‍යයක් කල නිසා මාව ඉස්කෝලෙන් පැන්නුවා - නීතිඥ ඩග්ලස් සිරිවර්ධන

Author: රවි රත්නවේල්

Date: 27/08/2007

Source: Sarasaviya
ඡායා - මාලන් කරුණාරත්න

ටවර් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල්

නීතිඥ ඩග්ලස් සිරිවර්ධන

ඔබ නිර්මාණකරුවෙකු වුණේ කොහොමද කියන තැනින් පටන් ගත්තොත් ?

මාව නිර්මාණකරුවෙකු කළ මගේ මුල් ගුරුතුමිය වුණේ මගේ අම්ම ය කියන එකයි මගේ පිළිගැනීම. මම එහෙම කියන්නෙ වතු පාලකයෙක් වුණ අපේ තාත්තා රාජකාරියට බරවුණු තරමක් සැරපරුෂ කෙනෙක්. මේ නිසා අපේ ජීවිත කාලයෙන් වැඩි හරිය ගෙවුණේ අම්මත් එක්කයි.

සිරිපා අඩවිය ආශි‍්‍රත ගැමි කාන්තාවක් වුණු අපේ අම්මා පුදුමාකාර කතාන්දර, කවි ප්‍රමාණයක් දැනගෙන හිටියා වගේම ඒවා රසවත් විදිහට අපට කියා දුන්නා.

පුංචි සන්දියේ අපිට පොල්පිති කඩුව, කොස් කොළ තෝප්පිය හදලා දීලා රඟන්න, ගයන්න ඉඩ දීලා එවා බලලා රසවිඳින, අපිව අගය කරන පුරුද්දක් අම්මාට තිබුණා. එනිසා අපේ රසිකයා, විචාරකයා විතරක් නෙවෙයි නිර්මාණ අධ්‍යක්‍ෂවරයා වුණෙත් අපේ අම්මා. අම්මගේ සාරි මාල, වළලු, මලු මේවා තමයි එදා අපි ගෙදර වේදිකාවේ පාවිච්චි කරපු දේවල්. ඒ නිසා අම්මා තමයි මේ ගමනට මුල පිරුවේ.

එතකොට ඔබේ පාසල ?

මම මුලින්ම ගියේ ඉංගිරිය සුමනජෝති විද්‍යාලයට. ඒකේ අපේ ගුරුතුමිය මුතු ඇටේ හිරවේච්චි කුමාරිගේ කතාවේ මාව කුමාරිය කළා මට මතකයි. මේකෙන් අපේ පොඩි හිත්වලට රඟපෑම ගැන ආසාවක් ඇති වුණා.

ඊළඟට හොරණ විද්‍යාරත්න පාසලේ ඉගෙන ගන්න ගියාහම චන්ද්‍රරත්න දසනායක කියන ගුරුතුමා අපිව නාට්‍ය බලන්න පෙළඹෙව්වා. එතෙන්දි ආඩි ටිකයි අම්බලමයි වගේ නාට්‍ය අපට බලන්න ලැබුණා. එතකොට හේමසිරි ලියනගේ වගේ අය නාට්‍ය කළා. ඕවයෙනුත් අපට යම් පෙළඹීවීමක් ඇති වුණා.

මගේ සමකාලීනයන් වුණු ධර්මසිරි බණ්ඩාරනායක, ලාල් කුලරත්න, වගේ අයත් නාට්‍ය කළා. අපේ කාලෙ ඉස්කෝලේ ඇරුණම ගෙදර දුවන ක්‍රමයක් තිබුණෙ නෑ. ඉස්කෝලෙන් පස්සේ අඳුර වැටෙනකම් අපි නාට්‍ය කරනවා, සෙල්ලම් කරනවා. රෑ බෝවෙලා තමයි ගෙදර යන්නෙ.

ඒ කියන්නෙ පාසල තමයි ඔබව නාට්‍යකරුවෙක් කළේ ?

ඒකට මම මෙහෙම කියන්නම්, මොකද ඔව් කියන්ඩත් බෑ, නෑ කියන්ඩත් බෑ. ඒ මොකෝ ධර්මසිරියි මමයි ඉස්කෝලෙ නාට්‍ය පෙන්නුවයි කියලා අපිව ඉස්කෝලෙනුත් අයිං කළා.

නාට්‍යයක් පෙන්නුවට ඉස්කෝලෙන් අයිං කළා ?

ඔව්, මෙහෙමයි ඒක වුණේ. අපි දෙන්නා එකතු වෙලා දසයා හා ලෙංචිනා නාට්‍ය හදලා ඒක ඉස්කෝලෙ පෙන්නුවා. නාට්‍ය පෙන්න පෙන්න ඉන්න කොට එකපාරට ගුරුවරු ඇවිල්ලා නාට්‍ය නවත්තන්ඩ කියලා අපිව එළියට දැම්මා.

ඉස්කෝලෙට ඇතුල්වෙන එකත් තහනම් කෙරුවා. ආදි ශිෂ්‍යභාවය පවා පිළිගන්නෙ නෑ කියලයි එ වෙලාවෙ අපට කිව්වෙ. එදා අපට දැනුනෙ ගෙදරින් දොට්ට දැම්මා වගේ දුකක්.

ඒ වගේ සිද්ධියක් ඇති වුණේ ඇයි ?

අපේ නාට්‍ය වැඩේට ගුරුවරුන්ගෙන් කොටසක් විරුද්ධ වුණා. ඒ අය අපට සහය දුන්නේ නෑ. මේ ගැන අපි ටිකක් තදින් ගුරුවරුන්ව විවේචනය කරන තැනකට ගියා. මට අද හිතෙනවා එදා ඒ ගුරුවරු අපිව ශිෂ්‍යයන් හැටියට තේරුම් නොගත්තු නිසයි ඒ වගේ දෙයක් වුණේ කියලා .

මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් තමන් කරපු වැඩේ අතෑරලා දාන්ඩයි බලකරන්නෙ. ඔබට ඒක බලපෑවෙ කොහොමද?

අපිට එකේ අනිත් පැත්ත සිද්ධ වුණේ. ඒ කියන්නෙ ඒක අපේ හොඳටයි හේතු වුණේ. අපිට පාසලේ දී පෙන්නන්න නොදීපු නාට්‍ය අපි තවත් හොඳට හදලා ශි‍්‍රපාලි අරුන්දතියේ පෙන්නුවා.

අපට හිතාගන්න බැරිතරම් හොඳ ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ අවට පාසල් ගණනාවක ළමයින් නාට්‍ය බලන්න ආවා. පාලනය කරගන්න බැරි තරම් පිරිසක් නාට්‍ය වටා එකතු වුණා.

මේක අපට ලොකු හයියක් වුණ හින්දා අපි දිගටම නාට්‍යයත් එක්ක හිටියා. අද අපි මේ ක්‍ෂේත්‍රයේ යම් තැනක ඉන්නව නම් එකට එදා ඒ ඇද වැටුණු වෙලාවෙ නැවත නැගී හිටිය එක තමයි හේතු වුණේ.

එතකොට ඉස්කොලෙත් එක්ක ගනුදෙනුවට මොකද වුණේ?

මගේ නාට්‍යය රාජ්‍ය සම්මාන දිනුවම මගේ ඒ ඉස්කෝලෙම මාව අගය කළා.මමත් ඒ සිද්ධියෙන් පාඩමක් ඉගෙන ගත්තා. ඒ තමයි කිසිම දවසක කිසිම හේතුවකට ගුරුවරුන්ගේ හිත රිදවන්න හොඳ නෑ කියන එක.

එතකොට ඔබ හිට්ලර් වගේ නාට්‍යයක් කරන්න පෙළඹුණේ කොහොමද?

අසුව දශකයේ මුල් භාගයේ මට ඉවෙන් වගේ දැනුණා විශාල භීෂණයක් ඇතිවෙයි කියලා. ඇති වෙමින් තිබුණ සමාජ, දේශපාලන සිද්ධීන් එක්කයි මට ඒ අවබෝධය ඇති වුණේ.

ඒනිසා භීෂණයට, ඒකාධිපතිකමට එරෙහිව හිට්ලර්ගේ චරිතයත් විශාල වශයෙන් අධ්‍යනය කරලා ඒ නාට්‍ය කරන්න පෙළඹුණා. අතිශය තාත්වික වාර්තාමය වෘත්තාන්තයක් හැටියට එය නිර්මාණය කළා.

ඒ කාලෙ ලැබුණු ප්‍රතිචාර කොහොමද?

සමූහ මිනී වළවල්, වධ හිංසා, අති අමානුෂික ඝාතන වගේ ඒ නාට්‍යයෙන් නිරූපණය කරපු දේවල් වැඩි කල් නොගොස් අපේ රටේ මිනිස්සු අත්දැකීමෙන් වින්දා. ඒකෙ ප්‍රතිඵලය වුණේ 83 දී හිට්ලර් බලලා හූල්ලපු ප්‍රේක්‍ෂකයා, 89 දී ඒ දර්ශවලට හිනාවෙන්න ගත්තා. සමාජය ඒ තරමටම අව සංවේදී වුණා.

ඔබගේ මුල්කාලීන නාට්‍යවලට ඉහළම ප්‍රතිචාර ලැබී තිබියදීත් අලුත් නාට්‍ය නොකරන්නේ ඇයි?

දැනට මම අලුත් නාට්‍යයක් ප්‍රේක්‍ෂකයන් අතරට ගෙනාවෙ නැති වුණාට ලංකාවේ වෙනත් කිසිම නාට්‍යකරුවෙක් නොකරන තරමට මම සජීවීවම නාට්‍ය කලාවත් එක්ක වැඩ කරගෙන යනවා.

83 සිට අද දක්වාම විවිධාකාර නාට්‍ය වැඩමුළු, පාඨමාලා සංවිධානය කරමින් විශාල නවකයන් පිරිසක් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ කරන්න මම මුල්වෙලා තියෙනවා.

නම් වශයෙන් කිව්වොත් ජයලාල් රෝහණ, ප්‍රසාද් සූරියආරච්චි, අශෝක හඳගම, නිල්මිණි බුවනෙක, අජිත් ලොකුගේ, උදේනි අල්විස්, ෂර්ලි දෙලංකාවල, මැල්කම් මචාඩෝ, බුද්ධක දමයන්ත, ධනංජය කරුණාරත්න, ප්‍රසන්න ජයකොඩි ඇතුළු තවත් විශාල පිරිසක් ගැන කියන්න පුළුවන්.

මම නාට්‍යයක් නොකළාට මේ වගේ දක්‍ෂ පිරිසක් බිහි කරන්න දායකවීමෙන් මම විශාල සතුටක් ලබනවා. එක චවනයෙන් කියන්න බැරි තරම් ලොකු සතුටක්.

නැවත අලුත් නාට්‍යයක් වේදිකාවට ගෙන එන්න අදහසක් නැද්ද?

මගේ නාට්‍යයක් ඉදිරියේදී වේදිකාවට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ ‘ගොදුරු’ නමින් 2007 ඊජිප්තුවේ කයිරෝ නගරයේ නාට්‍ය උළෙල වෙනුවෙනුයි ඒ නාට්‍ය මුලින්ම කළේ.

අපේ රටේ පැසිස්ට් ත්‍රස්තවාදයේ කුරිරු බව කැබිතිගොල්ලෑවේ බෝම්බ ප්‍රහාරය, හමුදාපති ඝාතන තැත වගේ සිද්ධි පදනම් කරගෙනයි මේ නාට්‍ය නිර්මාණය කෙරෙන්නෙ. මම හිතනවා ගොදුරු අපේ රටේ වේදිකාවේ කඩඉම් පුළුල් කරන නාට්‍යයක් වේවි කියලා.

ඔබ රාජ්‍ය සම්මාන දිනලත් තියෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙලෙන් අයින් වෙලත් තියෙනවා, නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති වෙලත් තියෙනවා. ඔබ රාජ්‍ය නාට්‍ය උළෙල ගැන බලන්නෙ කොහොමද?

ඊජිප්තු, ඉන්දීය හා කේරළ නාට්‍ය තරග නැත්නම් උළෙල ගැන මට තියෙන අත්දැකීම් එක්ක මේ ගැන කතා කළොත් එතෙන්දි ජයග්‍රහණවලට වඩා නාට්‍යවලට ලැබෙන ඇගයීම් වලටයි මුල් තැන ලැබෙන්නෙ.

මුදලක්, තිළිණයක් ලැබුණාට ඒ ගැන ඒ තරම් තැකීමක් ඒ අයගෙ නෑ නමුත් අද අපේ සමහරු නාට්‍ය කලාව වෙනුවෙන් නාට්‍ය කරනවට වඩා ප්‍රචාරයටයි යොමු වෙන්නෙ.

ඊළඟට අපේ රටේ නාට්‍ය තරගත් එක්ක මේ විදිහට මරා ගන්නෙ මුදල් ත්‍යාග නිසා කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම අපේ රටේ දී නාට්‍යයේ ගුණාත්මකභාවය ගැන ඇගයීමක් නෙවෙයි සිද්ධ වෙන්නෙ. සමහර නාට්‍ය කරුවන්ට සම්මාන ලැබුණෙ නෑ කියලා මට බැන වැදුණු අවස්ථාත් තියෙනවා. ජෝන් ද සිල්වා වගේ අවිධිමත් නාට්‍ය ශාලාවක

පිට ශබ්ද ඇහෙනවය කියලා මගේ ඇඟට කඩා පැන්න නාට්‍යකරුවොත් ඉන්නවා. මගේ අත්දැකීම නම් බොහෝ අවස්ථාවල නාට්‍ය කරුවන්ට වැදගත් වූණේ නාට්‍යකලාවට වඩා ලැබෙන මුදල හා වරප්‍රසාද කියන එකයි.

රාජ්‍ය නාට්‍ය උළෙලක් නාට්‍යකට බලපාන්නෙ කොහොමද?

යම් ඇගැයීමක් එතෙනදී වෙනවා නම් ඒක රසිකයන්ට ඒ නාට්‍ය නරඹන්න පෙළඹවීමක් වෙනවා. නමුත් 1976 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයේ දී මම මගේ නාට්‍ය අයින් කර ගත්තේ එදත් මම කියපු මේ කාලගෝට්ටියම තිබුණු නිසයි. මගේ ‘අඹු සැමියෝ’ ඒ කාලෙ ජනපි‍්‍රයම නාට්‍යයක්. නමුත් ඒකට කුසලතා සහතිකයක්වත් ලැබුණෙ නෑ.

ඒත් ජනතාව අතරට ඒ නාට්‍ය අරන් යන්ඩ මට පුළුවන් වුණා වගේම අදටත් මම නාට්‍ය කරුවෙක් හැටියට ඉන්නව විතරක් නෙවෙයි, ඒ නාට්‍ය අනුමණ්ඩලේම සභාපතිත් වුණා. ඒ නිසා රාජ්‍ය නාට්‍ය උළෙල මත තමන්ගෙ නාට්‍යයේ ඉරණම තීන්දු කරන්ඩවත්, ඒ මත්තෙ අනවශ්‍ය ගැටුම් ඇතිකර ගන්ඩවත් අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නෙ.

රාජ්‍ය නාට්‍ය උළෙලකින් වෙන්න ඕන මොකක්ද?

ගම, නගරය, රට කියන මේ ක්‍ෂේත්‍ර තුනේම නාට්‍ය කලාව ගැන ප්‍රබෝධයක් ඇති කරන්ඩ රාජ්‍ය හරි ජාතික හරි නාට්‍ය උළෙලකට පුළුවන් වෙන්න ඕන. නමුත් අපට තියෙන බලතල හා ප්‍රතිපාදන නැති, නාට්‍ය අනුමණ්ඩලය වගේ ස්වේච්ඡා ආයතනයකට මේක කරන්ඩ පුළුවන්කමක් නෑ.

ඒ වෙනුවට අපිට ජව සම්පන්න ජාතික නාට්‍ය මධ්‍යස්ථානයකුයි අවශ්‍ය වෙන්නෙ. ජාතික චිත්‍රපට සංස්ථාව වගේ ආයතනයක්. අපට අද අවශ්‍ය නාට්‍ය ක්‍ෂේත්‍රයම ඒකාබද්ධ කරන ඒ වෙනුවෙන් වැඩ කරන වැඩ පිළිවෙළක්. අපේ රටේ නාට්‍යකරුවන් නාට්‍ය උළෙල ගැනයි විනිශ්චය ගැනයි කතා කරනවා මිසක් මේ වගේ ප්‍රයෝගික දෙයක් ගැන කතා කරන්නේ නෑනෙ.

මගේ අදහස නම් නාට්‍ය අනුමණ්ඩලය කියන්නෙ අම්මා නැති දරුවට කිරි දෙන කිරි අම්මා වගෙයි කියන එකයි. නාට්‍ය කියන දරුවා රැක බලාගන්න නම් නාට්‍ය අනුමණ්ඩල වගේ කිරි අම්මලා නෙවෙයි ජාතික නාට්‍ය මධ්‍යස්ථානයක් වගේ දරුවගේ නියම අම්මයි ඕන කරන්නෙ.

ඔබ නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති හැටියට සිටියදීත් මේ වගේ සංකල්ප ඉදිරිපත් කළා. ඒත් බොහෝමයක් ඒවා යථාර්ථයක් වෙලා නෑ නේ ද?

මෙහෙමයි ඒවා යථාර්ථයක් නොවුණා නම් ඒක මගේ වරදක් නිසා වුණ දෙයක් නෙවෙයි.එදා නාට්‍ය මණ්ඩලයේ ඉඳලා අද ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ කියන තැනට ආවහම මට දැනෙනවා ඔය සංකල්ප යථාර්ථයක් කරගන්න පුළුවන්කම අද අපට තියෙනවා කියලා.

අපේ විශිෂ්ට නාට්‍ය ඉංගි‍්‍රසියට පරිවර්තනය කිරීම, ගුණාත්මක නාට්‍ය පාඨමාලා, ඉන්දීය ජාතික නාට්‍ය පාසල සමඟ නව සබඳතා ගොඩ නඟා ගැනීම, වැඩිහිටි කලාකරුවන්ට ආර්ථික හා සෞඛ්‍ය රැකවරණ ලබාදීම, සහනදායි මිලකට රඟහල්, ශබ්දාගාර ආදිය ශිල්පීන්ට ලබාදීම ඇතුළු බොහොමයක් දේවල් අද අපට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව භාරකාර මණ්ඩලයෙත්, විෂය භාර අමාත්‍යවරුන්, අගමැතිතුමන් හා ජනාධිපතිතුමන් ගේ මඟ පෙන්වීම හා ආධාර උපකාර ඇතුව යථාර්ථයක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. තවදුරටත් සිදු කළ යුතු අත්‍යවශ්‍ය කටයුතු සොයා බලා ඉදිරියේ දී කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

No comments:

Post a Comment