2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Wednesday 16 June 2010

තිස්තුන් වසරක ඒකාධිපති කතාකරයි - ධර්මසිරි බණ්ඩාරනායක

Date: February 22, 2010

Source: www.fmderana.lk

තිස්තුන් වසරක ඒකාධිපති කතාකරයි

(ප්‍රවීණ රංගන ශිල්පියෙකු,නාට්‍යකරුවකු,සිනමාකරුවකු වන ධර්මසිරි බණ්ඩාරනායකගේ"ඒකා අධිපති"නාට්‍යය මේ දිනවල වේදිකා ගතවෙමින් පවතී."ඒකා අධිපති"කේන්ද්‍ර කර ගනිමින් කෙරුණු මෙම කතා බහ පොදුවේ ලාංකීය කලා ක්ෂේත්‍රය මෙන්ම අද්‍යතන ගැටලු හඳුනාගැනීමට දරන උත්සාහයක් දක්වා දිගහැරෙයි.මේ අප ඔහු හා කළ කතා බහයි.)



* 70 දශකයේ"ඒකා අධිපති"බිහිවීම සහ 2010 ට ගැළපීම අපි තේරුම් ගන්නේ කොහොමද?

මේකේ අත්පිටපත මගේ අතින් ලියවෙන්නේ 1975 දී.76 අප්‍රේල් මාසයේදී පුහුණුවීම් පටන්ගත්තා.නොවැම්බර් මාසය වෙනකොට ප්‍රදර්ශනය කරනවා.මේ නාට්‍ය නැවත අවුරුදු 33 ට පස්සේ ආපහු ගේන්න හේතුව මොකක්දැයි බොහෝ දෙනෙක් මගෙන් අහද්දී සමහර විට ඒකට මං දුන්නු උත්තර මටම පැහැදිලි නෑ.සමහර වෙලාවට මගෙන් එහෙම අහන එකමත් නාට්‍යය වර්තමානයට දක්වන සම්බන්ධයට උත්තරයක් කියලයි මට හිතෙන්නේ.

* නාට්‍ය පිටපත ලියවෙන්න බලපාන පසුබිම පිළිබඳ මතක් කළොත්..?

71 කැරැල්ලත් එක හේතුවක්.මං එතකොට උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක්.කැරුල්ල මෙහෙයවපු ජනතා විමුක්ති පෙරමුණට මගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ.ඒත් ඒ කැරැල්ලට මගේ යහළු යෙහෙළියන් බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා.ඔවුන් ගේ ඒ අත්දැකීම් මගෙත් එක්ක බෙදාහදා ගත්තා.ඒ ගොඩක් දෙනෙකුට අත්විඳින්නට සිද්දවුණු කටුක අත්දැකීම් මාව කම්පනයට ලක්කරා.මුළු සමාජයම දැඩි අස්ථාවරභාවයකට තල්ලුවුණා.උසස් පෙළින් පස්සේ විශ්ව විද්‍යාලයට යනවා කියන බලාපොරොත්තු පවා විභාගේ ලියන කාලෙදිම සුන් කර ගන්න සිදුවුණා.මොකද ඒ වෙද්දී විශ්ව විද්‍යාල කියන්නෙම 71 කැරැල්ලට සම්බන්ධ තරුණ තරුණියන් ගාල් කරල තියපු සිරකඳවුරු.මේ තත්ත්වය නිසා මං හොරණ විද්‍යාරත්නයෙන් උසස් පෙළට ලියලා ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මට නාට්‍යය කලාවට තිබුණු ළෙංගතු කමත් එක්කම කොළඹ එන්න සිදුවුණා.මට රස්සාවක් හම්බවුණා.ඒ කාලේ විදිහට සැලකිය යුතු පඩියකුත් හම්බවුණු හින්දා වියදම් ටික පියවාගෙන නාට්‍ය බලන්න ,රස්තියාදු ගහන්න වෙලාවකුත් හම්බවුණා.ඒකේ ප්‍රතිඵලයක් හැටියට හෙන්රි ජයසේනයන්"මකරා"නමින් වේදිකාවට ගෙන ආ යෙව්ගිනි ස්වෝට්ස් ගේ නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබුණා."මකරා"ට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීමම මට"ඒකා අධිපති"කරන්නට අවශ්‍ය වුණු සම්පත් බොහොමයක් ලබා ගන්න හැකිවුණු අවස්ථාවක් වුණා.

* අද"ඒකා අධිපති"ප්‍රේක්ෂාගාරය ගැන යමක් කිවහැකිද?

නරඹන සෑම කෙනෙක්ම වගේ සි‍යුම් ප්‍රශ්නයක් නොපෙනෙන්න අහනවා.ඒ එදා නාට්‍යයට අදට ගැළපෙන ලෙස වෙනස් කළාද කියලා.75 දී මං ලීව මුල්පිටපතේ එක ඉස්පිල්ලක්,පාපිල්ලක් මං වෙනස් කරලා නෑ.සමස්ත සමාජයක් ‍ෆැසිස්ට්වාදී ග්‍රහණයට හසුවුණාට පස්සේ,ඒ සමාජයම එකී පාලන තන්ත්‍රයට අ‍ශිර්වාද කරමින්ම එහි ගොදුරක් බවට පත් වූවාට පසු"ගැලවීම"කියන්නෙම ඊට එහා යන මහා ක්‍රියාදාමයක්.අද දවසේ මගෙන් කවුරු හරි මේක අද ලියවුණු එකක්ද,නැත්නම් අලුත් කෑලි මේකට එකතු කළාද කියල බොහෝ දෙනෙක් අහද්දී ඒක එහෙම වෙන්නේ නාට්‍ය සමාජය තුළ වග විභාග කරමින් තියෙන නිසයි.ඒක සුභ දෙයක්.ඒත් ප්‍රේක්ෂකයා වර්තමාන දේශපාලන වටපිටාවේ ඒ විදිහට ප්‍රශ්න කිරීම කලාකාරයෝ විදිහට අපට අනතුරු දායකයි.

* ඔබ කියන අනතුරුදායක බව ඔබගේ වෙනත් නිර්මාණවලටත් යම් යම් අවස්ථාවල බලපැවැත්වුණා නොවේද..?

ඔව්.1976 දී "ඒකා අධිපති"කියන නම අර්බුදයක් නොවුණට 2010 දී පෝස්ටරය ඇලවෙන තැන ඉඳලම අර්බුදය පටන් ගන්නවා.එක් එක් දේශපාලන න්‍යායපත්‍රයන් ඇතුළේ නාට්‍ය ප්‍රශ්න කිරීමට ලක්වෙනවා. කලාකෘතියක් ඒ විදිහට ප්‍රශ්න කිරීමට ලක්වීම කලාව ඇතුළේ"ප්‍රබල සන්නිවේදනයක්".මෙම අත්දැකීම ම මට ධවලභීෂණ""යක්ෂාගමනය""ට්‍රෝජන් කාන්තාවෝ"නාට්‍යය වලදීත් මුහුණ දෙන්න වෙනවා."ට්‍රෝජන් කාන්තාවෝ"නාට්‍යයේ රඟපෑව අයගේ ගෙවල් දොරවල් ගිනි තිබ්බා.සංගීත ශිල්පියාට තර්ජනය කරලා නිහඬ කෙරෙව්වා.

* වර්තමානයේ නාට්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද..?

නාට්‍ය කලාව කියන්නේ වර්තමානයේ අන්තයටම පිරිහුණු කලාවක්.රාජ්‍ය මට්ටමින් එක එක උදාර වචන,උදාර වැඩපිළිවෙළවල් තිබුණට සැබෑ අර්ථයෙන් ගත්තම නාට්‍ය කලාව තියෙන්නේ ඉතා පහල අඩියකයි.

* ඔබගේ"ඒකා අධිපති"නාට්‍යයේ දෘෂ්ට්ය පිළිබඳ සැලකිල්ල යොමු කළොත් එහි කැරලි නායකයා සමස්ත සමාජයම වෙනස් කරන්නට කැරලිගසා තම බිරිඳගේ පතිවෘතය රැග ගැනීම කියන කාරණය සමාජ අරගලයට වඩා වටින බවට පෙන්වා දෙමින් මරණය කැඳවා ගන්නෙක්.70 දශකයේ දී කොහොම වුණත් 2010 දීත් ඒක යථාර්ථයක්ද..?

ඇත්තටම ඒක එහෙමම තමයි. බොහෝ කැරලිකෝලාහලයන් දිහා බැලුවම හරිම පුද්ගලවාදී ප්‍රවේශයන් තමයි දකින්නට තියෙන්නේ.බොහොම සුළු පුද්ගලික අභිමතාර්ථයන් නිසා තමයි බොහෝ ඒවා පරාජය වුණෙ.ඒකා අධිපති ඇතුළේ වුණත් වීරයෙක් නෑ.වීරයා මැරිලා.ඒත් මං මේ නාට්‍ය ගෙනාවේ විප්ලවීය අදහස් සමාජ ගත කරන්නවත්,මේ කෙන් ලාංකීය විප්ලවය කරන්න උගන්නන්නවත් නෙවෙයි.වීරයා මැරිලා වුණත් ඒ ගෙනියන අරගලකාරී ස්වභාවයක් අතරමං වෙනවා.ඒ අතරමං වන ප්‍රවේශය තුළම ප්‍රේක්ෂකයාට තීරණයක් ගන්න දීලා අපි නාට්‍යය නතරකරනවා.

* නාට්‍යයත් සමග හිනාවෙන ප්‍රෙක්ෂාගාරය එළයට බහින්නේ ඒ හිනාව එතනම තියල කියලයි පෙනෙන්නේ.ලාංකීය ප්‍රෙක්ෂාගාරය "වේදිකාවේ හාස්‍යය"දේශපාලනිකව බාර ගන්නේ යයි ඔබ හිතනවද..?

දැන් දැන් ප්‍රෙක්ෂකයින් ඒ දිහා සවිඥානකව බලනවා කියලයි මට හිතෙන්නේ. අපේ රටවල ‍ෆැසිස්ට්වාදී පාලනයක යම් යම් ඉරියව් හෝ ගතිකයන් දකින්නට තිබුණද එවැනි පාලනයක් මුළුමනින්ම කෙනෙකුට ගොඩනඟා ගැනීමට අපහසුයි.ඒක එක්තර විදිහක ලාංකීය ජන විඥානයේ තියෙන ප්‍රබලත්වයේ ලක්ෂණයක්.යම් සමාජයක් දුර්වල වෙන්න වෙන්න තමයි ඒකාධිපතිත්වයක් බිහිවෙන්නේ.බ්‍රෙක්ට් ගේ අදහස් ඇසුරෙන් කිවහොත් අපේම දුර්වලකම් නිසා තමයි අපට වඩා දුර්වලයෙක් අපිව මර්දනය කරගෙන නැඟිටින්නේ.ලෝකයේ දුබලයෙක් මිස ප්‍රබලයෙක් කිසි දවසක මිනිසුන් මර්දනය කරගෙන නැඟිටින්න උත්සාහ කරන්නේ නෑ. මේ යුගයේ අපට බර්ටෝල් බ්‍රෙක්ට්ව අධ්‍යයනය කරනවානම් ඔහුගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.1976 දී මං අතින්"ඒකා අධිපති"බිහිවී 94 වෙද්දී ‍බ්‍රෙක්ට්ගේ නාට්‍යයක්"යක්ෂාගමන‍ය"හැටියට මගෙන් වේදිකාවට එනවා.

* ඔබගේ"හංස විල"චිත්‍රපටය තිරගත වූ කාලයේදී වැඩි අවධානයකට ලක්නොවුණත් ඒ සම්බන්ධයෙන් පසු කලෙක යම් කතිකාවක් නිර්මාණය වුණා.ඒ ගැන ඔබ ට කිවහැක්කේ කුමක්ද..?

ඕනෑම කලා කෘතියක් පිළිබඳ නිවරදි හෝ අර්ථාන්විත කතිකාවක් නිර්මාණය වෙන්නේ එකී කලා කෘතිය සමාජගත කරන කාල පරිච්ඡේදයට වඩා දශක ගණනාවකට පස්සේ.ඉතිහාසය කියන්නේ නොමියෙන මිනිසුන්ගේ නවාතැන්පොළටයි.නැවත නැවත පසුවිපරම් කරමින් ඒක සමාජගත කරන්නේ සමාජයමයි.ඕනෑම කලා කෘතියක් බලහත්කාරයෙන් සමාජගත කරන්නට බෑ.මගේ විශ්වාසයක් තියෙනවා මගේ"බව දුක"චිත්‍රපටය ගැන පවා පසු කලෙක විචාරකයින් වෙනස් විදිහට බලයි කියලා.

* ඔබගේ සැබෑ ජීවිතය තුළ ඔබගේ භූමිකාවන් තුළ වඩා කැමති නාට්‍යකරුවෙකුගේ භූමිකාවටද..?සිනමාකරුවකුගේ භූමිකාවටද..?

නාට්‍ය කරුවකුගේ භූමිකාවට මං වඩාත් කැමතියි.ඒක ඉතාමත් සජීවී මිනිස් සම්බන්ධයක් මත ගොඩනැඟිච්චි එකක්.ලියවෙච්චි පිටපතක් එක්ක වේදිකාවට ගියාට සැබෑ මනුස්සයන් තමයි මේක ජීවමාන කරන්නේ.මං ජීවත්වන සමාජ වටපිටාව කෙබඳුද කියන එක මට එතනදී අහුවෙනවා.ඒක මට පිටපතෙන් අහුවෙන්නේ නෑ.වර්තමානයේ මහා විකෘතියක් වු දේශපාලන ධාරවත් එක්ක මං එකඟ නොවෙන්නේ මේ නාට්‍ය කලාවෙන් මට ලැබුණු දැනුම නිසයි.ඒ දැනුම මට අම්මවත් තාත්තවත් දුන්නේ නෑ.මගේ ගුරුවරුන්වත් දුන්නේ නෑ.මට දැනුම දුන් ගුරුවරුන් පවා මේකෙ ගොදුරක් වෙලා පෙරහැරේ යද්දී මං විතරක් උපේක්ෂාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා.ඒ කලා කෘති වලින්ම මට ලබා දුන් දැනුමට ලංකාවේ කිසිදු බුද්ධිමතෙකුට ළංවෙන්න බෑ."බවදුක"චිත්‍රපටයෙන් මං මේ ඉරණම එදා කතා කරා.ඒත් "බවදුක"මිනිසුන් නොබලපු කලා කෘතියක් බවට පත්වුණා.මං ඒකයි මුලිනුත් කීවේ කාලයක් ගිහින් හරි"හංසවිල"ට ලැබුණු සාධාරණත්වය"බවදුක"ටත් ලැබෙයි කියලා.ඒක තමයි කලාවේ විශිෂ්ටත්වය කියන්නේ.

* එයින් ඔබ විශිෂ්ට කලාකරුවෙක් යයි ඔබ විසින්ම අර්ථගන්වා ගැනීමක් කරනවද?

නෑ.මං එයින් අදහස් ක‍ළේ මං විශිෂ්ට කලාකරුවෙක් කියන එක නෙවෙයි.කලාව විශිෂ්ටයි කියන එකයි.උදාහරණයක් විදිහට හිතුවොත් තව අවුරුදු සීයකින් කවුරු හරි සිංහලේ මහා වංශ කතාව කරනවනම් අද පල්වෙලා ගඳගහන මේ මඩ වළ මගහැර යන්න පුළුවන්ද..?කවුරු හරි මේ මඩ වළ මගහැර යනවානම් ඒ ප්‍රෝඪාකාරයට තවත් සියක් වසරකදී ජීවත්වෙන්නට මිනිසුන් ඉඩදෙයිද?

* මේ යුගයේ කලාකරුවාට යම් සමාජ වගකීමක් පැවරී ඇතැයි ඔබ විශ්වාස කරන බවක් එයින් අදහස් වෙනවද?

මේක විපත් මත ගොඩනැඟිච්චි සමාජයක්.ඒක කාටවත් නෑ කියන්ඩ බෑ.කලාකෘති නිර්මාණය කරලා මේක ගොඩගන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවනම් ඒක හිතළුවක් විතරයි.ඒත් අඩුම ගානේ මේ ව්‍යසනය දකින්නටවත් කලාකරුවාට තියෙන අයිතිය අපි පිළිගන්න ඕන.ඒ අයිතියත් නැති කරනවානම් ඉතිං දෙයියන්ගෙම පිහිටයි.

* ලාංකීය සමාජය තුළ මේ තරම් සමාජ ඛේදවාචකයත් අතිදකිම්න් තිබියදීත්,ජාතික ප්‍රශ්නය හා යුදමය වාතවරණය,දකුණේ ඇතිවුණු කැරලි කොලාහලයන් පවා කෙතරම් තීරණාත්මක වුවත් ඒකී අත්දැකීම් ගැඹුරින් ස්පර්ශ කරන කලාවක් අපේ කලාකරුවන් අතින් බිහිවුණේ නෑ.ඒ ඇයි?

ඒක ඇත්ත.ඔය ප්‍රශ්නෙම අපට වෙන විදිහකට අහන්න පුළුවන්.ලංකාවේ ස්වතන්ත්‍ර නිර්මාණ බිහිනොවී පරිවර්තන බිහිවෙන්නේ ඇයි කියලා.ලාංකීය සමාජය වග විභාග කිරිම ඉතා වැදගත්.යුද්ධය සැලකිල්ලට ගත්තත් යුද්ධයේ අනෙක් පාර්ශවකරුවා වග විභාග කෙරෙන්නේ නෑ. ඉරි ගහලා වෙන් කරගෙන බෙදුම් රේඛාවක් මැද්දේ ඉඳගෙන අපේ අය ඒක පාර්ශවීය නිර්මාණ කරනවා.මෙම බෙඳුම් රේඛාව අභිබවා යන්නට බැරිකම නිසා කොයිතරම් ඛේදවාචකයක් අපිව ගිළගත්තත් අපට හොඳ නිර්මාණයක් කර ගන්න බැරිවී තියෙනවා.ඒත් ඉන්දීය ලේඛකයින්,දෙමළ ලේඛකයින් මේ සීමා බිඳගෙන ගිහින් තියෙනවා.දෙමළ ලේඛකයෙකුගේ කවියක් සිංහලට පරිවර්තනය වුණත් ඒ හෘද ස්පන්දනය අපට දැනෙනවා.

* හැදෑරීමක් කැපකිරීමක් නොමැතිවීමත් මේ තත්ත්වයට හේතුවක් ලෙස ඇතැම් අය දකිනවා.ඔබ ඊට එකඟද..?

එකඟවෙනවා විතරක් නෙවෙයි මං ඊට තවත් කාරණා දෙකක් එකතු කරනවා.අපට චින්තකයෝ නැතිවීමත්,අපි දූපත් වැසියෝ වීමත් මේ ඛේදවාචකයට හේතුවෙනවා.අපේ සමාජය ගැඹුරින් වග විභාග කරපු අපේ චින්තකයෙක් කියපු,ලියපු දෙයක් උපුටා දක්වන්නට අපට හැකියාවක් නෑ."මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම"යි කියල බණ්ඩාරනායක කීව කියයි.ඒ පාඨය උපුටල ඡන්ද ටිකක් කඩා ගන්න පුළුවන් වුණාට ලාංකීය සමාජය විනිවිද දකින්න පුළුවන්ද.?අනෙක් අතට අපි දූපතක හිරවෙලා නිසාම අපි බොහෝ දේ ගත්තේ පිටින්.ණයට.එහෙමත් නැත්නම් කුලියට.ඒත් ඒ බව පිළිගන්න අකමැති නිසා අපේ අය බොහෝ දෙනෙක් විදේශයන්ට විරුද්ධයි.හැබැයි ඒ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න හොයාගන්න සටන්පාඨ ටික ගන්නෙත් ඒ රටවලින්ම ණයටමයි.ඒ හින්දා ඒ විරෝධයන් පවා"ජෝක්"බවට පත්වෙනවා.ඒ"‍‍ජෝක්"එක අපි තව තවත් සංවර්ධනය කරනවා.අපි අද දවසේ විරුද්ධ වෙන හැම බලවේගයක්ම අපට යමක් උගන්නලා තියෙනවා.මේක තේරෙන පිරිසකුත් රටේ ඉන්නවා.ඒත් ඒ අය මේ මොහොතේ නිශ්ශබ්දයි.

*බොහෝ ප්‍රවීණයන් සඳහන් කරන්නේ 60-70 දශකය කලාවේ ස්වර්ණමය යුගය කියලයි.ඔබත් ඒ අදහසේම කොටස්කාරයෙක්ද..?

ඇත්තටම.මගේ"ඒකාධිපති"නාට්‍යයෙන්ම ඒකට උදාහරණ ගන්න පුළුවන්.එදා කිසිදු ආරාධනාවකින් තොරව පක්ෂ විපක්ෂ හැම දේශපාලනඥයෙක්ම මගේ නාට්‍යය බලන්න ආවා.සමහර අය මට කතා කරා.සමහර අය කතා කළේ නෑ.සමහර අය එක්ක මගේ කිසිම කතා බහක්වත් ජීවිත කාලේ පුරාවට සිද්දවෙලා තිබුණේ නෑ.ඒත් මේ හැමෝටම යම් කලාකෘතියක් බලන්න,රසවිඳින්න විවේක බුද්ධිය තිබුණා.කලා කෘතියක් වෙනුවෙන් ඒ හැමෝටම වාඩිවෙලා ඉන්නට හැකි කාලපරිච්ඡේදයක් තිබුණා.ඒත් ඒ කාලය,අවකාශය නැතිවුණේ කලාකරුවෝ නිසා නෙවෙයි.ඔවුන්ගේම සටකපට,කූට උපක්‍රමශීලි බඩගෝස්තරවාදය නිසයි.අද නාට්‍යයක් කරාම බලන්න එන්නේ ප්‍රේක්ෂකයා නෙවෙයි.යාළුවෝ ටිකයි,නෑදෑයෝ ටිකයි,අනුග්‍රාහකයෝ ටිකයි විතරයි.මේකට හේතුව ලෙස එක එක්කෙනා එක එක මතවාද ප්‍රකාශ කරනවා.ඒත් සැබෑ හේතුව මේ එකක්වත් නෙවෙයි.රටේ කලාව පිරිහුණේ ලාංකිකයාගේ සංස්කෘතික ජීවිතය දේශපාලනඥයින් විසින් විනාශ කළ නිසයි.රටේ මිනිසුන් අවතැන් වුණේ යුද්ධයෙන් විතරක් නෙවෙයි.පාදඩ සංස්කෘතියෙනුත් අවතැන්වුණා.ඒ අවතැන් වුණු ප්‍රේක්ෂාගාරය අමතන්නට සිදුවී ඇත්තේත් අපටමයි.ඒක දැවැන්ත ඛේදවාචකයක්.

* නව පරපුරේ නිර්මාණකරුවන් දිහා වපරැහින් බැලීම බොහෝ ප්‍රවීණයන්ගේ ලක්ෂණයක්.ඔබත් ඒ එහෙමද..?

නෑ.මේ තත්ත්වයට නව පරපුර විතරක් වග කියන්න ඕන නෑ.අපේ පරම්පරාවන් මේ අයට හරියට බැටන් එක දුන්නේ නෑ.එතනත් ‍වැරැද්දක් තියෙනවා.ඒත් මේ තියෙන තත්ත්වය අපි සැබෑ ලෙස පිළිගත යුතුයි.අද තරුණ පරපුරේ බොහෝ නිර්මාණවලට තේමාවෙන්නේ ප්‍රේමය නැත්නම් ලිංගික ගැටලු.ඒක නරක නෑ.ඒවත් තියෙන්න ඕන.හැබැයි ලිංගික ගැටලුව චිත්‍රපටයක් වෙනකොට අර බම්බලපිටියේ මුහුඳු තීරයේදී දෙනොදහක් බලාගෙන ඉඳිද්දී අමානුෂික විදිහට පහරදීල රෝගියෙක් මරල දාන එක කෙටි චිත්‍රපටයක්වත් නොවෙන්නේ ඇයි?එදා මං සුගත් අයියගේ(සුගතපාලද සිල්වා)නාට්‍යයක් බලලා එළියට එන්නේ හිස් අතින් නෙවෙයි.තුන් දෙනෙක් අරගෙන.ඒ තමයි ජැක්සන් ඇන්තනී,ඩබ්ලිව්.ජයසිරි,‍කෞෂල්‍යා ප්‍රනාන්දු.අද මට නාට්‍යයක් බලලා එළියට එද්දී එක්කරගෙන එන්න කවුරුවත් ඉන්නවද?එතනයි ප්‍රශ්නය තියෙන්නේ.

No comments:

Post a Comment