2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Wednesday 16 June 2010

දියුණු සංස්කෘතික මිනිසා අපට අහිමි වුණේ නාට්‍ය කලාවේ බිඳ වැටීමෙන් - නාට්‍යවේදී බුද්ධික දමයන්ත

Author: නුවන් නයනජිත් කුමාර
Date: 28/06/2008
Source: Silumina

නානාවිධ හේතූන් මත අද්‍යතනයෙහි වේදිකා නාට්‍ය කලාව දැඩි අර්බුදයකට මුහුණපා සිටින බව පැවැසීම අසත්‍යයක් නොවේ. දේශීය නාට්‍ය කලාව සුපෝෂණය කළ පුරෝගාමීන් අල්පයෙන් දැනට ජීවත් ව සිටින එක ම නාට්‍යවේදියා වන හෙන්රි ජයසේනයන් පසුගියදා මා හට පැවැසුවේ කෙබඳු දුෂ්කරතා මධ්‍යයේ වුවත් තවමත් නාට්‍ය කලාව හැර නොගිය තරුණයන්ට වෙනම ත්‍යාගයක් දිය යුතු බව ය.

පෙර පරපුරේ කෘතහස්ත නාට්‍යවේදීන් නිසි ලෙස කියවා සම්ප‍්‍රදාය මැනවින් හැඳීන එය කලානුරූපව වෙනස් කොට ගත් නූතනවාදී, තරුණ ප‍්‍රතිභාපූර්ණ නාට්‍යවේදීන් අතර බුද්ධික දමයන්ත ප‍්‍රමුඛයෙකි. 1994 නාට්‍යකරණයට ප‍්‍රවිෂ්ට වූ ඔහු මේ වන විට නාට්‍ය 12 ක් නිර්මාණය කොට තිබේ.

“අධිපතියාගේ මරණ මංචකය” (සැමුවෙල් බෙකට්ගේ ”End Game”ඇසුරෙන්) ඔස්සේ කුලුඳුල් නිර්මාණ ලකුණ තැබූ බුද්ධික, “පාදඩයා” (1996 – එඩ්වඩ් ඇල්බීගේ ”The Zoo Story” ඇසුරෙන්), “පළිඟු රෑන” (1997 - ටෙනිසි විලියම්ස්ගේ ”The Glass Managerie” ඇසුරෙන්), “දවස තවම ගෙවුණේ නැහැ” (1998 – මුරේ චිගල්ගේ ”The Typist” ඇසුරෙන්), “බන්සි මැරිල නැහැ” (1999 – ඇතොල් ෆුගාඩ්ගේ ”Sizwe Bansi is Dead” ඇසුරෙන්), “අපේ පන්ති කාමරය” (2000 – ඇතොල් ෆුගාඩ්ගේ ”My Children My Africa” ඇසුරෙන්), “රැකවලා” (2001 – හැරල්ඩ් පින්ටර්ගේ ”The Caretaker” ඇසුරෙනි), “මාස්ටර් හැරල්ඩ්, (2002 – ඇතල් ෆුගාඩ්ගේ ”Master Harold and the boys” ඇසුරෙනි), “පරණ අයගෙ කතාවක්” (2004 – ඇලෙක්සි ආර්බුසොව්ගේ ”An old world comedy” ඇසුරෙන්) “පුංචි ආදර බලකිරීමක්” (2005 – විජේ තෙන්ඩුල්කාර්ගේ ”A Friend’s story” ඇසුරෙන්), “වෙස් මුහුණ” (2007 - හෙන්රික් ඉබ්සන්ගේ ”Ghosts” ඇසුරෙන්) යනාදී නාට්‍ය කෙටි කලක් ඇතුළත සහෘදයාට තිළිණ කළේ ය.

ඔහු මෙතෙක් නිමැයූ එක ම ස්වතන්ත‍්‍ර නාට්‍යය “පුතා එනකන්” (2007) ය. බුද්ධිකගේ අභිනව නාට්‍යය තව නොබෝ දිනකින් ම එළිදකිනු ඇත. මෙවර ඔහුගේ අවධානය ප‍්‍රහසන නාට්‍ය ධාරාව වෙත යොමු වී තිබීම සුවිශේෂත්වයකි.

”අවුරුදු ගණනාවකට පසුව මෙවර මා ප‍්‍රථම වරට “සුරඟනක් ඇවිත්” නමින් ප‍්‍රහසන නාට්‍යයක් නිර්මාණය කරමින් සිටිනවා. ප‍්‍රකට ඇමරිකානු නාට්‍යවේදී නීල් සයිමන්ගේ ”THE STAR SPANGLED GIRL”නාට්‍යය ඇසුරෙන් පරිවර්තිත මෙය රචනා කළේ සුනිල් චන්ද්‍රසිරි.

ජුලි 9 – 10 දෙදින කොළඹ ලුම්බිණි රඟහලේදී මෙය දොරට වැඩීමට නියමිතයි. සුජීව පි‍්‍රයලාල්, මහේන්ද්‍ර වීරරත්න, මාධනී මල්වත්ත වැනි මගේ නාට්‍ය රැසක රඟපාමින් පළපුරුද්ද ලැබූ පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. මීට ප‍්‍රථම සම්භාව්‍ය අභූතරූපී (ABSURD) නාට්‍ය බහුල ව නිර්මාණය කළ මා පළමුවරටයි මෙවර ප‍්‍රහසනයක් වෙත යොමු වුණේ.”

ඔබ නීල් සයිමන්ගේ ”THE STAR SPANGLED GIRL” කෘතිය සිංහල වේදිකාවට ගෙන ඒමට බලපෑ විශේෂ හේතු මොනවද?

”පසුගිය අවුරුද්දෙ මා තීරණය කළා නාට්‍ය දෙකක් නිර්මාණය කරන්න. “උතුරු කොණට පටු පාරක්” ඉන් එකක්. අනෙක “සුරඟනක් ඇවිත්” මේ නාට්‍ය යුගල දවස් දෙකක ඉදිරිපත් කරන්නයි මා සිතා සිටියේ. නමුත් විවිධ හේතුන් මත එය වෙනස් වුණා.

“උතුරු කොණට පටු පාරක්” නාට්‍යය පසුගිය වසරෙ නිර්මාණය කළා. මෙය ඇතොල් ෆුගාඩ්ගේ නාට්‍යයක් ඇසුරින් බිහි වූවක්. මහේන්ද්‍ර වීරරත්නයි, මාධනී මල්වත්තයි, මායි මෙහි ප‍්‍රධාන චරිත රඟපෑවා. එය මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටයට තේරී තිබෙනවා. “සුරඟනක් ඇවිත්” වසරක් පමාවුණා”

”අධිපතියාගේ මරණ මංචකය” ඔස්සේ නාට්‍යකරණයට පිවිසෙන කාලයේ ඔබ තාරුණ්‍යයේ එළිපත්තේ සිටියේ. සැමුවෙල් බෙකට්ගේ ගැඹුරු අභූතරූපී නාට්‍යයකින් (END GAME) මෙය බිහි වුණේ.

”ඒ වන විට මගේ වයස අවුරුදු 23 යි. නාට්‍ය කලාවට පිවිසෙන්න තියෙන දැඩි ඇල්ම නිසයි මෙය කළේ. සැමුවෙල් බෙකට්ගේ නාට්‍යයක් සිංහල වේදිකාවට ගෙන ඒම ඒ වයසට ඔරොත්තු දෙන්නේ නැහැ. අපි ඒ නාට්‍යය කළේ කොහොමද කියල හිතනකොට අදත් මට පුදුමයි. ගිහාන් ප‍්‍රනාන්දු වැනි අද ප‍්‍රකට නළුවෝ එදා එහි රඟපෑවේ. 1994 යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ලෙස මෙයට සම්මාන ලැබුණා. සුගතපාල ද සිල්වා සූරීන් තමයි විනිශ්චය මණ්ඩලයේ සිටියේ.

එදා මට ලැබුණු හයිය නිසා තමයි අදත් බාධක මැද නාට්‍ය කලාවේ දුෂ්කර කි‍්‍රයා කරමින් රැඳී සිටින්නේ. මුදලට මුල් තැන දෙන බඩගෝස්තරවාදී සමාජ ක‍්‍රමයක අඛණ්ඩව නාට්‍ය නිර්මාණය කරන්න කෙනෙකුට “පිස්සුවක්”, “මොළේ අමාරුවක්” තියෙන්න ඕනෑ. නිර්මාණකරුවෙක් නාට්‍යයක්, දෙකක් කරයි. නමුත් දිගටම නාට්‍ය 10 ක් 12 ක් කරන්න අද වැනි යුගයක “ලොකු ආබාධයක්” තියෙන්න ඕනෑ. මං වගේ එහෙම පිස්සු කොල්ලො තුන් හතර දෙනෙක් තවමත් නාට්‍ය කලාවෙ ඉන්නවා.

පාසලෙන් සමුගත් පසුව මා කිසිදු වෙනත් වෘත්තියක නියැළුණේ නැහැ. එදත් අදත් මා පූර්ණකාලීන නාට්‍යකරුවෙක්. පුදුමයි නේද? සමාජය අපි දිහා බලන්නේ “විහිළුකාරයෝ” දිහා බලනවා වගේ.”

ඔබ මෙතෙක් නිමැයූ නාට්‍ය බහුතරයක් පරිවර්තිත කෘති. ස්වතන්ත‍්‍ර නාට්‍යවලට වඩා පරිවර්තන කෙරෙහි වඩාත් නැඹුරු වූයේ මන්ද?

”දැන් ඉන්දියාව වැනි රටවල ලෝකයේ විවිධ රටවල බිහි වන සාහිත්‍ය, නාට්‍ය කෘති තමන්ගේ භාෂාවන්ට පරිවර්තනය කොට ගන්නවා. ලෝක දැනුමයි ඔවුන් මේවායින් උකහා ගන්නේ. ඒ රටවල සාහිත්‍ය මණ්ඩලවලින් ඒවා පරිවර්තනය කරන්නේ. ලංකාවේ අඩු තරමේ ශේක්ස්පියර්ගේ කෘතියක් වත් මෙබඳු සාහිත්‍ය මණ්ඩලයකින් පරිවර්තනය කරල නැහැ.

කේ.ජී. කරුණාතිලක වැනි තනි ලේඛකයන් පරිවර්තනය කළ අල්පයක් තිබෙනවා. ප‍්‍රංශයේ හොඳ නාට්‍යයක් බිහි වුණොත් ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් එය තමන්ගේ බසට පරිවර්තනය කර ගන්නවා. මේ ලබා ගන්නේ සංස්කෘතික දැනුමක්. මා සිංහල වේදිකාවට ගෙන ආවේ ලෝක නාට්‍ය සාහිත්‍යයෙන් උකහා ගත් සංස්කෘතික දැනුම.”

ලෝකයෙන් අප ලබන දැනුම හැරුණුවිට මෙරටට පමණක් ආවේණික සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු, යෞවනත්වය හා බැඳුණු ප‍්‍රශ්න කොතෙකුත් තිබෙනවා. මේවාට සංවේදී වීමෙන් ඔබ ස්වතන්ත‍්‍ර නාට්‍ය බිහි කිරීමට උත්සුක නොවූයේ සෞන්දර්යාත්මක පරතරය (AESTHETIC DISTANCE) නමැති සංකල්පයට මූලිකත්වය දීම නිසා යැයි මා සිතනවා. එනම් මෙරට සමාජ යථාර්ථය පෙන්වීමට විදෙස් කෘති ඉවහල් කර ගැනීමයි.

”ඇත්ත. මෙරට සමාජය හොඳින් කියවල නිර්මාණකරුවකු ලෙස මා කිවයුතු යැයි හැඟුණු දේ තමයි පරිවර්තන නාට්‍ය ඔස්සේ වඩා හොඳින් ඉදිරිපත් කළේ. අනෙක් අතට මෙරට සමාජ, දේශපාලන, ආර්ථික කරුණු ඍජු ව පරිණත ව රචනා කිරීම ලේසි පහසු දෙයක් නොවේ. අනෙක මා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් පමණයි.

පිටපත් රචකයෙක්, ගායකයෙක්, නළු කලා උපදේශකවරයෙක්, ප‍්‍රචාරක දැන්වීම් ශිල්පියෙක් නෙමෙයි. මට හැකියාව තිබුණා ලෝකයේ තිබෙන උසස් නාට්‍ය කියවලා ඉන් මා කම්පනයට පත් කළ නාට්‍ය සිංහල වේදිකාවට ගේන්න. එය ස්වතන්ත‍්‍ර ද පරිවර්තන ද යන්න මෙහිදී මට වැදගත් වුණේ නැහැ. ලෝකයේ බොහෝ දියුණු රටවල් නාට්‍ය කලාවට උසස් තැනක් ලබා දෙනවා. අපේ රටේ කවදත් මේ කලාවේ වටිනාකම තේරුම් ගත්තෙ නැහැ. අපේ රටේ සංස්කෘතික මිනිසාගේ බිඳ වැටීමට බලපෑවෙත් මේ හේතුවයි.”

1977 න් පසුව මෙරට බිහි වුණේ අක් මුල් නැතිව දලු ආ තරුණ පරම්පරාවක්. ජනපි‍්‍රය සංස්කෘතිය නමැති සුනාමියට හසු වූ බහුතර තරුණ පෙළ ආතක් පාතක් නැති ව එහි ගසා ගියා. අවශේෂ කලාවන්ට අත්වූ ඉරණමට නාට්‍ය කලාවත් මුහුණ පෑවා.

ඔබ, රාජිත දිසානායක, පියල් කාරියවසම්,ධනංජය කරුණාරත්න, තුමිඳු දොඩන්තැන්න, පූජිත ද මැල්, සහන් රන්වල වැනි තරුණයන් අල්පයක් උඩුගං බලා පිහිනමින් පෙර නාට්‍ය කලාවේ තිබූ ස්වර්ණමය යුගය නැවත ළඟා කර ගැනීමට වෙර දරනවා.

”එදා උසස් නාට්‍ය බිහිවුණා. උසස් රසඥතාවක් තියෙන පෙ‍්‍ර්ක්ෂක පිරිසක් සිටියා. හරවත් කලාවට, කලාකරුවන්ට අනුබල දෙන, අනුප‍්‍රාණය සපයන මාධ්‍ය යාන්ත‍්‍රණයක්, විචාර කලාවක් තිබුණා. ඒත් ඔබ කී සමාජ පෙරළියත් සමඟ මේ ස්වර්ණමය අවධිය ක‍්‍රමයෙන් බිඳ වැටුණා.

දැන් අපේ පරම්පරාවට කලින් නාට්‍යකරණයෙහි නියැළුණු ජයන්ත චන්ද්‍රසිරි, ප‍්‍රසන්න විතානගේ වැන්නන් කලකදී නාට්‍ය කලාව අතහැර සිනමාවට පිවිසුණා. අපේ පරම්පරාවේ ස්වල්ප දෙනෙක් හුදෙකලා අරගලයක් කරමින් බාධක ජය ගනිමින් තවමත් මේ නාට්‍ය කලාවේ ම එල්ලිලා ඉන්නවා. එදා සිටම මගේ නාට්‍ය වටා රොක් වූ මා කළ නිර්මාණ දිහා විචාරශීලී ව බලා සිටින සහෘද පෙ‍්‍ර්ක්ෂක පිරිසක් මට සිටිනවා.”

විරලව හෝ ඔබ බෙනට් රත්නායකගේ ”www.com” ටෙලි නාට්‍යයේ මතකයේ රැඳෙන චරිතයක් රඟපෑවා.

”මෙය බෙනට් අයියාගේ ඉල්ලීමක් නිසා රඟපෑ චරිතයක්. වේදිකාවෙන් මා ලබා තිබෙන පරිචය අනුව ටෙලි නාට්‍ය මට ඉතා සුළු දෙයක්. නිෂ්පාදකවරයෙක් සිටිනවා නම් චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට මා සූදානම්. දැන් හැදෙන සමහර චිත‍්‍රපට දිහා බැලුවාම හොඳ චිත‍්‍රපටයක් නිර්මාණය කිරීම මට අපහසු දෙයක් නොවේ. නමුත් නාට්‍ය තමයි මගේ ජීවිතේ.

දැන් කවුරුවත් අහන්නේ නැහැනේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් හෝ වසන්ත ඔබේසේකරයන්ගෙන් ඇයි ඔබ නාට්‍යයක් කරන්නේ නැත්තේ කියා. නමුත් ඇයි බුද්ධික චිත‍්‍රපට නොකරන්නේ කියලා අපෙන් සමහරු අහනවා. නාට්‍ය කියන්නේ එක මාධ්‍යයක්. චිත‍්‍රපට වෙනත් මාධ්‍යයක්. මේවා එකිනෙකට උසස් හෝ පහත් නැහැ. නමුත් නාට්‍ය කලාවට කවදත් ලැබුණෙ කුඩම්මාගේ සැලකිලි. මගේ ආත්ම ප‍්‍රකාශන මාධ්‍යය නාට්‍යයයි. මගේ නාට්‍යවල රඟපෑ සමහර නළුවෝ දැන් නාට්‍ය කලාව උගන්වන කථිකාචාර්යවරු.

නමුත් මා තවමත් මේ කලාව හදාරන ශිෂ්‍යයෙක්. නාට්‍ය කලාවේ නියැළෙනවාට වඩා වෙනත් ආදායම් මාර්ග ඕනෑ තරම් තියෙනවා. අද නාට්‍ය උදව් ඉල්ලා අඬන අම්මාගේ කලාව බවට පත් වෙලා. අම්මට සලකන්නේ නැති පුතුන් තමයි අද ඉන්නේ. ලංකාව වැනි සුබ සාධනවාදී රටවල ස්වභාවය මෙයයි. දැන් සෑම වසරකම එක නාට්‍යයක් හදන්න පුළුවන් ස්ථාවරයක මං ඉන්නේ. මට අනුග‍්‍රාහකයෝ, මිතුරෝ ඒ සඳහා ඉන්නවා. නමුත් තරුණ පරපුරට මේ උසස් කලාවේ නියැළෙන්න මොනම අයුරකින්වත් පහසුකමක් අද නැහැ.

එදා හෙන්රි ජයසේනයනුත් මේ ප‍්‍රශ්නය කියා ඇඬුවා. අද මා අඬනවා. පරම්පරා 5 ක් පුරා නොවිසඳුණු ප‍්‍රශ්න නාට්‍ය කලාව සමඟ බැඳිලා තියෙනවා. අපි එක් එක්කෙනා තනි තනිව නාට්‍ය කරලා පෙන්වා ගත්තා මිසක් මේ ගැටලු නිරාකරණය කර ගත්තේ නැහැ.

අනෙක් කලාවන්ට මේ ගැටලු වෙනස් ආකාරයට බලපානවා. තවමත් අපට විධිමත් නාට්‍ය පාසලක් නැහැ. චිත‍්‍රපට සංරක්ෂණාගාරයක් තවමත් මෙරටේ තියෙනවද? එක්තරා විදියකට අපේ නාට්‍යවලින් එළිදකින්නේ මේ මානසික ආතතිය තමයි.”

No comments:

Post a Comment