2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Wednesday 16 June 2010

නාට්‍ය ශෛලීන් රැසක සංකලනයක් වූ ජහුටා

Author: ජේ. ඒ. බී. දිල්රුක්ෂි ජයකොඩි
Date: 25/04/2010
Source: Silumina

මේ පුංචි ලක්බිම තුළ අප නොදකින, නොදන්නා බොහොමයක් දේවල් ඇත. භාෂාවේ, කලාවේ ඇති වෙනස් වීම් ද ඒ අතර වේ. දෙබස් කථන මුද්‍රා නාට්‍ය ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වූ විශේෂ කලාවකි. එය ව්‍යවහාරයේ පවතින්නේ ජහුටා වශයෙනි. මෙය විශේෂිත කලාවක් වශයෙන් හැඳින්වීමට හැකි වන්නේ එහි නාඩගම්, කෝලම් ලක්ෂණ ඇති බැවිනි. වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක දෙබස් කථන මුද්‍රා නාට්‍ය කලාවේ නිරත කලා සංගම් කිහිපයක් දැකිය හැකි ය.

ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායේ ලක්ෂණයන්ට වඩා ස්වාභාවික නාට්‍ය සම්ප්‍රදායේ ලක්ෂණ අවශෝෂණය කරගනිමින් මෙම කලාවේ නිරත නළු නිළියන් තම හැකියාවන්, දක්ෂතාවයන් ඔප මට්ටම් කරගැනීමට උත්සුක වෙයි. අපේ වේදිකා නාට්‍ය හා සමගාමීව යන්නා වූ මේ කලාවෙහි දියුණු කළ යුතු අංශ කිහිපයක් පවතී.

ඉඩ ඇති ස්ථානයක වටේට ලණුවක් ඇඳ සකස්කර ගන්නා වේදිකාව ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වන තෝතැන්නයි. රාත්‍රි කාලයේ එළිමහනේ පවත්වනු ලබන මේ නාට්‍ය නැරැඹීමට ප්‍රථමයෙන් තමන් මහා පණ්ඩිතයකු, ප්‍රාඥයෙකු යැයි සිතා සිටින්නේ නම් ඒ අදහසින් මිදිය යුතු ය.

මක්නිසාද යත් එසේ සිතා සිටීමෙන් මේ කලාවෙන් ලැබෙන්නා වූ රසය හරියාකාර විඳ ගැනීමට නොහැකි වන බැවිනි. ගැමියකු සේ සිතාගෙන ජහුටා රංගනය නරඹන කළ එහි රසය අපූර්ව ලෙස විඳිය හැකි ය. කලා සංගමයේ අධ්‍යක්ෂවරයා විසින් ප්‍රථමයෙන් තම රංගන ශිල්පීන් හඳුන්වා දීමෙන් අනතුරු ව සරස්වතී පුජා නර්තනයකින් නාට්‍ය ආරම්භ වේ.

මෙයින් දේව ආශිර්වාදය ලබාගැනීම අරමුණ වේ. පසු ව අධ්‍යක්ෂවරයා සංගීත කාණ්ඩයක් මැදින් තම රංගන ශිල්පීන්, වාදක ශිල්පීන් හඳුන්වා දී නාට්‍යයට පසුබිම් කරගනු ලබන කතා වස්තුව පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් කරනු ලබයි.

නිදර්ශනයක් ලෙස දක්වන්නේ නම් අංගුලිමාල කතා පුවතේ දී අංගුලිමාලගේ උපත පිළිබඳ ව අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරනු ලබයි. කතාවේ නාට්‍යෝචිත අවස්ථා පමණක් ගෙන එය නිර්මාණය කර ඇති බව දක්නට ලැබේ.

ග්‍රාම සංවර්ධන සමිති, මරණාධාර සමිති, දායක සමිති වැනි සමිති සමාගම්වලින් මෙම නාට්‍යවලට අනුග්‍රහය ලබා දෙයි. නාට්‍යයේ එක් කොටසක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සමිතිය මඟින් පවත්වනු ලබන වෙන්දේසියක් පවත්වනු ලබයි. වෙන්දේසිය අවසන් වූවායින් පසුව නාට්‍යයේ ඉතිරි කොටස රංග ගත කෙරේ.

මෙයින් විශාල ලාභයක් සමිති සමාගම් අත්පත් කරගනී. රාත්‍රි හතට පමණ ආරම්භ වන ජහුටා රංගනය පසුදින අලුයම් කාලය වනතුරු පමණ පවතී.

සැම දෙබස් කථන මුද්‍රා නාට්‍යකට ම විකට ශිල්පියකු සිටීම අනිවාර්ය ලක්ෂණයකි. මෙම නාට්‍යවල අධ්‍යක්ෂවරයකු සිටියද නිෂ්පාදකවරයකු, වේශ නිරූපණ ශිල්පියකු, අංග රචන ශිල්පියකු දක්නට නොලැබේ. ශිල්පීහු තම පෞද්ගලික ධනය වැය කරමින් රංගන ද්‍රව්‍ය මෙන් ම ඇඳුම් නිර්මාණය ද කරගනිති. රංගන ශිල්පීන් පිළිබඳ විමසීමේදී වර්තමාන ටෙලි නාට්‍ය හා සිනමා රංගනයෙහි යෙදෙන සමහර නළු නිළියන්ට වඩා දක්ෂතාවයක් ඔවුන් සතු ව ඇතැයි සිතේ.

ටෙලි නාට්‍ය, චිත්‍රපටවල රංගනයෙහි සිදුවන අඩුපාඩු මඟහරවා ගැනීමට තාක්ෂණය යොදා ගනී. නමුත් මෙහිදී ජනතාව ඉදිරියේ කිසිදු වැරැදීමකින් තොර ව තම රංගනය ඉදිරිපත් කිරීමට තරම් ඔවුන් දක්ෂ විය යුතු ය. රංගන ශිල්පීන් රංගන කාර්යය සිදුකරන අතර පසෙකින් දෙබස් ප්‍රකාශ කරන්නේ අනෙක් ශිල්පීන් විසිනි. සංගීත භාවිතය ද විශිෂ්ට අන්දමින් පවතී. හින්දි ගී තනුවලට, පැරණි චිත්‍රපට ගී තනුවලට ද ඔවුන් ගීත නිර්මාණය කර ඇත. ස්ව නිර්මාණ ගීතවල අර්ථ රසය මෙන් ම ශබ්ද රසය ද නොඅඩු ව පවතී.

බොහෝ නාට්‍ය සංගම් අධ්‍යක්ෂකවරු ජාතක කතා ආශ්‍රය කරගෙන තම නාට්‍ය නිර්මාණ කර ගනිති. මෙහිදි නාට්‍යෝචිත අවස්ථා පමණක් යොදා ගැනීමට ඔවුහු උත්සුක වෙති. වෙස්සන්තර කුණාල, සුතසෝම, සාම, පත්තපාණි වැනි ජාතක කතා ඔවුන්ගේ නාට්‍යවලට තේමා වන අතර කුණ්ඩලකේසි, අංගුලිමාල වැනි කතා වස්තු ද යොදා ගනී.

බොහෝ දෙනකු මේ කලාව පිළිබඳ නොදන්නේ එයට නිසි අනුග්‍රහයක් නොලැබෙන නිසා යැයි සිතේ. ඕනෑ ම කලාවක් පවතින්නේ එය මධ්‍යම පන්තික ජනතාව අතර පවතින විට ය. මෙම කලාව තවමත් පවතින්නේ ගැමි ජනතාව අතර ය. ඒ හේතුව නිසා ම ජනපි‍්‍රයත්වයෙන් හීන වී ඇත.

ප්‍රාථමික ලක්ෂණ කිහිපයක් ද මේ ජහුටා රංගනයේ දැකිය හැකි අතර ඒ ලක්ෂණ දියුණු තත්ත්වයට පත්කිරීමෙන් මේ රංගන කලාව වර්ධනය කළ හැකි ය. රංගන ශිල්පීන්ගේ හැකියා දක්ෂතා වර්ධනය කිරීමට මඟපෙන්වන්නකු සිටින්නේ නම් ඔවුන්ගේ දක්ෂතා ඔපමට්ටම් කරගත හැකි ය. ඒ තුළින් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන්, සංගීත ශිල්පීන් මෙන් ම නිර්මාණ ශිල්පීන් ද සමාජයට දායාද කළ හැකි ය.

එය බුද්ධිමත් පාඨකයන්ගේ, ශ්‍රාවකයන්ගේ ප්‍රාර්ථනයකි. අධ්‍යක්ෂවරුන් සතු ස්ව නිර්මාණ නාට්‍ය දෙස බැලීමේදී පෙනෙන්නේ ඔවුන්ට බොහෝ දුරක් යාමට හැකියාව ඇතැත් එක තැන පල් වෙන බවකි.

එයට ප්‍රධාන හේතුව අනුග්‍රහයේ ඇති දුර්වලතාවයයි. අරුත්සුන් ටෙලි නාට්‍ය, සිනමා පට, ගී, කවි වලට වඩා ඔවුන් සතු නිර්මාණවල හරයක් ඇත. රාජ්‍ය අනුග්‍රහය, ජනමාධ්‍ය අනුග්‍රහය ලැබෙන්නේ නම් ඔවුන්ගේ දක්ෂතා ඉස්මතු කර ගත හැකි ය. මේ කලාව වියැකී යාමට නොදී රැකගැනීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් කාගේත් යුතුකම වන්නේ මෙහි අපට ආවේණික ලක්ෂණයන් ගැබ් වී ඇති බැවිනි.

No comments:

Post a Comment