2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Wednesday 16 June 2010

වේදිකාවට නව ආලෝකයක් තටු සිඳුන කිරිල්ලී හා මැටි කරත්තය

Auhtor: ජයන්ත අරවින්ද
Date:28/02/2010
Source: Silumina

සුගිය දා ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී වේදිකා ගත වුණු ‘තටු සිඳුන කිරිල්ලී’ නාට්‍යය ස්වභාවික නොහොත් තාත්වික (realistic) ශෛලිය ඔස්සේ රචනා කොට නිෂ්පාදිත වූ වේදිකා නාට්‍යයකි. එහි රචක හා නිෂ්පාදිකා ව වූයේ ශාමලී ජයවීරයි. මේ ඇගේ පළමු නිෂ්පාදනයයි.

මෙවන් කාර්ය බහුල යුගයක චරිත විස්සකට අධික නළු නිළි පිරිසක් සමඟ පැය දෙකක පමණ නාට්‍යයක් සංගීතය වැනි අංගයන්ගෙන් ද සමන්විතව දින ගණනාවක් පුහුණු වී මෙසේ තරුණ කාන්තාවක් අතින් නාට්‍යය රචනා වී තමා අතින් ම නිෂ්පාදනය වීම සැබවින් ම සියලු නාට්‍ය රසිකයින්ගේ නො මඳ ප්‍රශංසාවට භාජනය විය යුත්තකි.

නාට්‍යයේ තේමාව හා කථා වස්තුව සුලබ එකක් වුව ද, කුළුඳුල් නිෂ්පාදනයක් වශයෙන් සලකන කළ, ප්‍රයත්නය සතුටු දායක ය. ඉහළ පෙළැන්තියේ පවුලකට අයත් ‘දුලානි’ විශ්ව විද්‍යාලයට ඇතුළුවී පුද්ගලික බෝඩිමක වෙසෙමින් මත්ද්‍රව්‍ය හා දුම්වැටී භාවිතයට ඇබ්බැහි වෙයි. ඇගේ මිත්‍ර සමාජය ද ඊට බලපායි. ඇය රෝගාතුර වේ. අන්තිමේ දී අයහපත් කල්ක්‍රියාවක් හේතුවෙන් පන්ති තහනමට ලක්වේ.

මේ අතර දියණිය පිළිබඳ මේ කිසිවක් නො දැන උසස් බලාපොරොත්තු තබාගෙන ඈත සිටින දෙමාපියෝ ඇයට උසස් පවුලකින් මංගල්‍යක් සැලසුම් කරති. පියා හෘද රෝගියෙකි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹට පැමිණෙන දෙමාපියෝ දියණිය බලා ගැනීම සඳහා බෝඩිමට පැමිණෙන අතර දියණිය පිළිබඳ තොරතුරු හෙළි වී අතිශය කම්පාවට පත් වෙති. පියා හෘදයාබාධය උත්සන්න වී අවසන් හුස්ම හෙළයි.

නිෂ්පාදිකාව පසු ගිය වසරේ, ප්‍රවීණ නාට්‍යවේදී තිලක් ගුණවර්ධන විසින් බොරැල්ලේ ‘පුංචි තියටර්හි’ පවත්වාගෙන ගිය නාට්‍ය හා රංග කලා පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරූ තරුණ රංග ශිල්පිනියකි. පාඨමාලාව අවසන් වත් ම නිෂ්පාදනයක නියැළීමෙන් ඇය මෙබඳු නාට්‍ය පාඨමාලාවක පවත්නා මූලික අරමුණ ඉටු කළා ය.

නාට්‍යයේ නම ‘තටු සිඳුන කිරිල්ලී’ සංකේතාර්ථවත් ය. උසස් අධ්‍යාපනයේ සියලු අපේක්ෂාවන් භග්න කර ගෙන, ගතින් ද සිතික් ද අකර්මණ්‍ය වන ‘දුලානි’ තටු සිඳුන කිරිල්ලියකි.’ නාට්‍යයේ රඟපෑ සියලු ම නළු නිළියෝ තම භූමිකා හොඳීන් රඟපෑහ. ‘දුලානි’ ගේ අයහපත් චරිතය දැක ඇයට දැඩි ලෙස දොස් පවරමින් සදාචාර සම්පන්න ආදර්ශවත් චරිතයක් රඟ පෑහ.

දුලානිගේ අයහපත් චරිතය රඟ පාන, බෝඩිමේ අයිතිකාරිය, තමාට මනාලයකු සොයන අවස්ථාවේ ප්‍රේක්ෂකයින්ගේ විහිළුවට ලක් වන චරිතයක් බවට පත්වීම සුදුසු නොවේ.

පැරණි සුභාෂිතය වැනි උපදේශාත්මක ග්‍රන්ථයකින් උතුම් පුතකු පිළිබඳව විද්වත් චරිතයක් මගින් ආදර්ශ ඉදිරිපත් කරවන මේ නාට්‍යයේ සමහර චරිත හා අවස්ථා තුළින් විටින්විට ඉදිරිපත් වන විකට චය¸ා හා කියමන් මූලික තේමාවට පැටහැනි බවක් දක්වයි. අනවශ්‍ය හාස්‍යයක් උපදවයි.

අනාගතයේ දී වඩා සාර්ථක නිෂ්පාදනයක් නිෂ්පාදිකාවගෙන් බලාපොරොත්තු විය හැකි අතර, ඊට තුඩු දෙන ශක්‍යතා රචනය හා නිෂ්පාදිකාව තුළ පිළිබිඹු විය.

පරාක්‍රම නිරිඇල්ලගේ ‘මැටි කරත්තය’ නිෂ්පාදනය පසුගියදා ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ වේදිකා ගත විය. නිරිඇල්ල හැත්තෑව දශකය තුළ ධම්ම ජාගොඩ විසින් ලයනල් වෙන්ඩ්ට් රඟහල් පරිශ්‍රයේ ම දියත් කෙරුණු නාට්‍ය රංග කලා පාඨමාලා තුළින් තම මූලික කුසලතා ප්‍රගුණ කර ගෙන ඉන්පසු ‘වරෙන්තුව‘ ‘සෙක්කුව‘ වැනි ප්‍රශස්ත නාට්‍ය කීපයක් වේදිකාවට ගෙන ආ වත්මන් ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයෙකි. ‘අද ඔහු ‘ජන කරලිය’ නමින්, නාට්‍ය ගමින් ගමට ගෙන යන ඉතා කාලෝචිත ව්‍යාපෘතියක් දියත් කරමින් සිටී.

මැටි කරත්තය ‘ශුදාක’ නමැති භාරතීය කවියා විසින් 6 වන සියවසේ දී පමණ රචනා කරන ලද මෘච්ඡකටිකා’ නමැති සංස්කෘත නාට්‍ය ග්‍රන්ථයට පියදාස නිශ්ශංක’ කවියා විසින් 1959 දී කරන ලද සිංහල පරිවර්තනය ඇසුරින් කරන ලද නාට්‍ය නිෂ්පාදනයයි. හැටේ දශකය ආරම්භයේ දී මේ පරිවර්තනය ම ඇසුරින්, ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු වූ පී. වැලිකල විසින් මැටි කරත්තය නාට්‍යය නිෂ්පාදනය කොට තිබුණි. අද එය සපුරා අභාවිත ය.

වසර පනහකින් පසු නැවතත් මැටි කරත්තය වේදිකාවට ගෙන එමින්, සංස්කෘත කාව්‍යමය නාට්‍යයක් වත්මන් සිංහල නාට්‍ය රසිකයින්ට හඳුන්වා දීමට දරන ලද වැදගත් ප්‍රයත්නය පිළිබඳ ව නිෂ්පාදකයා නාට්‍ය රසිකයන්ගේ ප්‍රශංසාවට භාජනය විය යුත්තේ ය. අංක දහයකින් යුත් ‘මැටි කරත්තයේ’ දීර්ඝ කථා වස්තුව පැය දෙක හමාරක පමණ කාලයකට කෙටි කර තිබුණු නමුත්, මුල මැද අග වශයෙන් කථා වස්තුවේ ආකෘතියට හානියක් නො වී මුඛ්‍ය සිදුවීම් සියල්ල නිෂ්පාදකයා විසින් නාට්‍යමය ලක්ෂණ රැකෙන පරිදි ගොනු කර තිබුණි.

නළු නිළියෝ සියල්ලෝ ම පාහේ දක්ෂ ලෙස රඟ පෑහ. ධාරු දත්ත රංගනය හා ගායනය යන අංග දෙකින් ම කැපී පෙනුණි. මුල සිට අග දක්වා ප්‍රාණවත් හා ජංගම ස්වභාවයක් නාට්‍ය පුරා පැතිරී තිබුණි. ගායනය හා පසුබිම් සංගීතය උසස් මට්ටමකින් පැවතුණි. අවසාන භාගයේ සමහර ගීත තවදුරටත් පුහුණු කළ යුතු තත්ත්වයේ විය.

‘වසන්ත සේනා’ ගේ ගායනා තව දුරටත් වර්ධනය කළ හැකි ය. ඇගේ රඟපෑම උසස් ය. නළු නිළියෝ සියල්ලෝ ම පාහේ දක්ෂ ලෙස රඟපෑහ. නළු නිළියන්ගේ වචන උච්චාරණය ඉතා වේගවත් ව සිදුවීම නිසා ප්‍රේක්ෂකයන්ට බොහෝ අවස්ථාවල සංවාදවල අර්ථ නො වැටහී ගියේ ය.

නාට්‍යාරම්භයේ එන විචිත්‍ර සාමූහික නර්තනාංගය මුල් නාට්‍යයේ හෝ සිංහල පරිවර්තනයේ අංගයක් නො වන අතර, එයින් වැදගත් අරමුණක් ඉටු විණැයි කිව නො හැකි ය. ‘ශකාර’ විසින් ‘වසන්ත සේනා’ එලවා ගෙන යන අවස්ථාව නාට්‍ය ආරම්භයට වඩාත් හොඳ සිදුවීමක් වන්නට ඉඩ තිබුණි.

පියදාස නිශ්ශංක කවියා විසින් මහාචාර්ය සරච්චන්ද්‍රයින්ගේ පෙළඹවීම හා මඟ පෙන්වීම මත පරිවර්තනය කරන ලද ‘මැටි කරත්තය’, ‘රත්නාවලී’ නාගානන්ද, ‘ස්වප්න වාසවදත්තා’ වැනි සංස්කෘතික නාට්‍ය තුළින් ඒ දෙදෙනාම බලාපොරොත්තු වූයේ, සංස්කෘති නාට්‍ය කලාවේ ආභාසයෙන් දේශීය නාට්‍ය කලාවක් ගොඩනැඟීම ය. මේ පරිවර්තන සංස්කරණය කරන ලද්දේ ද සරච්චන්ද්‍රයින් විසිනි.

එක් අතකින් නාඩගම් ශෛලිය ඇසුරින් දේශීය නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනැඟෙන අතර තවත් අතකින් සංස්කෘත නාට්‍ය ආභාසයෙන් දේශීය සම්ප්‍රදාය ගොඩනැඟිය හැකි යැයි සරච්චන්ද්‍රයින් සිතුවාට සැක නැත. ඒ අදහස හා ආභාසය නැවතත් මතු කරලමින්, පී. වැලිකලගෙන් පසු ‘මැටි කරත්තය’ නැවතත් නිෂ්පාදනය වීම, දේශීය නාට්‍ය කලාවේ පුනරුදයක් මෙන් ම සරච්චන්ද්‍රයන්, පියදාස නිශ්ශංකයන් වැනි අය එලි පෙහෙළි කළ ඒ මාර්ගය තවදුරටත් ආලෝකමත් කිරීමක් බව කිව හැකි ය.

No comments:

Post a Comment