2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Saturday 20 November 2010

වේදිකා හඬ හරඹය හෙවත් සුද්දෙක් ඔබ අමතයි - උදයසිරි වික්‍රමරත්න

Author: Ravi Rathnavale
Date:25/03/2010
Source: Sarasaviya

තරුණ නාට්‍යවේදී උදයසිරි වික්‍රමරත්නගේ අලුත්ම වේදිකා ආමන්ත්‍රණය ‘සුද්දෙක් ඔබ අමතයි’ අප්‍රේල් මස පළමුවැනිදා සවස 6.30 ට ලුම්බිණියේදී වේදිකා ගතවීමට නියමිතයි. ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න, නලින් ප්‍රදීප් උඩුවෙල හා මාදනී මල්වත්ත රංගනයෙහි යෙදෙන, ලලිත් වික්‍රමරත්න සංගීතවත් කරන එම නාට්‍ය පිළිබඳ සරසවිය සමඟ ‘උදයසිරි’ කළ කතාබහකි මේ.

* මොකද මේ සුද්දෙක් අප අමතන්න සූදානම් වෙනවය කියන්නේ?

මගේ අලුත්ම වේදිකා නාට්‍යයේ නම යොදා ගත්තේ ඒ විදිහටයි. නාට්‍ය රචනා වෙන කොටම යොදා ගෙන තිබුණු නමකට වඩා මේක නාට්‍ය ලියලා ඉවර වෙනකොට ‘සුද්දෙක් ඔබ අමතයි’ කියන නමට හැරුණා කිව්වොත් හරි.

* සුද්දා අපිව දාලා ගිහින් හැට අවුරුද්දකුත් ගිහිල්ලයි තියෙන්නේ?

ඔව්, ඒක නම් එහෙම තමයි. ඒත් සුද්දා හා අපි අතර තියෙන ප්‍රශ්නෙ තවම ඉවර නෑ. අපි සුද්දන්ගේ යටත් විජිතයක් වෙලා හිටපු ලකුණු තවම මැකිලා නෑ. සුද්ද ගියාට අපේම කළු සුද්දන්ගෙන් අපට තවම ගැලවීමක් නෑ. මේ නිසාම තවමත් සුද්දා අප අමතන තැනක තමයි ඉන්නේ.

* එතකොට මෙන විදිහටද මේක ගොඩ නැගුණේ?

මුලින්ම මගේ අතින් ලියැවුණෙ ඉතිහාසය ඔබ අමතයි, ඊළඟට ස්ත්‍රියක් ඔබ අමතයි. ඒකෙම දිගුවක් හැටියට තමයි ‘සුද්දෙක් ඔබ අමතයි’ කියන නාට්‍ය රචනා වුණේ.

තවත් විදිහකට කියනව නම් අර කිලින් කිව්ව කෙටි නාට්‍ය දෙක ඊට ගැළපෙන නව ආකෘතියක් ඇතුළට කැන්දා ගැනීමක්ය කියලත් කියන්න පුළුවන්.

* ඒ කියන්නේ මේ නාට්‍යයේදී ඔබ තෝර ගත්තු විශේෂ ආකෘතියක් තියෙනවා ?

ඔව්, තේමාවෙන් කියවෙන විදිහටම ප්‍රෙක්ෂකයා ආමන්ත්‍රණය කිරීම, ඇමතීම තමයි මේකේ ප්‍රධානම ආකෘතිය. මේ නාට්‍ය මූලික ආකෘතිය බැලූ බැල්මට පේන්නෙ, කෙනෙක් කතා කරනවා වගේ.

ඒක හරියට ගමේ කිරි අම්මා අඳින ඇඳුමයි, එයාගේ ආධ්‍යාත්මයයි අතරේ තියෙන අන්‍යොන්‍ය බැඳීම වගේ එකක්.

* ප්‍රාසාංගික කලා මාධ්‍යයක් වන වේදිකාවේ කතා පැවැත්වීමෙන් විතරක් ප්‍රේක්ෂකයා රඳවා ගන්න පුළුවන්කමක් තියෙනවාද?

ඇත්ත වශයෙන්ම රඳවා ගන්න පුළුවන්. ඒ අදහසට මම ආවේ ඕපපාතිකව නෙවෙයි. සන්නිවේදනයේදී අපේ ජන සමාජය ඇද බැඳ තබා ගන්න ‘ආමන්ත්‍රණය’ කොච්චර දුරට සමත් ද, ප්‍රබල ද කියන කාරණය මම ටිකක් හොයලා බැලුවා. එතෙන්දි මට කාරණා දෙකක් අවබෝධ වුණා.

එකක් තමයි අපේ බහුතර සමාජය අතීතයේ ඉඳලම බණ අහන්න හුරු වුණු සමාජයක්. ඒ වගේම දේශපාලකයන් ඇතුළු අනෙකුත් කථිකයන්ගේ ආමන්ත්‍රණ වරු ගණන් අහගෙන ඉන්න පුරුදු වුණු සමාජයක්.

මේකෙන් පෙන්නේ අපේ සමාජයට ආමන්ත්‍රණය කියන දේ ආගන්තුක හෝ අමුතු එකක් නෙමේය කියන එකයි. ඒ නිසා නළුවා හෝ නිළිය සෘජුවම ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කරන ක්‍රමය මම මේ නාට්‍යයට යොදා ගන්න තීරණය කළා.

* ඔබ කලින් කිව්ව ආමන්ත්‍රණ දෙකත් එක්ක ගත්තහම වේදිකාවේ නළුවෙකු හෝ නිළියක එක දිගට කථා පවත්වන්න ගත්තොත් ඒක නීරස වෙන්න පුළුවන් නේද?

ඔබ කියන දේ ඇත්තක් තියෙනවා. ඒ නිසාම තමයි මගේ මේ ආමන්ත්‍රණය හුදු කථා පැවැත්වීමකට සීමා නොවුණු අමුතුම ආමන්ත්‍රණයක් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි දන්න ආමන්ත්‍රණවලදී කථිකයා හිතේ එකක් තියාගෙන එළියට තව එකක් කීම තමයි ගොඩක් දුරට වෙන්නේ.

නමුත් කථිකයෙකු බවට පත්වෙන නළුවෙකුට එහෙම හංගන්න දෙයක් නෑ. ඒ නිසා මේ නාට්‍යයේ කථිකයා කියන දේ කියන්නේ හංගගෙන නෙවෙයි. තමන්ට හිතෙන දේත්, තමන්ගේ අඩුපාඩු ගැනත් නොසඟවා කියනවා.

ඒ වගේම මගේ මේ, සුද්දා ඔබ අමතන්නේ ගල් පිළිමයක් වගේ එක තැන හිටගෙන නෙවෙයි. උඩ පනින්න, සිංදු කියන්න, ඉඟි බිඟි අභිනය පාන්නත් එයාට අවස්ථාව තියෙනවා.

* නම සුද්දෙක් ඔබ අමතයි වුණාට තවත් අය මේකෙදි අමතනවා?

ඔව්, ඉතිහාසය ඔබ අමතයි කියන කොටස ගත්තොත් ඒක මේ පොත පතින් අපි ඉගෙන ගන්න ඉතිහාස පාඩම කියවීමක් නෙවෙයි. කොටින්ම ඉතිහාසයෙන් අපට ගැලවීමක් නැති හැටි, ඉතිහාසය කියන්නේ රජවරු බිසෝවරු විතරක් නෙමේය කියන එකත් මේ කොටසේදී දිග හැරෙනවා.

එක්තරා විදිහකට මේ කොටස ඉතිහාසය ගැන වේදිකාවේ නිර්වචනය කියලත් කියන්න පුළුවන්.

එතකොට ස්ත්‍රියක් ඔබ අමතයි කියන කොටස මේකට එකතු වෙන්නේ ලෝකයේ තියෙන නොයෙකුත් මතවාද ගැන කරන විමසා බැලීමක ප්‍රතිඵලයක් හැටියට.

මොකද අද වෙන කොට හැමෝටම විළි වහගන්න මොකක් හරි ඇඳුමක් ඕන වෙලා තියෙනවා වගේ, තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න මොකක් හෝ මතවාදයක් කියලා දෙයක් හැමෝටම ඕන වෙලා තියෙනවා. මෙන්න මේක තමයි ස්ත්‍රියක් ඔබ අමතයි කියන කොටසේදී සාකච්ඡා වෙන්නේ.

* මොකුත්ම නැතුව ඉන්නවට වඩා මොකක් හෝ දෙයක් තියෙන එක හොඳයි කියනවා වගේ තමන්ගේ පැවැත්මට හරි මතවාදයක් ඉස්සරහට දාගන්න එක නිර්මාණකරුවෙක් හැටියට ඔබ දකින්නේ කොහොමද?

ඒක ඛේදවාචකයක් හැටියටයි මම දකින්නේ. නූතන ලෝකේ මතවාද බිහි වෙන්නේ 1800 න් විතර පස්සෙනෙ. ආගම වෙනුවට එතැන්ට සමාජවාදය ආදේශ කිරීමෙන් පරිපූර්ණ මිනිහෙක් බිහි වෙනවාද. එහෙම නැත්නම් ඒකෙන් වෙන්නේ පරිහානියක් ද කියන එක තමයි අද දක්වා එන මතවාද ප්‍රශ්න කිරීමේ හා මතවාද බිහිවීමේ ආරම්භය වෙන්නේ. ඒකට කිසිම අදාලකමක් නැති ප්‍රලාපයන් පවා මතවාදයක් හැටියට පිටේ එල්ලා ගැනීම ඛේදවාචකයක් හැටියටයි මම දකින්නේ.

* ‘සුද්දෙක් ඔබ අමතයි’ මෙරට වේදිකා ක්ෂේත්‍රයට යම් බලපෑමක් කරාවිය කියලා ඔබ හිතනවාද?

මෙහෙමයි, අපේ රටේ වේදිකා නාට්‍ය කලාවට අලුත් අත්දැකීමක් ආපු හැම අවස්ථාවකම වගේ ඒක මේ ක්ෂේත්‍රයේ ප්‍රබෝධයක් ඇති කරන්න හේතුවක් වෙලා තියෙනවා. මනමේ, බෝඩිංකාරයො, නරි බෑනා කියන නාට්‍ය ගත්තොත් ඒ හැම නාට්‍යයක්ම ඒ අවස්ථාවේ ප්‍රේක්ෂකයාගේ රස වින්දනය පිළිබඳ, නාඩි වැටීම ගැන හොඳ අවබෝධයක් ඇතුව කළ නාට්‍ය බව පේනවා. මේ නිසා මගේ මූලික බලාපොරොත්තුව වෙන්නේ මෙතෙක් ප්‍රේක්ෂකයා නොලැබූ අලුත් ආරක නාට්‍ය අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබා දීමයි.

ඒ දේ උපරිමයෙන් ඉෂ්ට සිද්ධ කළ හැකි අද අපට ඉන්න වේදිකාවේ විශිෂ්ටයන් කිහිප දෙනෙක් වන ජයලත් මමෝරත්න, නලීන් ප්‍රදීප් උඩුවෙල, මාදනී මල්වත්ත මේකට එකතු කර ගත්තෙත් ඒ බලාපොරොත්තුව ඇතුවයි.

* ඔබ නාට්‍යකරුවෙකුට වඩා ලේඛකයෙක් හැටියට හුරුවෙලා ඉන්නා පසුබිමක නැවතත් වේදිකා නාට්‍යයක් කරන්න හිතුවේ?

මගේ ආත්ම ප්‍රකාශන මාධ්‍ය හැටියට පවත්වාගෙන යන්න ඕන මාධ්‍ය මොකක්ද කියන එක ගැන කොටුවීමක, හිරවීමක මම නැති වීම එක හේතුවක්. සිනමා මාධ්‍ය හැර අනෙකුත් මාධ්‍ය ගැන යම් ඇසුරක්, පරිචයක්, අත්දැකීමක් තියෙන නිසා නිර්මාණය විසින් ඉල්ලා සිටින ආකෘතිය හා මාධ්‍ය වෙත යන්න පුළුවන්කම තිබීම අනෙක් හේතුව.

ලේඛනය ඉක්මවා ගිය ප්‍රකාශනයක් ‘සුදෙක් ඔබ අමතයි’ ඉල්ලා සිටි නිසාත් ඊට ගැළපෙන මාධ්‍ය වේදිකාව බව පෙනී ගිය නිසාත් තමයි නැවතත් වේදිකා නාට්‍යයක් වෙත යෙමු වුණේ.

ඊළඟ වැදගත්ම කාරණය තමයි දැනට මම දකින, බලන, රස විඳීන වේදිකා නාට්‍ය ගැන මට තියෙන හෝ මම කරන විවේචන. තියෙන දේ විවේචනය කරනවා නම් අලුත් දෙයක් කරන්න පුළුවන් වෙන්නත් එපායැ. මේක එක අතකට ඒ විවේචනවලට උත්තරයක් හැටියට ගන්නත් පුළුවන්.

* මේ කතාබහෙන් පේන්නේ ‘සුද්දෙක් ඔබ අමතයි’ ඔස්සේ ඔබ වේදිකාවේ ‘හඬ හරඹයක්’ කරන්න හදනවා වගේ.

ඇත්තෙන්ම ඔව්, මගේ නාට්‍යයේදී නළුවා හෝ නිළිය ප්‍රේක්ෂකයා සමඟත්, අනෙකුත් නළු නිළියන් සමඟත් ඒ වගේම තමාම සමඟත් සංවාදයක යෙදෙනවා. එතෙන්දි මේ නළු නිළියන්ට තමන් හා සමඟම ගැටෙමින් තමන්ගේ හැකියාවන් අලුත් මානයන් කරා ගෙන යන්න හැකියාව හා අවස්ථාව ලැබෙනවාය කියලයි මට හිතෙන්නේ.

* මූලික වශයෙන් ඔබේ නාට්‍ය අප දැක ඇති අනෙකුත් නාට්‍යයන්ගෙන් වෙනස් වෙන්නේ මොන විදිහටද?

සාමාන්‍ය නාට්‍යයකදී වෙන්නේ ඊළග මොහොතේ මොකක් වෙයි ද කියන කුතුහලයෙන් ප්‍රේක්ෂකයා ඇද බැඳ තබන එකයි. මේ නාට්‍යයේදී ප්‍රේක්ෂකයා කුතුහලයට පත් කරන්නේ නළුවා හෝ නිළිය ඊළඟට මොනවා කියයි ද කියන කාරණයයි.

* නිර්මාණකරණයට යොමුවීම හෝ ඊට දායකවීම කියන කාරණය උඩ ‘කලාකරුවා’ හෝ එබඳු නාමකරණයන්ගෙන් කෙරෙන හැඳින්වීම හෝ ආමන්ත්‍රණය ගැන මේ ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙක් හැටියට ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

අවංක මනුස්සයෙකුට නම් තමන්ට ලැබෙන ආමන්ත්‍රණයේ නියම තේරුම මොකක්ද කියන එක එයාටම තේරෙනවා. ඒක ගැන හිතන්න පුළුවන්කම තියෙන මනුස්සයෙකුට විතරයි ජීවිතයේ පොඩි හරි සැනසීමක් ලැබෙන්නේ.

මොන නාමකරණයෙන් හැඳීන්නුවත් ‘අපේ ජීවිතය’ හඳුන්වලා දෙන්න ‘සංසාරය’ කියන සංකල්පයට වඩා හොඳ සංකල්පයක් තියෙනවාය කියලා මම නම් හිතන්නේ නෑ. මොකද මේ සසර ගමනෙදි අපි හැමෝම නළුවන් හා නිළියන්. ඒක තේරුම් අරගෙන මේ ගමන යන එකයි වඩා වැදගත් වෙන්නේ.

No comments:

Post a Comment