2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday 8 February 2010

එච්. ඒ. ඔබට ආයුබෝවන්!


Author:නෙවිල් උදිත වීරසිංහ
Source: w3Lanka

Date: (2010 පෙබරවාරි 07-W3Lanka)

මුල් වරට එච්. ඒ. පෙරේරාව හමුවූයේ වසර හය හතකට පෙර පුවත් පතක් සඳහා සම්මුඛ සාකච්ජාවක් ලබාගැනීම ට ගිය අවස්ථාවකදීය. ඒ මෝදර අලූත් මාවතේ 737 වත්තේ ඔහුගේ සොහොයුරියගේ නිවසෙහි දීය. එච්.ඒ. ගේ පදිංචිය එහි විය. මෝදර 737 වත්තේ ඔහු සමග ජීවත්වූ පීඩිත මිනිසුන්ගේ ජීවිත මගින් ඔහු අත්දුටු අත්දැකීම් වලින්ද ඔහු පෝෂණය වන්නට ඇත. ඔහුගේ වාමවාදී අදහස් කෙරෙහිද මෙම අත්දැකීම් බලපාන්නට ඇත. අප දන්නා තරමින් අසු ගණන් වල සිටම එච්. ඒ. පෙරේරා ඔහු සේවය කල ලංකා ටෙලිකොම් ආයතනයෙහි වූ වෘත්තීය සමීතියෙහි සිටි වාමාංශික මතයක් සහිත වෘත්තීය සමිති සාමාජිකයෙකු විය.

එච්. ඒ ගේ මෙම සමාජ දේශපාලන පසුබිම විසින් විකල්ප දේශපාලන මතයක් සහිත ස්වාධීන කාලාකරුවෙකු වශයෙන් පැවතීමට අවශ්‍ය ධෛර්යය ඔහුට සැපයෙන්නට ඇත. ඔහු ගේ ජීවිත කාලය තුළ දී පටු දේශපාලන උවමනාවන් වෙනුවෙන් ඔහුගේ කලා භාවිතය පවාදීමක් අපට සොයාගත නොහැක. මෙවැනි සමයක ස්වාධීන කලාකරුවෙකු වශයෙන් පැවතීමට අවශ්‍ය වු පන්නරය සහිත අතලොස්සක් කලාකරුවන් අතරින් එච්. ඒ ද කෙනෙකු විය.

2005 ජනාධිපතිවරණ සමයේ බහුතරයක් කලාකරුවන් ප‍්‍රධාන පාක්ෂිකයන් දෙදෙනාගේ වේදිකාවන්ට ගොඩවීමට පොරකද්දී එච්. ඒ සිටියේ ප‍්‍රධාන පාක්ෂික කඳවුරු දෙකටම ප‍්‍රතිවිරුද්ධ ස්වාධීන කලාකරුවන්ගේ, බුද්ධිමතුන්ගේ සහ සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ පිලෙහිය.

2005 ජනාධිපතිවරණයත් සමග නොවැම්බර් ව්‍යාපාරය ගොඩනැගුණේ සිංහල ස්වෝත්තමවාදී අපේක්ෂාවන් නියෝජනය කළ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂත් ගෝලීයකරණ නව ලිබරල් වාදී අපේක්ෂාවන් නියෝජනය කළ ජනාධිපති අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහත් යන ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ප‍්‍රතිපත්ති සහ අපේක්ෂාවන්ට එරෙහිව යුද්ධයට සහ ගෝලීයකරණයට එරෙහි කලාකරුවන්ගේ, බුද්ධිමතුන්ගේ සහ සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ ව්‍යාපාරයක් වශයෙනි. මේ සඳහා කැඳවුනු මුල් සාකච්ජා වාරයේ සිටම එච්. ඒ ගේ දායකත්වය අපට දැකගත හැකිවිය. 2005 නොවැම්බර් මස මරදානේ සමාජ හා සාමයීක කේන්ද්‍රය තුළට රොක්වූ කලාකරුවන්, ක‍්‍රියාකාරී බුද්ධිමතුන්, ලේඛකයන් සහ සමාජ ක‍්‍රියාකාරිකයන් අතර හා 2005 ජනාධිපතිවරණයෙන් අනතුරුව නොවැම්බර් ව්‍යාපාරය විසින් 2006 ජනවාරි මස සංවිධානය කල සමුළුවේ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳව ත‍්‍රිකෝණී සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවති සාකච්ජා වාරය සඳහා ද පැමිණ සිටි එච්, ඒ ගේ සිහින් උස් සිරුරත්, තියුණු උස් කටහඬත් අපේ මතකය තුළ තවම රැඳී ඇත. 2006 ජනවාරි 29 වන දින ප‍්‍රගතිශීලී කලාකරුවන්ගේ, බුද්ධිමතුන්ගේ, ලේඛකයන්ගේ සහ සමාජ ක‍්‍රියාකාරිකයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ පදනම් ආයතනයෙහි පැවති නොවැම්බර් ව්‍යාපාරයේ ජාතික සමුළුව තුළ සමුළුවේ සමාජ දේශපාලන හරය පැහැදිලි කරමින් පිලිගැනීමේ කතාව කළ ඒ මිනිසාගේ රූපයත් හඩත් අපේ මතකයේ සහ දෙසවනෙහි සදහටම නිදන්ව ඇත.

පරාක‍්‍රම නිරිඇල්ලගේ සංකල්පයක් අනූව ගොඩනැගුණු ජනකරලිය ජංගම රඟහල හරහා ලංකාව තුළ බ්ම්මට්ටමින් ගොඩනැගුණු නව නාට්‍ය කලා භාවිතය සඳහාද පුරෝගාමී දායකත්වයක් එච්. ඒ විසින් සපයන ලදී. එච්. ඒ. පෙරේරා සහ පරාක‍්‍රම නිරිඇල්ල යන දෙදෙනාම හැත්තෑව දශකයේ හත්තොට්ටුවගම කලාකරුවාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ මුල්කාලීන සාමාජිකයෝ වූ ජනකරලිය හරහා ලංකාව පුරා ගොඩනැගුණු නව නාට්‍යය සම්ප‍්‍රදාය සඳහා මොවුන්ගේ වූ මෙම වීදිනාට්‍ය භාවිතය විශාල පන්නරයක් ගෙන දී ඇති බව ඉතා පැහැදිළිය. එමෙන්ම මොවුන් විසින් ගොඩනගන ලද මෙම නව නාට්‍ය සම්ප‍්‍රදාය සඳහා නාට්‍ය කලාව සම්බන්ධයෙන් එච්. ඒ. සතුව පැවති පැතිරුණු දැනුමද පිටුබලයක් සපයා ඇති බවද පැහැදිළිය.

ලංකාවේ වීදි නාට්‍ය කලාවට, වේදිකා නාට්‍ය කලාවට සහ රංගනයට ද විශාල දායකත්වයක කළ තවත් එක් සහෘද කලාකරුවෙකු අප අතරින් වෙන්වී ගොසිණි.

විකල්ප දේශපාලන දැක්මක් සහිත අතලොස්සක් වූ ස්වාධීන කලා කරුවන් අතරින් කෙනෙකු වූ එච්. ඒ අප අතරින් මේ වන විට වෙන්වී ගොසිනි.

මෝදර 737 වත්තේ ළමුන්ට, ගැහැනුන්ට සහ මිනිසුන්ට ඔවුන් යනෙන විට නිතර හමුවූ කතා බස් කළ මේ උස් මිනිසාගේ සජීවී දසුන නැවත මුණ නොගැසෙණු ඇත.

මෝදර වෙරළෙහි රළ කාන්සාවෙන් කඳුළු පෙනපිඩු නගමින් වෙරළේ වැලි සූරාගෙන ම මුහුදට ඇදී යයි. මෝදර අහස නිහඬ ශෝකාකූල කමකින් මුහුදට හිසඔබා ගැනීමට තතනයි. වැල්ලට බරවී සිටින ඔරුවක වසාසිටින කපුටෙකු කෙදිරිලි හඩක් නගමින් ශෝකී අහස දෙසට පියා සළයි.

කඩිමුඩියේ කොළඹ වීදි පුරා දිව යන අප කොළඹ අලූත් මාවත අසලින් යනෙන මොහොතක 737 වත්ත දෙසට නිරායාසයෙන්ම නෙත් යොමු වෙණු ඇත. ඒ කිසිදිනෙක නොමැකෙන ඔබ පිළිබඳ වූ මතකය වෙනුවෙනි...

No comments:

Post a Comment