Source: Sarasaviya
Date: 11/02/2010
පසුගියදා අපෙන් වියෝ වූ පතිරාජ එල්. එස්. දයානන්ද වැඩි ප්‍රසිද්ධියක් අත්පත් කරගන සිටියේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වශයෙන් බව සැබෑය.
ඔහු චිත්‍රපට හත අටක් පමණ නිර්මාණය කර ඇත.
ඔහු වේදිකා නාට්‍ය ද චිත්‍රපට තරමටම ප්‍රමාණයක් නිර්මාණය කර ඇත්තෙකි. ඉන් බොහෝමයක් සාමාන්‍ය ගණයේ නාට්‍යය. එසේ වුවත් ඔහුගේ එක් නාට්‍යයක් සිංහල වේදිකාවේ නව ප්‍රවණතාවයක් ගොඩ නැංවීමට උපස්තම්භක වූ විශිෂ්ට නිෂ්පාදනයක් බවට පත් වූයේය.
ඒ ‘කවුරුත් එන්නේ නෑ’ නම් වූ නාට්‍යයයි. මේ නාට්‍යය සිංහල වේදිකාවේ නව ප්‍රවණතාවයකට පුරෝගාමිත්වය දැරූ කෘතියක් ද වෙයි. ඒ ප්‍රවණතාව නම් විකාරූපී නාට්‍ය කලාවයි. නූතන සිංහල වේදිකාවේ ප්‍රථම ස්වතන්ත්‍ර විකාරරූපී නාට්‍යය ලෙස විචාරකයන් විසින් පිළිගනු ලබන්නේ ‘කවුරුත් එන්නේ නෑ’ නාට්‍යයයි.
ධම්ම ජාගොඩගේ ’කොරා සහ අන්ධයා’ බන්දුල විතානගේ ගේ ‘ගංගාවක් සපත්තු කබලක් සහ මරණයක්’ වැනි ස්වතන්ත්‍ර විකාරරූපී නාට්‍ය බිහි වූයේ ද සැමුවෙල් බෙකට් (‘පරපුටුවෝ’) ඉයුජින් අයනෙස්කෝ ( ‘පුටු’ සහ ‘හස්තිරාජ මහත්තයා’) වැනි යුරෝපයේ විකාරරූපී නාට්‍යකරුවන්ගේ නාට්‍ය කෘති සිංහල වේදිකාව මත පරිවර්තනය – අනුවර්තනය වන්ට පටන්ගත්තේ ද ‘කවුරුත් එන්නේ නෑ’ නාට්‍යයෙන් ඉක්බිතිවය. එහෙයින් පතිරාජ එල්. එස්. දයානන්දගේ නාමය සමකාලීන සිංහල වේදිකාවේ නාට්‍ය කලා ඉතිහාසයේ එක් පිටුවක් ලෙස ගෞරවයෙන් සඳහන් කළ හැකිය.
පතිරාජ එල්. එස්. දයානන්ද කලාවට ප්‍රවිෂ්ට වන්නේ කලාකරුවන් රැසක් බිහි කළ කැලණිය ගුරුකුල මහා විද්‍යාලයෙනි. මාලිනී ෆොන්සේකා, එච්. ඩී. ප්‍රේමරත්න, ඩොනල්ඩ් කරුණාරත්න, විමල් කුමාර ද කොස්තා, කේ. ඒ. විජේරත්න, ප්‍රේමවීර ගුණසේකර, ගුරුකුලයේදී ඔහුගේ් සමකාලීනයෝ වූහ. ඔහු එස්. මලල්ගෙන් නැටුම් පුහුණු වී ඇත. (මාලිනී ෆොන්සේකා නැටුම් පුහුණු වී ඇත්තේ ද එස්. මලල් වෙතිනි).
කැණාරත්න ඩී. පිලිප්ගේ ‘යැංකි හටන’ පතිරාජ රඟපෑ මුල්ම වේදිකා නාට්‍යය ලෙස සඳහන්ව ඇත. ඉන් පසු ඔහු තවත් නාට්‍ය කීපයකටම රංගනයෙන් දායක වී තිබේ.
එච්. ඩී. ප්‍රේමරත්න රචනා කළ ‘යකාගේ කම්මල’ (1964) පතිරාජ නිෂ්පාදනය කළ මුල්ම වේදිකා නාට්‍යයයි. ඉන් පසු ඔහු ‘දියසේන’ (1967) නමින් ද නාට්‍යයක් නිෂ්පාදනය කළේය. එය විකාරරූපී රංග ශෛලිය පිළිබඳ කළ පර්යේෂණාත්මක අත්හදා බැලීමක් ලෙසද විචාරකයන් හඳුන්වා ඇත. මේ නාට්‍යයේ මංගල දර්ශනයට ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වූයේ එවක කැලණිය විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළ ඒ. ජේ. සෙල්වදොෙර්ය. ඔහුට සැමුවෙල් බෙකට්ගේ ‘වේටිං ෆෝ ගොඩෝ’ නාට්‍යය (‘ගොඩෝ එනකං’ නමින්) සිංහලට නැඟීමේ අදහස පහළ වූයේ ‘දියසේන’ නාට්‍යය නැරඹීමෙන් බව කියැවෙයි.
‘ගොඩෝ එනකං’ නාට්‍යයේ නිෂ්පාදන කටයුතුවලට පතිරාජ ද දායක වී ඇත. මේ නාට්‍යයේ මංගල දැක්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඈෂ්ලි හල්පේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විකාරරූපී නාට්‍ය කලාව සම්බන්ධයෙන් ඒ. ජේ. සෙල්වදොරේ හා මහාචාර්ය හල්පේ කළ කතාබහ ඔස්සේ එහි රංග කලා සම්ප්‍රදායය පිළිබඳ කිසියම් අවබෝධයක් ලත් පතිරාජ ඉන් ලත් අනුප්‍රාණයෙන් ‘කවුරුත් එන්නේ නෑ’ නාට්‍යය වේදිකාවට ගෙන ආවේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වතන්ත්‍ර විකාරරූපී නාට්‍යය ‘කවුරුත් එන්නේ නෑ’ය.
‘කවුරුත් එන්නේ නෑ’ නාට්‍යය ‘ගොඩෝ එනකං’ නාට්‍යය මෙන්ම චරිත දෙකක් වටා ගෙතුනකි. එම චරිත දෙක විමල් කුමාර ද කොස්තා හා මර්සි එදිරිසිංහ විසින් රඟදක්වන ලදී.
‘කවුරුත් එන්නේ නෑ’ නාට්‍යයට ඉහළම විචාරක ප්‍රතිචාරයක් ලැබිණි. මහාචාර්ය තිස්ස කාරියවසම්, ගාමිණී හත්තොටුවේගම, මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, චාල්ස් අබේසේකර, පියල් සෝමරත්න, සිරිලාල් කොඩිකාර යන අය මේ නාට්‍යය පිළිබඳ ප්‍රශංසනීය විචාර ලියා පළ කර ඇත. ප්‍රවීණ නාට්‍යවේදී සුගතපාල ද සිල්වා මේ නාට්‍යය නරඹා පතිරාජ වෙත ලියා එවූ ලියුමක මෙසේ සඳහන් වෙයි.
‘වෙනත් මිනිසකුගේ ජීවිතය මිට මොළවා ගන්න ඕනෑම කලාකාරයකුට අපූරු වාසනා ශක්තියක් තියෙන්න ඕනෑ. ඔබේ අතැඟිලිවලට අහු වුණේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති, අත්දැකීමෙන් මහලු වුණු රචකයකුට උරුම වූ විෂයයක්. ‘කවුරුත් එන්නේ නෑ’ නාට්‍යයෙන් අපි කම්පා වුණා. සසල වුණා. නාට්‍යකරුවකු හැටියට ඔබ කළ යුත්තේ ඒකයි’.
පතිරාජ ඉන් පසු සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වූයේය. ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව’ චිත්‍රපටයේ නිෂ්පාදන පසුබිමේ සිටියේ ඔහුය. ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ කියා ඇත.
‘එච්. එස්. ප්‍රේමේන්ද්‍රටයි මටයි චිත්‍රපටයක් නිපදවන්න හිතුණා. අපි තීරණය කළා, මෙහි අධ්‍යක්ෂණය සුගතපාල ද සිල්වාට භාර කරන්න. ඒ් වන විට සුගත් ‘සමනළයෝ’ නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ගත් උත්සාහය ව්‍යාර්ථ වෙලා තිබුණා. මායි, ප්‍රේමේන්ද්‍රයි සුගත් හමුවෙන්න ලෑස්ති වෙනකොටම අපේ කාමරේ හිටපු ඩබ්ලිව්. ජයසිරි කිව්වා ධර්මසේන පතිරාජ කියලා දක්ෂ කොල්ලෙක් ඉන්නවා. අපි එයාට අවස්ථාවක් දීලා බලමුද කියලා. මේ අනුවයි අපි පතිත් එක්ක ‘අහස් ගව්ව‘ පටන් ගත්තේ’.(සරසවිය 2005 ජූනි 16).
පසු කලෙක පතිරාජ එල්. එස්. දයානන්ද ද චිත්‍රපට අධ්‍යක්ෂණයට යොමු වූයේය. ’හත්දින්නත් තරු’ (1973) ඔහු නිර්මාණය කළ මුල්ම චිත්‍රපටය විය. ඉන් පසු ඔහු පිළිවෙළින් ’ගංගා’ (1976), ‘සෙලිනාගේ වලව්ව‘ (1978), ‘ජෝඩු වළලු’ (1980), ‘සිංහබාහු’ (1980),‘තුත්තිරි මල්’ (1983), ‘චණ්ඩි පැටවු’ (1983), ‘කිවුලේ ගෙදර මොහොට්ටාල’ (1987) යන චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. එහෙත් අවාසනාවකට මෙන් ඒ එකම චිත්‍රපටයක්වත් සිංහල සිනමාවේ පවතින කෘති බවට පත් නොවූයේය. ඊට හේතුව ඔහුගේ පහත දැක්වෙන ප්‍රකාශනයෙන් අපට වටහා ගත හැකිය.
‘මේ චිත්‍රපට කිසිවක් මගේ හිතේ හැටියට නිර්මාණය කර ගන්න බැරි වුණා. ඊට හේතු වුණේ නිෂ්පාදකවරුන්ගෙන් එල්ල වූ බලපෑම්. ඔවුන්ගෙන් මා මුහුණ පෑ පීඩා, දුෂ්කරතා හේතු කොට අවසානයේ මා බලාපොරොත්තු වූ ප්‍රතිඵල මේ නිර්මාණවලින් ලබා ගන්න බැරි වුණා’ (සරසවිය ඉහත සඳහන් ලිපිය).
පතිරාජ චිත්‍රපට කීපයක (‘අහස් ගව්ව’, ‘සිකුරු දසාව’, ‘විසි හතර පැය’, ‘කිවුලේගෙදර මොහොට්ටාල’ වැනි) රඟපෑවත් ඒ රඟපෑම් ද සුවිශේෂත්වයක් නොගනී. ඔහුගේ තරමකවත් සාර්ථක රංගනයක් දක්නා ලැබුණේ ‘සිකුරු දසාව’ චිත්‍රපටයේ පමණි.
පතිරාජ ටෙලි නාට්‍ය කීපයක් ද අධ්‍යක්ෂණය කර ඇත. ‘නුඹ නාඩන් සෙනෙහෙලතා’ ඉන් එක් නාට්‍යයකි.
අන්ධභාවයත් රෝගී තත්ත්වයක් නිසා පතිරාජ අවසාන කාලයේ අසරණ ජීවිතයක් ගත කළේය. එසේ වුවත් ඔහු කලාව අතහැරියේ නැත. අවසාන කාලයේදී ඔහු ‘තම්මැන්නා තීරේ’ නමින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළේය.
2006 දී ඔහු වෙනුවෙන් අභිනන්දන උළෙලක් පවත්වා ඇත.
පතිරාජ චිත්‍රපට අධ්‍යක්ෂණය කරන අතරවාරයේත් අතරින් පතර වේදිකා නාට්‍ය නිෂ්පාදනය කර අඇත. (උදා: ‘ආයිත් ඉතින් හෙට’ (1976) ‘පැමිණිය නොහැක’ (1981) ‘හූනෝ’ (1980) ‘පිහාටු කඩා හැලේ’ (1990) ‘කැණිමඬලේ විනිසුරුවෝ’ (1990) ‘පේරැස් මුද්ද’ (1991) ‘මුතුකැටයේ පලුද්දක්’ (1996) වැනි) එහෙත් මේ එකම නාට්‍යයක්වත් ඔහුගේ ‘කවුරුවත් එන්නේ නෑ’ නාට්‍යය ඉක්ම වූවා යැයි මම නොසිතමි. ප්‍රතිභාව තිබුණත් විවේක බුද්ධිය හා ව්‍යුත්පත් ඥානය වර්ධනය කර නොගැනීම නිසාදෝ ඔහු අතින් ඉන් පසුව එකම උසස් කලා කෘතියක්වත් බිහි වුණේ නැත. එහෙයින් ඒ ප්‍රතිභාව අපතේ ගිය එකක් ලෙස හැඳින්වීම වැරදිද?
No comments:
Post a Comment