2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday, 8 February 2010

ජීවිත වේදිකාවෙන් සමුගත් එච්. ඒ. සහ පතිරාජ


Author:කාංචනා අමිලානි
Source: Dinamina

Date: 06/02/2010


හමා ආයේ රළු සුළඟකි. සුළඟ ගෙනා පණිවුඩය හිත දෙකඩ කරවිය. වේදිකාවේ මහත් වූ කලා පෞර්ෂවයන් ද්විත්වයක් හදිසියේ ම ජීවිත වේදිකාව හැර ගොසිනි. හදිසියේ ආවා සේ මැ මහා ඉක්මනින් දිවියෙන් සමුගත යුතු යැයි නිශ්චය කරගත් හබරකඩගේ ඇලෝසියස් පෙරේරාත්, පතිරාජ එල්. එස්. දයානන්දයෝත් රසවතුන් නෙතඟ කඳුළක් තබා සමුගෙන ය.
මොවුන් දෙදෙනාම සිනමාවට, වේදිකා නාට්‍යයට, ටෙලිනාට්‍යයට ඉටු කළ මෙහෙය වචනයෙන් ලියා නිම කළ නොහී තරම් සුවිසල් ය. එතරම්ම අගනේ ය.

හබරකඩගේ ඇලෝසියස් පෙරේරා හෙවත් එච්. ඒ. පෙරේරාට උවමනාව තිබුණේ ගායකයෙකු වීමට ය. එතරම්ම සංගීත පිස්සුවකින් සිටි එච්. ඒ. පෙරේරාට සිදු වූයේ වෙනත් අබග්ගයකි. කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලා කේන්ද්‍රයේ තිබූ පාඨමාලාවකට අයදුම්පත් යොමු කළ හෙතෙම ගාමිණී හත්තෙට්ටුවගමයන් ගේ හමුවීමෙන් නාට්‍ය කලාවට තල්ලු විය. එච්. ඒ. ගේ වචනයෙන් ම කිවහොත්,

”මං රංගනයට පිවිසුණේ හත්තෙට්ටුවගම සර්ට තිබුණු බය නිසා”

ඉක්බිතිව හත්තෙට්ටුවගමයන්ගේ වීදි නාට්‍ය කණ්ඩායමට එකතු වූ එච්. ඒ. ගේ පළමු වේදිකා නාට්‍ය වූයේ “වෙඩික්කාරයෝ”යි. එය සෝමරත්න දිසානායකයන්ගේ නිර්මාණයකි. සෙක්කුව, ගැලීලියෝ, සුබ සහ යස, වරෙන්තු, හිට්ලර්, ස්පාටකස්, ස්ත්‍රී, පුස්ලෝඩං, තවලම, සුදු සහ කළු, විනිශ්චය, භාණ්ඩාගාරය හිස්, ඇමති දියණිය, මං මුඩ්ලියර්, ජුලියස් සීසර්, රයිනෝසිරස් ආදී නාට්‍ය බොහොමයකින් එච්. ඒ. පෙරේරා ස්වකීය රංග ප්‍රතිභාව ප්‍රකට කළේය.

විශේෂයෙන් ම හිට්ලර්, වරෙන්තු, රයිනෝසිරස් සහ සුබ සහ යස මේ අතර විශේෂිත ය. වේදිකාව තමන් වෙතට ම නතු කර ගැනීමටත්, අන්‍යයන්ගේ අවධානය තමාට දැඩිව යොමු කරවා ගැනීමටත් උක්ත නාට්‍ය පතිරාජ බෙහෙවින් ඉවහල් වූ බව කිවමනාය.

පස්දෙනෙකුගෙන් යුක්ත පවුලක දෙවැනියා වූ එච්. ඒ. මූලික අධ්‍යාපනය ලැබූයේ මෝදර ශාන්ත ජේම්ස් මිශ්‍ර පාසලෙනි. එම පාසලේ ම දෙවැනි ශ්‍රේණිය තෙක් ඉගෙනුම ලැබූ එච්. ඒ. තුන්වැනි ශ්‍රේණියේ සිට මෝදර ඩෙලාසාල් විදුහලට ඇතුළත් විය. සාමාන්‍ය පෙළ දක්වා ඩෙලාසාල් විදුහලේ අධ්‍යාපනය ලත් හෙතෙම උසස් පෙළ හැදෑරීමට කොටහේනේ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් විය.

”මං කවදාවත් නළුවෙක් වෙන්න සිහින මැව්ව කෙනෙක් නෙවෙයි. මේ නළුකම මට අහම්බෙන් කඩාවැටිච්ච දෙයක්” කී එච්. ඒ. ස්වකීය නළුකම ඉතාමත් ඉහළ තලයකට ගෙන යාමට සමත් විය. වේදිකා නාට්‍යයෙන් නොනැවතී ටෙලිනාට්‍ය වෙතට ද හෙතෙම සමීප විය.

පරාක්‍රම නිරිඇල්ලයන්ගේ “ජනේලයෙන් ආ අමුත්තා” ඒකාංගික ටෙලිනාට්‍යයෙන් තම ටෙලිනාට්‍ය ගමන ඇරඹූ හේ ඉක්බිතිව යශෝරාවය, කඩඉම, දූ දරුවෝ, සෙනෙහෙවන්තයෝ, සූරිය දරුවෝ ආදී අතිශය ප්‍රකට ටෙලිනාට්‍ය සමූහයක රඟපාමින් එකී ටෙලිනාට්‍යයන්ට බොහෝ වු ජනපි‍්‍රයත්වයක් හිමිකර දෙන ලදී.

විශේෂයෙන් ම දූ දරුවෝ හි ඩයස් මහත්තයා යනු එක්තරා කාලයක සමාජයට කිඳා බැසි, අතිශය අපූර්ව චරිතයකි. එච්. ඒ. ගේ රඟපෑම අනුව තවත් ඩයස් මහත්තයලා බොහොමයක් සැබෑ ජීවිතයේදීත් බිහිවෙන්නට තරම් ප්‍රබල සමාජ බලපෑමක් එකී චරිතය මගින් ඇතිකළේය. එච්. ඒ. ට අනුව,

ඩයස් මහත්තයාගේ චරිතය හරියට වතුර උඩ තියෙන අයිස් කුට්ටියක් වගෙයි. අපි නොදකින ගැඹුරක් ඒකෙ තියෙනවා.”

එච්. ඒ. ගේ රංග ප්‍රතිභාව ටෙලිනාට්‍යයෙන් නතර වූයේ නැත. සිනමාවට ද ඔහුගේ රංගනයෙන් ලැබූයේ සුවිසල් ආලෝකයකි. හස්ති වියරුව, විමුක්ති, සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා, කෙළිමඩල, මී හරකා, පාලම යට, දැහැන, කොටි වලිගය, සිරිමැදුර ආදී සිනමාපට තුළට මහත් වූ ආලෝකයක් කාන්දු කළ එච්. ඒ. වඩාත් කතාබහට ලක්වීමට තරම් දක්‍ෂ විය. විශේෂයෙන් ම කෙළිමඩල සිනමාපටයේ රංගනය අති විශේෂය.

සම්මාන බොහොමයක් ලැබීමට තරම් උත්කෘෂ්ට රංගනයකට හිමිකම් කිවූ මුත් ඔහුට ලැබුණේ අතලොස්සක් වූ සම්මානයි. 1981 යෞවන සම්මාන නාට්‍ය උළෙලේ නුඹ විතරක් තල එළලුයි නාට්‍යයේ හොඳම සංගීත අධ්‍යක්‍ෂණයට හිමි සම්මානයත්, 1990 වර්ෂයේ සාගර ජලය මදි හැඬුවා සිනමා පටය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සරසවි සම්මානය ලබාගැනීමට හැකි විය. 1996 වර්ෂයේ “වරෙන්තු” වේදිකා නාට්‍ය වෙනුවෙන් හොඳම නළුවාට හිමි රාජ්‍ය නාට්‍ය සම්මානය දිනා ගනු ලැබුයේ ද එච්. ඒ. ය. එහෙදු මේ සම්මානයන්ගෙන් එච්. ඒ. පෙරේරා ගේ රංගනය ලඝු කළ නොහේ.

විටෙක වේදිකාවම තම අනසකට යට කර ගනිමින් ගාම්භීර වූත්, ගැඹුරු වූත් ඒ දයාබර කටහඬ මතක පමණක් ඉතිරි කර සමුගෙන ගොසිනි. මිය යන විට 58 වැනි වියේ පසු වූ එච්. ඒ. පෙරේරා ශේෂ කළ මතකය සුරැකීම පමණක් අපට ඉතිරිව තිබේ.

පතිරාජ එල්. එස්. දයානන්දයෝ ප්‍රකට සිනමාකරුවෙකු ලෙසිනි. එහෙදු හෙතෙම කලා ක්‍ෂේත්‍රයට පිවිසියේ නර්තන ශිල්පියෙකු වශයෙනි.

හෙතෙම උපන්නේ්1945 මැයි 17 වැනි දින කැලණිය වරාගොඩ දී ය. ගුරුකුල මහා විද්‍යාලයෙන් සිප්සතර හැදෑරූ පතිරාජ එල්. එස්. දයානන්දයෝ පාසල් වියේ සිටම කලාවට දැඩි ඇල්මක් දැක්වීය.

පතිරාජයන්ගේ රංගන කෞෂල්‍ය පිළිබඳ සොයා යන විට 1956 දී “යැංකි හටන” නම් වේදිකා නාට්‍ය විශේෂිතය. එහි ඔහුගේ මුල්ම රංගනයයි. එවිටත් පාසල් ශිෂ්‍යයෙකු වූ පතිරාජයෝ ඉනික්බිතිව 1960 වර්ෂයේ දී එස්. මලල් අධ්‍යක්‍ෂණය කළ “ගොළු බිරිඳ” නාට්‍යයෙන් වැඩි අවධානයක් දිනා ගනු ලැබීය.ටෙලිනාට්‍යකරුවෙකු ලෙස හෙතෙම පළකළ දක්‍ෂතාව ද විශේෂිතය. පිහාටු කඩා හැලේ, මුතු කැටයේ පලුද්දක්, මේ අතර සඳහන් කළ යුතුය. හෙතෙම ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයට අවතීර්ණ වූයේ තම දක්‍ෂතාවය එළිදැක්වීමටය. නුඹ නාඬන් සෙනෙහෙලතා, බෝගොඩ අන්දරය, සඳළුතලයේ ගීතිකය, තම්මැන්නා තීරේ ඉන් කිහිපයකි.

නමුත් කලා ක්‍ෂේත්‍රයේ පතිරාජ එස්. දයානන්දයෝ වඩාත් ප්‍රකට සිනමාකරුවෙකු ලෙසිනි. ළමා චිත්‍රපට හිඟ කාලයක පතිරාජයෝ ස්වකීය ධනය වියදම් කොට “එන්න මගේ පි‍්‍රය මිතුරෝ” නමින් ළමා චිත්‍රපටයක් තැනීය. එහෙදු එහි සාර්ථකත්වයක් ලබාගැනීමට පතිරාජයෝ සමත් වූයේ නැත. හෙතෙම ඒ පිළිබඳ මහත් කලකිරීමෙන් පසු විය.

එකී කලකිරීම අභිබවා නිර්මාණශීලීත්වය මතුවීම හේතුවෙන් ප්‍රේක්‍ෂකයාට පතිරාජයන්ගේ සිනමා නිර්මාණ රසවිඳීමට හැකි විය. “හත්දින්නත් තරු” සිනමාපටය අධ්‍යක්‍ෂණය කිරීමෙන් පතිරාජයෝ වඩාත් ලොකු ප්‍රේක්‍ෂක අවධානයක් දිනාගැනීමට සමත් විය. “හත්දින්නත් තරු” උදෙසා හෙතෙම ඕ. සී. අයි. සී. සම්මානය ලැබීමට තරම් වාසනාවන්තයෙකු විය.

ඔහු නිර්මාණය කළ සිනමාපට අතර සෙලිනාගේ වලව්ව, ජෝඩු වළලු, සිංහබාහු, තුත්තිරිමල්, චණ්ඩි පැටව්, කිවුලේගෙදර මොහොට්ටාල, ගංඟා විශේෂිතය. චිත්‍රපට 19 ක් නිර්මාණය කළ පතිරාජයෝ වේදිකා නාට්‍ය 24 ක් නිර්මාණය කළේය.

මෙපමණ චිත්‍රපට සංඛ්‍යාවක් නිර්මාණය කළ හේ තම බලාපොරොත්තු සහ සිහින කැටිකොට පෙරදාක කියූවේ මෙවන් කතාවකි. ”තවම මට හොඳ චිත්‍රපටයක් හදන්න බැරි වුණා”

පතිරාජයෝ කියූ ආකාරයට ඔහුට රිසි සේ, සෑහීමකට පත් විය හැකි සේ හොඳම හොඳ තවත් චිත්‍රපටයක් තැනීමට කාලය ඔහුට ඉඩ දුන්නේ නැත. මරණය පැමිණ ඔහුව කැඳවාගෙන ගියේ 65 වැනි වියේදී ය. කාලයක් තිස්සේ රෝගාතුරව සිටි පතිරාජයෝ සේ මැ 58 වැනි වියේදී අප හැර ගිය එච්. ඒ. ත් ඉතිරි කර ගිය මතක සියල්ල සදාකාලික කර ගත හැකි නම් කෙතරම් අගේද?

No comments:

Post a Comment