Source: Sarasaviya
Date: 01/10/2009
ශ්‍රී ලාංකේය වේදිකාවට ‘ඒකා අධිපති’, ‘මකරාක්ෂයා’, ‘ධවල භීෂණ’, ‘යක්ෂාගමනය’, ‘ට්‍රෝජන් කාන්තාවෝ’ යන අති දැවැන්ත වූත් අතිශය සාර්ථක වූත් නාට්‍යයන් එක් කළ, ප්‍රවීණ සිනමාවේදියකු හා නාට්‍යවේදියකු වන ධර්මසිරි බණ්ඩාරනායකයන් යළිත් එකී නාට්‍යයන් හි නව නිෂ්පාදනයන් සමඟ ඔහුගේ නවතම වේදිකා නාට්‍ය වන ‘මායා’ වේදිකාවට ගෙන ඒමට සූදානම් වෙයි. මෙවර වේදිකාවේ කතිකාව ඒ නිමිත්තෙනි. |
* කලකට පසු නැවතත් ඔබ වේදිකාව දෙසට හැරෙනවා?
ඔව්. වේදිකා නාට්‍ය හැමදාමත් මට අලුත් ජීවිතයක් හිමි කර දෙනවා. නිර්මාණකරුවෙක් හැටියට මම වඩාත්ම සතුටට පත් වෙන්නෙත් වේදිකා නාට්‍ය කිරීමෙනුයි. මගේ නාට්‍යයට සම්බන්ධ ශිල්පීන්ගේ දක්ෂතා දැකීම, නාට්‍යාගාරයට ඇදී එන ප්‍රේක්ෂකයන්ගේ ඇසුර හා ප්‍රතිචාර මගේ ජීවිතය තුළ මට සතුට ගෙන දෙන දේවල්.
රාජ්‍ය නාට්‍ය උළෙල හෝ නාට්‍ය තරග ඉලක්ක කරගෙන නාට්‍යය කරන පුරුද්දක් මට නෑ. ඒත් මම අවසන් වරට කරපු ට්‍රෝජන් කාන්තාවෝ දක්වාම මගේ නාට්‍ය, විනිශ්චය මණ්ඩලයේ ඇගැයීමට ලක් වෙලා තියෙනවා.
මම එක්තරා කාලෙක වේදිකාවෙන් චිත්‍රපටියට ගිය නිසා වේදිකාව මඟ ඇරුණා. ඒ තත්ත්වය දිගටම තිබුණොත් මම නාට්‍යයත් එක්ක හිටියේ නෑ වගේ වෙනවා.
ඒ වගේම නිතර විදේශ සංචාරයන්ට එකතු වෙන්න ලැබීමත්, එතෙන්දි ජර්මනිය, එංගලන්තය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය වගේ රටවල ඒ රටේ වෘත්තීමය නාට්‍යකරුවන්, නාට්‍ය කලාවේ ඉහළ තාක්ෂණය වගේ දේවල් ඇතුව කළ නිර්මාණ සමඟ අඩු පහසුකම්, අඩු තාක්ෂණය යටතේ නොයකුත් දුෂ්කරතා මධ්‍යයේ කළ අපේ නිර්මාණ සසඳා බලද්දී මට තේරුණා අපේ නාට්‍යයේ අර කියපු නාට්‍යවලට වඩා ප්‍රගතියක් තියෙන වග. ඒ සියල්ලත් එක්ක අපේ අත්දැකීම් නැවත බෙදා හදා ගන්න ඕනෑය කියලා කල්පනා කළා.
* ඔබේ පෙරගමන්කරුවන් ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?
හැත්තෑව දශකයේ අපි වේදිකාවට ආවේ අපට පෙර පරම්පරාව ප්‍රභාමත්ව මේ ක්ෂේත්‍රයේ වැජඹෙන කාලෙක. ඒ වගේම අපි ඒ ප්‍රවීණයන්ව වගේම ඔවුන්ගේ නිර්මාණත් ඉතාමත් කිට්ටුවෙන් ඇසුරු කළා.
හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා, ධම්ම ජාගොඩ වගේ ප්‍රවීණයන් අපව හැසිරෙව්වේ විශාල කැපවීමකින්. විශාල දැනුම් සම්භාරයක් ඇතුව, අපිව ඔවුන් මෙහෙයෙව්වේ හුදු නළුවෙක් නිළියක් හැටියට නෙවෙයි. මේ නිසාම මොවුන්ගේ ඇසුර ඇත්තෙන්ම අපට භාග්‍යයක් වුණා.
අපි වේදිකාවට නළුවන් හැටියට ගොඩ වුණාට ඒ වේදිකාවේදී අපි සම්බන්ධ වුණු නිර්මාණ අපේ ජීවිත වලට යම් සාරයක්, ආලෝකයක් එකතු කළා. නිර්මාණකරුවෙක් හැටියට වංචනිකයන් නොවෙන්නත්, පෙරහැරවලට එක් වී වන්දි බට්ටකම් නොකර ඉන්නත් අවශ්‍ය ශක්තිය, ආත්ම විශ්වාසය, දැක්ම අපට ලබා දුන්නේ අර ප්‍රවීණයන්ගේ මඟ පෙන්වීමෙන්, මෙහෙයවීමෙන් අපි සම්බන්ධ වුණු නිර්මාණයි.
* ඔබේ මුල්ම වේදිකා නාට්‍ය නිර්මාණ අත්දැකීම ගැන මතක් කළොත්?
මම ඒකා අධිපති රචනා කළේ 1975 දී. නිෂ්පාදනය කළේ 76 දී. උපාලි අත්තනායක, යූ. ආරිය විමල් වගේ ප්‍රවීණයන් එක්ක එකතු වෙලා මුහුරත් උළෙල කරපු ඒ නාට්‍ය වේදිකාගත කරන කොට හිටියේ සුනේත්‍රා සරච්චන්ද්‍ර ඇතුළු අලුත්ම ඒ වගේම තරුණ පිරිසක්. එතකොට මගේ වයස අවුරුදු 26 යි. ඒත් අපි ඒ නාට්‍ය සාර්ථකව කළා.
71 කැරැල්ලෙන් පස්සේ එදා රටේ තිබුණු තත්ත්වය ගැන අපේ කල්පනාලෝකය මෙහෙය වුණු තත්ත්වයන් ගැන ප්‍රකාශනයක් හැටියටයි එය එළියට එන්නේ.
එදා ඒ වයසෙදීත් අපි මේ මහ පොළොවේ දේවල් සිද්ධ වෙන හැටි ඝාතනය, දූෂණය, නාස්තිය වගේ දේවල් හසු කර ගන්න සමත් වෙලා තිබුණා. ඒ අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා, හොඳම සංගීතය (කේමදාසයන්) ඇතුළු වැදගත් සම්මාන කිහිපයක්ම ලැබුණා.
නමුත් මේ නාට්‍යයට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරය අපි හීනෙන්වත් අපේක්ෂා නොකළ එකක්. අපි බොහෝම සීරියස් දේශපාලන නාට්‍යයක් හැටියට කළ ඒ නාට්‍ය ප්‍රේක්ෂකයන් භාර ගත්තේ හොඳ ප්‍රහසනයක් හැටියටයි. ඒ ප්‍රතිචාරයෙන් ඇත්තෙන්ම අපි තිගැස්සුණා. අවසානයේ දර්ශනවාර 1400 කට වඩා රට වටා ගෙන යන්න අපට පුළුවන්කම ලැබුණා.
* මෙවරත් ඔබ ‘ඒකා අධිපති’ ගෙන් පටන් ගන්න හිතුවේ ඇයි?
එදා ඒ නාට්‍ය වටා රසිකයන් හැටියට එකතු වුණු බොහෝ දෙනා අද මගේ වයසේ ඉන්නේ. ඒකා අධිපති නාට්‍යයට දැන් අවුරුදු 33 ක් වෙනවා. නැවත එය වේදිකාවට ගේන්නේ තවත් දර්ශන වාර දාහක් හමාරක් පෙන්න ගැනීමේ අරමුණින් නෙවෙයි.
එකක් තමයි ඒ නාට්‍යයට ලැබුණු පේ‍්‍රක්ෂක විචාරක ප්‍රතිචාරය. සමහරු එය වාමාංශික දේශපාලන නැඹුරුවක් සහිත සුගතපාලගේ දුන්න දුණුගමුවේ නාට්‍ය ධාරාව තවදුරටත් ඉදිරියට ගෙන යාමක්, මානවවාදී එහෙමත් නැත්නම් ජනතාවාදී නාට්‍ය කලාවක් හැටියට හැඳින්නුවා.
ගුණදාස අමරස්කර වගේ කෙනෙක් ඒ නාට්‍ය හැඳීන්නුවේ පපඩම් නාට්‍යයක් කියලයි මහාචාර්ය සරච්චන්ද්‍රයන් කිව්වේ මෙය සැබැවින්ම ස්වතන්ත්‍ර නිර්මාණයක් නම් එය විශිෂ්ට නාට්‍යයක්ය කියලයි. ආචාර්ය සරත් අමුණුගමටත් තිබුණේ මෙය සාර්ථක සාධනීය නාට්‍යයක්ය කියන අදහසයි.
මෙන්න මේ වගේ ප්‍රතිචාර වලට ලක් වුණු නාට්‍යයක් එදා මම නිර්මාණය කළේ ඇයිද කියන එක ගැන අද ඉන්න පරම්පරාවට හිතන්න අවස්ථාවක් ලැබෙනවා නැවත ඒ නාට්‍ය වේදිකාවට ගෙන ඒමෙන්.
එදා ඒකාධිපති වේදිකාවට ආවේ මැතිනිය ගේ පාලනය එළියට විසි වෙමින් තිබුණු පසුබිමකයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක විජේවීර වගේම එදා ශ්‍රීලනිපයේ ප්‍රමුඛයොත් මේ නාට්‍ය බලන්න ආවා. ඒ නාට්‍යයේ එක වචනයක්වත් වෙනස් නොකරයි මෙවර මා නැවතත් එය වේදිකාවට ගෙන එන්නේ.
* ඔබේ පැරණි නාට්‍ය නැවත වේදිකා ගත වෙන්නේ මොන විදිහටද?
මම කල්පනා කළා මා අතින් නිර්මාණය වුණු සියලුම නාට්‍ය ඉදිරි කාලයේදී එකින් එක නැවත නිෂ්පාදනය කරන්න. ඒකට එකතු වෙන මගේ අලුත්ම නාට්‍ය ‘මායා’ එක්ක ඔක්කොම නාට්‍ය හයක්.
ඒ වගේම විභාගවලට නියමිත නාට්‍ය වලට පිටින් තියෙන ප්‍රෙක්ෂකාගාරය කිරා මැන බැලීමේ ඕනෑකමකුත් මට තියෙනවා. ඒ වගේම වේදිකා නාට්‍ය පිළිබඳ විවිධ අදහස් මති මතාන්තර දරන අය හැටියට අපේ ඒ මතවාද සනාථ කරන්න නම් ඒවා නිර්මාණ හැටියට වේදිකාවට ගෙන ආ යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ.
* එදා සහ අද වේදිකාව ගැන සැසඳීමක් කළොත්?
එදා මම මරසාද් නාට්‍ය බලලා එළියට එන්නේ මගේ ධවල භීෂණ නාට්‍යයට දායක කර ගන්න පුළුවන් නළු නිළියන් ගැනත් අදහසක් ඇතුව. ජැක්සන් ඇන්තනි, ඩබ්ලිව්. ජයසිරි, ධම්ම ජාගොඩ, කෞෂල්‍යා වගේ අය මගේ නිර්මාණවල හවුල්කරුවන් වෙන්නේ ඒ විදිහට.
ඒත් අද ඉන්න තරුණ පිරිස ඉතාමත් දුෂ්කර තත්ත්වයන් යටතේ නාට්‍ය කරනවා. නමුත් ඒ අලුත් නාට්‍ය බලලා එළියට එද්දී එදා අපට අර නාට්‍යවලින් ලැබුණු උද්දීපනය අද ලැබෙන්නේ නෑ.
ඒ නිසාත් අපේ මතු පුරපුරට අර්ථවත් නිර්මාණ කිහිපයක් හෝ නැවත දැක බලා ගන්න, රස විඳින්න අවස්ථාවක් ලබා දිය යුතුය කියලයි මට හිතෙන්නේ.
* අද නාට්‍ය ශාලා රසවතුන්ගෙන් හිස් වෙලාය කියනවා. මේකට ඔබ දකින හේතු?
ඒකා අධිපති, මකරාක්ෂයා ඉඳලා ට්‍රෝජන් කාන්තාවෝ දක්වාම විවිධ තලවල ප්‍රේක්ෂකයන්ට මගේ නිර්මාණවලින් මම අමතලා තියෙනවා. ඒ ප්‍රේක්ෂකාගාරය එදා තරම්ම නැතත් එදා තිබුණු විශිෂ්ට නාට්‍ය බලන ප්‍රෙක්ෂකාගාරයක් අදත් තියෙන වග මට දැනෙනවා.
ප්‍රේක්ෂකයන් නාට්‍යාගාරය හැර ගියා නම් ඒක එහෙම වුණේ ඔවුන්ට නාට්‍ය එපා වෙලා නෙවෙයි. එදා මගේ නිර්මාණවලට ගුවන් හමුදාවේ, යුද හමුදාවේ සේවය කළ අය වගේම රජයේ ලිපිකරුවෙකු වුණු මම ඇතුළු මා වගේ අයත් සම්බන්ධ වුණා.
රැකියාවේ හෙම්බත් බවෙන් මිදෙන්න තමයි මම සාහිත්‍ය කලා රස වින්දනයටත්, එතනින් නිර්මාණකරණයටත් යොමු වෙන්නේ. එදා නාට්‍යාගාරයේ වැඩියෙන්ම හිටියේ රජයේ සේවකයෝ. ඒ අය විවිධ තරාතිරම්වල රසිකයන්.
ඒ රසික පිරිස අඩු වෙන්න එහෙමත් නැත්නම් ප්‍රේක්ෂකාගාරය හිස් වෙන්න හේතු වුණේ අපේ ජන ජීවිතවලට සමාජයට සිද්ධ වුණු විපත්. විපත් කිව්වේ සුනාමිය, ගංවතුර වගේ ස්වභාවික විපත් නෙවෙයි. සමාජයට සිද්ධ වුණු දේශපාලන විපත්.
අසූවේ වැඩ වර්ජනයෙන් රජයේ සේවකයන් විශාල පිරිසක් මහ පාරට වැටුණා. ඒක මේ සමාජ හිස මතට වැදුණු දැවැන්ත මිටි පහරක්. ඊළඟට ඇති වුණු කරුළි කෝලාහල නිසා පවුල් පිටින් අනාථ වුණා.
ඒ වගේම අසූ තුනේ දෙමළ ජනයාට විරුද්ධව කළ විපතෙන් සිනමා කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක්ම කඩා වැටුණා. අවසානයේ මේ යුද ජයග්‍රහණය දක්වාම අපේ මිනිස් සමාජය අති විශාල විපත් ගණනාවකටම මුහුණ පෑවා. මෙන්න මේ සමාජ විපත අපේ ප්‍රේක්ෂකාගාරය හිස් වෙන්න සෘජුවම බලපෑවාය කියන එකයි මගේ විශ්වාසය.
* ඔබ වැඩ කරන්නේ තෝරා ගත් ශිල්පීන් පිිරිසක් එක්ක විතරයි, මෙහෙම වෙන්න විශේෂ හේතුවක් තියෙනවාද?
මෙතෙක් මාත් එක්ක, මගේ නිර්මාණවලට දායක වුණු ශිල්පීන් හා ශිල්පිනියන්ට මගේ විශේෂ කැමැත්තක්, ඇල්මක් තියෙනවා. ඒකට හේතුව ඒ අය මාවත්, මම වැඩ කරන විදිහත් තේරුම් ගත්තු පිරිසක්. ඒ අයගේ තියෙන කැපවීම, උනන්දුව මට ඉතා වැදගත්.
ඒ අය හුදු නළුවෙක්, නිළියක් කියන තැනින් එහාට ගිය මගේ හොඳ මිත්‍රයො පිරිසක්. ඒ වගේම නිර්මාණකරුවෙක් හැටියට ඒ අය තුළ මා කෙරෙහි, මගේ නිර්මාණ කෙරෙහි තියෙන විශ්වාසයත් මට වැදගත්.
එහෙම තෝර ගත් අය අතරත් මතභේද නැතුව නෙවෙයි. නමුත් අපට පුළුවන්කම තියෙනවා නාට්‍ය ගැන වගේම සෙසු කාරණා ගැනත් විවෘතව කතා කරන්න, වාද විවාද කරන්න. මගේ නිර්මාණවලට යළි යළිත් එම පිරිසම දායක වෙන්න මේවා තමයි හේතු.
ට්‍රෝජන් කාන්තාවෝ කරද්දී මම අලුත් පිරිසක් එකතු කර ගන්න උත්සාහ ගත්තා. නමුත් එතෙන්දි මම අත්දැක්කා අලුත් පරම්පරාවේ අයට වඩා අනෝජා, මීනා, යශෝධා වගේ අය තමන්ට කොතෙකුත් වැඩ රාජකාරී තිබියදීත් මගේ නාට්‍යයට දෙවෙනි තැන නොදී ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්න විදිහත්, අලුත් අයට ඒ කැපවීම හා වගකීම නොතිබුණ බවත්.
නමුත් මගේ මුල්කාලීන නිර්මාණවලට මම දායක කර ගත්තු ඩබ්ලිව්. ජයසිරි, ජැක්සන්, දයා අල්විස්, ජනක කුඹුකගේ මේ හැමෝම ඒ නාට්‍ය තමන්ගේ නාට්‍යයක් හැටියට සලකමිනුයි වැඩ කළේ.
මොකද ඔවුන් අත්දැකීමෙන් දන්නවා හොඳ නිර්මාණයක් වෙනුවෙන් කරන කැපවීමෙන් ඒ නිර්මාණයට වගේම පෙරලා තමන්ගේ ජීවිතයටත් එයින් විශාල ආලෝකයක් ලැබෙන බව.
* රංගන ශිල්පියෙක් යම් නිර්මාණයකට දායක වීම කියන කාරණය ඔබ දකින්නේ මොන විදිහටද?
තෝර ගන්න ශිල්පීන්ව මගේ නිර්මාණයට අවශ්‍ය විදිහට සකස් කර ගැනීම සඳහා දැවැන්ත මානසික හා මානුෂීය මෙහෙයුමක් කරනවා. තමන්ට ලැබුණු චරිතයට නිසි දැනුමක් තමන් සතුව තියෙනවද කියන එක එතෙන්ට ගොඩ වුණාමයි තමන්ට තේ්රෙන්නේ. පෞද්ගලිකව මම වේදිකාවේ රඟපාන නළුවෙක් වුණාට මම චිත්‍රපටිවලට සුදුසු නළුවෙක් නෙවෙයි.
නමුත් මා තුළ තියෙන රංගන හැකියාව දැනුම උකහා ගත හැකි දක්ෂ අධ්‍යක්ෂවරයෙක් මට අඬ ගැහුවොත් මම ඒ ඉල්ලීමට එකඟ වෙන්න ඉඩ තියෙනවා. ඒත් පළඟැටියෝ වගේ නිර්මාණවලට දායක වෙලා ප්‍රේක්ෂක මතකයේ රැඳිලා ඉඳීම වැදගත්, තමන්ට නොගැළපෙන දේට ආර්ථික වාසි තකා පමණක් දායක වෙලා අර මතකය විනාශ කරනවට වඩා.
* ඔබේ නිර්මාණ සඳහා කෙනෙක් දායක කර ගැනීමේදී ඔබ සලකා බලන්නේ?
අසූව දශකයේ ඩබ්ලිව්. ජයසිරි, ජැක්සන් ඇන්තනි වගේ අය මගේ නිර්මාණවලට දායක කර ගන්න වෙලාවේ ඒ අය මේ ක්ෂේත්‍රයේ මහා නාම වාසගම් තිබුණු අය නෙවෙයි. ගම් දනව්වල ප්‍රේක්ෂකාගාර තමයි ඔවුන් අද ඉන්න තැනට ඔවුන්ව ඔසවා තැබුවේ.
මම ගරු කරන්නේ පුද්ගල ප්‍රතිරූපයට නෙවෙයි. ඒ පුද්ගලයා තුළ තියෙන හැකියාවටයි. නමුත් අපේ නිර්මාණ සමාජය දිහා හැරිලා බැලුවොත් පේනවා අතීතය දිග නෑ වගේම අනාගත නාම ලේඛනයෙත් නාම වාසගම් ඒ තරම් දිග නැහැයි කියන එක.
නළුවා හෝ නිළිය ඔබ දකින්නේ මොන විදිහටද?
නළුවා හෝ නිළියක් කියන්නේ හරිම සංවේදී කෙනෙක්. එකේ තේරුම ඒ අය ළාමකයි කියන එක නෙවෙයි. සුළු දේකට වුණත් ඔවුන්ගේ හිත රිදෙන බව අපි තේරුම් ගන්න ඕනෑ. නිර්මාණකරුවා නළුවකු හෝ නිළියකගේ මනසට බොහෝ දේ දානවා.
ඒ දාන දේවල් ඒ ශිල්පියා තමන්ගේ මනස තුළට දා ගන්නේ බොහෝම සංවේදී හා සියුම් විදිහටය කියන එක අපි තේරුම් ගන්න ඕනෑ. මනසින් ගොරහැඩි කෙනෙකුට නළුවෙකු හෝ නිළියක වෙන්න බෑ. අනිත් අතට නිර්මාණකරුවෙක් , රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් උගතෙක් වෙන්න ඕනෑ.
ඒ විභාග පාස් කිරීමෙන්ම නෙවෙයි. හොඳ සමාජ සමීක්ෂණයක්, නිරීක්ෂණයක් මගින් එක් රැස් කර ගත්තු විශාල දැනුම් සම්භාරයක් ඔහු හෝ ඇය සතු විය යුතුමයි.
නිර්මාණකරුවා කරන්නේ අර විදිහට ශිල්පියා රැස් කරගෙන තියෙන දැනුම නිර්මාණයට අවශ්‍ය පරිදි ඔප මට්ටම් කරලා මතු කරලා ගන්න එකයි. එහෙම නැති ශිල්පියෙක් හෝ ශිල්පිනියක් මේ ක්ෂේත්‍රයේ ඉතා පහත්ම තැනට වැටෙනවා.
* චරිත නිරූපණය කියන දේ ඔබ තේරුම් කරන්නේ කොහොමද?
කලා කෘතියක ඔබ රඟපාන චරිතය ඔබට උගන්වනවා ඔබට ආගන්තුක මිනිස් චරිතයක් තුළ ඔබ රිංගන්න ඕන විදිහ. නළුවා උත්සාහ කරන්නේ තමන් සතු ශිල්පීය දැනුම යොදා ගෙන ඒ ආගන්තුක චරිතය තුළට රිංගා ගන්නයි.
එය සාර්ථක වුණොත් ඔහු තුළ නැති චරිතයේ ගතිකයන් ඔහු එක් කර ගන්නවා. එයින් නොදැනුවත්වම අර චරිතයේ සාධනීය ලක්ෂණත් නළුවා තමන් තුළට උකහා ගැනීමකුත් සිද්ධ වෙනවා.
ඒ අර්ථයෙන්ම කලාව ඇතුළේ අපි කරන හැම දේකින්ම අපේ ජීවිතවලට යමක් අලුතින් එකතු වෙනවා. තමන් වරක් හරියට කරපු චරිතයක් කිසි දවසක තමන්ගෙන් ඈත් වෙන්නේ නෑ. නළු නිළියන් පිළිබඳ විනිශ්චයකට එන්න ඕනෑ ඔන්න ඔය කියන කාරණා එක්කයි.
* මෙවරත් ඔබේ රංගන දායකත්වය තියෙනවාද?
ඔව් Memory Power එක, මතක ශක්තිය නැති වුණු තැන නළුවා ඉවරයි. මම එදා අවුරුදු 60 ක චරිතයක් රඟපෑවේ මගේ වයස අවුරුදු 26 දී. අද මම ඒ වයසට කිට්ටුයි. මට හැබෑවටම දැන් ඒ චරිතය කරන්න පුළුවන්. * ඔබේ කලා භාවිතාව දේශපාලනිකයි?
ඔව්. ඒත් කලාව ආණ්ඩු පෙරළීමේ පහත් කලාව සඳහා මම කිසි දවසක යොදා ගන්නෙත් නෑ. එහෙම යොදා ගන්නත් බෑ. කලාකාරයෝ හැටියට අප කල්පනා කරන්න ඕනත් එහෙමයි. කලාව දායක වෙන්නේ සමාජය ව්‍යසනයෙන් මුදා ගන්නයි.
හැම මනුෂ්‍යයෙක් තුළම දේශපාලනයක් තියෙනවා වගේ මටත් දේශපාලනයක් තියෙනවා. යහපත් සමාජ ප්‍රගමනය තමයි මගේ් දේශපාලනය. මගේ කලා භාවිතාවෙන් ප්‍රකාශ වෙන්නේ මගේ ඒ දේශපාලනයයි.
ඒක හරි ද වැරදි ද කියන එක ඊයේ හෝ අද නෙවෙයි තීරණය වෙන්නේ. අනාගතය විසින් තමයි ඒක තීරණය කරන්නේ. අනික ආර්ථික හා සමාජ අපහසුතා මඟ හරවා ගන්න කලාව හෝ ඉන් ලබා ගත් බලය යොදා ගන්න පුරුද්දක් මට නෑ.
* රාජ්‍ය නාට්‍ය උළෙල ගැන?
නාට්‍ය උළෙල හා සම්බන්ධ රාත්‍රීන් බොහෝම ප්‍රියජනක රාත්‍රීන් හැටියටයි අතීතයේ තිබුණේ. නමුත් අද ඒක ඛේදවාචකයක් වෙලා. අපිත් යම් යම් අවස්ථාවලදී ඒ ඛේදවාචකයේ කොටස්කරුවෝ වුණා.
හැබැයි මගේ මකරාක්ෂයා නාට්‍ය ඇතුළත් රාජ්‍ය නාට්‍ය උළෙලට නල්ලතම්බි ඇතුළත් කරන්න හැදුවාම ඒකට ඉඩ නොදෙන්න තරම් හයියක් එදා නාට්‍ය අනු මණ්ඩලයට තිබුණා.
ඒ වගේම සුගතපාලගේ මරාසාද් නාට්‍යයේ එක වචනයක් අයිං කරන්න ඕනෑය කියන යෝජනාවක් ආවම ඒ වචනෙ අයිං කරනවා නම් තමන් නාට්‍ය අයිං කර ගන්නවාය කියන ස්ථාවරය ගන්න තරම් නාට්‍යකරුවාටත් හයියක් තිබුණා. ඒත් අද ඒක නෑ.
No comments:
Post a Comment