2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday, 25 January 2010

සරච්චන්ද්‍රයන්ගේ කවීත්වයෙන් ඔබ්බට කිසිම නාට්‍යකරුවෙක් තවම ගිහින් නැහැ - මහාචාර්ය සුනිල් ආරියරත්න

Author - සුනිල් මිහිඳුකුල
Source: Silumina
Date: 02/11/2008

සිංහල ගීතය හා එහි ඓතිහාසික විකාශනය සම්බන්ධයෙන් ගත්ත ම අපට සිටින පුරෝගාමි ශාස්ත‍්‍ර ගවේෂකයා ඔබයි.

ඔබ පුරාණ සිංහල නාඩගම් පිළිබඳ ව, ජෝන් ද සිල්වාගේ නූර්ති නාට්‍ය පිළිබඳ ව, සිරිසේන විමලවීර ගේ මීටර් නාට්‍ය පිළිබඳ ව පර්යේෂණ කර ඇත්තේ විශේෂයෙන් ම එහි එන අප‍්‍රමාණ ගීත සම්භාරය හේතු කොට ගෙන යැයි අපි හිතනවා.

ඇත්තට ම මේ නාට්‍යවල එන ගීත තමයි මගේ පර්යේෂණ කාර්යය ට මූලික වුණේ.

ග‍්‍රැමෆෝන් ගී වගේ, ගුවන්විදුලි ගී වගේ මේවා කේවල ගීත නෙමෙයි.

මේ ගීත, නාට්‍යයේ පෙළත් එක්ක ඓන්ද්‍රීය ව සම්බන්ධවයි තියෙන්නේ.

ඒ නිසා පිටපත් ආශ‍්‍රයෙන් තමයි මේ ගී ගැන පර්යේෂණයක් කළ යුත්තේ. නාඩගම් ගී ගැන මෙලෙස පර්යේෂණයක් කිරීම සිංහල ගීත වංශයේ, ගීත සත්තතියේ රික්තයක් පුරවාලීමක් ලෙස සඳහන් කරන්න පුළුවන්.

අනිත් කාර්යය මේ නාඩගම් පිටපත් අද නැහැ. මම මගේ ආචාර්ය උපාධියට ‘සිංහල ගීත පදමාලා සම්ප‍්‍රදායය’ යන මාතෘකාව යටතේ නිබන්ධයක් ලියන්න පර්යේෂණ කරනකොට මට නාඩගම් පිටපතක් සොයාගන්න අමාරු වුණා.

ජාතික ලේඛනාගාරයේ හෝ කෞතුකාගාර පුස්තකාලයේ තියෙන නාඩගම් පිටපත් අතින් ඇල්ලුවම කෑලි හැලෙන තත්ත්වයේ ඒවා.

ඇත්තටම නූතන පාඨකයන්ට පැරණි නාඩගම් පිටපත් පරිශීලනය කරන්න අවස්ථාවක් නැහැ.

මේ පැරණි නාඩගම් පිටපත් මෙලෙස මුද්‍රණයෙන් පළකිරීමට ඒකත් එක හේතුවක්. ඒක නාට්‍ය කලාවට කරන්නා වූ සේවයක්.

සිංහල නාඩගමේ ඉතිහාසය පිළිබඳ ව නාට්‍ය කලා විද්‍යාර්ථින් අතර කිසිම ඒකමතිකභාවයක් නැහැ. ඒ සම්බන්ධයෙන් පවතින මතිමතාන්තර විවිධාකාරයි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ඩබ්ලිව්. ආතර් ද සිල්වා, එඩ්මන්ඩ් පීරිස් රාජගුරු ප‍්‍රසාදින් වහන්සේ, මහාචාර්ය එම්.එච්. ගුණතිලක, මහාචාර්ය ඩී.වී. හපුආරච්චි, මහාචාර්ය තිස්ස කාරියවසම් යන විද්වතුන් තමයි නාඩගම්වල ඉතිහාසය ගැන යම් යම් මත පළකරලා තිබෙන්නේ.

“මුලදි යාපනයෙහි දෙමළෙන් රචනා කොට රඟදක්වන්ට වූ කතෝලික නාඩගම පසුකලෙක දී සිංහල බසට පෙරළා සිංහල පේ‍්‍රක්ෂකයන් ඉදිරියේ රඟදක්වන්ට යෙදුණු බව“ මහාචාර්ය සරච්චන්ද්‍ර ගේ මතය යි.

එඩ්මන්ඩ් පීරිස් රදගුරුතුමාණන් කියා ඇත්තේ ‘රජතුන් කට්ටුව‘ පළමුවැනි සිංහල නාඩගම වන බවයි. එය පැහැදිලිව ම කතෝලික නාඩගමක්. සිංහල නාඩගම බිහිවුණේ සිංහල බෞද්ධ පසුබිමක නෙමෙයි.

ඊට තියෙන්නේ කතෝලික හා දෙමළ පසුබිමක්. ඒ නිසා උන්වහන්සේ ගේ මතය පිළිබඳව අපි විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනැ කියා මා හිතනවා.

මහාචාර්ය එම්.එච්. ගුණතිලක ඊටත් එහා යනවා නේද?

ඔහු කියා සිටින්නේ සිංහල නාඩගම මෙරටට ආ මිෂනාරි පූජකවරුන් ඉදිරිපත් කළ කි‍්‍රස්තියානි ජනවන්දනා රංග ඇසුරෙන් ප‍්‍රභවය වූ බවයි. ඒ මතයත් අපිට ලේසියෙන් ම බැහැර කරන්න බැහැ.

මොකද, මහාචාර්ය ගුණතිලක අපේ රටේ සිටින පුර්තුගිසි බස පිළිබඳව එකම ප‍්‍රමාණික පඩිවරයායි.

එසේම ඔහු තම ආචාර්ය උපාධි නිබන්ධය සඳහා ලිව්වෙත් සිංහල නාඩගම් අළලායි.

ඒ නිසා ඔහුගේ මතය කෙරෙහි අපිට ගැඹුරු අවධානයක් යොමුකරන්න සිදු වෙනවා.

ඔහුගේ මතය ඛණ්ඩනය කිරීමට අපිට කරුණු ඉදිරිපත් කරන්න අමාරුයි.

‘ස්ථාක්කි’ නාඩගමට පුර්තුගීසි මූලාශ‍්‍රයක් සම්බන්ධ වන හැටිත් ‘ඔරිසොන් පාලෙන්තෙන්’ නාඩගමට පුර්තුගීසි කවිකතාවක් මූලාශ‍්‍ර වන හැටිත් ඔහු පෙන්වා දී තිබෙනවා.

මේ අතරින් ඔබ පිළිගන්න මතය කුමක්ද?

මට විශ්වාස කළ හැකි මත දෙක තමයි මහාචාර්ය සරච්චන්ද්‍රගේ මතය හා එඩ්මන්ඩ් පීරිස් රාජගුරුප‍්‍රසාදින් වහන්සේගේ මතය. ඒ මත දෙකේ තමයි මම ඉන්නේ.

විශේෂයෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මතය හරියට මහාචාර්ය සෙනරත් පරණවිතාන සීගිරි ගී ගැන පළකරනු මතය වගෙයි. ඒක ලේසියෙන් ඛණ්ඩනය කරන්න බැහැ.

මේ හැම මතයක ම එක් පොදු සංරචකයක් තිබෙනවා. ඒනම්; සිංහල නාඩගම කතෝලික නිෂ්පාදනයක් වන බවයි; එය ඔවුන්ගේ කලා උරුමයක් වන බවයි.

ඔව් ඒක මට පිළිගන්න සිදුවෙනවා. මම බෞද්ධයකු වශයෙන් පෞද්ගලිකව කැමැතියි නාඩගම්, බෞද්ධ නිෂ්පාදනයක් කියලා කියන්න පුළුවන් නම්.

ඒත් ඇත්ත ඒක නෙමෙයි. ඇත්ත කොයි තරම් තිත්ත වුණත් එය හෙළිදරව් කිරීම ශාස්තී‍්‍රය පර්යේෂකයකු ගේ වගකීම වෙනවා.

ඔහුට ඒ සත්‍යයට පිටුපාලා යන්න බැහැ. දැන් සමහර දේවල්වල අක්මුල් සොයාගෙන යනකොට අපිට පේනවා,

ඒවා දෙමළට සම්බන්ධයි කියලා. ඉතින් ඒක හෙළිදරව් කිරීම පර්යේෂකයන් වශයෙන් අපේ වගකීමක්.

එහෙත් මහාචාර්ය ගාමිණී දෑලබණ්ඩාර පසුකලෙක කරපු පර්යේෂණයන්ට අනුව සිංහල නාඩගමේ ඉතිහාසය 13 වැනි සියවස දක්වා බුවනෙකබා රජ දවස දක්වා ඈතට දිවෙනවා. එසේම ඔහු නාඩගම හඳුන්වන්නේ ‘කවි නළුව‘ කියන වචනයෙන්.

මහාචාර්ය දෑල බණ්ඩාරගේ මතය මම පිළිගන්නේ නැහැ. සිංහල නාඩගම එච්චර දුර අතීතයක ට ගෙනියන්න බැහැ.

‘කවි නළුව‘ කියන්නේ ‘කාව්‍ය නාටක’ කියන එකයි. එපමණින් ම ඒක නාඩගම් කියලා ඔප්පු කරන්න සාධක නැහැ.

විවිධ මත පළවෙන එක හොඳයි. නමුත් නාඩගම් සම්බන්ධයෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මතය අතික‍්‍රමණය කිරීමට කිසිම විද්වතකුට තවම පුළුවන් වෙලා නැහැ.

ඇතමුන් අපේ නාඩගම් ඉතිහාසය සම්මර්ශනය කරන්නේ පටු ආගමික දෘෂ්ටි වාදයක් මත පිහිටා බවක් පෙනෙන්ට තිබෙනවා. ඔබ කියෙව්වද කොලට් සේනානායක හා නන්ද කරුණාතිලක ලියලා තියෙන ‘බෞද්ධ නාට්‍ය ශාස්ත‍්‍රය’ කියන පොත?

ඔය කියන පොත නම් මම කියවල නැහැ. ‘කුස නාඩගම’ වගේ බෞද්ධ නාට්‍ය පවා ලියලා තියෙන්නේ කතෝලික රචකයන්. ඒක තමයි ඇත්ත.

පසුගිය කාලයේ ඔබටත් චෝදනා ආවා නේද කතෝලික සංස්කෘතිය, දෙමළ සංස්කෘතිය උත්කර්ෂයට නංවනවා කියලා. ඒ චෝදනා නිසා නොවේද රුක්මණී දේවි ගැන, සුනිල් සාන්ත ගැන ඔබ කරන්ට අදහස් කරගෙන හිටපු පර්යේෂණ නොකර හිටියේ?

නැහැ. ඒ චෝදනා නිසා මම මගේ පර්යේෂණ කටයුතු නැවැත්තුවා නෙමෙයි. රුක්මණී දේවි ගැන ඕනෑ තරම් ලියැවිලා තියෙනවා.

සුනිල් සාන්ත සම්බන්ධයෙන් නම් තියෙන්නෙ වෙනත් ප‍්‍රශ්නයක්. මට එල්ල වන චෝදනා මම තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ.

සිංහල බෞද්ධයකු ලෙස මම වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා, දෙමළ, කි‍්‍රස්තියානි සාහිත්‍යය ගැන ස්වාධීන පර්යේෂකයකු හැටියට මම මේ කටයුතු දිගටම කරගෙන යනවා.

කොහොම වුණත් සිංහල නාඩගමට තිබෙන දකුණු ඉන්දීය හා දෙමළ ඥාතීත්වය අපට ප‍්‍රතික්ෂේප කරන්න බැහැ. මහාචාර්ය දෑල බණ්ඩාර පවා එය පිළිගෙන තිබෙනවා?

ඔව්. නාඩගම කියන වචනය පවා සිංහල නෙමෙයිනේ. නාඩගම්වල එන සමහර චරිත නාම, විරිත් නාම ගත්තොත් ඒවා සිංහල නෙමෙයිනේ.

නාඩගම දෙමළෙන් ආවේ නැහැ කියලා කාටවත් අභියෝග කරන්න බැහැ.

ඒ විදිහට දෙමළෙන් ආපු වචන තව ඕනෑ තරම් තියෙනවා. පාඩම්, පත්තියම් වගේ වචන. සංස්කෘතයෙන් දෙමළට ඇවිල්ලා ඊට පස්සේ අපිට ඇවිල්ලා තියෙනවා.

සිංහල නාඩගම ප‍්‍රභවය ලැබුවේ දකුණු ඉන්දියාවේ ‘තෙරුක්කූත්තු’ හෙවත් වීදි නාටක වශයෙන් හැඳින්වෙන ගැමි නාටක විශේෂයෙන් බවයි මහාචාර්ය සරච්චන්ද්‍ර කියා ඇත්තේ.

ඔව්. තෙරුක්කූත්තුව තමයි නාඩගමට මූලික වෙන්නේ. ඒක තමයි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මතයත්.

දැනට විද්‍යමාන පැරණි ම සිංහල නාඩගම ලෙස ඔබ සඳහන් කරන්නේ ‘ඇහැලෙපොල නාඩගම’.

ඔව්. ඊට පෙර නාඩගම් නොතිබුණා නෙමෙයි. තියෙන්න ඇති. පේදුරු සිඤ්ඤෙ හෙවත් ජාන්චි සිඤ්ඤෙ ලියූ ‘හරිශ්චන්ද්‍ර’ නමැති නාඩගමක් ගැන කියැවෙනවා.

එසේම මහාචාර්ය ඩී.වී. හපුආරච්චි තවත් පැරණි නාඩගම් කීපයක් ගැනම ඔහුගේ ‘සිංහල නාට්‍ය ඉතිහාසය’ නම් වූ ග‍්‍රන්ථයෙහි ලා සඳහන් කරනවා.

ඒත් ඒ කිසිවක් විද්‍යමාන නැහැ. ඒ නිසා පිලිප්පු සිඤ්ඤෙ ගේ ඇහැලෙපොල දැනට විද්‍යමාන ප‍්‍රථම සිංහල නාඩගම ලෙස අපිට ගන්න පුළුවන්.

පුදුමයට කාරණාව වන්නේ මේ නාඩගම එක්දහස් අටසිය ගණන්වල ම මුද්‍රණය ව තිබීමයි.

සාමාන්‍යයෙන් ටීටර් යුගයේදීවත් කිසිම නාට්‍යකරුවෙක් තමන්ගේ නාට්‍ය මුද්‍රණය කරන්න උනන්දු වී නැහැ. එබඳු පසුබිමක මෙය වැදගත් සංසිද්ධියක්.

සිංහල නාඩගම් අතර බෞද්ධ නාඩගම් කීපයක් ද දක්නා ලැබෙනවා.

’කුස නාඩගම’ (1870) තමයි ප‍්‍රථම සිංහල බෞද්ධ නාඩගම ලෙස හඳුන්වන්න පුළුවන් වෙන්නේ. කලින් සඳහන් කළ ආකාරයට එය රචනා කර ඇත්තේ කතෝලිකයෙක්. ඔහු තමයි ජෝන් මර්තීනුස් පවුලස් පීරිස් සමරසිංහ ශ‍්‍රීවර්ධන.

ඔහු මෙම නාඩගමට කතා වස්තුව තෝරාගෙන තිබෙන්නේ ජාතක කතාවෙන් නොවෙයි.

අලගියවන්න මුකවැටිගේ ‘කුසජාතක කාව්‍යයෙන්’. හෙන්ද්‍රික්දෙ ආබ්‍රෙව් රාජපක්ෂ ගේ ‘වෙසතුරු නාඩගම’ (1874) තවත් ප‍්‍රකට බෞද්ධ නාඩගමක්.

හෙන්ද්‍රික්දෙ ආබ්‍රෙව් රාජපක්ෂ වෘත්තියෙන් සිංහල වෙදමහත්තයෙක්.

ඔහු තමයි අපිට හඳුනාගන්ට ලැබෙන ප‍්‍රථම බෞද්ධ නාඩගම් රචකයා. සිංහල නාඩගම හලාවත, මීගමුව මුහුදු තීරයේ සිට දකුණු පළාතට ගියා.

ඒ අනුවයි බෞද්ධ නාඩගම් බිහිවෙන්න පටන්ගත්තේ. ඒ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මතය. ඒ මතය කාටවත් ඛණ්ඩනය කරන්න බැහැ. මමත් පිළිගත්ත මතය ඒක තමයි.

නාඩගම්වල භාෂාව සම්බන්ධයෙන් මොනවද ඔබට කියන්න පුළුවන්?

නාඩගම් ලියැවුණේ සිංහල භාෂාව පරිහානියට පත්ව තිබුණු යුගයකයි. ඒ නිසා ඉතාම ව්‍යාක්ත, මටසිලුටු, සම්පූර්ණයෙන් නිවැරැදි භාෂාවක් අපිට එයින් බලාපොරොත්තු වෙන්න බැහැ.

බොහෝ නාඩගම්වල දක්නට ලැබෙන්නේ අපභ‍්‍රෂ්ට, අව්‍යක්ත, අශිෂ්ට, දුර්බෝධාත්මක, සංකර සිංහල භාෂාවක්.

එබඳු පසුබිමක ප‍්‍රශස්ත භාෂාවකින් ලියැවුණු නාඩගම් දෙකකුත් තිබෙනවා. ඒ තමයි ‘කුස’ හා ‘වෙසතුරු’ යන නාඩගම් දෙක. ඒ අතරින් ‘වෙසතුරු නාඩගම’ තමයි වඩාත්ම විශිෂ්ට.

කොහොමද ඒ නාඩගම් දෙක විතරක් ප‍්‍රශස්ත වුණේ?

ඒකට ප‍්‍රධාන හේතුව තමයි මේ නාට්‍ය දෙකටම අනුප‍්‍රාණය වුණු මුල්කෘති තිබීම. එකක් ‘කුසජාතක කාව්‍යය’, අනික ‘වෙස්සන්තර ජාතක කාව්‍යය’. මේ දෙකම ජන සාහිත්‍යයේ විශිෂ්ට කෘති දෙකක්.

ඒ නිසා වඩාත් කාව්‍යාත්මක වූ රචනයක් මේ නාඩගම් දෙකේ දක්නට ලැබෙනවා.

සිංහල නාටකයේ ආරම්භයේ ඉඳන් මහාචාර්ය සරච්චන්ද්‍ර නාට්‍ය ක්ෂේත‍්‍රය ට ප‍්‍රවිෂ්ට වීම දක්වා වූ දීර්ඝ කාල පරිච්ඡේදයේ දී අපිට හමුවන විශිෂ්ටතම කවීන් දෙදෙනා තමයි මේ කුස හා වෙසතුරු නාඩගම් ලියූ රචකයන් දෙදෙනා.

මේ ප‍්‍රශස්ත නාඩගම් කෘති දෙක මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගෙවත් අවධානයට, ඇගැයීමට ලක් නොවුණේ ඇයි?

මං හිතන්නේ එතුමාට මේ නාඩගම් දෙක පරිශීලනය කරන්න අවස්ථාවක් ලැබුණේ් නැහැ.

මහාචාර්ය සරච්චන්ද්‍ර තම ‘සිංහල ගැමි නාටකයේ’ ‘වෙස්සන්තර’ නාඩගමක් ගැන සඳහන් කලත් එය මේ කියන ‘වෙසතුරු නාඩගම’ නෙමෙයි.

එය බොහෝදුරට චාර්ල්ස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ ගේ නාඩගමක් වෙන්න පුළුවන්.

නාඩගම් සංගීතය මුළුමනින් ම දකුණු ඉන්දීය කර්ණාටක සංගීතය මත තමයි පාදක වෙලා තිබෙන බවක් පේන්නේ?

ඒක පැහැදිලියි. දැනට විද්‍යාමාන නාඩගම් ගී තනු හෙවත් සින්දු රාග දෙමළ නාඩගම් වලින් උපුටාගත් ඒවා බව සාමාන්‍ය විශ්වාසයයි.

‘උරුට්ටුව‘ හා ‘මද්දළය’ නාඩගම් සංගීතයේ අනන්‍යතාව සලකුණු කරනව යැයි කියන්න පුළුවන්.

‘උරුට්ටු’ කියන්නේ සින්දුවක ලය වෙනස් නොකර තාලය ද්විගුණ කිරීමයි. ‘මද්දළය’ට ‘දෙමළ බෙරය’ කියාත් කියනවා.

දෙමළ හා දකුණු ඉන්දීය සංගීතයට එහි ඇති සම්බන්ධය එයින් පැහැදිලියි. අපිට මෙහිදී තියෙන ලොකුම අභාග්‍යය තමයි පැරැණි නාඩගම්වල එන කර්ණාටක සංගීතය පිළිබඳව එකම ශාස්තී‍්‍රය අධ්‍යයනයක්වත් මෙතෙක් සිදුවී නොතිබීම.

කිසිම නාඩගම් පොතක එහි එන ගීතවල රාග නාම, තාල නාම සඳහන් වන්නේ නැහැ. එහෙත් නූර්ති නාටකවල නම් සඳහන් වෙනවා.

අනික, කර්ණාටක සංගීතය ගැඹුරින් හදාරපු කෙනෙක් මේ පර්යේෂණ ක්ෂේත‍්‍රයේ නැහැ. ඒකත් බලවත් අඩුවක්.

මේක අනාගත පර්යේෂණ ක්ෂේත‍්‍රයක්. සමහර නාඩගම් සින්දුවල කතෝලික ගීතිකාවල සම්බන්ධයක් තිබෙනවා.

මෙතැනත් ව්‍යාකූලත්වයක් දක්නට පුළුවන්. පල්ලියෙන් නාඩගම්වලට ගී තනු ගියා ද එසේත් නැත්නම් නාඩගමෙන් පල්ලිය ඇතුළට ඒ ගී තනු ආව ද කියන එක ප‍්‍රශ්නයක්.

ඒ ගැන නිශ්චිත නිගමනයකට එළැඹෙන්න බැහැ. ඒවා විසඳන්න පර්යේෂණයක් ම කෙරෙන්න ඕනැ.

අපි උත්තර භාරතීය රාගධාරී සංගීතය ඔස්සේ ඉදිරියට නොගොස් කර්ණාටක සංගීත සම්ප‍්‍රදාය ය ඔස්සේ ඉදිරියට ගියා නම් අපේ සිංහල සංගීතය අද වෙනකොට අන්තර් ජාතික මට්ටමකට ගන්න තිබුණයි කියලා තව මතයක් ඇතැමුන් ඉදිරිපත් කරමින් සිටිනවා. ඒ සම්බන්ධයෙන් ඔබ දරන ආකල්පය මොකද්ද?

මම ඒ මතය පිළිගන්නේ නැහැ. අපේ ජානවල තිබෙන්නේ උත්තර භාරතීය රාගධාරී සංගීත රසයයි.

කෙනෙක් අර විදියේ උපකල්පනයක් කරන්නේ මොන පදනමක ඉඳන්ද කියලා මට හිතාගන්න බැහැ.

කර්ණාටක සංගීතයක් අපෙන් මතුවෙලා ආවේ නැහැ. ඒක අපේ රටේ තහවුරු වුණේ නැහැ.

නාඩගමත් ඔපෙරා නාටකත් අතර කිසියම් සමරූපතාවයක් දකින්නට ඇතැමුන් උත්සාහ ගන්නවා.

මහාචාර්ය සරච්චන්ද්‍ර කියා ඇත්තේ නාඩගම බටහිර ඔපෙරා නමින් හැඳින්වෙන ගීත නාටක වෙසෙසට සමාන කළ හැකි බවයි.

එසේම ප‍්‍රවීණ සංගීතඥ ජයන්ත අරවින්ද විශේෂයෙන් සින්දු නාඩගම ‘ඔපෙරා’ ගණයට වැටෙන බව කියා තිබෙනවා.

එසේම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මනමෙ’, ‘සිංහබාහු’ පවා ඔපෙරා නාටක ලෙස ඔහු හඳුන්වන්නේ.

මට හිතෙන විදියට නාඩගම ඔපෙරාවට සමාන කරන්න බැහැ. මොකද, ඔපෙරා කියන්නේ මුළුමනින් ම සංගීතාත්මක ප‍්‍රකාශනයක්.

නාඩගම් එහෙම නෙමෙයි. එහි පෙළ ඉතා වැදගත්. ‘මනමෙ’, ‘සිංහබාහු’ ගත්තත් එහි පෙළ ඉතා වැදගත්.

එය මුළුමනින් ම රඳ්‍ර පවතින්නේ වචන මතයි. වචන ඉවත් කරලා එහි සංගීතයට විතරක් පවතින්න බැහැ.

නාඩගමට සංගීතයෙන් අනුබලයක් ලැබෙන බව අපි පිළිගන්නවා. ඒත් නාඩගම සම්පූර්ණයෙන්ම වචන මතයි පවතින්නේ.

සිංහල නාඩගම්, කවි නාඩගම් හා සින්දු නාඩගම් ලෙස කොටස් දෙකකට බෙදෙනවා.

සින්දු නාඩගම් තමයි මේ අතරින් වඩාත් ප‍්‍රචලිත. ඇත්තටම ‘සින්දුව‘ ජනපි‍්‍රය කරනු ලැබුවෙත් සින්දු නාඩගම්කරුවන් විසින්.

සින්දු නාඩගම්වල තියෙන්නේ සින්දු රාග. කවි නාඩගම්වල තියෙන්නේ කවි තාල. කවි නාඩගම කෝළම් නාට්‍යවලට සම්බන්ධව පවතින නාට්‍ය විශේෂයක්.

ඒකට පාවිච්චි වෙන්නේ පහතරට බෙරය. නූතන වේදිකාවේ අපිට තියෙන්නේ එකම කවි නාඩගමයි. ඒ ගුණසේන ගලප්පත්ති ගේ ‘සඳකිඳුරු’.

නාඩගම් - කෝලම් වැනි නාටක ජන නාට්‍ය නෙවෙයි කියලා නව ප‍්‍රවාදයක් මේ මෑතක ඉඳන් ඇතිවී තිබෙනවා. මහාචාර්ය දෑල බණ්ඩාර, ජයසේන කෝට්ටේගොඩ යන අය ඒ බව කියා තිබෙනවා?

ඇතැම් නාඩගම් ප‍්‍රභූ පන්තිය විසින් ලියනු ලැබ තිබෙන බවත් ඇත්ත. ඒ නාඩගම් මුද්‍රණය වෙලා තිබෙන බවත් ඇත්ත. එසේ වූ පමණින් ඒවා ජන නාට්‍ය නෙමෙයි කියලා කියන්න බැහැ. හැම නාඩගමක්ම විදග්ධයන් අත පැවතුණායි කියලා හිතන්නත් බැහැ.

පිලිප්පු සිඤ්ඤෙ වෘත්තියෙන් කම්මල්කාරයෙක් බව පැවසෙනවා. අනික කවුරු නාට්‍ය පෙළ ලීවත් ඒවා නිෂ්පාදනය කළේ; ඒවායෙහි රඟපෑවේ සාමාන්‍ය ජනයා.

1956 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ‘මනමෙ’ නාට්‍යයෙන් ගොඩනංවපු දේශීය නාට්‍ය කලාවට පදනම් වුණේ පැරණි සිංහල නාඩගම. ඒ අනුව නාඩගම් කලාව අපට ඉතා වැදගත් කලා සම්ප‍්‍රදායයක්?

අතිශයින්ම වැදගත් කලා සම්ප‍්‍රදායයක්. මහාචාර්ය සරච්චන්ද්‍ර 1943 දි ‘මුදලාලිගේ පෙරළිය’ නාට්‍යයේ ඉඳන් 1956 ‘මනමෙ’ දක්වා වූ වසර 13 ක කාලයක් දේශීය නාට්‍ය සම්ප‍්‍රදායය සොයා අනේකවිධ පර්යේෂණ සිදුකළා.

ඒ පර්යේෂණවල සාර ඵලයක් විදියට තමයි ‘මනමෙ’ බිහිවන්නේ. එහෙත් මහාචාර්ය සරච්චන්ද්‍රගෙන් පස්සේ නාඩගම් රංග සම්ප‍්‍රදායය ඇසුරු කරගෙන ‘මනමෙ’, ‘සිංහබාහු’ වගේ විශිෂ්ට නාට්‍ය අපේ වේදිකාවේ බිහිවුණේ නැහැ.

ඒකට ප‍්‍රධානම හේතුව වුණේ මහාචාර්ය සරච්චන්ද්‍ර වගේ අප‍්‍රමාණ කවියෙක් සිංහල වේදිකාවේ බිහි නොවීමයි.

අපේ නූතන නාට්‍ය ශිල්පීය අංශවලින් ඉතා දියුණුයි. නමුත් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ කවීත්වයෙන් ඔබ්බට යන්න අපේ කිසිම නාට්‍යකරුවකුට බැරිව ගිහින් තියෙනවා.

No comments:

Post a Comment