2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday 7 November 2011

එදා දෙටු වැද්දා මමයි - ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි ලයනල් ප්‍රනාන්දු

Author: Buddhini Jayawardena
Date:03/11/2011
Source: Sarasaviya



ලයනල් ප්‍රනාන්දු යැයි කියූ විට එක්වරම අපේ මතකයට නැඟෙන්නේ මෙරට කීර්තිමත් සිවිල් සේවා නිලධාරියකු පිළිබඳවය.

දේශීය ආදායම් පාලක නිලධාරියකු ලෙස තම රාජකාරි දිවියට පිවිසි ඔහු ලංකා නැව් සංස්ථාව, ජාතික රක්ෂණ සංස්ථාව, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ඇතුළු ආයතන රැසක මුල් පුටු හොබවා තිබේ.

යාපනය දිසාපතිවරයා මෙන්ම උතුරු - නැගෙනහිර ආණ්ඩුකාරයා ද වූ ඔහු පණස් වසකට අධික කාලයක් මුළුල්ලේ සිය ශූර පරිපාලන ඥාණය මෙහෙයවමින් රටට, දැයට ඉටු කළ සේවාව සුවිසල්ය. මැලේසියාව, නෙදර්ලන්තය, ප්‍රංශය වැනි රටවල ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසින්ද රාජතාන්ත්‍රික සේවයේ නිරත වූ ඔහු වර්තමානයේ විවේකීව සිය සැඳෑ සමය ගත කරයි. නමුදු ඔහු ප්‍රතිභාසම්පන්න නළුවකු බව දන්නේ ටික දෙනෙකි. අතීතයට දිව යන ඒ මතකය නතර වන්නේ 1956 තරම් ඈතකය. ඒ මෙරට වේදිකා නාට්‍යය වංශයේ මහා සම්ප්‍රදාය සනිටුහන් කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ නාට්‍යය පසුබිම් කර ගනිමිනි. ‘මනමේ’ ප්‍රථම වැදි දෙටු භූමිකාව රඟපෑවේ අප පෙර කියූ ලයනල් ප්‍රනාන්දුමය. ඒ අතීත මතකය ඔහු මෙලෙස වර්තමානයට කැඳවා එන්නේ මහත් වූ සොම්නසකිනි.

1956 වසරේ තමයි මම පේරාදෙණිය සරසවියට ඇතුළු වුණේ. අපි ඒ කාලේ පදිංචි වෙලා හිටියේ මහනුවර අම්පිටිය කියන කුඩා ග්‍රාමයේ. එහි රෝමානු කතෝලික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබලා එතනින් සාන්ත සිල්වෙස්තර විද්‍යාලයට ගිහින් තමයි මම විශ්ව විද්‍යාලයට ආවේ. මගේ පාසල් සගයන් තුන් දෙනෙකු සමඟ වසර තුනක කලා පාඨමාලාවක් හදාරන්නයි මම සරසවියට බැඳුණේ.

පාසල් වියේ පටන් කලාවට ඔබේ ඇල්මක් තිබුණා?

ඔව්. පාසල් දෙකේදීම සංගීත හා නාට්‍යය කටයුතු වලට මම සහභාගි වෙලා තිබුණා. සිනමාවටත් බොහොම ලැදියාවක් තිබුණා. හින්දි චිත්‍රපට, කව්බෝයි චිත්‍රපට තමයි ඒ කාලේ මම වැඩියෙන් නැරඹුවේ. විශ්ව විද්‍යාලයේදීත් ඒ පුරුද්ද එහෙමම තිබුණා. ඉතින් මම උපාධියට හැදෑරුවේ සිංහල, ඉතිහාසය සහ අර්ථ ශාස්ත්‍රය කියන විෂයයන්.

මට මතකයි සිංහල සාහිත්‍යය අපට ඉගැන්නුවේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්. විශ්ව විද්‍යාලයේ එවකටත් තිබුණා ඉංග්‍රිසි නාට්‍යය සංගමයක්. පසුව සිංහල අංශයටත් එවැනි නාට්‍යය සංගමයක් පිහිටුවා ගත්තා. එහි ප්‍රථම සභාපතිවරයා වුණේ විමල් නවගමුව කියලා ජ්‍යෙෂ්ඨ උපාධි අපේක්ෂකයෙක්. එහි මූල්‍ය කටයුතු සඳහා උපදේශකත්වය ලබා දුන්නේ මහාචාර්ය කාල් ගුණවර්ධන. එතුමා ඉතිහාසය පිළිබඳ මගේ ගුරුවරයා. කේ. ඩී. ඩබ්ලිව්. පෙරේරා තමයි භාණ්ඩාගාරික වෙලා හිටියේ. අනෙක් සාමාජිකයන් සියල්ලමත් නාට්‍යය කලාවට ලැදියාවක් දක්වපු අය.

වඩාත් සමීපයෙන් සරච්චන්ද්‍රයන් ඇසුර ඔබට ලැබෙන්නේ මම හිතන්නේ මේ අවධියේදී?

සරච්චන්ද්‍රයන් සිංහල සාහිත්‍ය අපට ඉගැන්නුවේ නාට්‍ය කලාවටත් මුල් තැනක් දීලා. මම දැනගෙන හිටියා එතුමා මේ නාට්‍යය කලාව ගැන ලොකුª උනන්දුවක් තිබුණ කෙනෙක් වග. ඒ කාලේ විශ්ව විද්‍යාලයේ බොහෝ නාට්‍යය කෙරුණේ ඉංග්‍රීසි අනුවර්තන. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයා වූ ලුඩවයික් රුසියානු නැතිනම් යුරෝපීීය නාට්‍ය විශේෂයෙන්ම ගෝලියන්, චෙකොෆ් වැනි අයගේ නාට්‍යය කරන්නට යෙදුණා. මේ බොහොමයක් ප්‍රහසන නාට්‍යයයන්. ඒ අනුසාරයෙන් තමයි ඔය ‘කපුවා කපෝති’, ‘වෙද හටන’ වැනි නාට්‍යය නිර්මාණය වුණේ. සරච්චන්ද්‍ර, ඒ. පී. ගුණරත්න වැන්නවුන් පවා මෙසේ ඉංග්‍රීසි නාට්‍යය සිංහලට පරිවර්තනය කළා. ජුබාල් කියන විදෙස් නාට්‍යවේදියා තමයි ‘වෙද හටන’ කළේ. ඒක ඒ කාලේ ඉතාමත් ජනප්‍රිය වුණා.

එතකොට කොහොමද ‘මනමේ’ වැනි ස්වතන්ත්‍ර වේදිකා නාට්‍යයක් නිර්මාණය වෙන්න පසුබිම සැකසෙන්නේ?

මහාචාර්ය සරච්චන්ද්‍රයන් සිංහල නාට්‍යය කලාවේ ආරම්භය, එහි ප්‍රභවය පිළිබඳ මූලික දැනුම තිබෙන පත පොත පරිශීලනය කරලා ඒ කාලේ විවිධ පුවත්පත්වලට ලිපි ලිව්වා. ඔය අතරවාරේ තමයි චාර්ලිස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ සරච්චන්ද්‍රයන්ට මුණ ගැසෙන්නේ. එතුමා බලපිටියේ. පියදාස සිරිසේන, චාල්ස් ඩයස් වැනි අයගේ නාට්‍යවලට දකුණු පුරවරයෙන් සම්බන්ධ වෙලා කටයුතු කළේ චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සේ. සරච්චන්ද්‍රයන් තේරුම් ගත්තා එතුමාගේ වටිනාකම. මේ දෙන්නාගේ හමුවීම අපටත් දැනගන්න ලැබුණා. 56 අග භාගයේ අපේ නාට්‍ය සංගමයේ භාණ්ඩාගාරික ධූරය මට පැවරුණා. ඉතින් මේ සංගමයේ සාමාජිකයෝ සවසට එකතු වෙනවා. සම්මන්ත්‍රණ, වැඩමුළු වගේ දේවල් පවත්වනවා. අධ්‍යාපන කටයුතු අතරේ ඒ වැඩත් කෙරීගෙන ගියා. සරච්චන්ද්‍රයන් තවත් සමීපයෙන් ඇසුරු කරන්න මට ලැබුණේ ඒ අවදියේදී. සරච්චන්ද්‍රයන්ගේ නිල නිවසට (ඒකට කිව්වේ ‘සංඝමිත්තා හිල්’ කියලා) චාර්ලිස් ගුරුන්නාන්සේ ගෙන්න ගෙන දැන් නොයෙක් සාකච්ඡා පැවැත්වෙනවා. ‘මනමේ’ කියන්නේ පැරැණි නාඩගමක්. එය ඔවුන් දෙදෙනා එකතු වී නැවත සකස් කරන බව අපට ආරංචි වුණා. මේ අලුත් ‘මනමේ’ නාට්‍යයට නළු, නිළියන් තෝරා ගන්න ඔඩිෂන් එකක් තියන්න සරච්චන්ද්‍රයන් තීරණය කළා.

ඊට පස්සේ . . .?

අපේ නාට්‍යය සංගමය මගින් මේ ගැන දැනුවත් කරලා විශ්ව විද්‍යාල දැන්වීම් පුවරුවේ නෝටිස් ඇලෙව්වා සරච්චන්ද්‍රයන් මෙවැනි කටයුත්තක් කරන්නට යනවයි කියලා. මේ පරීක්ෂණය පැවැත්වුණේ ජුනියර් කොමන් රූම් එකේ. ඒක කුඩා ශාලාවක්. තිහකට, හතළිහකට වඩා රැස් වෙන්න බැහැ. ඒ තමයි ‘මනමේ’ ආරම්භයේදී අපට තිබුණ ශාරීරික හා භෞතික සීමාවන්.

ඔබත් ඒ පරීක්ෂණයට එදා ආවා?

නැහැ, ඉතින් මම කොහොමත් නාට්‍යය සංගමයේ භාණ්ඩාගාරිකනේ. පසුව මම එහි සභාපති ධූරයත් දැරුවා. කොහොම හරි එදා මේ ඔඩිෂන් එකට සෑහෙන පිරිසක් ආවා. කොළඹ වගේම ඈත පිටිසර පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආවා. මේ පිරිස ඇවිත් ඉතින් නොයෙක් විදිහේ ගීත ගයලා යනවා. වැඩිපුර ගැයුවේ චිත්‍රපට ගීත. මේ කාලේ හරියට අමරදේව බිහි වෙලත් නැහැනේ. ඒ වෙද්දි ඔහු ඇල්බට් පෙරේරා. පස්සේ සරච්චන්ද්‍රයන් තමයි අමරදේව නම තැබුවේ.

ඉතිං අර කටහඬ පරීක්ෂණයෙන් එදා මනමේ කුමරියට තෝරා ගත්තේ ට්‍රිලීෂියා අබේකෝන්. ඇය එවකට උපාධි අපේක්ෂිකාවක්. මනමේ කුමාරයා වුණේ බෙන් සිරිමාන්න.

එයා මොරටුවේ ඉස්කෝලෙක උගන්වමින් ඉඳලා එඩියුකේෂන් ඩිප්ලෝමාවක් හදාරන්නයි ඇවිත් හිටියේ. මේ දෙන්නම අවුරුද්දකින් මට සීනියර්.යම් විදිහකින් මනමේ කුමරිය හැටියට ට්‍රිලීෂියාට සහභාගි වෙන්න නොහැකි වුණොත් ආදේශක නිළියක් විදිහට එදා හේමමාලි ගුණසේකරත් තෝරා ගත්තා. ඇයත් උපාධි අපේක්ෂිකාවක්. ඇය පසුව මහාචාර්ය සිරි ගුණසිංහයන් සමඟ විවාහ වුණා.

‘මනමේ’ ප්‍රථම වැදි දෙටු චරිතය ඔබට ලැබීමත් එක්තර දෛවෝපගත සිදුවීමක්?

සියලුම චරිත සඳහා නළු, නිළියන් තෝරා ගත්තාට පස්සේ අන්තිිමට ඉතිරි වුණේ වැදි රජු සහ වැදි දෙටු චරිත දෙක. වැදි රජු බොහොම උස, මහත, වෛරී සහගත පුද්ගලයෙක් විය යුතුයි. මොකද එයා බිහි වෙන්නේ කැලෙන්නේ. මෙයාව හොයා ගන්න සරච්චන්ද්‍රයන් හුඟක් උත්සාහ කළා. නුවර පෙරහර ඉවර වෙලා හැම වසරකම බෝගම්බර තියෙන කානිවල් එකේදී සරච්චන්ද්‍රයන්ට, එඩ්මන් විජේසිංහ මුණ ගැසුණා.

එඩ්මන්ඩ් පාසලේ නාට්‍යය කරලා තියෙනවා. ඒ වගේම හොඳට ගී ගයන්න පුළුවන්. වොයිස් එකත් ගැඹුරුයි. මේ නිසා වැදි රජුට ඔහුව ;තීරා ගත්තා. වැදි දෙටුත් ගී ගයන්න, නටන්න පුළුවන් කෙනෙකු වෙන්න ඕනෑ.

‘ලයනල්ට පුළුවන්නේ ඕක කරන්න’ කියලා සරච්චන්ද්‍රයන් යෝජනා කළා. ‘ඔබතුමා කියනවා නම් මම ඉතින් නටන්නම්’ කියලා මමත් කිව්වා. ඔඩිෂන් එකේදී මම ගායනා කළේ පැරැණි ගීත දෙකක්. ඒ ගීත මොනවද කියලා මට මතක නැහැ. කොහොම වුණත් මගේ ගායනය පිළිබඳ සරච්චන්ද්‍රයන් පැහැදුණා කියා හිතෙනවා. ඔහොම තමයි වැදි දෙටු චරිතයට අඩිතාලම වැටුණේ.

පුහුණුවීම් කටයුතුවලදී සරච්චන්ද්‍රයන් දැඩි විනයක් පවත්වා ගෙන ගිය බවක් මා අසා තිබෙනවා?

ඇත්ත වශයෙන්ම එතුමා විනයට අධිපති කෙනෙක් කිව්වොත් නිවැරදියි. සරච්චන්ද්‍රයන් එතරම් උස මහත පුද්ගලයෙක් නෙවෙයිනේ. නමුත් එතුමාට අපේ හිතේ තිබුණේ විශාල ගෞරවයක්. 1956 නොවැම්බර් 03 වැනිදා කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේදී තමයි ‘මනමේ’ මංගල දර්ශනය පැවැත්වුණේ. අදට හරියටම අවුරුදු පනස් පහයි.

පුහුණුවීම් කටයුතුª සිදු වුණේ බොහොම ක්‍රමානුකූලව. ජූනි මාසයේදී තමයි ආරම්භ කළේ. නාට්‍යය පෙන්වන දිනය වෙනකල් අපි දින පහම සවස් වරුවේ පුහුණුුවීම් කටයුතුවල යෙදුණා. චාර්ලිස් සිල්වා ගුරුන්නාන්සේ බිම වාඩි වෙලා මද්දලය ගහනවා. මේකෙ සිංදුත් තියෙනවනේ. අන්න ඒ සිංදුවලට අමරදේව ගෙන්වා ගන්නවා. සරච්චන්ද්‍රයන් නිතර කොළඹ යනවානේ. ඒ එනකොට ඔහුගේ වාහනයෙන්ම අමරදේවයනුත් රැගෙන එනවා. ඡ් ව් 497 ෆොක්ස්වැගන් කාරෙකක් සරච්චන්ද්‍රයන්ට තිබුණේ. එතුමා අතින් පෙට්‍රල් ගහගෙන ඇවිත් කන්න, බොන්න දීලා, ඉඳුම් හිටුම් දීලා චාර්ලිස් ද සිල්වා ගුරුන්නාන්සේට සහ අමරදේව මහත්මයට ඒ සියලු සත්කාර කළා. විශ්ව විද්‍යාල අරමුදලින් සත පහක්වත් නොගෙන තමන්ගේ පෞද්ගලික මුදලින් තමයි සරච්චන්ද්‍රයන් ඒවා කළේ.

‘මනමේ’ ජනප්‍රියත්වයට එහි ඇතුළත් ගීත මනා පිටිවහලක් වුණා?

අද ආපසු හැරී බැලීමේදී ඒ ගීත කෙතරම් බුද්ධි ගෝචරද, කර්ණ රසායන ද කියා සිතෙනවා. හැඟීම්බර වුණත් එහි අන්තයට නොයා, බෞද්ධ සංකල්පයන්ට පටහැනි නොවූ එක්තරා විදිහක සමාජ කතිකාවතකට අඩිතාලම ‘මනමේ’ නාට්‍යයෙන් වැටුණා කියලා මට හිතෙනවා. ඒක අපිට ඒ කාලෙත් දැනුණා. අපි සාහිත්‍ය විෂය කළ නිසාද මන්දා ‘මනමේ’ නාට්‍යයටත්, ඊට පසුව කළ ‘සිංහබාහු’ නාට්‍යයටත් අපේ සිත් බෙහෙවින් ඇදී ගියා.

මනමේට 55 යි

සිංහබාහුට 50 යි

‘මනමේ ආරම්භයේදී එතරම් ජනතා ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ නේද?

මගේ මතකය නිවැරැදි නම් මංගල දර්ශනයට හෝ ඉන් පසු දර්ශනයට ප්‍රේක්ෂකයෝ දාහත් දෙනයි ඇවිත් හිටියේ. මුලින් මේක මිනිසුන්ගේ සිත්වලට කා වැදුණේ නැහැ. කොළඹ හතේ ගෙවල්වල නෝනා, මහත්වරු තමන්ගේ ආයම්මලා නැතිනම් ගෙදර සේවකයෝ තමයි මුල් යුගයේ ‘මනමේ’ බලන්න එව්වේ. නමුත් පසු කාලයේ ‘මනමේ’ සෑම තරාතිරමකම ප්‍රේක්ෂකයන් නැරඹූ, ආදරය කළ වේදිකා නාට්‍යයක් බවට පත් වුණා. මංගල දර්ශනයේ පටන් දර්ශන වාර සියයක් පමණ වැදි දෙටුගේ චරිතය රඟපෑවේ මම. ඒ අතීතය අදත් මට රසවත් හා අභිමානවත් මතකයක්.


එදා සිංහබාහු මමයි

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරි චාලි ජයවර්ධන

‘සිංහබාහු’ අපේ වේදිකා නාට්‍ය කලාවේ සුවිශේෂි සංධිස්ථානයකි. සිංහබාහු වේදිකා ගත කර වසර පනහක් සපිරුනි. මෙම ඓතිහාසික නාට්‍යයේ සිංහබාහු චරිතය මුලින් රැගූ චාලි ජයවර්ධනව අපි සොයා ගියේ ‘සිංහබාහු’ අතීතය නැවත අවදි කර ගැනීමටයි.

සිංහබාහු මුලින්ම වේදිකා ගත කළේ 1961 අගෝස්තු 31 පේරාදෙණිය විශ්ව විද්‍යාල එළිමහන් රඟමඬලෙදි.

අද වයසින් මුහුකුරා ගිය ද ඔහුගේ පෙනුමෙහි වන තේජසෙහි වියපත් බවක් නොපෙණේ. චාලි ජයවර්ධන, නැසී ගිය ප්‍රවීණ සිනමා නළු ඩොමී ජයවර්ධනගේ බාල සොහොයුරාය. චාලි, ‘සිංහබාහු’ ගැන කතා කරන්නේ මහත් ආඩම්බරයකිනි. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම ආඩම්බරයට කරුණක් බව නොසිතෙන්නේ කාටද?

1960 වර්ෂයේදී චාලි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන්නේ වැඩිදුර අධ්‍යාපනයටය. චාලි විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ කාලයේ තම සොහොයුරු ඩොමී අතිශය ජනප්‍රිය නළුවෙකි.

‘ඩොමීගේ මල්ලි එනවා’ විශ්ව විද්‍යාලය පුරා පැතිර ගියේය. නවක වදයට චාලිට ලැබුණ දඬුවම ගීත ගායනයයි. චාලි සතු ගී ගැයීමේ හැකියාවත්, රංගන හැකියාවත් නිසාම ජාතික නාට්‍ය උළෙල සඳහා ඉදිරිපත් වුණු නාට්‍යයක රඟපාන්නට ලැබුණි. ඒ බන්දුල ජයවර්ධනගේ ඝෝෂක වස්තුව වේදිකා නාට්‍යයේය. චාලි එහි රැඟුවේ කුඹලාගේ චරිතයයි. ඒ දවස්වල සිංහබාහු නාට්‍යය ලියමින් සිටි සරච්චන්ද්‍රයන් ‘ඝෝෂක වස්තුව’ නරඹන්නට පැමිණියේය. ඒ බලන්නට ඇවිත් චාලිට ආරාධනා කළේ ‘සිංහබාහු’ හි ‘සිංහයා’ ලෙස රඟන්නටය.

1961 පෙබරවාරි මාසයේ දිනෙක චාලි පුහුණුවීම් සඳහා ගියේය. නළු නිළියන් තෝරා ගැනීමේ පරීක්ෂණයට මහා පිරිසක් සිටියද, චාලි පරීක්ෂණයට ඇතුළත් නොවුණේ ඔහුගේ රංගන හැකියාව ගැන සරච්චන්ද්‍රයන් තුළ තිබූ පැහැදීම නිසාවෙනි. ටික කලක් පුහුණුවීම් කරගෙන ගියේය. චාලි ‘සිංහයා’ ලෙස රඟද්දී, මාක් ඇන්ටනී කෝරස් එකේ සිට ‘සිංහබාහු’ ට දායක විය.

‘දවසක් පුහුණුවීම් කරද්දී සරච්චන්ද්‍රයන් මාක්ට ඉස්සරහට එන්න කිව්වා. එදා තමයි මාක්ව ‘සිංහයා’ ට තෝර ගත්තෙ. මම සිංහබාහු වුණේ ඒ විදිහට.

සිංහයාගේ චරිතය වෙනුවෙන් තෝරා ගැනුණු චාලි සිංහබාහු වූයේ එලෙසිනි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගැන චාලි තම හැඟීම ඉදිරිපත් කරයි. ‘මහාචාර්ය සරච්චන්ද්‍රයන් අතිශයින්ම දක්ෂ නාට්‍ය රචකයෙක් හා නිෂ්පාදකයෙක්. සිංහබාහු කියන්නෙ ශෛලිගත නාට්‍යයක්. එහිදී ගමන් තාල, ගායනය, වේදිකා හැසිරීම ගැන විශේෂ සැලකිල්ලක් ඔහු දැක් වූවා. ගීත ගායනය පුළුවන් වුණාට මට නර්තනය ගැන දක්ෂතාවක් තිබුණෙ නැහැ. වසන්ත කුමාර ප්‍රවීණ නර්තන ශිල්පියා යටතේ මටයි, මාක් ඇන්ටනි ප්‍රනාන්දුටයි නර්තනය ඉගැන් වූවා. සරච්චන්ද්‍රයන් අපට කවදාවත් භූමිකා නිර්මාණය ගැන කියලා දුන්නෙ නැහැ. එයට හේතුව මං හිතන්නෙ අපි හැමෝම විශ්ව විද්‍යාල සිසුන් වීම වෙන්න ඇති.

පුරා මාස 6 ක පුහුණුවීම් කරමින් 1961 අගෝස්තු පස්වරු 8 ට ‘සිංහබාහු’ රඟ දැක්විණි. මඳ වෙලාවක් යද්දී මහා වැස්සක් ඇද හැළුණි.

‘එදා වැස්ස හොඳටම. ‘සිංහබාහු’ නරඹන්න සෙනඟ 2000 ක් විතර උන්නා. ඒත් කවුරුවත් එදා මඟදි නැගිටලා ගියේ නැහැ. එයාලා හරිම ආසාවෙන් කුඩ ඉහළගෙන බලං හිටියා. ඒත් රැඟුමට නම් ප්‍රශ්න ඇති වුණා. එක සැරයක් සිංහයව ලිස්සලත් වැටුණා’ අතීතය සිහිපත් වී චාලිගේ මුව’ග ඇඳුණු සිනහවේ ඒ අතීතයෙහි රසබර බව මනාව ගැබ්ව තිබුණි.

‘එදායින් පස්සෙ විශ්ව විද්‍යාලයෙ තියෙන හැම සුහද හමුවකම මට සිංහබාහු නාට්‍යයේ ගීත ගයන්න ඉල්ලීම් ලැබුණා. ඒ හැම ඉල්ලීමක්ම මම ඉටු කළා.

චාලි ‘සිංහබාහු’ ලෙස රැඟුවේ 1968 දක්වා පමණි.

’68 න් පස්සෙ මම නාට්‍යයෙන් අයින් වුණා. මොකද මම පරිපාලන සේවා විභාගයෙන් පාස් වෙලා අම්පාර දිස්ත්‍රික් ඉඩම් නිලධාරි හැටියට පත්වීමක් ලැබුවා. වගකීම් සහිත සේවාවකදී නිවාඩු ගැනීමේ අපහසුතා තිබුණ නිසා මම තීරණය කළා රාජකාරියට බාධා නොවෙන විදිහට කටයුතු කරන්න. ඊට පස්සෙ ඒ චරිතය වෙනුවෙන් නිශ්ශංක දිද්්දෙනියව පුහුණු කළා. ඊට අවුරුදු 10 කට පස්සෙ මම නැවත ‘සිංහබාහු’ නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ යුව රජගේ චරිතය වෙනුවෙන්. 1979 ඉඳලා 1992 වෙනකල් මම රඟපෑවා.

චාලි රැඟුවේ වේදිකා නාට්‍ය හතරක පමණි. දික්තල කාලගෝල හි දික්පිටියා ලෙසත්, ශ්‍රීී වික්‍රම නාට්‍යයේ ඇහැලේපොල අදිකාරම් ලෙසත්, චෝර පබ්බත නාට්‍යයේ චෝරනාග ලෙසත් ඔහු රැඟුවේය.

‘වෘත්තීය නළුවෙක් නොවුණ එක ගැන අද යම් සතුටක් මට තියෙනවා. පොඩි කාලෙ මට ඕන වුණේ රඟපාන්න. ඒ අයියා රඟපෑව ‘සුජාතා’ චිත්‍රපටයෙ පොඩි ළමයගෙ චරිතය දැකලා. එතකොට මට අවුර ැදු 11 ක් විතර ඇති. අයියා ඒ දවස්වල ඉන්දියාවෙ හිටියෙ. මම ලියුමක් දැම්මා රඟපාන්න ඕන කියලා. අයියා කියලා එව්වා රඟපෑමට උගත්කමක් ඕන, එතකොටයි පිළිගැනීමක් තියෙන්නෙ. ඒ නිසා ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වෙන්න කියලා. මම 1956 දී පළවෙනි පංති සාමාර්ථයක් එක්ක ජ්‍යෙෂ්ඨය සමත් වෙලා ආයෙ ලියුමක් දැම්මා රඟපාන්න ඕන කියලා. එතකොට අයියා ලියලා එව්වා උපාධියක් තියෙන්න ඕන රඟපාන්න, දිලිප් කුමාර් පවා උපාධිධාරියෙක් කියලා. අයියා මාව කෙළින්ම නොකියා අධ්‍යාපනයට යොමු කළා. ඒ මගේ අනාගතය වෙනුවෙන්. විශ්ව විද්‍යාලයෙදි ඉන්දියානු ඉතිහාසය හදාරපු මට, ලංකාවෙ නැති සමහර පොත් ඉන්දියාවෙ ඉඳලා තැපෑලෙන් එව්වා. නළුවෙක් තුළ තිබුණ ආර්ථික අස්ථාවර බව අයියා අත්දැකීමෙන්ම දැනගෙන හිටියා. ඒ නිසයි ඔහු මාව ඉගෙනුමට යොමු කළේ.

ඔහු තම සහෝදරයා ගැන කතා කළේ ගෞරවයෙනි. චාලි වර්තමානයේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ඉඩම් භුක්තිය පිළිබඳ ජාතික උපදේශක ලෙස කටයුතු කරයි. අවසානයේ යළිත් චාලි සරච්චන්ද්‍රයන් පිළිබඳව හඬ අවදි කළේය.

වර්තමාන නාට්‍ය අතර සරච්චන්ද්‍ර කෙනෙක් පහළ වෙන්නෙ නැහැ. ඔහුම නැවත ඒ නමින් නූපන්නොත් පෙරදිග ශේක්ස්පියර්, ජපානයේ කුරසෝවා හා සංස්කෘත නාට්‍ය ලියූ කාලිදාසයන්ට පමණයි ඔහු සම කළ හැක්කේ.


No comments:

Post a Comment