2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday 7 November 2011

පීඩිත පන්තියේ තරුණයා සිනමාවෙන් මැවූ නළුවා - අමරසිරි කලංසූරිය

Author: Sunil Mihidukula
Date:03/11/2011
Source: Sarasaviya


අමරසිරි කලංසූරිය

රන්ජිත් පෙරේරා නම් වූ තරුණ සිනමාකරුවෙක් හැටේ දශකය මැද භාගයේදී පමණ ‘රැයත් දවාලත්’ නමින් මි. මී. 16 කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය.

අපේ රටේ කට පුරා හොඳ යැයි කිව හැකි සිනමාකරුවකු බිහි වීම තල මලක් පිපීම වැනි දුර්ලභ සිද්ධියක් යැයි ‘රැයත් දවාලත්’ චිත්‍රපටය වෙනුවෙන් මුද්‍රිත සමරු කළඹට ලිපියක් සපයමින් කියූ ප්‍රවීණ සිනමාවේදී තිස්ස අබේසේකර ’රැයත් දවාලත්’ තුළින් එබඳු තල මලක් පීදී එනු පෙනෙතැයි කියා සිටියේය.

හොඳ යැයි කිව හැකි සිනමාකරුවකු පමණක් නොව හොඳ යැයි කිව හැකි නළුවෙක් ද මේ චිත්‍රපටයෙන් බිහි වූයේය. ඔහු අමරසිරි කලංසූරිය යි. ඔහු පමණක් නොව පසු කලෙක රූපවාහිනි ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පිනියක වූ අනෝමා වත්තලදෙණිය (පෙරේරා) දොරට වැඩියේ ද ‘රැයත් දවාලත්’ තුළිනි.

1940 දී මහනුවර උපන් කලංසූරිය මුලික අධ්‍යාපනය ලැබුවේ ධර්මරාජ විදුහලෙනි. පාසල් අවදියේදී ඔහු මලල ක්‍රීඩාවට හා බොක්සිං ක්‍රීඩාවට විශේෂ සාමාර්ථයක් දැක්වූයේය. ජීවත්වීම උදෙසා විවිධ වෘත්තීන්හී යෙදුණු කලං සෙසු නළුවන්ට සාපේක්ෂව ගත්විට තරුණයකු වශයෙන් අනේක විධ දුක් ගැහැට විඳි අයෙකි. ඒ සකල විධ අත්දැකීම් පසු කලෙක ඔහු සිනමා රංගනයේදී මහෝපකාරී වූවාට නිසැකය.

පාසල් මිත්‍රයකුª වූ ආචාර්ය ධර්මසේන පතිරාජ මාර්ගයෙන් කලං ඊගාවට ‘හන්තානේ කතාව’ චිත්‍රපටයට සම්බන්ධ වූයේය. කලංට විජය කුමාරතුංග මුණ ගැසුණේ ‘හන්තානේ කතාවේ’දීය. එය දීර්ඝකාලීන සිනමා හා දේශපාලන මිතු දමක ආරම්භය වූයේය.

‘හන්තානේ කතාවේ’ රඟපාන අතරවාරයේ කලංට තවත් චිත්‍රපට දෙකක රඟපාන්ට අවස්ථාව ලැබුණේය. ඒ ‘අක්කර පහ’ හා ‘නිම් වළල්ල’ය. ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක රඟපෑ පළමු හා එකම අවස්ථාව ‘අක්කර පහ’ වූයේය.

කලංසූරිය ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් රඟපෑවේ ආචාර්ය ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව’ චිත්‍රපටයේය. ඔහු එහි රැකියා විරහිත නන්නත්තාර තරුණයන් දෙදෙනාගෙන් එකකු වූ විජේගේ චරිතය නිරූපණය කළේය. (අනික් චරිතය – ගුණේ ලෙස රඟපෑවේ විමල් කුමාර ද කොස්තාය).

අලුත් මුහුණකින් ද, අපූර්ව රංග ශෛලියකින්ද හෙබියා වූ නළුවෙක් අහස් ගව්වෙන්’ බිහි වූයේය. පෙනුමෙන් හා රංග ශෛලියෙන් කලං වඩාත් ළං වුයේ ප්‍රංශ නවරැල්ලේ ප්‍රකට නළුවෙක් වූ ශාන් පෝල් බෙල්මොන්ඩෝටය. ( ‘බ්‍රෙත්ලස්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ඔහුය).

රැලි කොණ්ඩය සහිත නළුවාගේ සම්මත ප්‍රතිරූපය කලං ‘අහස් ගව්ව’ හරහා එක රැයින් වෙනස් කළේය. කොණ්ඩය නොපීරූ, එය අවුල් කර ගත් නළුවෙකි අප මේ සිනමා පටයෙන් දුටුවේ. සිංහල සිනමාවේ තාරකා ප්‍රතිරූපයට කලං දැවැන්ත පහරක් එල්ල කළ ආකාරය පෙනී යයි. පසු කලෙක ලින්ටන් සේමගේ, ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර පෙරේරා, සෞම්‍ය ලියනගේ වැනි නළුවන් බිහිවීමට මූලික පදනම දැමුවේ එක් පැත්තකින් ජෝ අබේවික්‍රම වූ අතර අනිත් පැත්තෙන් කලංසූරි යැයි කීම නිවැරදිය.

‘අහස් ගව්වෙ’න් කලං මූර්තිමත් කළේ මෙරට පීඩිත පන්තියේ තරුණයාගේ යථාවිධ ප්‍රතිරූපයයි. ඔහු පසු කලෙක රඟපෑවේද එබඳුම ආකාරයේ චරිතය.

‘අපේක්ෂා’ චිත්‍රපටයේ ඉන්ධන පිරවුම් හලේ කම්කරුවා, ‘ඩොරින්ගේ සයනය’ චිත්‍රපටයේ නගර සභා කුණු ට්‍රැක්ටරයේ කම්කරුවා වැනි චරිත ඊට නිදසුන්ය. සමාජයේ පහළම අඩියේ රැකියා කිරීමෙන් ලද අත්දැකීම් මේ චරිත ප්‍රතිනිර්මාණය කිරිමේදී කලංට ප්‍රයෝජනවත් වූවා නොඅනුමානය.

‘අහස් ගව්වේ’ කලංගේ චරිතාංග නිරූපණය විචාරක ප්‍රශංසාවට නොමඳව ලක් වූයේය. 1975 වසරේ පැවති හත්වැනි විචාරක සම්මාන උළෙලේදී හොඳම නළුවා සඳහා වන සම්මානය පිරිනැමුණේ කලංටය. එහි හේතු පාඨයේ මෙසේ සඳහන්ව තිබිණි.

‘රංගනයේ සුගම බව, රම්‍යතාව හා අව්‍යාජත්වයත්, රඟපෑමෙහිලා ප්‍රකට කර ඇති යෞවන ලාලිත්‍යය හා සියුම් හැගුම්බර ජීව ශක්තියත් හේතු කොට ගෙන මේ වසරේ හොඳම රඟපෑම (නළු) සඳහා වන විචාරක සම්මානය ‘අහස් ගව්ව’ චිත්‍රපටයේ අමරසිරි කලංසූරියට පිරිනැමේ.’

‘අපේක්ෂා’ කලං පෙම්වතාගේ චරිතය රඟපෑ සුවිශේෂ චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ එක් තැනක පෙම්වතා පෙම්වතීව (මාලිනී ෆොන්සේකා) සිප වැළඳ ගන්නා ජවනිකාවක් එයි. එම දර්ශනය රඟපෑම කලං සුහදව ප්‍රතික්ෂේප කළේය.

‘මට පුළුවන්ද මාලිනීව ඉඹගන්න. මට හරි ලැජ්ජයි මාලිනීව බදා ගන්න. ඒත් මාලිනී කිව්වා ඇස් දෙක වහගෙන බදාගන්න කියලා. ඒත් ඒකත් මට කරන්න අමාරුයි.’

කලං ඒ සම්බන්ධයෙන් කියා ඇත.

පසුව එම දර්ශනයේදී කලං වෙනුවෙන් පෙනී සිටියේ චිත්‍රපටයේ කැමරා ශිල්පි ඩොනල්ඩ් කරුණාරත්නය. අදාළ දර්ශනය සහායක කැමරා ශිල්පියකු ලවා රූපගත කෙරිණි.

මෙම චිත්‍රපටයේම තවත් ජවනිකාවක සටන් දර්ශනයක් එයි. එය කලං හා රන්ජන් මෙන්ඩිස් අතර සිදු වන්නකි. එහිදී රන්ජන්ගෙන් පහර කන කලං රන්ජන්ට ප්‍රති ප්‍රහාරයක් දීම සඳහා කරන්නේ බිම වැටී ඇති ගලක් අහුලා ගැනීමයි.

‘මට පුළුවන්ද අරුත් එක්ක ගහගන්න’

කලං ඊට ප්‍රතිචාර දක්වමින් කියා ඇත.

‘අපේක්ෂා’ චිත්‍රපටයේ රඟපෑම සඳහා කලං ඉල්ලා සිටියේ රුපියල් තුන් දහස් පන්සීයක මුදලකි. එහෙත් පසුව ඔහුට දැනගන්ට ලැබුණේ එහි නිෂ්පාදකවරුන් රුපියල් 25 දාහක මුදලක් ගෙවා හෝ කලං ප්‍රධාන චරිතයට ගැනීමට සූදානම්ව සිටි බවකි.

‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ ද කලංගේ සාර්ථක රංගනයක් දැක්ක හැකිය. ඔහු එහි විජය කුමාරතුංග හා විමල් කුමාර ද කොස්තා සමඟ නිරුවතින් රඟපෑම සුවිශේෂත්වයක් වූයේය.

‘අනුපමා’, ‘පරිත්‍යාගය’, ‘සිංහබාහු’, ‘වජිරා’ ‘යස ඉසුරු’, ‘පූජා’ කලං රඟපෑ සෙසු චිත්‍රපට අතර වෙයි.

‘පොඩි විජේ’ චිත්‍රපටයේ ද කලංගේ චරිතාංග නිරූපණය ප්‍රේක්ෂක – විචාරක ඇගැයීමට ලක් වූයේය.

කලං පසු කලෙක ටෙලි නාට්‍ය රංගනයටද එක් වූයේය. මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය නළුවා ඔහු යැයි සිතමි. ඒ ප්‍රථම ප්‍රාසංගික ටෙලි වෘත්තාන්තය වූ ‘දිමුතු මුතු’ හී ප්‍රධාන චරිතය රැඟුවේ ඔහු බැවිනි.

කලං වේදිකා නාට්‍ය කීපයක ද රඟපා ඇත. ‘ගුවන් කරණම්’ ඔහු එලෙස රඟපෑ වේදිකා නාට්‍යයකි. එසේම ඔහු ‘සොල්දාදුවෝ’ යන නමින් වේදිකා නාට්‍යයක්ද නිෂ්පාදනය කර ඇත.

කලංසූරිය ‘පූජා’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවා සඳහා වන සරසවිය හා ජනාධිපති සම්මානයන්ද, ‘යසඉසුරු’ චිත්‍රපටය වෙනුවෙන් හොඳම සහාය නළුවා සඳහා වන ‘සරසවිය’ සම්මානය ද හිමිකර ගත්තේය. එසේම 1974 දීපශිඛා සම්මාන උළෙලේදී නව පරපුරේ නළු නිළියන්ගේ චරිතාංග නිරූපණයේ දක්ෂතා ඇගැයීම් වෙනුවෙන් ද ඔහු සම්මානයක් දිනා ගෙන ඇත.

1993 දී කොළඹදීත් ඊට දස වසරකට පසු රුහුණු විශ්ව විද්‍යාලයේ් කලං වෙනුවෙන් ප්‍රණාම චිත්‍රපට උත්සව සංවිධානය කෙරිණි. රුහුණු සරසවියේ පැවති ප්‍රාණාම චිත්‍රපට උළෙලේ ආරාධිත දේශනය කළේ සාහිත්‍යධරයකු හා කලා විචාරකයකු වන එරික් ඉලයප්ආරච්චිය. ඔහු එහිදී මෙසේ කියා සිටියේය.

‘අමරසිරි කලංසූරිය අයථාව (UNREAL) නමැති යථාර්ථය ස්පර්ශ කරමින් තරුණයාගේ සංඥාව සිනමා තුළ නිරූපණය කිරීම වෙනුවෙන් දංගෙඩියට හිස නැමූ නළුවෙකි. ඔහුගේ ආරම්භය ද අවසානය ද වැදගත්ය.’

1 comment:

  1. Very interesting artical. I think, for some reason we have lost the whole tough of realistic acting and filming in our film industry.

    ReplyDelete