2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday 7 November 2011

දඟයා සහ පුංචි අන්දරේ සමඟ යසෝදරා හා කුසුම්සිරි

Author: Thilani Shanika
Date:03/11/2011
Source: Sarasaviya

යශෝධරා සරච්චන්ද්‍ර සහ කුසුම්සිරි ලියනාරච්චිගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන ‘දඟයා සහ පුංචි අන්දරේ’ මෙම මස 05 හා 06 යන දිනයන්හි ලයනල් වෙන්ඩ්ට්හිදී වේදිකා ගතවේ. මේ ලිපිය සැකසෙන්නේ ඒ වෙනුවෙනි.

යශෝධරා මීට ඉස්සර නම් දඟකාරියක්. මේ දඟ කෙල්ල තාත්තගේ අතේ එල්ලිලා ගියේ ‘මනමේ’ බලන්න. ‘මනමේ’ රඟපාන නාට්‍ය කණ්ඩායම නාට්‍ය පුහුණු වෙනවා. යශෝධරාත් මේ රංගන ශිල්පීන් - ශිල්පිනියන් රඟපාන විදිය බලාගෙන ඉන්නේ තාත්තට හේත්තුවක් දාලා. ඒ විතරක් නෙමෙයි මේ පුංචි දූ සින්දු තාලයට අපූරුවට තාල අල්ලනවා. ඒ වගේම ඒ ගීත මුමුණන්නේ බොහොම හෙමින්. මෙහෙම හිටිය යශෝධරාට මනමේ කුමාරි වෙන්න ලැබෙන්නේ හදිස්සියේම. වසර දහතුනක් පුරාවට මනමේ කුමාරිගේ චරිතයට පණ පොවන යශෝධරා සරච්චන්ද්‍ර විදේශ ගත වෙන්නේ මේ අතරෙදියි. 1956 දී ‘මනමේ’ නාටකය රැගෙන එමින් නාට්‍ය කලාවේ අපූරු වෙනසක් කළ එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ බාලම දෝණි වුණු යශෝධරා නැවතත් ලංකාවට ඇවිල්ලා. ඒ ‘දඟයා සහ පුංචි අන්දරේ’ ඔබට තිළිණ කරන්නයි. යශෝධරාට සහාය වෙන්නේ ඇගේ සැමියා කුසුම්සිරි ලියනආරච්චි. ඔවුන් දෙදෙනාගේම දහඩිය මහන්සියෙන් නිමවුණු ‘දඟයා සහ පුංචි අන්දරේ’ ගැන ඔවුන් කිව්වේ මේ වගේ කතාවක්.

‘දඟයා හා පුංචි අන්දරේ කියන්නේ මේ වෙනකොට ඔස්ට්‍රේලියාවේදිත් රංග ගතවන නාට්‍ය නිර්මාණ දෙකක්. මේ නිර්මාණ වේදිකාවට රැගෙන එන්න මූලික වුණේ මමත් යශෝධරාත් ඔස්ට්‍රේලියාවේ වගේම නවසීලන්තයේදී ළමයින් වෙනුවෙන් කළ වැඩමුළු කිහිපයක ප්‍රතිඵලයක්. එහේදි ළමයින් වෙනුවෙන් කළ ඔවුන්ට අත්දැකීමක් ලැබුණු මේ කාර්යය ලංකාවේ වෙසෙන ළමයින්ටත් දයාද කළ යුතුයි කියලා අප දෙදෙනා තීරණය කළා. එහි ප්‍රතිඵලයක් විදියටයි මේ ළමා නාට්‍ය ද්විත්වය ලංකාවට පැමිණෙන්නේ. එහේදි මේ චරිත රඟපෑවේ ළමයි. නමුත් ලංකාවේදී අපට මේ නිර්මාණය කරන්න වෙන්නේ වැඩිහිටියන් විසින් ළමුන් උදෙසා කරන නාට්‍ය මාධ්‍යක් ලෙසයි. මේ නිර්මාණය සඳහා රංගනයෙන් පළපුරුදු රංගන ශිල්පීන් වුණු සුනිල් තිලකරත්න, ජයනාත් බණ්ඩාර වගේ වැඩිහිටියන් වගේම විස්සක් විසි පහක් තරම් වයසේ සිටින තරුණ ළමයි විසි දෙනෙක් පමණ මෙහි රඟපානවා.

මේ නාට්‍ය ද්විත්වය ළමා නාට්‍ය ගණයට ද අයත් වෙන්නේ?

‘ළමා නාට්‍යවල ප්‍රභේද කිහිපයක්ම දකින්න පුළුවන්. ළමයින් උදෙසා ළමයින් විසින්ම කරන නාට්‍ය, වැඩිහිටියන් හා ළමයින් කියන දෙපිරිසගේම එකතුවෙන් කෙරෙන නාට්‍ය හා වැඩිහිටියන් විසින් ළමයින් උදෙසා කරන නාට්‍ය ලෙසයි. බොහෝ දෙනෙක් වරද්ද ගන්නා තැනක් තමයි මේ. ළමා නාට්‍යයක් කියද්දී කෝ මේකේ ළමයි කියලා හොයනවා. නමුත් බටහිර රටවල වඩාත් ප්‍රචලිත ක්‍රමය විදියට අප දකින්නේ වැඩිහිටියන් විසින් ළමයින්ට කරන නාට්‍යයි. යශෝධරා ද සිය කතාබහට හවුල් වෙයි.

‘ප්‍රේක්ෂාගාරය ළමයින්ට විතරක් සීමා වෙන්නේ නැහැ. මොකද ලංකාව වගේ රටක ඔවුන් සමඟ වැඩිහිටියන් ද පැමිණෙනවා. එතකොට මේ ළමා නාට්‍ය බලන්නේ දෙපිරිසක්. දෙපිරිසටම සරිලන ආකාරයෙන් රස විඳිය හැකි ආකාරයෙන් මේ නාට්‍ය නිර්මාණය වීමත් විශේෂත්වයක්.’

දඟයා නිර්මාණය වීම පිටුපස කුසුම්සිරිට ඇත්තේ අපූරු කතාවක්.

‘දඟයා නිර්මාණය වෙන්න ප්‍රධාන හේතුව වුණේ අපේ පුංචි පුතායි. ඔහු වයස අවුරුදු තුනක් වගේ කාලයේ මම පුංචි අවවාදයක් දුන්නට පස්සේ එයා මගෙන් අපූරු කතාවක් අහනවා. ‘ඇයි මම තාත්තා කියන දේ අහන්න ඕන’ කියන ප්‍රශ්නය ගැන මා හිතනවා. මෙන්න මේ ප්‍රශ්නය තමයි දඟයා නිර්මාණය කරන්න අවශ්‍ය වස්තුªබීජය සැපයුවේ. ඇයි ඔවුන් මව්පියන් කියන දේ අහන්න ඕන කියන කාරණයට ළමයින්ගේ අවධානය යොමු කරන්නට ඔවුන්ගේ මනස විවර කරන්නට දඟයා හරහා අපි උත්සාහයක යෙදෙනවා. ඒ අදහස සෞන්දර්යාත්මකව ඉදිරිපත් කිරීමට අපි සිතුවා. ‘පුංචි අන්දරේ’ නාට්‍යයේදී සිදු වෙන්නේ අන්දරේගේ ළමා කාලයේ හා වැඩිහිටි කාලයේ සිදුවුණු කතන්දර කිහිපයක් නාට්‍යානුරූපීව ඉදිරිපත් කිරීමයි. ඒ වගේම මේ නාට්‍යවලදී අපි නිතරම උත්සාහ ගත්තේ සරච්චන්ද්‍රයන්, දයානන්ද ගුණවර්ධන, ජයලත් මනෝරත්නයන් වැනි නාට්‍යකරුවන් බිහි කළ අපේකම රැගෙන ආ ශෛලියකින් යුක්ත හැඩහුරුවකින් මේ නාට්‍ය ඉදිරිපත් කරන්නයි.’

ළමයින්ගේ සිත් ඇද ගන්නා සුළු අයුරින් නිමවුණු දඟයා හා පුංචි අන්දරේ හි සංගීතය පිළිබඳත් අපි කතා කළ යුතුයි. එහි සංගීත නිර්මාණය කර ඇත්තේ යශෝධරා සරච්චන්ද්‍රයි.

‘ළමා නාට්‍යවලට සංගීතය නිර්මාණය කළේ හරිම සරල ආකාරයෙන්. ලාංකේය අනන්‍යතාවය රැෙඳන අයුරින් අපේකම රැකෙන අයුරින් සංගීතය නිර්මාණය කරන්න මා උත්සාහ ගත්තා. මේ සඳහා යොදා ගත්තේ යක් බෙර වගේම මද්දලයත්. නර්තනය, ගායනය වැනි දේ ඔස්සේ මේ නාට්‍ය තවත් සුන්දර වෙනවා.

විශේෂයෙන්ම ළමා නාට්‍ය කියලා කිව්වොත් බොහොම දෙනෙක් හිතන්නේ ළමයින්ට පාඩම් උගන්වන්න තනන නාට්‍යන් විදියටයි. එහෙම දෙයක් කරනවාට වඩා මේ නාට්‍යය ඔස්සේ ප්‍රේක්ෂකාගාරයේදී ළමයින්ට සෞන්දර්යාත්මක අත්දැකීමක් ලබා දෙන්නා අපි උත්සාහ කළා.

මේ නාට්‍ය සඳහා රංගනයෙන් සුනිල් තිලකරත්න, ජයනාත් බණ්ඩාර වගේම ප්‍රදීප්, ප්‍රමිල, කැලුම්, මධුරංග, නදීෂා, රුචිර, හිමාෂි, නදීකා, විශ්ව, රන්දිකා, සචිත්‍රි, දේවින්ද, අකලංක, දුලංජන්, සවිත්‍ර, ලක්ෂ්මි, චමින්ද, මනීෂ, දිනූෂි, දර්ශන, රංගනයෙන් සහාය වෙනවා. විශ්ව තිලකරත්නගේ අංග රචනයෙන් සහ වසන්ත කුමාරගේ රංගාලෝකයෙන් වගේම හිමාෂි සහ දර්ශනගේ වේදිකා පරිපාලනයෙන් මේ නාට්‍ය එදාට සුන්දර වේවි. සංගීතය මෙහෙයවීමෙන් ශාන්ත පීරිස් උදවු වෙනකොට නිෂ්පාදන අනුග්‍රහය දරන්නේ නිර්මලා මගිනාරච්චියි. මේ සියලු සංවිධාන කටයුතු කරන්නේ ජූඩ් ශ්‍රීමාල්. මේ හැමෝගෙම එකතුවෙන් එදාට එළි දකින ළමා නාට්‍ය බලන්න ඔබත් එන්න.


No comments:

Post a Comment