Date:12/06/2011
Source: Silumina
වත්මන් නාට්‍ය ක්ෂේත්‍රයේ සක්‍රීය ව නිර්මාණකරණයේ යෙදී සිටින ප්‍රවීණතම නාට්‍යවේදියා ජයලත් මනෝරත්නයන් ය.
මනෝගේ නාට්‍යවල ඇත්තේ ඔහුට ම ආවේණික අනන්‍යතාවකි. ඔහු තම නාට්‍යවලට තේමාව කොට ගත්තේ වෙනත් නාට්‍යකරුවන් නොදකින වස්තු බීජයන් ය. විසල් වූ නුග ගසක් දකින ඔහු එය සංකේතවත් කොට විශාල සමාජ පෙරළියක් ගැන කථා කළේ ය. සුදුරෙදි හොරා නැමැති කලාතුරකින් දකින කුරුල්ලා සමාජ ශෝදනය නැමැති ඔහුගේ සන්දේශය ගෙනයාමට ආධාරකර ගත්තේ ය. තවත් අවස්ථාවක සුප්‍රසිද්ධ කවියකුගේ නිබන්ධන ආශ්‍රයෙන් ලෝකය තනි යායක් කිරීමට තැත් කළේ ය. ඔහු තෝරාගන්නා අනුවර්තන ද එසේ ම ය. බූරුවා මහත්තයා යැයි කී පමණින් ම ඔහුගේ අනන්‍යතාවය පෙන්නුම් කරයි.
දේශීයත්වය, අපේකම, මිනිස්සාර ධර්ම ඇඟයීම, සමාජ අවගුණයන් දැඩි ලෙස පිටුදැකීම මෙන් ම යහපත් ගුණධර්ම කියාදීම, ඔහුගේ නාට්‍යවල ඇති සුවිශේෂ ලක්ෂණයකි. ඔහුගේ නව නිෂ්පාදනය වන ‘බූරුවා මහත්තයා’ නාට්‍යයේත් ආරම්භයේ සිට ම ඔහු සුපුරුදු උපහාසාත්මක ප්‍රහාරය පටන්ගනී. බූරුවා තම හාම්පුතාට සිදුවූ දුක්ගැනවිල්ල කීමට වගකියයුත්තන් වෙත යයි. එහිදී ඔහු නිලධාරීන්ගේ දුර්වල, අකාර්යක්ෂමතාවය, අමනෝඥභාවය, බූරුවා මඟින් ඉදිරිපත් කරයි. ඔවුන්ගෙන් තම කාර්යය ඉටු නොවූ තැන බූරුවා රටේ ප්‍රධානියා වන නේරුතුමා වෙත යයි. නේරුතුමා ද ඔහුගේ ප්‍රශ්නයට නිසි විසඳුමක් නොදුන් නමුත් නිහතමානී ව ඔහු පිළිගෙන කථා බහේ යෙදේ.
නේරුතුමාගේ සැලකිල්ලට හසු වූ බූරුවා ළං කරගතහොත් තමන්ගේ ජාවාරම් කරගත හැකි යැයි සිතූ ප්‍රභූපෙළැන්තිය බූරුවාට කරන සත්කාරය මේ නාට්‍යයේ ප්‍රධාන අංගයක් වේ. වත්මන් සමාජයේ මැති ඇමැතිවරුන්ගේ ඇසුරට වලිකන ජාවාරම්කාර සමාජ ස්තරය මනෝ මේ මඟින් දැඩි උපහාසයට ලක්කරයි. අවසානයේ මනුෂ්‍යාට වඩා බූරුවා නැණවත් බව මෙන් ම ගුණගරුක බව ද හුවා දක්වමින් මුළු මිනිස් වර්ගයා ගේ ම දුර්වලතාවයන්ට දැඩි උපහාසාත්මක ප්‍රහාරයක් එල්ල කරයි. මනෝ තම පරමාර්ථය ඉටුකර ගැනීමට තෝරා ගත් මේ අනුවර්තනය ඔහුගේ නාට්‍යමය ආකෘතිය හා හොඳීන් ගැළපී ඇත.
මනෝගේ බූරුවා මහත්මයා නාට්‍යයේ මුල් කොටසේ අවස්ථා පෙළගැස්ම සහ හාස්‍යෝත්පාදනය ඉතා හොඳින් ඉටු කෙරෙන අතර පසු කොටසේ යම් දුර්වලකමක් සහ ඒකාකාරී බවක් පෙන්නුම් කරයි. බූරුවා මෙන් රංගනයේ යෙදෙන මනෝ ඉතා ප්‍රබල දායකත්වයක් ලබාදෙයි. ඉන්දියානු පසුබිමකින් යුත් මේ කථාවේ රංග වස්ත්‍ර නිර්මාණය ඉතා කදිමට අවශ්‍ය පරිදි ඉටු කර ඇත. වෙනත් නාට්‍යවල මෙන් ම මනෝ ඉතා සාර්ථක රංගෝපා ක්‍රමයන් මැනවින් යොදාගෙන ඇත. ගීතමය ස්වභාවයකින් ඉදිරිපත් කරන නාට්‍යය සමත් ලෙනින් ඇතුළු ගීත වෘන්දයේ ගීතමත් භාවයෙන් ප්‍රේක්ෂක සිත් සතන් පිනවීමට සමත් විය.
ලෝකයේ බොහෝ නාට්‍යකරුවන් එක්තරා ආකාරයක සමාජ ශෝදකයන්ය. මනෝ රත්නයන් එවැන්නෙකි. නාට්‍යකරුවකු එවන්දේම පරමාර්ථ කොටගෙන නිර්මාණයේ යෙදෙන විට එහි කලාත්මක ගුණය ගිලිහී යයි ද යන ප්‍රශ්නය මනෝගේ අවසන් නාට්‍ය කිහිපයෙන් මතුවේ. මනෝගේ නාට්‍යය මුල සිට අග දක්වා ම කම්මැළිකමක් නැතිව ප්‍රිය මනාප භාවයකින් රස විඳිය හැකි බව සත්‍යයකි. ඔහු ඒ සඳහා සුපුරුදු හාස්‍යෝත්පාදක ගීතය, නර්තනය, යොවුන් බව, කවිය, සාහිත්‍ය, ඈ බොහෝ විලාසිතා උපයෝගි කොට ගනී. එහෙත් ඔහුගේ පසුකාලීන නාට්‍යවල මෙතුන් විලාසිතාවන් කැපී පෙනුණ ද නාට්‍ය පෙළගැස්ම එක්තරා ප්‍රමාණයකින් දුර්වල වූ බවක් පෙනේ.
ඇතැම්විට ඔහුගේ පරමාර්ථය ඉටුකර ගැනීමට අනවශ්‍ය සිදුවීම් ද බලහත්කාරයෙන් ඔහු නාට්‍ය පෙළට එකතු කරයි. ඇතැම් අවස්ථාවල ඔහු පන්තියක ශිෂ්‍යයන්ට ගුරුහරුකම් ලබාදෙන්නාක් මෙන් නාට්‍ය නැරඹීමට එන ප්‍රේක්ෂකයන්ට ද ගුරුහරුකම් උගන්වයි. ගුරුතරුවේ ඔහු සෑම කවියකම ඓතිහාසික පසුබිම එහි අරුත කාලවකවානු ඇතුව තේරුම්කර දෙයි. සුදු රෙදි හොරා නාට්‍යයේ ද ඔහු එම කාර්ය වී ආකාරයෙන් ම කරයි. බූරුවා නාට්‍යයේ රූප රැජින තරගයේ බූරුවා කරන දේශනය ද එවන් ඉගැන්වීමකි. නාට්‍යයක චරිතාංග සහ අවස්ථා මඟින් ප්‍රේක්ෂකයා ව දැනුම්වත් කළ හැකි ය. චරිතාංග මඟින් පන්ති පැවැත්වීම තවත් එකකි. මනෝ තම පසුකාලීන නාට්‍යවලින් මේ දෙක ම කළේ ය. මනෝ ගේ නාට්‍යවල මෙවන් සුළු සුළු අඩුපාඩු ඇත්තේ ඔහු තම නාට්‍යයන් මඟින් සහ සමාජයක් ගොඩනැඟීමට කරනු ලබන ප්‍රයත්නය නිසා විය හැකි ය.
කෙසේ වෙතත් ඔහු ප්‍රවීණතම නාට්‍යකරුවා මෙන් ම ප්‍රේක්ෂක ආදරය දිනාගත් නාට්‍යකරුවා ද වේ. ඔහුගේ නාට්‍ය කැලැඹීමට අදත් රංග ශාලා පිරී ඉතිරී යන ප්‍රේක්ෂක පිරිසක් පැමිණේ. එයත් ඔහුගේ නාට්‍යවල සාර්ථකත්වයකි. අසම්මත ලිංගික සම්බන්ධතා, සමලිංගික සම්බන්ධතා තේමාව කොටගත් පරිවර්තන නාට්‍ය දිගින් දිගටම බිහිවන කලෙක මනෝ වැනි අප සංස්කෘතික සමාජ ලක්ෂණ තේරුම්ගත් නිර්මාණකරුවකු අතින් සිදුවන්නේ මිල කළ නොහැකි අගනා සමාජ මෙහෙවරකි.
Monday, 13 June 2011
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment