2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday, 13 June 2011

සුභාවිත ගී ගැයූ ස්වතන්ත්‍ර ශිල්පීන් අද අතරමං වෙලා - රෝහණ බැද්දගේ

Author: Nuwan Nayanajith Kumara
Date:12/06/2011
Source: Silumina

මෙරට ජන සංගීතයේ හා ජන නළුවේ ප්‍රගමනයට අනන්‍යසාධාරණ, ප්‍රගල්භ මෙහෙවරක් ඉටු කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, චාර්ලිස් ද සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේ, දයානන්ද ගුණවර්ධන, ඩබ්ලිව්.බී. මකුලොලුව, එච්.එච්. බණ්ඩාර, සී. ද එස්. කුලතිලක, ලයනල් රන්වල, ඇලෙක්ස් ගුණසේකර බඳු මහා කලාකරුවෝ කයෙන් අප හැර ගොස් සිටිති.



සිව් දශකයකටත් වැඩි කලක් පුරා ජන සංගීතයට ජන නළුවට කෘතහස්ත මෙහෙවරක් ඉටු කළා වූද පෙර කී කලාකරුවන් සමඟ ද අනුප්‍රාප්තික ව හා සමකාලීන ව නිර්මාණකරණයෙහි නියැළුණු තත් ක්ෂේත්‍රයෙහි අද අපට සිටින ජ්‍යේෂ්ඨයා රෝහණ බැද්දගේ ය. රූපණවේදියකු, ප්‍රයුංජකයකු, ගේය පද රචකයකු, නර්තන ශිල්පියකු, ගායන ශිල්පියකු, වාදන ශිල්පියකු, කථා රචකයකු, ගාන්ධර්වයකු, පර්යේෂකයකු ඈ කලා කෞශල්‍යයන් ගණනාවකින් සමලංකෘත ඔහු මඳ කලකට පසුව සිංහල සාම්ප්‍රදායික සංගීතමය ස්වතන්ත්‍ර නළුවක් සහෘදයන්ට තිළිණ කිරීමට පෙර මඟ බලා සිටී. “රාලහාමි” නම් වූ මේ අභිනව ජන නළුව මේ මස 17 වැනිදා පස්වරු 6.30 ට කොළඹ ලුම්බිණි රඟහලේ වේදිකා ගත වීමට නියමිත ය.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන යන ශ්‍රේෂ්ඨ නාට්‍යවේදීන් සේවනය ඔබගේ නිර්මාණ දිවියට මුල් යුගයේ මහත් අඩිතාලමක් වූ බවට සැකයක් නැහැ. අනෙක මකුලොලුව මහතාගේ “දෙපානෝ” නාට්‍යයටත් ඔබ දායක වුණා.

”මුල් යුගයේ සිටම මා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවලට සම්බන්ධ වුණා. “මනමේ” නාට්‍යයේ මා බටනළා වාදනය කළා. එච්.එච්. බණ්ඩාරයනුත් මා ඒ කාලයේම හඳුනාගෙන හිටියා. එවකට සරච්චන්ද්‍රයන් මෙහෙය වූ නාට්‍ය පාඨමාලාවත් මා හැදෑරුවා. ගමේදී ඔය වෙසක් කාලෙට, සිංහල අවුරුදු කාලෙට ටීටර් නැටුවා.

ගමේ තිබූ කෝලම්, සොකරි, බලි තොවිල්, ගම් මඩු, දෙවොල් මඩු ආදීයෙහි නාට්‍ය ලක්ෂණ තිබුණා. මේවා බොහොමයක් හුදෙක් ශාන්තිකර්ම ලෙසම සලකන්න බැහැ. මේ ජන නාට්‍යවලට විවිධ අංශයන්ගෙන් සම්බන්ධ වීමෙන් හොඳ පළපුරුද්දක් මට ලැබුණා. ජන ජීවන රටාවෙන්, කෘෂිකර්මයෙන් හා පන්සල ආශ්‍රයෙන් මා බොහෝ දෑ උකහා ගත්තා. පන්සලේ පෙරහැරත් මෙහිදී බලපෑවා. මෙසේ ගමෙන් ලැබූ අවිධිමත් අධ්‍යාපනයත් 60 දශකයේ සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍ය පාඨමාලාවෙන් ලැබුණු විධිමත් අධ්‍යාපනයත් එකට මුසු වුණා.

එනම් ගම ඇසුරෙන් මා ලැබූ අත්දැකීම්වලට ශාස්ත්‍රීය දැනුමත් එකතු වුණා. ඩබ්ලිව්.බී. මකුලොලුව මහතාගේ නාට්‍යවලට විශේෂයෙන් “දෙපානෝ” ජන නාට්‍යයට දායක වීමෙන් මගේ දැනුම වර්ධනය වුණා. දයානන්ද ගුණවර්ධනයන්ගේ “ජසයා හා ලෙන්චිනා” නාට්‍යයේ පිටපත රචනා කළේ මායි. ගුවන් විදුලියේ මේ නාට්‍යය තැටිගත කළ අවස්ථාවේ එය ආරම්භ වූයේ “රෝහණ බැද්දගේගේ උපදෙස් පරිදි දයානන්ද ගුණවර්ධන නිෂ්පාදනය කළ ජසයා හා ලෙන්චිනා” යන දයානන්ද ගුණවර්ධනයන්ගේ ම සඳහනෙන්.

වේදිකා නාට්‍යයක ස්වරූපය ගැන බොහෝ දැනුම් සම්භාරයක් ඔහුගේ ඇසුරෙන් මට ලැබුණා. අනෙක මා නැටුම් ගුරුවරයෙක්. නැට්ටුවෙක් වේදිකාවට ආවාම හැසිරිය යුතු ආකාරය එනම් තනියම නටද්දී, දෙන්නෙක් නටද්දී, තුන්දෙනෙක් නටද්දී, සමූහයක් නටද්දී යන අවස්ථාවල නළුවකු වේදිකාව පරිහරණය කළ යුත්තේ කෙසේදැයි මා ඉන් වටහා ගත්තා.”

කලකින් පසුව අපි දකින ඔබගේ අභිනව නාට්‍ය නිර්මාණය වන “රාලහාමි” ද ජන මූලාශ්‍ර ආශි‍්‍රත නාට්‍යයක්.

”භාෂා සාහිත්‍ය පිළිබඳ මා ලබා තිබෙන දැනුම මෙහි පිටපත් රචනයේදී උපයුක්ත වුණා. ගීත රාශියක් මීට ඇතුළත් වෙනවා. මෙහි නර්තන නිර්මාණයත් මගෙයි. මා විධිමත්ව හැදෑරුවේ උඩරට නර්තනයයි. පහත රට නැටුම් ගමෙන්ම අවිධිමත් ලෙස පුහුණු වුණා. මෙය දේශීය සාම්ප්‍රදායික ස්වතන්ත්‍ර නාට්‍යයක්. මට අවශ්‍ය වූයේ අපේ සාම්ප්‍රදායික ජන නාට්‍ය සම්ප්‍රදාය ඔස්සේ නූතන නාට්‍යයක් නිර්මාණය කිරීමටයි. ජන නාට්‍යයක් සිංහල වේදිකාවේ දකින්න ලැබෙන්නේ කාලයකට පසුවයි.

මාත් මෙබඳු නාට්‍යයක් නිර්මාණය කළේ කලකට පසුවයි. “රාලහාමි” නාට්‍යයෙන් එක් අතකට ප්‍රේක්ෂකයාට අධ්‍යාපනයක් ලැබෙනවා. කොහොමද මේ නාට්‍යය නිර්මාණය කරලා තිබෙන්නේ? ගීත, නර්තනය යොදා ගෙන ඇත්තේ කෙසේද? යන කරුණු මෙමඟින් හදාරන්න ප්‍රේක්ෂකයාට අවස්ථාවක් ලැබෙනවා. ජන ජීවන රටාවේ විවිධ සංසිද්ධීන් මෙයට ඇතුළත් වෙනවා. “මාතෘ ප්‍රේමය හා දරු ප්‍රේමය එක් වූ තැනදී ලෝකය ඉතා සුන්දර තැනක් වේය” යන පණිවුඩය මේ නාට්‍යයේ සමස්තයෙන් කියැවෙනවා. ළමයින්ට මේ නාට්‍යයෙන් අධ්‍යාපනක් ලැබේවි. වැඩිහිටියනුත් එක සේ රස විඳී යැයි මා සිතනවා. මේ නාට්‍යයේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, පිටපත, නැටුම් නිර්මාණය හා සංගීතය මගේ.”

නළු නිළියන් හැසිරවීමේදී ඔවුන් රඟපෑ යුතු ආකාරය ඔබ රඟපෑමෙන්ම පෙන්වා දෙන බව ප්‍රකට කරුණක්.

”ඔව්. මාත් නළුවෙක් නිසා එහෙම වෙන්න ඇති. මා රඟපාලයි ඔවුන්ට රඟපාන හැටි උගන්වන්නේ. මම බෙරය වාදනය කරල එය වයන ආකාරය උගන්වනවා. මම නටලා පෙන්වලා නටන හැටි උගන්වනවා. මම ගායනය කරල ගයන හැටි උගන්වනවා. මේ නාට්‍යය මා නම් කොට තිබෙන ආකාරයෙන්ම “රාලහාමි” වටා තමයි ගොඩැනඟෙන්නේ. බන්දුල විජේවීර තමයි මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ. පළපුරුදු, නවක නළු නිළියන්ගේ මුසුවක් මෙහි දකින්න ලැබේවි. ප්‍රේක්ෂක රස වින්දනය එක් එක් කාලයට නොයෙක් අංශයන්ට නැඹුරු වෙනවා. අද වැඩි වශයෙන් ප්‍රේක්ෂකයන් නිවසට වෙලා රූපවාහිනි ටෙලි නාට්‍ය නැරඹීමට වඩාත් නැඹුරව සිටින බව පෙනෙනවා. එය වේදිකාවේ ප්‍රේක්ෂකාගාරයට බලපෑමක් ඇති කොට තිබෙනවා. නමුත් ඉඳහිට හෝ හොඳ වේදිකා නාට්‍යයක් ආවාම එය නරඹන ප්‍රේක්ෂක පිරිසක් අපට සිටිනවා. සමහර හොඳ නාට්‍ය නැරඹීමට කුතුහලයකින් පැමිණෙන නව පරපුරේ ප්‍රේක්ෂක පිරිසක් ද සිටිනවා.”

ඝෝෂාකාරී ස්වරූපයෙන් ගීත රැප් කොට ගයන සුකිරි බටිල්ලන් හා මොඩ් ගොවියන් හිටි ගමන් ජන සංගීතයට බැහැලා ඒවා විකෘති කිරීම අද දකින්න ලැබෙන ඛේදනීය තත්ත්වයක්. මොවුන්ගේ අරමුණ වන්නේ විදේශයෙන් ආනයනය කළ ජනපි‍්‍රය සංස්කෘතිය හා මෙරට උරුමයක් වූ පොදු ජන සංස්කෘතිය යනු එකක්ය යන මිථ්‍යාව කුළුගැන්වීමයි.

”අපේ පාරම්පරික ජන සංගීතය, ජන සංස්කෘතිය නිර්මාණ සඳහා යොදා ගන්නේ කෙසේදැයි අපි නව පරපුරට කියා දෙන්න ඕනෑ. ජන ගීතයත් විකෘති නොකොට ආකර්ෂණීය ලෙස සහෘදයන්ට තිළිණ කරන්නේ කෙසේදැයි නව පරපුර හැදෑරිය යුතුයි. ප්‍රකෘතියකින් පවතින මොනම කලා සම්ප්‍රදායක්වත් විකෘති කරන්න වටින්නේ නැහැ. අනවසරයෙන් කිරීම කොහෙත්ම වටින්නේ නැහැ. මේවා ඉවක් බවක් නැතුව කරන කොල්ලන්ගේ වැඩ. මේ “කොලුකම” සමාජයට හිතකර දෙයක් නොවේ. එය හිතුවක්කාර වැඩක් නිසා නිතරම ප්‍රතික්ෂේප වෙනවා. මේ නව පරපුරට නිසි හැදියාවක් ලැබුණේ නැහැ. දෙමවුපියන් යටතේ දරුවෙක් හැදෙන්න ඕනෑ. ඔය මානව හිමිකම් ඉදිරියට දාලා දූ දරුවන්ට ඕනෑ හැටියට හැදෙන්න ඉඩ දීමෙන් අපේ දරු පරපුර විනාශ වුණා. අපට තියෙන්නේ පෙරදිග සංස්කෘතියක්. විනය, හැදියාව, ආචාර ධර්ම පද්ධතියක් අපට තිබෙනවා.

හැදෙන පරම්පරාවේ බහුතරය මේ ආචාර ධර්ම ගැන මොනවත් දන්නේ නැහැ. ළමයකුට දෙමවුපියන් යමක් “එපා” කීවොත් එය නැවැත්වීමට ඔවුන් සූදානම් නැහැ. එදා අපි කුඩා කාලෙ වැඩිහිටියන් එපා කී දෙයක් කළොත් දඬුවම් ලැබුණා. අපි සමාජයට යහපත් පුරවැසියන් වූයේ දෙමවුපියන්, ගුරුවරු දුන් අවවාද, උපදෙස් පිළිපැදලයි. අප කිසිම දරුවකුට, ශිෂ්‍යයකුට වැරදි ආකල්ප දෙන්නේ නැහැ. මා ඉගැන්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කියාවි ඔවුන්ට අපි ලබා දුන් ගුරුහරුකම් ගැන. නමුත් අද තරුණ පරපුරේ බහුතරයකට ශික්ෂණයක් නැහැ. තමන් කරන කියන දේ ගැන කිසිම අවබෝධයක් නැහැ. කරන්නන්වාලේ වැඩ නොකොට නිවැරදි හැදෑරීම වැදගත්. කාලානුරූපව වෙනස්කම් ඇති කිරීමට පෙර ජන සංගීතය නිසි ලෙස හැදෑරිය යුතුයි. ජන සංගීතය මුදලාලිලාට ලාභ උපයන්න තිබෙන වෙළඳ භාණ්ඩයක් නොවන බව වටහා ගැනීම වැදගත්.”

මෙරට ගීතයේ ප්‍රමිතිය රැක ගැනීමටත් බුද්ධිමය දේපළ පනතේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමටත් ඔබ වරින්වර හඬ නැඟුවා.

”ඔව්. මා ඒ ගැන බොහෝ දේ කතා කළා. අපි සමාජයට මේවා පෙන්වා දෙනවා. නමුත් කියන වෙලාවේ හොඳට ඇහුම්කන් දෙනවා. පසුව තුට්ටුවකටවත් ඒ ගැන සලකන්නේ නැහැ. මේ නිසා කිසිවක් ක්‍රියාත්මක කිරීමට අපට බැරි වුණා. මුළු ලෝකයේම බුද්ධිමය දේපළ පනත හොඳින් ක්‍රියාත්මක වෙද්දී මේ රටේ ඒ ගැන කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැහැ. අනුන්ගේ ගීතයක් ගයලා එක රැයෙන් සුපිරි තරුවක් වෙන්න අද කොල්ලෙකුට පුළුවන්. අනෙක ගීත විකෘත කරනවා. පිරිමි ගැහැනු හඬින් ගීත ගයනවා. මේ කිසිම වැරැද්දකට බාධාවක් නැහැ. නොදැනුම්වත්කමට වඩා මේ රටේ තියෙන්නේ නොසැලකිල්ලයි.”

මේ රටේ සුභාවිත ගීතයේ ප්‍රගමනය අද මුළුමනින්ම ඇණ හිටලා. ඒ සඳහා බටහිරෙන් මෙරට තෙල දසුනට බෝවූ “ඊනියා යථා දර්ශන” (Reality shows) නමැති වසංගතය බලපෑ බව සත්‍යයක්.

”පැහැදිලිවම. මේ ‘රියැලිටි’ වැඩසටහන් ඔස්සේ කිසිම තරුණයකුට, තරුණියකට යහපතක් සිදුවන්නේ නැහැ. අන්‍යයන්ගේ ගීත හොඳින් ගැයූ ආධුනිකයන්ට නුසුදුසු වටිනාකමක් මින් ලබා දෙනවා. ඔවුන්ගේ ස්වතන්ත්‍ර සංගීත ඉදිරි ගමනකට මෙයින් ලැබෙන රුකුල කුමක්ද? අද සුපිරි තරුව හෙට හොයා ගන්නවත් නැහැ. එදත් ආධුනික ගීත තරඟ තිබුණා. නමුත් ඒවායෙන් ජයගත් පමණින් ව්‍යාජ වටිනාකම් දුන්නේ නැහැ. මේ ළමයින්ට හොඳ ගායන හා සංගීත පුහුණුවක් ලබලා ඔවුන්ට ස්වතන්ත්‍ර කලාකරුවන් වීමට මෙමඟින් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. රියැලිටි වැඩසටහන්වලින් සිදුවන්නේ මේ කොල්ලන්ගේ හැකියාවන් අවසානයේ පුස්සක් බවට පත් කිරීමයි. අනුන්ගේ ගීත ගැයීම තහනම්. සුභාවිත ගීත ගැයූ ස්වතන්ත්‍ර ශිල්පීන් පරම්පරාව අද මේ නිසා අතරමං වෙලා.

රටේ වගකිවයුත්තන්ගේ අවධානය මේ ගැන යොමු නොවුවහොත් ලංකාවේ මුළු සංගීත පරම්පරාවම විනාශ වෙන්න පුළුවන්. සාම්ප්‍රදායික ජන ගීතය අපට තවත් සංවර්ධනය කරලා උසස් තත්ත්වයකට ගන්න පුළුවන්. නමුත් ඒ ගැන දැනුම ඇති පිරිස අද ඉතා අඩුයි. එහෙත් හැකියාව ඇති තරුණ පරපුරක් අපට සිටිනවා. නමුත් ඔවුන් වඩාත් යොමු වී සිටින්නේ උත්තර භාරතීය හෝ අපරදිග සංගීතය දෙසටයි. බටහිර සංගීතය වුණත් ගැඹුරින් ප්‍රගුණ කිරීමට බොහෝ තරුණයන්ට උවමනාවක් නැහැ. ඒවා මතුපිටින් දැන ගෙන කරන්නන් වාලේ ගීත හදන්නේ ඒ නිසයි. සැබෑ බටහිර සංගීතයයි ඝෝෂාව අතරයි වෙනස ඔවුන්ට මේ නිසා වටහා ගන්න බැහැ.”

ජන සංගීත අධ්‍යාපනයේ වත්මන් තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

”අපි ඉගෙන ගත් ජන සංගීත අධ්‍යාපනය අවිධිමත්. එහි සීමාවක් නැහැ. විභාගයක් නැහැ. නමුත් ශාස්ත්‍රාලීය ජන සංගීත අධ්‍යාපනයේ විෂය නිර්දේශයක්, සීමාවක් තියෙනවා. එහිදී කිසියම් සීපදයක් තෝරා ගෙන එය ගයන නිශ්චිත නාද මාලාවක් පරම්පරාවෙන් පරම්පරාවට උගන්වනවා. එය විභාගය ඉලක්ක වූ ඉගැන්වීමක්.

අපි ලබා ගත් අවිධිමත් අධ්‍යාපනය නිසා ජන ගී තනුවක් ගායනා කළ හැකි ආකාර ගණනාවක් ඉගෙන ගන්න ලැබුණා. ඒ ඔස්සේ අපේ පරිකල්පන හා ප්‍රකාශන ශක්තිය වර්ධනය වුණා. අප ජන ගී ගැයුවේ නිර්මාණකරණයත් ඊට එක් කරගෙනයි. විධිමත් අධ්‍යාපනයේදී ගුරුවරයා උගන්වන සීමිත රාමුවෙන් පිට පනින්න බැහැ.”

No comments:

Post a Comment