Author: Yasawardena Abepala
Date:12/06/2011
Source: Silumina
බන්දුල විතානගේ අද අප අතර සිටින ප්‍රවීණතම මෙන් ම වයෝවෘද්ධ ම නාට්‍යවේදියා ය. රෝමය ගිනිගනී නාට්‍ය ද්වය මේ විෂය පිළිබඳ ව ඔහුට ඇති මහා දැනුම් සම්භාරය මෙන් ම තාරුණ්‍යයේ ජවය ද පෙන්නුම් කරයි.
මේ නාට්‍ය දෙකෙහි ම කථා නායකයා වන ජෝන් පෙරේරා එකිනෙකාට රහසිගත ව බිරින්දෑවරුන් දෙදෙනෙක් හා පවුල් ජීවිත ගත කරන්නෙකි. ඔහුට දාව එක් බිරියකට 16 හැවිරිදි පිරිමි දරුවෙකි. අනෙක් බිරියට 15 හැවිරිදි ගැහැනු දරුවෙකි. පියා එක් අයකු බව නොදන්නා දරුවන් දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවයක පැටළේ. එය ජෝන් පෙරේරා දීර්ඝ කලක සිට පවත්වාගෙන ආ රහස දෙදරා යාමට හේතුවක් වන බැවින් ඔහු දරුවන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවය කඩා බිඳ දැමීමට යොදන උපක්‍රමශීලී ක්‍රියාදාමය මේ නාට්‍යයේ අවස්ථා පෙළවේ. ඒ සිදුවීම් වැල වේදිකාවේ දිග හැරෙන්නේ අපූරු රංග විලාසයකිනි.
පවුල් දෙකේ ම චර්යාව වේදිකාවේ එක ම නිවසක එක ම වේලාවේ සිදුවන සිදුවීම් වැලක් බවට පත් කෙරේ. එය ප්‍රේක්ෂකයාට කිසිදු අපහසුතාවයක් නැතිව දෙපැත්තේ කථාව එකවර තේරුම් ගැනීමට පහසු රංගෝපා ක්‍රමයක් මෙන් ම අප වේදිකාවට නව හඳුන්වාදීමක් ද වේ. මේ කාර්යයේදී අධ්‍යක්ෂකවරයාත් රංගන ශිල්පීනුත් දැඩි අභ්‍යාසයක යෙදෙන්නට ඇතුවාට කිසිදු සැකයක් නැත. නාට්‍යයේ ඉස්මතු කෙරෙන හාස්‍යෝත්පාදනයත් එහි වේග රිද්මයත් නිසා එය තවතවත් අසීරු කටයුත්තක් ම වේ. එම අසීරු කටයුත්ත අධ්‍යක්ෂකවරයා ඇතුළු රංග ශිල්පීන් ඉතා සාර්ථක ව ඉටුකරගෙන ඇති බව ප්‍රථමයෙන් ම කිව යුතු ය. මේ කටයුත්තේ වැඩි බරක් දැරූ ජෝන් පෙරේරාගේ චරිතය නිරූපණය කළ සම්පත් තෙන්නකෝන් ප්‍රබල රංගන දායකත්වයක් ලබාදුන් බව ද කිවයුතු ය.
මේ නාට්‍ය දෙකේ ම නාට්‍යෝචිත අවස්ථා පෙළ රංගෝපාක්‍රම, වේදිකා පරිපාලනය, රංගවස්ත්‍ර නිර්මාණය, ඈ සියලු ම අංග සාර්ථක ව ඉදිරිපත් වේ. අධ්‍යක්ෂකවරයා එවන් ලෙස නාට්‍ය හරඹය සාර්ථක ව ඉටු කළ ද ඒ නාට්‍යයෙන් ලබාදෙන ජීවන දැක්ම පිළිබඳ ව අල්ප මාත්‍රයක උනන්දුවක් දක්වා නැත. ඔහුගේ එක ම පරමාර්ථය වී ඇත්තේ ප්‍රේක්ෂකයා ආරම්භයේ සිටි අවසාන මොහොත දක්වා සිනා ගැස්වීම පමණි. ඒ සඳහා ඔහු යොදන උපක්‍රමය වන්නේ ජෝන් පෙරේරා තම රහස රැකගැනීමට යොදන ලද බොළඳ ක්‍රියාකාරකම්වල ස්වභාවය ගැන ප්‍රේක්ෂකයාට සිතීමටවත් කාලයක් නොදී වේගයෙන් නාට්‍ය ගලා යාමට සලස්වා ඒ බොළඳ ක්‍රියාකාරකම්වල මතුපිට ස්වභාවයට මෙන් ම ඔහුගේ අසාර්ථක උත්සාහය මත සිනාගැස්වීමට සැලැස්වීමයි. නාට්‍ය අවසානයේ පේ‍්‍රක්ෂකයා බැලූ දේකුත් නැත, නොබැලූ දේකුත් නැත.
සිදුව ඇත්තේ සියලු දේට සිනාසීම පමණි. අප සමාජ රටාවට අනුව ජෝන් පෙරේරාගේ රහස හෙළිවීමෙන් ඔහු පත්වන්නේ විසඳිය නොහැකි ප්‍රශ්න රැසකට ය. බිරින්දෑවරුන් දෙදෙනා ඉදිරියේදී පවත්වා ගන්නේ කෙසේද? දරුවන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවට සිදුවන්නේ කුමක්ද? මේ අනුව ජෝන් පෙරේරාගේ ක්‍රියාකාරිත්වය අවසන් වියයුත්තේ ප්‍රහසනයන් ලෙසින් නොව ඛේදාන්තයක් ලෙසිනි. මේ කිසිවක් ඉස්මතු කිරීමට අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය වූ බවත් නොපෙනේ. බොරුවක් මොන වෑයමක් දැරුවද සදාකල් පවත්වාගත නොහැකි ය යන සරල පණිවිඩය වුව ද මෙයින් ඉස්මතු කළ හැකි ව තිබූ නමුත් අධ්‍යක්ෂකවරයා එවන් වූ හෝ උත්සාහයක් දරා නැත. ජෝන් පෙරේරා තම සත්‍ය තත්ත්වය හෙළිදරව් කිරීම පවා ඔහු ඉදිරිපත් කරන්නේ ප්‍රහාසනාත්මක ස්වභාවයකිනි. අවසන් ජවනිකාව වන එම ඉරියව්ව දෙස බලා ප්‍රේක්ෂකයා සිනාසෙන්නේ එනිසා ය.
මේ නාට්‍යයේ මුල් පිටපත ලියූ බ්‍රිතාන්‍ය ජාතික රේ Rey cooney ට බටහිර සමාජයක එවන් පණිවිඩයක් දීමට අවශ්‍ය නොවන්නට ඇත. එහෙත් අප රටේ ප්‍රේක්ෂකයාට එය අත්‍යවශ්‍ය අංගයකි. හෙළ නාට්‍යයේ මහැදුරු සරච්චන්ද්‍රයන් තම සියලු ම නාට්‍යයන් සාර්ථක කර ගත්තේ එම රචනාවන් ගෙන් මතුකරගත් අර්ථවත් ජීවන දැක්ම නිසා ම ය. නාට්‍යයක අන්තර්ගතය සහ එයින් දෙන පණිවිඩය එතරම් ම වැදගත් වන අතර එය අප නාට්‍ය සම්ප්‍රදාය හා තදින් බද්ධ වී ඇත.
මෑත කාලයේ අප වේදිකාවේ පරිවර්තන නාට්‍ය නිර්මාණ හරහා ගලා ආ තවත් සුවිශේෂී අංගයක් ඇත. එය නම් සමලිංගික චර්යාවයි. ස්ත්‍රි සමලිංගිකත්වය මෙන් ම පුරුෂ සමලිංගිකත්වය දැක්වෙන නාට්‍ය ගණනාවක් මෑත කාලයේ වේදිකා ගත විය. මෙවැනි දේ නාට්‍ය වලට ඇතුළත් කර ගැනීම මෝස්තරයක් බවට ද පත්විය. රෝමය ගිනිගනී නාට්‍ය දෙකෙහිම අසම්මත අඹුසැමි ඇසුරට අමතරව මෙවන් චර්යාවන් ද ඇතුළත් කොට ඇත. ප්‍රථම නාට්‍යයේ එය ඉවත් කළ හැකි තරම් වූ සුළු අවශේෂ අංගයක් වූ අතර දෙවන නාට්‍යයේ එය චරිතාංගයක් බවට පත් කොට ඇත. අප සමාජයට නුහුරු මෙවැනි චර්යාවන් පවුලේ සියලු දෙනා එකට සිට නරඹන නිර්මාණවලට ඇතුළත් කළ විට ප්‍රේක්ෂකයා ඉතා අසරණ වේ.
ඒවා ඉදිරිපත් කරන ප්‍රහාසනාත්මක ස්වභාවය මත ප්‍රේක්ෂකයා සිනහසීමෙන් ඊට ප්‍රතිචාර දක්වන බව සැබෑ ය. එහෙත් එයින් ප්‍රේක්ෂකයා එය බාරගත් බව සිතීම මුළාවකි. අප සමාජයේ මෙවන් චර්යාවන් ඇත්තේ ඉතා අල්ප වශයෙන් අති පෞද්ගලික රහස්‍ය ඹ්ෂතයන්හි පමණි. ඒවා ප්‍රසිද්ධියේ කථා කිරීමට හෝ වේදිකා රඟ දක්වනු දැකීමට අප සමාජයේ කිසිවකු කැමති වන්නේ නැත. එවන් චර්යාවන් වේදිකාවට ගෙන ඒමෙන් කරනු ලබන්නේ එවන් දේ අප සමාජයේ සාමාන්‍යකරණය කිරීමකි.
නාට්‍යයක් හෝ ඕනෑ ම කලා නිර්මාණයක් එහි ශිල්පීය ක්‍රම වේදයෙන් පොහොසත් වුව ද එහි අන්තර්ගතය සහ දෙනු ලබන පණිවිඩය අප සමාජයට ගැළපේ ද යන්න සිතා බැලීම අධ්‍යක්ෂකවරයාගේ දැඩි වගකීමකි.
Monday, 13 June 2011
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment