2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday 25 October 2010

රාජිත නම් වූ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයා



Author: විචිත්‍ර වනිගනෙත්ති, ලක්‌මාල් බෝගහවත්ත
Date:05/08/2010
Source: Divaina

1994 දී "සක්‌වාදාවල" ගෙන එමින් වේදිකාව මත සිය අණසක පැතිවූ රාජිත දිසානායක රාජ්‍ය සම්මානලාභී නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකි. තමන්ට අනන්‍ය වූ ආකෘතියක්‌ මත නිර්මාණකරණයෙහි යෙදෙන රාජිත "හසයින්ටත් මං ආසයි" (96), "මට වෙඩි තියන්නැද්ද" (99) නාට්‍ය ඔස්‌සේ ප්‍රේක්‌ෂකයා නව මානයකට ගෙන ගියේය. ඔහුගේ "වීරයා මැරිලා"(2002), "සිහින හොරු අරං" (2005), "ආපහු හැරෙන්න බෑ" (2009) ජාතික නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර විය. එම නාට්‍ය ත්‍රිත්වය අද (05 දා) හෙට (06 දා) සහ අනින්දා (07 දා) ලයනල් වෙන්ඩ්ට්‌ රඟහලේ දී වේදිකාගත කෙරෙනු ඇත. ඒ නිමිත්තෙන්, රාජිත පිළිබඳ ඔහුගේ නිර්මාණයන්ට දායක වූ ශිල්පීන් සමූහය සමඟ කළ සුසංවාදයක සටහන මෙසේ පෙළගැසේ.

දයාදේව එදිරිසිංහ

මම වේදිකාවට පිවිසුනේ සුගත්ගේ (සුගතපාල සිල්වා) නාමය හරහා ඉන්පසු ඒ අවදියේ අධ්‍යක්‍ෂවරු ගණනාවක්‌ යටතේ නාට්‍යවල රඟපෑමට සම්බන්ධ වුණා. ඔවුන් අධ්‍යක්‍ෂණ ක්‍රියාවලියේදී අනුගමනය කළ ක්‍රමවේදය රාජිතගේ පරම්පරාවේ අධ්‍යක්‍ෂවරුන්ට වඩා වෙනස්‌. එක්‌ එක්‌ අධ්‍යක්‍ෂවරයා තමන්ට ආවේණික ක්‍රමවේදයකටයි නළුවන් මෙහෙයවීම සිදු කරන්නේ.

රාජිතගේ පරම්පරාවේ අධ්‍යක්‍ෂවරුන් ගණනාවක්‌ සමගත් සම්බන්ධ වී වැඩකිරීමට මට අවස්‌ථාව ලැබුණා. ඒ අතරින් මා ඉතා ප්‍රිය කරන විශිෂ්ටම අධ්‍යක්‍ෂවරයා රාජිත බව කීම අතිශෝක්‌තියක්‌ නොවේ.

ඔහුගේ අධ්‍යක්‍ෂණ ක්‍රියාවලිය ටිකක්‌ වෙනස්‌. පිටපත කියවීම සඳහාම ඔහු විශාල කාලයක්‌ ගන්නවා. ඒ හරහා නළුවාට තමන්ගේ චරිතය පිළිබඳ අදහසක්‌ ලබා ගැනීමට හැකිවෙනවා. ඒ අවබෝධයත් සමග ඔහු චරිතය ගොඩනගා ගැනීමට නළු
වාට අවස්‌ථාව ලබා දෙනවා. එසේ නොමැතිව නළුවා රඟපාන්නට උත්සාහ කරන්නේ නැහැ. මේ නිසා ඔහු සමග වැඩකිරීමට ඉතා අසීරුයි වගේම ඉතා ආශ්වාදජනකයි. බොහෝ අධ්‍යක්‍ෂවරු තුළ මා නොදුටු දෙයක්‌ වන්නේ කණ්‌ඩායමක්‌ ලෙස සාමුහිකව වැඩකිරීමට ඇති උනන්දුව සහ හැකියාව. රාජිත අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස රංග ශිල්පීන් සමග පමණක්‌ නොවෙයි අවශේෂ ශිල්පීන් සමගද මනා සබඳතාවක්‌ ගොඩනගා ගනිමින් නාට්‍ය වේදිකාව මත ගොඩනැංවීම සාර්ථක කර ගැනීමට ඉතා ශූරයි.

ශ්‍යාම් ප්‍රනාන්දු

රාජිතගෙ නාට්‍ය කණ්
‌ඩායමට මා සම්බන්ධ වීම සිදුවුණේ මම නාට්‍ය වැඩමුළුවක චරිතයක්‌ නිරූපණය කරනවා දැකීමෙන් ඇතිවූ කතා බහකින්. ඒ පළමු හමුවීමේදීම මට දැණුනු දේ තමයි ඔහු චරිතය හිතේ තියා ගෙන වෙන දේවල් කතා කරල බලන බව. ඒ කියන දේවල්වලට ස්‌වභාවිකව දක්‌වන ප්‍රතිචාරත් සමග ඔහුට අවශ්‍ය චරිතය මා තුළින් මතු කරගත හැකිද යන්න ඔහු තීරණය කරනවා.

ඒ ආකාරයට මූලික තීරණයකට එළඹි පසු පිටපත කියවීමේ පුහුණු අවස්‌ථාවට පෙර විවිධ හමුවීම්වලදී ඔහු තවදුරටත් තහවුරු කර ගන්නවා ඒ චරිතය මට සුදුසුද කියා. පිටපත කියවීමේ අවස්‌ථාව වන විට ඔහුට දැඩි විශ්වාසයක්‌ තිබෙනවා මේ චරිතය අදාළ නළුවා හෝ නිළියට මතුකළ හැකි බව. ඒ නිසාම රාජිත යම් චරිතයකට නිළියක්‌ හෝ නළුවෙක්‌ තෝරාගත් පසු ඔහුට එය නිරූපණය කිරීමට නොහැකිව ප්‍රතික්‍ෂේප වුණේ වරක්‌ හෝ දෙවරක්‌ පමණයි.

හැමවිටම රාජිත අතින් ලියවෙන්නෙ ඔහු අත්දකින ජීවිතය ඔහුගේ වටාපිටාවෙ දකින්න ලැබෙන සමීපතමයන්ගේ ජීවිතය. ඒ නිසාම පිටපත කියවීමේ අවස්‌ථාවේදී බොහෝ විට අතර මැද නවත්වල ඔහුගේ ජීවන අද්දැකීමක්‌ අපට විස්‌තර කරනවා. රාජිත කොහොමටත් නාට්‍යය ගැන කතා කරනවාට වඩා වෙන දේවල් ගොඩක්‌ කතා කරනවා. පිටින් ඇවිත් කෙනෙක්‌ අසා සිටියොත් හිතාවි නිස්‌කාරනේ කාලය කා දමනවා කියා. කොටින්ම මටත් මුලින් එසේ සිතුණු වාර අනන්තයි. එහෙත් රාජිත සමග ටික කාලයක්‌ කටයුතු කරන විට අවබෝධ වෙනවා මේ සියලු කතා කාලය කා දැමීම් නාට්‍යයට අදාළ බව.

මම අසා ඇති පරිදි විදේශීය නාට්‍ය අධ්‍යක්‌ෂවරු හැම චරිතයකටම වගේ Cය්ර්ජඑeර ඊසඉකැ හදනවා. රාජිතත් ඒවගේම ඔහුගේ නාට්‍යයට අදාළ චරිත පිළිබඳ විශාල වපසරියක්‌ ගවේෂණය කරනවා ඇති. චරිතයක්‌ ගොඩනගාගැනීමට අපට සපයන වටපිටාවෙන් ඒ බව පැහැදිලි වෙනවා. ඒ නිසාමයි ඔහුගේ චරිත වේදිකාව මතදී ඉතා පැහැදිලි සමාජ දේශපාලන භූමිකාවක්‌ නිරූපණය කරන්නේ.

රංගන ශිල්පියෙක්‌ ලෙස රාජිතගෙ නාට්‍යවලට සම්බන්ධවීමෙන් මට ලැබෙන විශාලතම ප්‍රතිලාභය තමයි එහිදී අපි අද්දකින චරිත ඔස්‌සේ අපේ ජීවිතයන් යළි කියවා ගැනීමකට හැකිවීම. අපේ මිතුරන් ගැන, පෙම්වතිය ගැන ආයතන ප්‍රධානියා ගැන අවබෝධයක්‌ ඇතිකර ගන්න පෙර ඔහුගේ නාට්‍ය හේතු වෙනවා. රංගන ශිල්පියෙක්‌ ලෙස සැබෑ ජීවිතයේදී ඒ ඒ අවස්‌ථාවන් පසුකර යනවිට වෙනස්‌ මානයන්ගෙන් කියවීමකට ලක්‌කර ගැනීමට රාජිතගෙ වේදිකා අද්දැකීම ඉවහල් වෙනවා. ඒ ඒ අවස්‌ථාවන් වේදිකාවේ ප්‍රතිනිර්මාණය කර ගැනීම පිළිබඳ ද මට සැබෑ ජීවිතයෙන් පිටිවහලක්‌ ලැබෙනවා. මන්ද යත් රාජිත වේදිකාවට ගෙනෙන්නෙ අප අද්විඳින අප වටා ඇති මේ ජීවිතය නිසා.

කපිල පූගලආරච්චි සංගීත අධ්‍යක්‍ෂ

රාජිත දිසානායක නමැති වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරයා මට හමුවන්නේ පාසල් සමයේදී. ඒ කාලේ සිටම නාට්‍ය කලාව තුළ වෙනස්‌ දෙයක්‌ කරන්න උත්සාහ කරපු පුද්ගලයෙක්‌ වශයෙනුයි මා රාජිත හඳුනාගත්තේ. ඔහු හුදු නාට්‍ය සංගීතය කියන එක පාවිච්චි කළේ නැහැ. ඔහු චරිත තුළින් මවන්නට උත්සාහ කරන අර්ථාන්විත ලක්‌ෂණත් සමග තවත් එක චරිතයක්‌ ලෙසයි සංගීතය උපයෝගී කරගන්නේ. සාම්ප්‍රදායික ලෙස නාට්‍යයේ පාළු තැන්වලදී පාළුව මකන්න නොවෙයි රාජිත සංගීතය භාවිත කළේ. ඔහුගේ "සක්‌වාදාවල" මා ප්‍රථමයෙන්ම සංගීය සැපයූ නාට්‍යයයි. එතැනදීත් ඔහු සංගීය යොදාගත්තේ චරිතයක්‌ විදිහටයි. එතැනින් පටන්ගෙන මම ඔහුගේ ආපහුq හැරෙන්න බෑ නාට්‍යයට හැර සියලුම නාට්‍යවල සංගීත අධ්‍යíණය කළා. රාජිත සංගීතයේ ඉතා සියුම් තැන් පවා බොහෝම හොඳින් ග්‍රහණයකර ගන්නා අධ්‍යක්‍ෂවරයෙක්‌.

ගිහාන් ප්‍රනාන්දු

නළුවෙක්‌ වුණාම අධ්‍යක්‍ෂණය නොවනවා නම් එය කරුමයක්‌. රාජිත කියන්නේ නළුවෙක්‌ වචනයේ පරිසමාප්තයෙන්ම අධ්‍යක්‍ෂණය කරන අධ්‍යක්‍ෂවරයෙක්‌. නමුත් ඒ අධ්‍යක්‍ෂණය වන අවධියේ සිදුවන සිත්රිදීම් බොහොමයි. එම රිදවීම් නැතිනම් හොඳ චරිතයක්‌ ගොඩනගා ගැනීමට නොහැකි බවයි මම හිතන්නේ. ඒක රාජිතගේ නාට්‍යවල මට කිරීමට හැකි වී තිබෙනවා.

නළුවෙක්‌ හෝ අධ්‍යක්‍ෂවරයෙක්‌ වුණාම වර්තමාන සමාජයේ තිබෙන සමාජ තත්ත්වය පිළිබඳ අවබෝධයක්‌ තිබීම අනිවාර්යයි. රාජිත මේ රටේ සමාජ රිද්මය හඳුනාගත් අධ්‍යක්‍ෂවරයෙක්‌. ඒ නිසා ඔහුගේ නිර්මාණ මේ සමාජය හා සම්බන්ධයි. එනිසා ඒවා මේ සමාජය වැළඳගන්නවා. රාජිතගේ නාට්‍යවලදී අප උත්සාහ කරන්නේ සංවේදී අභ්‍යන්තරයෙන් නිරූපණය වන රංග ශෛලියක්‌ මතු කර ගැනීමටයි. නිරන්තර පුහුණුව නිසා එය ලොකු අපහසුවක්‌ වෙන්නේ නැහැ.

ප්‍රියංකර රත්නායක

නාට්‍යක චරිතයක්‌ ගොඩනගා ගැනීමේදී නළුවා හා අධ්‍යක්‍ෂවරයා අතර අනොන්‍ය අවබෝධය ඉතාම වැදගත්. රාජිත දීර්ඝ කාලයක්‌ තිස්‌සේ එකම කණ්‌ඩායමක්‌ සමග වැඩ කිරීම හේතුවෙන් මේ අනොන්‍ය අවබෝධය ඉතා හොඳින් ගොඩනගා ගෙන තිබෙනවා. අධ්‍යක්‍ෂවරයෙක්‌ ලෙස මා දකින ඔහුගේ විශේෂ ලක්‍ෂණයන් මෙයයි.

ඔහු කිසිදු විටක නළුවා කිසියම් රාමුවක සිර කිරීමට උත්සාහ කරන්නෙ නැහැ. ඒ වෙනුවට පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර ඔහු පිටපත කියවීමට විශාල කාලයක්‌ ගත කරනවා. ඒ වගේම ඒ අතර ශූර රංග ශිල්පීන් සමග විවිධ අවස්‌ථාවලදී පවත්වන සම්භාෂණයන් පවා ඔහු ඉතා සූක්‍ෂම ලෙස ඒ ඒ චරිත පිළිබඳ අවබෝධයක්‌ ඇති කිරීමට යොදාගන්නවා.

රාජිතගෙ නාට්‍යවලට බොහෝ විට පාදක වෙන්නේ සමකාලීනව අප අවට සැරිසරන චරිත. එහිදී ඒ තුළ මගේම චරිතයේ යම් යම් අංශුමාත්‍ර පවා මුණගැහෙනවා. මේ නිසා නළුවකුට ඉතා අභියෝගාත්මක කාර්යයක්‌ වෙනවා. තමාම නොවෙමින් තම ජීවිතයේ සහ තම සමීපතමයන්ගේ ජීවිත වේදිකාව මත නිරූපණය කිරීම. එහිදී ඒ ඒ චරිතයන්ට අනන්‍ය සියුම් චරිත ලක්‍ෂණ අත නොහරිමින් ඒවා නාට්‍යමය ප්‍රකාශයක්‌ ලෙස ඉදිරිපත් කිරීමේදී රාජිත අනුදත් රංගන ක්‍රමවේදයන් ඉතාම සුවශේෂයි. ඔහු ශූර අධ්‍යක්‍ෂවරයෙක්‌ වන්නේ නළුවා තුළින් චරිතය මතුකරගැනීමට ඔහු ලබාදෙන ඉඩකඩ සහ ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසන ආකාරය විසිනුයි.

රාජිත නාට්‍යක්‌a වේදිකාවක්‌ මතට ගෙන ඒම සේම එය පවත්වාගෙන යැම පිළිබඳ ද ඉතාම සවිඥනිකයි. එහිදී ඔහුට සම්මාන ඇගයීම් එතරම් වැදගත් වෙන්නෙ නෑ. හොඳම උදාහරණය "මට වෙඩි තියන්නේ නැද්ද" නාට්‍ය රාජ්‍ය නාට්‍ය උළෙලේ දෙවන වටය නියෝජනය කිරීමට පවා අවස්‌ථාව නොලද නාට්‍යක්‌ වුවත් එදා සිට අද දක්‌වා එහි දර්ශනවාර පවත්වාගෙන යැමට ඔහු ගන්නා මහන්සිය. එහිදී රාජිත තම ප්‍රේක්‍ෂකාගාරය පිළිබඳ දැඩි විශ්වාසයකින් පසු වෙනවා.

ප්‍රසාද් සූරියආරච්චි

රාජිත නිරන්තරයෙන්ම නාට්‍ය පිටපතට මුල්තැන දෙන අධ්‍යක්‍ෂවරයෙක්‌. ඔහු නළුවන්ගෙන් නිරතුරුවම ඉල්ලා සිටින්නේ පිටපත කියවන ලෙසයි. පිටපත නිරතුරුව කියවීමෙන් එහි තිබෙන යටි අරුත පිළිබඳ අර්ථකථනයක්‌ සැපයීමට නළුවාට පහසුවෙනවා. රාජිත පිටපතින් නළුවාගෙන් බලාපොරොත්තු වන දේ පිළිබඳ යම් මගපෙන්වීමක්‌ කරනවා. නළුවාගේත් අධ්‍යක්‍ෂවරයාගේත් නම්‍යශීලී සහයෝගය මතයි ඔහු අධ්‍යක්‍ෂණ කාර්යය සිදුකරන්නේ.

නළුවකු චරිතය රඟපාන්නට පෙර එය විඳින්න, ඉන් තෘප්තිමත් වන්න කියන එක රාජිත තම නළුවන්ට දෙන උපදේශයක්‌. එහෙම නොවුණොත් එය ප්‍රේක්‌ෂකයාට කෘත්‍රිම රංගනයක්‌ වෙනවා. නළුවා චරිතයට අවංක වුවොත් පමණයි සාර්ථක නිරූපණයක්‌ කළ හැක්‌කේ. ඒ නිසයි රාජිත නිරතුරුව කියන්නේ තමන් විඳින්නේ නැත්නම් ඒ චරිතය වෙනත් අයකුට විඳින්න බැරි බව.

රාජිත හැම නාට්‍ය දර්ශනයක්‌ම ප්‍රේක්‌ෂකාගාරයේ සිට නරඹනවා. එලෙස නරඹා ඇති අඩුපාඩු සාකච්ඡා කරනවා.

ධර්මප්‍රිය ඩයස්‌

රාජිතගේ පිටපත කියවූ සැනින් මේ චරිතය මොකක්‌ද කියන කාරණය මට එකවර අවබෝධ වෙන්නේ නෑ. මම ඔහුගෙ නාට්‍ය හතරකට චරිත නිරූපනය කර තිබෙනවා. මේ සෑම පිටපතක්‌ම ලැබුණු සැනින් මට මගේ චරිතය පිළිබඳ ලොකු අවබෝධයක්‌ ලැබුණෙ නෑ. පිටපත කියවීමෙන් පස්‌සේ පුහුණුවීම් ආරම්භ කළ විටත් මට මගේ චරිතය පිළිබඳ ලොකු අවබෝධයක්‌ ඇතිවුණේ නෑ. සුළු තේරුම් යැමකුයි ඇතිවුණේ. හොඳම උදාහරණය රාජිත අවසානයට කළ "ආපසු හැරෙන්න බෑ" නාට්‍යයේ දුර්වලම රංග ශිල්පියා වුණේ මම.

රාජිත අනුගමනය කරන ඔහුට ආවේණික නළුවන් හැසිරවීමේ ක්‍රමවේදයක්‌ තිබෙනවා. ඒ අනුව ටික දිනක්‌ පුහුණුවීම් කරගෙන යන විට ඔහු මගේ චරිතය පිළිබඳ පුංචි පුංචි ඉඟි දෙන්න පටන් ගන්නවා. ඔහු කවදාවත් චරිතයේ ෙටෝ කොපියක්‌ දෙන්නෙ නෑ. ඒ නිසාම නළුවටත් විශාල වැඩ කොටසක්‌ තිබෙනවා. මට මගේ චරිතය ගොඩනගා ගැනීමට අවශ්‍ය මාවත විවර කිරීම පමණයි ඔහු කරන්නෙ. එතැනදී මට අවබෝධ වෙන්න ගන්නවා මේ චරිතය ගොඩනගා ගැනීමට මටත් විශාල වැඩකොටසක්‌ තිබෙන බව. ඔහු එය ඉතා ශූර ලෙස අවබෝධ කර දෙනවා. රාජිත අනුගමනය කරන මේ අධ්‍යක්‍ෂණ ක්‍රියාවලිය නිසා පුහුණුවීම්වලින් පසුවත් මගේ චරිතය පිළිබඳ සිතන්න පෙළඹීමක්‌ ඇතිවෙනවා.

රාජිත තමන්ගෙ නාට්‍යය වේදිකාව මතට ගෙන ඒමෙන් පසු තමන්ගේ කාර්යය අවසානයි කියා සිතන අධ්‍යක්‍ෂවරයෙක්‌ නොවෙයි. ඔහු තමන්ගේ නාට්‍ය පවත්වාගෙන යැම පිළිබඳ විශාල උනන්දුවක්‌ දක්‌වන අධ්‍යක්‍ෂවරයෙක්‌. එහිදී ඔහු සමාජ දේශපාලන පසුබිම පිළිබඳ ඉතා සවිඥනිකයි. නාට්‍ය දර්ශන සංවිධානය කිරීමේ කටයුත්ත සිදු කරන්නේත් ඔහුයි. ඔහු තමන් නියෑළී සිටින කාර්යයට ඉතා අවනත පුද්ගලයෙක්‌. කිසිවිටකත් එහි බර සැහැල්ලු කරන්න කැමති නැහැ.


මලිත් පීරිස්‌ වේදිකා පරිපාලන කළමනාකරු

වේදිකා පරිපාලනය තාක්‌ෂණික ක්‍රියාවලියක්‌. එය තාක්‌ෂණික ක්‍රියාවලියක්‌ වුවත් කලාව හදාරපු නැති අයකුට එය කරන්න බැහැ. ලංකාව වගේ රටක වේදිකා පරිපාලනය පිළිබඳ කතා කිරීමම විහිළුවක්‌. රංගනය පිsළිබඳ හදාරන්නවත් තැනක්‌ නැති රටක වේදිකා පරිපාලනය නමැති විෂය හදාරන්න කිසිම අවස්‌ථාවක්‌ නැහැ. සාමාන්‍ය ජනතාව අතර වේදිකා පරිපාලක කියන්නෙ "සෙට්‌ අදින කොල්ලා". බොහෝ වේදිකා නාට්‍යවලදී වේදිකා පරිපාලනය කියන්නේ සමස්‌ත නාට්‍යයටම කරගහන එක. නැත්නම් නාට්‍යයේ බර වැඩ ටික කරන එක. එතනදී රාජිත කියන අධ්‍යක්‍ෂවරයාගේ තිබෙන වෙනස තමයි නාට්‍ය කණ්‌ඩායමේ සෑම කෙනකුට පැවරුණූ සුවිශේෂී වගකීම් කොටසක්‌ තිබීම. ඒ නිසා ඔහුගේ නාට්‍යවලදී වේදිකා පරිපාලක ශිල්පියාට පැවරුණු සුවිශේෂී වැඩකොටසක්‌ තිබෙනවා. අනිත් නාට්‍යවලට වඩා රාජිතගේ නාට්‍යවල තිබෙන වෙනස වන්නේ මේ බෙදා ගැනීම. නාට්‍ය කලාත්මක කෘතියක්‌ ලෙස භාවිත කරන ගමන්ම රාජිත උත්සාහ කරනවා එය විධිමත් කර්මාන්තයක්‌ බවට පත් කිරීමට. මේ හේතුව නිසා මේ නාට්‍ය කණ්‌ඩායමේ සාමූහික බවක්‌ තිබෙනවා.

ජයනි සේනානායක

චරිතයක්‌ ගොඩනැගීමේදී රාජිත තම නළුවන්ට ලබාදෙන ප්‍රධාන උපදෙස තමයි පුළුවන් තරම් පිටපත කියවන්න කියන එක. ඔහු විශ්වාස කරන දෙයක්‌ තමයි චරිතයක ස්‌වභාවය පිටපත කියවීමෙන් බොහෝදුරට ලබාගත හැකි බව. යම් නාට්‍යයක්‌ දර්ශන වාර සියයක්‌ පැවැත්වූවත් ඒ සියවැනි වතාවෙත් අපි පිටපත කියවනවා. ඒ මගින් චරිතය පිළිබඳ යම් අවබෝධයක්‌ අපට ලබාගත හැකි වෙනවා. ඒ මගින් තමයි ඔහු චරිතයක්‌ ගොඩනගන්න මූලික අඩිතාලම දමන්නේ.

ඒ වගේම ඔහු සිත ඇඳි චරිතය නළුවකුගෙන් ලබාගන්න විවිධ ක්‍රමවේද භාවිත කරනවා. ඔහු නළුවකුගෙන් බලාපොරොත්තු වන චරිතයේ මානය හුඟක්‌ එහා ගිය එකක්‌. කෙසේ හෝ දැඩි පුහුණුවකින් පසුව ඔහු එම අරමුණ ජයගන්නවා. ඒ නිසායි ඔහු බලාපොරොත්තුවන චරිත ප්‍රතිනිර්මාණය කරගත හැකි නළුනිළියන් පිරිසක්‌ පමණක්‌ නිරතුරුවම තෝරාගන්නේ. විශේෂයෙන් අධ්‍යක්‍ෂවරයාගේ දෘෂ්ඨිය හඳුනා නොගතහොත් එම අධ්‍යක්‍ෂවරයාට අවශ්‍ය දේ ලබාදීමට නළුවකුට හැකිවන්නේ නැහැ. රාජිත කියන අධ්‍යක්‍ෂවරයා හොඳින් හඳුනන නළු නිළි පිරිසක්‌ තමයි මේ කාර්යයට තෝරාගන්නේ. තම රචනාව පමණක්‌ම මතුකරන රංගනයකට ඔහු කැමැති නැහැ. ඔහුගේ රචනාව පසුකර නළුවා මතුවීමයි ඔහුගේ බලාපොරොත්තුව.

රාජිත ඉතා කැමැති ශෛලිය තමයි අතිශය සියුම් භාවමය රංගන ශෛලිය. එය ටිකක්‌ අපහසු කාර්යයක්‌. වේදිකාවක අතිශය සියුම් රංගනයන් ඉදිරිපත් කිරීමේදී අප තුළින් එය ගිලිහී යන්න පුළුවන්. ඒක හරියට අතුරේ යනවා වගේ වැඩක්‌. ඒත් අප අනිවාර්යෙයන්ම ඊට අනුගත විය යුතුයි. ඒ වගේම මෙම ස්‌වභාවික රංගන ශෛලිය ප්‍රේක්‌ෂකයන්ට අතිශයින් සමීපයි. මුදල් දීල ටිකට්‌ එකක්‌ අරගෙන ප්‍රේක්‌ෂකාගාරයේ වාඩිවෙන හැම ප්‍රේක්‌ෂකයකුටම හොඳ රංගනයක්‌ ලබාදීම නළුවකුගේ වගකීමක්‌. රාජිත ඒ වගකීම හා අවදානම මැනවින් වටහාගත් අධ්‍යක්‍ෂවරයෙක්‌.


රංග සමරකෝන් රංග ආලෝක පරිපාලක

අද වන විට රංග ආලෝකය විෂය යනු නිළිය, නළුවා හෝ රංග භාණ්‌ඩ ප්‍රේක්‌ෂකයාට පෙන්වීමට සැලැස්‌වීමට එහා ගිය දෙයක්‌. චරිතයක සියුම් අරුත් දැනවීමට, චරිතයක අභ්‍යන්තර මනෝභාවයන් විවරණය කිරීමට භාවිතා කරන දියුණු උපාංගයක්‌ බවට අද වේදිකා රංගාලෝකය පත්වෙලා තිබෙනවා.

බොහෝ වේදිකා නාට්‍ය අධ්‍යක්‍ෂවරු නාට්‍යයේ මූලික පුහුණුවීම් අවස්‌ථාවලදී රංග ආලෝක ශිල්පියා සම්බන්ධ කරගන්නේ නැහැ. ඔහුගේ දායකත්වය රංග ආලෝකය සහිත පුහුණුවීම් ආරම්භවීමත් සමග ලබාගැනීම ප්‍රමාණවත් යෑයි ඔවුන් සිතනවා. එහෙත් නාට්‍යයක පිටපත කියවීමේ අවස්‌ථාවේ සිට ලයිටින් රිහසල් දක්‌වා සියලු පුහුණුවීම් අවස්‌ථාවලදී රංග ආලෝක ශිල්පියා සම්බන්ධ කරගැනීම රාජිතගේ ක්‍රමවේදය. එහිදී මට නාට්‍ය පිළිබඳ එහි සියුම් අර්ථයන් පිළිබඳ අවබෝධයක්‌ මෙන්ම අධ්‍යක්‍ෂකගේ අභිප්‍රාය පිළිබඳ අවබෝධයක්‌ද ලැබෙනවා. එහිදීද රාජිත නාට්‍ය පුහුණුවීම් ආරම්භ කරන්න පෙර සිය ශිල්පීන් හා යෙදෙන සංවාදයන්වලදී පවා නාට්‍යයට අදාළ සහජ කාරණා නොවුනද බොහෝ දේ සාකච්ඡා කරනවා. ඒ තුළින් පවා සිදුවෙන්නෙ නාට්‍ය පිළිබඳ සියුම් අරුත් මතුවීමයි.

ඔහු කිසිවිටෙකත් මෙසේ සිදුවිය යුතුමයි කියන අණ පනත් පැනවීමක්‌ සිදුකරන්නෙ නැහැ.

එහෙත් ඔහුට අවශ්‍ය අදහස මතුකරගැනීමට අලෝකය කෙසේ හැසිරවිය යුතුද යන්න පිළිබඳ ඔහුට හොඳ ඉවක්‌ තිබෙනවා. ඒ ඉව අපට හඳුනා ගන්න ඉඩහරිමින් සාකච්ඡා කරමින් රංග ආලෝකය සකසා ගැනීම සිදු කරනවා. පළමුවෙන් රංග ආලෝකය සහිත පුහුණුවීම් අවසානයේදී නැවත බරසාර සාකච්ඡාවකට යනවා. එහිදී ඔහු එකඟ නැති තැන් සහ වඩා වැඩිදියුණු කළ යුතු තැන් පිළිබඳ ඔහුගේ අදහස්‌ දැක්‌වීම සිදු කරනවා.

මේ අදහස්‌ සමග නැවත ආලෝක සැකැස්‌මක්‌ සමග දෙවන තෙවන ආලෝකය සහිත පුහුණුවීම්වල නියෑළීමෙන් පසුවයි අවසාන ආලෝක සැකැස්‌ම නිර්මාණය කරගැනීම සිදුවෙන්නෙ. ඔහු හතරවන ලයිටින් රිහසල් එක නාට්‍ය දර්ශනවාරයක්‌ හා සමානවම සිදුකරනවා. එහිදී බොහෝ විට රංගනය, අලෝකකරණය, වේදිකා පරිපාලනය පිළිබඳ අවසාන සැකැස්‌ම නිර්මාණය කර ගැනීම සිදුකරනවා. බොහෝ අධ්‍යක්‍ෂවරු රංගාලෝකය නිර්මාණය කර ගැනීමේ ක්‍රියාවලිය එතනින් අවසන් කරනවා. එහෙත් රාජිත දර්ශනවාරයක්‌ පාසා රංග ආලෝකය වැඩිදියුණු කරගැනීමට වෙහෙසෙනවා.

සම්පත් ජයවීර

රාජිතගෙ නාට්‍යය තුළ යටිපෙළ හුයක්‌ ලෙස දිවෙන ගැඹුරු දේශපාලනයක්‌ තිබෙනවා. සෑම චරිතයක්‌ම දේශපාලනිකයි. ඒ ආකාරයේ පිටපතක චරිතයක්‌ ගැඹුරින් හඳුනාගැනීමට ඒ පිටුපස ඇති දේශපාලනය හඳුනා ගැනීම වැදගත්.

චරිතයේ දේශපාලනය හඳුනා ගැනීමට ඔහු ඒ පිළිබඳ සෘජුව කිසිවක්‌ කියන්නෙ නැහැ. එහෙත් පූර්ව පුහුණුවීම් කාලය තුළ ඔහු සමකාලීන සමාජ දේශපාලන කාරණා පිළිබඳ දැඩි අවධානයකින් තමන්ගේ කණ්‌ඩායම සමඟ අදහස්‌ හුවමාරු කර ගන්නවා. මට මුල්කාලෙ මේ ක්‍රියාවලිය පිළිබඳ එතරම් අවබෝධයක්‌ තිබුනේ නැහැ. ඒත් පසුව තේරුම් ගියා මේ කටයුත්ත චරිතය ගොඩනඟා ගැනීමට ඉතා වැදගත් බව.

මා නිරූපණය කරන චරිතය (වීරයා මැරිලා) මීට කලින් වසර ගණනාවක්‌ වෙනත් ශිල්පියකු විසින් නිරූපණය කළ චරිතයක්‌. එහෙත් එහිදී ඔහු මගෙන් ඒ චරිතය ඒ ආකාරයෙන්ම ඉල්ලා සිටියේ නැහැ.

ඔහු මට ඒ චරිතය අවබෝධකරගෙන ගොඩනඟා ගැනීමට අවස්‌ථාව ලබා දුන්නා. q බලහත්කාරයෙන් චරිතයක්‌ ඔබ්බවන්නෙ නැහැ. නළුවාට අභ්‍යන්තරයෙන් සිය චරිතය අවබෝධකරගෙන ගොඩනැඟෙන්න ඉඩ දෙනවා. ඔහුගේ විශේෂත්වයත් එයම වෙන්නඇති.

අනුසුයා සුබසිංහ

රාජිත හැම විටම මැදිහත්වන අධ්‍යක්‌ෂවරයෙක්‌ නොවෙයි. ඔහු චරිතය ගොඩනගාගන්න රංගන ශිල්පියාට හෝ ශිල්පිණියට ලබාදිය හැකි පොහොර මොනවද කියලා හොඳ අවබෝධයක්‌ සහිතවයි කටයුතු කරන්නෙ. ඊට පස්‌සේ චරිතය වැඩෙනවා බලා සිට එය තමන්ට අවශ්‍ය ආකාරයට හැඩගස්‌වා ගැනීමට ඔහු ශූරයි.

වේදිකා නාට්‍යයක චරිතයක්‌ කර අවසන් කළ නොහැකි බවයි මගේ අදහස. පිටපතක තිබෙන්නේ පැතලි ඒකමානීය චරිත නොවෙයි. ඒවා ඉතා සංකීර්ණ බහුමානීය චරිත. එවන් චරිත තුළට අවබෝධයෙන් කි¹ බසිත්ම එහි විවිධ මානයන් පෙනෙන්න ගන්නවා. ඒ වගේමයි නාට්‍යයක දර්ශන වාර විශාල සංඛ්‍යාවක්‌ කරනවිට සමහර අවස්‌ථාවලදී මුල් කාලෙ සොයාගත් සියුම් දේවල් ගිලිහිලා යනවා. රාජිත මේ කාරණා දෙක පිළිබඳ ඉතා සවිඥනිකයි.

No comments:

Post a Comment