2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday 25 October 2010

කෙනෙකුට කුණුහරුපයක් තව කෙනෙකුට එහෙම නොවෙන්න පුළුවන් - බන්දු සමරසිංහ

Author: Prasad Samaratunga
Date:21/10/2010
Source: Sarasaviya

බොරු කකුල්කාරයෝ ගමට එයි

රංගනයේදී ප්‍රේක්ෂකයන්ව හිනැස්සවීම තරමක අභියෝගයකි. මේ අභියෝගය සාර්ථකව ජය ගත් විකට නළුවන් අතලොස්සෙහි බන්දු සමරසිංහ කැපී පෙනේ.

ඒ සිය හාස්‍යෝත්පාදක රංගනය රිදී තිරය, පුංචි තිරය, වේදිකාව යන ක්ෂේත්‍ර ත්‍රිත්වයේම නොසඟවා ප්‍රකාශ කළ බැවිනි.

එහෙත් මෑතකාලීනව මේ හාස්‍යෝත්පාදක රංගන පෞරුෂය වේදිකාවට නොආවේය.

වසර පහළොවකට පසු බන්දු සමරසිංහ වේදිකාවට යළිත් පියවර ඔසවන්නට සැරසෙයි. මේ සංවාදය ඒ වෙනුවෙනි.

අපි මුලින්ම කතා කරමු මේ වේදිකා නාට්‍ය පිළිබඳව?

මේකේ නම බොරු කකුල්කාරයෝ. අලුත බැඳපු ජෝඩුවක් පිළිබඳ තමයි මෙහි කතා බහ වෙන්නේ. මේ යුවළ ජීවත් වන ආකරය, කියන පම්පෝරි, විදින කම්පනයන්, ප්‍රශ්න, කරන විකාර, කටින් පමණක් කරන්න පුළුවන් දෑ කියමින් කාලය ගත කිරීම, ගමට එකක් කියමින් ගෙදරදී තව එකක් කිරීම, කෙටියෙන්ම කිව්වොත් පවුල් අරගලයක් මේක. බොරු කකුල්කාරයෝ අධ්‍යක්ෂණය කරන්නේ ගයාන් මහගලගේ. ඉහත පවුල් ප්‍රශ්නවලට හාස්‍ය මුසු වෙමින් මෙය ඉදිරියට දිග හැරෙනවා.ගයාන් මහගලගේ මගේ නාට්‍ය, චිත්‍රපටවල සහාය අධ්‍යක්ෂවරයා. ඔහුගේ තමයි මේ වේදිකා නාට්‍යයේ යෝජනාව.

ඔබ කාලයක් වේදිකාව අතහැර සිටි අයෙක්. ගයාන් මෙවැනි යෝජනාවක් කළාම මොකද හිතුණේ?

කලා කටයුතුවලදී ගයාන් තමයි මගේ සහායකයා. ඔහු මට කිව්වා බන්දු අයියේ මෙහෙම නාට්‍යයක් තියනවා, අපි කරලා බලමු ද කියලා. නාට්‍යයේ චරිත තුනයි තිබුණේ. ඒක ප්‍රබල හේතුවන් වුණා මං මේ සඳහා කැමැති වෙන්න. මේකෙ කුණුහරුප නැහැ. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. මේක මිනිස්සුන්ට සෙට් වෙනවා කියලා තේරුණ නිසා ටක් ගාලා වැඩේ පටන් ගත්තා. මාත් සමඟ නිමන්ති පෝරගේ, ජීවනී පෙරේරා බොරු කකුල්කාරයෝ හී රංගනයේ යෙදෙනවා.

ඇයි කාලයක් වේදිකාවෙන් දුරස් වෙලා හිටියේ?

මෙහෙමයි, ඒක සිද්ධ වුණේ. මං කොහොමත් වේදිකාවෙන් ආපු කෙනෙකු නෙවෙයිනේ. මං ආවෙ චිත්‍රපටිවලින්නේ. ඉතින් මගේ වැඩි ඇල්මක් තිබුණේ නැහැ වේදිකාවට. පසුගිය කාලයේ චිත්‍රපට ගණනාවක වැඩ කළා. මමත් චිත්‍රපට කළා. බන්දු ලයිව් ඉන් කොන්සර්ට් කියලා සන්දර්ශනයක් කළා. මේ නිසා මාර කාර්ය බහුල ජීවිතයක් ගත කළේ. ඒ ජීවිතය ගැන කියලා වැඩක් නැහැ. දැන් මං තරමක් සන්සුන්. ඒකයි වේදිකාවට නැග්ගේ.

බොරු කකුල්කාරයෝ මංගල දර්ශනය පැවැත් වෙන්නේ කොළඹ නොවෙයි?

අපි නාට්‍යයක් හැදුවා කියලා ඒක කොළඹම පෙන්වන්න ඕනෑද? මං නම් එහෙම හිතන්නේ නැහැ. මේක ගමට හදපු නාට්‍යයක්. පෙන්වන්නේ ගම්මානවල පමණයි. ගම්වල මිනිස්සුන් ඉන්නවා පුදුම විදිහට වේදිකා නාට්‍යවලට කැමැති. ඔවුන්ටයි බොරු

කකුල්කාරයෝ හැදුවේ. ඒක නිසා මෙහි මංගල දර්ශනය පැවැත්වෙන්නේ ලබන ඉරිදා (24) වාද්දුවේ විජය කුමාරතුංග ශාලාවේ. මට මතක විදිහට මගේ පළමු වේදිකා නාට්‍ය වන යමලෝ වේදිකා ගත කළේත් වාද්දුවේමයි.

ඇයි කොළඹ ප්‍රේක්ෂකයන් අමතක කළේ? ඔබත් කොළඹ අවට සැරිසරන කෙනෙක්. ඔබ වටා ඉන්න ප්‍රේක්ෂකයන් වැඩි දෙනෙකු කොළඹ ප්‍රදේශයේ ජීවත් වන අය?

මං කොළඹ හිටියයි කියලා කරන නිර්මාණත් කොළඹට සීමා වෙන්න ඕනෑ නැහැනේ. කොළඹ ප්‍රේක්ෂකයන්ව අමතක කිරීමක් නොවෙයි මේ ප්‍රයත්නය. කොළඹ අවට අයට බන්දු ලයිව් ඉන් කොන්සර්ට් එක තියෙනවා. ඒක ගමේ කෙනෙකුට බලන්න බැහැ බී. එම්. අයි. සී. එච්. එකේ තියන හින්දා.

ඔවුන්ට එහි ප්‍රවේශ පත්‍රයක මිල දරා ගන්න බැහැ. අපි හිතමු දුර බැහැර ගමක කෙනෙකු බන්දු ලයිව් ඉන් කොන්සර්ට් බලන්න ආවයි කියලා. ඉතින් හත් දෙයියනේ එයා කොහොමද ඒක නරඹලා අවසානයේ ගෙදර යන්නේ. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් හරි. ගමේ අයට බොරු කකුල්කාරයෝ තියනවා. කොළඹ අයට බන්දු ලයිව් ඉන් කොන්සර්ට් තියනවා.

හාස්‍යෝත්පාදක වේදිකා නාට්‍යවලට ලැබුණු චෝදනාවක් තමයි දෙපිට කැපෙන වදන් භාවිත කරනවා කියන එක?

ඒක අනේ ප්‍රේක්ෂකයන් තේරුම් ගන්නා අන්දමනේ. සමහර අය ;ව්දිකා නාට්‍යක ඇති හාස්‍ය එක එක විදිහට තේරුම් ගන්නවා. නාට්‍යක ඇති දෙබසක් එක් ප්‍රේක්ෂකයකුට කුණුහරුපයක් වෙන්න පුළුවන්. වෙන කෙනෙකුට එහෙම නොවෙන්න පුළුවන්. ඒකට මං මොනවා කරන්නද?

සමහරක් විට මේ නාට්‍යයටත් එවැනි චෝදනා එන්න පුළුවන්. ඒත් මං පෙර පැවසූ පරිදි මෙහි දෙපිට කැපෙන වචන අඩංගු නැහැමයි. ඒක මං කියන්නේ ඉතාම වගකීමෙන්.

අද තියන සමහර විහිළුවලට හිනා යන්නේ නැහැ කියලා ගොඩක් දෙනෙකු කියනවා?

හාස්‍ය කියන දේ පරීක්ෂණය කරන්න හැකි දෙයක් නොවේ. හිනාව මතු වෙන්නේ කොයි අවස්ථාවක දී ද කියලා මටවත් කියන්න බැහැ.

ඇළපත හරහා බොක්ක කරකවලා හිනාව මතු වන්නේ කොයි වෙලාවටද ඒ අවස්ථාවේ ඔහුට හෝ ඇයට හිනා යනවා.සමහරක් අය කියනවා මට ඕවට හිනා යන්නේ නැහැ කියලා. ඒ විහිළුවටම ඇතැම් අය බඩ අල්ලගෙන හිනා වෙනවා.

මේක හරියට ජෝතිපාල සිංදු කිව්ව අයුරු හෙව්වා වගේ වැඩක්. තවමත් හොයනවා. ඒත් හොයා ගන්න බැහැ.

විහිළු හිනා යනවද නොයනවද කියන එක තීරණය කරන්නේ ප්‍රේක්ෂකයන්. ඇතැම් අයට හිනා නොගියට මං මොනවා කරන්නද?

බන්දු සමරසිංහ, වේදිකා නාට්‍ය රසිකයෙක් ද?

අනිවාර්යයෙන්ම. සෞම්‍ය ලියනගේ රඟපාන වේදිකා නාට්‍ය මං ආසවෙන් නැරැඹුවා. ධර්මසිරි බණ්ඩාරනායක කරන ඒවත් හොඳයි. අපේ ටෙනී (ටෙනිසන් කුරේ) කරපු නාට්‍ය බොහොමයක් මං බැලුවා.

ක්ෂේත්‍රයේ ඉන්නවා නම් මේ හැම දෙයක් එක්කම ටච් එකේ ඉන්න ඕනෑ. එතකොටයි අලුත් වෙන්න පුළුවන්.

බොරු කකුල්කාරයෝ එක්කද බන්දුගේ ඉදිරි ජීවිතය ගෙවෙන්නේ?

බොරු කකුල්කාරයෝ සඳහා හොඳ ඉල්ලුමක් ඇති වේවි. ඒ පිළිබඳ මට ඇත්තේ විශ්වාසයක්. කාලයකින් චිත්‍රපටයකින් මාව දැක්කෙ නැති නිසා ප්‍රේක්ෂකයන් උනන්දු වේවි මේ නාට්‍ය බලන්න. ඉල්ලුමට අනුව සැපයුම දෙනවා. ඒකෙ දෙකක් නැහැ. මෙයට සමගාමීව බන්දු ලයිව් ඉන් කොන්සර්ට් පවත්වන්නත් මං බලාපොරොත්තු වෙනවා.

1 comment:

  1. එල එල... ආවොත් බලන්න පුළුවන්!

    ReplyDelete