2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Thursday 19 August 2010

බ්ලැක් බොක්ස් - විවේචනයට විකල්පයක්

Author: Ravi Rathnavel
Date:12/08/2010
Source: Sarasaviya

නාට්‍යවේදී එම්. සෆීර්

මෙවර සරසවිය වේදිකාවට ගොඩ වෙන්නේ මෙරට නාට්‍ය හා රංග කලාවේ හෙට දවසේ යහපත වෙනුවෙන් අද දවසේ නව මං සොයා යන නාට්‍යකරුවෙක්. ලාංකේය වේදිකා රංගය ‘බ්ලැක් බොක්ස්’ හී ස්ථානගත කර, එහි ගමන් මගට නව මානයන් දෙන්නට වෙර දරන ඔහු නමින්

එම්. සෆීර්.

නාට්‍ය කලාවත් ඔබත් අතර සම්බන්ධය ගත්තොත්?

නාට්‍ය කලාවත් එක්ක මේ මම ගෙවමින් ඉන්න දෙවනි දශකය. ආපහු හැරිලා බලද්දී දිගු නාට්‍ය දොළහක්, පරිවර්තන, ස්වතන්ත්‍ර හා ද්වී භාෂා නාට්‍ය ඒකට ඇතුළත්.

එතකොට කෙටි නාට්‍ය විස්සක් . බ්ලැක් බොක්ස් නාට්‍ය නිෂ්පාදන තුනක් කරලා තියෙනවා. මම ලියපු පොත්වලින් එකක් උසස් පෙළ නාට්‍ය හා රංග කලාවට දාලා තියෙනවා. මීට අමතරව මා වටා එකතු වෙලා රටේ විවිධ දුෂ්කර පළාත්වල නාට්‍ය කණ්ඩායම් කිහිපයක්ම වැඩ කරනවා.

ඔය කිව්ව ප්‍රාදේශීය ජාලවල අරමුණ මොකක්ද?

‘ඉන්ටර් ඇක්ට් ආර්ට්’ කියන සංවිධානය හැටියට පහුගිය දශකයකට වැඩි කාලයක් තිස්සේ නාට්‍ය කලාවට පූර්ව සම්බන්ධයක් නැති මිනිස්සු අහඹු ලෙස තෝර ගෙන නාට්‍ය හා රංග කලාව ඔස්සේ රටේ අනාගත සංවර්ධනයට දායක කර ගන්න පුළුවන් නිර්මාණශීලිත්වයකින් යුතු යහපත් පුරවැසියන් බිහි කර ගැනීම තමයි මේකේ අරමුණ. මේකෙන් අපිවත් අපේක්ෂා නොකළ ආකාරයේ විශිෂ්ට ජයග්‍රහණත් අත්පත් කර ගන්න හැකි වෙලා තියෙනවා.

විශේෂිත ජයග්‍රහණයන් කිව්වේ?

ඔව්, මම නිර්මාණය කරපු බ්ලැක් බොක්ස් සිංහල නාට්‍යයක් නුවරඑළියේ ප්‍රධාන කණ්ඩායම දෙමළ භාෂාවෙන් නිර්මාණය කළා, ‘බිනීට ඕනෑ’ කියලා. ඒ නාට්‍යත් එක්ක චෙන්නායිවලට යන්න අපට ශිෂ්‍යත්වයක් ලැබුණා.

ඒ වගේ සාමාන්‍ය නාට්‍යකාරයකුට ඒ රටේ නාට්‍ය පෙන්වන්න නොලැබෙන තැන්වල පවා අපට ඒ නාට්‍ය පෙන්වන්න ලැබුණා. ප්‍රසාද් ස්ටුුඩියෝ එකේ වෙන රටක නාට්‍යයක් පෙන්නපු පළමු අවස්ථාව හැටියට අපේ නාට්‍ය වර්තාගත වුණා.

මැඩ්ඩ්‍රාස් විශ්ව විද්‍යාලය ඇතුළු උසස් අධ්‍යාපන ආයතන රැසක මේ නාට්‍ය වේදිකා ගත කළා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ නාට්‍යයේ සියලුම වැඩ කෙරුණේ සාමාන්‍යයෙන් වතුවල එළවළු වගාවක් වගේ දෙයක් කරගෙන හිටපු වතුකරයේ දෙමළ කෙල්ලො කොල්ලො අතින්.

මේකේ නළු නිිළියෝ වුණෙත් ඒ අයමයි. ඒ නාට්‍ය අපේ රටේ පාසල් නාට්‍යයක් හැටියට පෙන්වන්න සුදුසුය කියලා නිර්දේශ ලැබිලත් තියෙනවා. ඒ වගේම මේ නාට්‍යයත් එක්ක යාපනේ ගිය මම අර කිව්ව කෙල්ලො කොල්ලො ටික එහෙ අය පිළිගත්තේ සර්ලා මිස්ලා කියන ආමන්ත්‍රණයෙන්. හේතුව මාව මුල් කරගෙන මේ අය තමයි යාපනේ නාට්‍ය වැඩමුළු කළේ.

කිසි දවසක කලාකාරයෙක් නාට්‍යකාරයෙක් වෙන්න හිතපු නැති අයට මේ ක්ෂේත්‍රයේ වැදගත්කමක් හිමි පිරිසක් බවට පත් කරන්න පුළුවන් වුණේ නාට්‍ය හා රංග කලාව මාධ්‍ය කරගෙන අපි ගත්තු උත්සාහය නිසයි.

ඔය අත්දැකීමත් ඇතුළුව ඔබ නාට්‍ය ක්ෂේත්‍රයෙන් ලබපු අත්දැකීම් එක්ක බැලුවහම අපේ රටේ අද දවසේ වේදිකා නාට්‍ය ගැන ඔබට මොකද හිතෙන්නේ?

මෙහෙමයි, අපේ රටේ නාට්‍ය සම්බන්ධයෙන් මට පෞද්ගලිකවම තියෙන ප්‍රශ්නය තමයි නාට්‍ය කලාව ඇතුළේ සියලුම ශිල්පීන් මේ ජාතික මෙහෙවර වෙනුවෙන් තමන්ගේ දායකත්වය උපරිමයෙන් ලබා දුන්නත්, නිර්මාණකරුවාට හා නිර්මාණකරණයට සමාජයෙන් පෙරළා ලැබෙන ප්‍රතිචාරය අන්තිම අඩුයි කියන එක. ඒක භෞතික පහසුකම් පැත්තෙනුත් එහෙමයි. ප්‍රේක්ෂකයාගේ පැත්තෙනුත් එහෙමයි.

අපිම කියනවනේ ප්‍රේක්ෂකාගාරය දැන් ගිලිහිලයි කියලා. ඒකට හේතුව තමයි ප්‍රේක්ෂක හා නිර්මාණ යන පාර්ශ්ව දෙකේ යුතුකම් ඉටු නොවීම. මේක මෙහෙම වෙන්නේ හැමදාම එකම විදිහට තියෙන සාම්ප්‍රදායික තත්ත්වයන් ඇතුළේ එක තැන පල් වෙන්න ගත්තමයි.

මේ වෙන කොටත් නාට්‍ය හා රංග කලා ක්ෂේත්‍රයේ විවිධ වැඩ කෙරුණත් විවිධ මානයන් තිබුණත් ඉස්සරහට යාමක් නෑ. ඒකට හේතුව එක සීමාවකට ආවට පස්සේ නිර්මාණකරුවාට තමන්ගේ මුල් නිර්මාණය කළ ආකාරයේ සරල ඒවා කර දෙන්න බැරුව යනවා.

ඒකට පිළියමක් හැටියට අලුත් දෙයක් හොඳ දෙයක් කරන්න නම් ඒකට වැඩි වැඩියෙන් සම්පත් ඕන වෙනවා. ඒකට අවශ්‍ය භෞතික හා මානව සම්පත් නොලැබෙන කොට ඕනෑම ක්ෂේත්‍රයක් එක තැන පල් වෙනවා. නැත්නම් පිරිහෙනවා. ඒක වළක්වන්න නම් මේ එක තැන පල්වීමෙන් ගොඩ යන්න ඕන.

නාට්‍ය කියන ධාරාව ඇතුළෙත් ඔබ විකල්ප ධාරාවක යන්න ගන්නේ ඔය කියන තත්ත්වයන්වලට පිළියමක් හැටියට ද?

ඔව්, දැන් මම ම කියනවානේ මේ ක්ෂේත්‍රය එක තැන පල්වෙමින් තියනෙවය කියලා. මම එහෙම කියනවා නම් මට ඒකට විකල්පයකුත් තියෙන්න එපායැ. ඒ නිසා මම මගේ ශක්ති ප්‍රමාණයෙන් මේ නාට්‍ය ධාරාව ඇතුළේ වෙනත් මාර්ග හොයනවා. දැන් මම යමින් ඉන්නේ ඒ පාරේ. නාට්‍ය කලාව ඇතුළේ මට කරන්න පුළුවන් හොඳම දේ කරන්න මම උත්සාහ කරමින් ඉන්නවා.

ඒක සාර්ථක ද අසාර්ථක ද කියන එක අනාගතය විසින් තීන්දු කරාවි. මේ ගත වුණු අවුරුදු දහය පහළොව ඇතුළත මම මේ රටේ කෙල්ලො කොල්ලො විසි දහකට, තිස් දහකට විතර ජීවත් වෙන්න උගන්වලා තියෙනවා. මම ඒකෙන් කියන්නේ මේ පිරිසට මට නාට්‍ය හා රංග කලාව ඉගැන්නුවය කියන එක නෙමෙයි.

දර්ශන වාර සිය ගණන් පෙන්නපු නාට්‍ය මට නැතත් රසික විචාරක ඇගයීමට ලක් වුණු නිර්මාණ අතළොස්සක් මමත් කරලා තියෙනවා. දෙදහෙදි මම කරපු ‘ඔය දොර අරින්න’ නාට්‍ය ලංකාවේ නාට්‍ය ඉතිහාසයේ වෙනත් මගක් ගත් සුවිශේෂී නාට්‍යයක් හැටියට සටහන් වේවි. ඔය විදිහට ගිය ගමනේ එක ප්‍රතිඵලයක් තමයි ලෝකේ විශිෂ්ට රංග කලා මාධ්‍යයක් වන ‘බ්ලැක් බොක්ස්’ කියන රංග කලාව ලංකාවට හඳුන්වලා දෙන්න පුළුවන් වීම.

‘බ්ලැක් බොක්ස්’ සංකල්පය ඔබේ අත්දැකීමක් බවට පත් වෙන්නේ මොන විදිහටද?

2008 දී ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ශිෂ්‍යත්වයක් දීලා මාව යුරෝපයේ වේදිකා නාට්‍ය උළෙලකට යැව්වා. දකුණු ආසියාතික නියෝජිතයෙක් හැටියට ඒ ගිය ගමනේ මූලික අරමුණ වුණේ රටවල් තිස් හයක නාට්‍යකරුවන්ගේ නාට්‍ය බැලීමෙන් පස්සේ ලෝකයටම පොදු ජාත්‍යන්තර රංග කලා භාෂාවක් හදන්න පුළුවන්ද කියන සංවාදයට සහභාගී වීම.

ඒක දවස් පහළොවක විස්සක විතර නාට්‍ය වැඩමුළුවක් කිව්වත් වැරැදි නෑ. එතැනට ගියාම දැනගන්න ලැබුණා ඒක විකල්ප නාට්‍ය උළෙලක් විත්තිය. ඒ කාලය තුළ එක දිගට නාට්‍ය හැත්තෑවක් විතර මම බලලා තිබුණා. මේ නාට්‍ය උළෙලේදී තමයි මුල් වතාවට මමත් බ්ලැක් බොක්ස් අත්දෑකීම ලබන්නේ.

අපි ලකාවේදී නාට්‍ය හැටියට ඉගෙන ගත්තු හෝ අහපු දැකපු වපසරියට මේ නාට්‍ය ඇතුළු වෙන්නේ නෑ. ඒ ගැන හොයා බලද්දී තමයි දැන ගත්තේ ඒ බ්ලැක් බොක්ස් සම්ප්‍රදායය කියන විත්තිය. ඊට පස්සේ මම කල්පනා කළා මේ බ්ලැක් බොක්ස් අත්දැකීම අපේ රටට ගලප්පන්නේ කොහොමද කියලා.

ලෝක නාට්‍ය කලාවේ ඇරීනා තියටර්, ඇම්පි තියටර්, ට්‍රස්ට් තියටර්වල අත්දැකීම් හා ඒවායේ අඩුපාඩුවලට පිළියම් සෙවීමේ ප්‍රතිඵලය හැටියට තමයි ප්‍රොසීනියම් තියටර් ක්‍රමය ආවේ. ඒකත් මේ වෙන කොට අවුරුදු 250 කට එහා පරණයි.

මේකේ දී නිර්මාණකරුවාත්, ප්‍රේක්ෂකයාත් එකතු වෙලා තමන්ට මේ භාවිතාවේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න ගත්තු උත්සාහයේ ප්‍රතිඵලය තමයි බ්ලැක් බොක්ස් ක්‍රමය. වේදිකාවෙන් එහා පැත්ත එහෙමත් නැත්නම් ප්‍රේක්ෂකයාට නොපෙනෙන කොටසේ සිද්ධ වෙන මැජික් එක දැක බලා ගන්න ප්‍රේක්ෂකයාට ඇති වුණු අවශ්‍යතාවය තමයි මේ දෙපිරිස බ්ලැක් බොක්ස් කියන රංග ක්‍රමය වෙතට තල්ලු කළේ.

සාම්ප්‍රදායික ප්‍රොසීනියම් වේදිකාවේ ප්‍රේක්ෂකයා සහ රංගය අතර තියෙන හිඩැස අහෝසි කර දැමීම බ්ලැක් බොක්ස් තියටර් ක්‍රමයේ එක අරමුණක්. අනෙක් අරමුණ තමයි රඟහලට එන සෑම ප්‍රේක්ෂකයකුටම රංගනය රස විඳින්න එක හා සමාන අවස්ථාවන් ලබා දීම.

එරීනා තියටර් එකේ විසි තිස් දාහක් බලපු නාට්‍ය ඊට අවුරුදු සිය ගණනකට පස්සේ දෙසීයකට වගේ සීමා වෙනවා. එහෙම වෙන්නේ නිර්මාණ සන්නිවේදනය ප්‍රබල කරන්න ඕන නිසයි. මේ ක්‍රමය යටතේ එක නිර්මාණයක් එකම තැන අවුරුද්දක් හෝ ඊට වැඩි කාලයක් (බ්‍රෝඩ්වේ තියටර්) වගේ තැනක රඟ දැක්වෙන කොට අති විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවකට එය වඩා හොඳින් නරඹන්න ලැබෙනවා.

ප්‍රේක්ෂක පිරිස සීමා කරලා නිර්මාණ සන්නිවේදනය ප්‍රබල කරන, ප්‍රේක්ෂකයා හා රංගනය අතර සෘජු සබඳතා ගොඩ නගන ක්‍රමයක් හැටියට තමයි බ්ලැක් බොක්ස් ලෝකෙට එන්නේ. ලෝකයට බ්ලැක් බොක්ස් ආවේ නවසිය විස්සෙදි විතර. නමුත් නවසිය පනහෙදී තමයි ඇමරිකාව මුල් කරගෙන බ්ලැක් බොක්ස් ධාරාව ලෝකෙට ව්‍යාප්ත වෙන්නේ. ඒකෙනුත් අවුරුදු හැටකට විතර පස්සේ තමයි අපි ඒක අපේ රටට ගේන්නේ.

ඔබ සහ ලංකාවේ බ්ලැක් බොක්ස් අතර සම්බන්ධය ගැන කතා කරනවා නම්?

බ්ලැක් බොක්ස් කියන වචනය මුලින්ම ලංකාවේ භාවිතා කරන්න ගන්නේ මම. ලෝකේ ප්‍රධාන ධාරාවේ නාට්‍යකරුවන්ගේ නාට්‍ය අපේ රටට ගෙන ඒමේ උත්සාහයක් හැටියට තමයි මම ලංකාවේදී බ්ලැක් බොක්ස් අත්හදා බලන්නේ. ‘බිනීටත් ඕන’ කියන නිර්මාණය ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පෙන්වමින් තමයි අපි මෙහේ බ්ලැක් බොක්ස් පටන් ගත්තේ.

ලැබෙන ප්‍රතිචාරය මොන වගේද?

‘බ්ලැක් බොක්ස්’ අත්දැකීම ලබන්න ආපු පේ‍්‍රක්ෂකයෝ හැම දෙනාම පාහේ පොදුවේ පිළිගත්තා ප්‍රේක්ෂකයා සහ රංගය අතර හිඩැස නිශේධනය වීම මාරයි කියලා. හැබැයි ඒක මාරයි වුණාට අපටත් තිබුණා තව විසඳ ගන්න ප්‍රශ්න. ඒනිසා 2009 දී ‘හිස් අවකාශය පුටුව අරං’ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී රංගනය මැද යද්දී හතර පැත්තම ප්‍රේක්ෂකයාට විවෘත කරලා රංගනය රස විඳින්න ඉඩ සැලැස්සුවා.

නාට්‍යකරුවෙකු හැටියට මේ විදිහට හතර පැත්තම රසිකයාට විවෘත වීම කියන දේ ඔබ දකින්නේ මොන විදිහටද?

නාට්‍ය හා රංග කලා සිද්ධාන්තය අනුව නළු නිළියන්ව මරන්න තියන හොඳම ක්‍රමය තමයි ඒ අයව මැදට දාලා වටේට මිනිස්සු තියන එක. ඒක රිස්කි වැඩක්. ශිල්පියාට කිසිම පිළිසරණක් නෑ. ඒ නිසාම රංගනයෙන් පිට පනින්න රංගන ශිල්පියාට ඉඩක් නෑ.

අද වෙන කොට බ්ලැක් බොක්ස් රංග ක්‍රමයේ තත්ත්වය?

ලෝකයේ නම් එය ඉතාම දියුණු මට්ටමකට ඇවිත් තියෙනවා. නමුත් ඇමරිකාවේ මුලින්ම බ්ලැක් බොක්ස් ආරම්භ වෙලා තියෙන්නේ අත්හැරල දාපු ගබඩා කාමරවල වගේ තැන්වල. රඟහලක් නැතිකමටත් වඩා ප්‍රධාන ධාරාවට යන්න ඉඩක් නැති රස්තියාදුකාර තරුණායට තම නිර්මාණ පිපාසාවා සංසිඳුවා ගන්න පහසු නිසා එතෙන්දි නිර්මාණය ප්‍රබලයි. අනෙකුත් අවශේෂ සම්පත් අවමයි.

ඒක තරුණයන්ට ඔරොත්තු දුන්නා වගේම මේ අලුත්ම අත්හදා බැලීමට මිනිස්සුත් කැමැති වුණා. යථාර්ථවාදී ප්‍රබල නිර්මාණ මේවායෙන් එළි දැක් වුණු නිසා ඒවා ජනතාව අතර ජනප්‍රිය වුණා. අපේ රටේත් දශක තුනක හතරක කාලයක් රංග කලාවත් එක්ක ඉන්න ප්‍රවීණයෝ අපේ මේ උත්සාහය අගය කළා සහ ඊට දිරි දෙන වගත් කියන්න ඕන. මේ නිසා බ්ලැක් බොක්ස් කෙටි නාට්‍ය නිර්මාණ උළෙලක් පවත්වන තැනට අපට එන්න පුළුවන් වෙලා තියෙනවා.

* බ්ලැක් බොක්ස් ලංකාවේ අයිතිය ඔබටය කියලද කියන්නේ?

මෙහෙමයි, යුරෝපයට ලංකාවෙන් ගිය පළවෙනියා සහ අන්තිමයා මම නෙවෙයිනේ. මට කලින් බ්ලැක් බොක්ස් දැකපු අය ඕන තරම් ඇති. වැඩිදුරට ඒ ගැන ඉගෙන ගත්තු අයත් ඇති. නමුත් මම යුරේපයේදී ලබපු ඒ අත්දැකීම ලංකාවට ගේන්න වැඩ කළා.

රඟහලක් හැදුවා. සිංහල හා දෙමළ මාධ්‍යයේ බ්ලැක් බොක්ස් නිර්මාණ කළා. ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයත් එක්ක එකතු වෙලා බ්ලැක් බොක්ස් රංග කලා වැඩමුළු කළා. මේ ක්‍රමවේදය ඉදිරියට ගෙනි යන්න ශක්තිය හා වුවමනාව තියෙන අයට ඒ දැනුම බෙදා දුන්නා.

ප්‍රයෝගික අත්දැකීම් ලබා දුන්නා. මේ අය යොදා ගෙන තමයි ‘බොක්ස් විතවුට් ලොක්ස්’ කියන නිර්මාණය බිහි කළේ. මේ වැඩමුළුවලින් බ්ලැක් බොක්ස් පිළිබඳ මූලික අදහසක් හා ප්‍රයෝගික අත්දැකිමක් ඇති පිරිසක් මම බිහි කරලා තියෙනවා. හැබැයි දැන් නම් මගෙන් බ්ලැක් බොක්ස් ඉගෙන ගත්තු සමහරු ලංකාවට ‘බ්ලැක් බොක්ස්’ ගෙනාවේ එයාලය කියලත් කියා ගන්නවා.

‘බ්ලැක් බොක්ස්’ නිසා අපි රංග කලා භාවිතයේ නවීන තැනක ඉන්නවය කියලා සෑහීමකට පත්වෙන්න පුළුවන් කමක් තියෙනවාද?

එහෙම සෑහීමකට පත් වෙන්න පුළුවන්කමක් නෑ. හේතුව මේ වෙන කොට හය වෙනි රංග ක්‍රමයත් නූතන ලෝකය පාවිච්චියට අරගෙන තියෙනවා. ඒ තමයි ‘සොයා ගත් හෝ සකසා ගත් අවකාශයක’ නාට්‍ය කරන එක. මේක තමයි අද ලෝකයේ තියෙන අලුත්ම ප්‍රවණතාවය. යුරෝපයේ මේ වෙන කොට බ්ලැක් බොක්ස් ප්‍රධාන ධාරාව වෙලා ප්‍රොසීනියම් පරණ එක.

නමුත් අපේ රටේ ප්‍රොසීනියම් ප්‍රධාන ධාරාව වෙලා. බ්ලැක් බොක්ස් කියන්නේ අලුත්ම ප්‍රවේශය. ඒ නිසා ලෝකයේ අලුත්ම අත්හදා බැලීම ගැන තවම අපි හිතලවත් නෑ. ඒත් අවුරුදු දහයක් තිස්සේ අපි සොයා ගත් හෝ සකසා ගත් අවකාශයක නාට්‍ය කිරීම ඒ පිළිබඳ දැනුවත්භාවයක් ඇතුවම කරගෙන යනවා.

ඔය කියන ‘සොයා ගත් හෝ සකසා ගත් අවකාශය’ කියන ක්‍රමය අපේ වීදි නාට්‍යයන්ගෙන් වෙනස් වෙන්නේ මොන විදිහටද?

කලින් සකසා ගත් නාට්‍යයක්. ඒ කියන්නේ වේදිකා නාට්‍යයක තිබිය යුතු සියලුම මූලිකාංග නිවැරැදි රංගාලෝක පද්ධතියක් ඇතුළුව අංග සම්පූර්ණ නාට්‍ය අත්දැකීමක් දෙන ගුණාත්මක නාට්‍ය නිෂ්පාදනයක්. අප විසින් තෝරා සකසා ගත් තැනක පූර්ව ප්‍රචාරයක් ඇතුව රඟ දැක්වීමක් තමයි මේකෙන් වෙන්නේ. ඒ නිසා මේ ක්‍රමය වීදි නාට්‍යයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් අලුත්ම අත්දැකීමක්.

හදිසියේ තැනකට කඩා වැදිලා දවල් දොළහට නාට්‍ය පෙන්නවන්නේ නෑ. උදාහරණයකට අපි තෝරා ගන්නේ කමතක් නම් ඒ කමතට විදුලිය අතුළු නාට්‍යයකට අවශ්‍ය සියලුම අංග සපයාගෙනයි නාට්‍ය කරන්නේ. ඒක වේදිකා නාට්‍යයක් රඟ දක්වන තරමටම සමහර විට ඊටත් වඩා අමාරු වැඩක්. මේක සමාජ නාට්‍ය කියන වර්ගයට වැටෙන නාට්‍ය සංකල්පයක්.

අපේ රටේ ප්‍රධාන නාට්‍ය ප්‍රේක්ෂකාගාර හිස් වෙලාය කියන මැසිවිල්ලක් නැගෙන පසුබිමක බ්ලැක් බොක්ස් ක්‍රමයෙන් ප්‍රේක්ෂකාගාරය තව තවත් හැකිලීමක් නේද වෙන්නේ?

ඔව්, ඒක මම පිළිගන්නවා. නමුත් මේ ලෝකේ ඕනෑම සාධනීය වෙනසක් කරනව නම් කරලා තියෙන්නේ සුළු පිිරිසක් එකතු වෙලයි. ලොකු පිරිසක් ආමන්ත්‍රණය කරන්න අපි ආශා කළත් මේ වෙන කොට අපට එහෙම විශාල සක්‍රීය ප්‍රේක්ෂක පිරිසක් නැහැ.

ඒ නිසා යහපත් රසිකත්වයක් සහිත බහුතර රසික පිරිසක් නැවත නිර්මාණය කිරීමේ අභියෝගය තමයි අද දවසේ අපේ නාට්‍යකරුවා හමුවේ තියෙන්නේ. අන්න ඒ අභියෝගයට මුහුණ දෙන්න නම් අපට ඒ වැඩේ පටන්ගන්න වෙන්නේ සුළු පිරිසකගෙන් තමයි. නැවත අපේ රසික පදනම හැදීමේ එක උත්සාහයක් තමයි බ්ලැක් බොක්ස්වලින් අපි කරමින් ඉන්නේ. අතිශය ආකර්ශනීය හා ආක්‍රමණශීලී බ්ලැක් බොක්ස් රංග අත්දැකීම ප්‍රේක්ෂකයා නැවත වැඩි වැඩියෙන් වේදිකාවට එකතු කරන උත්තේජකයක් වේවිය කියන එකයි මගේ විශ්වාසය.

නාට්‍යකරුවෙක් හැටියට ඔබ විකල්ප ධාරාවට බර කෙනෙක් වෙන්නේ මොන අර්ථයෙන් ද?

සම්ප්‍රදායික නාට්‍ය ධාරාව ගැන මට හැමදාමත් විවේචනයක් තියනවා. විවේචන ඇත්තක් නම් මගේම වූ විකල්පයකුත් ඒකට තියෙන්න ඕනනේ . අද වෙන කොට වේදිකා රංගනය වාචික භාෂාව ඉක්මවා ගිය නාට්‍ය භාෂාවක් මත පදනම් වුණු දියුණු කලාවක්. ඒක දවසින් දවස අලුත් වුණොත් විතරයි ප්‍රේක්ෂකයා රඳවා ගන්න අපට පුළුවන් වෙන්නේ.

No comments:

Post a Comment