2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Friday 20 August 2010

අධ්‍යක්ෂවරයා සොඳුරු ආඥාදායකයකු විය යුතුමයි

Author: Ravi Rathnavel
Date:18/03/2010
Source: Sarasaviya

ප්‍රවීණ රංගන ශිල්පි ප්‍රසාද් සූරියආරච්චි

මෙවර ‘වේදිකාවට’ ගොඩ වෙන්නේ ප්‍රතිභාපූර්ණ තරුණ රංගන ශිල්පියකු වන ප්‍රසාද් සූරියආරච්චිය. ස්වකීය රංගන අනන්‍යතාව නිසා රසික විචාරක පාර්ශ්වයන්ගේ විශ්වාසය දිනා සිටින ඔහු මේ දිනවල රාජිත දිසානායකගේ ‘ආපසු හැරෙන්න බැහැ’, ආර්. ආර්. සමරකෝන්ගේ ‘කැලණි පාලම’, නාලක විතානගේ නිර්මාණයක්‘උපන්දා මරණය’ යන වේදිකා නාට්‍යවලට අමතරව ‘රිදී තාරකා’ හා ‘තක්සලාව’ යන ටෙලි නාට්‍යවලින් ද ඔබ හමුවට එයි. මේ දිනවල සිදු කෙරෙන ප්‍රසන්න විතානගේ ‘දෙබිඩ්ඩෝ’ හී පුහුණුවීම් අතරතුර ප්‍රසාද් සමඟ සරසවිය කළ සංවාදයක සටහනයි මේ.

ඔබ වෘත්තීය නළුවෙක්ද, නීතිඥයෙක්ද?

ජීවන වෘත්තිය වෙන්නේ නීතිය. මානසික තෘප්තිය, නිදහස වගේ කාරනා සඳහා පාසල් සමයේ ඉඳලම වේදිකාවේ ඉන්න කෙනෙක් මම. ඒ අර්ථයෙන් රංගනය කියන්නේ මගේ ආත්ම ප්‍රකාශන මාධ්‍යය කියලා කියන්න පුළුවන්.

නාට්‍ය ක්ෂේත්‍රයට ඔබේ යොමු වීම සිද්ධ වෙන්නේ?

පොඩි කාලේ ඉඳලම වේදිකා නාට්‍ය බලන්න ආසයි. මේ ඇල්ම නිසාම මොරටුවේ සිංහ සමාජය සංවිධානය කළ වේදිකා නාට්‍ය වැඩ මුළුවකට ගියා. සුගතපාල ද සිල්වා, සෝමලතා සුබසිංහ වගේ අය ඒක මෙහෙයෙව්වේ. එතෙන්දි ලැබුණු ආභාෂය, ඇති වුණ ලැදියාව හා හැකියාවන් හඳුනා ගැනීම කියන කාරණා නිසා සෝමලතා සුබසිංහ මහත්මියගේ විකෘති නාට්‍යයට මම සම්බන්ධ වුණා. ඒ වෙන කොටත් මම පාසල් ශිෂ්‍යයෙක්.

වේදිකාවේ නිර්මාණ දායකත්වය දිනා ආපසු හැරිලා බැලුවොත්?

මරාසාද්, පුන්තිලා, ජුලියට්, ගිම්හාන රැයක සිහින, පරාක්‍රමගේ උත්තමාවී, වගේම ප්‍රසන්නගේ සියළුම නාට්‍යවලටත් රාජිතගේ නාට්‍ය තුනකත් විවිධ පරාසයන්වල රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම මට පෙර හා පසු පරම්පරාවන්ගේ දක්ෂ නිර්මාණකරුවන් රැසක් සමඟ වැඩ කරන්නත් අවස්ථාව ලැබුණා.

රංගනයේ රස වින්දනය ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

නාට්‍යයක රඟපානවා නම් අපි නිර්මාණයට අවංකවීමත්, තමන් කරන චරිතය තමන් විඳීමත් අත්‍යවශ්‍ය කාරණා ලෙසයි මම දකින්නේ. තමන්ට විඳින්න බැරි නම් ඒකෙන් ප්‍රේක්ෂකයා වින්දනය කරන්න බැහැ කියන එකයි මගේ පිළිගැනීම.

නිර්මාණයක සාර්ථකත්වයට හේතු වෙන්නේ මොන වගේ කාරණාද?

හොඳ අධ්‍යක්ෂවරයෙක්, සාර්ථක පිටපතක් තිබිය යුතුයි. හැදෑරීම ඔස්සේත්, අධ්‍යක්ෂවරයාගේ මඟ පෙන්වීම නළුවාගේ හැකියාව ඉස්මතු කර ගැනීම යන කාරනා ඔස්සේ තමයි නිර්මාණයක සාර්ථකත්වය රදා පවතින්නේ.

රංග කාර්යය ඔබ වටහා ගන්නේ?

රචකයකයාගේ මනසේ තියෙන සිතිවිල්ල වටහා ගැනීම ප්‍රධානම කාරණය. ඊට පස්සේ ඒ පෞද්ගලික අත්දැකීම පොදු අත්දැකීමක් බවට පත් කිරීම තමයි රංග කාර්ය වෙන්නේ. ඒ සඳහා අධ්‍යක්ෂවරයා ඇතුළු සෙසු පිරිසගෙන් ලැබෙන සහය ඉතා වැදගත් වෙනවා. නිර්මාණයක අනෙකුත් චරිත හා දායකත්වයන් මත පදනම්ව තමයි රංගන ශිල්පියකුගේ රංගනය මතු වෙන්නේ. ඒ නිසා නළුවෙකුට තනියම රඟපාන්න බැහැ. තනි තනිව චරිත නිරූපණය කළා වුණත් රංගනය කියන්නේ සාමුහික වැඩක්.

රඟපෑම ඔබ දකින්නේ කොහොමද?

නළු කාර්ය චරිතයේ ජීවත්වීමය කියන අදහසක් ඒ කාලයේ තිබුණා. එකෙන් කිව්වේ නළුවා භාවාතිශය විය යුතුය කියන එක. නමුත් අද වෙන කොට නළුවා චරිතය තුළට ඒම වගේම ඊට පිටතින් සිටත් කායිකව හා මානසිකව සමබරතාවයක් ඇතුව ඒ චරිතය ප්‍රතිනිර්මාණය කිරීම රඟපෑම කියන මතය වඩාත් ඉදිරියට ඇවිත් තියෙනවා. පෙර කී ආවේශවීමක් වුණොත් අනිත් නළුවා කරන්නේ මොකක්ද කියන එක ගැනවත් අවබෝධයක් නැතිව යනවා. සාමුහිකත්වයත් නැතුව යනවා. ඒකෙන් වෙන්නේ නිර්මාණයට හානියක්.

නිර්මාණකරණයේදී අධ්‍යක්ෂවරයා හා රංගන ශිල්පියා අතර තියෙන්නෙ ඕන මොන වගේ ගනුදෙනුවක්ද?

අධ්‍යක්ෂවරයා සොඳුරු ආඥාදායකයකු විය යුතුයි. නළුවාගෙන් කෘතියට අවශ්‍ය සාධාරණය ඉටු කරවා ගැනීම අධ්‍යක්ෂවරයාගේ කාර්යභාරයයි. අනෙක් අතට කියන දේම කිරීම වෙනුවට නළුවා ඒ චරිතයට අවශ්‍ය ඒ සඳහා තමන් තුළ ඇති දේ එකතු කළ යුතුයි. පිටපතක් අතට ලැබුණු මොහොතේ සිට නළුවා හෝම්වර්ක් එකක් කළ යුතුමයි. ඒ චරිතයට සාධාරණයක් හා අධ්‍යක්ෂවරයාගේ අපේක්ෂාව ඉටු වෙන්නේ එහෙම කළොත් පමණයි.

විධිමත් රංග පාසලක් නැතිකම අපට බලපාන්නේ මොන විදිහටද?

විධිමත් රංගන පාසලක් අද වෙනකම් නෑ. එකේ ප්‍රතිඵලයක් හැටියට වේදිකාවේ වෘත්තීය රංගන ශිල්පීන් නැති වෙලා තියෙනවා. දැනට වේදිකාවේ ඉන්නේ වේදිකාව නොමැරි පවත්වා ගත යුතුය යන කැපවීමක් තියෙන පිරිසක් මිස ඒ අය වෘත්තීය නළු නිළි පිරිසක් නෙවෙයි. අනෙක් අතට පොත පතින් හෝ වැඩමුළුවලින් පමණක් දක්ෂ නළුවෙක් බිහි කරන්න පුළුවන්ය කියල මම හිතන්නේ නෑ.

එහෙම නම් වේදිකාවට අවශ්‍ය සම්පත් සපයා ගන්නේ කොහෙන්ද?

වේදිකාවට සැබැවින්ම ආදරය කරන ඊට ඇලුම් කරන පිරිසක් මත තමයි අපේ රටේ වේදිකාව රඳා පවතින්නේ. නළුවෙක් වෙන්න නම් තමන්ගේ සහජ හැකියාවක් තිබිය යුතුමයි. එය ඔප මට්ටම් කරගන්න නම් සමාජ සත්ත්වයෙක් හැටියට නළුවා ඇසූ පිරූ කෙනෙක්, පොළොවේ පය ගහලා ජීවත්වෙන පිරිච්ච කෙනෙක් වෙන්න ඕන.

වේදිකාවට ආදරය කරන පිරිසක් ඉඳලත් අපේ ප්‍රේක්ෂකාගාර බිඳ වැටුණේ ඇයි?

එක්තරා කාලෙක වේදිකාවට හොඳ කාලයක් තිබුණා. විශාල රසික පිරිසක් අසූූව දශකයේ වේදිකා නාට්‍ය බලන්න ආවා. ඒ ඇති වුණු පිබිදීම පවත්වාගෙන යන්න බැරි වුණේ ඇයි ද කියන කාරණය සොයා බැලුවාම අපට පැහැදිලිව පේන කාරණයක් තියෙනවා.

වේදිකාවේ අවසාන තීරකයා වෙන්නේ නළුවා හෝ නිළිය. ඔහු හෝ ඇය ප්‍රේක්ෂකාගාරයට සාධාරණය ඉෂ්ඨ කරනවාද කියන කාරණය උඩයි ප්‍රේක්ෂකාගාරය රඳා පවතින්නේ. නමුත් ඒ දේ නැති වුණොත් වේදිකාවේ විනය බිඳ වැටුණොත් වේදිකාව ඉවරයි. සෙනඟ දැකලා දෙබස් වෙනස් කරන, නාට්‍ය අවස්ථා වෙනස් කරන තැනකට අපේ ඇතැම් අය ගිය නිසයි අර ඇති වෙච්ච ප්‍රේක්ෂක රැල්ල නැති වුණේ. ඒ වගේම සමාජ ආර්ථික සංසිද්ධීනුත් මේ කඩා වැටීමට බලපෑවා. නමුත් ප්‍රධාන වශයෙන්ම ප්‍රේක්ෂකාගාරයේ විශ්වාසනීයත්වය බිඳ වැට්ටුවේ මුදල් ගරා ගැනීමේ මාර්ගයක් බවට වේදිකාව පත්කර ගත් පිරිස. නාට්‍ය රස වින්දනය වෙනුවට බාල හරසුන් රසයක් දෙන්නට යාම නිසාය කියන එකයි මගේ පිළිගැනීම.

ඒ තත්ත්වයේ යම් වෙනසක් අද වෙලා තියෙනවද?

ඔව් අර බිද වැටුණු විශ්වාසනීයත්වය නැවත ගොඩ නැගීමක් පේන්න තියෙනවා. සාර්ථක නාට්‍යකරුවා පසුපස අදත් හොඳ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ප්‍රසන්න වගේ කෙනෙක් වසර ගණනාවකට පසුව නැවත නාට්‍යකරණයට යොමුවීමෙන් මේ සුබවාදී බව අපට දැනෙන්න අරන් තියෙනවා.

නිර්මාණකරුවෙක් වුණු ඔබ අද ඒකෙන් ඈත් වෙලා එහෙම වුණේ ඇයි?

කාලයත් සමඟ මට මගේ නිර්මාණයක් කරන්න තියෙන අවකාශ ඇහිරිලා තියෙන නිසා තමයි මම වඩා සාර්ථක නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට දායක වෙන්නේ.

කැලණි පාලම

හුදු නළුවකු පමණක් නොවී නිර්මාණකරුවෙකු ද වන ඔබ අධ්‍යක්ෂවරයා සමඟ ගනුදෙනු කරන විදිහේ වෙනසක් තියෙනවාද?

නිර්මාණකරුවෙක් විදිහට මට තියෙන අත්දැකීම් එක්ක මම දායක වෙන නිර්මාණවලදී අධ්‍යක්ෂවරයා එක්ක සුහදශීලී ගනුදෙනුවක් කරගන්න හැකියාව අදටත් පවත්වාගෙන යනවා. නමුත් එතෙනදිත් අවසාන තීරණයට අධ්‍යක්ෂවරයාට තියෙන ඉඩකඩ ගැනත් අපට හිතන්න වෙනවා. ඒ ගැනත් හිතලා නිර්මාණයටත්, නිර්මාණකරුවාටත්, මටත් අසාධාරණයක් නොවන වෙනස්කම් කර ගැනීමේ හැකියාව අද දක්වාම මට ලැබිලා තියෙනවා.

වත්මන් තරුණ නාට්‍යකරුවන් ගැන ඔබට තියෙන්නේ මොන වගේ ආකල්පයක්ද?

තරුණ පරම්පරාව වැදගත් හොඳ සාර්ථක නාට්‍ය කරනවා. අද ඉන්න කෙනෙකුට හිතෙන එකක් නෑ එදා තමයි ස්වර්ණමය යුගය තිබුණේ අද ඒක නෑ කියලා. නමුත් මම එක දෙයක් දකිනවා. ඒ තමයි ගෑනියි, මිනිහයි, ඇඳටයි සීමා වෙච්ච නාට්‍ය රැල්ලක් ඇතිවීමේ ප්‍රවණතාවය. ඉන් එහාට ගිය සිතීමකට තරුණ නාට්‍යකරුවා පෙඹුණේ නැති ස්වභාවයක් මම දකිනවා. මේකත් ප්‍රේක්ෂකාගාරය හිස් වෙන්න හේතු වුණා. අවශ්‍යතාවයක් සාධාරණ හේතුවක් නැතුව පරුෂ වචන භාවිත කිරීම වගේ දේවල් රැඩිකල් වැඩක්ය කියලා හිතන පිරිසක් නාට්‍යකරණයට යොමු වුණා. මේ අයගෙන් නාට්‍යයට වැඩකට වඩා අවැඩක් තමයි වුණේ. ඒ ඇරුණු කොට හොඳ මට්ටමේ තරුණ නාට්‍යකරුවන් පිරිසකුත් අපට ඉන්නවා.

නාට්‍ය ක්ෂේත්‍රයේ මෑත ප්‍රවණතා ගැන?

යම් දේශපාලන මතයක් දරමින් නිර්මාණ කළොත් ඒ රාජ්‍ය මතවාදයට පිටින් යෑමක්ය. අවශ්‍ය කියන තත්ත්වයකුත් මෑත කාලයේ දකින්න ලැබුණා. නාට්‍ය ප්‍රදර්ශනය වළක්වා ගන්න අධිකරණයට යන තත්ත්වයක් පවා ඇති වුණා. මේවා බුද්ධිමත් විදිහට කළමනාකරණය කිරීම නිර්මාණකරුවාගේ් යුතුකමක් හා වගකීමක්. මොකද නාට්‍යකරුවා දැන සිටිය යුතුයි ඔහු නාට්‍ය කරන්නේ කාටද කියන කාරණය.

වාරණයට දොර ඇරෙන්නේත් ඔතනින් නේද?

කලාකරුවාගේ දැනුම අනුව ඔහු ස්වයං වාරණයකට යාම මිසක් රජයක් හෝ පාලක පංතිය විසින් කලාව පාලනය කරන තැනකට යනවා නම් ඒක අනවශ්‍ය දෙයක්. ඒකෙන් කලාවට හෝ සමාජයට සෙතක් වෙන්නේ නෑ. පාලකයන් තමන්ට අවශ්‍ය දේ නාට්‍යකරුවන් ලවා කරවා ගන්න යනවා නම් ඒකත් යථාර්ථයක් නොවන මිත්‍යාවක් වෙනවා වගේම එවැනි අය සැබෑ නාට්‍යකරුවන් වෙන්නෙත් නෑ. ඒ වගේම නීතියෙන් කලාව පාලනය කරන්න බැහැ. කලාවේ පැවැත්ම තීරණය කරන්නේ නිර්මාණකරුවා හා රසිකයන්. ඔවුන් තමයි රටක කලාව කියන දේ තීරණය කරන්නේ.

කලාකරුවා කියන හැඳින්වීම ඔබ බලන්නේ මොන විදිහටද?

කලාකාරයෙක් කියනවට වැඩියෙ නිර්මාණකරුවෙක් හැටියට හැඳින්වීමයි සුදුසු වෙන්නේ. ලංකාවේ නැති වුණත් නාට්‍යකරුවෙක් කියන්නෙත් වෘත්තිකයෙක්. නමුත් අවාසනාවට ලංකාවේ නාට්‍යකරුවෙකුට වෘත්තිකයෙක් හැටියට රඳා පවතින්න බැරි වෙලා තියෙනවා.

අපේ රටේ නිර්මාණලට ශිල්පීන් දායක කරගන්න ක්‍රමය ගැන?

Casting Director කෙනෙක්ගේ කාර්යභාරය ලංකාවේ නැති නිසා සුදුසු චරිතය තෝරා ගන්නවා වෙනුවට ඒ සමඟ ගනුදෙනු කරන්න පුළුවන්, සණ්ඩු සරුවල් නැතුව නාට්‍ය වේදිකා ගත කරන තෙක් සමගියෙන් යන්න පුළුවන්කම, දැන හැඳුනුම්කම වගේ දේවල් උඩ චරිත තෝරා ගැනීම වෙන්නේ. ඒක සුදුසු දෙයක් නෙමෙයි.

එතකොට ඔබ යම් නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ මොන පදනමින්ද?

අධ්‍යක්ෂවරයා එක්ක වැඩ කරන්න තියෙන හැකියාව මුලින්ම බලනවා. සමහරු පොලිස්කාරයො වගේ. තවත් පිරිසක් ඉන්නවා මොකක් හෝ වෙනත් අරමුණකට නාට්‍ය කරන අය. ඒ අය මඟ හැරලා නාට්‍යයට සම්බන්ධ වීමෙන් ජීවිතයට යම් අස්වැසිල්ලක්, අලුත් සාධනීය අත්දැකීමක් එකතු කර ගන්න ලැබෙනවා නම් ජීවිතය විඳීන්න එතන ඉඩ තියෙනවා නම් ඒ වගේ නිර්මාණවලටයි මම දායක වෙන්නේ.

රාජ්‍ය නාට්‍ය උළෙල ආශ්‍රිත සිදුවීම් ඔබ දකින්නේ කොහොමද?

සමහර නාට්‍යකරුවන්ගේ අරමුණ රාජ්‍ය නාට්‍ය උළෙලේ ඇගයීම. ඒ අය ගොඩක් නාට්‍ය කරලත් ඇති. නමුත් ඒවා බලලා තියෙන ප්‍රේක්ෂක පිරිස ඉතාම අඩුයි. තවත් නිර්මාණකරුවන් පිරිසක් ඉන්නවා ඇගැයීමක් නොලැබුණොත් තර්ජනය කරන අය. තවත් පිරිසක් ඉන්නවා අද පරපුරත් එක්ක පෙනී හිටලා තමන් ඇගැයීමකට ලක් නොවුණොත් හෑල්ලු වෙයි කියලා හිතලා පැත්තකට වෙන. කොහොම වුණත් ජාතික නාට්‍ය උළෙල න්‍යායක් යටතේ මොන මත වාදයක් යටතේ වුණත් නාට්‍ය කලාවේ පැවැත්මට සාධනීයව බලපාන නිසා ඒ අවස්ථාව අහිමි කර ගන්න හොඳ නෑ. ඒක පවත්වා ගත යුතු දෙයක් හැටියටයි මම දකින්නේ.

No comments:

Post a Comment