එහිලා පුරෝගාමී පදනම දැමුවෝ පස් දෙනෙකි. ඔවුන් නම් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණසේන ගලප්පත්ති, හෙන්රි ජයසේන, දයානන්ද ගුණවර්ධන හා සුගතපාල ද සිල්වා ය. මෙකී පුරෝගාමීන් අතරින් දැනට ජීවත් ව සිටින එක ම හා ජ්‍යේෂ්ඨතම මහා නාට්‍යවේදියාණෝ හෙන්රි ජයසේනයෝ ය. ‘කුවේණි’ (1963) හා ‘හුණුවටයේ කතාව‘ (1967) ඔහුගේ නාට්‍ය නිර්මාණ දිවියෙහි මතු නොව මෙරට නාට්‍ය වංශයෙහි ද ප‍්‍රදීපස්තම්භ ද්වයකි. මේ නාට්‍ය යුගල පසුගියදා ඩිජිටල් වීඩියෝ සංගත තැටි (D.V.D) ලෙසින් එළිදුටුවේ ය.
සිව් දශකයකටත් වැඩි කලක් ඉක්ම වූ ‘කුවේණි’ හා ‘හුණුවටයේ කතාව‘ ඈ නාට්‍ය නිර්මාණ පුනරාවලෝකනය කළ කල්හී අද අටසැත්තෑ වියෙහි පසුවන හෙන්රි ජයසේනයන්ට කුමක් සිතෙනු ඇත්ද?
”මගේ ‘හුණුවටයේ කතාව‘ හා ‘කුවේණි’ යන නාට්‍ය දෙකම මෙරට නාට්‍ය ඉතිහාසයේ සන්ධිස්ථානයක් මංසලකුණක් (Millstone) බවට පත් වුණා. ගී‍්‍රක නාට්‍ය ආභාසය ලැබ මේ රටේ බිහි වූ ප‍්‍රථම නාට්‍යය ‘කුවේණි’ යැයි මා සිතනවා. ගී‍්‍රක නාට්‍යයේ ඉතා ප‍්‍රබල ගායන වෘන්දයක් (chorus) දකින්න ලැබෙනවා. ‘කුවේණි’ නාට්‍යය දෙස ආපසු හැරී බැලීමේදී එහි සංවේදීතාව අදත් එකසේ විඳගන්ඩ පුළුවන් යැයි මා සිතනවා. මට අවශ්‍ය වුණේ ‘කුවේණියගේ’ චරිතය දෙස අලුත් ඇහැකින් බලන්න. පේර්ක්ෂකයෝත් එය ඉතා ආදරයෙන් වැලඳ ගත්තා.”
මෙහි කුවේණිගේ චරිතය ගොඩනැඟීම සඳහා ඔබගේ මවගේ භූමිකාවත් ඉවහල් වූ බව මා අසා තියෙනවා.
”ඔව්. අපේ අම්මත් කුවේණි කෙනෙක් තමයි. අපේ අම්මයි, තාත්තයි වෙන් වුණේ ඇයි දැයි මට නිශ්චිත ව කියන්න බැහැ. අපේ දෙවැනි අයියා (ධර්මරත්න) ‘කුවේණි අස්න’ පොත හොයා ගෙන ඇවිත් ගෙදර කියවනවා. එහි බොහෝ තැන් මගේ හිතට තදින් වැදුණා.
”සුසුම්ලා යකින්නී
නෙත් කඳුළු ඉසින්නී”
මෙහි අන්තිමට කුවේණිය, “මා දරුවන් බිහි කරන විට, ඔබට රාජ්‍ය පවරාදෙන විට, සංග‍්‍රහ සත්කාර කරන විට මා යක්ෂණියක් බව දැන සිටියේ නැත්ද?” යනුවෙන් වැදගත් ප‍්‍රශ්නයක් නඟනවා. මෙය සම කරන්න පුළුවන් යශෝධරාවතේ කවිවලට. එතරම්ම ප‍්‍රබලයි. අපේ සමාජයේ ස්ති‍්‍රයට සිදුවන අසාධාරණය මගේ සිතට තදින් කාවැදී තිබුණා. මුලින් රූපයට වසඟ වෙලා විවාහ කර ගෙන දරුවනුත් ලැබුණාට පසුව අතහැරලා දාන ස්තී‍්‍රන් ඕනෑ තරම් අපේ සමාජයේ ඉන්නවා.
මා ලොකු මහත් වෙන කොට මෙබඳු කුවේණිලා සමාජයේ පෙනෙන්න පටන් ගත්තා. කුවේණි අස්න මුලින්ම අසන කොට මා වයස අවුරුදු 8 ක පමණ කොලු ගැටයෙක්. කුවේණි නාට්‍යය 1963 දී ලියනකොට මට අවුරුදු තිස් දෙකයි. අද මා ‘කුවේණි’ නිෂ්පාදනය කළා නම් පෙරට වඩා වැඩි ගායන වෘන්දයක් හා පසුතල යොදා ගන්න ඉඩ තිබුණා.
ඒ කාලෙ මගේ වැඩි අවධානය යොමු වුණේ මේ ඔස්සේ සමාජයට දිය යුතු පණිවුඩය ගැන මිසක් වේදිකා පසුතල ආදිය පිළිබඳ නොවේ. ඒ යුගයේ වඩාත් ම මේ නාට්‍යය නැරඹුවේ කාන්තා පක්ෂයයි. සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ “බොරදිය පොකුණ” චිත‍්‍රපටය සඳහා මේ නාට්‍යයේ කාව්‍යමය කොටසක් ඔහු යොදා ගත්තා”
ඔබ “හුණුවටයේ කතාව“ නිර්මාණය කළේ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ”caucasian chalk circle”නමැති සුප‍්‍රකට නාට්‍යය ඇසුරු කොට ගෙන. බ්‍රෙෂ්ට්ගේ තදාත්ම්‍ය විඝටනය (Alienation effect) සංකල්පයෙන් චරිත හා සහෘදයා අතර පවත්නා ආත්මීය බැඳීම ඛණ්ඩනය කිරීම විග‍්‍රහ කෙරෙනවා. ඔබේ, හුණුවටයේ කතාව හි දක්නා ලැබුණේ මෙහි ප‍්‍රතිවිරුද්ධ පැත්ත. එනම් එහිදී අසඩක්, ගෘෂා, සයිමන් සෂාවා වැනි චරිත සමඟ සහෘදයා දැඩි ව බැඳුණා. බ්‍රෙෂ්ට්ගේ කෘතියක් පාදක වුවත් අප දුටුවේ හෙන්රි ජයසේනගේ ම ‘හුණුවටයේ කතාව‘ ක් බව වරක් මහාචාර්ය තිස්ස කාරියවසම් මා හට පැවසුවේ මේ නිසා යැයි මා සිතනවා.
”බ්‍රෙෂ්ට් තදාත්ම්‍ය විඝටනය පිළිබඳ පැවසුවත් ඒ රටේදිවත් මෙය ප‍්‍රායෝගිකව සිදුවුණේ නැහැ. තමා ඉදිරියේ නළු නිළියන් රඟ දක්වන කතාව පේර්ක්ෂකයා විවෘත මනසකින් බැලිය යුතු යැයි බ්‍රෙෂ්ට් කීවා. නමුත් බ්‍රෙෂ්ට් ගැන මාර්ටින් එස්ලින් වැනි විචාරකයන් ලියූ පොත්පත්වල තිබෙනවා ඔහු ගේ ”Mother Courage” (දිරිය මව) නාට්‍යය නරඹලා පේර්ක්ෂකයන් හඬා වැටුණු බව. බ්‍රෙෂ්ට් කී දේ ඒ රටේදිවත් ප‍්‍රායෝගිකව දකින්න නොලැබුණු බව මින් පේනවා. බ්‍රෙෂ්ට් පසුව ”Let’s Recant” යැයි මේ ගැන මතයක් පළ කළා. එනම් ආපසු හැරී බලා තදාත්ම්‍ය විඝටනය පිළිබඳ මතය අපට වෙනස් කර ගැනීමට සිදුවන බව ඔහු පිළිගත්තා. නමුත් මෙය අපේ නාට්‍යකරුවන් බොහොමයක් දැන සිටියේ නැහැ.
මේ නිසා බ්‍රෙෂ්ට් ගේ කෘති සිංහල වේදිකාවට ගෙනා අපේ බොහෝ නාට්‍යකරුවන් දුරස්ථිකරණයට අවිචාරයෙන් ගැති වී සිටින බව දකින්න ලැබුණා. මෙහි ප‍්‍රතිඵලය වුණේ ඒ නාට්‍ය පේර්ක්ෂකයාගෙන් දුරස්ථ වීමයි. බ්‍රෙෂ්ට්ගේ මේ සංකල්පය නිසා අමාරුවේ වැටුණු නාට්‍යකරුවෝ මෙරටටත් වඩා ජර්මනියේ, ඇමරිකාවේ, එංගලන්තයේ හිටියා. දුරස්ථිකරණය කියන්නේ නළු නිළියන් හා පේර්ක්ෂකයන් අතර තිබෙන බැඳීම බිඳීමක් නම් එයම වැරදි සංකල්පයක්. මේ බැඳීම නැතිව පේර්ක්ෂකයාට නාට්‍ය බලන්න බැහැ. අපි පාපන්දු තරගයක්, කි‍්‍රකට් තරගයක් රුචියක් (Interest) නැත්නම් නරඹනවාද? නාට්‍ය දෘශ්‍ය හා ශ‍්‍රව්‍ය ගෝචර විය යුතුයි. බ්‍රෙෂ්ට් ජීවත් වුණේ අවුරුදු 56 යි. ඔහු ඒ වනවිට තම ජීවිතයේ එතරම් මුහුකුරා ගිය වයසක හිටියේ නැහැ. බ්‍රෙෂ්ට් වරින් වර නාට්‍ය ගැන තමාට දැනෙන දේ ප‍්‍රකාශ කළා.
ඔහු ජීවිත කාලයෙම එකම මතයක පිහිටා සිටියේත් නැහැ. දුරස්ථිකරණයෙන් ඔහු කීවේ හැමවිටම පේර්ක්ෂකයාට තමන් නරඹන්නේ නාට්‍යයක් බව සිහිපත් කර දිය යුතු බවයි. රුසියාව, ජර්මනිය, එංගලන්තය, ඇමරිකාව වැනි රටවල නාට්‍ය හුඟාක් පෙන්වන්නේ ශීත කාලවල. මේ රංග ශාලා තනලා තිබෙන්නේ පිටත ශීතල ඇතුළට නොඑන්නාවූ උණුසුම් තත්ත්වයකින්.
ඉතිං මෙබඳු ඉහළ මට්ටමේ රංග ශාලාවල නාට්‍ය නරඹන පේර්ක්ෂකයන් මෝහනයට පත් වෙනවා. රුසියාවේ නාට්‍ය ශාලාවකදී දුටු මගේ අත්දැකීමක් කියන්නම්. සාමාන්‍යයෙන් නාට්‍යයක් පැය 3 ක පමණ කාලයක් රඟ දැක්වෙනවා. බ්‍රෙෂ්ට්ගේ හුණුවටය පැය හතරක් පමණ දිග විවේක කාල 2 කින් යුක්තයි. මා එය කෙටි කළා. සමහර මහලු මිනිස්සු නාට්‍ය ශාලාවලට එන්නේ මොනවා හෝ පොඩි දෙයක් කාලා බීලා හොඳට නිදා ගන්න. මන්ද සාමාන්‍ය නිවෙස්වල එබඳු උණුසුම් තත්ත්වයක් නැහැ. තවත් සමහරු කොපෙක් 10 ක් දීලා උමං දුම්රියක නැඟිලා එය නවත්වන ස්ථානය දක්වාම ගමන් කරනවා.
මෙබඳු පේර්ක්ෂක පිරිසක් තමයි බ්‍රෙෂ්ට්ට අවදි කරගන්න අවශ්‍ය වුණේ. ලංකාව වැනි ඝර්ම කලාපීය රටවල පේර්ක්ෂයන් අපට ඔය ආකාරයට අවදි කර ගන්න අවශ්‍ය නැහැ. අපි ගැමි නාට්‍ය නැරඹුවේ එළිමහනේ. එම නාට්‍යවල චරිත රඟපාන්නේ කවුරුද යන්නත් ඔවුන් දන්නවා. දැන් අපේ රඟහලවල් ගත්තාම බහුතරයක් පුටුවල මකුණො ඉන්නවා. කැරපොත්තො ඉන්නවා. නැත්නම් වේදිකාව හරහා පූසෙක් යනවා. අවට කාණු පල්වෙලා ගඳ ගහනවා. එළියේ වාහනවල හෝ අයිස්කී‍්‍රම් විකුණන අයගේ ශබ්ද ඇතුළට ඇහෙනවා.
ඉතිං අපේ පේර්ක්ෂකයන්ට තමා නාට්‍යයක් නරඹන බව අමුතුවෙන් සිහිපත් කර දිය යුතු නැහැ නේද? මෙරටේ නාට්‍ය ශාලා එක දෙකක පමණයි හරියටම නාට්‍යයක් රස විඳින්න පුළුවන්. සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’, ‘සිංහබාහු’ හැරුණු විට පේර්ක්ෂකයන් පරම්පරා ගණනක් තෘප්තිමත් කළ නාට්‍යයක් ලෙස ‘හුණුවටයේ කතාව‘ අදත් අපට සලකන්න පුළුවන්. 1967 සිට අවුරුදු 42 ක කාලයක් පුරා එහි ඉහළ මට්ටම එක ලෙස තබා ගැනීමට අපි උත්සාහ කළා.”
’හුණුවටයේ කතාව‘ හා ‘කුවේණි’ වැනි නාට්‍ය මෙන් මෙරටේ උසස් ගණයේ නාට්‍ය D.V.D මාධ්‍යයට නඟා පුළුල් ලෙස සංරක්ෂණය කිරීමට වෑයම් කළොත් ඉන් අනාගත පරපුරට වටිනා මෙහෙවරක් ඉටුවෙනවා. දැන් නව පරපුරට මහාචාර්ය සරච්චන්ද්‍ර, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන වැනි මහා නාට්‍යකරුවන්ගේම නිෂ්පාදනයක්, නොඑසේ නම් ටි‍්‍රලිෂියා ගුණවර්ධන මනමේ බිසව ලෙස රඟපෑ හැටි නැරඹීමට වරම් නැහැ. ඉහත ඔබේ නාට්‍ය D.V.D මාධ්‍යයට නැඟුණු නිසා අද නව පරපුරට මානෙල් ජයසේන ගෘෂාගේ චරිතය රූපණය කළ ආකාරය නැරඹිය හැකියි. මේ අතින් කුමාර කොතලාවලගෙන් (ටොරානා) සිදු වන්නේ වැදගත් සංරක්ෂණ කාර්යයක් යැයි මට හිතෙනවා. ඊටත් ප‍්‍රථම ඔබ ඊට මුල පිරුවා.
”මා රූපවාහිනියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කි‍්‍රයා කරන සමයේදී මේ සඳහා පළමු ප‍්‍රයත්නය දැරුවා. නමුත් බොහෝ නාට්‍යකරුවන් ඊට අකැමැති වුණේ තමාගේ නාට්‍යයට පාඩුවක් සිදුවේවි යැයි සිතූ නිසා. “ඔයාල නාට්‍ය වේදිකාගත කරන තෙක් අපි මේවා පෙන්වන්නේ නැහැ. අපි උත්සාහ කරන්නෙ සංරක්ෂණය කරන්න” යැයි මා ඔවුන්ට කීවා. මන්ද හැමදාම ටි‍්‍රලිෂියාලා, එඩ්මන්ඩ් විජේසිංහලා, මානෙල් ජයසේනලා රඟපාන්නේ නැහැ. 1986 දී පමණ එවකට රූපවාහිනි සංස්ථාවේ සභාපති එම්.ජේ. පෙරේරා මහතාට මා මේ යෝජනාව ඉදිරිපත් කළා.
ඔහු ඊට ඉතා කැමැති වුණා. මගේ ‘හුණුවටයේ කතාව‘ නාට්‍යය රූගත කරලා අපි ඊට මුල පිරුවා. පසුව මා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ට කතා කරලා ‘මනමේ’, ‘සිංහබාහු’ නාට්‍ය මේ සඳහා ඉල්ලා සිටියා. එම නාට්‍ය රඟදක්වන නිසා පාඩුවක් වන බව ඔහුත් බිරිඳ ලලිතාත් පැවසුවා. “ඔයාල මේවා රඟදක්වන තාක් කල් අපි පෙන්වන්නේ නැහැ. අපට අවශ්‍ය මතු පරපුර සඳහා සංරක්ෂණය කිරීම පමණයි” යැයි මා කීවා. ඒ වන විට අපි නාට්‍යයකට රු. 30,000 ක් ගෙව්වා.
නමුත් මේ නාට්‍ය සඳහා රු. ලක්ෂයක් ගෙවීමට අපි තීරණය කොට තිබුණා. ඒ කාලෙ හැටියට එය ලොකු මුදලක්. නමුත් ‘මනමේ’, ‘සිංහබාහු’ හැර කඳ්‍ර වළලු, එලොව ගිහින් මෙලොව ආවා, ලෝමහංස, වෙස්සන්තර, මහාසාර වැනි නාට්‍ය පමණයි අපිට දුන්නේ. ඉතිං එහි පාඩුව අද දැනෙන්නේ කාටද? චිත‍්‍රසේනයන්ගේ ‘කරදිය’ මුද්‍රා නාට්‍යයේත් සුළු කොටසක් පමණයි අපිට ලබා ගන්න හැකි වුණේ. ඒ කාලේ තිබූ කැලණි පාලම, මායාදේවි, වැනිසියේ වෙළෙන්දා, පුත‍්‍ර සමාගම, අංගාරා ගඟ ගලා බසී, වහලක් නැති ගෙයක් වැනි නාට්‍ය රැසක් අද රූපවාහිනියේ සංරක්ෂණය වී තිබෙනවා.
මගේ “අපට පුතේ මඟක් නැතේ”, හා “දිරිය මව“ හැර සෙසු නිර්මාණ මීට ලබා දුන්නා. එහිදී අපි රූගත කළ ‘හුණුවටයේ කතාව‘ හා ‘කුවේණි’ යන නාට්‍ය යුගල ටොරානා වීඩියෝ මූවීස් අධිපති කුමාර කොතලාවල D.V.D මාධ්‍යයට නඟා නොබෝදා එළිදැක්වූවා. කුමාර එම කාර්යය ඉතා හොඳින් ඉටු කර තිබෙනවා. වෙළඳ වටිනාකම්වලට වඩා අනාගත පරපුර උදෙසා මෙමඟින් සිදුවන සංරක්ෂණය වැදගත්.”
එදා සහ අද යුග වශයෙන් නාට්‍ය ක්ෂේත‍්‍රය දෙස තුලනාත්මක ව බැලූ කල ඔබට සිතෙන්නේ කුමක්ද?
”පහසුකම් අතින් නම් අබමල් රේණුවක වෙනසක් සිදු වී නැහැ. දැන් නිමල් ජයසිංහ තමයි මගේ නාට්‍ය කරගෙන යන්නෙ.
පසුගියදා ඔවුන් කළුතර දර්ශනයක් කළා. “කොහොමද නිමල් නාට්‍ය ශාලාව“ මං ඇහුවා. “අයියෝ ඒ ගැන නම් කතා කරන්න එපා” ඔහු කිව්වා. කොළඹ නගරයේ ශාලාවලත් මීට වඩා වැඩි වෙනසක් නැහැ. චිත‍්‍රපට නරඹන පේර්ක්ෂකයන්ට නම් පහසුකම් තිබෙන සිනමා ශාලා රාශියක් අඩු ගණනේ කොළඹ නගරයේවත් තියෙනවා. වසරකට වරක් රාජ්‍ය නාට්‍ය උළෙල පවත්වා සම්මාන පිරිනැමීමෙන් ඔබ්බට යන මෙහෙවරක් රාජ්‍ය මට්ටමෙන් නාට්‍ය කලාවට ඉටු විය යුතුයි. පසුගිය දවස්වල තෑගි දිනූ චාමික හත්ලහවත්තගේ “අපූරු දවසක්” ඉතා හොඳ නාට්‍යයක්. නමුත් කොළඹ වරක් දෙවරක් පෙන්නුවා. එතැනින් එහාට ගියේ නැහැ.
රුවිනි මනම්පේරි නිර්මාණය කළ “නම්බුකාර විලාසිනිය” හොඳ නිෂ්පාදනයක්. පියල් කාරියවසම්ගේ නාට්‍ය, තුමිඳු දොඩම්තැන්නගේ “අරුන්දතී” වැනි හොඳ නාට්‍යයක් කොළඹත් ප‍්‍රාදේශීය මට්ටමෙනුත් වේදිකා ගත කිරීමට කිසිම සංවිධානයක් නැහැ. ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් රැස්වීමක් නම් පැවැත්වෙනවා. නාට්‍ය අනුමණ්ඩලයේට ලැබෙන මුදල තවමත් රු. දෙලක්ෂ පනස් දහසයි. මාත් ඔය අනුමණ්ඩලේ හිටියනෙ. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ රජය යටතේ ඕක පටන් ගත්තේ රු. 50,000 න්. 1956 දී ලබා දීපු රු. 50,000 වටිනාකම අදට ගළපල ඒ මුදල ලබා දෙන්නැයි මා කීවා. අනුමණ්ඩල 13 ක් තියෙනවා. ඔය අනුමණ්ඩල දහතුනම ගෙන යන්නේ රු. දෙලක්ෂ පනස්දහසෙන්. ව්‍යාපාරික අනුග‍්‍රාහකයොත් කි‍්‍රකට් තරගයකට නම් අනුග‍්‍රාහය දක්වාවි. නමුත් නාට්‍යයකට එහෙම නැහැ.
මේ තත්ත්වය යටතේ හොඳ නාට්‍යකරුවන් නාට්‍ය නොකිරීම පුදුමයක් නෙවෙයි. ඉතාම අල්ප දෙනයි අද හොඳ නාට්‍ය කරන්නේ. ජයලත් මනෝරත්න තවමත් මේ අපහසුතා මැද නාට්‍ය කරනවා. අනෙක වේදිකා නාට්‍යකරුවෝ හොඳ නළු නිළියො හැදුවාම ටෙලි නාට්‍යකරුවෝ උකුස්සො වගේ ඇවිත් ඔවුන්ව ඩැහැ ගන්නවා. ඉන්පස්සෙ නාට්‍ය පැත්ත පළාතක එන්නෙ නැහැ. මේ තත්ත්වය තුළ බුද්ධික දමයන්ත, රාජිත දිසානායක, පියල් කාරියවසම් වැනි තරුණ නාට්‍යකරුවන් කිහිපදෙනෙක් හෝ විවිධ අභියෝග මැද නාට්‍ය නිර්මාණය කිරීම සතුටක්. තුමිඳු දොඩන්තැන්න මෑතකදී නාට්‍යයක් කළේ නැහැ. ඉන්දික ෆර්ඩිනැන්ඩුත් “ජනාධිපති තාත්තා” ට පසුව නිහඬ වුණා.
නාට්‍ය ක්ෂේත‍්‍රයේ පවතින අර්බුදය නිසා තරුණ නාට්‍යකරුවන් කලකිරී සිටින බව පෙනෙනවා. හොඳ නාට්‍ය හදපු කේ.බී. හේරත් අද නාට්‍යකරණයෙන් ඈත්වෙලා ටෙලි පිටපත් ලියනවා. ටෙලි නාට්‍ය කලාවත් දැන් විශාල අර්බුදයකට ලක්වෙලා. ඇමරිකාව ප‍්‍රමුඛ වෙනත් රටවලත් රූපවාහිනි නාලිකා විශාල ප‍්‍රමාණයක් තියෙනවා, විනෝදාස්වාදය, කී‍්‍රඩා ආදී නොයෙක් දේවලට වෙන් කෙරුණු. නමුත් මොවුන්ගේ නාට්‍ය කලාවේ පැවැත්මට රජයෙන් විවිධාකාර ලෙස ආධාර කරනවා. නැත්නම් එක් එක් නාට්‍ය ශාලා මේවාට දිරි දෙනවා. වේදිකා නාට්‍ය ප‍්‍රවේශ පත‍්‍රයක් අඩු ගණනේ ඩොලර් 100 ක් පමණ වටිනවා. නාට්‍යයක් බලන්න යෑම ඔවුන්ට ගෞරවනීය දෙයක්.
දැන් මා රුසියාවේදී කිහිපවරක්ම දැක තිබෙනවා වෙනත් ප‍්‍රාන්තයක සිට මොස්කව් නගරයට පැමිණෙන අමුත්තකුට ලබා දිය හැකි හොඳම සංග‍්‍රහය ලෙස ඔවුන් සලකන්නේ වෝල්ෂෝ හෝ මාලි හෝ වොක්ටොංගෝවා වැනි රඟහලක නාට්‍යයක් පෙන්වීමට කැටුව යෑමයි. අපේ රටෙත් ඔය මනමේ (1956), සිංහබාහු (1961), බෝඩිංකාරයෝ (1962), නරි බෑනා (1962), කුවේණි (1963), හුණුවටයේ කතාව (1967) වැනි නාට්‍ය රඟදැක්වූ සමයේ එහෙම කාලයක් තිබුණා.
පේර්ක්ෂකයන් බොහොම ආඩම්බරයෙන් ඒ කාලෙ නාට්‍ය බැලුවේ. සංචාරකයන් වුණත් එහෙමයි. දැන් මට මතකයි ‘හුණුවටයේ කතාව‘ නරඹන්න භාෂාව නොතේරුණත් විදෙස් ජාතිකයන් ආවා. එපමණක් නොවේ මෛතී‍්‍රපාල සේනානායක, ටී.බී. ඉලංගරත්න වැනි දේශපාලනඥයන් මුදල් දීලා ප‍්‍රවේශපත් අරන් නාට්‍ය නැරඹුවා. අද එහෙම සම්ප‍්‍රදායක් නැහැ. නාට්‍ය විචාර කලාවකුත් නැහැ.
අනෙක නාට්‍ය සංවිධානයේදී අතරමැදියන්ගෙන් වන මුදල් වංචා නිසා නාට්‍ය කරන්න අද අපහසු වී තිබෙනවා. අද විශ්වවිද්‍යාලවල සමහර ළමයි නාට්‍ය කලාව ගැන උනන්දුයි. නමුත් විශ්වවිද්‍යාලයෙන් ඉවත් වෙලා රැකියාවක් සොයා ගත්තට පස්සෙ ඔවුන් එය අතහැර දමනවා.”
”PLAY IS THE THING”නමැති ග‍්‍රන්ථයට තම අනුභූතින් ලියා තැබීමෙන් ඉක්බිති ඔබේ පන්හිඳ මඳක් නිහඬවෙලාද?
”ඇත්ත. හුඟ දවසකින් මං ලිව්වේ නැහැ. ’DAILY NEWS’ පුවත්පතට ලියූ තීරු ලිපියත් මං නැවැත්තුවා. මට දැන් තියෙන්නේ ”Writer’s block”. ලියන්න දෙයක් තිබුණොත් යළිත් ලියනවා.”
නූතන පරපුර ශෛලිගත නාට්‍ය ධාරාවෙන් දුරස්ථ වීමට හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?
”එකක් පෙර පරපුර තරම් සාහිත්‍ය පිළිබඳ ගැඹුරු පරිචයක් නව පරපුරට නොතිබීම. දෙවැන්න මෙබඳු නාට්‍ය සඳහා සංගීත ශිල්පීන්ට, පසුතලවලට අධික පිරිවැයක් දැරීමට සිදුවීම. මේ නිසා අද සමහර නාට්‍ය පටිගත කරලා ඉදිරිපත් කරන්න සිදු වී තිබෙනවා. මෙහෙම ගියොත් ඉදිරියේ නාට්‍ය කලාවටත් පසුබිම් ගායක ගායිකාවන් ඉඳීවි. තවත් නොබෝ කලකින්ම සජීව ලෙස නාට්‍ය රඟදැක්වීම වෙනුවට එය වීඩියෝ මාධ්‍යයෙන් පටිගත කරල විශාල තිරයක පෙන්නාවි. මන්ද එතරම්ම නාට්‍ය කලාව අද අර්බුදයකට මුහුණපාලා තියෙනවා.”
No comments:
Post a Comment