2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday 18 January 2010

ගැමි නාට්‍ය සම්ප්‍රදායයේ මහිමය විදහාපාන මීගමු දූවේ රජතුන් කට්ටුවේ නාඩගම

Author: සුනිල් මිහිඳුකුල
Source: Silumina
Date: 10/01/2010


ඉපැරැණි සිංහල කතෝලික නාඩගමක් වන ’මීගමු දූවේ රජතුන් කට්ටුව නාඩගම’ පසුගිය 8, 9, සිට පැවැත්වුණු අතර 10 (අද) සවස 4 සිට 8 දක්වා මීගමු දූවේ ශුද්ධ වූ සිඳුතරු දේවමාතා දෙව්මැදුර ඉදිරිපිටදි වේදිකාගත වෙයි. මෙවර මේ නාඩගමේ පොතේගුරු හා ප්‍රධාන පුහුණුකරු (ගී, ගමන් තාල, රංගනය) ලෙස කටයුතු කරන්නේ ජේම්ස් ප්‍රනාන්දු ගුරුන්නාන්සේය.

ඩබ්ලිව්. ඇන්ටනි ප්‍රනාන්දු (බෙලිචෝර් රජ) සංගීත් පෙරේරා (බල්තසාර් රජ) මිල්රෝයි ප්‍රනාන්දු(ගස්බාර් රජ) ජෝශප් මාටින් ප්‍රනාන්දු (හෙරෝද් රජ) ටී. රොම්ලස් කුරේරා (සේසරු රජ) ඇතුළු නළු නිළියෝ සිය ගණනක් රජතුන් කට්ටුවේ නාඩගමට ද රංගනයෙන් එක්වෙති. මීගමු දූවේ ජනරංග කේන්ද්‍රය මේ පැරැණි නාඩගම නිෂ්පාදනය කරයි.

පැරැණි සිංහල නාඩගම මේ වනවිට අභාවයට ගොසිනි. එපමණක් නොවේ; සොකරි, කෝලම් වැනි පැරැණි ජනසම්මත නාට්‍ය පවා අද රංගගත වන බවක් අසන්ට නොලැබේ. එබඳු පසුබිමක ඉඳහිට හෝ පැරණි නාඩගමක් නැටවෙන සිංහල කතෝලික ධීවර ගම්මානයක් ඇත. ඒ මීගමු දූව ය.

එහි රඟදැක්වෙන නාඩගමද ඓතිහාසික වශයෙන් සුවිශේෂත්වයක් ගනී. මන්දයත්; එය ශ්‍රී ලංකාවේ මුල්ම සිංහල නාඩගම ලෙස ඇතැම් නාට්‍ය කලා ඉතිහාසඥයන් විසින් සලකනු ලබන බැවිනි. ඒ නම් ’රජතුන් කට්ටුවේ’ නාඩගමය.

පැරණිම රජතුන් කට්ටුවේ නාඩගම රංගගතව ඇතැයි පැවසෙන්නේ හලාවතය. ඒ 1700 ගණන්වලය. එසේම මීගමු දූවේ නැටවෙන රජතුන් කට්ටුවේ නාඩගමට ද අවුරුදු 200 ඉක්ම වූ ඉතිහාසයක් ඇත.

අවුරුදු 23 කට පසු මීගමු දූවේ පැරණි ‘රජතුන් කට්ටුවේ නාඩගම’ ඒ මුල් ස්වරූපයෙන්ම රංගගත වූයේ 1977 දීය. ඒ අවස්ථාවේදී මේ නාඩගමේ නළු නිළියන් පුරුදු කරන ලද්දේ එම්.එස්. මොයිසස් ප්‍රනාÁදු අන්නවි මහතා හෙවත් මොයිසස් ගුරුන්නාන්සේ විසිනි. එම නාඩගම නැරඹීමට පන්දහසක පමණ ප්‍රේක්‍ෂක පිරිසක් පැමිණි බවට වාර්තාවී ඇත.

රජතුන් කට්ටුවේ නාඩගම සාමාන්‍යයෙන් වාර්ෂිකව රඟ දැක්වෙන්නේ ජනවාරි මාසයේදීය. විශේෂයෙන් පුංචි නත්තල ලෙස හැඳින්වෙන රජතුන් කට්ටුවේ මංගල්‍යය පසුබිම් කර ගෙනය. එම මංගල්‍යය නිල වශයෙන් යෙදෙන්නේ ජනවාරි මස 6 වැනිදාටය. එහෙත් මේ මංගල්‍යය ද අද වනවිට අභාවයට යමින් පවතී.

මිගමු දූවේ සංක්‍රමණික ධීවරයෝ ද බෙහෙවින් වෙසෙති. ඔවුන් අවුරුද්දෙන් වැඩි කොටසක් ගත කරන්නේ උතුරුකරයේ මන්නාරම, මුලතිව්, නයාරු, කෝකිලායි වැනි ධීවර ප්‍රදේශවලය. මේ සියලු දෙනා යළි ගමට පැමිණෙන්නේ එක්කෝ නත්තලටය; නැත්නම් පල්ලියේ මංගල්‍යය දවසටය. නත්තලට ගමේ හැමෝම සිටින බැවින් නාඩගමක් නැටවීම පහසුය.

”අපේ මිනිස්සු කවුරුත් නාඩගම් රාග තාල දන්නවා. අහවල් දවසේ නාඩගම නටන්ඩ යමවු බොල කියලා කිව්වම ඔක්කොම එක්සත් වෙනවා. රෑට රෑට නැටුම් පාට් පුරුදු වෙන්ඩ කවුරු කවුරුත් ලාම්පු ලන්තෑරුම් අරගෙන එනවා.

බෙරකාරයෝ හොයාගෙන එන්ඩ තවත් කොට්ඨාශයක් යනවා. ඔය විදියට අපේ මිනිස්සු කාණ්ඩවලට බෙදිලා ඒ වැඩේ කරනවා. කාටවත් අමුතුවෙන් කියලා දෙන්ඩ දෙයක් නෑ”

ඒ ඉහත දැක්වූයේ නාඩගම් කලාව පිළිබඳ අපේ රටේ සිටින ඉහළම විද්වතකු වන මහාචාර්ය එම්.එච්. ගුණතිලකයන්ට මීගමු දූවේ රජතුන් කට්ටුවේ නාඩගම නැටූ මොයිසෙස් ගුරුන්නාන්සේ 1973 දී කළ ප්‍රකාශයකි.

1986 දී දූවේ රජතුන් කට්ටුවේ නාඩගම නැරඹීමේ භාග්‍යය මට ද ලැබිණි. එම නාට්‍ය දැක්ම නැරඹීම සඳහා කොළඹින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ ද පැමිණ සිටියහ.

රජතුන් කට්ටුව නාඩගම දින තුනක් තිස්සේ රඟදැක්වෙන්නකි. මෙම නාඩගමෙන් කියැවෙන්නේ ක්‍රිස්තුන් වහන්සේ උපන් අවස්ථාවේ එතුමන් බැහැ දැකීමට පෙරදිගින් රජවරුන් තිදෙනකු පැමිණි කතාවය. පළමු දින කොටසින් ක්‍රිස්තුන් වහන්සේගේ උපත දැක්වෙන අතර දෙවැනි කොටස වෙන්වන්නේ රජ තිදෙනගේ පැමිණීමටය. හෙරෝද් රජ බිළිඳු දරුවන් ඝාතනය කිරීම තුන්වැනි කොටසට ඇතුළත් වෙයි.

දිනපතා සවස 6 ට පමණ නාඩගම් නැටීම ඇරඹෙයි. දිනකට පැය දෙකතුනක් නාඩගම රඟ දක්වයි.

’රජතුන් කට්ටුව‘ සඳහා යොදා ගැනෙන නාඩගම් කරළිය තැනෙන්නේ කවාකාර හෙවත් වෘත්තාකාර ලෙසිනි. වේදිකාව පිදුරු සෙවිලි කරන ලද දාරුමය එකකි. එහෙත් සෙසු නාඩගම් වේදිකාවට මඳක් වෙනස් ස්වරූපයකි රජතුන් කට්ටුව වේදිකාවේ දක්නට ලැබෙන්නේ. එය රූකඩ හා පාස්කු නාට්‍ය වේදිකාව මෙන් ත්‍රිභාග ය. මධ්‍ය වේදිකාව භාවිතා වන්නේ ක්‍රිස්තු උප්පත්තිය නිරූපණය කිරීම සඳහා ය.

වම්පස වේදිකාව හෙරෝද් රජ මාළිගාව සඳහා ද දකුණු පස වේදිකාව සේසරු රජු ගේ මාළිගාව සඳහා ද යොදා ගැනේ. ඊට අමතර ව අඩි 25ක උසින් යුත් පොල් අතු සෙවිලි කළ පරිවාර වේදිකාවක් ද දක්නා ලැබේ. එය සැකසෙන්නේ ප්‍රධාන වේදිකාවට දකුණින් පිහිටාය. එය සුරදූතයා ගේ ආගමනය දැක්වීම සඳහා භාවිතයට ගැනේ.

රජතුන් කට්ටුවේ චරිත සිය ගණනක් වෙති. රජවරුන්, ඇමැතිවරුන්, සේනාධිපතිවරුන්, එඬේරුන්, දාසයන්, මවුවරුන්, ප්‍රසාදිවරුන්, අණබෙරකරුවන්, දේවදූතයන් යනාදී වශයෙනි. ඇතැම්විට මේ චරිත රඟපාන සමහර නළුවෝ මළ පොතේ අකුරක්වත් නොදත් අයය. එහෙත් ඉතා දීර්ඝ සංවාද පවා ඔවුහු කට පාඩමෙන් කියති.

දූවේ රජතුන් කට්ටුව නාඩගම රඟදැක්වීමේ දී අනු දකිනු ලබන සාම්ප්‍රදායික චාරිත්‍ර කීපයක්ම පවතී. සාමාන්‍යයෙන් නළු නිළියන් නිවෙස්වල සිට නාඩගම් මඩුව වෙත කැඳවාගෙන එන්නේ හේවිසි, හොරණෑ තූර්ය වාදන මධ්‍යයේ මහත් උත්සවශ්‍රීයෙනි. නෑදෑහිතවතුන් විසින් රතිඤ්ඤා පත්තු කර, රබන් ගසා මල් මාලා පලඳා නළු නිළියන් පිළිගනු ලබයි.

‘රජතුන් කට්ටුවේ නළුවකුට අඳිනවයි කිව්වම ඒක ඒ පවුලට බොහෝම ආඩම්බරයක්. ඒකයි ඔය පිළිගන්නේ’ කෙනෙක් කියති. රංගනයට පෙර ප්‍රේක්ෂකයන්ට ආචාර කිරීම නළු නිළියන් ගේ චාරිත්‍රයකි. නාඩගම හමාරවීමෙන් පසු නළු නිළියන් ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායම දේවස්ථානයට ගොස් ආගමික වතාවත් ඉටු කර දේවාශිර්වාදය ලබා ගනිති.

මීළඟට රජතුන් කට්ටුව නාඩගමේ රංග වින්‍යාසය කෙබඳු දැයි විමසා බලමු. නාඩගම ආරම්භ වන්නේ පොතේගුරු ප්‍රමුඛ අත්වැල් ගායක කණ්ඩායම විසින් ගයනු ලබන මූලාරම්භක විරිඳුවෙනි. (මෙබඳු නාඩගමක කිසියම් නළුවකුට පොතේගුරු ගේ චරිතය ප්‍රදානය කිරීම ඔහුට කරන්නා වූ ගෞරවයක් ලෙස සැලකෙයි) අනතුරු ව පූර්ව රංගනය ඉදිරිපත් කරේ. මුලින් ම කරළියට එන්නේ බහුභූ®තයන් හෙවත් කෝලමුන් දෙදෙනා ය.

ඒ චරිත දෙකේ අභිප්‍රාය හාස්‍ය රස උත්පාදනය යි. පොතේ ගුරුගේ ආඛ්‍යානය හැරුණු කොට නාට්‍යය විකාශනය වන්නේ ඒ චරිත දෙකේ කථෝපකථනයෙනි. ඒ සඳහා ඔවුන්ට ස්ථිර (ලිඛිත) දෙබස් මාලාවක් නොමැත. ඔවුන් කියන්නේ හිටිවන දෙබස් ය.

අනතුරුව වේදිකාවට ප්‍රවිෂ්ට වන්නේ සබේ ළමෝ, සෙල්ලන් ළමෝ, ගණිතයෝ, දිවැස් ප්‍රසාදිවරු යන චරිත සමූහයයි. ඒ චරිත ඕනෑ ම නාඩගමක එන ස්ථාවර චරිතයෝ වෙති. ඒ සෑම චරිතයක ම රංග ප්‍රවේශය පොතේ ගුරු විසින් ගායනයකින් දක්වනු ලබන අතර සෑම චරිතයකට වේදිකාව පරික්‍රමණය කරමින් කියා නටන සින්දුවක් ඇතුළත් ය. මේ පූර්ව රංගනයෙන් ඉනික්බිති ව ය මූලික නාට්‍ය සංසිද්ධිය නිරූපණය කරන්නේ.

රජතුන් කට්ටුවේ නාඩගම සඳහා සංගීතය ද භාවිත කැරේ. ඒ සඳහා උපයුක්ත කර ගැනෙන්නේ මද්දල් බෙර දෙකක් සහ තාලම් පොටක් පමණි. පසුබිම් වේදිකාව සඳහා චිත්‍රවස්ත්‍ර යොදා ගැනේ. ඉන් පෙනීයන්නේ නාඩගම ලද නූර්තියේ ආභාසය යි.

රජතුන් කට්ටුවේ නාඩගම සාමාන්‍යයෙන් රඟදැක්වෙන්නේ ශාන්තිකර්මයක් වශයෙනි. මහාචාර්ය තිස්ස කාරියවසම් දක්වා ඇති ආකාරයට රජතුන් කට්ටුව රඟපාන්නේ ලෞකික සුබසාධක පිණිස දෙවිවරුන් ගේ වරම් ලැබීමට ය. අපගේ මුතුන්මිත්තන් විසින් රජතුන් කට්ටුව නාඩගම රඟදක්වන ලද්දේ ජනතාවටත් පාලකයන්ටත් ආශිර්වාද ලබාදීමේ ශාන්ති කර්මයක් වශයෙන් බව දූවේ ධීවර ජනරංග කේන්ද්‍රයේ සභාපති එම්.ජෝශප් මාටින් ප්‍රනාන්දු සඳහන් කර සිටී.

ධීවර දිළිඳු දරුවන්ගේ ආරක්ෂාව පතා සිදුකෙරෙන ශුද්ධ වූ පඬුරු පූජාවක් වශයෙන් ද රජතුන් කට්ටුව සැලකෙන බව එක්තරා ලිපියක දැක්වී ඇත.

No comments:

Post a Comment