2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Friday 5 March 2010

ගමේ නගරයේ කියා රසිකත්වයේ වෙනසක් නෑ

Author: රවී රත්නවේල්
Source: Sarasaviya
Date: 25/02/2010

ප්‍රවීණ නළු නිමල් යටිවැල්ල

පාසල් සමයේදීම වේදිකා රංගනයට පිවිසි ඔහු එදා මෙදාතුර තම හැකියාවෙන් වේදිකාව එළිය කළ ප්‍රවීණ රංගන ශිල්පියෙකි. ජයසේකර අපොන්සුගේ සිට ජයලත් මනෝරත්න දක්වා මෙරට ප්‍රවීණ නිර්මාණකරුවන්ගේ වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූ ඔහු මෙවර සරසවිය වේදිකාවට ගොඩ වෙයි.

ඔබ වේදිකාවේ අත් පොත් තබන්නේ කොහොමද?

වේදිකාව මගේ අත්දැකීම වෙන්නේ සමස්ත ලංකා පාසල් නාට්‍ය තරඟත් එක්ක. පදියපැලැල්ලේ ඉපදුනු මම පොරමඬුල්ල විද්‍යාලයේ ඉගෙන ගත්තේ. 1968 දී ‘එහෙම වුණත් මුදලිතුමා’ කියන පාසල් නාට්‍යයේ රංගනය වෙනුවෙන් ‘විශිෂ්ටතම රංග කුසලතා’ සම්මාන දිනාගන්න මට අවස්ථාව ලැබුණා. ඒ වෙන කොට මම හයේ පංතියේ ශිෂ්‍යයෙක්. ඊළගට’කූඹිච්චි’ නාට්‍යයට දායක වුණා. ඒකටත් ඉහළම ඇගයීම ලැබුණා. ඊළඟට ජ්‍යෙෂ්ඨ අංශයේ එඩ්වින් පීරිස් මහතාගේ ‘බීරෙක්, අන්ධයෙක් සහ ගොළුවෙක්’ නාට්‍ය සමස්ත ලංකා පළමුතැන දිනා ගත්තා. මම හොඳම නළුවා වුණා. ඊළඟට 1974 ‘බහුරූ කෝලම්’ නාට්‍යයෙන් හොඳම නළුවා වෙන්න අවස්ථාවත් ලැබුණා.

එතකොට ජාතික මට්ටමේ වේදිකාවට එන්නේ?

1977 කොළඹ රේල්ලුවේ රැකියාවට එනවා. ඒ එන්නෙත් නාට්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න තියෙන ආශාවට. නමුත් නාට්‍ය ක්ෂේත්‍රයට ඇතුළු වෙන්න අමාරුයි. ඒ කියලා වේදිකාවට එන්න කරන උත්සාහය මම අත් හැරියේ නෑ. ඒ නිසාම 1979 ‘රයිෆල්’ කියන නාට්‍ය සුගත් බෝඹුවල ලියා අධ්‍යක්ෂණය කළා. ඒකේ ප්‍රධාන චරිතය රඟපාමින් මම ඒ නාට්‍ය නිෂ්පාදනය කළා.

ඒ මුල්ම නාට්‍ය දර්ශනය ගැන මතක් කළොත්?

මංගල දර්ශනය ලුම්බිණියේදී කළා. ඒ කාලේ විප්ලවීය තේමාවන්ට තැනක් ඉල්ලුමක් තිබුණු නිසා ඒ විදිහේ නාට්‍යයක් කළේ. දර්ශන වාර හතළිහකට වඩා කළා. නාට්‍ය ප්‍රබෝධයක් තිබුණු නිසා අපට හොඳ ප්‍රතිචාර ලැබුණු බවත් කියන්න ඕනෑ. ඒ වගේම අපට වැටෙන්න ගහලා විචාර ලියපු අවස්ථාත් තිබුණා ඊට පස්සේ.

1980 සිරිතුංග පෙරේරාගේ ‘සිටුතුමා’ කියන නාට්‍යයට සම්බන්ධ වුණා. මේ නාට්‍ය මගේ හැකියාවන් හඳුනා ගන්න ඉඩ සැලැස්සුවා. මනෝ රථය, අම්මා වගේ නාට්‍යවලට සම්බන්ධ වෙන්නත් හැකියාව ලැබුණා.

මේ ගමනෙදි ඔබේම නාට්‍යයකුත් කළා?

ඔව්. 1983 සමනළයානෝ නමින් මමම නාට්‍යයක් කළා. ලංකාවට මෝටර් සයිකල් වැඩි වැඩියෙන් එන්න ගත්තේ ඒ කාලේ. මහ ඉස්පිරිතාලේ මෝටර් සයිකල් අනතුරුවලටම වාට්ටු වෙන් කරලා ප්‍රතිකාර කරන තත්ත්වයක් තිබුණා. මෙන්න මේක තේමා කරගෙන මෝටර් සයිකලය විලාසිතාවක් වෙලා විවෘත ආර්ථකයේ පුහු ආටෝපයක් බවට පත් වී එය සමාජයත් තරුණ පරපුරත් ආක්‍රමණය කරන ආකාරයයි අපි සාකච්ඡා කළේ. හොඳ ප්‍රතිචාර වගේම ප්‍රබුද්ධ විවේචනත් ලැබුණා.

ඔබ දායක වූ සුවිශේෂ රංගනයක් ගැන මතක් කළොත්?

‘පාතාලේ සොල්දාදුවෝ’ කියන ජයසේකර අපොන්සුගේ නාට්‍යයට සම්බන්ධ වුණා. ඒ නාට්‍යයේ මම චරිත තුනක් නිරූපණය කළා. ඒ අවුරුද්දේ මට රාජ්‍ය නාට්‍ය උළෙලේ කුසලතා සහතික දිනාගන්න හැකි වීම සුවිශේෂී රංගන අවස්ථාවක්.

ඔබට ප්‍රසිද්ධ වේදිකාව තරමටම පාසල් වේදිකාවත් හුරුයි?

ඇත්තෙන්ම ඔව්, සයිමන් නවගත්තේගම, බණ්ඩාරනායක වගේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ තරමටම ජයසේකරගේ පාතාලේ සොල්දාදුවෝත් රට වටා ගියා. ඒ කාලෙම ලංකාවේ හැම ඉස්කෝලෙකම පෙන්වපු ‘සමනල්ලු’ කියන නාට්‍යයත් අපොන්සු කළා. දැනට දර්ශන වාර හාර දහසක් විතර පෙන්නලා තියෙනවා. ලංකාවේ ගම්බද පාසල්වල තාවකාලික වේදිකාවක රංගනය ගැන පමණක් විශ්වාස තබා වේදිකා ගත කළ නාට්‍යයක්. මට නාට්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දේ ඉගෙන ගන්නත් හොඳ ප්‍රේක්ෂක පිරිසක් හඳුනා ගන්නත් අවස්ථාව ලැබුණා.

නගරයේ හා ගමේ ප්‍රේක්ෂකාගාර අතර වෙනස ඔබට පෙනෙන්නේ කොහොමද?

පැට්‍රෝල් මැක්ස් තියාගෙන, සාරිවලින් සරසපු වේදිකාවල මේ නාට්‍ය පෙන්නුවා. ඒ නාට්‍ය බලන්න එන ළමයි වගේම දෙමාපියනුත් අපට හොඳ සහයෝගයක් දුන්නා. ගමෙයි නගරෙයි ප්‍රේක්ෂකයාට ලැබෙන පහසුකම්වල පරතරයක් තිබුණට රස වින්දනයේදී එහෙම පරතරයක් නෑ. මේ තැන් දෙකේදීම අපට ඉතා හොඳ රසික පිරිස් හමුවෙනවා.

ඔබත් ‘චරිතයක්’ නිසා ජනප්‍රිය වුණු නළුවෙක්?

ඔව්, ජයසේතර අපොන්සුගේ ‘තටු’ අතිශය ජනප්‍රිය වුණු කාලේ දර්ශන වාර දහස ඉක්මවා රට වටා ගියා. ඒ නාට්‍යයේ පීටර් කියන එකම පිරිමි චරිතය මම නිරූපණය කළා. අදටත් මාව රසිකයන් ‘තටු පීටර්’ කියලා හඳුන්වන තරමටම මාව ජනප්‍රිය වුණා. ඒ වගේම මෑතක් දක්වා අපොන්සු කළ ගුරු, 31 ඇතුළු ඔහුගේ හැම නාට්‍යයකටම වගේ මම රංගනයෙන් දායක වුණා.

ඇතැම් අවස්ථාවල ‘චරිතය’ මතුවෙලා ශිල්පියා යට යනවා. ඔබ ඒ අත්දැකීමට වැඩියෙන්ම මුහුණ දීපු ශිල්පියෙක්?

මම රඟපෑ වේදිකා නාට්‍ය හැම එකකදීම මම කරන චරිතයෙන් මම රසිකයන් අතර ජනප්‍රිය වුණා මිසක් මාව පෞද්ගලිකව ඉස්මතු වුණේ නෑ. ඒ තත්ත්වය එක පැත්තකින් තෘප්තියට කාරණයක් අදාළ චරිතයට සාධාරණය ඉෂ්ඨ කළාය කියන හැඟීම නිසා. අනිත් පැත්තෙන් ඒකෙන් අවාසියකුත් වෙනවා. ඒ තමයි රසිකයන් මගේ චරිතය මිසක් මාව රූපයෙන් හෝ පුද්ගලයා හැටියට හඳුනන්නේ නැතිවීම.

අලුත් නාට්‍ය කෙටි කලකින් නැතිවෙලා යද්දී පරණ නාට්‍ය නැවත නැවතත් පවතිනවා. එහෙම වෙන්නේ ඇයි?

සරච්චන්ද්‍ර, හෙන්රි ජයසේන, සයිමන් නවගත්තේගම වගේ අය නාට්‍ය හදාරලා ඒවා අපේ රටට ගැළපෙන විදිහට ප්‍රති නිර්මාණය කළා. මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණ අපේ රටේ ස්ථාවර වෙන්න ජනප්‍රිය වෙන්න හේතු වුණේ ඒවායෙන් අපේකම ඉස්මතුවීම නිසා රසිකයා වැඩි වැඩියෙන් වැළඳ ගත්තු නිසයි.

එතකොට එදා හා අද ප්‍රේක්ෂකාගාරය වෙනස් වෙන්න හේතුව?

විවෘත ආර්ථිකය එන්න කලින් රස වින්දනයට තිබුණු ප්‍රධාන මාධ්‍යයක් වුණේ වේදිකාව. ඒකට යම් ප්‍රබුද්ධ රසික පිරිසක් හිටියා. හැත්තෑ හතෙන් පස්සේ ඇති වෙච්ච ආර්ථික විපර්යාස සමාජයටත්, සමාජ රස වින්දනයටත් බලපෑවා. මේකේ ප්‍රතිඵලයක් හැටියට පස්සේ කාලෙක සිනහ රැල්ලේ නිසරු හාස්‍ය නාට්‍ය ජනප්‍රිය වෙන්න ගත්තා. ඊළඟට යුද්ධය, භීෂණය වගේ දේවල් ආවා. මේවත් එක්ක අර මුලින් කියපු වේදිකා ප්‍රේක්ෂකාගාරය වෙනස් වුණා. නැවත දැන් දැන් ප්‍රේක්ෂකාගාරය හොඳ අතට හැරෙමින් තිබෙනවා.

අලුත් පරම්පරාවට හොඳ රස වින්දනයක් නෑ කියන චෝදනාව දිහා ඔබ බලන්නේ මොන විදිහටද?

විෂයක් හැටියට නාට්‍ය හා රංග කලාව උගන්වන තත්ත්වයක් යටතේත් අදටත් ගමට හරි හැටි නාට්‍ය යන්නේ නැති නිසා විෂය ඉගෙන ගන්න දරුවන්ට පවා දැනුම ලබන්න තියෙන අවස්ථාව අඩු බව, ඒ ළමයි නාට්‍ය බලලා නැති විත්තිය පේනවා. ඒ නිසා නාට්‍ය රස වින්දනය දියුණු කරන්න හොඳ වැඩ පිළිවෙළක් තියෙන්න ඕනෑ.

මට එක් අවස්ථාවක ඇමරිකාවේ සංචාරයකට යන්න ලැබුණා නාට්‍ය කණ්ඩායමක් එක්ක. එතෙන්දි එක නාට්‍යයක් බැලුවා. ඒ නාට්‍ය අවුරුදු දහයක් එකම තැන එකම වේදිකාවක (බ්‍රෝඩ්වේ තියටර්) එකේ පෙන්වමින් ඉන්නවා. මම ඒ නාට්‍ය බැලුවේ දහවෙනි අවුරුද්දේදී. එහෙම බලන්නත් සති දෙකකට කලින් ටිකට් වෙන් කර ගන්න ඕනෑ. ඒකෙන් පේන්නේ එතන නාට්‍ය රස විඳින සංස්කෘතියක් තියෙනවාය කියන එකයි. ඒ නිසා අපේ රටේ නාට්‍ය කලාව නඟා හිටුවන්න නම් ඇමරිකාවේ හැටියට නැතත් අපි අපේ තරමට හරි නාට්‍ය සංස්කෘතියක් ඇති කිරීමයි කළ යුත්තේ.

No comments:

Post a Comment