2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Wednesday 19 May 2010

කලා කෙත පෝෂණය කරන නිහතමානි මිනිසා

Author:Iroshani Deepika

Source: Arumaya Art Blog

Date: 14/05/2010

කලාකරු – සිරිසේන ප්‍රේමලාල්

( Sirisena Premalal)

සුන්දර ගම්පියස ඔහුගේ දිවිමඟ ඒකාලෝක කළේය. ගැමි පරිසරයක හැදී වැඩී අධ්‍යාපනය ලබා ගුරු වෘත්තියෙන් කලා ලොවට පිවිසි ඔහු, අද 80 වැනි වියෙහි පසුවෙයි. වේදිකා නාට්‍ය නිර්මාණ රැසකට පිටපත් රචනයෙන් දායක වී ඇති සිරිසේන පේ‍්‍රමලාල් නම් වූ මේ අපූර්ව නිහතමානී මිනිසාගෙන් මෙරට කලා කෙත සුපෝෂණය උදෙසා වූ මෙහෙවර අගයනු වස් අද (24) දින ප.ව. 6.30ට හොරණ නගර ශාලාවේදී ගුණානුස්මරණ උලෙළක් පැවැත්වීමට නියමිතය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

හොරණ – අගුරුවාතොට පාරේ මද දුරක් ගිය විට වෑවල නමැති සුන්දර ගම්පියස හමුවේ. මේ ගම්පියසේ නිස්කලංක දිවිපෙවෙතක් ගෙවමින් ගමට, රටට, කලාවට අපමණ මෙහෙවරක් කළ අපූරු මිනිසකු ජීවත් වේ.

ඔහු සිරිසේන පේ‍්‍රමලාල් නම් වූවත් බොහෝ දෙනා මේ මිනිසා පිළිබඳ දන්නේ නැත. එනමුදු ඔහු නිර්මාණය කළ කලා නිර්මාණ හොඳින් ම හඳුනනු ඇත. ඒවායෙහි නිර්මාණ රසය අදටත් විඳිනු ඇත.

ගුවන් විදුලියෙන් ඇසෙන ඔහුගේ් වේදිකා නාට්‍ය ගීයක රසය ඔබ හැඳුනුවත්, එහි රචකයා කවුදැයි බොහෝවිට නොදන්නවා විය හැකි ය. ‘අපිට කන්න දෙනව නං – අපට බොන්න දෙනවනං – මොන කෙණ්ගෙඩියද තව ඕනෑ කියන්නේ’, ‘සුවඳ සබන් ඇඟ ගාලා හායි හායි’ වැනි ගීත නිර්මාණ මේ සොඳුරු කලාකරුවාගේ පන්හිඳෙන් පණ පෙවුණු නිර්මාණයන්ය. ඒ ගීත ඇතුළත් වේදිකා නාට්‍යයද ඔහුගේ ස්වයං නිර්මාණයන්ය.

නිර්මාණ කලාවට තමන්ගේ දායකත්වය ලබාදුන් ආකාරය ඔහු පැවැසුවේ මෙලෙසිනි.

‘වෘත්තියක් විදිහට මං කළේ පාසල් ගුරුවරයකු වශයෙන් කටයුතු කිරීම. 1952 දී තමයි මට පත්වීම ලැබුණේ. එදා ඉඳන් මං පාසල් දරු දැරියන් සමඟ සමීපව කටයුතු කළා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට මං මගේ උපරිම සහයෝගය ලබාදුන්නා.

පුද්ගලයෙක්ගේ ජීවිතය සංවර්ධනය වෙන්න නම් අධ්‍යාපන කටයුතුවලින් පමණක් ඒ දේ කරන්න බැහැ. මේ ළමයින්ට පොතේ පතේ දැනුම ලබාදෙනවාට අමතරව බාහිර දේ ඉගෙන ගැනීමට අවකාශ සැකසිය යුතුයි කියලා මං හිතුවා.

දරුවන් තුළ විවිධ හැකියා පවතින්න පුළුවන්. ගුරුවරයෙක් විදිහට ඒ ශක්‍යතා හඳුනාගෙන, ඒවා දියුණුකර ගැනීමට මඟපෙන්වීම කළ යුතුයි කියන හැඟීම මට තිබුණා. මේ නිසා පාසල් කටයුතු අවසන් වුණාට පස්සේ හවස් යාමයේදී ඔවුන් රැස්කරගෙන නාට්‍ය නිර්මාණ කරන්න පටන් ගත්තා.

මං නාට්‍ය පිටපත් ලිව්වා. නිෂ්පාදනය කළා. සෑම වසරකම පාසල් වාරාවසානයට පවත්වන උත්සවයේදී දරුවොත් එක්ක එකතුවෙලා නාට්‍ය නිර්මාණය කරන්න පෙළඹුණා.”

සිරිසේන පේ‍්‍රමලාල් මහතා ආත්ම තෘප්තිය උදෙසා නිර්මාණකරනයට අවතීර්ණ වූ කලාකරුවෙකි. තම සිසු දරුවන්ගේ නිර්මාණ කෞශල්‍ය ඔප්නංවනු සඳහා ඔහුගෙන් ඉටුවූ සේවය අප්‍රමාණය.

හොරණ ප්‍රදේශයේ දරු දැරියන්ට කලාවේ ආස්වාදය විඳගනු සඳහා මේ සොඳුරු මිනිසා බොහෝ කැපකිරීම් කර ඇත. ඔහුගෙන් ගුරුහරුකම් ලැබූ බොහෝ සිසුන් අදටත් මේ ප්‍රදේශයේ සිටී.

එසේ ම ඔහුගෙන් කලා කටයුතු දැන හඳුනාගත් බොහෝ පිරිස්, අද වනවිට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ නෙක් ඉසව් සොයා ගොස් මෙරට ප්‍රසිද්ධ පුද්ගලයන් බවට පත්ව ඇත. එහෙත් ඔහු ප්‍රසිද්ධිය හඹා ගිය කෙනෙක් නොවී ය. ඒ නිසා ම අදටත් ඔහු අප්‍රකට ය.

නාට්‍යකරණය පිළිබඳ කිසිදු අධ්‍යාපනයක් නොලබා සිටි පේ‍්‍රමලාල් මහතා ශ්‍රී ලංකාවේ සම්මානයට පාත්‍ර වූ වේදිකා නාට්‍ය කිහිපයකම නිර්මාතෘවරයා විය. ‘අබුද්දස්ස කෝලම’ (1984), ‘රාජකපුරු’ (1988), ‘සූර්යග්‍රහණය’, ‘රජගහේ නාඩගම’ (2000), ‘සක්වල කැළඹිලා’ (2004) යන නාට්‍ය පහ ඔහුගේ නිර්මාණ හැකියාවේ අග්‍රඵලයන්ය.

සක්වල කැළඹිලා

සෞන්දර්ය අධ්‍යාපනය හදාරා නැති, සෞන්දර්ය අධ්‍යාපනයට කැපවූ ගුරුවරයෙක් නොවූ පේ‍්‍රමලාල් මහතා, මෙවන් වේදිකා නාට්‍ය පිටපත් ලියුවේ ඔහු සතුව තිබූ නිසඟ නිර්මාණ කුසලතාව නිසා ම නොවේ ද? තමාගේ විශ්වකර්ම හැකියාව නිසා ම යැයි පැවසුවහොත් නිවැරැදිය.

‘අබුද්දස්ස කෝලම’ නම් ඔහුගේ කුළුදුල් වේදිකා නාට්‍ය නිර්මාණයට සම්මාන රැසක් හිමිවිය. මෙය සිරිසේන පේ‍්‍රමලාල් මහතාගේ ප්‍රථම වේදිකා නාට්‍ය රචනය වූවා සේ ම සිය පුත් ජනක් පේ‍්‍රමලාල් මහතාගේ කුළුදුල් අධ්‍යක්ෂණය ද විය.

හොඳම තිරරචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම අංගරචනය, හොඳම වේදිකා සැරසිල්ල යන සම්මාන සහ එහි රංගන ශිල්පියකු වූ රවින්ද්‍ර යසස් කුමානායකට කුසලතා සම්මානයක් ද හිමිකර දුන්නේ්ය. ඒ, එවකට පැවැති යෞවන සම්මාන උළෙලකදී ය.

ඉන් අනතුරුව ඔහුගේ නිර්මාණයක් සම්මානයට පාත්‍ර වූයේ 1988 දී ය. ඒ ‘රාජ කපුරු’ වේදිකා නාට්‍ය සඳහා ය. එවකට පැවැති ජාතික නාට්‍ය උළෙලේදී හොඳම ස්වීය රචනය, හොඳම රංග වින්‍යාසය, හොඳම රංග වස්ත්‍ර නිර්මාණය යන අංශ සඳහා මේ සම්මාන පිරිනැමුණි.

“මගේ කුළුඳුල් නිර්මාණයම සම්මානයට පාත්‍ර වුණා. මට සම්මාන ලැබිය හැකි මට්ටමට නිර්මාණ කරන්න හැකියාව ලැබුණෙ දරු දැරියන් සමඟ පාසලේදි නාට්‍ය නිර්මාණය කරලා අත්දැකීම් තිබුණ නිසයි. බොහෝ කාලයක සිට මං ලද පරිචය නිර්මාණ කටයුතු කරගෙන යාමට බෙහෙවින්ම ඉවහල් වුණා.

මං ඉංග්‍රීසි උප ගුරුවරයකු විදිහට සේවය කළ කෙනෙක්. ඒ වගේ කෙනෙක් කලා නිර්මාණවලට යොමු වෙන්නේ ඉතාමත්ම අඩුවෙන්. ගෝවින්න ජ්‍යෙෂ්ඨ පිරිමි පාසලෙන් ඇරැඹුණු මේ ගමන් මඟ ගැන මට තියෙන්නේ පුදුම ආඩම්බරයක්.

රාජ කපුරු

මං නිර්මාණය කළ වේදිකා නාට්‍ය ප්‍රමාණය අල්ප වුණත්, ඒ මගින් මෙරට සමාජයට සේවාවක් කරන්න හැකිවුණා කියලා මට ලොකු ආඩම්බරයක් තියෙනවා.

මං ළමයි සමඟ කළ නාට්‍ය නිර්මාණ සමස්ත ලංකා පාසල් නාට්‍ය උළෙල පවා නියෝජනය කරලා සම්මාන ලබාගෙන තිබෙනවා. 1981 දී ‘ ගුමු ගුමු’ කියන ළමා නාට්‍යය ඒ වගේ සම්මානයට පාත්‍ර වූ එකක්.

විශ්‍රාම යන්න වසර දෙකකට පෙර ඉඳන් මං ප්‍රසිද්ධ වේදිකාවට නාට්‍ය පිටපත් ලිව්වා. මං ලියූ සෑම වේදිකා නාට්‍යයකම අධ්‍යක්ෂවරයා වුණේ මගේ පුත් ජනක්.”

සිරිසේන පේ‍්‍රමලාල් මහතා ලියූ නාට්‍ය බොහොමයකින්ම විද්‍යාමාන වන්නේ මෙරට සමාජයේ දැකිය හැකි අඩුලුහුඬුකම් ය. විශේෂයෙන්ම ඔහුගේ නිර්මාණ තුළ එක්තරා විදිහකින් දේශපාලනය පිළිබඳ කතා කෙරිණි.

අබුද්දස්ස කෝලම මගින් කියැවුණේ දේශපාලන සංස්ථාව මගින් ආගමික සංස්ථාව ඔවුන්ගේ පැත්තට යොමු කරවා ගන්නේ කෙසේද යන්න පිළිබඳයි. ‘රාජ කපුරු’ නාට්‍ය මගින් බලලෝභී දේශපාලනය පිළිබඳ කතා කෙරේ.

රජගහේ නාඩගමෙන් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමය ගැනත් කියවේ. සිරිසේන පේ‍්‍රමලාල් මහතා මේ සෑම නිර්මාණයක් මගින්ම අපේ සමාජයේ පවත්නා අඩුලුහුඬුකම් දෙස සූක්ෂ්ම ආකාරයට නෙත් යොමුකර තිබේ.

‘සක්වල කැළඹිලා’ නාට්‍ය මගින් ලොවටම තර්ජනයක්ව පවත්නා පරිසර විනාශය පිළිබඳ කතා කරයි. ඒ මගින් අපට විඳීන්නට වන පලවිපාක කෙබඳුද යන්න පිළිබඳ පේ‍්‍රක්ෂකයාව දැනුම්වත් කරයි.

නාට්‍ය කලාව නමැති උතුම් මාධ්‍යයේ නිරත වී, සුවහසක් පේ‍්‍රක්ෂක ජනතාවගේ සිත් සුවපත් කළ සිරිසේන පේ‍්‍රමලාල් නම් වූ කලාකරුවාගේ පාසල් සහ ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍ය පිළිබඳ අගයමින් පැවැත්වෙන උපහාර උළෙල, හොරණ නාට්‍ය කණ්ඩායමේ සංවිධාන ශක්තියෙන් සිදුවන්නකි. අසූවියට පා තැබූ මේ නිමල කලාකරුවාට නිදුක් නිරෝගී සුවය ලැබී බෝ කලක් ආයු ලැබ ජීවත්වීමට හැකිවේවා! යන්න අපේ පැතුමයි.

සටහන – ඉරෝෂිනී දීපිකා

No comments:

Post a Comment