2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Wednesday 19 May 2010

තාරාවෝ ඉගිළෙති පළමු නිෂ්පාදනය නළුවො වර්ජනය කළා ලූෂන් බුලත්සිංහල

Auhtor: සන්ධ්‍යා කරුණාරත්න Source:Dinamina Date: 05/01/2010

“සෝබාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මඟ පියකරු වූ
සුසුදු වලා කැරලි පළසකි මේ
මඟ දිග ඇතිරූ
අහස සූරන මැදුරූ...”

ජයශ්‍රී චන්ද්‍රජිත් සහ නීල් අලස්ගේ ගීත ගායනයෙන් “තාරාවෝ ඉඟිළෙති” වේදිකා නාට්‍ය එක රැයින්ම ජනපි‍්‍රය විය. “තාරාවෝ ඉඟිළෙති” වේදිකා නාට්‍යයේ රචකයා වූයේ ඔබ අප හැම හොඳින් හඳුනනා පුද්ගලයෙකි. ඔහු නමින් ලූෂන් බුලත්සිංහල ය.

ලූෂන් බුලත්සිංහල මහතා එක් ක්‍ෂේත්‍රයක පමණක් නොව, ක්‍ෂේත්‍ර ගණනාවක දස්කම් පෑ අයෙකි. අද අපගේ කතාබහට ලක්වූයේ ඔහුගේ “තාරාවෝ ඉඟිළෙති” වේදිකා නාට්‍යය ජනපි‍්‍රය වීමත් සමඟ රූපවාහිනී සංස්ථාවට ආගමනය වීම පිළිබඳවය. ඔහු අප හා පැවසුවේ මෙවැනි කතාන්දරයකි.

“1981 ජූලි 24 දා කොළඹ හැව්ලොක් ටවුමේ ලුම්බිණි රඟහලේදී ප්‍රථමවරට “තාරාවෝ ඉඟිලෙති” වේදිකා නාට්‍ය රංගගත වූයේ අතුªරු සිදුරු නැතිව එක්වූ පේ‍්‍රක්ෂකයන් සමූහයක් හමුවෙයි. මහාචාර්ය සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, සයිමන් නවගත්තේගම වැනි ප්‍රබුද්ධ විචාරකයන්ගේ ප්‍රශංසාවට පවා මේ වේදිකා නාට්‍ය ලක්වූවා.

මේ වේදිකා නාට්‍ය වේගයෙන් ජනපි‍්‍රය වුණා. ඒ වන විටත් මං රූපවාහිනී සංස්ථාවට සම්බන්ධ වෙලා හිටියේ. මං දැන් කියන්නේ 1981 නොවැම්බර්වලදී සිදුවුණු දෙයක්. ඒ කාලය වන විට “තාරාවෝ ඉඟිළෙති” වේදිකා නාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබුණා. දිවයිනේ විවිධ පළාත්වල දර්ශනවලට ඇරියුම් ලැබුණා.

විශේෂ සාකච්ඡාවක්

ඒ අනුව 1981 නොවැම්බර් 12, 13 වගේ දවසක මේ වේදිකා නාට්‍ය කටුගස්තොටදී වේදිකාගත කරන්න තිබුණා. සාමාන්‍යයෙන් වේදිකා නාට්‍ය වේදිකාගත කරන දවසට මමත් නාට්‍ය කණ්ඩායම සමඟ යනවා. එදා දවසේ රූපවාහිනියේ විශේෂ සාකච්ඡාවක් තිබුණා.

ඒක කළේ රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා සමඟ. රූපවාහිනිය ආරම්භ කළත් හරි ප්‍රථම වතාවට රූපවාහිනියේ නාට්‍ය අංශයත් සමඟ සාකච්ඡාවක් කළේ එදා. ඒ කාලෙ නාට්‍ය අංශයේ ප්‍රධානියා වූ ධම්ම ජාගොඩ මහත්තයා මට කිවුවා, මේ සාකච්ඡාවට ලූෂන් අනිවාර්යයෙන් සිටිය යුතුයි කියලා.

ඉතිං මං මගේ නාට්‍ය කණ්ඩායමට කිවුවා. ‘මේ සාකච්ඡාව අවසාන වී කීයට හරි මං නාට්‍ය ශාලාවට එනවා. ඕගොල්ලො ගිහින් නාට්‍ය පෙන්වන්න’ කියලා. එයාලාත් ඒ අදහසට කැමැතිවෙලා, වේදිකා නාට්‍ය ප්‍රදර්ශනයට ගියා.

මං රැස්වීම අවසාන වෙලා රාත්‍රී 7, 8 පමණ වන විට කටුගස්තොට නාට්‍ය ශාලාවට ගියා. මං බලාපොරොත්තු වූ දර්ශනය එහි තිබුණේ නැහැ. මං බලාපොරොත්තු වුණේ එළියේ වාහන ගොඩක් නවතා තිබූ, නාට්‍ය ශාලාව පේ‍්‍රක්ෂකයන්ගෙන් පිරීගිය දර්ශනයක්.

නාට්‍ය සංවිධානය කළ මගේ මිතුරා මට කියා තිබුණේ නාට්‍යයේ ටිකට් පත් සියල්ලම විකිණුන බව. මහා සෙනඟක් බලාපොරොත්තු වුණත් හිස් නාට්‍ය ශාලාවක් මට දැකගත හැකි වුණා. මට ඉවෙන් වගේ තේරුණා කුමක් හෝ ප්‍රශ්නයක් සිදුවෙලා තිබෙන බව. මං නාට්‍ය ශාලාව අසලටම යන විට නාට්‍ය කණ්ඩායමේ කිහිපදෙනෙක් එතැන හිටියා. මං ඔවුන්ගෙන් මොකද වුණේ කියලා ඇහුවා.

“නාට්‍ය කණ්ඩායම අද නාට්‍ය වර්ජනය කළා” කියලා ඔවුන් ප්‍රකාශ කළා. ඒ වෙලාවේ මට මොනවා වුණාද කියලා මට හිතාගන්න බැරි වුණා. ඒ වචන ටික අහනවාත් සමඟ ම මගේ පපුව පිච්චිලා ගියා. බඩවැල් ගැටගැහිලා මගෙ පපුව හිරවෙනවා වාගේ දැනුණා. මං හිතුවේ ඒ වෙලාවේ මට පපුවේ අමාරුව හැදිලා මාව මැරෙයි කියලයි. ඒත් සමඟම මට මතක්වුණා, ‘දැන් කරන්න දෙයක් නෑනේ, හිත එකඟ කරගත යුතුයි’ කියලා. ඒ අනුව මං නිශ්ශබ්දව විනාඩි කිහිපයක භාවනාවක් කරලා හිත එකඟ කර ගත්තා.

ඉන්පසු මං නාට්‍ය කණ්ඩායමේ සිටි ටික දෙනත් සමඟ ගාමිණී හේවමල්ලිකාලගේ නිවසට ගියා. ගාමිණී හේවමල්ලිකා කියන්නේ ඒ කාලේ මහනුවර සිටි ප්‍රධාන පෙළේ ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහු තමා “තාරාවෝ ඉඟිළෙති” වේදිකා නාට්‍ය නිෂ්පාදනය කිරීම සඳහා මට මුදල් ලබාදුන්නේ. ඔහු ලබාදුන් ඒ මුදල නැවත මගෙන් ගත්තෙත් නෑ. එහෙම උදවු කළ මනුස්සයාගේ දර්ශනය තමා නාට්‍ය කණ්ඩායම වර්ජනය කළේ.

ඒ නාට්‍ය සංවිධානය කර තිබුණේ හේවමල්ලිකාගේ බිරිඳගේ පැරැණි විශාඛාවෝ අරමුදලට මුදල් ලබා ගැනීමටයි. මේ නාට්‍ය වර්ජනය කුමන්ත්‍රණයක් විදිහටයි කර තිබුණේ. ඒකට හේතුව මං අද වනතුරුත් දන්නේ නැහැ.

මං නාට්‍ය කණ්ඩායමේ ඉතිරිව සිටි අයත් සමඟ හේවමල්ලිකාගේ ගෙදරට ගියා. ගේට්ටුවෙන් ඇතුළු වනවාත් සමඟ හේවමල්ලිකාට එතැන සිටි වෙනත් අයෙක් මාව පෙන්නුවා. හේවමල්ලිකා මං ළඟට පැමිණ මගේ කොලරයෙන් අල්ලා “මොනවාද ඕයි මට මේ කළේ?” කියලා ඇහුවා.

මං ඔහුට කිවුවා, මං මේ කිසිදෙයක් නොදන්නා බව. අපේ නාට්‍ය කණ්ඩායමට නාට්‍ය දර්ශනය අවසන් වී රාත්‍රී භෝජන සංග්‍රහයක් ඔහුගේ නිවසේ සූදානම් කර තිබුණා. අප හිටපු ටිකදෙනා ඒ සංග්‍රහය භුක්ති වින්දා. ඒ අවස්ථාවේදී තමයි මට සිද්ධිය දැනගන්නට ලැබුණේ. මෙන්න මෙහෙමයි සිද්ධිය සිදුවී තිබුණෙ.

නාට්‍ය දර්ශනය

එදා කොළඹ සිට කටුගස්තොටට යනවිට නාට්‍යයේ ප්‍රධාන නළුවෝ ටික පේරාදෙණිය මල්වත්ත ළඟින් බැහැලා, එයාල එන්නං කියලා බස් එක යවලා. සවස 3 දර්ශනය ඔවුන් පැමිණෙන තුරු 2.30 පමණ වෙනකං සංවිධායකයෝ බලාගෙන ඉඳලා. ඔවුන් පැමිණියේ නැති නිසා සංවිධායකයෝ හේවමල්ලිකාට කියලා තියෙනවා මෙහෙම සිද්ධියක් වෙලා තිබෙන බව.

ඉන්පසුව හේවමල්ලිකායි, ඔහුගේ බිරියයි, අනුලයි, ජයන්තියි, ෆ‍්‍රැන්සිස් වික්‍රමගේයි කට්ටිය පේරාදෙණිය මල්වත්තට ගිහිං තියෙනවා නළුවො ටික හමුවෙන්න. ඔවුන් යනවිට නළුවෝ මත්පැන් පානය කරලා ඉඳලා තියෙන්නේ. හේවමල්ලිකා කියලා තියෙනවා ඔයාලට ලූෂන් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් මං ඒ වගකීම භාරගන්නම්, නාට්‍ය සංදර්ශනය පවත්වන්න කියලා. එහෙත් ඔවුන් එකඟ වෙලා නෑ.

ඉන්පසු හේවමල්ලිකාගේ බිරිය අඬ අඬා කියලා, “අනේ ඔයාලා අපේ ගෙවල් දොරවල්වලට ඇවිත් කනවා බොනවා. එහෙම සම්බන්ධයක් තිබිලත් ඇයි අපට මෙහෙම කරන්නේ? කියලා. ඇය බැගෑපත්ව ඉල්ලලා මේ දර්ශනය පවත්වන්න කියලා.

එතකොට එක නළුවෙක් කියලා තියෙනවා, ‘ඔයා නෙවෙයි අපේ මැරුණ අම්මා වළෙන් නැඟිටලා ඇවිත් කීවත් අද අප නාට්‍ය කරන්නේ නෑ’ කියලා.

වෙන කරන්න දෙයක් නැති නිසා හේවමල්ලිකා එහෙමම නැවතත් ගෙදර ඇවිත්. හේවමල්ලිකා ෆ‍්‍රැන්සිස් වික්‍රමගේට කියලා, මට කරන ලොකු උදවුවක් විදිහට ස්ටේජ් එකට ගිහින් අද දර්ශනය අවලංගු කර ඇති බව පවසන්න කියලා. ෆ‍්‍රැන්සිස්ට ලොකු බයක් ඇතිවෙලා.

මොකද ඒතරම් සෙනඟක් ඉදිරියට ගිහිං කොහොමද කියන්නේ කියලා. ලූෂනුත්, හේවමල්ලිකාත් දෙන්නම මගේ යාළුවෝනේ, ඒ නිසා මං මේ වැඩේ කරනවා කියලා ඔහු අවසානයේදී තීරණය කර තිබෙනවා.

රාත්‍රී භෝජනය

ඔහු ස්ටේජ් එකට ගිහිං දර්ශනය අවලංගු කර ඇති හේතුව කියලා තියෙනවා. එවිට ශාලාවේ සිටි හැමෝම එක්වරම (..ෂ්..) කියා හූල්ලා තිබෙනවා. ෆ‍්‍රැන්සිස් කියනවා ඒ හීල්ලූ හීල්ලිලට එයත් ශාලාවට ඇඳිලා යයි කියලා හිතුනලු. එහෙම දෙයක් සිදුවුවත් ශාලාවෙන් කිසිම කලබලයක් ඇතිවී තිබුණේ නෑ. සමහරු නම් කවුන්ටරයෙන් ටිකට්පත්වල මුදල ලබාගෙන තිබෙනවා. සමහරු එහෙමවත් නොකර නිශ්ශබ්දවම ගිහිං.

හේවමල්ලිකාගේ නිවෙසේ අප රාත්‍රී භෝජනය භුක්ති විඳිමින් සිටිද්දි මේ නාට්‍ය වර්ජනය කළ එක නළුවකුගෙන් දුරකථන ඇමැතුමක් ආවා. ඔහු මට මෙහෙම කිවුවා. “අපේ කට්ටිය මෙතන ඉන්නවා. ඔයත් එක්ක කතා කරලා හෙට, අනිද්දා තිබෙන දර්ශන කරන්න කැමැති බව එයාලා කියනවා කියලා. මං කිවුවා

“ඕයි තමුසෙට පිස්සුද? මේ රටේ වරායේ කම්කරුවොත් කුමක් හෝ ස්ට්‍රයික් එකත් කරනවා නම් ඔවුන්ගේ ඉල්ලීම් දැනුම්දීලා , ඒවාට එකඟ නොවුණොත් තමා ස්ට්‍රයික් එකට යන්නේ. තමුසෙලා කලාකාරයො වුණාට, කරන වැඩවලින් හාබර් එකේ කම්කරුවන්ටත් වඩා පහළයි” කියලා. මේ නාට්‍ය මෙතනින් ඉවරයි. මං තමුසෙලත් එක්ක මේ නාට්‍ය නැවත කරන්නෑ කියලත් කිවුවා. තමුසෙලාට යන්න එකක් නැත්නම් මේ බස් එක එවන්නම් යන්න කියලත් කිවුවා.

හේවමල්ලිකාගේ යාළුවෙක් මගෙන් ඇහුවා ඊළඟ දර්ශනවලට මොකද කරන්නෙ කියලා. දර්ශන නවත්වන බව මං කිවුවා.

‘කොන්දේසි කඩ කළා කියලා ලූෂන්ව උසාවියට ගෙනයාවි යැයි ඔහු පැවසුවා. මං උත්තර දුන්නා මට මේ වගේ දෙයක් කළ මිනිස්සුන් එක්ක නැවතත් මේ නාට්‍ය කරන්නේ නෑ, මං උසාවි ගෙනගියොත් ඒ සඳහාත් සූදානම්’ කියලා. ඒ වචන ටික ඇහුණාට පසුව තමයි හේවමල්ලිකා විශ්වාස කළේ මං මේ වැඩේට සම්බන්ධ නැති බව. හේවමල්ලිකා මට කිවුවා, ‘මේ මිනිස්සු යන පාරකවත් යන්න එපා ලූෂන්, කන්න දෙන කෑමක්වත් කන්න එපා’ කියලා.

කෙසේ හෝ ‘තාරාවෝ ඉඟිළෙති’ ප්‍රථම නිෂ්පාදනය එතැනින් අවසන් වුණා. ඊට ටික කලකට පසුව, මාස නවයක් වැනි කෙටි කාලයකින් අලුත් නළු නිළියෝ යොදාගෙන දෙවැනි නිෂ්පාදනය සිදු කළා. ජැක්සන් ඇන්තනී එහි දෙවැනි නිෂ්පාදනයේ නළුවන්ගෙන් කෙනෙක් වූ ජැක්සන් පේ‍්‍රක්ෂකයන් අතරට පැමිණියේ මගේ මේ “තාරාවෝ ඉඟිළෙති” දෙවැනි නිෂ්පාදනයේ දී යි. එම නිෂ්පාදනය නොනවත්වා වසර 12ක් පමණ කළා.

රූපවාහිනී සංස්ථාවේ සාකච්ඡාවක් නිසා “තාරාවෝ ඉඟිළෙති” ප්‍රථම නාට්‍ය නිෂ්පාදනයට නැවතීමේ තිත තියන්න වුණේ ඔන්න ඔය විදිහටයි.

No comments:

Post a Comment