2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Thursday, 14 January 2010

සත්වෙනි අනුස්මරණ දිනය නිමිත්තෙනි

Author: ශෂී ප්‍රභාත් රණසිංහ
Source :Silumina

සුගතපාල ද සිල්වා නමැති සොඳුරු ආඥාදායකයා මිය ගොසින් මේ ඔක්තෝබර් මස 28 වෙනි දාට සත් වසක් සැපිරේ. සුගත් ගැන බොහෝ දෙනා බොහෝ දේ ලියා කියා ඇත. එහෙත් මේ සකල කලා වල්ලභයා ගේ කලා නිමැවුම් පිළිබඳ තව ම ප්‍රාමාණික ශාස්ත්‍රීය විචාරයක් ලියැ වී ඇතැයි මම නො සිතමි.

ඔහු පිළිබඳ මගේ මතකය ඈතට දිව යයි. දෙතුන් වතාවක් පමණ මුණ ගැසී කතාබහ කොට තිබුණ ද මා ඔහු ගේ කලා නිමැවුම්වලින් ලද ඉගැඹුරු බිඳුම් අපමණ ය. සොඳුරු ආඥාදායකයා අනූහතේ සිට රෝගාතුර විය.

ඔහුට අංශභාග රෝගය වැලැඳී තිබිණි. එහෙත් ඒ ගත සිත දුබල වූයේ නැත. වෙව්ලන ඇඟිලි තුඩු මත පන්හිඳ රුවා ගත් හේ ශ්‍යාම් සෙල්වර්දෝර් ගේ ජ්භදදර ඕධර නමැති නවකතාව “අමුතු ඉලන්දාරියා” නමින් සිංහලයට නැගුවේ ය.

අවුරුදු 74 ක් පරම ආයුෂ විඳ නිහඬ ව අප අතරින් සමුගත් සුගත් උත්තරීතර සමාජවාදය උදාවෙන තුරු මඟ බලා සිටි කලාකරුවෙකි. එහෙත් මේ රටේ ව්‍යාජ සමාජවාදියෝ ඔහු ජීවත් ව සිටිය දී ම උත්තරීතර වූහ. වමත් දකුණත් සොයා ගන්නට නො හැකි ව ව්‍යාකූලත්වයට පත් වූ රටක ඔහු තනිව ම නිහඬ ව හුදෙකලා බුද්ධිමය අරගලයක නියැළුණේ ය.

අභිනව චින්තන විප්ලවයකට මුල පිරු හේ නව කල්පනා සිහින දැකුම් සමාජය හමුවේ කියා පෑවේ ය. 1972 වසරේ දී “අනේ දෙව්දත් නොදුටි මොක්පුර” නමැති කාව්‍ය සංග්‍රහය රචනා කරමින් සුගත් ස්වකීය බුද්ධිමය අරගලය මොනොවට පැහැදිලි කළේ ය. නිදසුනක් ලෙස එකවි සපුවෙහි නිමැවුමක් පහත හකුලා දක්වමි.

මොළ නෙලූ එකෙක්

රාක්ක මොළවලින් පුරවා

පොත් ගුලක හිර වී

කාවන් සමඟ සටනක

මොළ ගසා කෑ එකෙක්

සේප්පු කාසිවලින් පුරවා

රිදී යතුරු කැරැල්ල

විල්ලු ද කොට්ටය යට සඟවා

නොමැරෙන බේත් සොයන සටනක

(අනේ දෙව්දත් නොදුටි මොක්පුර - 17 පිට)

පූර්වෝක්ත කාව්‍ය නිමැවුමෙන් එදා සුගත් පැවැසූ පරිදි අද තිබෙනුයේ ද මොළ ගසා කන්නන් ගෙන් ගහන කුණු වී ගිය සමාජයකි. මේ සමාජයේ මොළ සූරා කන්නන් මිසක මොළ නෙලන්නන් දක්නට නැත. ජීවිතයේ රිද්මය සිය කාව්‍ය නිමැවුම්වලින් විමැසූ සුගත් පුද්ගලයා ගේ ධී සවිය පිළිබඳ අනවරතයෙන් ම කතා කෙළේ ය. ගතානුගතික වැඩවසම් වහල් චින්තනයෙන් වියුක්ත වී සිය සාහිත්‍ය කලාංගයන් සමාජ සංවාදය සමඟ සම්මිශ්‍රණය කිරීමට ඔහු ගත් ප්‍රයත්නය සුළු පටු නො වේ.

නාට්‍ය, නවකතාව, කවිය වැනි නිර්මාණ මාර්ගයන්හි මෙන් ම විචාර මාර්ගයෙහි ද සුගතපාල ද සිල්වා නායකත්වය දී තිබෙනුයේ මෙකී බුද්ධිමය අරගලයට ය.


ජීවිතය

කෙළ පිඩකි

අලුයම ලූ

මේ කෙළ පිඩ

බුද්ධියේ

අනුදක්නයෙන් අල්ලා

ජීවිතේ රෝග නිධානය සොයව්!

(අනේ දෙව්දත් නොදුටු මොක්පුර - 14 පිට)

සමාජ විඥානය ග්‍රහණය කරගත් විශිෂ්ට කලාකරුවන් අප අතර සිටිනුයේ අතළොස්සකි. එයිනුත් සුගතපාල ද සිල්වා සියුම් විචක්ෂණශීලිත්වයෙන් හෙබි සුවිශිෂ්ට කලාකරුවකු බව මම කියමි. ශෛලීගත සම්ප්‍රදායෙහි සිර වූ සිංහල නාට්‍ය කලාව ඉන් පරාරෝපිත කොට ඊට තවත් රූපයක් තිබෙන බව තිරසර ලෙස භාවිතයෙන් ම සාක්ෂාත් කළ නාට්‍යවේදියා සුගතපාල ද සිල්වා යැයි කීම අතිශයෝක්තියක් නො වේ.

සිංහල නාට්‍ය කලාව සුපුෂ්පිත කොට සුපෝෂණය කිරීම සඳහා බටහිර සම්භාව්‍ය නාට්‍ය කලාව සේවනය කළ සුගත් සිය අසමසම කලා ප්‍රතිභාවෙන් ද සියුම් ගැඹුරු ප්‍රඥාවෙන් ද උතුම් මනුෂ්‍ය ධර්මයෙන් ද පොහොණ වූ අප්‍රමාණ කලාකරුවෙකි. ඔහු ගේ විස්මිත කලා මෙහෙවර සිංහල නාට්‍ය, නවකතාව, කවිය මතු නොව ගුවන් විදුලිය ආදි ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විහිදී ගිය මහා ප්‍රවාහයකි.

ගුවන් විදුලියෙහි සුගත් කළ විප්ලවයක් ලෙස ගුවන් විදුලි නාට්‍ය හා කෙටිකතාව ප්‍රමුඛ තන්හී ලා ගිණිය හැකි ය. කෙටිකතාව වූ කලී වචන පෙළකින් ඔබ්බට ගිය රස පද්ධතියක් බව ඔහු භාවිතයෙන් ම පෙන්නා දුන්නේ ය. ජාතක පොත, සම්භාව්‍ය සාහිත්‍ය මෙන් ම මාක්ස්වාදය ද පිළිබඳ චීරපරිචිත අවබෝධයකින් යුතු දුර්ලභ ප්‍රාඥයකු ලෙස ද ඔහු සිය රංග කලා හා සාහිත්‍ය භූමිකාව තුළ කැපී පෙනේ.

සුගත් ගේ නාට්‍ය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය අරබයා වූ පුළුල් දැනුම්වත්භාවය සහ අවබෝධය ඔහු විසින් 1988 පළ කළ සොඳුරු “ආඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදක” නමැති කෘතියෙන් වටහා ගත හැකි ය.

ඒ හැරුණු විට “මරාසාද්” වැනි දැවැන්ත පරිවර්තන නාට්‍ය නිෂ්පාදන හරහාත් සුගත් ගේ නාට්‍ය සම්පාදන කලාව විද්‍යමාන වේ. පීටර් වයිස් ගේ (Peter Weiss) මරා - සාද් (Marat - Sadc) නාට්‍ය දුෂ්කර පිටපතකි. එහෙත් නව වාමවාදී කතිකාව නිරූපණය කිරීමට ඔහු මේ දැවැන්ත නාට්‍ය කෘතිය පරිවර්තනය කොට වේදිකාගත කෙළේ ය.

සුගතපාල ද සිල්වා ගේ විශිෂ්ටත ම ස්වත්‍රන්ත්‍ර නාට්‍ය “දුන්න දුනු ගමුවේ” නාට්‍ය යැයි කීවොත් එය අතිශයෝක්තියක් නො වේ. දුන්න දුනු ගමුවේ පුරා දශකයක් පුරා මෙරට නගර, උප නගර, ගම් නියංගම් සිසාරා ගමන් කළ දැවැන්ත නාට්‍යයකි.

ගැමි රඟ මඬලින් ඔබ්බට ගිය නව නාට්‍ය සම්ප්‍රදායක් සඳහා පුරෝගාමී වූ “දුන්න දුනු ගමුවේ” සමාජ සංවාදය කැටුව අවතීර්ණ වූ මහාර්ඝ නිර්මාණයකි. කම්කරු සමිති නායකයකු ස්වකිය පන්ති සටන හා අසරණ වූ සිය බිරිඳ - දරුවා අතර මැදි වී කරන සන්ත්‍රාසජනක විඳවිල්ල මෙන් ම ලාංකේය කාන්තාවන් ගේ කැපවීම පිළිබඳ පණිවිඩය ද රැගෙන ආ මේ නාට්‍ය එවකට සමාජයේ මතු වූ කැකෑරිල්ල ද සුවිශද කෙළේ ය.

සුගතපාල ද සිල්වා ස්වකීය කලා නිමැවුම් කෙරෙන් ලාංකේය කාන්තාවන් ගේ අධ්‍යාත්මය විනිවිද දුටු මාහැඟි කලාකරුවෙකි. ඔහු විසින් නිෂ්පාදනය කළ “හිත හොඳ අම්මණ්ඩි” නමැති නාට්‍යයේ එන බර්ටෝල් බ්‍රෙෂ්ටි ගේ කාව්‍ය නිමැවුම පූර්වෝක්ත කරුණු කාරණා සනාථ කරන ආකාරය බලන්න.


ඉවක් කෝ? තැනක් කෝ?

දස්ස මිනිහට රටේ

වාසනා ගුණ සිඳුණු

පිදිය යුත්තන් නොදත්

දස්කම් විස්කම් ඔප්පු කරන්නට

අනුබල අනුහස තල්ලුව ඕනෑ

දස්කම් විස්කම් ඔප්පු කරන්නට

විලක්කු පාලිය රඟන්න ඕනෑ

(අනේ දෙව්දත් නොදුටු මොක්පුර - 20 පිට)

නිස්සන්, සුදුස්සන් නො ව පුස්සන්, ගැත්තන් රජයන සමාජයක දක්ෂයනට වැඩ කිරීමට අවස්ථාවක් කොහින් ද? දක්ෂයාට අද සමාජයේ ඉඩක් නැත. ඔහුට කිසියම් ආස්ථානයකට අවතීර්ණ වීමට නම් දූෂණයෙන්, වංචාවෙන් ජීවත් වන බඩගෝස්තරවාදී අමනෝඥයන් ගේ ඕනෑ එපා කම් ඉටු කළ යුතු ය. කාන්තාවකට නම් ඊටත් වඩා බොහෝ දේ පරිත්‍යාග කිරීමට සිදු ;ව්.

උඩු යටිකුරු වී ගිය සමාජය දෙසට සුගත් ගේ විමංසානාක්ෂිය යොමු වන ආකාරය කෙතරම් නම් අගනේ ද? සුගත් ගේ නාට්‍ය මෙන් ම කවිය ද මනුෂ්‍යත්වයේ පැහැයත්, සමාජයේ රිද්මයත් මුසු කොට සුපුෂ්පිත කළ පුෂ්පයක් බඳු ය. සංවේදී මනුෂ්‍ය හදවතට අනවරතයෙන් ම පෙම් බැඳි සුගත් මිනිස්කම අලුක්කාලක්වත් නැති ජරා ජීර්ණ සමාජ සංස්ථාවට අතුල් පහරක් එල්ල කරන තවත් අපූරු කාව්‍ය නිමැවුමකි මේ.

අහම්බෙන් මෙන්

විශ්වයේ කොහේදෝ තැනක

මොකක්දෝ පෙරළියක් වූ

අමාවක පෝ දාක

කිරි බැබළෙන හඳ එළියේ

ඇහින්දෙමි මම

උණුවෙන හදවතක්

“කාටද ඕනෑ උණුවෙන හදවතක්

කවුද ආශා උණුවෙන හදවතක්”

කෑ ගෑවෙමි මම

හදවත් නැත්තෝ

නහුතක් දෙනා

“එපා එපා” මුර දෙති

අහක බලාගෙන

අනේ දෙව්දත් නොදුටු මොක්පුර - 40 පිට

අද්‍යතන සමාජයේ හදවත් ගැනීම මෙන් ම පිදීම ද ගනුදෙනුවකි. පුද්ගලයා මූලික කර ගත් ආත්මාර්ථකාමී මිනිසුන් රජයන සමාජයක හදවත් ඇත්තෝ කවුරුන් ද? උණු වෙන හදවතකින් මේ ගොරතර සමාජයට කුමන නම් පලක් ද? මේ අරාජික සමාජයට අවැසි වනුයේ රළු පරළු ගොරහැඬි හදවත් ම පමණි.

එහෙත් හදවත් නැති මිනිසුන් අතරේ වුව ද සුගත් හදවතින් ම අපූරු සිහිනයක් දකියි. ඔහු ස්වකීය කලා නිමැවුම් කෙරෙන් විමැසුම් කෙළේ ද එකී මනරම් ජීවිතය යි. මෙනයින් ජීවිතයේ යථාර්ථය සොයන පුද්ගලයන්ට සුගත් ගේ මාහැඟි කලා නිමැවුම් සත්‍යයේ කැටපතක් බඳු ය.

No comments:

Post a Comment