2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday 21 February 2011

"මා, මගේ සීමාවේ සිට රංගනයට එකතුවන්නියක්‌" - 2010 යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නිළිය සමාධි ලක්‌සිරි

Author: Sujeewa Thathsara
Date:04/02/2011
Source: Divaina




නාට්‍ය හා රංග කලාවේදී නළු නිළියන් ප්‍රේක්‍ෂකයා සමග සන්නිවේදනය ඇතිකර ගනු ලබන්නේ මුලික වශයෙන්ම ඔවුන්ගේ ශරීරවලිනි. මානව දේහය සන්නිවේදනයේ කැඩපත යෑයි සඳහන් වන්නේ එහෙයිනි. ආංගික අභිනය, වාචික අභිනය, සාත්වික අභිනය සහ ආහර්යාංගික අභිනයන් ඔස්‌සේ ශරීරයේ සෑම කොටසක්‌ම ප්‍රයෝජනයට ගන්නා රංගන ශිල්පියා තමා නිරූපිත චරිතයට ජීවය එක්‌කරයි. මිනිසා සතු දෙතිස්‌ අංගයන් මනාවට ප්‍රගුණ කොට, කලාව තුළ පිහිටා තිබේ නම්, ඔහු හෝ ඇය පරිපූර්ණ රංග ශිල්පියකු බව අවිවාදිතය.

අද අප කතා නායිකාව වූ ඇය ඉහත ලක්‍ෂණයන් මනාකොට පිළිබිඹු කොට සම්මානයන් රැසකට පාත්‍ර වූ නව පරපුරේ යොවුන් රංගන ශිල්පිනියන් අතර ඉහළ නාමයකට හිමිකම්කියන්නියකි. නිමා වූ 2010 යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වූයේද ඇයයි. වේදිකාවෙන් ලද පන්නරය සවියක්‌ කොටගත් ඇය, අද පුංචි තිරයට සහ සිනමාවට ද පිවිස සිටින්නීය.

මේ දිනවල ස්‌වාධීන රූපවාහිනිය ඔස්‌සේ විකාශය වන, ප්‍රවීන සහ ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ රජිව් ආනන්දයන්ගේ "කඩ දොර" ටෙලි වෘතාන්තයේ "රන්මලී" චරිතයට ජීවය එක්‌කරමින්, ප්‍රබල රංගන දායකත්වයක්‌ සපයමින් 1915 තරම් වූ ඈත අතීතයේ සිදුවූ සත්‍ය සිද්ධිදාමයක නැවත පුණරූපනයට අප කැඳවාගෙන යන මේ රංගන ශිල්පිනිය සමාධි ලක්‌සිරියි.

අනේකවිද වූ දුක්‌ ගැහැටයන්ට නතුව දින 60 ක්‌ පමණ සිංහරාජ වන අසබඩ දැරණියගල දික්‌ඇල්ල මහ වනාන්තරය තුළදී රූපගත කිරීම් සිදු කළ ඉහත නිර්මාණයෙහි වනගත දර්ශන තලය තුළ සිටින එකම කාන්තාව වූ ඇය සිය සොඳුරු මෙන්ම කටුක අත්දැකීම් ද පාදක කොට ගනිමින් "දිවයින" සිනමා කලා" හා එක්‌ව පැවැත්වූ සංවාදයෙහි තොරතුරුත්, ඇගේ කලා දිවියෙහි අතීතය සහ අනාගතය පිළිබඳ තතුත් මතු පෙළගස්‌වමු.

ඔබේ කලා දිවියෙහි ආරම්භය ගැන සඳහන් කිරීමක්‌ සිදු කළොත්?

බදුල්ල විහාරමහදේවි සහ ඇඹිලිපිටිය ජාතික පාසල් මාතාවන්ගෙන් අධ්‍යාපනය හැදෑරූ මා නර්තනය ඔස්‌සේ ඉදිරියටම ගොස්‌ නර්තන ගුරුවරියක්‌ වන්නට අදහස්‌ කළා. කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වූ මා එහිදී නාට්‍ය හා රංග කලාව තෝරාගත්තා. විශේෂවේදී උපාධියට තේරුණු 9 දෙනා අතරට මා ද ඇතුළත් වුණා. නයෝමි සමුදුකා සහ විරාග අධ්‍යක්‍ෂණය කළ "මුහුදු ළිහිණියෝ" වේදිකා නාට්‍ය තුළින් මුල්වරට වේදිකාවට ගොඩ වූ මා ඊඩිපස්‌, "මාස්‌ටර් බිල්ඩර්", "රයිනෝසිරස්‌", "සිහින හොරු අරන්", "ඔබ ආපසු යන්න", "සඳ ගිණි අරන්", "වීරයා මැරිලා", "ඇන්ටිගනී" යන වේදිකා නාට්‍ය තුළට සම්බන්ධ වී මගේ රංගන කෞෂල්‍යයන් විදහා පෑවා.

ඔබ වේදිකාවේ නිරූපිත රංගනයන් නිසා සම්මාන

රැසකට හිමිකම් කියන්නියක්‌. ඒ පිළිබඳ මතකය මොනවගේද?

2007 වසරේදී "ඔබ ආපසු යන්න" වේදිකා නාට්‍ය සඳහා හොඳම සහය නිළිය (රංගන සහ දව්පධි අධ්‍යක්‍ෂණය කළ) 2008 දී පැවැති යොවුන් නාට්‍ය උළෙලේ "සඳ ගිණි අරං" රංගනය වෙනුවෙන් හොඳම නිළිය ලෙසත්, (අධ්‍යක්‍ෂණය දුමිඳු දොඩංතැන්න) 2010 යොවුන් නාට්‍ය උළෙලේ "ජනේලයෙන් පනින්නද" වේදිකා නාට්‍යයේ මගේ චරිතය වූ "කුමුදු" වෙනුවෙන් හොඳම නිළිය ලෙසින් ද මා සම්මාන ලැබුවා. ධනුෂිකා නයනකුමාරි "ජනේලයෙන් පනින්නද" අධ්‍යක්‍ෂිකාවයි.

ඔබේ වැඩි කැමැත්ත වේදිකාව යෑයි කීවත්, පුංචි තිරයට සහ රිදී තිරයටත් යොමු වීමට සිදු වුණා. මේ පිළිබඳ පැවසිය හැක්‌කේ කුමක්‌ද?

ඇත්තටම මා වේදිකාවට හුඟක්‌ කැමැතියි. එහි කැපකිරීම් සහ නිරූපණයන් තාත්විකව සිදුකළ යුතු නිසා එහිදී ලබන්නා වූ පන්නරය පුංචි තිරයට සහ සිනමාවට පිවිසීමට ඉතා හොඳ ප්‍රවේශයක්‌ ලෙසයි මා දකින්නේ. "අසිනි වැසි", "සූරිය දරුවෝ", "මායා අග්නි", "වසන්ත කුසලාන", (අධ්‍යක්‍ෂ ජනක සුරංජන්) ජයලත් මනෝරත්නයන්ගේ "රාත්‍රිය මනරම්" යන ටෙලි නිර්මාණ සඳහා මා රංගනයෙන් දායක වන්නේ එම නිසයි.

"කඩදොර" මේ දිනවල ඔබ ගැන කතාබහට ලක්‌වූ තවත් විශේෂිත වූ ටෙලි නිර්මාණයක්‌. මේ ගැනත් පැවැසිය යුතු විශේෂ යමක්‌ තිබෙනවාද?

සැබැවින්ම "කඩදොර" හි රංගනය මගේ රංගන දිවියට ආලෝකයක්‌ එක්‌කළා යෑයි පැවසුවොත් එය අතිශයෝක්‌තියක්‌ නොවෙයි. මේ දිනවල ලැබෙන ප්‍රතිචාර මතින් මා කළ කැපකිරීම් සහ මහන්සියේ ප්‍රතිඵලය නිරහංකාරව අත්විඳිනවා. එහි නිෂ්පාදන සහ රංගන ශිල්පී රෝෂාන් රවින්ද්‍රත්, මගේ රංගන දිවියෙහි ගුරු පියාණන් වූ ප්‍රියංකර රත්නායක මහතාණන් මාර්ගයෙන් අධ්‍යක්‍ෂ රජිව් ආනන්දයන් මුණගැසුණා. ඔහු මට සෙනෙහෙබර පියෙක්‌ හා සමානයි. ඔහු ලබා දුන් පිටපතට අනුව ඒ හිතේ ඇඳුණු චරිතයට (රත්මලී) මා කැමැත්තෙන් සහ ශක්‌තිමත්ව මුහුණ දී බොහෝ දුෂ්කරතා මැද සාමූහිකව ජයගනිමින්, මේ නිර්මාණය සාර්ථක නිමැවුමක්‌ ලෙස තිරයට ගෙන එන්නට දායකත්වය ලබා දුන්නා. මගේ "චරිතය" ගොඩනැඟීමේදී අනුපමේය සහයක්‌ ලබා දුන්, අධ්‍යක්‍ෂ රජිව් ආනන්ද, නිෂ්පාදක රොෂාන් රවින්ද්‍ර, ප්‍රියංකර රත්නායක, රජිත් හිරාන්, මංජු නදිමිනි දිසානායක දැරිය සහ කඩදොර සඳහා දායක වූ සෑම සියලු දෙනාමත් රූපගත කිරීම් සිදු කළ ප්‍රදේශයන්හි ගම්වාසීන් විශේෂිතව සිහිපත් කරන්නට මෙය අවස්‌ථාව කරගැනීමට කැමැතියි.

සිනමාවට දැක්‌වූ දායකත්වයත්, මේ දිනවල ඔබේ තොරතුරුත් පිළිබඳ පැවසුවොත්...?

ප්‍රසන්න විතානගේගේ "ආකාශ කුසුම්" චිත්‍රපටයේ කුඩා චරිතයකුත්, සෝමරත්න දිසානායක මහතාගේ "සිරි රජ සිරි" හිත් මා දැනට රංගන දායකත්වය සැපයුව ධර්මප්‍රිය ඩයස්‌ මහතාගේ නව නිර්මාණයක්‌ වූ "ජුලියස්‌ සීසර්" වේදිකා නාටකයේ "පෝෂියා" ගේ චරිතය රඟදක්‌වන අතරතුර, නාට්‍ය සහ රංග කලාව පිළිබඳ දර්ශනවේදී උපාධිය ලබාගැනීමට සූදානම් වෙනවා. සංස්‌කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවර්ධන නිලධාරිනියක ලෙස සේවය කරන අතරතුර තමයි කලා කටයුතු සඳහා එක්‌වන්නේ. ඉදිරියේදීත් හොඳ නිර්මාණ සඳහා ආරාධනා ලැබුණොත් විශේෂ අවසරය මත ඒ සඳහා සහභාගි වන්නට අදහස්‌ කරමින් පසුවෙනවා.

ඒ කියන්නේ කලාවෙහි රැඳී සිටීමට නම් කිසියම් වූ තෝරාගැනීමක්‌ කළ යුතුයි කියන එකද?

සැබැවින්ම කලා ක්‍ෂේත්‍රයට පැමිණීම පහසු වුවත්, එහි රැඳී සිටීම විශාල අභියෝගයක්‌. දක්‍ෂතාවත්, වාසනාවත්, උනන්දුව සහ කැපවීමත්, එකසේ වැදගත්.

මා මගේ සීමාවේ සිට රංගනයට එකතුවන්නියක්‌. සම්භාව්‍ය හෝ වාණිජ කියා බෙදීමක්‌ නැතත්, යමක්‌ කළ හැකි උසස්‌ ගණයේ නිර්මාණ සඳහා දායකත්වය ලබා දීමට කෙසේ හෝ ඉඩ හසර වෙන්කර ගතයුත්තේ එම නිසයි.

ඔබේ කලා දිවියට උපකාර කළ සිහි කළ යුතු පිරිස පිළිබඳවත් සිහිපත් කළොත්...?

මගේ දෙමාපියන්, සහෝදරියන් සිව්දෙනාත්, අනාගත සහකරු සාරංග මොරගොඩත් මගේ කලා දිවියට දක්‌වන සුවිශේෂී දායකත්වය වෙනුවෙන්, රජීව් ආනන්ද, ප්‍රියංකර රත්නායක, රොෂාන් රවින්ද්‍ර, නයෝමි සමුද්‍රිකා, විරාග නඳුන්, චාමික දුමිඳු දොඩන්තැන්න, ඉන්දික ෆර්ඩිනැන්ඩ්ස්‌, රාජිත දිසානායක, මුල් අවධියේ මා සමග ළමා නාට්‍ය කළ කැලණියේ මිතුරු කැළ සහ නම් සඳහන් කිරීමට නොහැකි වූ මා හට දිරියක්‌ සහ සවියක්‌ වූ සෑම සියලු දෙනාත්, නිබඳව මට ප්‍රතිචාර දක්‌වන දයාබර වූ රසික ජනතාවත් කෘතවේදීව සිහිපත් කරන්නට මෙය ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ කරගැනීමට කැමැතියි.

ගැමි සුවඳ විහිදුවමින් කලාවට ප්‍රවිශ්ඨ වූ ඇය පැමිණි කෙටි කාලපරාසයකදී දැක්‌වූ දක්‍ෂතා මතින් දිනාගත් සම්මාන සහතික මෙන්ම ජනතා ආදරයද, ඇගේ ඉදිරි කලා දිවිය ශක්‌තිමත් කරනු ලබන බව අපගේද විශ්වාසයයි. අපි ඇගේ කලා දිවියට මෙලෙස සුබපතමු.

1050 රෝහල් පෙදෙස, නව නගරය, ඇඹිලිපිටිය, සමාධි ලක්‌සිරි කලා ශිල්පිනියගේ වත්මන් ලිපිනයයි.

සංවාද සටහන - සුජීව තත්සර
ඡායා - වාසල සේනාරත්න


No comments:

Post a Comment