Author: පරාක්‍රම කොඩිතුවක්‌කු
Date:18/10/2009
Source: Divaina
නාමෙල් වීරමුනි එංගලන්තයෙන් ලංකාවට පැමිණ තමා නිවසන සමාජයට තමාට කළ හැකි සත්කාරය කුමක්‌දැයි කල්පනා කළේය. වීරමුනි යුවල දුරු රටකදී සීත කමින් වේදනාකර ශ්‍රමයකින් උපයා ගත් ධනය වැය කොට කොළඹ ඉදි කළ "පුංචි තියටරය" හා සමාන වෙනත් ආදර්ශයක් වත්මනෙහි නැති බව මෙහි සටහන් කරන්නේ අද ඒ ලොකු හදවතක් ඇති මහත්මා යුවල ගේ පුංචි තියටරයට සත් වසක් සපිරෙන අවස්‌ථාවෙහි දීය. ඉකුත් කාලය තුළ මෙම පුංචි කලා නිවහනේ සාහිත්‍ය කතිකා, දෙසුම්, අලුත් පොත් දියත් කිරීම්, නාටක සිනමා චිත්‍ර ප්‍රදර්ශනයන්, අනේකාකාර රස වින්දන වැඩසටහන් පැවැත්වුණේය. එම වැඩවලට දුක් වෙහෙස විඳි වීරමුනි යුවලට ඒ සියල්ල තම ගෙදර තමාගේම ජීවිතයේ උත්සව හා සමාන විය. එබැවින් පුංචි තියටරය ඔවුන් ඉදිකළ මේ සිහිනය පුංචි සංස්‌කෘතික දෙපාර්තමේන්තුවක් වී ඇති බව කොළඹ කලාකාර සමාජයට නම් ප්‍රත්‍යක්‍ෂ අත්දැකීමකි. සතුටු සැනසිල්ලකි.
එළඹෙන සතිය පුරාම පුංචි තියටරයේ නාට්‍ය දර්ශන මාලාවක් පැවැත්වෙන අතර සෙනසුරාදා (17) දිනයෙහි සංවාදයට අභිමුඛ වන්නට නියමිත වැදගත් විෂය කේන්ද්‍රයක් ඇති බව සැලයි. මේ සුළුවෙන් ඉටු කරන්නේ ඒ ගැන අපගේ අදහස් දැක්‌වීමට නාමෙල් සබඳුන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයකි. නාමෙල් ඇඳ ඇති තේමාව මෙයයි.
නාට්‍ය බලන්නේ ඇයි?
නාට්‍ය නොබලන්නේ ඇයි?
අන් හැම කලාංගයක් මෙන්ම නාටකය ද මිනිසා විසින් මිනිසා උදෙසා සම්පූර්ණ කරනු ලබන සෞන්දර්යාත්මක අවශ්‍යතාවකි. ආදි කල්පිත ගෝත්‍රික ජනයා ද කඳු පර්වත පාට කළේ. වන මැද්දේ දවස් ගණන් දුවමින් ඝෝෂා පැවැත්වූයේ එබැවිනි. නාටකයද සිනමාවකට සහභාගී වීම හා සමාන ඇසි-දිසි අත්දැකීමක් වෙයි. නාට්‍ය කලාවට ආගමික ඉතිහාසයක් ඇත්තේ එය මුල සිටම සත්‍යාන්වේක්‌ෂණය හා සම්බන්ධ කලා මාර්ගයක් වන නිසාය.
නවීනයා ප්‍රබල කලා කෘතියකට සහභාගී වන්නේ එය ජීවිතයට ජීවිතය පුරවා දෙන බැවින්ය. නාට්‍යකාරයාගේ නිර්මාණ ප්‍රීතිය ප්‍රේක්‌ෂකයාගේ වින්දනාස්‌වාදය බවට පත් වෙයි. නාටකයක් බලන්නට යන්නේ එය ලබාදෙන මෙම ජීවන අත්දැකීම අපේක්‍ෂාවෙනි. එය අන්විදිහකින් ලැබිය නොහැක්‌කකි. ප්‍රේක්‍ෂකයාට එය වේදිකාවෙන් සාධනය කරගත නොහැක්‌කේ නම් ඔහු නාට්‍ය බලන්නට යන්නේ කුමකටද ප්‍රේක්‍ෂාගාරය ශූන්‍ය වන්නේ නාට්‍ය වේදිකාව අසාර තැනක් වූ විටය.
20 වැනි සියවසේ දෙවැනි භාගයෙන් පසු උදාවූ අපේ නූතන කලාවේ නව යුගය සමග සාහිත්‍ය හා නාටකය - සිනමාව චිත්‍රය ආදී කලාංගයන් ආලෝක සමයක් පසු කොට අවුත් අද බෙලහීනත්වයකට ඇද වැටී ඇත්තේ කුමක් නිසාද? ගුණදාස අමරසේකර දී ඇති සරල නිරාකුළ පිළිතුර පිටුදැකිය නොහැක්‌කකි. මේ රටේ ජනයාගේ දිවි පුවත යථාර්ථය පිළිබිඹු නොකරන විට, ඒ සමාජාත්මය ස්‌පර්ශ නොකරන විට ඒ කලාව ලේ සිඳී අඩපණ වෙයි. එදා එකිනෙකට වෙනස් නාට්‍ය සම්ප්‍රදායයන් දෙකක් ඔස්‌සේ බිහි වූ සරච්චන්ද්‍රගේ නාට්‍ය හා සුගතපාල ද සිල්වාගේ නාට්‍ය වේදිකා දෙකම අබිමුව මෙරට සමාජයේ විවිධ ශ්‍රේණිවලට අයත් රසික සමූහයා පෙළගැසී සිටියහ. සුගත්ගේ "දුන්න" සමාජයේ දසනුදසට ගමන් කළේය. මන්ද? එය 70 දශකයේ සමාජ වේදනාව හා ප්‍රාර්ථනය කියා පාන්නක් වීමය. එය එම සමාජයේ කම්පන ධාරාවෙන් විදුලිසර වැදුණු නාටකයක් විය.
වර්ජනය පාවා නොදෙන කම්කරු නායකයාගේ බිළිඳු පුතු බෙහෙත් නැතිව මව් දෑතෙහි අවසන් හුස්‌ම හෙළන විට ඇය වේදිකාව ඉදිරියට පැමිණ දණ ගසාගෙන... රිදී එරන් පුත කවිය ගයද්දී රසිකයෝ කඳුළු වගුළහ. කලවානේ ගැමි පාසලක දරුවන් පැමිණ ඉඩ නොලැබ වේදිකාව ඉදිරියේ බිම හිඳගෙන ඇස් අයා ගෙන එය නැරඹූ සැටි අද මට මතක් වෙයි. ආර්. ආර්. ගේ "කැළණි පාලම" මෙන්ම හෙන්රි ජයසේනගේ "හුණුවටයේ කතාවත්" පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්‌කුව රසිකයන්ට අපේ නාට්‍ය" විය. ඒ ඒවා ජීවිතය ජීවිතයටත් වඩා විශාල ලෙස පෙන්වා දුන් නිසාය.
සරච්චන්ද්‍ර ජාතක කතාවෙන් පුරාණෝක්‌ති ඇසුරින් උපදවා ගත් නාටක පෙළ ජන සහභාගිත්වය දිනීමේ රහස්‍ය කාරකය වන්නේ ඒවා අපගේ පාරම්පරික ඥාන දර්ශනයෙන් ආගම දහමින් ඉතිහාසයෙන් හා සම්ප්‍රදාය මාර්ගයෙන් නිපන් නිසාය. දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා ගජමන් පුවත තුළ වූයේ ද ඒ සමාජ සාරය හා ජීවිත සාරයයි.
එදා ගැටවරයෝ පොඩිපුතා "සැනසුම කොතැනද" සිරිපාල හා රන් මැණිකා ආදී චිත්‍රපටවලට පෙම් බැන්දේ සමාජයේ පහළ තට්‌ටුවල ජන කොටස්‌ය. තරුණ වියෙහි දී දුටු ඒ ප්‍රේක්‍ෂාගාරය මට ප්‍රත්‍යක්‌ෂයකි. ඒ සුළු මිනිස්‌සු එම චිත්‍රපටවල තම ජීවිතය දුටහ වින්දහ.
විදග්ධ මෙන්ම ජන කාන්ත ලක්‍ෂණද සහිත කෘතිය මහාර්ඝ නිර්මාණයක මුහුණුවරකි. සැමුවෙල් ජොන්සන්, ශේක්‌ස්‌පියර්ගේ නාට්‍ය ප්‍රේක්‌ෂාගාරය ගැන කරන විමර්ශනයකදී පවසා ඇත්තේ එය නීතිවේදීන් ප්‍රභූන් වියතුන් සාහිත්‍ය ධරයන්ගෙන් මෙන්ම පදිකයෙහි බඩු විකුණන සුළු වෙළෙන්දන් තරුණයන් ලිපිකරුවන් ආදී බහුජන ශ්‍රේණිවලින් ද සමන්විත වූ බවය. එහෙත් අපගේ නුතන නාට්‍යාගාර සිනමා ශාලා ශූන්‍යාගාර වීමට මුඛ්‍ය හේතුව වන්නේ නවීනත්වයකින් පෙනී සිටින බොහෝ නිර්මාණ සමාජ සාරයෙන් ජීවන සාරයෙන් වියුක්‌ත පරිකල්පිතයන් වීම නිසාය.
මෙරට ජීවන රිද්මය හා නොසැසඳෙන බටහිර කල් ඉකුත්වූ කතා පිටපත් ගිජු ලෙස පැහැර ගෙන කරන නාටක සිනමා සාහිත කෘති "සම්භාව්‍ය" ලේබලය අලවා වැඩම්ව වුවද ඒවාට රසිකයින් පස්‌ස හරවන සැටි ඉකුත් සමයෙහි හොඳින් පෙනී ගියේය. මේ බටහිර කතා රඟ දක්‌වන පරිවර්තන නාටක වේදිකාවෙහි අඩුවකට ඇත්තේ හිම තට්‌ටුවක් පමණකැයි එක් කල්පනාකාරී විචාරකයෙකු පවසා තිබිණි. තමා නිවසක සමාජයේ මූලයන්ගෙන් කෙඳි සහිත නොවන නිර්මාණ සිත, අයාලේ යන බව ඔවුනටම පෙනී යනු ඇත. අපගේ නව සිනමාවේ හා නාට්‍යයේ සංදර්භයන් විමසා බළන්නෙකුට පෙනී යන්නේ ඒවා බටහිර රිතීන්ගෙන් නිදහස් නොවූ ඒවා බවය.
ඉන්දියානු නාට්‍ය හා සිනමාකරුවන් කෙතරම් අදීන චින්තනයක පිහිටියවුන්දැයි පී. අරවින්දන් නමැති නූතන ඉන්දීය නිමැවුම්කරුවාගේ මෙම ප්‍රකාශයෙන් වටහා ගත හැකිය.
........චරිත විවරණය ගැටුම හඳුන්වා දීම මානසික ආතති නිරූපනය හා සංකේත භාවිතය ආදියෙහි ඇති බටහිර රීතිය අපගේ සම්ප්‍රදාය චින්තන ක්‍රමය හා නොපෑහෙයි. මා වෑයම් කරන්නේ ඒ බටහිර රීතියෙන් නිදහස් වීමටයි.
කුරසවා, රායි පවා බටහිර රීතීන්ට හසුවීම පිළිබඳ ඇතැම් විචාරකයන්ගේ විරෝධයට හසුව ඇත. උසස් සාහිත කෘතිය මෙන්ම සිනමාව හා නාට්‍යයද ප්‍රේක්‍ෂකයා හා සබඳතාවක් ගොඩ නගා ගනිමින් නව්‍ය සෙවිල්ලකින් ජීවිතය අලුතින් දකින්නට උණුසුම් කල්පනාවකට පත් කිරීමට සමත් විය යුතුයෑයි අදූර් ගෝපාලක්‍රිෂ්ණන් පවසයි. මෙරට නව නිර්මාණකරුවන් ගෙන් වැඩි දෙනකු ප්‍රධාන සමාජ ධාරාවෙන් විතැන්වී පිටස්‌තරයින් බවට පත්ව සමාජයේ ස්‌ථානගත වීමට නොහැකි වූ තරුණයන් වීම අභාග්‍යයකි.
මධ්‍යම ධාරාවේ ජනප්‍රිය සිනමාව තුළද පර්යේෂණාත්මක නොවන හොඳ චිත්‍රපටයකට අවකාශ ඇති බව අද පිළිගන්නා සත්‍යයකි. අගනුවරින් පිටස්‌තර ජනයා අද දකින්නේ කොළඹ නාට්‍ය නිපැදවෙන බවක් ඒවාට සම්මාන දෙන බවත්ය. එමෙන්ම කවර සමාජ තත්ත්වයන් යටතේ වුවද රසිකයන්ගේ රසඥතාව පිරිහී ඇත්නම් එය පෝෂණය කිරීමේ අභියෝගයද භාරගත යුත්තේ තම කලාවට කැප වූ නිර්මාණකරුවන්මය. වත්මනෙහිදී අපේ කලාංගයන් මුහුණ දී ඇති ප්‍රතිවිරෝධතා පිළිබඳව විහිදෙන සාකච්ඡා සෝදිසි මාදිසි පැවැත්වීමටද නව නිර්මාණ කරුවනට පරිඥානයක් ලබා දීමටද පුංචි තියටරයට ඇති ලොකු හැකියාව දැනටමත් ඔප්පු කොට ඇත. පුංචි තියටරයේ ලොකු හදවතට ඇපේ බැති පෙම් පුද කරමු.
Wednesday, 16 June 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment