Source: Sarasaviya
වර්තමානයේ අපට දකින්නට ලැබෙන්නේ උසස් නාට්‍ය කලාවකි. ග්‍රීක නාට්‍ය කලාව අද ක්‍රියාත්මක නැතැයි කිසිවෙකුට කිව නොහැක. ඔවුන් අද ග්‍රීසියේ පමණක් නොව මුළු ලොවටම පොදු වූ නාට්‍ය තරගයක් පවත්වයි. ඒ ඇලෙක්සැන්ඩර් එස්. ඔනාසීස් ජාත්‍යන්තර නාට්‍ය තරගයයි. ඒ නාට්‍ය පිටපත් සඳහා පමණි.
එපමණක් නොව එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල නාට්‍ය කලා, තරග, උළෙල ආදිය දෙස බලන විට ඒවා කොතරම් සංවර්ධනය වී ඇත්ද යන්න වැටහේ. නමුත් මේ සෑම නාට්‍ය කලාවක්ම ආරම්භ කර ඇත්තේ දෙවියන් මුල් වූ යාතු කර්මවලිනි.
ඒ යාතු කර්ම තවදුරටත් සංවර්ධනයවීමෙන් ඒවායේ නාට්‍යමය අවස්ථා බහුල විය. සමහර ශාන්තිකර්මවල ආගම අභිබවා සාමාන්‍ය ජනතාවට උපදෙස් දෙන කතාන්තර ගොඩ නැගුණි. ඒ කතාන්තර නොහොත් සදූපදේශ දකුණ ආසියාවේ කාන්තාව ඉලක්ක කරගෙන නිර්මාණය විය. බෙහෙවින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් දකින්නට ලැබේ.
යුරෝපයේ මිස්ටරි, මිරැකල්, නාට්‍ය ක්‍රිස්තියානි ආගම මුල් කරගෙන ලියැවිණි. මේවා බොහෝමයක් සමස්ත ජන වාර්ගයාටම උපදෙස් දෙන්නේ විය. කෙසේ වෙතත් මෙහි ආරම්භයන් උසස් නාට්‍ය කලාවන් කෙරෙහි කැඳවාගෙන ආවේය.
ශ්‍රී ලංකාවෙන් මෙවැනි උදාහරණයක් ගත හැක. ඒ මනමේ නාටකයයි. බොහෝ දෙනෙකුට මනමේ නම කියූ ගමන් සිහියට නැගෙන්නේ මහ ඇදුරු සරච්න්ද්‍රයන්ගේ මනමේ නාටකයයි.
නමුත් මේ කතාන්තරයේ මුල ජාතක කතා පොතේ එන චුල්ලධනුද්ධර කතාවයි. මේ කතාව කලාකරුවන්ගේ නෙත ගැටී ඇත්තේ කවි නාඩගම් යුගයේ සිටයි. මනමේ නාඩගම ලංකා ඉතිහාසයේ මුලින්ම දකින්නට ලැබෙන්නේ කවි නාඩගමක් හැටියටයි.
පසුව එය සින්දු නාඩගමක් හැටියට හැඳින්වේ. මෙයින් පසුව තවත් පරම්පරාවක් මනමේ කතාව භාවිත කළේය. ඒ කෝළම් පරම්පරාවයි. මේ නිසා කෝළම් නාටක පිටපත් පිළිබඳව ගවේෂණය කළ පර්ටෝල්ඩ් පඬිතුමා කොළඹ කෞතුකාගාරයේ සිට පැරණි මනමේ කෝළම පිළිිබඳ රචනා කළ අයුරු වටහා ගත හක.
ඔහු වෙහෙස මහන්සියෙන් සොයා ගත්තා හැරෙන්නට අද වන විට පැරණි කෝලම් පිටපත් නැති තරම්ය. සමහර කෝළම් පිටපත් ඉංග්‍රීසීන් විසින් එංගලන්තයට ගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ යටත් විජිතයක් හැටියට ශ්‍රී ලංකාව පැවැති කාලයේදීය.
අපගේ පැරණි පුස්කොළ පොත්වලට ද මේ ඉරණම අත් වූ බව වඩාත් හොඳින් දන්නේ මේ පිළිබඳ ගවේෂණය කළ අය පමණි. වර්තමානයේ ඒ පිළිබඳ අධ්‍යයනය කරන්නට වුවමනා නම් අපට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට යාමට සිදු වේ.
කරුණු එසේ වුවද යළි පැරණි මනමේ කෝළම වෙත හැරෙමු. දැන් අපි හොඳින් දන්නා පරිදි ජාතක කතාවේ චුල්ලධනුද්ධර කතාවේ ස්ත්‍රියගේ චපලත්වය ඉඳුරාම පවසයි.
ස්ත්‍රියට පහර දෙයි. ඇය දෝෂ දර්ශනයට ලක් කරමින් ඇයගේ ගති පිළිබඳ විවේචනය කරයි. පන්සිය පනස් ජාතක පොතේ සඳහන් කතාන්දරවල බොහෝමයක ස්ත්‍ර‍්‍රියගේ චපලත්වය කියාපායි.
අතෙහි ඇඟිලි ගණනට ඇති කතා සොච්චමක පමණක් ස්ත්‍රියගේ ගුණ කියැ වේ. මේ නිසා ජාතක කතාවේ මතු වන ගුණයම කවි නාඩගමේ ද දකින්නට ලැබේ. කවි නාඩගම්කකරුවා ඒ අවවාදය ප්‍රතික්ෂේප කරන්නේ නැත.
මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ සිංහල නාටකය හා සඳකිදුරු ග්‍රන්ථයෙන් දක්වන්නේ සලා ගුරුන්නාන්සේ නම් කෙනෙකු ගම්පහ, මීගමුව යන ප්‍රදේශවල සිට ලංකාවේ බොහෝමයක් පළාත්වල ඉතා ජනප්‍රියම මෙම කවි නාඩගම රඟ දැක් වූ බවයි.
වික්‍රමසිංහ මහතා විස්තර කරන පරිදි බොහෝ පන්සල්වල මෙය රඟ දක්වා ඇත. පැතලි පොළවේ කවාකාර භූමි භාගයක මෙය රඟ දැක් වූ අතර ප්‍රේක්ෂකයා වටේට බිම ඉඳගෙන මේ නාටකය නැරඹූහ.
ගැට බෙර, හොරණෑ ආදිය සංගීතය ලෙස යොදා ගැනිණි. මෙහි ස්ත්‍රීන් රඟපෑ බවක් සඳහන් වන්නේ නැත. මේ නාටකය ද අවසන් වී ඇත්තේ ස්ත්‍රීන්ට නිගා කිරීමෙන්ය.
බොහෝ දුරට ලාංකීය සමාජයේ ස්ත්‍රිය ඉතාමත් ශුද්ධ චරිතයක් හැටියට ජීවත් විය යුතුය. කිරි අම්මා දානයේදී මව්වරු හත්දෙනෙක් තෝරා ගන්නේ ද එවැනි සංකල්පයක් උඩය.
එහෙයින් කාන්තාව ආදර්ශමත් විය යුතුය. අන්‍ය පුරුෂයන් හා බැඳීම් ඇති කර ගත නොයුත්තාහ. මේ නිසා එකල සමාජයට මනමේ කවි නාඩගම ඉතාමත් ආදර්ශමත් කතාවක් විය හැක.
මනමේ කෝළම ද කිසිදු වෙනසක් නැතිව ඉහත කවි නාඩගමේ හා ජාතක කතාවේ තිබූ ලක්ෂණම දකින්නට ලැබේ. එහෙයින් බලන විට මෙකී පරම්පරා තුනම එනම් ජාතක කතාව, කවි නාඩගම, මනමේ කෝළම යන නිර්මාණ තුනෙහිම මනමේ කතාවට කිසිදු වෙනසක් වන්නේ නැත.
එසේ එහි උසස් නාට්‍යමය ගුණ නැති බව ප්‍රකාශ කළොත් ගතානුගතික කෙනෙක් නම් හෘදය සංවේදීව ඒ අදහස ප්‍රතික්ෂේප කරනු ඇත. එය එසේ වන්නේ උසස් නාට්‍යමය ගුණය යනුවෙන් සඳහන් කළ ප්‍රකාශය තේරුම් නොගැනීම නිසායි. එසේ නම් උසස් නාට්‍යමය ගුණ යනු මොනවාද?
* උසස් නාට්‍ය කෘතියක කතාන්තරයෙන් සර්වකාලීන ජීවන දෘෂ්ටියක් සාකච්ඡා වේ. ස්ත්‍රිය චපල බව සර්වකාලීන නැත. ජාතක කතාවලම එන ‘සම්බුලා ජාතකය’ ගත් කළ ඒ බව හෙළි වේ.
තවදුරටත් ගතහොත් සමහර චපල පිරිමි සිටිති. එමෙන්ම සම්බුලා වන් පිරිමින් ද සිටිති. එසේ නම් ජාතක කතාවෙන් කවි නාඩගමෙන්, කෝලමෙන් එළිදරව් වන මනමේ කතා පුවතින් සර්වකාලීන මතු වන්නේ නැත. ඒ,
* ගුණාත්මක නාට්‍යයක් එහි සඳහන් වන දෙබස් පවා වරින් වර වෙනසකට ලක් වන්නේ නැත.
* ගුණාත්මක නාට්‍යයක් විධිමත් ශෛලියකට අනුව රංඟ ගත වේ. එය නාට්‍ය ධර්මී හෝ ලෝක ධර්මී වේවා පිළිවෙළක් තිබිය යුතුය.
* ගුණාත්මක නාට්‍යයකින් තීන්දු දෙන්නේ නැත. එය උසාවියකට පැවරෙන කාර්්‍යයකි.
නාට්‍යකරුවා කරන්නේ මෙවැනි තත්ත්වයක් මත අපි කුමක් කළ යුතු ද යන්න සාකච්ඡා කිරීම පමණි.
* ගුණාත්මක නාට්‍යයක කෙනෙකුට හෝ යමකට ඇඟිලි දිගු කොට චෝදනා නගන්නේ නැත.
* ගුණාත්මක නාට්‍යයක පවතින ලක්ෂණයක් වන්නේ ස්ථිර වූ භාෂා රිද්මයකි.
* රංගනයේදී පිටපත අභිබවා සාධනීය ලෙස සකස් වූ රඟපෑම් ද ගුණාත්මක නාට්‍යයකට අවශ්‍ය වේ.
ඉහත දැක් වූයේ ගුණාත්මක නාට්‍යයකට අවශ්‍ය ලක්ෂණවලින් සමහරක් පමණි. මහාචාර්ය සරච්චන්ද්‍ර ඇදුරුතුමා මනමේ නාටකය නිර්මාණය කරන්නේ ඉහත ලක්ෂණ සලකා බලන්නට ඇත. එය ජාතක කතාවෙන්, කවි නාඩගමෙන් හා කෝළමින් නැතහොත් සින්දු නාඩගමින් ඔබ්බට ගිය වැඩ කොටසකි. මෙහි ඉහත සඳහන් කළ ගුණ සියල්ලකක්ම මනමේ නාටකයේ ඇත.
මීට කලින් මනමේ නාටකයේ අවසානය අපගේ සාකච්ඡාවට බඳුන් වී ඇත. එහිද සඳහන් කළේ අවසානයේ මහ ඇදුරුතුමන් තම නාටකයෙන් කරන ප්‍රකාශයයි. ඔහු පවසන්නේ ‘නොදනිමි කාගේ දොසා’ යනුවෙනි.
එහිදී මේ නාට්‍යකර ැවා තීරණයක් නොදෙයි. එමෙන්ම මෙවැනි සිද්ධීන් සර්වකාලීනව සිදුවන්නට පුළුවනි.
No comments:
Post a Comment