Date: 06/06/2010
Source:Silumina
පසුගිය 03 වන දිනට යෙදුණු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 96 වන ජන්ම දිනය නිමිත්තෙනි.
මහාචාර්ය සරච්චන්ද්‍රයන් ස්වකීය නාට්‍ය වැඩි හරියක් නිෂ්පාදනය කළේ සරසවි සිසුන් එක්කර ගනිමින් තමාගේ නිෂ්පාදන ලෙස ය. එහෙත් සරච්චන්ද්‍රයන්ගේ හද බැඳ ගත් මේ කියන නාට්‍යය, එනම් ‘රත්නාවලිය’ නිෂ්පාදනය කරනු ලැබුවේ සරසවි සිසුන් විසිනි. සරච්චන්ද්‍රයන්ගෙන් ලැබුණේ සහායක් හා උපදේශනයක් පමණි. කෙසේ හෝ රත්නාවලිය නාට්‍ය සංගීත ක්ෂේත්‍රයේ වැදගත් ස්මාරකයක් විය.
රත්නාවලී මුල් නාට්‍යය භාරතයේ ශ්‍රී හර්ෂ රජු නොහොත් ශ්‍රේෂ්ඨ කවියා විසින්, එනමින් රචනා කරන ලද සංස්කෘත නාටකයයි. පේරාදෙණි සරසවියේ කලක් සිංහල හැදෑරූ පියදාස නිශ්ශංක කවියා විසින් මේ සංස්කෘත නාටකය 1957 දී සිංහලට අනුවාදනය කොට ‘විශ්ව නාටක පුස්තක මාලා’ - අංක 3 යටතේ සමන් ප්‍රකාශකයන් විසින් පළ කොට තිබිණ. පේරාදෙණිය සරසවි, සිසුන්, විසින් මේ සිංහල අනුවාදය ඇසුරින්, 1959 දී ‘රත්නාවලී’ නාටකය නිෂ්පාදනය විය. නිෂ්පාදනයට පාදක වූයේ සරච්චන්ද්‍රයන් විසින් ඒ නිශ්ශංක අනුවාදය ඇසුරින් සංගීතමය නාටක නිෂ්පාදනයකට තුඩු දෙන පරිදි ගීතමය පද්‍ය රාශියක් සංගෘහිත වන සේ සකස් කර දෙනු ලැබූ කෙටි නාට්‍ය පිටපතයි.
සිංහල රජ කුමරියක් පිළිබඳ කථාව ‘රත්නාවලි’ නාට්‍යයේ කථා වස්තුවයි. වික්‍රමබාහු සිංහල රජුගේ දියණිය රත්නාවලී කුමරිය භාරතයේ උදයන රජු හා විවාහ වීම පිණිස ගමන් කරන අතර මුහුදේ දී නැව කැඩී බිඳී විනාශ වෙයි. දෛවය නිසා දිවි ගලවා ගන්නා රත්නාවලී කුමරිය මිනිසුන් විසින් උදයන රජුගේ ම අන්තඞ පුරයට පමුණුවනු ලැබ ‘සාගරිකා’ (සාගරයෙන් ලැබුණු) නමින් සේවිකාවක් ලෙස අඥාත ව වෙසේ. උදයන රජු හා සාගරිකා අතර ප්‍රේමයක් හට ගනී. වාසසදත්තා අග බිසොව මීට විවිධ බාධක පමුණු වන්නීය. අන්තිමේ දී සාගරිකා තම නැගණිය බව අනාවරණය වීමෙන් පසු ව බිසොව ඇය සිය කැමැත්තෙන් ම රජුට පාවා දෙයි.
‘රත්නාවලී’ සංස්කෘත නාට්‍යයේ එන එක් ශ්ලෝකයක් පොලොන්නරු යුගයේ විසූ ගුරුළු ගෝමී පඬිවරයා විසින් රචිත, ‘ධර්ම ප්‍රදීපිකා’ නමැති ධර්ම ග්‍රන්ථයේ උපුටා දක්වා තිබීමෙන් නාට්‍යයට ලැබී තිබුණු වැදගත් තැන හෙලිවෙයි.
ද්විපාදන්‍යස්මාදපි, මධ්‍යාදපි
ජලනිධේර්දිශෝප්‍යන්තාත්
ආනීය ඣටිති ඝටයතී
විධිරභිමතමභිමුඛිභූතඞ
සරච්චන්ද්‍රයෝ ඒ ශ්ලෝකය මෙසේ පරිවර්තනය කර දක්වති.
සමුදුරු පත්ලෙන් හෝ දුරු රටෙකින්
සක්වල කෙළවර සිට හෝ ගෙනැවිත්
රිසි වූ විට දෛවය යම් දෙදෙනෙකු
මුන ගස්වා එක් කරවයි සැණෙකින්
(රත්නාවලී නිෂ්පාදනය - වැලිකල)
මෙරට අතීතයේ පැවති සම්භාව්‍ය නාට්‍ය කලාවක් පිළිබඳ ව අද අපට ශේෂ වී ඇති එකම සාක්ෂිය ධර්මප්‍රදීපිකාවේ’ එන ඉහත කී ශ්ලෝකයයි.
පියදාස නිශ්ශංක රත්නාවලී අනුවාදය 1958 සිට පේරාදෙණි විශ්වවිද්‍යාලය තුළ සිංහල විෂය සඳහා නියමිත ග්‍රන්ථයක් ව පැවතිණ. දේශන පවත්වන ලද්දේ සරච්චන්ද්‍රයන් විසිනි. ග්‍රන්ථය පළ වී තිබුණේ ද සරච්චන්ද්‍රයන්ගේ සංස්කාරකත්වයෙනි. ග්‍රන්ථය හඳුන්වා දී තිබුණේ ‘පාසල් සිසුන් මෙන් ම සියලු කලා රසිකයන් විසින් රඟ දැක්වීම සඳහා යොදා ගත හැකි විශිෂ්ට නාට්‍යයක් ලෙස ය. අද ‘රත්නාවලිය’ උසස් පෙළ පාසල් සිසුන්ගේ සිංහල විෂයට නියමිත දෘශ්‍ය කාව්‍යයක් නොහොත් නාට්‍ය ග්‍රන්ථයක් වශයෙන් භාවිතා කෙරේ.
‘රත්නාවලිය’ භාරතයේ ද උසස් නාට්‍යයක් වශයෙන් පිළිගැනෙන කාව්‍යමය නාට්‍යයකි. එහි සන්දර්භය නොහොත් සිද්ධි සංඝටනය හා කාව්‍යමය ගුණය තුළ ඇති අපූර්වත්වය නිසා සරච්චන්ද්‍රයෝ තම දේශනවල දී නිතර ‘රත්නාවලිය’ උදාහරණයට ගත්හ.
නිශ්ශංකගේ අනුවාදයේ එක් විශේෂ ලක්ෂණයක් නම්, මුල් සංස්කෘත ග්‍රන්ථයේ ගීත නොපැවති නමුත්, පැවති ශ්ලෝක වෙනුවට සිංහල කාව්‍ය විරිත්, ඡන්දස්, තාල රූප එලිසම, ශබ්ද අනුප්‍රාස ආදී ලක්ෂණවලින් හෙබි ගීතමය පද්‍ය රචනා නිර්මාණය කොට තිබීමයි. නාට්‍ය ස්වරූපයෙන් නිෂ්පාදනය වීම අරමුණු කොට, පහසුවෙන් ‘ගීත’ බවට පත් කළ හැකි ‘ගේය’ (ගැයිය යුතු) කාව්‍ය සංග්‍රහයක් රචනා කොට තිබීමයි. ‘රත්නාවලිය’ සියලු කලා රසිකයන් විසින් රඟ දැක්වීම සඳහා යොදා ගත හැකි විශිෂ්ට නාට්‍යයක් වන්නේ ඒ අයුරිනි. සරච්චන්ද්‍ර, පියදාස නිශ්ශංක යන දෙදෙනාගේ ම සිත්හි මුල සිට ම, ‘රත්නාවලිය’ වේදිකා නාට්‍යයක් බවට පත් කරලීමේ අරමුණ තිබුණාට සැක නැත. සංස්කෘත නාට්‍ය අනුවාදය හා නිෂ්පාදනය තුළින්, නාඩගම් කලාවෙන් මෙන් ම, දේශීය නාට්‍ය කලාවක් ගොඩ නැඟිය හැකිය යන විශ්වාසය සරච්චවන්ද්‍රයන් තුළ පැවති බව පැහැදිලි ය.
දේශන පවත්වන අතර රත්නාවලියේ යම් යම් දෙබස් හා රඟපෑම් සිසුන් ලවා රංගනයෙන් ඉදිරිපත් කරවීම සරච්චන්ද්‍රයන් ගේ සිරිතක් විය. ගීත ගායනය සඳහා තෝරා ගත්තේ, එවක ශිෂ්‍යයකු ව සිටි මා ය. ගීත ගායනයට අවශ්‍ය වන පරිදි මම රත්නාවලියෙහි ගීත එකිනෙක ගෙන ගීතනු නිර්මාණය කෙළෙමි. මේවාට කන් දෙන සරච්චන්ද්‍ර අතිශයින් පැහැදුණු බව මට මතක ය. පසුව ඔහු අවශ්‍ය ගීත නම් කරන්නට විය. ගීතනුවල මාධුය්‍ය¡ (melodius) ගුණය හා නිශ්ශංක පද්‍ය හා ගැළපීම පිළිබඳව එතුමා නිතර කථා කෙළේ ය. එවක සරසවි සිසුවකු අතින් සංගීත නිර්මාණයක් සිදුවීම විශේෂ දෙයකි. සරසවි සිසුන් නිර්මාණය කළේ කෙටි කථා, පද්‍ය, නිසඳැස් කාව්‍ය යනාදී සාහිත්‍ය කෘතීන් ය.
කෙසේ වුව ද, 1950 දශකයේ අගභාගය පේරාදෙණි සරසවියේ සිසුන් කලා නිර්මාණ, භාෂා සාහිත්‍ය විචාර ආදී සංස්කෘතික කටයුතුවල පෘථුල ලෙස නිමග්න වුණු කාල පරිච්ඡේදයක් විය. පසු කාලවල සංස්කෘතික ක්ෂේත්‍රවල කැපී පෙනුණු නාමෙල් වීරමුනි, චන්ද්‍රසේන දසනායක, ජේ.බී. දිසානායක හා විමල් දිසානායක, වසන්ත ඔබේසේකර, සවිමන් නවගත්තේගම, සුචරිත ගම්ලත්, එච්.එච්. බණ්ඩාර, සෝමලතා සුබසිංහ, ජයන්ත අරවින්ද වැනි කලාකරුවන්, භාෂා ශාස්ත්‍රධරයන් තම නිර්මාණ විචාර කුසලතා ඔප මට්ටම් කර ගත් යුගයක් විය.
මෙබඳු නිර්මාණාත්මක, විචාරාත්මක හා අධ්‍යාපනික පරිසරයක් පේරාදෙණි විශ්ව විද්‍යාලය තුළ ජනිත වූයේ එවක එහි ශාස්ත්‍රඥානය පතුරුවා ලූ ප්‍රවීණ ආචාය¸වරුන් නිසා බව ද සිහිපත් කළ යුතුවේ. සිරී ගුණසිංහයන්ගේ නිසඳැස් කාව්‍ය නිර්මාණත්, සුගතපාල සිල්වාගේ භාෂා ව්‍යාකරණය පිළිබඳ නවීන විචාර සංකල්පත්, ජයදේව තිලකසිරිගේ කලා ශිල්ප පිළිබඳ උනන්දුවත්, ආරිය රාජකරුණාගේ කාව්‍ය විචාර සංකල්පත්, සිසුන්ගේ නිර්මාණ විචාර කුසලතා බෙහෙවින් දිරි ගැන්වීය. මහාචාය¸ සරච්චන්ද්‍ර නාට්‍ය සාහිත්‍ය සංගීතාදී සෑම විෂය ක්ෂේත්‍රයක් තුළ ම ආලෝකය පතුරුවා ලූ ‘සරාසඳක්’ වූ බව මෙහි ලා සඳහන් කළ මනා ය.
හදිසියේ ම දිනක සරච්චන්ද්‍රයන් විසින් ‘රත්නාවලිය’ නිෂ්පාදනය කිරීමට එවක සරසවිය තුළ කලා කටයුතු කෙරේ විශේෂ උනන්දුවක් දැක්වූ සරත් අමුණුගම (දැන් ජනාධිපති උපදේශක හා මුදල් උපඇමැති) හා හේමමාලි ගුණසේකර (මහාචාය¸ ගුණසිංහ බිරිය) වෙත යෝජනා කෙරිණ. අමුණුගම තම ‘මනමේ මතක් වී’ ග්‍රන්ථයේ මේ කරුණ සිහිපත් කරයි.
ඉස්සර පේරාදෙණියේ වර්ෂාවසානයේ දී රඟ දක්වන ලද්දේ ඉංග්‍රීසි නාට්‍ය පමණ ය. මේ සිරිත වෙනස් කරනු අටියෙන් ශ්‍රී හර්ෂගේ ‘රත්නාවලී’ නාට්‍යය නිෂ්පාදනය කරන ලෙස සරච්චන්ද්‍ර මටත්, හේමමාලි ගුණසේකරටත් උපදෙස් දුන්නේ ය. ජයන්ත විසින් රාගධාරි ක්‍රමයට නිපදවන ලද කන්කලු ගීත ඇතුළත් මේ නාට්‍යය රසිකයින් කෙසේ පිළිගන්නේ දැයි සරච්චන්ද්‍රට දැන ගැනීමට අවශ්‍ය වූ බව මට දැන් සිතේ. (27 පිට)
රත්නාවලී සංගීතය සපුරා මා අතින් නිර්මාණය වූයේ උත්තර භාරතීය රාගධාරි සංගීතය ඇසුරිනි. මා රාගධාරී සංගීතය ප්‍රගුණ කළ කෙනකු බව සරච්චන්ද්‍රයෝ දැන සිටියහ. 1951 දී පමණ මා පාසල් යන අවධියේ සරච්චන්ද්‍ර මා සමඟ ගුවන් විදුලිය මගින් රාගධාරි සංගීත වැඩසටහන් ප්‍රචාරය කර තිබිණ. එහෙත් මා කාව්‍ය රචනා අරභයා සංගීත නිර්මාණයට යොමු වුණේ සරච්චන්ද්‍රයන් නිසා ය. සරච්චන්ද්‍රයෝ තම ‘පිං ඇති සරසවි’ චරිතාපදානයේ මේ පිළිබඳව සඳහන් කරති.
‘විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු ව හුන් කාලයෙහි “මම ඔහු (ජයන්ත අරවින්ද) සංගීත නිර්මාණයට යෙදුවෙමි. විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යයෝ සංස්කෘත ‘රත්නාවලී’ නාට්‍යයේ පියදාස නිශ්ශංක අනුවාදය නිෂ්පාදනය කරන්ට සිතූහ. ඒ අනුවාදයේ ඉතා කන්කලු පද්‍ය තිබුණි. ජයන්ත මේවාට තනු නිර්මාණය කෙළේ ය. ඒ තනු නිශ්ශංකගේ පද්‍ය මෙන් ම ඉතා කන්කලු විය. (පිටු - 261 - 262)
ගීත සංඛ්‍යාව අධික වූ නිසාත් රාගධාරි පදනම නිසාත් රත්නාවලී ගීත වෙන ම පුහුණු කිරීමට සිදු විය. එවක ශිෂ්‍යයකු ව සිටි, පසුව සිංහබාහු නාට්‍යයේ සංගීත නිර්මාණයෙන් දායක වූ එච්.එච්. බණ්ඩාර දක්ෂ ලෙස බටනලාව වයමින් පුහුණුවීම්වලට සහාය විය.
රාගධාරි සංගීතයෙන් යුත් ‘රත්නාවලිය’ එක් අතකින් පැරණි නූර්ති සම්ප්‍රදායේ පුනර්ජීවයක් විය. තවත් අතකින් නූර්ති සම්ප්‍රදාය ඉදිරියට ගෙන යෑමක් විය. ඒ මන්ද යත් සමස්තයක් වශයෙන් ගත් කල නූර්තිවලට වඩා ‘රත්නාවලිය’ කාව්‍යමය ගුණයෙන් අධික වූ නිසා ය.
සුන්දරයි අති පේමියේ ඔබ
මූන තරිඳුට දෙයි නිගා
මෙන් විළින් සැම පුල් පියුම් පෙති
වේය මුකුලිත එක රඟා
ඔන් නුවන් බඳ යෙහෙලියන් ගී
ගයන ඉමිහිරි රස නගා
මන් බිඳී බිඟු මුළු වදී මුකුලිත
පියුම් තුළ හැර දඟා
සිසුන් විසින් තම පාඨමාලා අධ්‍යයන කටයුතු සපුරාලීමේ සාමූහික පැවරුමක් ලෙස වාර්ෂික ව නාට්‍යයක් නිෂ්පාදනය කිරීම එවක පේරාදෙණි සරසවිය තුළ චාරිත්‍රයක් ව පැවතුණේ ය. එහෙත් නිෂ්පාදනය වූයේ ඉංග්‍රීසි නාට්‍ය යි. සිංහල නාට්‍යයක් වේදිකා ගත වූ පළමු අවස්ථාව රත්නාවලී නාට්‍යය විය යුතු ය.
එවක සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය නො පැවති බැවින් ‘රත්නාවලී’ වේදිකා ගත කරන ලද්දේ ‘හිල්ඩා ඔබේසේකර’ ශාලාවේ ගොඩනැගිලි දෙකක් අතර තනා ගත් තාවකාලික කුඩා වේදිකාවක ය. කලින් දිනයේ මහාචාය්‍ය¡ ඈෂ්ලි හල්පේ ගේ සහායෙන් සිසුන් නිෂ්පාදනය කළ ඉංග්‍රීසි නාට්‍යයක් වේදිකා ගත වූ අතර ‘රත්නාවලී’ වේදිකා ගත වූයේ දෙවන දිනයේ ය.
උදයන රජුගේ භූමිකාව රඟ පෑවේ සරත් අමුණුගම ය. සාගරිකා චරිතය හේමමාලි ගුණසේකර විසින් රඟ පාන ලදී. වාසවදත්තා බිසව වූයේ රංජනී රාජපක්ෂ ය. අභය අත්තනායක විදූෂක චරිතය රඟපෑවේ ය. එච්.එච්. බණ්ඩාර බටනලාව ද හේමපාල විජේවර්ධන තබ්ලාව ද වාදනය කළේ ය. අනිකුත් චරිත මට දැන් මතක නැත. නාට්‍යය නැරඹීම සන්ධ්‍යා භාගයේ සිසුන් හා ආචාර්ය වරුන්ගෙන් යුත් විශාල පිරිසක් රැස්ව සිටියහ. සිසුන් ආපසු ගියේ සරච්චන්ද්‍ර දේශනා තුළින් හදවත් තුළට කා වැදී තිබුණු ‘රත්නාවලී’ ගීත ඛණ්ඩ හඬ නඟා තාලයට ගායනා කරමිනි.
තුනු සිරියෙන් පසු කළ සිරි ලන් දූ
මා කෙරෙහි ම නිති පේමය රැන් දූ
මා හද මානස විල ලොබ බැන් දූ
කව්රු ද හසඟන වන් මේ ලන් දූ
මින් දද දූතයෙකු ලෙසින් -
මී අඹ මල් පුබුදු වෙනව
අඟනක් හද මද කලඹා
දකුණු සිහිල් නල හමනව
එක් රැයින් නාට්‍යය අවසන් වුවත් ප්‍රේක්ෂකයන්ට එහි ගීත අමතක වූයේ නැත. එහි ප්‍රතිඵලය වූයේ ‘රත්නාවලී’ ගීත කණ්ඩායමක් බිහි වීම ය. ගීත කණ්ඩායම පුහුණු වන අවස්ථාවල සරච්චන්ද්‍රයෝ පැමිණ ගීත ගයමින් රස විඳිති; අවශ්‍ය උපදෙස් දෙති. ‘මනමේ මතක් වී’ ග්‍රන්ථයේ සරත් අමුණුගම මෙබඳු අවස්ථා සිහියට නඟා ගනිමින් මෙසේ සඳහන් කරයි.
‘සරච්චන්ද්‍ර නාට්‍යයක් හෝ සංගීත සන්ධ්‍යාවක් හෝ සංවිධානය කිරීමට ලෑස්ති බව දැනගත් සැණින් ඔහුගේ හිතවත් පිරිස් ඔහු වටා එක් රොක් වෙති. සති අන්තයට අමරදේව හා ඩන්ස්ටන් සිල්වා පැමිණෙති. ඔවුහු සරච්චන්ද්‍ර නිවසේ දින තුන හතර අල්ලාප සල්ලාපයේ යෙදෙනවා පමණක් නොව, ඔහුගේ රථයට නැඟී සිසුන් පුහුණු වෙන ශාලාවට ද පැමිණෙති.
විහිළු තහළු කරමින් සරච්චන්ද්‍ර ඔවුන් ද ඒ නිෂ්පාදනයට හවුල්කර ගනී. සරසවියේ උගන්වන තමාගේ යහළුවන්ගේ සහයෝගය ද ලැබෙන බව ඔහු හොඳීන් දනී. (87 පිට)
සරසවිය තුළ කලාගාරය වැනි ශාලාවල ‘රත්නාවලී’ ගීත ප්‍රසංග ආරම්භ විය. නාට්‍යයේ දී නොතිබුණු ආමුඛ වාද්‍ය ඛණ්ඩ (introductions) ආදිය එක් වීමෙන් ප්‍රසංගය වඩාත් විචිත්‍ර විය. නන්දිතා සරච්චන්ද්‍ර හා එච්.ඩබ්. බණ්ඩාර ඉංගිරිසි ලෙස සිතාරය හා බටනලාව වයමින් ප්‍රසංගය රසවත් කළහ. මම වයලීනය වයමින් ප්‍රසංගය මෙහෙය වූයෙමි.
කලාගාරයේ පවත්වන ලද ‘රත්නාවලී’ ගීත ප්‍රසංගයක් නැරඹීමට සරච්චන්ද්‍රයන්ගේ කුළුපග මිත්‍ර, එවක ප්‍රකට නාට්‍ය නිෂ්පාදකයකු වූ පී. වැලිකල කොළඹ සිට පැමිණ තිබුණේ සරච්චන්ද්‍රයන්ගේ ආරාධනයෙන් විය යුතු ය. ගීත ප්‍රසංගය අවසානයේ වැලිකල මා අමතා කියූ වදන් මට මතක ය. “Listening to music, I felt crazy” ‘සංගීතය අසා මා පිස්සු වැටුණා!”
ඒ සමඟ ම සරච්චන්ද්‍රයෝ මා සමඟ එකතු වී ‘රත්නාවලිය’ ප්‍රසිද්ධ වේදිකා නාට්‍යයක් ලෙස නිෂ්පාදනය කිරීමට වැලිකලයන්ට ආරාධනා කර සිටිය හ.
වැලිකලයෝ 1960 දීම හෙන්රි ජයසේන වැනි ප්‍රවීණ නළුවන් යොදා ගනිමින් ‘රත්නාවලිය’ නිෂ්පාදනය කළෝ ය. 1967 දී පමණ කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කළ සිංහල කථිකාචාය්‍ය¡ ඩී.වී. හපුආරච්චිගේ ආරාධනයෙන් ඒ සිසුන් සමඟ ම ඉදිරිපත් කරන ලද ‘රත්නාවලී’ ගීත ප්‍රසංගයකින් අනතුරුව වැලිකලයන් විසින් යළිත් ඒ සිසුන් සමඟ ‘රත්නාවලී’ නිෂ්පාදනය කරන ලදී. මෙසේ ගීත ප්‍රසංග මගින් වරින් වර නාට්‍ය නිෂ්පාදන බවට පත් වන ‘රත්නාවලී’ 1998 දී ලලිතා සරච්චන්ද්‍ර විසින් නිෂ්පාදනය කරන ලදුව, සංගීතයට රාජ්‍ය සම්මානයක් හිමි වූයේ සංගීත නිර්මාණ කාය¸යන් වසර 40 ක් ගත වී, සරච්චන්ද්‍රයන්ගේ අභාවයට ද පසුව ය.
සරච්චන්ද්‍රයන් ‘රත්නාවලී’ ගීත ගැයීමටත්, රස විඳීමටත් දැක්වූයේ ඉමහත් ලැදියාවකි. පසු කාලයක ලලිතා සරච්චන්ද්‍ර ‘රත්නාවලී’ නාට්‍යය නිෂ්පාදනය කරමින් පළ කළ සමරු පත්‍රිකාවක සරච්චන්ද්‍රයන්ගේ මේ ලැදියාව මොනවට පිළිබිඹු කරයි.
“සීත සුළඟ ගත සිත පුබුදු කරද්දී ඔහු මිහිරි ගී ගායනා කරයි. රිද්මයට අනුව රථය පදවයි... මේ ගීත පියදාස නිශ්ශංකයන් විසින් පරිවර්තනය කරන ලද, ජයන්ත අරවින්ද විසින් සංගීතය සපයන ලද ශ්‍රී හර්ෂ දේවයන්ගේ ‘රත්නාවලී’ නාට්‍යයේ ගීත බව පසුව ඕ දැන ගත්තා ය. ... මා අසල හිඳ මිහිරි හඬින් රත්නාවලී ‘ගීත ගායනා කළෝ, ඒ රසවතාණෝ, මහ ඇදුරු සරච්චන්ද්‍රයන් ම ය.
(ලලිතා සරච්චන්ද්‍ර)
මෙසේ ම සරච්චන්ද්‍රයන් තම ජීවිතයේ අවසාන භාගය තුළ රස වින්දේ ‘රත්නාවලී’ ගීත ය.
ඉරිදා දිනවල උදේ වරුවේ සරච්චන්ද්‍ර නිවසට ගොස් පැදුරක් එලා සරච්චන්ද්‍රයන් සමඟ වාඩි ගෙන එතුමා සිතාරය වයමිනුත් මා හර්මෝනයම වයමිනුත්, ‘රත්නාවලී’ ගීත ගයමින්, වයමින්, රස විඳිමින් පැය ගණන් ගත කළ අයුරු මට සිහිවේ.
අවසාන වශයෙන් 1959 පේරාදෙණි සරසවි බිමේ සරසවි සිසුන් අතරින් නිෂ්පාදනය වූ ‘රත්නාවලී’ නාට්‍යයේ ඇතුළත් කාව්‍යමය (Lyrical) හා සංගීතමය ගුණය 1961 දී සරච්චන්ද්‍රයන් සරසවි සිසුන් සමඟ නිෂ්පාදනය කළ සිංහබාහු නාට්‍යයේ පවත්නා කාව්‍යමය හා සංගීතමය ගුණය කෙරේ බලපෑමක් නො කළහයි ද කිව නොහැකි ය.
එතුමාගේ 96 වන ජන්ම දිනය සමරන මේ මොහොතේ එතුමාණෝ බෙහෙවින් ප්‍රිය කළ නාට්‍යය කිහිපයකම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කිරීමට ලැබීම මා ලද භාග්‍යයක් සේ ම එතුමා වෙනුවෙන් මෙවැනි සටහනක් තැබීමට හැකිවීමත් ඉමහත් සතුටකි.
No comments:
Post a Comment