Author:සුනිල් මිහිඳුකුල
Source: Silumina
Date: 23/11/2008
ජී.ඩී.එල්. පෙරේරා
ජී.ඩී.එල්. (ගෝනදූව හඳුන් ගේ දොන් ලක්ෂ්මන් ලීලචන්ද්‍ර) පෙරේරා ප‍්‍රවීණ නාට්‍යකරුවෙකි; එසේ ම චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකි.
ඔහුගේ හොඳ ම වේදිකා නාට්‍ය නිර්මාණය ලෙස විචාරකයන් විසින් සලකනු ලබන ‘තොටුපළ’ නාට්‍යයේ නව නිෂ්පාදනයක් වසර 44 කට පසු යළි පසුගිය දා (ඔක්තෝබර් 12) වේදිකාගත කෙරිණි.
‘තොටුපළ’ මුලින් ම රංගගත වූයේ 1964 දී ය. එය ඒ වසරේ පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය වූ අතර වේදිකා සැරසිලි සඳහාත් (ගාමිණි වික‍්‍රමසූරිය) රංගනය සඳහා ත් (ගාමිණි විජේසූරිය හා දෙනවක හාමිනේ) සම්මාන හිමිකරගත්හ.
ජනවාර්ගික අරගලය පසුබිම් කරගෙන මෙරට තැනුණු ප‍්‍රථම සිංහල වේදිකා නාට්‍යය ලෙස ‘තොටුපළ’ හැඳින්විය හැකි ය. මෙවර මේ නාට්‍යයේ නව නිෂ්පාදනය ඉදිරිපත් කරන ලද්දේ ජී.ඩී.එල්. ගේ මූලිකත්වයෙන් පවතින මහනුවර බතලවත්තේ මැද දුම්බර කලාගාරයේ ‘රංගාශ‍්‍රමය’ විසිනි.
ඔබ පනහ - හැට දෙදශකයේ දී වේදිකා නාට්‍ය ගණනාවක් ම රචනා කොට නිෂ්පාදනය කර තියෙනවා. ඒ අතරින් නව නිෂ්පාදනයක් සඳහා ‘තොටුපළ’ නාට්‍යය විශේෂයෙන් ම තෝරා ගැනීමේ අරමුණ කුමක්ද?
ඒකට හේතු කීපයක් ම තියෙනවා. එකක් මගේ නාට්‍ය සියල්ල ඔටුන්නකට සම කළොත් එහි බබළන දියමන්තිය තමයි ‘තොටුපළ’ නාට්‍යය. දෙවැනි හේතුව තමයි මේ නාට්‍යයේ අත්දැකීම එදාටත් වඩා අදට අදාළ වීම; අදට වැදගත් වීම.
මගේ රංගාශ‍්‍රමයේ ආධුනික නළුනිළියන්ට ගැඹුරු නාට්‍යයක චරිත නිරූපණය කරන්නේ කොහොමද කියන එක ප‍්‍රායෝගිකව අත්විඳීමට සැලැස්වීම මෙහි තුන්වැනි හේතුව ලෙස සඳහන් කරන්න පුළුවන්.
මොකද්ද මේ නාට්‍යයේ රංගානුභූතිය?
ජනවාර්ගික අරගලය යැයි කෙටියෙන් කියන්න පුළුවන්. අන්ත ජාතිවාදයෙන් පෙළෙන මිනිසෙක් මනුෂ්‍යත්වය පසක් කරගෙන වෙරය නමැති තොටුපළෙන් එතෙරවීම මෙහි තේමාවයි.
මෙබඳු තේමාවකින් යුතු නාට්‍යයක් ලියන්න ඔබ පෙලඹුණේ කවර හේතුවක් නිසාද?
මම පෞද්ගලිකවම ලබපු අත්දැකීම් යැයි කියන්න පුළුවන්.
මොනවද ඒ අත්දැකීම්?
නවසිය පනස් ගණන්වල මම වෘත්තිමය වශයෙන් රජයේ ලිපිකරුවෙක් ව සිටියා. අපේ කාර්යාලයේ මට ඉහළින් සිටි ලිපිකරුවන් සිවුදෙනා ම දෙමළ ජාතිකයන්.
සිංහලය, රාජ්‍ය භාෂාව වීමෙන් පසු චක‍්‍රලේඛයක් ආවා සෑම රජයේ නිලධාරියෙක්ම සිංහල ප‍්‍රවීණතා විභාගයෙන් සමත්විය යුතු ය කියලා.
උසස්වීම් හා දිරි දීමනා ලැබෙන්නේ එයින් සමත් වූවන්ට පමණයි. මම සිංහල නිසා ලේසියෙන් ම ඒ විභාගයෙන් සමත් වුණා. එහෙත් මට ඉහළින් සිටි දෙමළ ජාතිකයන් සිවුදෙනාම ඒ විභාගයෙන් අසමත් වුණා. එයින් ඇතිවු සිත් තැවුලෙන් ප‍්‍රධාන ලිපිකරුවා (බෙනඩික්ට් ප‍්‍රනාන්දුපුල්ලේ) හෘදයාබාධයකින් මියගියා.
දෙවැනි ලිපිකරුවා (පරමජෝති) මාරුවක් අරගෙන උතුරට ගියා. තුන්වැන්නා (ඇන්ටන් ප‍්‍රගාසම්) අසනීප හේතු මත විශ‍්‍රාම ගෙන ඉන්දියාවට සංක‍්‍රමණය වුණා. ඉතුරු වුණේ හතරවැනියා වූ කන්දයියා පමණයි.
ඊළඟ අත්දැකීම තමයි 1958 ජාතිවාදී කෝලහාලය. කන්දයියයි මමයි කන්තෝරුව ඇරිලා බස් එකෙන් ගෙදර යද්දි මරදානේ ටෙක්නිකල් හන්දියේදි සිංහල ජාතිවාදි මැර පිරිසක් බස්එක නැවැත්තුවා. නවත්තලා දෙමළ අයට බැහැලා පයින් යන්න කිව්වා. ඔවුන් කන්දයියා බස් එකෙන් ඇදලා තල්ලු කළා.
ඔහු බිම ඇද වැටුණා. අසරණ වූ මට කරකියා ගන්න දෙයක් තිබුණේ නැහැ. මම එතැනදි නිවටයෙක් වුණා. මෙය අදටත් මගේ හෘද සාක්ෂිය පාරවන සිද්ධියක්.
මොන ලැජ්ජා නැති වැඩක් ද මම කළේ, මමත් මනුස්සයෙක් ද කියන හැඟීම අද මට ඇති වෙනවා.
ඒ හැරුණු කොට නඩේසන් නමැති දෙමළ වෙද්‍යවරයකු හා සම්බන්ධයෙන් ලැබු අත්දැකීමකුත් මැතිවරණ රාජකාරි සඳහා යාපනයට ගිහින් ඉද්දි ලබපු අත්දැකීමුත් වවුනියාවේ කම්කරු කාර්යාලයේ දී හා පසුකලෙක කම්කරු විනිශ්චය සභාවේ ප‍්‍රධාන ලිපිකරු වශයෙන් ලත් අත්දැකීමුත් මගේ ඔළුවෙ තිබුණා.
ඒ සියල්ල එකතු කරගෙනයි ‘තොටුපළ’ නාට්‍යයේ පිටපත ලිව්වේ.
ඔබ කියන්නේ මේ ජනවාර්ගික අරගලයට මුලින් ම වගකිව යුත්තේ සිංහල අපි කියල ද?
පැහැදිලි ව ම. ඒකේ කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මම මේ බොහෝම විවෘතවමයි කියන්නේ. මෙති‍්‍රය වඩනවා වෙනුවට අපි කළේ වෙරය වපුරමින් ජාතිවාදය අවුස්සපු එකයි. අපෙන් දෙමළ ජාතිකයන්ට අසාධාරණයක් වුණා. දෙවිදියකට සැලකීමයි මෙහිදි වෙච්ච වැරැද්ද.
ඔබේ නව නිෂ්පාදනයට සම්බන්ධ ව සිටින්නේ ඔබේ මැද දුම්බර කලාගාරයේ රංගාශ‍්‍රමයේ ආධුනික නළුනිළි පිරිසක්.
ඔව්. මම එදා ඉඳන්ම කලාවට අලුත් පිරිසක් හඳුන්වාදීමට උත්සාහ කළ කෙනෙක්.
මගේ නාට්‍යවලින් තමයි දෙනවක හාමිනේ, ධම්ම ජාගොඩ, ශි‍්‍රයානි අමරසේන, බුද්ධි වික‍්‍රම, ලියෝනි කොතලාවල, සුගතපාල සෙනරත් යාපා, ෂෙල්ටන් සිල්වා, එල්සන් දිවිතුරගම, ගාමිණි විජේසූරිය, ගාමිණි වික‍්‍රමසූරිය, ධර්මදාස වන්නිආරච්චි, ඩග්ලස් කරුණාරත්න, සෝමා කිරිඇල්ල, මල්ලිකා පෙරේරා, දේවානන්ද වෙද්‍යසේකර, ජයතිස්ස අලහකෝන්, මොනිකා වීරසිංහ යන අය කලා ලෝකයට ආවේ. ඉතින් මම කල්පනා කළා ‘තොටුපළ’ නව නිෂ්පාදනයෙන් ප‍්‍රාදේශීය වශයෙන් රංග කුසලතා ප‍්‍රකට කරන අලුත් තරුණ නළුනිළි පිරිසක් කලාවට හඳුන්වලා දෙන්න ඕනැ කියලා.
එකල ඔබේ සංවිධායකත්වයෙන් පැවැත්වුණු ‘කලා පෙළ’ සිනමා පාඨමාලාවෙනුත් අලුත් පරපුරක් සිනමාකරණයට එකතු වුණා.
අයි.එන්. හේවාවසම්, පරාක‍්‍රම සිල්වා, ජී.යූ.ඩී. පෙරේරා, ස්ටැන්ලි ද අල්විස්, ලාල් පියසේන, සුමින්ද වීරසිංහ, ෂෙල්ටන් පයාගල, බර්මින් ලයිලි ප‍්‍රනාන්දු, චන්දන සිල්වා, ඒ.එම්. සංඝදාස, සෝමවීර බෝපිටිය, එච්.එම්.පී. ප‍්‍රනාන්දු, සුසීමා දමයන්ති, නෙල්සන් පීරිස්, විමල් වෙද්‍යසේකර, බිහිවුණේ කලාපෙළ සිනමා පාඨමාලාවෙන්. අපේ යුගයේදි නවකයකුට කලාවට පිවිසෙන්න හුඟාක් අමාරු තත්ත්වයකුයි තිබුණේ. අපේ රටේ සිනමා පාසල් නැහැ.
චිත‍්‍රාගාරයකට ගිහින් චිත‍්‍රපට හදන හැටි ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ. මම මගේ ප‍්‍රථම චිත‍්‍රපටය වූ ‘සාමා’ නිර්මාණය කළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘ගම්පෙරළිය’ චිත‍්‍රපටය රූපගත කරනු දැකීමෙන් හා සිනමාකරණය අළලා ලියවුණු පතපොත කියැවීමෙන්.
මා ලැබු කටුක අත්දැකීම් නිසාම තමයි මේ විදියට අලුත් පරපුරකට මාර්ගය විවෘත කර දෙන්න හැම අවස්ථාවකදී ම මා ඉදිරිපත් වන්නේ.
මැද දුම්බර කලාගාරයේ වෙනත් අරමුණු හා ඒ අනුව මෙතෙක් කෙරුණු සෙසු කි‍්‍රයාකාරකම් මොනවා ද?
කොළඹ නගරය ඇතුළේ කලාගාරයක් පටන් අරන් වැඩක් නැහැ. අපි ගමට යන්න ඕනෑ. ගමේ ප‍්‍රතිභාසම්පන්න අලුත් තරුණ පිරිස හඳුනාගෙන ඔවුන්ට අත දෙන්න ඕනෑ. මැද දුම්බර කලාගාරය පිහිටුවීමේ මූලික අධ්‍යාශය වුණේ ඒක.
1987 දී මම මේ සඳහා ඉඩමක් අරන් එහි ගොඩනැඟිලි හදද්දි සමහරු හිතුවේ මම ගමේ ඡන්දය ඉල්ලන්න ලැහැස්ති වෙනව කියලයි. තවත් සමහරු හිතුවේ මම සංචාරක හෝටලයක් ඉදිකරන්න යනවයි කියලයි. ඒ අනුව ගම්මු කීපදෙනෙක් මට විරුද්ධව පෙත්සම් ගැහැව්වා.
කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව මට නඩු පැවරුවා. චෝදනාව වුණේ ආණ්ඩුවේ ඉඩම් අනවසරයෙන් අල්ලගෙන කියන එකයි. මම අවුරුදු හතරක් නඩු කිව්වා. අන්තිමට ඔප්පු වුණා මේක පෞද්ගලික ඉඩමක් කියලා. මේ කාලය අතරතුරදි මම පිටරට ගිහින් හරිහම්බු කරපු මුදලින් ගෙනාපු සිනමා උපකරණ, සිනමා පොත් සියල්ල නැති නාස්ති වුණා.
මගේ ළඟ මි.මී.35 කැමරා තුනක්, මි.මී.16 කැමරා දෙකක්, මි.මී.8 කැමරා තුනක් තිබුණා.
සංස්කරණයට අදාළ යන්ත්‍රෝපකරණ තිබුණා. ඒවා අඩු මුදලට කඳ්‍රනේ එස්.පී.එම්.චිත‍්‍රාගාරයට විකුණන්න සිද්ධවුණා. තේ කොළ පෙට්ටි පහක අහුරලා තිබුණු සිනමාකරණයට අදාළ පොත් සියල්ල වේයෝ කෑවා. ඒත් මම අධෙර්යය වුණේ නැහැ. 2001 දී මම මෙහි ස්ථිර පදිංචියට ඇවිත් කලාගාරය පටන්ගත්තා.
පටන් අරගෙන අහල පහළ තරුණ තරුණියන් එකතු කරගෙන වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරමින් ඔවුන්ට මේ ක්ෂේත‍්‍ර ගැන අභ්‍යාසයක් ලබාදුන්නා. අපි ‘සුරාසුර’ කියලා වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළා. ඊට වස්තු වුණේ සේරිවාණිජ ජාතකය. එසේම ‘සමනළ ගමනක්’ නමින් කොටස් 15ක ටෙලි නාට්‍යයක් නිර්මාණය කළා.
ඊට පාදක වුණේ ‘කලාපෙළ’ සංස්කෘතික සංවිධානය මෙතෙක් පැමිණි ගමන් මඟ යි. මා දැන් ජී.ඩී.එල්. කලා පදනම නමින් සංවිධානයක් පිහිටුවාගෙන තිබෙනවා. ‘සරසවිය’ සම්මාන උලෙළේ දී මට ‘රණතිසර’ සම්මානය වෙනුවෙන් ලැබුණු රුපියල් ලක්ෂය යොදා තමයි ඒ පදනම පිහිටුවා ගත්තේ.
වරප‍්‍රසාද අහිමි කුසලතා සපිරි තරුණ තරුණියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම මේ පදනමින් සිදුකෙරෙනවා. දැනට සෞන්දර්යය විශ්වවිද්‍යාලයයේ සිසුන් දෙන්නෙක් ඒ යටතේ ශිෂ්‍යාධාර ලබනවා.
ඔබේ ‘තොටුපළ’ නාට්‍යය ගැන එදා මෙදාතුර නොයෙක් විවේචන පළ වෙලා තිබෙනවා. මා කියවා ඇති විචාර අතරින් ඉතා ම වැදගත් ම විවේචනය ලියලා තිබුණේ ප‍්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ඩෙන්සිල් පීරිස්. මේ නාට්‍යයේ වඩාත් සතුට දනවන දේ එහි තේමාව පේර්ක්ෂකයන් අවඥාවෙන් බැහැර නොකර සිහි බුද්ධියෙන් යුතුව වැළඳ ගැනීම බව කියන ඔහු එයින් පෙනීයන්නේ දේශපාලනඥයන් තම වාසිය උදෙසා මවා පෙන්වීමට තැත්කරන තරමේ භයානක ප‍්‍රතිඵල මෙවන් ප‍්‍රශ්නවලින් තමන්හට අත්විඳීමට සිදුවේද යන මතය ජනමතයේ උඩුදුවන්නේ නැති බව යැයි සඳහන් කරනවා.
ඩෙන්සිල් පීරිස් එකල ඉන්දියාවේ පළවුණු ‘ඉලස්ටේ‍්‍රටඩ් වීක්ලි ඔෆ් ඉන්ඩියා’ සඟරාවට තීරු ලිපියක් ලිව්වා. එක් තීරු ලිපියකට මාතෘකා වුණේ 1964 රාජ්‍ය නාට්‍ය උලෙළ.
ඒ ලිපියෙදි තමයි ඔහු ඉහත සඳහන් සටහන ලිව්වේ. ඇත්තටම ‘තොටුපළ’ නාට්‍යයට හොඳ විචාර ප‍්‍රතිචාරයක් ලැබුණා.
ඔබේ අලුත් නිෂ්පාදනය බලපු ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න (ඔහු කලාව ගැන යම් යම් දේ ලිව්වට මා ඔහු කලා විචාරකයකු ලෙස පිළිගන්නේ නැහැ) කියල තිබෙනවා ‘තොටුපළ’ යුද්ධයට විරුද්ධව යුද ප‍්‍රකාශ කරන ප‍්‍රචාරකවාදී නාට්‍යයක් ය කියල.
මේ නාට්‍යයේ කිසිම ප‍්‍රචාරකවාදයක් නැහැ. අනික ඔය වගෙ අදහසක් වෙන කිසිම විචාරකයෙක් එදා කිව්වෙත් නැහැ. අද කියන්නෙත් නැහැ.
1958 ට වඩා 1983 ට පස්සේ අද මේ රටේ තියෙන ජනවාර්ගික අරගලය හුඟාක් වෙනස්. ප‍්‍රශ්නය එදාට වඩා අතිශය සංකීර්ණයි. ඉතින් එහෙම තියෙද්දි ඇයි ඔබ මේ තේමාව ම අරන් අලුත් නාට්‍යයක් නොකර අවුරුදු 45 ක් විතර පරණ නාට්‍යයක් රීකන්ඩිෂන් කරන්න හැදුවේ?
අලුත් නාට්‍යයක් කළා නම් ආයේ දෙකක් නැහැ තහනම් කරනවා. ඔබ දන්නෙ නැතිව ඇති මම ‘තොටුපළ’ නාට්‍යය ඇසුරෙන් චිත‍්‍රපටයක් නිපදවන්න ගියා.
මා එහි අඩි දහදාහක් රූපගත කළා. එහෙත් මට හමුදා දර්ශන රූපගත කරන්න අවසරය දුන්නේ නැහැ. ඒ රීල් දහය අදටත් මගේ ළඟ තියෙනවා.
’තොටුපළ’ නව නිෂ්පාදනයේ පිටපත ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතියට ලක්වුණා ද?
මොකටද මං ඒ අයගේ අවසරය ගන්නේ? මේක 1964 දි අනුමත වුණු නාට්‍ය පිටපතක්. ඒ විතරක් නෙමේ හොඳම නාට්‍යය ලෙස සම්මාන දිනපු නාට්‍යයක්.
එහෙත් ඔබ මේ පිටපත වෙනස් කළ බවට චෝදනා තිබෙනවා. ‘සයනයිඩ්’, ‘ළමා සොල්දාදුවෝ’ වගෙ වචන ඔබේ නව නිෂ්පාදනයේ ව්‍යවහාර වෙනු දක්නට ලැබුණා. ඒවා අලුත් වචන නෙමෙයි ද?
මුල් පිටපත මොන විදිහකින්වත් වෙනස් කරලා නැහැ. ඉස්සරත් යාපනයේ ඉඳන් එන මාළු පෙට්ටිවලට වහ දාලා තියෙයි කියන බය සිංහලයන් තුළ තිබුණා. එසේම අතට තුවක්කු නොදුන්නට දෙමළ ළමයින් තුළටත් දෙමව්පියන් ජාතිවාදී හැඟීම් කවලා තිබුණා. පෞද්ගලික පාසල් රජයට ගැනීමේ වැඩපිළිවෙළේ දී දෙමළ දෙමව්පියන් හා ළමයින් හැසිරුණු ආකාරයෙන් ඒක පෙනුණා. එතැන තිබුණේ ළමා සොල්දාදුවා කියන සංකල්පය නෙමෙයිද?
ඔබේ දීර්ඝකාලීන වූත් පරිණතවූත් අත්දැකීම්වලට අනුව මෙරට ජනවාර්ගික ගැටලුව ට ඔබ යෝජනා කරන විසඳුම මොකක්ද?
මේ ප‍්‍රශ්නයට හේතුව අන්‍යෝන්‍ය අවිශ්වාසය හා සැකය යි. ඒක දුරු කරලා මනුෂ්‍යත්වය විදාරණය කළොත් තමයි මේ ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න පුළුවන් වෙන්නේ.
ඒ පණිවුඩය ද ඔබ මේ නාට්‍යයෙන් දෙන්නේ?
ඔව්. මේ නාට්‍යයේ එක් තැනක කියැවෙනවා ත‍්‍රස්තවාදය කවුරු කළත් වැරදියි කියලා. අවි අරන් යුද්ධ කරන හැමෝ ම ත‍්‍රස්තවාදි කියලා කියනවා.
පසුගිය අවුරුදු 45 තුළ ඇයි මේ ප‍්‍රශ්නය වඩාත් ප‍්‍රබල ලෙස සිංහල වේදිකාවේ මතු කරලා නොමැත්තේ?
ඒක මට උත්තර දෙන්න පුළුවන් ප‍්‍රශ්නයක් නෙමෙයි. එහෙත් එක දෙයක් උපකල්පනය කරන්න පුළුවන්. වාරණ ප‍්‍රශ්න මේකට බලපානවා වෙන්න පුළුවන්. 1964 දිත් ‘තොටුපළ’ වේදිකාගත වෙද්දි රහස් පොලිසිය ආවා නාට්‍ය බලන්න. එහෙත් තහනම් කරන්න තරම් දෙයක් ඔවුන්ට හොයාගන්න බැරිව ගියා.
මොකද, මනුෂ්‍යත්වයෙන් බැහැර කිසිම දෙයක් මේ නාට්‍යයේ තිබුණේ නැහැ. එසේම ජාතිවාදය අවුස්සන කිසිම දෙයක් මේ නාට්‍යයේ තිබුණේ නැහැ.
ඔබේ වේදිකා නාට්‍යවල සිනමා ලක්ෂණ තිබුණ යි කියලයි ඒ කාලේ විචාරකයන් සඳහන් කරලා තියෙන්නේ. ඔබේ විතරක් නෙමෙයි ‘කෝන්තරේ’ (වෙස්ට් සයිඩ් ස්ටෝරි), ‘රන්කඳ’ (මයි ෆෙයාර් ලේඩි) ‘මුතු කුමාරි’ (IRMA LA DUCE) වගෙ වෙනත් අයගේ නාට්‍යවලත් සිනමාවේ ආභාසය දැක්ක හැකි වුණා.
ඔව් සිරිල් බී. පෙරේරා වගේ විචාරකයන් මගේ වේදිකා නාට්‍යවල සිනමා විඥානයක් තිබුණයි කියලා කියලා තියෙනවා. ඒක ඇත්ත. ‘මිල්ක් ඔෆ් හියුමන් කයින්ඩ්නස්’ කියන පෝලන්ත චිත‍්‍රපටය ‘තොටුපළ’ රචනා කරද්දි මට බලපෑවා. එහෙත් මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ.
ඒ චිත‍්‍රපටයෙත් මම දැක්කේ එකිනෙකා අවබෝධ කර ගැනීමේදී මිනිස් හැඟීම් කොයිතරම් දුරට වැදගත් ද කියන කාරණයයි. ඒ හැඟීම තමයි ‘තොටුපළ’ නාට්‍යයෙනුත් මම මතු කරන්නේ.
අවසාන වශයෙන් පනහ දශකයේ බිහි වූ නාට්‍යකරුවකු වශයෙන් සමකාලීන වේදිකා නාට්‍ය ගැන ඔබේ අදහස මොකක්ද?
අද වේදිකාගත වන නාට්‍යවල අදහස් තිබෙනවා. එහෙත් ඒ අදහස් නාට්‍යාත්මකව ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ අදහස් අපිට පත්තරයකින් වුණත් කියන්න පුළුවන්. නාට්‍ය මාධ්‍යය හඳුනාගෙන කෙරෙන ප‍්‍රකාශනයක් බවට මේ නාට්‍යය පත්වන්නේ නැහැ. රාජිත දිසානායක ගේ ‘ආපසු හැරෙන්න බෑ’ නාට්‍යයේත් මා දුටු දුර්වලකම ඒකයි. එහෙත් මේ නාට්‍යයේ තේමාවට මම කැමැතියි.
No comments:
Post a Comment