2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Friday, 5 March 2010

නාට්‍යකාරයෙක් වෙන්න මං බොහෝ පිං කරලා තියෙනවා

Author: අසංක දේවමිත්‍ර පෙරේරා
Source: Sarasaviya
Date: 25/02/2010

සකිසඳ ඔඬලට හසු වූ ඇන්ටන් ජූඩ්

ඔහු කොතැනද සිනහව එතැනය. සිනහව කොතැනද ඔහු එතැනය. සිනහවත් ඔහුත් ගසට පොත්ත මෙනි. එහෙත් ඔහු නිකම්ම නිකං විහිළු කාරයකු නැතිනම් ජෝකරයකු නොවේ.

හේ හාස්‍ය තුළින් ගැඹුරු සමාජ අරුතක් දනවන්නට සමත් වූ අපේ කාලයේ සොඳුරු කලාකරුවෙකි.

“ආයිස් අප්පා ගුණ්ඩු” යැයි කියූ විට ඒ ඇන්ටන් ජූඩ් බව නොදන්නා කුඩා දරුවකු වුව සොයා ගැනීම අසීරුය. ඒ තරමටම ඔහු වත්මත් ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයේ දිදුලන තරුවකි.

සිය කලා දිවියේ තිස් වසරක ගමන් මගෙහි සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් ඔහු මෑතකදී “සකිසඳ මඩල” ප්‍රසංගාත්මක වේදිකා නාට්‍යය, කරළියට රැගෙන ‘සකිසඳ මඩල’ සමගින් මේ දිනවල අප හමුවන ඇන්ටන් ජූඩ් සිය නවතම නිර්මාණ කාර්යය හා ඔහුගේ සෙසු කලා කටයුතු පිළිබඳත් අපූරු කතා බහකට අප රැගෙන ගියේ මෙලෙසය.

මේ දිනවල ඔබ ප්‍රේක්ෂකයන් හා වඩාත් සමීපව සිටින්නේ ‘සකිසඳ මඩල’ වේදිකා නාට්‍යයයෙන්.....?

ඔව් “සකිසඳ මඩල” හැදුණේ අපේ සඟයොත් එක්කමයි. ඒ සඟයෝ කියනවා නම් රොඩිනි වර්ණකුල, පි‍්‍රයන්ත සෙනෙවිරත්න, ගිරිරාජ් කෞෂල්‍ය, ගාමිණී අම්බලන්ගොඩ, ජීවන් හඳුන්නෙත්ති, ඉන්දික ජයසිංහ, එස්. අයි සමරක්කොඩි, ෆර්නි රෝෂිනී, මනීෂා ශ්‍යාමලී, සුජානි නිසංකා වැනි නළු නිළියන්. එතකොට මේකෙ පිටපත ලිව්වේ පි‍්‍රයන්ත සෙනෙවිරත්න. ලාල් තිලකරත්නගේ නර්තන වින්‍යාසයත්, ඉන්දික ජයසිංහගේ වේදිකා පසුතල නිර්මාණය හා ඇඳුම් නිර්මාණයත් “සකිසඳ මඩල” වර්ණවත් කළා.

නළු නිළියන් දොළොස් දෙනෙක් හා නර්තන ශිල්පීන් අට දෙනෙක් මේ නිර්මාණයට දායක වෙනවා. එතකොට ඔක්කොම විස්සක්. 2009 දෙසැම්බර් 29 වැනිදා මංගල දර්ශනය පැවැත්වුණා එල්ෆින්ස්ටන් රඟහලේ දී. දෙවැනි දර්ශනය 2010 පෙබරවාරි 15 වැනි දා ඒත් එල්ෆින්ස්ටන් රඟහලේ දීම වේදිකාගත වුණා.

මේ වෙනකොට ඔබට ලැබී තිබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොයි වගේ ද......?

මැතිවරණ කටයුතුත් එක්කයි අපට මේ නාට්‍ය රඟ දක්වන්න සිදු වුණේ. ඇත්තම කියනවා නම් අපට පෝස්ටරයක් ගහන්නවත් ඉඩක් තිබුණේ නැහැ. ඒ වගේ පසුබිමක් යටතෙයි මේක කරගෙන ගියේ. රොඩිනි වර්ණකුලගේ Qසාරංගා නැවෙන් ඇවිත්’, පි‍්‍රයන්ත සෙනෙවිරත්නගේ “මිනිසා” වගේම මගේ “සකිසඳ මඬල” ත් ජනතාව අතරට ගෙන යාම තමයි බලාපොරොත්තුව.

මේක හොඳ වැඩක් කියන ආරංචිය පිටට ගිහිල්ලා තියෙනවා. ඒක සුබ ලකුණක්. නාට්‍යය නරඹපු හැමෝමක් එය අගය කළා, ජූඩ් හොඳ වැඩක් කළා කියලා. ඒක නාට්‍යය ජනපි‍්‍රයවීමේ පෙරනිමිත්තක් වෙන්න පුළුවන් ඉදිරියේ දි.

මොකක්ද මේ “සකිසඳ මඩල” කියන්නේ, ඒ පිළිබඳ ඔබේ ප්‍රේක්ෂකයන්ට පැහැදිලි කළොත්......?

ආ.....ඔව්, “සකිසඳ මඩල” කියන්නේ ප්‍රාසාංගික නාට්‍යය නිර්මාණයක්. ඒ කියන්නේ ප්‍රසංගාත්මක නාට්‍යය නිර්මාණයක්. මේකට ඇතුළත් වෙනවා ඇත්තටම මගේ ගීත දාහතක් විතර. මෙවැනි නිර්මාණයක් කරන්න මම ආභාෂය ලැබුවේ රොඩ්නි ගේ “සාරංගා නැවෙන් ඇවිත්” ප්‍රසංගය හරහා.

රොඩ්නි එහි ගායනා කළේ ජනපි‍්‍රය නාට්‍යය ගීත නාට්‍යනුසාරයෙන්. දැන් මමත් මගේ ගීත මෙහි දී නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරනවා.

නමුත් මේ මගින් ඔබ ඉදිරිපත් කරන්නේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ?

මගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ. 2005 වසරේ දී මම “ආයිස් අප්පා ගුණ්ඩු” කියලා සංයුක්ත තැටියක් නිර්මාණය කෙරුවා. මේ ගීත සියල්ලම මම අපේ එෆ්. එම්. නාළිකාවලට දුන්නා. ඒත් ඔවුන් ප්‍රචාරය කළේ නිතරම “ආයිස් අප්පා ගුණ්ඩු” ගීතය විතරයි. අනෙක් ගීතවලට මේ නිසා ලොකු අසාධාරණයක් වුණා.

ජෝ අබේවික්‍රම, රත්න ශ්‍රී විජේසිංහ, කුමාර ලියනගේ, කුමාර කවිරාජ, යමුනා මාලිනී පෙරේරා, මහින්ද දළුගොඩ ආරච්චි, රෝහණ හෙට්ටිආරච්චි වගේ අයගේ ගී පද රචනාත්, රෝහණ වීරසිංහ, තරුපති මුණසිංහ, මර්වින් පෙරේරා, සිරිල් පෙරේරා, ජානක ෆොන්සේකා, ජීවන් හඳුන්නෙත්ති වැනි සංගීතවේදීන්ගේ තනු රචනාත් ඒ ගීත එකතුවට ඇතුළත් වුණා. ඉතින් ඇත්තටම ඒවා රස විඳීන්න පුළුවන් ගීත. දැන් ඒවා වේදිකාවේ වඩාත් ප්‍රාණවත් බවකින් දිග හැරෙනවා. වේදිකාවේ ඒවා සජීවී ලෙස මම ගයනවා,රඟපාමින්.

ඇන්ටන් ජූඩ් කිව්වම අපට එක්වරම සිහිපත් වෙන්නෙ හාස්‍යය. එතකොට “ සකිසඳ මඩල”ත් හාස්‍යයෝත්පාදක ගීත නාටකයක් ද......?

අපට විහිළු අවශ්‍යයිනේ. විහිළු බිහිවෙලා තියෙන්නේ කියන්න ඕනෑ දේ කියන්න. දවස තිස්සේ මහන්සි වෙලා ඉන්න මිනිස්සු රඟහලට ගොඩ වෙන්නේ පොඩ්ඩක් හිනාවෙලා මානසික සුවයක් විඳගන්න. සතුටු වෙන්න.

සමහරු මගෙන් ඇහුවා මේක හිනා වෙන්න පුළුවන් නාට්‍යයක් ද කියලා. අනිවාර්යයෙන්ම ඒ දේ මේ නාට්‍යය තුළ තියෙනවා. ඉතින් ඒ විහිළුව, හාස්‍ය, වින්දනය මේ නිර්මාණයේ උපරිමයෙන්ම තියනවා. ඒක මම කියනවාට වඩා හොඳයි ප්‍රේක්ෂකයෝ නාට්‍යය තියෙන තැනකට ඇවිල්ලා මේක බැලුවානම්.

ඔබේ ගී නිර්මාණ නිරීක්ෂණය කිරීමේ දි පෞද්ගලිකව මට හැඟුණු දෙයක් තමයි හාස්‍ය වගේම ඔබ ගැඹුරු සමාජ යථාර්ථයකුත් ඒ ගීතවලින් උද්දීපනය කරන්න උත්සාහ කර තියෙන බව.....?

අනිවාර්යෙන්ම ඒක පිළිබඳ කතා කරනවා නම් මම නාට්‍යය කලාවට ඇවිත් දැන් අවුරුදු තිහක් වෙනවා. මුල් කාලේ ලණු කාලා, මඩ කාලා, ආපු චරිතයක් තමයි මම. ඒ අත්දැකීම් පවා මෙවැනි ගී නිර්මාණ තෝරා ගැනීමට ඉවහල් වෙන්නැති. ඒ වගේම අපටත් යම් දේශපාලන දර්ශනයක් තිබෙනවානේ.

ඒ දේශපාලනය, හරහා සමාජිය අත්දැකීම් හරහා නිතරම අපේ මනස පෝෂණය වෙනවා. ඉතින් ඒවා ප්‍රතිනිර්මාණය කොට මගේ රසිකයන් වෙත තිළිණ කිරීම තමයි මගේ අරමුණ. මතුපිට සරල බවක් පෙනුණත් ඇතුළතින් ගැඹුරු සංවාදයක් ඔවුන් සමග ඇති වෙන්න ඕනෑ. මේ නාට්‍යය කලාව ඒකට සුවිශේෂී පිටිවහලක්.

ඇයි ඔබ එහෙම කියන්නේ.....?

නාට්‍යකාරයෙක් වෙන්න මම පිං කරලා තියෙනවා. මොකද ඒ හරහා මට ප්‍රේක්ෂක ජනතාව සමඟ හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න පුළුවන් වුණා. කම්මලේ සිට මැතිවරණ වේදිකාව දක්වා අප මේ නාට්‍යයමය අත්දැකීමට ගෙන යනවා.

බොහෝ අසීරු වැඩක්. පිටපතට සරිලන විදිහට තමයි අපි ගීත ඉදිරිපත් කළේ. “සකිසඳ මඬල” රචනා කළ පි‍්‍රයන්ත ඒ අභියෝගය ඉතාමත් සාර්ථකව ජය අරගෙන තියෙනවා. මෙය පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් වේදිකා නාට්‍යය නිර්මාණයක්. දෙපැත්ත කැපෙන කුණුහරප නැහැ. ජවනිකාවෙන්, ජවනිකාවට අපි විවිධ පෙළහර පානවා.

ඔබේ වෘත්තීය සගයන්ගෙන් මේ කාර්යයේ දී ලැබෙන සහය කොයි වගේ ද....?

ඉතාමත් විශිෂ්ටයි. අපේ සෙට් එක ඉතාම කැපවීමෙන් මේ නාට්‍යයට දායක වෙනවා. හැමෝම කැපවීමෙන් වැඩ කරනවා. මම හිතන්නේ ඒ කැපවීම ඒ අයට පුරුදුයි. කාලයක් තිස්සේ ක්ෂේත්‍රයේ නියුතු අයනේ. දැන් මගේ වසර තිහක් කියන්නේ, ඒ අයගෙත් ඒ කාලය වෙනවා. අපි සමකාලීන පිරිසක්. මාස තුන, හතරක් පුහුණු වෙලා අපි මේ කටයුත්ත කළේ. ‘සකි සඳ මඩල’හරියටම පැය දෙකයි, විවේක කාලයත් එක්කම. කම්මැලිකමක් නැතිව මේක බලන්න පුළුවන්.

ඇයි මෙවැනි නිර්මාණ කටයුත්තකින් ඔබ ප්‍රේක්ෂයා වෙත සමීප වෙන්න උත්සහ කළේ....?

නාට්‍යයකාරයෝ වුණාට හැමෝටම නාට්‍යයක් කරන්න බැහැ. නමුත් අපේ සගයෝ ටික කොහොම හරි නාට්‍යය කළා.

රොඩ්නි ‘සාරංගා නැවෙන් ඇවිත්’ කළා. පි‍්‍රයන්ත ‘මිනිසා’ කළා. ගිරිරාජ් නාට්‍යයක් කළේ නැතුවට චිත්‍රපටයක් කළා ‘ සිකුරු හතේ’ කියලා. ඒකත් හොඳ නිර්මාණයක්නේ. නමුත් ඉතින් මම කල්පනා කරන්නේ නාට්‍යයකාරයෙක් වුණාම නාට්‍යයක් කරන්න ඕනෑ. ඒකට මම පාදක කර ගත්තේ මගේ ගීත ටික. කාලයක් තිස්සේ පෙරුම් පුරපු දෙයක්.

පසුගිය වසර ඔබේ සිනමා දිවියේ පෙරළිකාර වසරක්. ඔබ රඟපෑ චිත්‍රපට කිහිපයක්ම තිරගත වුණා. මේ වසරේත් ඔබේ චිත්‍රපට ප්‍රේක්ෂකයන්ට දැක ගන්න ලැබෙනවා ද....?

ලැබෙනවා, ලැබෙනවා. ගිය වසරේ මම රඟපෑ චිත්‍රපට අතරින් “වලාපටල” විශේෂයි. එහි මම රඟපෑවේ පියසේන කියලා රෝහල් උපස්ථායකවරයකුගේ චරිතය. දැනටත් විවිධ රූපවාහිනී නාළිකාවලින් ඒ චිත්‍රපටය විකාශය වෙද්දී ඇමතුම් ගලාගෙන එනවා. මරු චිත්‍රපටයක් කියලා. ඇත්තෙන්ම ඒක මම රඟපැ වෙනස්ම විදිහේ චරිතයක්.

මේ වසරේ දැන් තිරගත වෙනවා “උත්තරා චිත්‍රපටය. ඊට අමතරව “මගෝඩි ගොඩයි”, “ සූර්යා” “ අපි මැරෙන්නේ නෑ”, “උයනට මල් ගේන” කියන චිත්‍රපට හයක් විතර තිරගත වෙන්න නියමිතයි. මේ වසරේ.

පුංචි තිරයේත් ජූඩ් මේ දවස්වල ජනපි‍්‍රයයි? සතියේ සෑම දිනකම ‘e - බ්‍රේන්’ ටෙලි නාට්‍යය විකාශය වෙනවා. දැන් දැන් ප්‍රේක්ෂකයෝ ඒ නාට්‍යය ගැන අවධියෙන් ඉන්න බව පේනවා. ඔවුන් එය රස විඳින්න පටන් අරන් තියෙන්නේ දැන්. “ e බ්‍රේන්” සුසිරන් ද සිල්වාගේ නිර්මාණයක්. ප්‍රේක්‍ෂකයන්ගේ දකුණු මොලෙන් හා වම් මොලෙන් කෙරෙන දේවල් ගැන ඊ බ්‍රේන් හරහා ඔවුන් හිතන්නේ දැනුයි.

එතකොට ප්‍රසංග වේදිකාවේත් ඔබ ජනපි‍්‍රය ගායකයෙක්.....?

ප්‍රසංග වේදිකාවේ කටයුතු මෙරට සහ පිටරට දෙකේම කෙරෙනවා. ඒකේ අඩුවක් නැහැ. කලාකරුවෙක් වුණාම ලංකාවේ විතරක් නොවේ විවිධ රටවල සංචාරය කරන්න අවස්ථාව ලැබෙනවා.

ඉතින් ඒක විශේෂ වරප්‍රසාදයක්. පසුගිය දිනවල ලංකාවේ ප්‍රසංග කිහිපයකට සහභාගි වුණා. සිංහල අවුරුදු කාලේ විදෙස් ප්‍රසංග කිහිපයක් සඳහා ආරධනා ලැබී තියෙනවා මේ වෙනකොට. අනිවාර්යයෙන්ම ප්‍රසංග වේදිකාවේ මට ඉල්ලුමක් තියෙනවා. මොනවද ඔබ මේ වෙනකොට සංචාරය කර තිබෙන රටවල්.....?

යුරෝපය පුරාම සංවාරය කර තිබෙන ඊට අමතරව මැද පෙරදිග හුඟක් හොඳ රසික ප්‍රතිචාර තිබුණා මට .

ඇන්ටන් ජූඩ් කියන්නේ ඇත්තටම මේ ජනතාව අතර ඉන්න කලාකරුවෙක්. ඔබ බොහොම හෘදයංගමව රසිකයන් ඇසුරු කරන කෙනෙක්. මේක මේ අපේ ජනතාවාදී කියන කලාකරුවන් බොහෝ දෙනෙකුගෙන් මම දකින්නේ නැහැ.....?

මම විශ්වාස කරනවා කලාව තියෙන්නේ ජනතාව වෙනුවෙන් කියලා. කලාව අවශ්‍යය ජනතාවට, කලාව කියන්නේ ඔවුන් තමයි. මම පොඩි කාලේ ඉඳලා හැඩ ගැහුණේ ඒ විදිහට. දැනටත් පාරට බැස්සම ජනතාවත් එක්ක තමයි මම ඉන්නේ. නිතරම අත් දෙකට පොල් පිත්තක් බැඳ ගත්තා වගේ තමයි. වම් අතත් නිතරම තියෙන්නේ උඩ. දකුණු අතත් එහෙමයි. එන්නම්, රයිට්, යන්නම් කිය කියා තමයි නිතරම පාරේ යන්නේ.

No comments:

Post a Comment