2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Wednesday, 16 June 2010

නාට්‍යයක් කල නිසා මාව ඉස්කෝලෙන් පැන්නුවා - නීතිඥ ඩග්ලස් සිරිවර්ධන

Author: රවි රත්නවේල්

Date: 27/08/2007

Source: Sarasaviya
ඡායා - මාලන් කරුණාරත්න

ටවර් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ ජනරාල්

නීතිඥ ඩග්ලස් සිරිවර්ධන

ඔබ නිර්මාණකරුවෙකු වුණේ කොහොමද කියන තැනින් පටන් ගත්තොත් ?

මාව නිර්මාණකරුවෙකු කළ මගේ මුල් ගුරුතුමිය වුණේ මගේ අම්ම ය කියන එකයි මගේ පිළිගැනීම. මම එහෙම කියන්නෙ වතු පාලකයෙක් වුණ අපේ තාත්තා රාජකාරියට බරවුණු තරමක් සැරපරුෂ කෙනෙක්. මේ නිසා අපේ ජීවිත කාලයෙන් වැඩි හරිය ගෙවුණේ අම්මත් එක්කයි.

සිරිපා අඩවිය ආශි‍්‍රත ගැමි කාන්තාවක් වුණු අපේ අම්මා පුදුමාකාර කතාන්දර, කවි ප්‍රමාණයක් දැනගෙන හිටියා වගේම ඒවා රසවත් විදිහට අපට කියා දුන්නා.

පුංචි සන්දියේ අපිට පොල්පිති කඩුව, කොස් කොළ තෝප්පිය හදලා දීලා රඟන්න, ගයන්න ඉඩ දීලා එවා බලලා රසවිඳින, අපිව අගය කරන පුරුද්දක් අම්මාට තිබුණා. එනිසා අපේ රසිකයා, විචාරකයා විතරක් නෙවෙයි නිර්මාණ අධ්‍යක්‍ෂවරයා වුණෙත් අපේ අම්මා. අම්මගේ සාරි මාල, වළලු, මලු මේවා තමයි එදා අපි ගෙදර වේදිකාවේ පාවිච්චි කරපු දේවල්. ඒ නිසා අම්මා තමයි මේ ගමනට මුල පිරුවේ.

එතකොට ඔබේ පාසල ?

මම මුලින්ම ගියේ ඉංගිරිය සුමනජෝති විද්‍යාලයට. ඒකේ අපේ ගුරුතුමිය මුතු ඇටේ හිරවේච්චි කුමාරිගේ කතාවේ මාව කුමාරිය කළා මට මතකයි. මේකෙන් අපේ පොඩි හිත්වලට රඟපෑම ගැන ආසාවක් ඇති වුණා.

ඊළඟට හොරණ විද්‍යාරත්න පාසලේ ඉගෙන ගන්න ගියාහම චන්ද්‍රරත්න දසනායක කියන ගුරුතුමා අපිව නාට්‍ය බලන්න පෙළඹෙව්වා. එතෙන්දි ආඩි ටිකයි අම්බලමයි වගේ නාට්‍ය අපට බලන්න ලැබුණා. එතකොට හේමසිරි ලියනගේ වගේ අය නාට්‍ය කළා. ඕවයෙනුත් අපට යම් පෙළඹීවීමක් ඇති වුණා.

මගේ සමකාලීනයන් වුණු ධර්මසිරි බණ්ඩාරනායක, ලාල් කුලරත්න, වගේ අයත් නාට්‍ය කළා. අපේ කාලෙ ඉස්කෝලේ ඇරුණම ගෙදර දුවන ක්‍රමයක් තිබුණෙ නෑ. ඉස්කෝලෙන් පස්සේ අඳුර වැටෙනකම් අපි නාට්‍ය කරනවා, සෙල්ලම් කරනවා. රෑ බෝවෙලා තමයි ගෙදර යන්නෙ.

ඒ කියන්නෙ පාසල තමයි ඔබව නාට්‍යකරුවෙක් කළේ ?

ඒකට මම මෙහෙම කියන්නම්, මොකද ඔව් කියන්ඩත් බෑ, නෑ කියන්ඩත් බෑ. ඒ මොකෝ ධර්මසිරියි මමයි ඉස්කෝලෙ නාට්‍ය පෙන්නුවයි කියලා අපිව ඉස්කෝලෙනුත් අයිං කළා.

නාට්‍යයක් පෙන්නුවට ඉස්කෝලෙන් අයිං කළා ?

ඔව්, මෙහෙමයි ඒක වුණේ. අපි දෙන්නා එකතු වෙලා දසයා හා ලෙංචිනා නාට්‍ය හදලා ඒක ඉස්කෝලෙ පෙන්නුවා. නාට්‍ය පෙන්න පෙන්න ඉන්න කොට එකපාරට ගුරුවරු ඇවිල්ලා නාට්‍ය නවත්තන්ඩ කියලා අපිව එළියට දැම්මා.

ඉස්කෝලෙට ඇතුල්වෙන එකත් තහනම් කෙරුවා. ආදි ශිෂ්‍යභාවය පවා පිළිගන්නෙ නෑ කියලයි එ වෙලාවෙ අපට කිව්වෙ. එදා අපට දැනුනෙ ගෙදරින් දොට්ට දැම්මා වගේ දුකක්.

ඒ වගේ සිද්ධියක් ඇති වුණේ ඇයි ?

අපේ නාට්‍ය වැඩේට ගුරුවරුන්ගෙන් කොටසක් විරුද්ධ වුණා. ඒ අය අපට සහය දුන්නේ නෑ. මේ ගැන අපි ටිකක් තදින් ගුරුවරුන්ව විවේචනය කරන තැනකට ගියා. මට අද හිතෙනවා එදා ඒ ගුරුවරු අපිව ශිෂ්‍යයන් හැටියට තේරුම් නොගත්තු නිසයි ඒ වගේ දෙයක් වුණේ කියලා .

මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් තමන් කරපු වැඩේ අතෑරලා දාන්ඩයි බලකරන්නෙ. ඔබට ඒක බලපෑවෙ කොහොමද?

අපිට එකේ අනිත් පැත්ත සිද්ධ වුණේ. ඒ කියන්නෙ ඒක අපේ හොඳටයි හේතු වුණේ. අපිට පාසලේ දී පෙන්නන්න නොදීපු නාට්‍ය අපි තවත් හොඳට හදලා ශි‍්‍රපාලි අරුන්දතියේ පෙන්නුවා.

අපට හිතාගන්න බැරිතරම් හොඳ ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ අවට පාසල් ගණනාවක ළමයින් නාට්‍ය බලන්න ආවා. පාලනය කරගන්න බැරි තරම් පිරිසක් නාට්‍ය වටා එකතු වුණා.

මේක අපට ලොකු හයියක් වුණ හින්දා අපි දිගටම නාට්‍යයත් එක්ක හිටියා. අද අපි මේ ක්‍ෂේත්‍රයේ යම් තැනක ඉන්නව නම් එකට එදා ඒ ඇද වැටුණු වෙලාවෙ නැවත නැගී හිටිය එක තමයි හේතු වුණේ.

එතකොට ඉස්කොලෙත් එක්ක ගනුදෙනුවට මොකද වුණේ?

මගේ නාට්‍යය රාජ්‍ය සම්මාන දිනුවම මගේ ඒ ඉස්කෝලෙම මාව අගය කළා.මමත් ඒ සිද්ධියෙන් පාඩමක් ඉගෙන ගත්තා. ඒ තමයි කිසිම දවසක කිසිම හේතුවකට ගුරුවරුන්ගේ හිත රිදවන්න හොඳ නෑ කියන එක.

එතකොට ඔබ හිට්ලර් වගේ නාට්‍යයක් කරන්න පෙළඹුණේ කොහොමද?

අසුව දශකයේ මුල් භාගයේ මට ඉවෙන් වගේ දැනුණා විශාල භීෂණයක් ඇතිවෙයි කියලා. ඇති වෙමින් තිබුණ සමාජ, දේශපාලන සිද්ධීන් එක්කයි මට ඒ අවබෝධය ඇති වුණේ.

ඒනිසා භීෂණයට, ඒකාධිපතිකමට එරෙහිව හිට්ලර්ගේ චරිතයත් විශාල වශයෙන් අධ්‍යනය කරලා ඒ නාට්‍ය කරන්න පෙළඹුණා. අතිශය තාත්වික වාර්තාමය වෘත්තාන්තයක් හැටියට එය නිර්මාණය කළා.

ඒ කාලෙ ලැබුණු ප්‍රතිචාර කොහොමද?

සමූහ මිනී වළවල්, වධ හිංසා, අති අමානුෂික ඝාතන වගේ ඒ නාට්‍යයෙන් නිරූපණය කරපු දේවල් වැඩි කල් නොගොස් අපේ රටේ මිනිස්සු අත්දැකීමෙන් වින්දා. ඒකෙ ප්‍රතිඵලය වුණේ 83 දී හිට්ලර් බලලා හූල්ලපු ප්‍රේක්‍ෂකයා, 89 දී ඒ දර්ශවලට හිනාවෙන්න ගත්තා. සමාජය ඒ තරමටම අව සංවේදී වුණා.

ඔබගේ මුල්කාලීන නාට්‍යවලට ඉහළම ප්‍රතිචාර ලැබී තිබියදීත් අලුත් නාට්‍ය නොකරන්නේ ඇයි?

දැනට මම අලුත් නාට්‍යයක් ප්‍රේක්‍ෂකයන් අතරට ගෙනාවෙ නැති වුණාට ලංකාවේ වෙනත් කිසිම නාට්‍යකරුවෙක් නොකරන තරමට මම සජීවීවම නාට්‍ය කලාවත් එක්ක වැඩ කරගෙන යනවා.

83 සිට අද දක්වාම විවිධාකාර නාට්‍ය වැඩමුළු, පාඨමාලා සංවිධානය කරමින් විශාල නවකයන් පිරිසක් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ කරන්න මම මුල්වෙලා තියෙනවා.

නම් වශයෙන් කිව්වොත් ජයලාල් රෝහණ, ප්‍රසාද් සූරියආරච්චි, අශෝක හඳගම, නිල්මිණි බුවනෙක, අජිත් ලොකුගේ, උදේනි අල්විස්, ෂර්ලි දෙලංකාවල, මැල්කම් මචාඩෝ, බුද්ධක දමයන්ත, ධනංජය කරුණාරත්න, ප්‍රසන්න ජයකොඩි ඇතුළු තවත් විශාල පිරිසක් ගැන කියන්න පුළුවන්.

මම නාට්‍යයක් නොකළාට මේ වගේ දක්‍ෂ පිරිසක් බිහි කරන්න දායකවීමෙන් මම විශාල සතුටක් ලබනවා. එක චවනයෙන් කියන්න බැරි තරම් ලොකු සතුටක්.

නැවත අලුත් නාට්‍යයක් වේදිකාවට ගෙන එන්න අදහසක් නැද්ද?

මගේ නාට්‍යයක් ඉදිරියේදී වේදිකාවට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ ‘ගොදුරු’ නමින් 2007 ඊජිප්තුවේ කයිරෝ නගරයේ නාට්‍ය උළෙල වෙනුවෙනුයි ඒ නාට්‍ය මුලින්ම කළේ.

අපේ රටේ පැසිස්ට් ත්‍රස්තවාදයේ කුරිරු බව කැබිතිගොල්ලෑවේ බෝම්බ ප්‍රහාරය, හමුදාපති ඝාතන තැත වගේ සිද්ධි පදනම් කරගෙනයි මේ නාට්‍ය නිර්මාණය කෙරෙන්නෙ. මම හිතනවා ගොදුරු අපේ රටේ වේදිකාවේ කඩඉම් පුළුල් කරන නාට්‍යයක් වේවි කියලා.

ඔබ රාජ්‍ය සම්මාන දිනලත් තියෙනවා. රාජ්‍ය නාට්‍ය උළෙලෙන් අයින් වෙලත් තියෙනවා, නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති වෙලත් තියෙනවා. ඔබ රාජ්‍ය නාට්‍ය උළෙල ගැන බලන්නෙ කොහොමද?

ඊජිප්තු, ඉන්දීය හා කේරළ නාට්‍ය තරග නැත්නම් උළෙල ගැන මට තියෙන අත්දැකීම් එක්ක මේ ගැන කතා කළොත් එතෙන්දි ජයග්‍රහණවලට වඩා නාට්‍යවලට ලැබෙන ඇගයීම් වලටයි මුල් තැන ලැබෙන්නෙ.

මුදලක්, තිළිණයක් ලැබුණාට ඒ ගැන ඒ තරම් තැකීමක් ඒ අයගෙ නෑ නමුත් අද අපේ සමහරු නාට්‍ය කලාව වෙනුවෙන් නාට්‍ය කරනවට වඩා ප්‍රචාරයටයි යොමු වෙන්නෙ.

ඊළඟට අපේ රටේ නාට්‍ය තරගත් එක්ක මේ විදිහට මරා ගන්නෙ මුදල් ත්‍යාග නිසා කියලයි මට හිතෙන්නෙ. ඒ වගේම අපේ රටේ දී නාට්‍යයේ ගුණාත්මකභාවය ගැන ඇගයීමක් නෙවෙයි සිද්ධ වෙන්නෙ. සමහර නාට්‍ය කරුවන්ට සම්මාන ලැබුණෙ නෑ කියලා මට බැන වැදුණු අවස්ථාත් තියෙනවා. ජෝන් ද සිල්වා වගේ අවිධිමත් නාට්‍ය ශාලාවක

පිට ශබ්ද ඇහෙනවය කියලා මගේ ඇඟට කඩා පැන්න නාට්‍යකරුවොත් ඉන්නවා. මගේ අත්දැකීම නම් බොහෝ අවස්ථාවල නාට්‍ය කරුවන්ට වැදගත් වූණේ නාට්‍යකලාවට වඩා ලැබෙන මුදල හා වරප්‍රසාද කියන එකයි.

රාජ්‍ය නාට්‍ය උළෙලක් නාට්‍යකට බලපාන්නෙ කොහොමද?

යම් ඇගැයීමක් එතෙනදී වෙනවා නම් ඒක රසිකයන්ට ඒ නාට්‍ය නරඹන්න පෙළඹවීමක් වෙනවා. නමුත් 1976 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයේ දී මම මගේ නාට්‍ය අයින් කර ගත්තේ එදත් මම කියපු මේ කාලගෝට්ටියම තිබුණු නිසයි. මගේ ‘අඹු සැමියෝ’ ඒ කාලෙ ජනපි‍්‍රයම නාට්‍යයක්. නමුත් ඒකට කුසලතා සහතිකයක්වත් ලැබුණෙ නෑ.

ඒත් ජනතාව අතරට ඒ නාට්‍ය අරන් යන්ඩ මට පුළුවන් වුණා වගේම අදටත් මම නාට්‍ය කරුවෙක් හැටියට ඉන්නව විතරක් නෙවෙයි, ඒ නාට්‍ය අනුමණ්ඩලේම සභාපතිත් වුණා. ඒ නිසා රාජ්‍ය නාට්‍ය උළෙල මත තමන්ගෙ නාට්‍යයේ ඉරණම තීන්දු කරන්ඩවත්, ඒ මත්තෙ අනවශ්‍ය ගැටුම් ඇතිකර ගන්ඩවත් අවශ්‍ය නෑ කියලයි මට හිතෙන්නෙ.

රාජ්‍ය නාට්‍ය උළෙලකින් වෙන්න ඕන මොකක්ද?

ගම, නගරය, රට කියන මේ ක්‍ෂේත්‍ර තුනේම නාට්‍ය කලාව ගැන ප්‍රබෝධයක් ඇති කරන්ඩ රාජ්‍ය හරි ජාතික හරි නාට්‍ය උළෙලකට පුළුවන් වෙන්න ඕන. නමුත් අපට තියෙන බලතල හා ප්‍රතිපාදන නැති, නාට්‍ය අනුමණ්ඩලය වගේ ස්වේච්ඡා ආයතනයකට මේක කරන්ඩ පුළුවන්කමක් නෑ.

ඒ වෙනුවට අපිට ජව සම්පන්න ජාතික නාට්‍ය මධ්‍යස්ථානයකුයි අවශ්‍ය වෙන්නෙ. ජාතික චිත්‍රපට සංස්ථාව වගේ ආයතනයක්. අපට අද අවශ්‍ය නාට්‍ය ක්‍ෂේත්‍රයම ඒකාබද්ධ කරන ඒ වෙනුවෙන් වැඩ කරන වැඩ පිළිවෙළක්. අපේ රටේ නාට්‍යකරුවන් නාට්‍ය උළෙල ගැනයි විනිශ්චය ගැනයි කතා කරනවා මිසක් මේ වගේ ප්‍රයෝගික දෙයක් ගැන කතා කරන්නේ නෑනෙ.

මගේ අදහස නම් නාට්‍ය අනුමණ්ඩලය කියන්නෙ අම්මා නැති දරුවට කිරි දෙන කිරි අම්මා වගෙයි කියන එකයි. නාට්‍ය කියන දරුවා රැක බලාගන්න නම් නාට්‍ය අනුමණ්ඩල වගේ කිරි අම්මලා නෙවෙයි ජාතික නාට්‍ය මධ්‍යස්ථානයක් වගේ දරුවගේ නියම අම්මයි ඕන කරන්නෙ.

ඔබ නාට්‍ය අනු මණ්ඩලයේ සභාපති හැටියට සිටියදීත් මේ වගේ සංකල්ප ඉදිරිපත් කළා. ඒත් බොහෝමයක් ඒවා යථාර්ථයක් වෙලා නෑ නේ ද?

මෙහෙමයි ඒවා යථාර්ථයක් නොවුණා නම් ඒක මගේ වරදක් නිසා වුණ දෙයක් නෙවෙයි.එදා නාට්‍ය මණ්ඩලයේ ඉඳලා අද ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ කියන තැනට ආවහම මට දැනෙනවා ඔය සංකල්ප යථාර්ථයක් කරගන්න පුළුවන්කම අද අපට තියෙනවා කියලා.

අපේ විශිෂ්ට නාට්‍ය ඉංගි‍්‍රසියට පරිවර්තනය කිරීම, ගුණාත්මක නාට්‍ය පාඨමාලා, ඉන්දීය ජාතික නාට්‍ය පාසල සමඟ නව සබඳතා ගොඩ නඟා ගැනීම, වැඩිහිටි කලාකරුවන්ට ආර්ථික හා සෞඛ්‍ය රැකවරණ ලබාදීම, සහනදායි මිලකට රඟහල්, ශබ්දාගාර ආදිය ශිල්පීන්ට ලබාදීම ඇතුළු බොහොමයක් දේවල් අද අපට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව භාරකාර මණ්ඩලයෙත්, විෂය භාර අමාත්‍යවරුන්, අගමැතිතුමන් හා ජනාධිපතිතුමන් ගේ මඟ පෙන්වීම හා ආධාර උපකාර ඇතුව යථාර්ථයක් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. තවදුරටත් සිදු කළ යුතු අත්‍යවශ්‍ය කටයුතු සොයා බලා ඉදිරියේ දී කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා.

පුංචි තියටරයේ ලොකු හදවත - නාමෙල් වීරමුනි

Author: පරාක්‍රම කොඩිතුවක්‌කු
Date:18/10/2009
Source: Divaina



නාමෙල් වීරමුනි එංගලන්තයෙන් ලංකාවට පැමිණ තමා නිවසන සමාජයට තමාට කළ හැකි සත්කාරය කුමක්‌දැයි කල්පනා කළේය. වීරමුනි යුවල දුරු රටකදී සීත කමින් වේදනාකර ශ්‍රමයකින් උපයා ගත් ධනය වැය කොට කොළඹ ඉදි කළ "පුංචි තියටරය" හා සමාන වෙනත් ආදර්ශයක්‌ වත්මනෙහි නැති බව මෙහි සටහන් කරන්නේ අද ඒ ලොකු හදවතක්‌ ඇති මහත්මා යුවල ගේ පුංචි තියටරයට සත් වසක්‌ සපිරෙන අවස්‌ථාවෙහි දීය. ඉකුත් කාලය තුළ මෙම පුංචි කලා නිවහනේ සාහිත්‍ය කතිකා, දෙසුම්, අලුත් පොත් දියත් කිරීම්, නාටක සිනමා චිත්‍ර ප්‍රදර්ශනයන්, අනේකාකාර රස වින්දන වැඩසටහන් පැවැත්වුණේය. එම වැඩවලට දුක්‌ වෙහෙස විඳි වීරමුනි යුවලට ඒ සියල්ල තම ගෙදර තමාගේම ජීවිතයේ උත්සව හා සමාන විය. එබැවින් පුංචි තියටරය ඔවුන් ඉදිකළ මේ සිහිනය පුංචි සංස්‌කෘතික දෙපාර්තමේන්තුවක්‌ වී ඇති බව කොළඹ කලාකාර සමාජයට නම් ප්‍රත්‍යක්‍ෂ අත්දැකීමකි. සතුටු සැනසිල්ලකි.

එළඹෙන සතිය පුරාම පුංචි තියටරයේ නාට්‍ය දර්ශන මාලාවක්‌ පැවැත්වෙන අතර සෙනසුරාදා (17) දිනයෙහි සංවාදයට අභිමුඛ වන්නට නියමිත වැදගත් විෂය කේන්ද්‍රයක්‌ ඇති බව සැලයි. මේ සුළුවෙන් ඉටු කරන්නේ ඒ ගැන අපගේ අදහස්‌ දැක්‌වීමට නාමෙල් සබඳුන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයකි. නාමෙල් ඇඳ ඇති තේමාව මෙයයි.

නාට්‍ය බලන්නේ ඇයි?

නාට්‍ය නොබලන්නේ ඇයි?

අන් හැම කලාංගයක්‌ මෙන්ම නාටකය ද මිනිසා විසින් මිනිසා උදෙසා සම්පූර්ණ කරනු ලබන සෞන්දර්යාත්මක අවශ්‍යතාවකි. ආදි කල්පිත ගෝත්‍රික ජනයා ද කඳු පර්වත පාට කළේ. වන මැද්දේ දවස්‌ ගණන් දුවමින් ඝෝෂා පැවැත්වූයේ එබැවිනි. නාටකයද සිනමාවකට සහභාගී වීම හා සමාන ඇසි-දිසි අත්දැකීමක්‌ වෙයි. නාට්‍ය කලාවට ආගමික ඉතිහාසයක්‌ ඇත්තේ එය මුල සිටම සත්‍යාන්වේක්‌ෂණය හා සම්බන්ධ කලා මාර්ගයක්‌ වන නිසාය.

නවීනයා ප්‍රබල කලා කෘතියකට සහභාගී වන්නේ එය ජීවිතයට ජීවිතය පුරවා දෙන බැවින්ය. නාට්‍යකාරයාගේ නිර්මාණ ප්‍රීතිය ප්‍රේක්‌ෂකයාගේ වින්දනාස්‌වාදය බවට පත් වෙයි. නාටකයක්‌ බලන්නට යන්නේ එය ලබාදෙන මෙම ජීවන අත්දැකීම අපේක්‍ෂාවෙනි. එය අන්විදිහකින් ලැබිය නොහැක්‌කකි. ප්‍රේක්‍ෂකයාට එය වේදිකාවෙන් සාධනය කරගත නොහැක්‌කේ නම් ඔහු නාට්‍ය බලන්නට යන්නේ කුමකටද ප්‍රේක්‍ෂාගාරය ශූන්‍ය වන්නේ නාට්‍ය වේදිකාව අසාර තැනක්‌ වූ විටය.

20 වැනි සියවසේ දෙවැනි භාගයෙන් පසු උදාවූ අපේ නූතන කලාවේ නව යුගය සමග සාහිත්‍ය හා නාටකය - සිනමාව චිත්‍රය ආදී කලාංගයන් ආලෝක සමයක්‌ පසු කොට අවුත් අද බෙලහීනත්වයකට ඇද වැටී ඇත්තේ කුමක්‌ නිසාද? ගුණදාස අමරසේකර දී ඇති සරල නිරාකුළ පිළිතුර පිටුදැකිය නොහැක්‌කකි. මේ රටේ ජනයාගේ දිවි පුවත යථාර්ථය පිළිබිඹු නොකරන විට, ඒ සමාජාත්මය ස්‌පර්ශ නොකරන විට ඒ කලාව ලේ සිඳී අඩපණ වෙයි. එදා එකිනෙකට වෙනස්‌ නාට්‍ය සම්ප්‍රදායයන් දෙකක්‌ ඔස්‌සේ බිහි වූ සරච්චන්ද්‍රගේ නාට්‍ය හා සුගතපාල ද සිල්වාගේ නාට්‍ය වේදිකා දෙකම අබිමුව මෙරට සමාජයේ විවිධ ශ්‍රේණිවලට අයත් රසික සමූහයා පෙළගැසී සිටියහ. සුගත්ගේ "දුන්න" සමාජයේ දසනුදසට ගමන් කළේය. මන්ද? එය 70 දශකයේ සමාජ වේදනාව හා ප්‍රාර්ථනය කියා පාන්නක්‌ වීමය. එය එම සමාජයේ කම්පන ධාරාවෙන් විදුලිසර වැදුණු නාටකයක්‌ විය.

වර්ජනය පාවා නොදෙන කම්කරු නායකයාගේ බිළිඳු පුතු බෙහෙත් නැතිව මව් දෑතෙහි අවසන් හුස්‌ම හෙළන විට ඇය වේදිකාව ඉදිරියට පැමිණ දණ ගසාගෙන... රිදී එරන් පුත කවිය ගයද්දී රසිකයෝ කඳුළු වගුළහ. කලවානේ ගැමි පාසලක දරුවන් පැමිණ ඉඩ නොලැබ වේදිකාව ඉදිරියේ බිම හිඳගෙන ඇස්‌ අයා ගෙන එය නැරඹූ සැටි අද මට මතක්‌ වෙයි. ආර්. ආර්. ගේ "කැළණි පාලම" මෙන්ම හෙන්රි ජයසේනගේ "හුණුවටයේ කතාවත්" පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්‌කුව රසිකයන්ට අපේ නාට්‍ය" විය. ඒ ඒවා ජීවිතය ජීවිතයටත් වඩා විශාල ලෙස පෙන්වා දුන් නිසාය.

සරච්චන්ද්‍ර ජාතක කතාවෙන් පුරාණෝක්‌ති ඇසුරින් උපදවා ගත් නාටක පෙළ ජන සහභාගිත්වය දිනීමේ රහස්‍ය කාරකය වන්නේ ඒවා අපගේ පාරම්පරික ඥාන දර්ශනයෙන් ආගම දහමින් ඉතිහාසයෙන් හා සම්ප්‍රදාය මාර්ගයෙන් නිපන් නිසාය. දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා ගජමන් පුවත තුළ වූයේ ද ඒ සමාජ සාරය හා ජීවිත සාරයයි.

එදා ගැටවරයෝ පොඩිපුතා "සැනසුම කොතැනද" සිරිපාල හා රන් මැණිකා ආදී චිත්‍රපටවලට පෙම් බැන්දේ සමාජයේ පහළ තට්‌ටුවල ජන කොටස්‌ය. තරුණ වියෙහි දී දුටු ඒ ප්‍රේක්‍ෂාගාරය මට ප්‍රත්‍යක්‌ෂයකි. ඒ සුළු මිනිස්‌සු එම චිත්‍රපටවල තම ජීවිතය දුටහ වින්දහ.

විදග්ධ මෙන්ම ජන කාන්ත ලක්‍ෂණද සහිත කෘතිය මහාර්ඝ නිර්මාණයක මුහුණුවරකි. සැමුවෙල් ජොන්සන්, ශේක්‌ස්‌පියර්ගේ නාට්‍ය ප්‍රේක්‌ෂාගාරය ගැන කරන විමර්ශනයකදී පවසා ඇත්තේ එය නීතිවේදීන් ප්‍රභූන් වියතුන් සාහිත්‍ය ධරයන්ගෙන් මෙන්ම පදිකයෙහි බඩු විකුණන සුළු වෙළෙන්දන් තරුණයන් ලිපිකරුවන් ආදී බහුජන ශ්‍රේණිවලින් ද සමන්විත වූ බවය. එහෙත් අපගේ නුතන නාට්‍යාගාර සිනමා ශාලා ශූන්‍යාගාර වීමට මුඛ්‍ය හේතුව වන්නේ නවීනත්වයකින් පෙනී සිටින බොහෝ නිර්මාණ සමාජ සාරයෙන් ජීවන සාරයෙන් වියුක්‌ත පරිකල්පිතයන් වීම නිසාය.

මෙරට ජීවන රිද්මය හා නොසැසඳෙන බටහිර කල් ඉකුත්වූ කතා පිටපත් ගිජු ලෙස පැහැර ගෙන කරන නාටක සිනමා සාහිත කෘති "සම්භාව්‍ය" ලේබලය අලවා වැඩම්ව වුවද ඒවාට රසිකයින් පස්‌ස හරවන සැටි ඉකුත් සමයෙහි හොඳින් පෙනී ගියේය. මේ බටහිර කතා රඟ දක්‌වන පරිවර්තන නාටක වේදිකාවෙහි අඩුවකට ඇත්තේ හිම තට්‌ටුවක්‌ පමණකැයි එක්‌ කල්පනාකාරී විචාරකයෙකු පවසා තිබිණි. තමා නිවසක සමාජයේ මූලයන්ගෙන් කෙඳි සහිත නොවන නිර්මාණ සිත, අයාලේ යන බව ඔවුනටම පෙනී යනු ඇත. අපගේ නව සිනමාවේ හා නාට්‍යයේ සංදර්භයන් විමසා බළන්නෙකුට පෙනී යන්නේ ඒවා බටහිර රිතීන්ගෙන් නිදහස්‌ නොවූ ඒවා බවය.

ඉන්දියානු නාට්‍ය හා සිනමාකරුවන් කෙතරම් අදීන චින්තනයක පිහිටියවුන්දැයි පී. අරවින්දන් නමැති නූතන ඉන්දීය නිමැවුම්කරුවාගේ මෙම ප්‍රකාශයෙන් වටහා ගත හැකිය.

........චරිත විවරණය ගැටුම හඳුන්වා දීම මානසික ආතති නිරූපනය හා සංකේත භාවිතය ආදියෙහි ඇති බටහිර රීතිය අපගේ සම්ප්‍රදාය චින්තන ක්‍රමය හා නොපෑහෙයි. මා වෑයම් කරන්නේ ඒ බටහිර රීතියෙන් නිදහස්‌ වීමටයි.

කුරසවා, රායි පවා බටහිර රීතීන්ට හසුවීම පිළිබඳ ඇතැම් විචාරකයන්ගේ විරෝධයට හසුව ඇත. උසස්‌ සාහිත කෘතිය මෙන්ම සිනමාව හා නාට්‍යයද ප්‍රේක්‍ෂකයා හා සබඳතාවක්‌ ගොඩ නගා ගනිමින් නව්‍ය සෙවිල්ලකින් ජීවිතය අලුතින් දකින්නට උණුසුම් කල්පනාවකට පත් කිරීමට සමත් විය යුතුයෑයි අදූර් ගෝපාලක්‍රිෂ්ණන් පවසයි. මෙරට නව නිර්මාණකරුවන් ගෙන් වැඩි දෙනකු ප්‍රධාන සමාජ ධාරාවෙන් විතැන්වී පිටස්‌තරයින් බවට පත්ව සමාජයේ ස්‌ථානගත වීමට නොහැකි වූ තරුණයන් වීම අභාග්‍යයකි.

මධ්‍යම ධාරාවේ ජනප්‍රිය සිනමාව තුළද පර්යේෂණාත්මක නොවන හොඳ චිත්‍රපටයකට අවකාශ ඇති බව අද පිළිගන්නා සත්‍යයකි. අගනුවරින් පිටස්‌තර ජනයා අද දකින්නේ කොළඹ නාට්‍ය නිපැදවෙන බවක්‌ ඒවාට සම්මාන දෙන බවත්ය. එමෙන්ම කවර සමාජ තත්ත්වයන් යටතේ වුවද රසිකයන්ගේ රසඥතාව පිරිහී ඇත්නම් එය පෝෂණය කිරීමේ අභියෝගයද භාරගත යුත්තේ තම කලාවට කැප වූ නිර්මාණකරුවන්මය. වත්මනෙහිදී අපේ කලාංගයන් මුහුණ දී ඇති ප්‍රතිවිරෝධතා පිළිබඳව විහිදෙන සාකච්ඡා සෝදිසි මාදිසි පැවැත්වීමටද නව නිර්මාණ කරුවනට පරිඥානයක්‌ ලබා දීමටද පුංචි තියටරයට ඇති ලොකු හැකියාව දැනටමත් ඔප්පු කොට ඇත. පුංචි තියටරයේ ලොකු හදවතට ඇපේ බැති පෙම් පුද කරමු.

තිස්තුන් වසරක ඒකාධිපති කතාකරයි - ධර්මසිරි බණ්ඩාරනායක

Date: February 22, 2010

Source: www.fmderana.lk

තිස්තුන් වසරක ඒකාධිපති කතාකරයි

(ප්‍රවීණ රංගන ශිල්පියෙකු,නාට්‍යකරුවකු,සිනමාකරුවකු වන ධර්මසිරි බණ්ඩාරනායකගේ"ඒකා අධිපති"නාට්‍යය මේ දිනවල වේදිකා ගතවෙමින් පවතී."ඒකා අධිපති"කේන්ද්‍ර කර ගනිමින් කෙරුණු මෙම කතා බහ පොදුවේ ලාංකීය කලා ක්ෂේත්‍රය මෙන්ම අද්‍යතන ගැටලු හඳුනාගැනීමට දරන උත්සාහයක් දක්වා දිගහැරෙයි.මේ අප ඔහු හා කළ කතා බහයි.)



* 70 දශකයේ"ඒකා අධිපති"බිහිවීම සහ 2010 ට ගැළපීම අපි තේරුම් ගන්නේ කොහොමද?

මේකේ අත්පිටපත මගේ අතින් ලියවෙන්නේ 1975 දී.76 අප්‍රේල් මාසයේදී පුහුණුවීම් පටන්ගත්තා.නොවැම්බර් මාසය වෙනකොට ප්‍රදර්ශනය කරනවා.මේ නාට්‍ය නැවත අවුරුදු 33 ට පස්සේ ආපහු ගේන්න හේතුව මොකක්දැයි බොහෝ දෙනෙක් මගෙන් අහද්දී සමහර විට ඒකට මං දුන්නු උත්තර මටම පැහැදිලි නෑ.සමහර වෙලාවට මගෙන් එහෙම අහන එකමත් නාට්‍යය වර්තමානයට දක්වන සම්බන්ධයට උත්තරයක් කියලයි මට හිතෙන්නේ.

* නාට්‍ය පිටපත ලියවෙන්න බලපාන පසුබිම පිළිබඳ මතක් කළොත්..?

71 කැරැල්ලත් එක හේතුවක්.මං එතකොට උසස්පෙළ හදාරන ශිෂ්‍යයෙක්.කැරුල්ල මෙහෙයවපු ජනතා විමුක්ති පෙරමුණට මගේ කිසිම සම්බන්ධයක් තිබුණේ නෑ.ඒත් ඒ කැරැල්ලට මගේ යහළු යෙහෙළියන් බොහෝ දෙනෙක් සම්බන්ධ වුණා.ඔවුන් ගේ ඒ අත්දැකීම් මගෙත් එක්ක බෙදාහදා ගත්තා.ඒ ගොඩක් දෙනෙකුට අත්විඳින්නට සිද්දවුණු කටුක අත්දැකීම් මාව කම්පනයට ලක්කරා.මුළු සමාජයම දැඩි අස්ථාවරභාවයකට තල්ලුවුණා.උසස් පෙළින් පස්සේ විශ්ව විද්‍යාලයට යනවා කියන බලාපොරොත්තු පවා විභාගේ ලියන කාලෙදිම සුන් කර ගන්න සිදුවුණා.මොකද ඒ වෙද්දී විශ්ව විද්‍යාල කියන්නෙම 71 කැරැල්ලට සම්බන්ධ තරුණ තරුණියන් ගාල් කරල තියපු සිරකඳවුරු.මේ තත්ත්වය නිසා මං හොරණ විද්‍යාරත්නයෙන් උසස් පෙළට ලියලා ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මට නාට්‍යය කලාවට තිබුණු ළෙංගතු කමත් එක්කම කොළඹ එන්න සිදුවුණා.මට රස්සාවක් හම්බවුණා.ඒ කාලේ විදිහට සැලකිය යුතු පඩියකුත් හම්බවුණු හින්දා වියදම් ටික පියවාගෙන නාට්‍ය බලන්න ,රස්තියාදු ගහන්න වෙලාවකුත් හම්බවුණා.ඒකේ ප්‍රතිඵලයක් හැටියට හෙන්රි ජයසේනයන්"මකරා"නමින් වේදිකාවට ගෙන ආ යෙව්ගිනි ස්වෝට්ස් ගේ නාට්‍යයේ රඟපාන්න මට අවස්ථාව ලැබුණා."මකරා"ට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීමම මට"ඒකා අධිපති"කරන්නට අවශ්‍ය වුණු සම්පත් බොහොමයක් ලබා ගන්න හැකිවුණු අවස්ථාවක් වුණා.

* අද"ඒකා අධිපති"ප්‍රේක්ෂාගාරය ගැන යමක් කිවහැකිද?

නරඹන සෑම කෙනෙක්ම වගේ සි‍යුම් ප්‍රශ්නයක් නොපෙනෙන්න අහනවා.ඒ එදා නාට්‍යයට අදට ගැළපෙන ලෙස වෙනස් කළාද කියලා.75 දී මං ලීව මුල්පිටපතේ එක ඉස්පිල්ලක්,පාපිල්ලක් මං වෙනස් කරලා නෑ.සමස්ත සමාජයක් ‍ෆැසිස්ට්වාදී ග්‍රහණයට හසුවුණාට පස්සේ,ඒ සමාජයම එකී පාලන තන්ත්‍රයට අ‍ශිර්වාද කරමින්ම එහි ගොදුරක් බවට පත් වූවාට පසු"ගැලවීම"කියන්නෙම ඊට එහා යන මහා ක්‍රියාදාමයක්.අද දවසේ මගෙන් කවුරු හරි මේක අද ලියවුණු එකක්ද,නැත්නම් අලුත් කෑලි මේකට එකතු කළාද කියල බොහෝ දෙනෙක් අහද්දී ඒක එහෙම වෙන්නේ නාට්‍ය සමාජය තුළ වග විභාග කරමින් තියෙන නිසයි.ඒක සුභ දෙයක්.ඒත් ප්‍රේක්ෂකයා වර්තමාන දේශපාලන වටපිටාවේ ඒ විදිහට ප්‍රශ්න කිරීම කලාකාරයෝ විදිහට අපට අනතුරු දායකයි.

* ඔබ කියන අනතුරුදායක බව ඔබගේ වෙනත් නිර්මාණවලටත් යම් යම් අවස්ථාවල බලපැවැත්වුණා නොවේද..?

ඔව්.1976 දී "ඒකා අධිපති"කියන නම අර්බුදයක් නොවුණට 2010 දී පෝස්ටරය ඇලවෙන තැන ඉඳලම අර්බුදය පටන් ගන්නවා.එක් එක් දේශපාලන න්‍යායපත්‍රයන් ඇතුළේ නාට්‍ය ප්‍රශ්න කිරීමට ලක්වෙනවා. කලාකෘතියක් ඒ විදිහට ප්‍රශ්න කිරීමට ලක්වීම කලාව ඇතුළේ"ප්‍රබල සන්නිවේදනයක්".මෙම අත්දැකීම ම මට ධවලභීෂණ""යක්ෂාගමනය""ට්‍රෝජන් කාන්තාවෝ"නාට්‍යය වලදීත් මුහුණ දෙන්න වෙනවා."ට්‍රෝජන් කාන්තාවෝ"නාට්‍යයේ රඟපෑව අයගේ ගෙවල් දොරවල් ගිනි තිබ්බා.සංගීත ශිල්පියාට තර්ජනය කරලා නිහඬ කෙරෙව්වා.

* වර්තමානයේ නාට්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඔබ දරන්නේ මොන වගේ අදහසක්ද..?

නාට්‍ය කලාව කියන්නේ වර්තමානයේ අන්තයටම පිරිහුණු කලාවක්.රාජ්‍ය මට්ටමින් එක එක උදාර වචන,උදාර වැඩපිළිවෙළවල් තිබුණට සැබෑ අර්ථයෙන් ගත්තම නාට්‍ය කලාව තියෙන්නේ ඉතා පහල අඩියකයි.

* ඔබගේ"ඒකා අධිපති"නාට්‍යයේ දෘෂ්ට්ය පිළිබඳ සැලකිල්ල යොමු කළොත් එහි කැරලි නායකයා සමස්ත සමාජයම වෙනස් කරන්නට කැරලිගසා තම බිරිඳගේ පතිවෘතය රැග ගැනීම කියන කාරණය සමාජ අරගලයට වඩා වටින බවට පෙන්වා දෙමින් මරණය කැඳවා ගන්නෙක්.70 දශකයේ දී කොහොම වුණත් 2010 දීත් ඒක යථාර්ථයක්ද..?

ඇත්තටම ඒක එහෙමම තමයි. බොහෝ කැරලිකෝලාහලයන් දිහා බැලුවම හරිම පුද්ගලවාදී ප්‍රවේශයන් තමයි දකින්නට තියෙන්නේ.බොහොම සුළු පුද්ගලික අභිමතාර්ථයන් නිසා තමයි බොහෝ ඒවා පරාජය වුණෙ.ඒකා අධිපති ඇතුළේ වුණත් වීරයෙක් නෑ.වීරයා මැරිලා.ඒත් මං මේ නාට්‍ය ගෙනාවේ විප්ලවීය අදහස් සමාජ ගත කරන්නවත්,මේ කෙන් ලාංකීය විප්ලවය කරන්න උගන්නන්නවත් නෙවෙයි.වීරයා මැරිලා වුණත් ඒ ගෙනියන අරගලකාරී ස්වභාවයක් අතරමං වෙනවා.ඒ අතරමං වන ප්‍රවේශය තුළම ප්‍රේක්ෂකයාට තීරණයක් ගන්න දීලා අපි නාට්‍යය නතරකරනවා.

* නාට්‍යයත් සමග හිනාවෙන ප්‍රෙක්ෂාගාරය එළයට බහින්නේ ඒ හිනාව එතනම තියල කියලයි පෙනෙන්නේ.ලාංකීය ප්‍රෙක්ෂාගාරය "වේදිකාවේ හාස්‍යය"දේශපාලනිකව බාර ගන්නේ යයි ඔබ හිතනවද..?

දැන් දැන් ප්‍රෙක්ෂකයින් ඒ දිහා සවිඥානකව බලනවා කියලයි මට හිතෙන්නේ. අපේ රටවල ‍ෆැසිස්ට්වාදී පාලනයක යම් යම් ඉරියව් හෝ ගතිකයන් දකින්නට තිබුණද එවැනි පාලනයක් මුළුමනින්ම කෙනෙකුට ගොඩනඟා ගැනීමට අපහසුයි.ඒක එක්තර විදිහක ලාංකීය ජන විඥානයේ තියෙන ප්‍රබලත්වයේ ලක්ෂණයක්.යම් සමාජයක් දුර්වල වෙන්න වෙන්න තමයි ඒකාධිපතිත්වයක් බිහිවෙන්නේ.බ්‍රෙක්ට් ගේ අදහස් ඇසුරෙන් කිවහොත් අපේම දුර්වලකම් නිසා තමයි අපට වඩා දුර්වලයෙක් අපිව මර්දනය කරගෙන නැඟිටින්නේ.ලෝකයේ දුබලයෙක් මිස ප්‍රබලයෙක් කිසි දවසක මිනිසුන් මර්දනය කරගෙන නැඟිටින්න උත්සාහ කරන්නේ නෑ. මේ යුගයේ අපට බර්ටෝල් බ්‍රෙක්ට්ව අධ්‍යයනය කරනවානම් ඔහුගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා.1976 දී මං අතින්"ඒකා අධිපති"බිහිවී 94 වෙද්දී ‍බ්‍රෙක්ට්ගේ නාට්‍යයක්"යක්ෂාගමන‍ය"හැටියට මගෙන් වේදිකාවට එනවා.

* ඔබගේ"හංස විල"චිත්‍රපටය තිරගත වූ කාලයේදී වැඩි අවධානයකට ලක්නොවුණත් ඒ සම්බන්ධයෙන් පසු කලෙක යම් කතිකාවක් නිර්මාණය වුණා.ඒ ගැන ඔබ ට කිවහැක්කේ කුමක්ද..?

ඕනෑම කලා කෘතියක් පිළිබඳ නිවරදි හෝ අර්ථාන්විත කතිකාවක් නිර්මාණය වෙන්නේ එකී කලා කෘතිය සමාජගත කරන කාල පරිච්ඡේදයට වඩා දශක ගණනාවකට පස්සේ.ඉතිහාසය කියන්නේ නොමියෙන මිනිසුන්ගේ නවාතැන්පොළටයි.නැවත නැවත පසුවිපරම් කරමින් ඒක සමාජගත කරන්නේ සමාජයමයි.ඕනෑම කලා කෘතියක් බලහත්කාරයෙන් සමාජගත කරන්නට බෑ.මගේ විශ්වාසයක් තියෙනවා මගේ"බව දුක"චිත්‍රපටය ගැන පවා පසු කලෙක විචාරකයින් වෙනස් විදිහට බලයි කියලා.

* ඔබගේ සැබෑ ජීවිතය තුළ ඔබගේ භූමිකාවන් තුළ වඩා කැමති නාට්‍යකරුවෙකුගේ භූමිකාවටද..?සිනමාකරුවකුගේ භූමිකාවටද..?

නාට්‍ය කරුවකුගේ භූමිකාවට මං වඩාත් කැමතියි.ඒක ඉතාමත් සජීවී මිනිස් සම්බන්ධයක් මත ගොඩනැඟිච්චි එකක්.ලියවෙච්චි පිටපතක් එක්ක වේදිකාවට ගියාට සැබෑ මනුස්සයන් තමයි මේක ජීවමාන කරන්නේ.මං ජීවත්වන සමාජ වටපිටාව කෙබඳුද කියන එක මට එතනදී අහුවෙනවා.ඒක මට පිටපතෙන් අහුවෙන්නේ නෑ.වර්තමානයේ මහා විකෘතියක් වු දේශපාලන ධාරවත් එක්ක මං එකඟ නොවෙන්නේ මේ නාට්‍ය කලාවෙන් මට ලැබුණු දැනුම නිසයි.ඒ දැනුම මට අම්මවත් තාත්තවත් දුන්නේ නෑ.මගේ ගුරුවරුන්වත් දුන්නේ නෑ.මට දැනුම දුන් ගුරුවරුන් පවා මේකෙ ගොදුරක් වෙලා පෙරහැරේ යද්දී මං විතරක් උපේක්ෂාවෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා.ඒ කලා කෘති වලින්ම මට ලබා දුන් දැනුමට ලංකාවේ කිසිදු බුද්ධිමතෙකුට ළංවෙන්න බෑ."බවදුක"චිත්‍රපටයෙන් මං මේ ඉරණම එදා කතා කරා.ඒත් "බවදුක"මිනිසුන් නොබලපු කලා කෘතියක් බවට පත්වුණා.මං ඒකයි මුලිනුත් කීවේ කාලයක් ගිහින් හරි"හංසවිල"ට ලැබුණු සාධාරණත්වය"බවදුක"ටත් ලැබෙයි කියලා.ඒක තමයි කලාවේ විශිෂ්ටත්වය කියන්නේ.

* එයින් ඔබ විශිෂ්ට කලාකරුවෙක් යයි ඔබ විසින්ම අර්ථගන්වා ගැනීමක් කරනවද?

නෑ.මං එයින් අදහස් ක‍ළේ මං විශිෂ්ට කලාකරුවෙක් කියන එක නෙවෙයි.කලාව විශිෂ්ටයි කියන එකයි.උදාහරණයක් විදිහට හිතුවොත් තව අවුරුදු සීයකින් කවුරු හරි සිංහලේ මහා වංශ කතාව කරනවනම් අද පල්වෙලා ගඳගහන මේ මඩ වළ මගහැර යන්න පුළුවන්ද..?කවුරු හරි මේ මඩ වළ මගහැර යනවානම් ඒ ප්‍රෝඪාකාරයට තවත් සියක් වසරකදී ජීවත්වෙන්නට මිනිසුන් ඉඩදෙයිද?

* මේ යුගයේ කලාකරුවාට යම් සමාජ වගකීමක් පැවරී ඇතැයි ඔබ විශ්වාස කරන බවක් එයින් අදහස් වෙනවද?

මේක විපත් මත ගොඩනැඟිච්චි සමාජයක්.ඒක කාටවත් නෑ කියන්ඩ බෑ.කලාකෘති නිර්මාණය කරලා මේක ගොඩගන්න පුළුවන් කියලා කවුරුහරි හිතනවනම් ඒක හිතළුවක් විතරයි.ඒත් අඩුම ගානේ මේ ව්‍යසනය දකින්නටවත් කලාකරුවාට තියෙන අයිතිය අපි පිළිගන්න ඕන.ඒ අයිතියත් නැති කරනවානම් ඉතිං දෙයියන්ගෙම පිහිටයි.

* ලාංකීය සමාජය තුළ මේ තරම් සමාජ ඛේදවාචකයත් අතිදකිම්න් තිබියදීත්,ජාතික ප්‍රශ්නය හා යුදමය වාතවරණය,දකුණේ ඇතිවුණු කැරලි කොලාහලයන් පවා කෙතරම් තීරණාත්මක වුවත් ඒකී අත්දැකීම් ගැඹුරින් ස්පර්ශ කරන කලාවක් අපේ කලාකරුවන් අතින් බිහිවුණේ නෑ.ඒ ඇයි?

ඒක ඇත්ත.ඔය ප්‍රශ්නෙම අපට වෙන විදිහකට අහන්න පුළුවන්.ලංකාවේ ස්වතන්ත්‍ර නිර්මාණ බිහිනොවී පරිවර්තන බිහිවෙන්නේ ඇයි කියලා.ලාංකීය සමාජය වග විභාග කිරිම ඉතා වැදගත්.යුද්ධය සැලකිල්ලට ගත්තත් යුද්ධයේ අනෙක් පාර්ශවකරුවා වග විභාග කෙරෙන්නේ නෑ. ඉරි ගහලා වෙන් කරගෙන බෙදුම් රේඛාවක් මැද්දේ ඉඳගෙන අපේ අය ඒක පාර්ශවීය නිර්මාණ කරනවා.මෙම බෙඳුම් රේඛාව අභිබවා යන්නට බැරිකම නිසා කොයිතරම් ඛේදවාචකයක් අපිව ගිළගත්තත් අපට හොඳ නිර්මාණයක් කර ගන්න බැරිවී තියෙනවා.ඒත් ඉන්දීය ලේඛකයින්,දෙමළ ලේඛකයින් මේ සීමා බිඳගෙන ගිහින් තියෙනවා.දෙමළ ලේඛකයෙකුගේ කවියක් සිංහලට පරිවර්තනය වුණත් ඒ හෘද ස්පන්දනය අපට දැනෙනවා.

* හැදෑරීමක් කැපකිරීමක් නොමැතිවීමත් මේ තත්ත්වයට හේතුවක් ලෙස ඇතැම් අය දකිනවා.ඔබ ඊට එකඟද..?

එකඟවෙනවා විතරක් නෙවෙයි මං ඊට තවත් කාරණා දෙකක් එකතු කරනවා.අපට චින්තකයෝ නැතිවීමත්,අපි දූපත් වැසියෝ වීමත් මේ ඛේදවාචකයට හේතුවෙනවා.අපේ සමාජය ගැඹුරින් වග විභාග කරපු අපේ චින්තකයෙක් කියපු,ලියපු දෙයක් උපුටා දක්වන්නට අපට හැකියාවක් නෑ."මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම"යි කියල බණ්ඩාරනායක කීව කියයි.ඒ පාඨය උපුටල ඡන්ද ටිකක් කඩා ගන්න පුළුවන් වුණාට ලාංකීය සමාජය විනිවිද දකින්න පුළුවන්ද.?අනෙක් අතට අපි දූපතක හිරවෙලා නිසාම අපි බොහෝ දේ ගත්තේ පිටින්.ණයට.එහෙමත් නැත්නම් කුලියට.ඒත් ඒ බව පිළිගන්න අකමැති නිසා අපේ අය බොහෝ දෙනෙක් විදේශයන්ට විරුද්ධයි.හැබැයි ඒ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න හොයාගන්න සටන්පාඨ ටික ගන්නෙත් ඒ රටවලින්ම ණයටමයි.ඒ හින්දා ඒ විරෝධයන් පවා"ජෝක්"බවට පත්වෙනවා.ඒ"‍‍ජෝක්"එක අපි තව තවත් සංවර්ධනය කරනවා.අපි අද දවසේ විරුද්ධ වෙන හැම බලවේගයක්ම අපට යමක් උගන්නලා තියෙනවා.මේක තේරෙන පිරිසකුත් රටේ ඉන්නවා.ඒත් ඒ අය මේ මොහොතේ නිශ්ශබ්දයි.

*බොහෝ ප්‍රවීණයන් සඳහන් කරන්නේ 60-70 දශකය කලාවේ ස්වර්ණමය යුගය කියලයි.ඔබත් ඒ අදහසේම කොටස්කාරයෙක්ද..?

ඇත්තටම.මගේ"ඒකාධිපති"නාට්‍යයෙන්ම ඒකට උදාහරණ ගන්න පුළුවන්.එදා කිසිදු ආරාධනාවකින් තොරව පක්ෂ විපක්ෂ හැම දේශපාලනඥයෙක්ම මගේ නාට්‍යය බලන්න ආවා.සමහර අය මට කතා කරා.සමහර අය කතා කළේ නෑ.සමහර අය එක්ක මගේ කිසිම කතා බහක්වත් ජීවිත කාලේ පුරාවට සිද්දවෙලා තිබුණේ නෑ.ඒත් මේ හැමෝටම යම් කලාකෘතියක් බලන්න,රසවිඳින්න විවේක බුද්ධිය තිබුණා.කලා කෘතියක් වෙනුවෙන් ඒ හැමෝටම වාඩිවෙලා ඉන්නට හැකි කාලපරිච්ඡේදයක් තිබුණා.ඒත් ඒ කාලය,අවකාශය නැතිවුණේ කලාකරුවෝ නිසා නෙවෙයි.ඔවුන්ගේම සටකපට,කූට උපක්‍රමශීලි බඩගෝස්තරවාදය නිසයි.අද නාට්‍යයක් කරාම බලන්න එන්නේ ප්‍රේක්ෂකයා නෙවෙයි.යාළුවෝ ටිකයි,නෑදෑයෝ ටිකයි,අනුග්‍රාහකයෝ ටිකයි විතරයි.මේකට හේතුව ලෙස එක එක්කෙනා එක එක මතවාද ප්‍රකාශ කරනවා.ඒත් සැබෑ හේතුව මේ එකක්වත් නෙවෙයි.රටේ කලාව පිරිහුණේ ලාංකිකයාගේ සංස්කෘතික ජීවිතය දේශපාලනඥයින් විසින් විනාශ කළ නිසයි.රටේ මිනිසුන් අවතැන් වුණේ යුද්ධයෙන් විතරක් නෙවෙයි.පාදඩ සංස්කෘතියෙනුත් අවතැන්වුණා.ඒ අවතැන් වුණු ප්‍රේක්ෂාගාරය අමතන්නට සිදුවී ඇත්තේත් අපටමයි.ඒක දැවැන්ත ඛේදවාචකයක්.

* නව පරපුරේ නිර්මාණකරුවන් දිහා වපරැහින් බැලීම බොහෝ ප්‍රවීණයන්ගේ ලක්ෂණයක්.ඔබත් ඒ එහෙමද..?

නෑ.මේ තත්ත්වයට නව පරපුර විතරක් වග කියන්න ඕන නෑ.අපේ පරම්පරාවන් මේ අයට හරියට බැටන් එක දුන්නේ නෑ.එතනත් ‍වැරැද්දක් තියෙනවා.ඒත් මේ තියෙන තත්ත්වය අපි සැබෑ ලෙස පිළිගත යුතුයි.අද තරුණ පරපුරේ බොහෝ නිර්මාණවලට තේමාවෙන්නේ ප්‍රේමය නැත්නම් ලිංගික ගැටලු.ඒක නරක නෑ.ඒවත් තියෙන්න ඕන.හැබැයි ලිංගික ගැටලුව චිත්‍රපටයක් වෙනකොට අර බම්බලපිටියේ මුහුඳු තීරයේදී දෙනොදහක් බලාගෙන ඉඳිද්දී අමානුෂික විදිහට පහරදීල රෝගියෙක් මරල දාන එක කෙටි චිත්‍රපටයක්වත් නොවෙන්නේ ඇයි?එදා මං සුගත් අයියගේ(සුගතපාලද සිල්වා)නාට්‍යයක් බලලා එළියට එන්නේ හිස් අතින් නෙවෙයි.තුන් දෙනෙක් අරගෙන.ඒ තමයි ජැක්සන් ඇන්තනී,ඩබ්ලිව්.ජයසිරි,‍කෞෂල්‍යා ප්‍රනාන්දු.අද මට නාට්‍යයක් බලලා එළියට එද්දී එක්කරගෙන එන්න කවුරුවත් ඉන්නවද?එතනයි ප්‍රශ්නය තියෙන්නේ.

වේදිකාවට නව ආලෝකයක් තටු සිඳුන කිරිල්ලී හා මැටි කරත්තය

Auhtor: ජයන්ත අරවින්ද
Date:28/02/2010
Source: Silumina

ප
සුගිය දා ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී වේදිකා ගත වුණු ‘තටු සිඳුන කිරිල්ලී’ නාට්‍යය ස්වභාවික නොහොත් තාත්වික (realistic) ශෛලිය ඔස්සේ රචනා කොට නිෂ්පාදිත වූ වේදිකා නාට්‍යයකි. එහි රචක හා නිෂ්පාදිකා ව වූයේ ශාමලී ජයවීරයි. මේ ඇගේ පළමු නිෂ්පාදනයයි.

මෙවන් කාර්ය බහුල යුගයක චරිත විස්සකට අධික නළු නිළි පිරිසක් සමඟ පැය දෙකක පමණ නාට්‍යයක් සංගීතය වැනි අංගයන්ගෙන් ද සමන්විතව දින ගණනාවක් පුහුණු වී මෙසේ තරුණ කාන්තාවක් අතින් නාට්‍යය රචනා වී තමා අතින් ම නිෂ්පාදනය වීම සැබවින් ම සියලු නාට්‍ය රසිකයින්ගේ නො මඳ ප්‍රශංසාවට භාජනය විය යුත්තකි.

නාට්‍යයේ තේමාව හා කථා වස්තුව සුලබ එකක් වුව ද, කුළුඳුල් නිෂ්පාදනයක් වශයෙන් සලකන කළ, ප්‍රයත්නය සතුටු දායක ය. ඉහළ පෙළැන්තියේ පවුලකට අයත් ‘දුලානි’ විශ්ව විද්‍යාලයට ඇතුළුවී පුද්ගලික බෝඩිමක වෙසෙමින් මත්ද්‍රව්‍ය හා දුම්වැටී භාවිතයට ඇබ්බැහි වෙයි. ඇගේ මිත්‍ර සමාජය ද ඊට බලපායි. ඇය රෝගාතුර වේ. අන්තිමේ දී අයහපත් කල්ක්‍රියාවක් හේතුවෙන් පන්ති තහනමට ලක්වේ.

මේ අතර දියණිය පිළිබඳ මේ කිසිවක් නො දැන උසස් බලාපොරොත්තු තබාගෙන ඈත සිටින දෙමාපියෝ ඇයට උසස් පවුලකින් මංගල්‍යක් සැලසුම් කරති. පියා හෘද රෝගියෙකි.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹට පැමිණෙන දෙමාපියෝ දියණිය බලා ගැනීම සඳහා බෝඩිමට පැමිණෙන අතර දියණිය පිළිබඳ තොරතුරු හෙළි වී අතිශය කම්පාවට පත් වෙති. පියා හෘදයාබාධය උත්සන්න වී අවසන් හුස්ම හෙළයි.

නිෂ්පාදිකාව පසු ගිය වසරේ, ප්‍රවීණ නාට්‍යවේදී තිලක් ගුණවර්ධන විසින් බොරැල්ලේ ‘පුංචි තියටර්හි’ පවත්වාගෙන ගිය නාට්‍ය හා රංග කලා පාඨමාලාව සාර්ථක ලෙස හැදෑරූ තරුණ රංග ශිල්පිනියකි. පාඨමාලාව අවසන් වත් ම නිෂ්පාදනයක නියැළීමෙන් ඇය මෙබඳු නාට්‍ය පාඨමාලාවක පවත්නා මූලික අරමුණ ඉටු කළා ය.

නාට්‍යයේ නම ‘තටු සිඳුන කිරිල්ලී’ සංකේතාර්ථවත් ය. උසස් අධ්‍යාපනයේ සියලු අපේක්ෂාවන් භග්න කර ගෙන, ගතින් ද සිතික් ද අකර්මණ්‍ය වන ‘දුලානි’ තටු සිඳුන කිරිල්ලියකි.’ නාට්‍යයේ රඟපෑ සියලු ම නළු නිළියෝ තම භූමිකා හොඳීන් රඟපෑහ. ‘දුලානි’ ගේ අයහපත් චරිතය දැක ඇයට දැඩි ලෙස දොස් පවරමින් සදාචාර සම්පන්න ආදර්ශවත් චරිතයක් රඟ පෑහ.

දුලානිගේ අයහපත් චරිතය රඟ පාන, බෝඩිමේ අයිතිකාරිය, තමාට මනාලයකු සොයන අවස්ථාවේ ප්‍රේක්ෂකයින්ගේ විහිළුවට ලක් වන චරිතයක් බවට පත්වීම සුදුසු නොවේ.

පැරණි සුභාෂිතය වැනි උපදේශාත්මක ග්‍රන්ථයකින් උතුම් පුතකු පිළිබඳව විද්වත් චරිතයක් මගින් ආදර්ශ ඉදිරිපත් කරවන මේ නාට්‍යයේ සමහර චරිත හා අවස්ථා තුළින් විටින්විට ඉදිරිපත් වන විකට චය¸ා හා කියමන් මූලික තේමාවට පැටහැනි බවක් දක්වයි. අනවශ්‍ය හාස්‍යයක් උපදවයි.

අනාගතයේ දී වඩා සාර්ථක නිෂ්පාදනයක් නිෂ්පාදිකාවගෙන් බලාපොරොත්තු විය හැකි අතර, ඊට තුඩු දෙන ශක්‍යතා රචනය හා නිෂ්පාදිකාව තුළ පිළිබිඹු විය.

පරාක්‍රම නිරිඇල්ලගේ ‘මැටි කරත්තය’ නිෂ්පාදනය පසුගියදා ලයනල් වෙන්ඩ්ට් ශාලාවේ වේදිකා ගත විය. නිරිඇල්ල හැත්තෑව දශකය තුළ ධම්ම ජාගොඩ විසින් ලයනල් වෙන්ඩ්ට් රඟහල් පරිශ්‍රයේ ම දියත් කෙරුණු නාට්‍ය රංග කලා පාඨමාලා තුළින් තම මූලික කුසලතා ප්‍රගුණ කර ගෙන ඉන්පසු ‘වරෙන්තුව‘ ‘සෙක්කුව‘ වැනි ප්‍රශස්ත නාට්‍ය කීපයක් වේදිකාවට ගෙන ආ වත්මන් ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයෙකි. ‘අද ඔහු ‘ජන කරලිය’ නමින්, නාට්‍ය ගමින් ගමට ගෙන යන ඉතා කාලෝචිත ව්‍යාපෘතියක් දියත් කරමින් සිටී.

මැටි කරත්තය ‘ශුදාක’ නමැති භාරතීය කවියා විසින් 6 වන සියවසේ දී පමණ රචනා කරන ලද මෘච්ඡකටිකා’ නමැති සංස්කෘත නාට්‍ය ග්‍රන්ථයට පියදාස නිශ්ශංක’ කවියා විසින් 1959 දී කරන ලද සිංහල පරිවර්තනය ඇසුරින් කරන ලද නාට්‍ය නිෂ්පාදනයයි. හැටේ දශකය ආරම්භයේ දී මේ පරිවර්තනය ම ඇසුරින්, ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදකයකු වූ පී. වැලිකල විසින් මැටි කරත්තය නාට්‍යය නිෂ්පාදනය කොට තිබුණි. අද එය සපුරා අභාවිත ය.

වසර පනහකින් පසු නැවතත් මැටි කරත්තය වේදිකාවට ගෙන එමින්, සංස්කෘත කාව්‍යමය නාට්‍යයක් වත්මන් සිංහල නාට්‍ය රසිකයින්ට හඳුන්වා දීමට දරන ලද වැදගත් ප්‍රයත්නය පිළිබඳ ව නිෂ්පාදකයා නාට්‍ය රසිකයන්ගේ ප්‍රශංසාවට භාජනය විය යුත්තේ ය. අංක දහයකින් යුත් ‘මැටි කරත්තයේ’ දීර්ඝ කථා වස්තුව පැය දෙක හමාරක පමණ කාලයකට කෙටි කර තිබුණු නමුත්, මුල මැද අග වශයෙන් කථා වස්තුවේ ආකෘතියට හානියක් නො වී මුඛ්‍ය සිදුවීම් සියල්ල නිෂ්පාදකයා විසින් නාට්‍යමය ලක්ෂණ රැකෙන පරිදි ගොනු කර තිබුණි.

නළු නිළියෝ සියල්ලෝ ම පාහේ දක්ෂ ලෙස රඟ පෑහ. ධාරු දත්ත රංගනය හා ගායනය යන අංග දෙකින් ම කැපී පෙනුණි. මුල සිට අග දක්වා ප්‍රාණවත් හා ජංගම ස්වභාවයක් නාට්‍ය පුරා පැතිරී තිබුණි. ගායනය හා පසුබිම් සංගීතය උසස් මට්ටමකින් පැවතුණි. අවසාන භාගයේ සමහර ගීත තවදුරටත් පුහුණු කළ යුතු තත්ත්වයේ විය.

‘වසන්ත සේනා’ ගේ ගායනා තව දුරටත් වර්ධනය කළ හැකි ය. ඇගේ රඟපෑම උසස් ය. නළු නිළියෝ සියල්ලෝ ම පාහේ දක්ෂ ලෙස රඟපෑහ. නළු නිළියන්ගේ වචන උච්චාරණය ඉතා වේගවත් ව සිදුවීම නිසා ප්‍රේක්ෂකයන්ට බොහෝ අවස්ථාවල සංවාදවල අර්ථ නො වැටහී ගියේ ය.

නාට්‍යාරම්භයේ එන විචිත්‍ර සාමූහික නර්තනාංගය මුල් නාට්‍යයේ හෝ සිංහල පරිවර්තනයේ අංගයක් නො වන අතර, එයින් වැදගත් අරමුණක් ඉටු විණැයි කිව නො හැකි ය. ‘ශකාර’ විසින් ‘වසන්ත සේනා’ එලවා ගෙන යන අවස්ථාව නාට්‍ය ආරම්භයට වඩාත් හොඳ සිදුවීමක් වන්නට ඉඩ තිබුණි.

පියදාස නිශ්ශංක කවියා විසින් මහාචාර්ය සරච්චන්ද්‍රයින්ගේ පෙළඹවීම හා මඟ පෙන්වීම මත පරිවර්තනය කරන ලද ‘මැටි කරත්තය’, ‘රත්නාවලී’ නාගානන්ද, ‘ස්වප්න වාසවදත්තා’ වැනි සංස්කෘතික නාට්‍ය තුළින් ඒ දෙදෙනාම බලාපොරොත්තු වූයේ, සංස්කෘති නාට්‍ය කලාවේ ආභාසයෙන් දේශීය නාට්‍ය කලාවක් ගොඩනැඟීම ය. මේ පරිවර්තන සංස්කරණය කරන ලද්දේ ද සරච්චන්ද්‍රයින් විසිනි.

එක් අතකින් නාඩගම් ශෛලිය ඇසුරින් දේශීය නාට්‍ය සම්ප්‍රදායක් ගොඩනැඟෙන අතර තවත් අතකින් සංස්කෘත නාට්‍ය ආභාසයෙන් දේශීය සම්ප්‍රදාය ගොඩනැඟිය හැකි යැයි සරච්චන්ද්‍රයින් සිතුවාට සැක නැත. ඒ අදහස හා ආභාසය නැවතත් මතු කරලමින්, පී. වැලිකලගෙන් පසු ‘මැටි කරත්තය’ නැවතත් නිෂ්පාදනය වීම, දේශීය නාට්‍ය කලාවේ පුනරුදයක් මෙන් ම සරච්චන්ද්‍රයන්, පියදාස නිශ්ශංකයන් වැනි අය එලි පෙහෙළි කළ ඒ මාර්ගය තවදුරටත් ආලෝකමත් කිරීමක් බව කිව හැකි ය.

අපි පොතේ උගත්තු නෙමෙයි - චන්ද්‍රසිරි බෝගමුව

Author: මනෝලි සුබසිංහ

Date:10/02/2010

Source:Dinamina


කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ
ප්‍රතිබිම්භන මූලික කලා අධ්‍යයන ඒකකයේ අංශ ප්‍රධානී - චන්ද්‍රසිරි බෝගමුව

දශක ගණනාවක් පුරාවට නාට්‍ය කලාකරුවන්ට බුහුමන් ප්‍රණාම දක්වනු පිණිස එළි දැක්වෙන ‘අභිනය’ ග්‍රන්ථය නාට්‍ය කලාව උදෙසාම වෙන් වූ සුවිශේෂී ග්‍රන්ථයකි. දශකයක් තුළ බිහි වූ නිර්මාණකරුවන් අතරින් තෝරාගත් සුවිශේෂී නිර්මාණකරුවන් කිහිප දෙනෙකු හෝ නාට්‍ය කලාව උදෙසා මහඟු මෙහෙවරක් කළ ප්‍රවීණයකු ගේ සේවාව අගයමින් උපහාර වශයෙන් පළ කෙරෙන ‘අභිනය’ - 10 කලාපය මෙවර වෙන්වූයේ 80 දශකයේ තෝරාගත් නාට්‍යකරුවන් කිහිප දෙනෙකු සහ ඔවුන්ගේ විශිෂ්ට නිර්මාණ විශ්ලේෂණය සඳහා ය.

අසූව දශකයේ නාට්‍යකරුවන් හට ප්‍රණාම දක්වමින් නිකුත් කොට ඇති මෙවර ‘අභිනය - 10 කලාපය’ සංස්කරණය කොට ඇත්තේ ජාතික නාට්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයකු සේම කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ප්‍රතිභිම්භන මූලික කලා අධ්‍යයන ඒකකයේ (Image Arts) අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව මහතා යි.

චන්ද්‍රසිරි බෝගමුව මහතා විසින් සංස්කරණය කරන ලද දෙවැනි ‘අභිනය’ කලාපය මෙය වෙයි. ආදි ආනන්දියකු වන චන්ද්‍රසිරි බෝගමුව මහතා ග්‍රන්ථ කතුවරයකු හැරුණු විට මාධ්‍යවේදියෙකි. වීඩියෝ සංස්කරණය මෙන්ම ග්‍රන්ථ සංස්කරණ ශිල්පියෙකු ද වෙයි.

ඔබ ‘අභිනය’ කලාප දෙකක සංස්කාරකවරයෙක්. ‘අභිනය’ කලාපය උදෙසා නිර්මාණකරුවන් තෝරා ගැනීමේ දී විශේෂිත වූ නිර්ණායකයන් තිබෙනවා ද?

නාට්‍ය අනු මණ්ඩලයේ අපි “අභින” කලාපය මුද්‍රණය කිරීමේ දී හැමදාමත් එක්තරා පියවරක් අනුගමනය කරනවා. ඒ පියවර මෙවරත් අනුගමනය කළා.

ඒ තමයි “අභිනය” කලාපය තේමා දශකයේදී තම ප්‍රථම නාට්‍යය අධ්‍යක්ෂණය කරමින් නාට්‍ය ක්‍ෂේත්‍රයට පිවිසි නැතිනම් වඩාත්ම නිර්මාණශීලී නාට්‍ය ඉදිරිපත් කරමින් ඉන් අනතුරුව තවදුරටත් නාට්‍ය ක්‍ෂේත්‍රයේ රැදී සිටිමින් රංග කලාවේ විවිධ අංශවලට දායක වෙමින් සිංහල නාට්‍ය කලාවේ වර්ධනයට කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ යන නිර්ණායක යයි.

ඒ පදනමේ ඉඳලා අපි මෙවර අභිනය - 10 කලාපයටත් නාට්‍යකරුවන් දහ දෙනෙකු තෝරා ගත්තා. සෝමලතා සුබසිංහ, ජයලත් මනෝරත්න, සුසිල් ගුණරත්න, ඊ. එම්. ඩී. උපාලි, ජනක් ප්‍රේමලාල්, මංගල සේනානායක, ජයන්ත චන්ද්‍රසිරි, අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, ප්‍රසන්නජිත් අබේසූරිය යන නාට්‍යවේදීන් දස දෙනාගෙන් නාට්‍ය ලෝකය ඒකාලෝක කරන්නට ලැබුණු දායකත්වය සහ ඔවුන්ගේ නිර්මාණ දිවිය විමර්ශනය කරන්නටත් මෙම ප්‍රකාශය වෙන්කළා.

මේ හැමෝම 80 දශකයේදී වඩාත් ම ආකර්ෂණීය සහ ප්‍රශස්තම නාට්‍යය නිර්මාණය කරමින් නාට්‍ය ක්‍ෂේත්‍රයේ රැඳී සිටිමින් නාට්‍ය කලාවේ පෝෂණය දියුණුව උදෙසා විශාල වශයෙන් දායකත්වය දැක් වූ නාට්‍ය්‍ය ශිල්පීන් බව රටම දන්නා කාරණයක්.

නමුත් මේ නාට්‍යකරුවන් අතරේ සිටින සෝමලතා සුබසිංහ නාට්‍යවේදිනිය 80 දශකයට ගැළපෙන්නේ කොහොම ද? ඇය නාට්‍යවේදිනියක් ලෙස දීර්ඝ අත්දැකීම් ලද ජ්‍යෙෂ්ඨ ශිල්පිනියක්. මා නිවැරැදි නම් ඇයගේ නාට්‍ය කලාවට වූ මෙහෙවර අගයමින් අභින කලාපයක්ම වෙන් කළ යුතුව තිබුණා නේද?

ඇය අපට සිටින ජ්‍යෙෂ්ඨතම නාට්‍යවේදිනියක්. ඒ වගේම සිනමා නිළියක්. සෝමලතා සුබසිංහ ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදිනිය, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ, ගුණසේන ගලප්පත්ති වැනි ප්‍රවීණයනගේ නාට්‍යවල රඟපෑවත් ප්‍රසිද්ධ වේදිකාවේ නාට්‍ය අධ්‍යක්‍ෂණයට පිවිසෙන්නේ 80 දශකය ආරම්භයේදී යි. ඇගේ නාට්‍ය්‍ය කලාව තුළ සුවිශේෂිම දශකය වන්නේ් 80 දශකයයි.

සරච්චන්ද්‍රයන්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයෙන් 1969 දී රංගනයට පිවිසෙන ජයලත් මනෝරත්න නාට්‍ය අධ්‍යක්‍ෂණයට යොමු වෙන්නේ 1980 දී යි. මේ නාට්‍යකරුවන් දස දෙනාගෙම කැපී පෙනෙන නිර්මාණ රාශියක් බිහි වෙන්නේ 80 දශකයේ දී යි.

සෝමලතා සුබසිංහ කියන්නේ අපට සිටින ජ්‍යෙෂ්ඨතම, ප්‍රතිභාන්විත රංගන ශිල්පිනියක්, නාට්‍ය අධ්‍යක්‍ෂවරියක්. නාට්‍ය ගුරුවරියක් බව අප කිසිසේත්ම අමතක කරන්නේ නැහැ. ඇය විශිෂ්ට රංගන ශිල්පිනියක් බවට කිසිම සැකයක් නැහැ.

සංස්කෘතික අමාත්‍යංශය සහ ජාතික නාට්‍ය අනුමණ්ඩලය එක් වී එළිදක්වන මෙම ග්‍රන්ථයේ අරමුණ කුමක් ද?

නාට්‍ය හා රංග කලාව අද වන විට පාසල් මට්ටමින්, එනම් හය වසරෙන් පටන් ගෙන විශ්වවිද්‍යාල ශාස්ත්‍රපති (ර්ඒ) උපාධිය දක්වා උසස් අධ්‍යාපනය දක්වා මට්ටමකට ගෙනැවිත් තිබෙනවා.

එනිසා නාට්‍ය හා රංග කලාව හදාරන ඕනෑම සිසුවකුට මෙම පොත කියවීමෙන් දැනුමක් ලැබීය හැකියි. උසස් අධ්‍යාපනයට නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථයින්ට, ගුරු භවතුන්ට, විශ්වවිද්‍යාල විද්‍යාර්ථයින්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට නාට්‍ය හා රංග කලාව පර්යේෂණ කරන විද්වතුන්ට එක හා සමාන වැදගත්කමක් ඇති කෘතියක් වන බවට කිසිම සැකයක් නැහැ. ඇත්තටම නාට්‍ය හා රංග කලාව විෂයයට ඇල්මක් දක්වන අයට අභිනය කලාප අත්පොතක් විදියට ළඟ තබා

ගත හැකි වටිනා ග්‍රන්ථයක් බව මම පවසන්නේ එහි සංස්කාරවරයා හින්දම නෙමෙයි. මෙම ‘අභිනය - 10’ කලාපයට අන්තර්ගත ලිපි ලියූ ඒ විද්වත් කණ්ඩායම ගැනත් සිහිපත් කළ යුතුයි.

සුගත් වටගෙදර, විජේරත්න පතිරාජ, නිශ්ශංක දිද්දෙනිය, ඩග්ලස් සිරිවර්ධන, සමන් සොයිසා, පූජිත ද මෙල්, පියල් කාරියවසම්, සුනිල් මිහිඳුකුල, මහාචාර්ය සරත් විජේසූරිය, සෙනෙවිරත්න රොද්‍රිගු, නාට්‍යවේදීන් පිළිබඳ ලිපි ලිවීමෙන් දායක වී තිබෙනවා.

මේ නාට්‍යකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණ දිග හැරුමට අමතරව ම’විසින් ලියන ලද අසූව දශකයේ නාට්‍යකලාව පිළිබඳ විමසුමක් සහ ආචාර්ය සේනානායක්කාර විසින් ලියන ලද ‘වන්නියේ වේදිකාව‘ ගැන මගේ මතකය’ ලිපි දෙකක් මෙවර අභිනය කලාපයට ඇතුළත් වෙනවා.

මෙය ගුරුවරුන්ටත් ඉගෙන ගන්න දරුවන්ටත් තොරතුරු සොයා ගත හැකි කදිම පොතක්. සමකාලීන නාට්‍ය කලාව ගැන පර්යේෂණ කරන විද්වතුන්ට මෙම ග්‍රන්ථය තොරතුරු ගබඩාවක් හා සමානයි. ශාස්ත්‍රීය දැනුම සහිත වටිනා කමක් ඇති පොතක්.

අභිනය - 10 කලාපය ග්‍රන්ථය සංස්කාරක දක්වා ඔබ පැමිණි ගමන ගැන සිහිපත් කළොත් ?

කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ ආනන්දයෙන් ඉගෙනුම හමාර කරලා මම කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණේ 1976 දීයි. 1981 දී ලලිත කලා ගෞරව උපාධි හිමියෙකු විදියට විශ්ව විද්‍යාලයෙන් පිට වෙලා මම ටී එන් එල් රූපවාහිනි ආයතනයට සම්බන්ධ වුණා. වසර දහයක් පමණ කඩින් කඩ මම එහි වැඩසටහන් අධ්‍යක්‍ෂවරයෙකු, සංස්කරණ ශිල්පියෙකු ලෙස කටයුතු කළා.

සිංහල වේදිකා නාට්‍ය රූපවාහිනී මාධ්‍යයට පරිවර්තනය කරමින් වැඩිම දිගු වේදිකා නාට්‍ය ප්‍රමාණයක් නිර්මාණය කළේ මම යි. මම සංස්කරණය කළ ප්‍රථම සඟරාව වුණේ රාජ්‍ය නාට්‍ය්‍ය විශේෂ උත්සව කලාපය වූ ‘පංච’ සඟරාව යි. ‘රූපවාහිනි විද්‍යාව සහ කලාව‘ සහ ‘සමකාලීන සිංහල වේදිකාව‘ මම ලියූ ශාස්ත්‍රීය ග්‍රන්ථ දෙකක්.

වැඩිපුරම වේදිකා නාට්‍ය්‍ය කලාව ගැන ලියන්න පෙළඹුණේ ඇයි?

මගේ විනෝදාංශය සහ මම හුඟක් පරයේෂණ කළේ නාට්‍ය්‍ය පැත්තෙනුයි. ඒ වගේම මට දීර්ඝ කාලයක් තිස්සේ නාට්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා. එනිසා මම නාට්‍ය හුඟක් බලන්න පුරුදු වුණා.

ලංකාව පුරා යමින් අපි විශාල වශයෙන් නාට්‍ය බලමින් විනිශ්චය මණ්ඩලවල කටයුතු කරන්න ලැබීම නිසාත් නාට්‍ය කෙරෙහි මගේ බැඳීම තවත් වැඩි වුණා. ඒවගේම නාට්‍ය කලාව පිළිබඳ පොතපත ලියැවෙන අවස්ථා දකින්න ලැබෙන්නේ හරිම අඩුවෙන්. ඒ නිසා ඒ හිඩැස යම් තරමකින් හෝ පිරවීමේ දායකත්වය ට මමත් දායක වුණා වැනි හැඟීමක් අද මට තිබෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරයකු හැටියට ශාස්ත්‍රීය වශයෙන් එවැනි කටයුතුවල නියැලීම එක් අතකින් අපගේ වගකීමක් වෙනවා. අපි පොතේ උගත්තු නෙමෙයි. හුඟ දෙනෙක් ඉන්නේ එහෙම අයනේ. නමුත් අපි න්‍යායාත්මක කරුණු ඉගෙන ගෙන ප්‍රායෝගිකව භාවිතාවට එක් කළ උගත්තුයි.

නාට්‍ය කලාවේ හෙට දවස ගැන සුබ පෙරනිමිති දකින්නට තිබෙනවාද?

තිස් වසරක යුද්ධය නිමාවීමත් එක්ක දැන් දැන් ප්‍රේක්‍ෂකාගාර පිරි ඉතිරී යෑමක් අපි දකිනවා. තරුණ පිරිස් වැඩි වැඩියෙන් නාට්‍ය පැත්තට උනන්දු වන බවක් පෙනෙනවා. විශේෂයෙන්ම ප්‍රවීණ නාට්‍ය නිර්මාණකරුවන් නාට්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉවත් වන කොට නවක දක්‍ෂ තරුණ පිරිස් නාට්‍ය නිර්මාණයට ඉදිරිපත් වන බවක් පෙනෙනවා. ඇත්තටම මේ තරුණයෝ දක්‍ෂයි.

ඒ බව අපි පසුගිය කාලේ පුරාවට දැක්කා. නාට්‍ය ක්‍ෂේත්‍රය තුළ මෙවැනි දක්‍ෂතා පිරි පිරිසක් බිහි වීමට බල පෑ ප්‍රධාන සාධකයක් හැටියට මම හිතන්නේ විධිමත් නාට්‍ය පාඨමාලා දැනුම.

ඉස්සර නාට්‍ය හැදුවේ ආසාවට ඉවෙන් වගෙයි. නමුත් දැන් එහෙම නෙමෙයි. ක්‍රමානුකූලව විදිමත්ව නාට්‍ය උගත් දරු පරපුරක් මේ ක්‍ෂේත්‍රයේ සිටීම නිසා එහි ප්‍රතිඵලයක් විදියට පෙරට වඩා නිර්මාණාත්මක පැත්තෙන් නාට්‍ය කලාවේ ප්‍රබෝධයක් දකින්න පුළුවන් කිව්වොත් නිවැරැදියි. නාට්‍ය කලාව කියන්නේ තරුණ ජවයෙන් ඉදිරියට යන කලාවක්.

යෞවනත්වයේ ජවයත් එක්ක තමයි වේදිකා නාට්‍ය කලාවේ ප්‍රබෝධය පවතින්නේ. ඒ නිසා නාට්‍ය කලාවේ හෙට දවස අඳුරු නැහැ.

කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව සහ ප්‍රතිබිම්භන මූලික කලා අධ්‍යයන අංශයේ වර්තමාන අංශාධිපති ඔබයි. මේ නව තනතුර සමඟ ඔබගේ මතු බලාපොරොත්තු මොනවාද?

මෙම අංශය මඟින් දැනට ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය සහ විශේෂවේදී ලෙස උපාධි පාඨමාලා දෙකක් උගන්වනවා. ඒවගේම නාට්‍ය කලාව පැත්තෙන් මම නිතරම විද්‍යාර්ථයින් ඉදිරියට ගෙනයන්නට වැඩපිළිවෙළවල් සකස් කර තිබෙනවා.

මේ මාසේ 15 වැනිදා ඉඳලා 19 වැනිදා දක්වා නාට්‍ය උළෙලක් විශ්වවිද්‍යාල ධර්මාලෝක ශාලාවේදී පැවැත්වෙනවා. ඒ වගේම ලබන වර්ෂයේ සිට සිනමාව සහ රූපවාහිනි පිළිබඳව ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවක් (BA in film and Televition) හඳුන්වා දෙන්නටත් සැලසුම් සකස් කර තිබෙනවා.

මේ කටයුත්ත ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන්ගේ මූලිකත්වය ඇතිව සකස් කළේ. අධ්‍යයන අංශය හරහා කරන්නට බලාපොරොත්තු වන අලුත්ම වැඩපිළිවෙළ එයයි.

දියුණු සංස්කෘතික මිනිසා අපට අහිමි වුණේ නාට්‍ය කලාවේ බිඳ වැටීමෙන් - නාට්‍යවේදී බුද්ධික දමයන්ත

Author: නුවන් නයනජිත් කුමාර
Date: 28/06/2008
Source: Silumina

නානාවිධ හේතූන් මත අද්‍යතනයෙහි වේදිකා නාට්‍ය කලාව දැඩි අර්බුදයකට මුහුණපා සිටින බව පැවැසීම අසත්‍යයක් නොවේ. දේශීය නාට්‍ය කලාව සුපෝෂණය කළ පුරෝගාමීන් අල්පයෙන් දැනට ජීවත් ව සිටින එක ම නාට්‍යවේදියා වන හෙන්රි ජයසේනයන් පසුගියදා මා හට පැවැසුවේ කෙබඳු දුෂ්කරතා මධ්‍යයේ වුවත් තවමත් නාට්‍ය කලාව හැර නොගිය තරුණයන්ට වෙනම ත්‍යාගයක් දිය යුතු බව ය.

පෙර පරපුරේ කෘතහස්ත නාට්‍යවේදීන් නිසි ලෙස කියවා සම්ප‍්‍රදාය මැනවින් හැඳීන එය කලානුරූපව වෙනස් කොට ගත් නූතනවාදී, තරුණ ප‍්‍රතිභාපූර්ණ නාට්‍යවේදීන් අතර බුද්ධික දමයන්ත ප‍්‍රමුඛයෙකි. 1994 නාට්‍යකරණයට ප‍්‍රවිෂ්ට වූ ඔහු මේ වන විට නාට්‍ය 12 ක් නිර්මාණය කොට තිබේ.

“අධිපතියාගේ මරණ මංචකය” (සැමුවෙල් බෙකට්ගේ ”End Game”ඇසුරෙන්) ඔස්සේ කුලුඳුල් නිර්මාණ ලකුණ තැබූ බුද්ධික, “පාදඩයා” (1996 – එඩ්වඩ් ඇල්බීගේ ”The Zoo Story” ඇසුරෙන්), “පළිඟු රෑන” (1997 - ටෙනිසි විලියම්ස්ගේ ”The Glass Managerie” ඇසුරෙන්), “දවස තවම ගෙවුණේ නැහැ” (1998 – මුරේ චිගල්ගේ ”The Typist” ඇසුරෙන්), “බන්සි මැරිල නැහැ” (1999 – ඇතොල් ෆුගාඩ්ගේ ”Sizwe Bansi is Dead” ඇසුරෙන්), “අපේ පන්ති කාමරය” (2000 – ඇතොල් ෆුගාඩ්ගේ ”My Children My Africa” ඇසුරෙන්), “රැකවලා” (2001 – හැරල්ඩ් පින්ටර්ගේ ”The Caretaker” ඇසුරෙනි), “මාස්ටර් හැරල්ඩ්, (2002 – ඇතල් ෆුගාඩ්ගේ ”Master Harold and the boys” ඇසුරෙනි), “පරණ අයගෙ කතාවක්” (2004 – ඇලෙක්සි ආර්බුසොව්ගේ ”An old world comedy” ඇසුරෙන්) “පුංචි ආදර බලකිරීමක්” (2005 – විජේ තෙන්ඩුල්කාර්ගේ ”A Friend’s story” ඇසුරෙන්), “වෙස් මුහුණ” (2007 - හෙන්රික් ඉබ්සන්ගේ ”Ghosts” ඇසුරෙන්) යනාදී නාට්‍ය කෙටි කලක් ඇතුළත සහෘදයාට තිළිණ කළේ ය.

ඔහු මෙතෙක් නිමැයූ එක ම ස්වතන්ත‍්‍ර නාට්‍යය “පුතා එනකන්” (2007) ය. බුද්ධිකගේ අභිනව නාට්‍යය තව නොබෝ දිනකින් ම එළිදකිනු ඇත. මෙවර ඔහුගේ අවධානය ප‍්‍රහසන නාට්‍ය ධාරාව වෙත යොමු වී තිබීම සුවිශේෂත්වයකි.

”අවුරුදු ගණනාවකට පසුව මෙවර මා ප‍්‍රථම වරට “සුරඟනක් ඇවිත්” නමින් ප‍්‍රහසන නාට්‍යයක් නිර්මාණය කරමින් සිටිනවා. ප‍්‍රකට ඇමරිකානු නාට්‍යවේදී නීල් සයිමන්ගේ ”THE STAR SPANGLED GIRL”නාට්‍යය ඇසුරෙන් පරිවර්තිත මෙය රචනා කළේ සුනිල් චන්ද්‍රසිරි.

ජුලි 9 – 10 දෙදින කොළඹ ලුම්බිණි රඟහලේදී මෙය දොරට වැඩීමට නියමිතයි. සුජීව පි‍්‍රයලාල්, මහේන්ද්‍ර වීරරත්න, මාධනී මල්වත්ත වැනි මගේ නාට්‍ය රැසක රඟපාමින් පළපුරුද්ද ලැබූ පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා. මීට ප‍්‍රථම සම්භාව්‍ය අභූතරූපී (ABSURD) නාට්‍ය බහුල ව නිර්මාණය කළ මා පළමුවරටයි මෙවර ප‍්‍රහසනයක් වෙත යොමු වුණේ.”

ඔබ නීල් සයිමන්ගේ ”THE STAR SPANGLED GIRL” කෘතිය සිංහල වේදිකාවට ගෙන ඒමට බලපෑ විශේෂ හේතු මොනවද?

”පසුගිය අවුරුද්දෙ මා තීරණය කළා නාට්‍ය දෙකක් නිර්මාණය කරන්න. “උතුරු කොණට පටු පාරක්” ඉන් එකක්. අනෙක “සුරඟනක් ඇවිත්” මේ නාට්‍ය යුගල දවස් දෙකක ඉදිරිපත් කරන්නයි මා සිතා සිටියේ. නමුත් විවිධ හේතුන් මත එය වෙනස් වුණා.

“උතුරු කොණට පටු පාරක්” නාට්‍යය පසුගිය වසරෙ නිර්මාණය කළා. මෙය ඇතොල් ෆුගාඩ්ගේ නාට්‍යයක් ඇසුරින් බිහි වූවක්. මහේන්ද්‍ර වීරරත්නයි, මාධනී මල්වත්තයි, මායි මෙහි ප‍්‍රධාන චරිත රඟපෑවා. එය මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටයට තේරී තිබෙනවා. “සුරඟනක් ඇවිත්” වසරක් පමාවුණා”

”අධිපතියාගේ මරණ මංචකය” ඔස්සේ නාට්‍යකරණයට පිවිසෙන කාලයේ ඔබ තාරුණ්‍යයේ එළිපත්තේ සිටියේ. සැමුවෙල් බෙකට්ගේ ගැඹුරු අභූතරූපී නාට්‍යයකින් (END GAME) මෙය බිහි වුණේ.

”ඒ වන විට මගේ වයස අවුරුදු 23 යි. නාට්‍ය කලාවට පිවිසෙන්න තියෙන දැඩි ඇල්ම නිසයි මෙය කළේ. සැමුවෙල් බෙකට්ගේ නාට්‍යයක් සිංහල වේදිකාවට ගෙන ඒම ඒ වයසට ඔරොත්තු දෙන්නේ නැහැ. අපි ඒ නාට්‍යය කළේ කොහොමද කියල හිතනකොට අදත් මට පුදුමයි. ගිහාන් ප‍්‍රනාන්දු වැනි අද ප‍්‍රකට නළුවෝ එදා එහි රඟපෑවේ. 1994 යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය ලෙස මෙයට සම්මාන ලැබුණා. සුගතපාල ද සිල්වා සූරීන් තමයි විනිශ්චය මණ්ඩලයේ සිටියේ.

එදා මට ලැබුණු හයිය නිසා තමයි අදත් බාධක මැද නාට්‍ය කලාවේ දුෂ්කර කි‍්‍රයා කරමින් රැඳී සිටින්නේ. මුදලට මුල් තැන දෙන බඩගෝස්තරවාදී සමාජ ක‍්‍රමයක අඛණ්ඩව නාට්‍ය නිර්මාණය කරන්න කෙනෙකුට “පිස්සුවක්”, “මොළේ අමාරුවක්” තියෙන්න ඕනෑ. නිර්මාණකරුවෙක් නාට්‍යයක්, දෙකක් කරයි. නමුත් දිගටම නාට්‍ය 10 ක් 12 ක් කරන්න අද වැනි යුගයක “ලොකු ආබාධයක්” තියෙන්න ඕනෑ. මං වගේ එහෙම පිස්සු කොල්ලො තුන් හතර දෙනෙක් තවමත් නාට්‍ය කලාවෙ ඉන්නවා.

පාසලෙන් සමුගත් පසුව මා කිසිදු වෙනත් වෘත්තියක නියැළුණේ නැහැ. එදත් අදත් මා පූර්ණකාලීන නාට්‍යකරුවෙක්. පුදුමයි නේද? සමාජය අපි දිහා බලන්නේ “විහිළුකාරයෝ” දිහා බලනවා වගේ.”

ඔබ මෙතෙක් නිමැයූ නාට්‍ය බහුතරයක් පරිවර්තිත කෘති. ස්වතන්ත‍්‍ර නාට්‍යවලට වඩා පරිවර්තන කෙරෙහි වඩාත් නැඹුරු වූයේ මන්ද?

”දැන් ඉන්දියාව වැනි රටවල ලෝකයේ විවිධ රටවල බිහි වන සාහිත්‍ය, නාට්‍ය කෘති තමන්ගේ භාෂාවන්ට පරිවර්තනය කොට ගන්නවා. ලෝක දැනුමයි ඔවුන් මේවායින් උකහා ගන්නේ. ඒ රටවල සාහිත්‍ය මණ්ඩලවලින් ඒවා පරිවර්තනය කරන්නේ. ලංකාවේ අඩු තරමේ ශේක්ස්පියර්ගේ කෘතියක් වත් මෙබඳු සාහිත්‍ය මණ්ඩලයකින් පරිවර්තනය කරල නැහැ.

කේ.ජී. කරුණාතිලක වැනි තනි ලේඛකයන් පරිවර්තනය කළ අල්පයක් තිබෙනවා. ප‍්‍රංශයේ හොඳ නාට්‍යයක් බිහි වුණොත් ඇමරිකාව, එංගලන්තය වැනි රටවල් එය තමන්ගේ බසට පරිවර්තනය කර ගන්නවා. මේ ලබා ගන්නේ සංස්කෘතික දැනුමක්. මා සිංහල වේදිකාවට ගෙන ආවේ ලෝක නාට්‍ය සාහිත්‍යයෙන් උකහා ගත් සංස්කෘතික දැනුම.”

ලෝකයෙන් අප ලබන දැනුම හැරුණුවිට මෙරටට පමණක් ආවේණික සමාජ, ආර්ථික, දේශපාලන ගැටලු, යෞවනත්වය හා බැඳුණු ප‍්‍රශ්න කොතෙකුත් තිබෙනවා. මේවාට සංවේදී වීමෙන් ඔබ ස්වතන්ත‍්‍ර නාට්‍ය බිහි කිරීමට උත්සුක නොවූයේ සෞන්දර්යාත්මක පරතරය (AESTHETIC DISTANCE) නමැති සංකල්පයට මූලිකත්වය දීම නිසා යැයි මා සිතනවා. එනම් මෙරට සමාජ යථාර්ථය පෙන්වීමට විදෙස් කෘති ඉවහල් කර ගැනීමයි.

”ඇත්ත. මෙරට සමාජය හොඳින් කියවල නිර්මාණකරුවකු ලෙස මා කිවයුතු යැයි හැඟුණු දේ තමයි පරිවර්තන නාට්‍ය ඔස්සේ වඩා හොඳින් ඉදිරිපත් කළේ. අනෙක් අතට මෙරට සමාජ, දේශපාලන, ආර්ථික කරුණු ඍජු ව පරිණත ව රචනා කිරීම ලේසි පහසු දෙයක් නොවේ. අනෙක මා නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් පමණයි.

පිටපත් රචකයෙක්, ගායකයෙක්, නළු කලා උපදේශකවරයෙක්, ප‍්‍රචාරක දැන්වීම් ශිල්පියෙක් නෙමෙයි. මට හැකියාව තිබුණා ලෝකයේ තිබෙන උසස් නාට්‍ය කියවලා ඉන් මා කම්පනයට පත් කළ නාට්‍ය සිංහල වේදිකාවට ගේන්න. එය ස්වතන්ත‍්‍ර ද පරිවර්තන ද යන්න මෙහිදී මට වැදගත් වුණේ නැහැ. ලෝකයේ බොහෝ දියුණු රටවල් නාට්‍ය කලාවට උසස් තැනක් ලබා දෙනවා. අපේ රටේ කවදත් මේ කලාවේ වටිනාකම තේරුම් ගත්තෙ නැහැ. අපේ රටේ සංස්කෘතික මිනිසාගේ බිඳ වැටීමට බලපෑවෙත් මේ හේතුවයි.”

1977 න් පසුව මෙරට බිහි වුණේ අක් මුල් නැතිව දලු ආ තරුණ පරම්පරාවක්. ජනපි‍්‍රය සංස්කෘතිය නමැති සුනාමියට හසු වූ බහුතර තරුණ පෙළ ආතක් පාතක් නැති ව එහි ගසා ගියා. අවශේෂ කලාවන්ට අත්වූ ඉරණමට නාට්‍ය කලාවත් මුහුණ පෑවා.

ඔබ, රාජිත දිසානායක, පියල් කාරියවසම්,ධනංජය කරුණාරත්න, තුමිඳු දොඩන්තැන්න, පූජිත ද මැල්, සහන් රන්වල වැනි තරුණයන් අල්පයක් උඩුගං බලා පිහිනමින් පෙර නාට්‍ය කලාවේ තිබූ ස්වර්ණමය යුගය නැවත ළඟා කර ගැනීමට වෙර දරනවා.

”එදා උසස් නාට්‍ය බිහිවුණා. උසස් රසඥතාවක් තියෙන පෙ‍්‍ර්ක්ෂක පිරිසක් සිටියා. හරවත් කලාවට, කලාකරුවන්ට අනුබල දෙන, අනුප‍්‍රාණය සපයන මාධ්‍ය යාන්ත‍්‍රණයක්, විචාර කලාවක් තිබුණා. ඒත් ඔබ කී සමාජ පෙරළියත් සමඟ මේ ස්වර්ණමය අවධිය ක‍්‍රමයෙන් බිඳ වැටුණා.

දැන් අපේ පරම්පරාවට කලින් නාට්‍යකරණයෙහි නියැළුණු ජයන්ත චන්ද්‍රසිරි, ප‍්‍රසන්න විතානගේ වැන්නන් කලකදී නාට්‍ය කලාව අතහැර සිනමාවට පිවිසුණා. අපේ පරම්පරාවේ ස්වල්ප දෙනෙක් හුදෙකලා අරගලයක් කරමින් බාධක ජය ගනිමින් තවමත් මේ නාට්‍ය කලාවේ ම එල්ලිලා ඉන්නවා. එදා සිටම මගේ නාට්‍ය වටා රොක් වූ මා කළ නිර්මාණ දිහා විචාරශීලී ව බලා සිටින සහෘද පෙ‍්‍ර්ක්ෂක පිරිසක් මට සිටිනවා.”

විරලව හෝ ඔබ බෙනට් රත්නායකගේ ”www.com” ටෙලි නාට්‍යයේ මතකයේ රැඳෙන චරිතයක් රඟපෑවා.

”මෙය බෙනට් අයියාගේ ඉල්ලීමක් නිසා රඟපෑ චරිතයක්. වේදිකාවෙන් මා ලබා තිබෙන පරිචය අනුව ටෙලි නාට්‍ය මට ඉතා සුළු දෙයක්. නිෂ්පාදකවරයෙක් සිටිනවා නම් චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට මා සූදානම්. දැන් හැදෙන සමහර චිත‍්‍රපට දිහා බැලුවාම හොඳ චිත‍්‍රපටයක් නිර්මාණය කිරීම මට අපහසු දෙයක් නොවේ. නමුත් නාට්‍ය තමයි මගේ ජීවිතේ.

දැන් කවුරුවත් අහන්නේ නැහැනේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගෙන් හෝ වසන්ත ඔබේසේකරයන්ගෙන් ඇයි ඔබ නාට්‍යයක් කරන්නේ නැත්තේ කියා. නමුත් ඇයි බුද්ධික චිත‍්‍රපට නොකරන්නේ කියලා අපෙන් සමහරු අහනවා. නාට්‍ය කියන්නේ එක මාධ්‍යයක්. චිත‍්‍රපට වෙනත් මාධ්‍යයක්. මේවා එකිනෙකට උසස් හෝ පහත් නැහැ. නමුත් නාට්‍ය කලාවට කවදත් ලැබුණෙ කුඩම්මාගේ සැලකිලි. මගේ ආත්ම ප‍්‍රකාශන මාධ්‍යය නාට්‍යයයි. මගේ නාට්‍යවල රඟපෑ සමහර නළුවෝ දැන් නාට්‍ය කලාව උගන්වන කථිකාචාර්යවරු.

නමුත් මා තවමත් මේ කලාව හදාරන ශිෂ්‍යයෙක්. නාට්‍ය කලාවේ නියැළෙනවාට වඩා වෙනත් ආදායම් මාර්ග ඕනෑ තරම් තියෙනවා. අද නාට්‍ය උදව් ඉල්ලා අඬන අම්මාගේ කලාව බවට පත් වෙලා. අම්මට සලකන්නේ නැති පුතුන් තමයි අද ඉන්නේ. ලංකාව වැනි සුබ සාධනවාදී රටවල ස්වභාවය මෙයයි. දැන් සෑම වසරකම එක නාට්‍යයක් හදන්න පුළුවන් ස්ථාවරයක මං ඉන්නේ. මට අනුග‍්‍රාහකයෝ, මිතුරෝ ඒ සඳහා ඉන්නවා. නමුත් තරුණ පරපුරට මේ උසස් කලාවේ නියැළෙන්න මොනම අයුරකින්වත් පහසුකමක් අද නැහැ.

එදා හෙන්රි ජයසේනයනුත් මේ ප‍්‍රශ්නය කියා ඇඬුවා. අද මා අඬනවා. පරම්පරා 5 ක් පුරා නොවිසඳුණු ප‍්‍රශ්න නාට්‍ය කලාව සමඟ බැඳිලා තියෙනවා. අපි එක් එක්කෙනා තනි තනිව නාට්‍ය කරලා පෙන්වා ගත්තා මිසක් මේ ගැටලු නිරාකරණය කර ගත්තේ නැහැ.

අනෙක් කලාවන්ට මේ ගැටලු වෙනස් ආකාරයට බලපානවා. තවමත් අපට විධිමත් නාට්‍ය පාසලක් නැහැ. චිත‍්‍රපට සංරක්ෂණාගාරයක් තවමත් මෙරටේ තියෙනවද? එක්තරා විදියකට අපේ නාට්‍යවලින් එළිදකින්නේ මේ මානසික ආතතිය තමයි.”

ජන නාට්ය උසස් නාට්ය කලාවකට ආ හැටි

Date: 21/01/2010
Source: Sarasaviya

වර්තමානයේ අපට දකින්නට ලැබෙන්නේ උසස් නාට්‍ය කලාවකි. ග්‍රීක නාට්‍ය කලාව අද ක්‍රියාත්මක නැතැයි කිසිවෙකුට කිව නොහැක. ඔවුන් අද ග්‍රීසියේ පමණක් නොව මුළු ලොවටම පොදු වූ නාට්‍ය තරගයක් පවත්වයි. ඒ ඇලෙක්සැන්ඩර් එස්. ඔනාසීස් ජාත්‍යන්තර නාට්‍ය තරගයයි. ඒ නාට්‍ය පිටපත් සඳහා පමණි.

එපමණක් නොව එංගලන්තය, ජර්මනිය, ප්‍රංශය වැනි රටවල නාට්‍ය කලා, තරග, උළෙල ආදිය දෙස බලන විට ඒවා කොතරම් සංවර්ධනය වී ඇත්ද යන්න වැටහේ. නමුත් මේ සෑම නාට්‍ය කලාවක්ම ආරම්භ කර ඇත්තේ දෙවියන් මුල් වූ යාතු කර්මවලිනි.

ඒ යාතු කර්ම තවදුරටත් සංවර්ධනයවීමෙන් ඒවායේ නාට්‍යමය අවස්ථා බහුල විය. සමහර ශාන්තිකර්මවල ආගම අභිබවා සාමාන්‍ය ජනතාවට උපදෙස් දෙන කතාන්තර ගොඩ නැගුණි. ඒ කතාන්තර නොහොත් සදූපදේශ දකුණ ආසියාවේ කාන්තාව ඉලක්ක කරගෙන නිර්මාණය විය. බෙහෙවින් ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක් දකින්නට ලැබේ.

යුරෝපයේ මිස්ටරි, මිරැකල්, නාට්‍ය ක්‍රිස්තියානි ආගම මුල් කරගෙන ලියැවිණි. මේවා බොහෝමයක් සමස්ත ජන වාර්ගයාටම උපදෙස් දෙන්නේ විය. කෙසේ වෙතත් මෙහි ආරම්භයන් උසස් නාට්‍ය කලාවන් කෙරෙහි කැඳවාගෙන ආවේය.

ශ්‍රී ලංකාවෙන් මෙවැනි උදාහරණයක් ගත හැක. ඒ මනමේ නාටකයයි. බොහෝ දෙනෙකුට මනමේ නම කියූ ගමන් සිහියට නැගෙන්නේ මහ ඇදුරු සරච්න්ද්‍රයන්ගේ මනමේ නාටකයයි.

නමුත් මේ කතාන්තරයේ මුල ජාතක කතා පොතේ එන චුල්ලධනුද්ධර කතාවයි. මේ කතාව කලාකරුවන්ගේ නෙත ගැටී ඇත්තේ කවි නාඩගම් යුගයේ සිටයි. මනමේ නාඩගම ලංකා ඉතිහාසයේ මුලින්ම දකින්නට ලැබෙන්නේ කවි නාඩගමක් හැටියටයි.

පසුව එය සින්දු නාඩගමක් හැටියට හැඳින්වේ. මෙයින් පසුව තවත් පරම්පරාවක් මනමේ කතාව භාවිත කළේය. ඒ කෝළම් පරම්පරාවයි. මේ නිසා කෝළම් නාටක පිටපත් පිළිබඳව ගවේෂණය කළ පර්ටෝල්ඩ් පඬිතුමා කොළඹ කෞතුකාගාරයේ සිට පැරණි මනමේ කෝළම පිළිිබඳ රචනා කළ අයුරු වටහා ගත හක.

ඔහු වෙහෙස මහන්සියෙන් සොයා ගත්තා හැරෙන්නට අද වන විට පැරණි කෝලම් පිටපත් නැති තරම්ය. සමහර කෝළම් පිටපත් ඉංග්‍රීසීන් විසින් එංගලන්තයට ගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ යටත් විජිතයක් හැටියට ශ්‍රී ලංකාව පැවැති කාලයේදීය.

අපගේ පැරණි පුස්කොළ පොත්වලට ද මේ ඉරණම අත් වූ බව වඩාත් හොඳින් දන්නේ මේ පිළිබඳ ගවේෂණය කළ අය පමණි. වර්තමානයේ ඒ පිළිබඳ අධ්‍යයනය කරන්නට වුවමනා නම් අපට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට යාමට සිදු වේ.

කරුණු එසේ වුවද යළි පැරණි මනමේ කෝළම වෙත හැරෙමු. දැන් අපි හොඳින් දන්නා පරිදි ජාතක කතාවේ චුල්ලධනුද්ධර කතාවේ ස්ත්‍රියගේ චපලත්වය ඉඳුරාම පවසයි.

ස්ත්‍රියට පහර දෙයි. ඇය දෝෂ දර්ශනයට ලක් කරමින් ඇයගේ ගති පිළිබඳ විවේචනය කරයි. පන්සිය පනස් ජාතක පොතේ සඳහන් කතාන්දරවල බොහෝමයක ස්ත්‍ර‍්‍රියගේ චපලත්වය කියාපායි.

අතෙහි ඇඟිලි ගණනට ඇති කතා සොච්චමක පමණක් ස්ත්‍රියගේ ගුණ කියැ වේ. මේ නිසා ජාතක කතාවේ මතු වන ගුණයම කවි නාඩගමේ ද දකින්නට ලැබේ. කවි නාඩගම්කකරුවා ඒ අවවාදය ප්‍රතික්ෂේප කරන්නේ නැත.

මාර්ටින් වික්‍රමසිංහ මහතා ලියූ සිංහල නාටකය හා සඳකිදුරු ග්‍රන්ථයෙන් දක්වන්නේ සලා ගුරුන්නාන්සේ නම් කෙනෙකු ගම්පහ, මීගමුව යන ප්‍රදේශවල සිට ලංකාවේ බොහෝමයක් පළාත්වල ඉතා ජනප්‍රියම මෙම කවි නාඩගම රඟ දැක් වූ බවයි.

වික්‍රමසිංහ මහතා විස්තර කරන පරිදි බොහෝ පන්සල්වල මෙය රඟ දක්වා ඇත. පැතලි පොළවේ කවාකාර භූමි භාගයක මෙය රඟ දැක් වූ අතර ප්‍රේක්ෂකයා වටේට බිම ඉඳගෙන මේ නාටකය නැරඹූහ.

ගැට බෙර, හොරණෑ ආදිය සංගීතය ලෙස යොදා ගැනිණි. මෙහි ස්ත්‍රීන් රඟපෑ බවක් සඳහන් වන්නේ නැත. මේ නාටකය ද අවසන් වී ඇත්තේ ස්ත්‍රීන්ට නිගා කිරීමෙන්ය.

බොහෝ දුරට ලාංකීය සමාජයේ ස්ත්‍රිය ඉතාමත් ශුද්ධ චරිතයක් හැටියට ජීවත් විය යුතුය. කිරි අම්මා දානයේදී මව්වරු හත්දෙනෙක් තෝරා ගන්නේ ද එවැනි සංකල්පයක් උඩය.

එහෙයින් කාන්තාව ආදර්ශමත් විය යුතුය. අන්‍ය පුරුෂයන් හා බැඳීම් ඇති කර ගත නොයුත්තාහ. මේ නිසා එකල සමාජයට මනමේ කවි නාඩගම ඉතාමත් ආදර්ශමත් කතාවක් විය හැක.

මනමේ කෝළම ද කිසිදු වෙනසක් නැතිව ඉහත කවි නාඩගමේ හා ජාතක කතාවේ තිබූ ලක්ෂණම දකින්නට ලැබේ. එහෙයින් බලන විට මෙකී පරම්පරා තුනම එනම් ජාතක කතාව, කවි නාඩගම, මනමේ කෝළම යන නිර්මාණ තුනෙහිම මනමේ කතාවට කිසිදු වෙනසක් වන්නේ නැත.

එසේ එහි උසස් නාට්‍යමය ගුණ නැති බව ප්‍රකාශ කළොත් ගතානුගතික කෙනෙක් නම් හෘදය සංවේදීව ඒ අදහස ප්‍රතික්ෂේප කරනු ඇත. එය එසේ වන්නේ උසස් නාට්‍යමය ගුණය යනුවෙන් සඳහන් කළ ප්‍රකාශය තේරුම් නොගැනීම නිසායි. එසේ නම් උසස් නාට්‍යමය ගුණ යනු මොනවාද?

* උසස් නාට්‍ය කෘතියක කතාන්තරයෙන් සර්වකාලීන ජීවන දෘෂ්ටියක් සාකච්ඡා වේ. ස්ත්‍රිය චපල බව සර්වකාලීන නැත. ජාතක කතාවලම එන ‘සම්බුලා ජාතකය’ ගත් කළ ඒ බව හෙළි වේ.

තවදුරටත් ගතහොත් සමහර චපල පිරිමි සිටිති. එමෙන්ම සම්බුලා වන් පිරිමින් ද සිටිති. එසේ නම් ජාතක කතාවෙන් කවි නාඩගමෙන්, කෝලමෙන් එළිදරව් වන මනමේ කතා පුවතින් සර්වකාලීන මතු වන්නේ නැත. ඒ,

* ගුණාත්මක නාට්‍යයක් එහි සඳහන් වන දෙබස් පවා වරින් වර වෙනසකට ලක් වන්නේ නැත.

* ගුණාත්මක නාට්‍යයක් විධිමත් ශෛලියකට අනුව රංඟ ගත වේ. එය නාට්‍ය ධර්මී හෝ ලෝක ධර්මී වේවා පිළිවෙළක් තිබිය යුතුය.

* ගුණාත්මක නාට්‍යයකින් තීන්දු දෙන්නේ නැත. එය උසාවියකට පැවරෙන කාර්්‍යයකි.

නාට්‍යකරුවා කරන්නේ මෙවැනි තත්ත්වයක් මත අපි කුමක් කළ යුතු ද යන්න සාකච්ඡා කිරීම පමණි.

* ගුණාත්මක නාට්‍යයක කෙනෙකුට හෝ යමකට ඇඟිලි දිගු කොට චෝදනා නගන්නේ නැත.

* ගුණාත්මක නාට්‍යයක පවතින ලක්ෂණයක් වන්නේ ස්ථිර වූ භාෂා රිද්මයකි.

* රංගනයේදී පිටපත අභිබවා සාධනීය ලෙස සකස් වූ රඟපෑම් ද ගුණාත්මක නාට්‍යයකට අවශ්‍ය වේ.

ඉහත දැක් වූයේ ගුණාත්මක නාට්‍යයකට අවශ්‍ය ලක්ෂණවලින් සමහරක් පමණි. මහාචාර්ය සරච්චන්ද්‍ර ඇදුරුතුමා මනමේ නාටකය නිර්මාණය කරන්නේ ඉහත ලක්ෂණ සලකා බලන්නට ඇත. එය ජාතක කතාවෙන්, කවි නාඩගමෙන් හා කෝළමින් නැතහොත් සින්දු නාඩගමින් ඔබ්බට ගිය වැඩ කොටසකි. මෙහි ඉහත සඳහන් කළ ගුණ සියල්ලකක්ම මනමේ නාටකයේ ඇත.

මීට කලින් මනමේ නාටකයේ අවසානය අපගේ සාකච්ඡාවට බඳුන් වී ඇත. එහිද සඳහන් කළේ අවසානයේ මහ ඇදුරුතුමන් තම නාටකයෙන් කරන ප්‍රකාශයයි. ඔහු පවසන්නේ ‘නොදනිමි කාගේ දොසා’ යනුවෙනි.

එහිදී මේ නාට්‍යකර ැවා තීරණයක් නොදෙයි. එමෙන්ම මෙවැනි සිද්ධීන් සර්වකාලීනව සිදුවන්නට පුළුවනි.