2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Monday 15 November 2010

මාව මතු කළාට වඩා නැති කරපු අවස්ථා වැඩියි - හේමන්ත ප්‍රසාද්

Author: Ravi Rathanvale
Date:11/11/2010
Source: Sarasaviya

මෙ රට වේදිකාවට සයොනාරා, රෂොමොන් වැනි නාට්‍යයන් ද පිටරට වේදිකාවට Children of the Sea බඳු නාට්‍යන්ද ගෙනා හේමන්ත ප්‍රසාද් නව පරපුරේ කුසලතා පූර්ණ රංගන ශිල්පියෙකි. කලාවේ විවිධ ඉසව් තුළ තම අනන්‍යතාව සටහන් කරන්නට සමත් ඔහු සරසවිය සමඟ කළ පිළිසඳරයි මේ.

රෙඩී . . . ඇක්ෂන්,

‘මොන මඟුලක් ද ඔයි කරන්නෙ . . . ඔහොමද රඟපාන්නේ’

අධ්‍යක්ෂවරයා බලා සිටියදීම ආධුනික කැමරා ශිල්පියා ඒ වාග් ප්‍රහාර එල්ල කළේ නළු සිහිනයක් තුරුළු කරන් ජීවිතයේ පළමු වරට කැමරාවක් ඉදිරියේ පෙනී සිටි අංකුර නළුවකු වෙතය.

පාසලේ සිසුවියන් සිය ගණනක් ද ඇතුළුව බොහෝ දෙනෙකු රැස්ව සිටි ලංකාතිලක විහාර භූමියේ තම මංගල රූගත කිරීමට මුහුණ දුන් මේ අංකුර නළුවාගේ ආත්මය ඒ වාග් ප්‍රහාරයෙන් කීතු කීතු කඩා වැටිණ.

ඒ වෙලාවෙ ඇති වුණ හැඟීම් දැන් මතකද?

මාව මැරුණා වගෙයි මට දැනුණෙ.

ඒත් ඔයා අද සම්මාන දිනූ නළුවෙක්?

ඒක නම් එහෙම තමයි. ඒත් ඒ මුල්ම අත්දැකීමෙ අප්‍රසන්නකමත්, කම්පණයත් නිසාම එතැන ඉඳලා අවුරුදු දහයක් විතර යනකම් මම කිසිම ටෙලි නාට්‍යයකට සම්බන්ධ වුණේ නෑ.

හේතුව කුමරාවක් ඉස්සරහට ගිය ගමන්ම මාව අවුල් වෙන්න ගත්තා. මගේ හිතේ ඇති වෙන කැළැඹිල්ල මගේ මූණෙන් පේන්න ගත්තා.

එහෙම නම් ඔයා මේ ගමන ආවේ කොහොමද?

එදා මම තදින්ම හිතට ගත්තා රංගන ක්ෂේත්‍රයෙන් මට කරන්න පුළුවන් උපරිමය කරනවමයි කියලා. ඒ අධිෂ්ඨානය නිසා තමයි මට නාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, රචකයෙක්, කෙටි චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, නළුවෙක් විතරක් නෙවෙයි නවකතා රචකයෙකුත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ.

මේ තාක් ආ ඒ ගමනෙ උපරිමය හැටියට ඔබට දැනෙන්නෙ කොතැනද?

1987 දී හොඳම නළුවා සහ හොඳම අධ්‍යක්ෂණයට ලැබුණු සම්මාන සුවිශේෂයි.

ඒ වගේම 2005 දී එඩිම්බරෝවේ පවත්වපු ෆ‍්‍රින්ජ් නාට්‍ය තරගයේ රටවල් සියයකට වැඩි සංඛ්‍යාවකින් ඉදිරිපත් වුණු නාට්‍ය 650 ක් පරදා ලොව හොඳම නාට්‍ය හැටියට මම ප්‍රධාන භූ®මිකාව රඟමින් සම අධ්‍යක්ෂණයෙන් දායක වුණු Children of the Sea ට සම්මාන හිමි වීම සහ 2000 හේ යෞවන සම්මාන ප්‍රදානයේදී හොඳම රචනය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම නාට්‍ය, කියන සම්මාන තුනම මට ලැබුණු අවස්ථා තමයි මතකයට එන්නේ.

ඔය තැනට එන්න හේතු වෙන්නෙ සහජ දක්ෂකම ද?

කවුරු කොහොම කිව්වත් කාටවත් මැණික් හදන්න බැහැනෙ. පොළොව යට තියෙන මැණිකක් මතු කරලා ඔප දාලා ගන්න එකනෙ කරන්නෙ. මම හිතන්නෙ මා තුළ තිබුණු හැකියාවන් මතු කරලා ගැනීමකුයි සිද්ධ වුණේ.

ඔයාගෙ දක්ෂතා මතුª කරලා ගත්තෙ කවුද?

ඇත්තම කතන්දරේ මාව මතු කරලා ගන්නවා වෙනුවට මාව නැති කරලා දාන්න හදපු අවස්ථා වැඩියි. මම මගේ හැකියා වර්ධනය කර ගත්තෙත්් පුංචි කාලෙ ඉඳලාම නාට්‍ය, චිත්‍රපට බලලා, පොත පත කියවලා, දැනුම ඇසුරු කරල. අනිත් පැත්තෙන් දුක් කම්කටොළු මැදින් ගලාගෙන ආව මගේ ජීවිතය හා ජීවිත අත්දැකීම් තමයි මගේ් රංගනයට අවශ්‍ය අමු ද්‍රව්‍ය මට ලබා දෙන්නෙ.

නිර්මාණ ඇසුරු කරලා ඒකෙන් දැනුම ගත්තයි කියන දේ ඔබට අදාළ වෙන්නේ මොන විදිහටද?

මගේ පුංචිම කාලේ ගෙවුණෙ උග්‍ර චිත්‍රපට රසිකාවියක් වුණු අපේ ලොකු අම්මත් එක්කයි. එයා හැම සති අන්තෙකදීම නොවරදවාම සිංහල, දෙමළ, හින්දි කියන ඕනෑම චිත්‍රපටයක් බලන්න පුරුදු වෙලා හිටියා.

එයා ගිය ඒ හැම ගමනකදීම තනියට ගියේ මමයි. රඟපෑම මරු වැඩක්ය කියන අදහස මගේ ඔළුවට එන්නේ මෙන්න මේ අසීමාන්තික චිත්‍රපට බැලිල්ලත් එක්කයි.

පස්සේ කාලෙක තමයි සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහත්තයගෙ නාට්‍ය පාඨමාලාවට සම්බන්ධ වෙන්නෙ. ඒකෙන් පස්සේ ‘සොක්කානෝ රජානෝ’ නාට්‍යයෙන් වේදිකාවට සම්බන්ධ වුණා.

ඊට පස්සේ 1987 හංස විල කැළැඹෙයි කියන නාට්‍ය මම ම කළා. ඒ අවුරුද්දේ තරුණ සේවා සභාව මෙහෙයවපු සමස්ත ලංකා නාට්‍ය තරගාවලියේ හොඳම නළුවා, හොඳම අධ්‍යක්ෂ ඇතුළු සම්මාන හයක් මම දිනා ගත්තා. ඒකෙන් පස්සේ සයොනාරා ඇතුළු කෙටි නාට්‍ය විස්සක් විතර කළා.

එතනින් ඔබ විදේශ නිර්මාණකරුවන් යටතේ් වැඩ කරන තැනට එනවා?

ඔව්, බ්‍රිතාන්‍ය කවුන්සිලය ලංකාවට ගෙන් වූ ටොබි ග්‍රෝ, ටිම් සහල්, විල්යම් ස්කොට් කියන විදේශීය නාට්‍ය අධ්‍යක්ෂවරුන් තුන් දෙනාම ඔවුන්ගේ නිර්මාණ සඳහා තෝර ගත්ත එකම ශ්‍රී ලාංකික රංගන ශිල්පියා වුණේ මමයි.

ඒ අය ඔබව තෝර ගත්තේ මොන පදනමින්ද?

පිටිං එන එක්කෙනාගේ ඔළුවෙ ශිල්පීන් ගැන පූර්ව නිගමන නෑ. ඒ වගේම මෙහේ ශිල්පීන් එක්ක පෞද්ගලික සබඳකම් නෑ. ඒ නිසාම මාධ්‍යවලින් ගුරු කුලවලින් හදපු, ඉහළට ඔසවා තියපු ප්‍රතිරූප පිටින් එන මේ අධ්‍යක්ෂවරුන්ට අදාළත් නෑ.

මේ අයගේ ප්‍රමිතිය තමයි වැඩේට හරි යන කෙනාව, සුදුස්සන්ව තෝරා ගන්න එක. අපේ රටේ දීී මේක සිද්ධ වෙන්නේ හැකියාව සුදුසුකමට වඩා පුද්ගලික සබඳතා උඩයි. නමුත් මේ විදේස් නිර්මාණකරුවන් නිදහසේ රංගනයක් ඉදිරිපත් කරන්න ඉඩ දීලා ඒ මත සුදුසුකම් ඇති අය තෝරා ගැනීමයි කළේ.

* විදෙස් නිර්මාණකරුවන් සමඟ වැඩ කිරීම අමාරු වැඩක්ද?

නෑ. මම එහෙම කියන්නේ හැකියාව, දක්ෂකම අපි ළඟ තියෙන විත්තිය තේරුම් ගත්තු අධ්‍යක්ෂවරයෙක් අපිව තෝර ගත්තට පස්සේ කැප වීම, විනය හා වැඩේට අවංක වීම කියන ගුණාංග වගා දිගා කර ගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට විදෙස් නිර්මාණකරුවන් එක්ක වැඩ කරන්න පුළුවන්. එතෙන්දි භාෂාව බාධාවක් වේවිය කියලා බය වෙන පිරිසකුත් ඉන්න නිසා මේකත් කියන්නම ඕන.

කලාව විශේෂයෙන්ම සිනමාව හා වේදිකාව තේරුම් ගන්න භාෂාව බාධකයක් නෙවේය කියන තැන තමයි විදෙස් නිර්මාණකරුවන් ඉන්නෙ. ඒ අයට අවශ්‍ය වෙන්නේ පොහොසත් රංගනය පමණයි. මුලින්ම මමත් මගේ හැකියාවන් පෙන්නුවේ සිංහලෙන්.

විදෙස් නිර්මාණවලට පවා සම්බන්ධ වෙන්න තරම් තරුණ පරපුර දක්ෂයි කියලා ඔබ කිව්වට අපේ බොහෝ අය කියන්නේ අතීතය තමයි හොඳ, අද හොඳ නිර්මාණ බිහි වෙන්නේ නෑ කියලනෙ?

ඒ චෝදනාව නම් මම පිළිගන්නේ නෑ. අතීතය මාරයි කියන අදහසක වැඩිහිටි පරම්පරාව ඉන්න එක එච්චරම සාධාරණ නෑ. අලුත් පරම්පරාවේ අති දක්ෂයො ටික දෙනෙක් ඉන්නවා. ඒ අයගේ දක්ෂතා හඳුනා ගන්න හෝ ඒ දක්ෂතා මතු කර ගන්න හෝ නියම වැඩ පිළිවෙළක් තමයි නැත්තේ.

මාධ්‍ය වුණත් තව තවත් මතු කරලා ගන්නෙ ඉහළට ආපු අයවමයි.

ඒ අය වැඩේට දක්ෂ ද කියන එකටත් වඩා දැන හැඳුනුම්කම, ප්‍රතිරූපයක් වීම වගේ කාරණා මතයි මෙහෙම කරන්නේ. ඒ නිසා ප්‍රසිද්ධියට පත් නොවුණු අති දක්ෂ තරුණ තරුණියන් ලෝකෙට හඳුන්වා දීමේ වගකීම මාධ්‍ය විසින් කළ යුත්තක්ය කියලයි මම හිතන්නේ. ඒත් ඒ දේ අවශ්‍ය තරමට සිද්ධ වෙන්නේ නෑ කියන එකත් කනගාටුවෙන් වුණත් කියන්න ඕන. මේක තරහකට කියන දෙයක් නෙවෙයි.

ඔබ අලුතින් කරමින් ඉන්න නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?

දැනට මම නවකතාවක් ලියමින් යනවා. මේක මගේ පළමුවැනි නවකතාව. ඒක ළඟදී එළි දක්වන්නත්, ඉංග්‍රීසිියට පරිවර්තනය කරවන්නත් මේ දවස්වල කටයුතු කරගෙන යනවා. ඒ වගේම මගේ හිතවතෙක් නිෂ්පාදන වගකීම බාර ගත්ත මගේ කුලුඳුල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නත් මේ දවස්වල ලක ලැහැස්ති වෙනවා.

No comments:

Post a Comment