Author:Ravi Rathnawale Source: Sarasaviya Date: 20/05/2010 භානුක මනෝරත්න සමඟ කතා බහක්
කලා ලෝකයේ බොහෝ දෙනා භානුක හඳුනා ගන්නේ ප්‍රවීණ රංග ශිල්පි ජයලත් මනෝරත්නගේ පුතා විදියට. ඒ වුණත් කුඩා කල සිටම භානුකත් කලා මාධ්‍ය කිහිපයකටම නිර්මාණ දායකත්ත්වය සැළසූ බවත් අප දන්නා කරුණක්. ධර්මසේන පතිරාජයන්ගේ ‘සුභ අනාගතයක්’ ටෙලි නාට්‍යයේ රොමා ගේ චරිතයත්, සුදත් දේවප්‍රියගේ ‘මඩොල් දූව’ ටෙලි නාට්‍යයේ උපාලි ගිනිවැල්ලගෙ චරිතයත්, හෙන්රි ජයසේනයන් ගේ ‘තවත් උදෑසනක්’ වේදිකා නාට්‍යයේ සිංදු ගේ චරිතයත් රසිකයනට හොඳට මතකයි. ටික කලකින් අප භානුක නොදුටු නිසයි ඔහු ගැන සොයා බලන්ට තොරතුරු දැනගන්ට උත්සාහ කළේ. ඔහු දැනට පදිංචි වී සිටින්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර. මේ ඔහු සමඟ කෙරුණු කතාබහක්. සරසවිය - කොහොමද භානුක සුව දුක්? ලංකාවෙන් පිටවෙලා දැන් කොච්චර කාලයක්ද? භානුක - සුවසේ ඉන්නවා. ලංකාවෙන් ගිහිල්ලා නම් දැන් අවුරුදු තුන හමාරයි. සරසවිය - අපි දන්නා විදියට නම් ඔබ ඕස්ට්‍රේලියාවට ගියේ අධ්‍යාපන කටයුතුවලට? භානු - ඔව්, මම ආනන්ද විද්‍යාලයයෙන් උසස් පෙළ සමත්වෙලා ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳව විද්‍යාවේදී උපාධිය ලබා ගත්තා. ඉන් පස්සේ තමයි හිතුවෙ වැඩිදුරටත් අධ්‍යාපන කටයුතුවල නිරත වෙන්න ඕනෑ කියලා මෙල්බර්න් නුවර ඩීකින් විශ්ව විද්‍යාලයට ඇතුළු වුණේ 2007 වසරේදී. දැනට එහි වාණිජ නීතිය, වෘත්තීය ගිණුම්කරණය සහ ආර්ථික විද්‍යාව පිළිබඳව වාණිජපති සහ ගණාකාධිපති (M. Sc) උපාධි ලබාගෙන තියෙනවා. සරසවිය - තවදුරටත් අධ්‍යාපන කටයුතුවල රැෙඳනවාද? භානු - ඉදිරි විවේකයන් අනුව තොරතුරු ක්‍රමවේදය පිළිබඳ ආචාර්ය උපාධියකට සූදානමක්. ඒ කියන්නේ බලාපොරොත්තුවක් තියෙනවා. සරසවිය - අපට ආරංචියි ඕස්ට්‍රේලියාවෙදිත් කලා කටයුතුවලට දායක වෙනවා කියලා. භානු - ඔව් රැකියාවකුත් කරන අතරෙදි ලැබෙන විවේකය උඩ නිර්මාණ කටයුතුවලට සහභාගී වෙනවා. මෑතකදී මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘රත්තරං’ සහ ‘එලොව ගිහිං මෙලොව ආවා’ නාට්‍ය දෙක නිෂ්පාදනය වුණු වෙලාවේ ඒවායේ සංගීත නිර්මාණ කටයුතු කළේ මම. ඒකේ චරිතයකුත් රඟපෑවා. යශෝධරා සරච්චන්ද්‍ර සහ කුසුම්සිරි තමයි අධ්‍යක්ෂණය කළේ. හුඟක්ම සාර්ථක වුණා. ඒ වගේම මුත්තගේ විත්ති, දඟයා, මළකෝලං නාට්‍යවලටත් මම සහභාගි වුණා. මෙහෙ පදිංචි වෙලා ඉන්න අපේ රටේ රසිකයෝ විශාල වශයෙන් මේවා නරඹන්න එනවා. උසස් මට්ටමේ වින්දනයක් ගෙන දෙන්න පුලුවන් නිර්මාණ ඉදිරිපත් කිරීම තමයි අපේ වගකීම වෙන්නේ. ඒ අතරේ මෙහෙ වාසය කරන ශ්‍රී ලාංකික කුඩා ළමුන් වෙනුවෙනුත් අපි විවිධ සෞන්දර්ය ක්‍රියාකාරකම්වල් නිරත වෙනවා. සරසවිය - ලංකාවේ ඉන්න දවස්වල කොහොමද මේ කලාත්මක කටයුතුවලට මුල පෑදුණේ? භානු - මුලින්ම නම් ගෙදර පරිසරය තමයි ඒකට බලපෑවේ. පුංචි කාලේ ඉඳලම තාත්තා නිසා හොඳ උසස් මට්ටමේ නාට්‍ය දැකලා තිබුණා. තාත්තා සාහිත්‍ය කටයුතුවල යෙදුණු නිසා ලියන කියන දේටත් මම ඉබේම යොමු වුණා. පාසල් අවධියේ හුඟක්ම උසස් ගුරුවරු අපට හමු වුණා. ලයනල් රංවල, ලක්ෂ්මන් විජේසේකර, වෝල්ටර් පෙරේරා, ආනන්ද වීරසිරි, ස්ටැන්ලි පෙරේරා වගේ ගුරුවරු යටතේ සංගීතය හැදෑරුවා. සෝමරත්න දිසානායක, ධර්මසේන පතිරාජ, ජයලත් මනෝරත්න, හෙන්රි ජයසේන, එරංග සේනාරත්න, රවීන්ද්‍ර විජේරත්න, විපුල සුමනසේකර වගේ කලාවේදීන් යටතේ රඟපාන්නට ලැබුණා. ආනන්ද විද්‍යාලයේදීත් මම පෙරදිග සංගීත කවය සහ නාට්‍ය සංගමයේ ක්‍රියාකාරීව කටයුතු කළා. ඒ තමයි මගේ ගමන් මගේ මතක සළකුණු. සරසවිය - ඔය අතරේ අමරණීය ස්මරණයන් එහෙමත් ඇති නේද? භානු - පතිරාජ මාමගෙ ‘රොමා’ චරිතයට මම හරිම ආසයි. විශේෂත්ත්වය වුණේ ඒකේ තාත්තත් එක්ක රඟපාන්න ලැබීමයි. එතකොට මගේ වයස අවුරුදු හතක් අටක් විතර. හැබැයි තාත්තා රඟපෑවේ මගේ මස්සිනා විදියට. රූගත කිරීම්වලදී හැමෝටම හිනා. මඩොල්දූවෙ උපාලි ගිනිවැල්ලගෙ චරිතයටත් මම හරිම කැමතියි. සරසවිය - කොහොමද පුද්ගලික ජීවිතය? භානු - මම දැන් තාත්තා කෙනෙක්නේ. දුවගේ නම ‘තිලෝ ධර්ණා’. තවම වයස අවුරුදු එකහමාරයි. මගේ බිරිය හිරණ්‍යා ගමආරිය. ප්‍රකට දෛවඥ ඩැනියෙල් ගමආරිය මහතාගේ මිණිබිරිය. ඇයත් මෙහේ රැකියාවක නිරතවෙලා ඉන්නේ. සරසවිය - අපට මතකයි හිරණ්‍යා ලංකාවේ ඉන්න කාලේ ගීත ගායනවලට එකතු වුණා? භානු - හිරණ්‍යා ගායනයට දක්ෂයි. ඇය අනුලා විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ ඉඳලම විශාරද මාලිනී බුලත්සිංහලගෙනුත්, විශාරද දීපිකා ප්‍රියදර්ශනීගෙනුත් සංගීතය හැදෑරුවා. ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලබාගෙන ශ්‍රී ලංකා නගර සැලසුම්කරුවන්ගේ ආයතනයේ රැකියාවක් කළා. මේ දවස්වල ඇය සංයුක්ත ගී තැටියක් සඳහා සූදානම් වෙනවා. සරසවිය - ලංකාවට එන්න අදහසක් නැද්ද? භානු - මොකද නැත්තේ? එන්න ඕනැනේ. කොහොමටත් මේ අවුරුද්දේ මගේ නංගිගේ විවාහ උත්සවයට සහභාගි වෙන්න කෙටි නිවාඩුවකට එනවා. මොන ලෝකේ හිටියත් අපේ ලෝකය ඉතිං ශ්‍රී ලංකාවනේ. අධ්‍යාපන කටයුතු හමාර කරලා, මේ අත්දැකීමුත් ලබාගෙන, ඉගෙන ගත්තු දෙයකින් රටට සේවයක් කරන්න අපි ලංකාවට එන්නම ඕනෑ.
| ||||||||
|
Wednesday, 19 May 2010
ශ්‍රී ලාංකික කුඩා ළමුන් වෙනුවෙනුත් අපි වැඩ කරනවා
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment