2009 වර්ෂයේදී ආරම්භ කල ශ්‍රී ලාංකීය වේදිකාව නම් මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත පෝෂණය කිරීමට ගත් කුඩා වෑයමකි. විශේෂයෙන්ම අන්තර්ජාලය තුල වේදිකා නාට්‍ය ගැන පලවූ ලිපි එකම වෙබ් අඩවියකට යොමුකොට, වේදිකා නාට්‍ය හදාරන සහ ඒ පිලිබදව උනන්දුවක් දක්වන සැමට පිටුවහලක් වන ලෙසට එය පවත්වාගෙන යනු ලැබීය.

2012 වර්ෂයේ සැප්තම්බර් මාසයේ www.srilankantheatre.net
නමින් අලුත් වෙබ් අඩවියක් ලෙස ස්ථාපනය කල මෙම වෙබ් අඩවිය, ලාංකීය කලා කෙත නව ආකාරයකින් හෙට දවසෙත් පෝෂණයේ කිරීමට සැදී පැහැදී සිටී. මෙම නව වෙබ් අඩවිය තුලින් වේදිකා නාට්‍ය පමණක් නොව, චිත්‍රපට, සංගීතය, ඡායරෑපකරණය, සාහිත්‍ය සහ තවත් නොයෙක් ලාංකීය කලා මාධ්‍යන් ගැන විශ්ලේෂනාත්මක ලිපි ඉදිරිපත්කිරීමට බලාපොරොත්තු වෙමු. ඒ සදහා ඔබගේ නොමසුරු සහයෝගය සහ දායකත්වය අප බලාපොරොත්තු වෙමු.

Wednesday, 10 March 2010

වාරණයෙන් සමාජයටවත් කලාවටවත් යහපතක් වෙන්නේ නෑ

Author: රවී රත්නවේල්
Source : Sarasaviya
Date: 11/03/2010

තරුණ නාටවේදී විජිත මැදවෙල

ලස්සනයි ජීවිතය, අනුත්තරෝ, රාජ්‍ය සේවය පිණිසයි යන නාට්‍ය නිර්මාණය කළ විජිත මෙවර සරසවිය වේදිකාවට ගොඩ වෙන්නේ ඔහුගේ නිදහස් අදහස් රසික ඔබ සමඟ බෙදා හදා ගන්නයි.

ඔබේ නිර්මාණ ගමන ගැන මතක් කළොත්?

2003 ‘කප්කුහර’ නමින් නාට්‍යයක් කළා. ඒක 2004 නාට්‍ය උළෙලේ හොඳම නාට්‍යය හයට ඇතුළත් වුණා. ඒ නාට්‍යයේ පිටපත අධ්‍යක්ෂණය හා රංගනය කියන සියල්ල මමයි කළේ. නැවත 2004 දී ‘අහස කඩා වැටෙයි පොළවට පහත් වෙයි’ නමින් නාට්‍යයක් කළා. 2008 ‘ලස්සනයි ජීවිතේ’ නමින් කෙටි නාට්‍යයක් කළා. ඒ නාට්‍යයට යෞවන සම්මානත් හිමි වුණා. වේදිකාවෙන් මහ පොළවට කලා උළෙලේ දී ඒ නාට්‍ය හොඳම නිළිය ඇතුළු සම්මාන හයක් දිනා ගත්තා.

ඒ අවුරුද්දේ රාජ්‍ය නාට්‍ය උළෙලේදීත් මේ නාට්‍ය සම්මානයට පාත්‍ර වුණා. 2009 ‘අනුත්තරෝ’ නමින් නාට්‍යයක් කළා. එයත් ප්‍රේක්ෂක, විචාරක සම්මානයට පාත්‍ර වුණා. අවසන් වශයෙන් මම නිර්මාණය කළ ‘රාජ්‍ය සේවය පිණිසයි’ මෙවර කෙටි නාට්‍ය උළෙල නියෝජනය කළා.

වේදිකාව ඔබේ මාධ්‍ය වෙන්නේ ඇයි?

මට මගේ දේශපාලන දැක්ම ප්‍රකාශ කරන්න පුළුවන් හොඳම තැන වේදිකාවය කියන විශ්වාසයක් මා තුළ තියෙනවා. වේදිකාව මගේ ප්‍රකාශන මාධ්‍ය වෙන්නේ ඒ මතයි. ඒ වගේම මේක සජීවී, සංවාදශීලී මාධ්‍යයක් නිසා ප්‍රේක්ෂකයාට යමක් දනවන්න තියෙන හැකියාව වැඩියි. ප්‍රේක්ෂකයන් වැඩි පිරිසක් අතරට යන්නත් මෙයින් අවකාශ සැලසෙනවා. වේදිකාව මගේ ප්‍රකාශන මාධ්‍ය වෙන්න මේ කරුණුත් බලපෑවා.

ඔබ නාට්‍යකරුවෙක් වෙන්න පදනම වැටෙන්නේ කොහොමද?

නාට්‍ය බැලීම මගේ ලොකුම විනෝදාංශයක්. ඒ ඔස්සේ නාට්‍ය වැඩි වැඩියෙන් නැරැඹීමට යොමුවීමෙන් වේදිකාව මහ පොළවේ පය ගහලා ජීවත්වෙන තැනක්ය කියන එක මට තේරුම් යාම නිසා තමයි මම වේදිකාවට ඇලුම් කරන කෙනෙක් වෙන්නේ.

වේදිකාව ප්‍රයෝජනයට ගත යුතුය කියන තැනට ඔබ තල්ලු වුණේ?

ප්‍රවීණ නාට්‍යකරුවන් කතාබහ කරන කාරණා සහ ඒවා වේදිකාවට ගෙනෙන ආකාරය අනුවත් (රාජිත, ප්‍රසන්න, හඳගම, බණ්ඩාරනායක) වගේ අපට පෙර වේදිකාව ප්‍රයෝජනයට ගත් නිර්මාණකරුවන්ගේ නිර්මාණ කියවීමේදීත් අපේ අදහස් උදහස්වලට ගැළපෙන බවක් මේ වේදිකාවේ තිබෙන බව මට දැනුණා. ඒ බව ඒත්තු ගැන්වූණේ අපට පෙර පරම්පරාවේ නිර්මාණකරුවන්ය කියන එකත් මෙතනදි කෘතවේදීව සිහිපත් කරන්න ඕනෑ.

නිර්මාණ වශයෙන් ඔබ තුළ පෙළඹීමක් ඇති කළේ මොන වගේ නිර්මාණද?

අත්, උත්තමාවී, යක්ෂාගමනය වගේ නිර්මාණ සමාජය පිළිබඳ සවිඥාණික නිසාම මා තුළ සුවිශේෂී ආශ්වාදයක් ඇති කළ නාට්‍ය හැටියට හඳුන්වන්න පුළුවන්.

තරුණ නිර්මාණකරුවෙක් හැටියට ප්‍රවීණයන්ගේ ආකල්ප ගැන ඔබට තියෙන්නේ මොන වගේ අදහසක්ද?

රාජ්‍ය සේවය පිණිසයි

තරුණ නාට්‍යකරුවන් පර්යේෂණාත්මක නාට්‍ය කරමින් හිඳීම ප්‍රිය නොකරන පිරිසක් ඉන්නවා. ඒ අය ඉන්නේ නාට්‍යයේදී පර්යේෂණාත්මක දේවල් අත්හදා බැලීම් අවශ්‍ය නෑ කියන ස්ථාවරයක බවයි පේන්නේ.

ඔබේ මේ චෝදනාවට පදනමක් තියෙනවාද?

උදාහරණයකට පිටපතක් අනුමත කරගන්න පවා අරගල කරන්න වෙනවා. ඒ වගේම මේ අය තාරුණ්‍ය කුනුහරුප නාට්‍ය කරනවාය කියන චෝදනාවට මුවා වෙලා අපට ඕනෑ දේ උඹලා කරපල්ලා කියන ඇණවුම්කරණයක් දෙනවය කියලයි මට හිතෙන්නේ.

එහෙම කරන්නේ කලාවේ උන්නතිය වෙනුවෙන් නෙවෙයිද?

කලාකරුවාට තමන්ගේ කලාව කරන්න නිදහසක් තියෙන්න ඕනනේ. නමුත් එකට ඉඩ දෙන්න සූදානම් නැති කුහක ස්වභාවයක් මේ නීතිරීති හා තර්ජන ගර්ජන පනවන අයගේ තියෙනවා කියන දේ ප්‍රායෝගිකව වැඩ කරද්දී අපට දැනෙනවා. කලා වාරණය වුණත් එන්නේ මෙතැනින්ය කියලයි මට හිතෙන්නේ. අනික කලා කෘතියක් වාරණය කරන්නේ ඇයි? ඒකෙන් නිර්මාණකරුවාගේ නිර්මාණ අයිතිය නේද අහෝසි වෙන්නේ.

කලාවට යම් පාලනයක් අවශ්‍ය නෑ කින එකද ඒකෙන් කියන්න හදන්නේ?

නිර්මාණයක් වාරණයට ලක් කිරීමෙන් කලාවට හෝ සමාජයට යහපතක් කරන්න බැහැ වගේම තනි කලා කෘතියකට සමස්ත සමාජයම උඩි යටිකුරු කරන්න හෝ සමාජයට හානි කරන්න බැහැ.

අනික අද අපි ජීවත් වෙන්නේ තරුණකම බොහොම කැත විදිහට මාකට් කරන සමාජයක. ඒ වගේම සමාජයට අහිතකර බොහෝමයක් දේ තිබියදී ඇයි කලාව විතරක් වාරණය කරන්නේ කියන එකයි අපට තියෙන ප්‍රශ්නේ.

නිර්මාණකරුවාගේ පැත්තෙන් වාරණය හානි කර නම් ඒක ජය ගන්නේ කොහොමද?

මේ විදිහේ වාරණ තහංචි හා බාධක කලා නිර්මාණයකට එන්නේම හදාගත්තු සංස්කෘතිය කියන රාමුවක ඉඳල කලාව දිහා බලන නිසයි. නමුත් තරුණ නිර්මාණකරුවා තමා සතු ජවය හා නුවණ සමඟ මේ බාධක ජය ගන්න යොදා ගන්න ඕනෑ. බාධක බිඳගෙන මිසක් අපට ඉදිරියට යන්න පුළුවන්කමක් නෑ.

ඔබ මෙවර යෞවන සම්මාන උළෙල නියෝජනය කළා?

යෞවන සම්මාන නාට්‍ය උළෙල තරුණ නිර්මාණකරුවන්ට විශාල ශක්තියක්. දැනහැඳුනුම්කම් ඇති කර ගත්තත් නාට්‍ය දැනුම බෙදා හදා ගන්න, සුහදතා වර්ධනය කර ගන්න අවස්ථාව ලැබෙනවා වගේම රට වටා නාට්‍ය පෙන්වන්න වැඩ පිළිවෙළකුත් මේ ඔස්සේ හදා දෙන එකත් අගය කළ යුතුයි.

අද දවසේ ප්‍රේක්ෂකාගාරය ගැන මොකද හිතෙන්නේ?

දැන් දැන් ප්‍රේක්ෂකාගාර ටික ටික වර්ධනය වෙන තත්ත්වයක් තියෙනවා. රසිකයා හොඳ රස වින්දනයක් හොයාගෙන එන බවක් පේන්න තියෙනවා. නාට්‍යකරුවන් හැටියට අප දිරි ගන්වන සුලු ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගෙන තිබෙනවා. එය සුබ ලකුණක් හැටියටයි මම දකින්නේ.

No comments:

Post a Comment