Date:18/03/2010
Source: Sarasaviya
ලාංකේය නර්තන වේදිකාවේ පුරෝගාමී නර්තන කලාකාරිය
වජිරා චිත්‍රසේනට උපහාර
වජිරා චිත්‍රසේන වෙත උපහාරයක්
ලාංකීය නර්තන සම්ප්‍රදායයන්, ශාන්තිකර්ම ලෙස ගොඩනැගී තිබුණු නිසා හෝ පිළිබඳව තිබු ආකල්ප නිසාදෝ ඊට ස්ත්‍රී සහභාගීත්වයක් ලබා ගත්තේ නැත.
වැඩි වශයෙන් ‘තාණ්ඩව’ හා පුරුෂයින්ට උචිත ස්වභාවයක් ගත් චලන රටාවලින් යුතු මේ නැටුම් සම්ප්‍රදායයන් හී ස්ත්‍රීන්ට කළ හැකි භූමිකාවක් තිබුණේ නැත.
ලංකාවේ ස්ත්‍රීන් නර්තන කලාවට ඇතුළු වන්නේ විසිවෙනි සියවසේ තෙවන දශකයේ දී පමණය. එසේ නර්තනයට මුලින්ම පිවිසුණු ලාංකික කාන්තාවන් දෙදෙනා ලෙස හඳුනා ගැනෙන්නේ “මීරියම් පීරිස්” සහ “චන්ද්‍රලේඛා” යන ප්‍රමුඛ ශිල්පිනියන්ය. එහෙත් මේ පුරෝගාමී නර්තන ශිල්පිනියන්ගේ නර්තන කලා ජීවිතය දිගුකාලීන භාවිතාවක නොරැඳුණු කෙටි කාලයක් තුළ අවසන් වූවක් විය.
ඉන් පසුව හතළිහ දශකයේ මැද භාගයෙන් පසුව බිහි වී ආ එක්තරා නර්තන ශිල්පිනියක්, මෙරට සම්ප්‍රදායික නර්තනයේ ගුණාංග කාන්තාවකට උචිත වන සේ වේදිකාව මත විහිදුවා හරිමින්, නර්තන නිර්මාණයේ ද, මුද්‍රා නාට්‍ය චරිත නිරූපණ රංගනයේ ද මුද්‍රා නාට්‍ය නිර්මාණය කිරීමේ දී ද ප්‍රමිතිගත තත්වයක් ගොඩනැගීමට ප්‍රශස්ත දායකත්වයක් ලබා දෙමින්, දශක හයක ප්‍රබල නර්තන ජීවිතයක් ගෙවමින් තවදුරටත් පසු පරම්පරාවට ශිල්ප ලබා දෙමින් සිටින්නීය. මේ පුරෝගාමී නර්තන ශිල්පිනියක වන ‘වජිරා චිත්‍රසේන’ පසුගිය පහළොස්වනදා හැත්තෑ අටවෙනි වියට එළඹියාය.
මෙරට පුරෝගාමී වේදිකා නර්තන නිර්මාණකරුවා මෙන්ම ජාතික මුද්‍රා නාට්‍ය ශෛලියක ආරම්භක කලාකරුවා ලෙස සැලකෙන “චිත්‍රසේන” ගේ ශිෂ්‍යාවක ලෙසත්, බිරිඳ ලෙසත් ඔහුගෙන් ලත් ආභාසය, පුහුණුව හා ශක්තිය සමග ලාංකික නර්තන ශිල්පිණියන් අතර පුරෝගාමී දායකත්වයක් සපයන නිසාම “වජිරා චිත්‍රසේන”,තවමත් මෙරට නර්තන ක්ෂේත්‍රයට මාහැගි සම්පතකි.
සාම්ප්‍රදායික නර්තන චලන, වේදිකාවට මනාව සකස් කිරීමේ ඇගේ කුසලතාව, “නෘතාංජලී, නවාංජලී”, “නවෝදාරංග “ වැනි ප්‍රසංගයන් හි ගැබ්ව තිබූ අතර මුද්‍රා නාට්‍ය චරිත නිරූපණාත්මක රංගණයේ ඈ සතු ප්‍රබල දක්‍ෂතා, “කරදිය, නලදමයන්ති, චණ්ඩාලිකා” ඇතුළු චිත්‍රසේනයන්ගේ ජනාදරයට පත් මුද්‍රා නාට්‍යවලදී මනාව පිළිබිඹු විය. “කරදිය” හි, “සිසී” චරිතයත්, නල දමයන්ති මුද්‍රා නාට්‍යයේ හංසයාගේ චරිතයත් දශක ගණනාවක් මෙරට බොහෝ ප්‍රේක්‍ෂකයින්ගේ් ගෞරවාදරයට ලක් විය.
අනෙක් අතින් නර්තන වින්‍යාස ශිල්පිණියක හා මුද්‍රා නාට්‍ය අධ්‍යක්‍ෂවරියක ලෙස වජිරා චිත්‍රසේන දැක් වූ ශිල්පීය හා නිර්මාණ ප්‍රතිභාව, “සේපාලිකා”, “කුමුදිනී”, “වනමල්”, “නිල් යකා”, “අණ බෙරය”, “හපනා” වැනි ළමා මුද්‍රා නාට්‍යවලද, “ගිණි හොරා”, “චණ්ඩාලිකා”, “රෂොමොන්”, “ශිවරංග”, “බෙර හඬ” වැනි මුද්‍රා නාට්‍යවලද විවිධ අයුරින් සටහන් වී තිබිණ. නර්තන ශිල්පිණියක් ලෙස හුදු ලාස්‍ය ලක්‍ෂණයක් මතු කිරීමට වඩා ඇගේ නර්තන රඟ දැක්වීම්වලදී දක්නට ලැබුණේ “ස්ත්‍රීත්වය” පිළිබඳව වූ ශක්තිමත් අනන්‍යතා ප්‍රතිරූපයකි.
එය බොහෝ පසුකාලීන නර්තන ශිල්පිණියන්ට බලවත් ස්ත්‍රී නර්තන ප්‍රතිරූපයක් පිළිබඳ පරමාදර්ශයක් බඳු විය. එබැවින් වජිරා චිත්‍රසේන වෙතින් පළ වුණේ හුදු සුකෝමල නර්තන ශිල්පිණියක වැනි ස්වභාවයක් නොව, ශක්තිමත්, නර්තන කලාකාරියක් හා ස්ත්‍රීයක් වැනි චරිත පෞරුෂයක් බව පැහැදිලිය. (නර්තන ශිල්පිණියක් ලෙස බාහිර චරිත ලක්‍ෂණයක් ලෙස පවා දැකිය හැකි මෙම සවිමත් තියුණු පෞරුෂය, වර්තමාන නර්තන ශිල්පිණියන් කෙරෙන් මුළුමනින්ම ඈත් වී ඇති බවක් පෙනේ).
වජිරා චිත්‍රසේන නම් මේ ප්‍රවීණ පුරෝගාමී කලාකාරිය හැත්තෑ අටවෙනි වියට පා තැබීම නිමිති කරගෙන ඇගේ් සිසුවියන් මෙන්ම දූ දරුවන් ඇතුළු “චිත්‍රසේන කලායතනය”, ඇයට උපහාර දක්වනු වස්, අපගේ ඉපැරණි ශාන්ති කර්මයක් වන “රට යැකුම” ශාන්ති කර්මයකින් ප්‍රබල කොටසක් රඟදැක්වීමට සුදානම් වෙති. මෙම වජිරා චිත්‍රසේන උපන් දින උපහාර උළෙල මාර්තු 20 වෙනි දින නාරාහේන්පිට “චිත්‍රසේන” කලායතන භූමියේ දී පැවැත්වේ.
ලාංකීය නර්තන සම්ප්‍රාදායයන් නූතන වේදිකාව හරහා දිගු චාරිකාවක් ගෙන ගොස් වර්ධනයට ලක් කළ “වජිරා චිත්‍රසේන” කලාකාරිය වෙත දීර්ඝායු පැතුමන් ද, ප්‍රේක්‍ෂක විචාරක ආශිර්වාදයද හිමි විය යුතුය.
No comments:
Post a Comment